අද (25) සිට ඉදිරි දෙසතියේ (දින 14 ක්) රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උත්සව නවතී

අද (25) සිට ඉදිරි දෙසතියේ (දින 14 ක්) රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උත්සව නවතී

*********************************************

අද (25) සිට ඉදිරි දෙසතියේ (දින 14 ක්) රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ උත්සව නවතී

(25.04.2021 – 16:14 +0530 – hirunews.lk/sinhala)

අද (25) සිට ඉදිරි දෙසතිය (දින 14 ක්) තුළ පැවැත්වීමට සංවිධාන කර තිබූ සියළු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ එම කාලය තුළ පෞද්ගලික අංශයේ සියළු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණය කර ඇති බවයි.

කොවිඩ් නයින්ටීන් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

(26.04.2021 – 10:20 +0530 – hirunews.lk/sinhala)

සැලසුම් කර ඇති විවාහ මංගල උත්සව , සෞඛ්‍ය නිර්දේශ අනුව පැවැත්වීමට අවසර හිමි වන බව වසංගත රෝග විද්‍යා අංශයේ , ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ෴

කෙසේ නමුත්, කොවිඩ් 19 වසංගතයට අවසන් විසඳුම එන්නත්කරණය පමණක් වන අතර, ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙලක් රජය සතුව පවතින බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ අභියෝග සාර්ථකව ජයගැනීමට නම් කොරෝනා වසංගතය පැතිර ගිය පළමු වටයේදී සිදුකළ අයුරින් ලබාදී ඇති නීතිරීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බවයි.

පවතින තත්වය හමුවේ විසඳුමක් ලෙස රට වසා දැමිය යුතු යැයි ඇතමුන් මත පළ කළද එමගින් දිගුකාලීනව ජන ජීවිතයට සහ ආර්ථිකයට හානිකර බලපෑම් ඇති විය හැකියි.

එබැවින් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට එය කළ නොහැකි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

(25.04.2021 – 19:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් වැඩිවීමේ ඉහළ අවදානමක් ඉදිරි සති දෙකක (2) කාලය තුළ පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබද දැඩි ලෙස සැළකිලිමත් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ අතර, ඉන්දියාවේ මේ වන විට ව්‍යාප්ත වී ඇති නව කොරෝනා ප්‍රභේදය මෙරටට පැමිණීමේ හැකියාවක් පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, එය පැමිණීම වලක්වාලීම සඳහා සෞඛ්‍ය අංශ ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, මාවනැල්ල සෞඛ්‍ය නිලධාරී කොට්ඨාශයේ නිරෝධායනට ලක්කර තිබූ පුද්ගලයින් 90 ක් අතරින් 43 දෙනෙකු අසාදිතයින් බවට තහවුරු තිබෙනවා.

එමෙන්ම, මැදවච්චිය නගරයේ පෙර පාසල් ගුරුවරියකට ද කොරෝනා ආසාදිත බවට ඊයේ (24) හඳුනා ගැනීමත් සමග එහි සිසුන් 20 දෙනෙකු ඇතුළු 85 දෙනෙකු ස්වයං නිරෝධායනට යොමුකර තිබුණා.

ඉන් සිසුන් 05 දෙනෙකුට කොරෝනා වෛරස මුලික රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් සිසුන් තුන්දෙනෙකු (3) ඊයේ (24) රාත්‍රීයේද අනෙක් සිසුන් දෙදෙනා (2) අද (25) පෙරවරුවේද රෝහල් ගත කෙරුණා.

එමෙන්ම, මැදවච්චිය නගරයේ රාජ්‍ය බැංකුවක සහ මාර්ග සංවර්ධන අධිකාරියේ කිහිපදෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

එසේ තිබියදීත් මැදවච්චිය නගරයේ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් නොතකමින් ගැවසෙන අයුරු දක්නට ලැබුනු බවයි හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

කොරෝනා අවදානම නොතකා නුවරඑළිය සහ අනුරාධපුරය පුජා නගරය ආශ්‍රිතවද විශාල පිරිසක් විවිධ ප්‍රදේශවලින් පැමිණ සිටිනු දක්නට ලැබුනා.

ඔවුන් අතරින් බහුතරයක් සෞඛ්‍ය උපදෙස් පිලිපදින ආකාරයක් දක්නට නොලැබුනු බවද හිරු වාර්තාකරුවන් සදහන් කළා.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුමනය නොකරමින් පස්සර ප්‍රදේශයේ පැවැත්වූ සම්මන්ත්‍රණයක් නතර කිරීමට ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගත්තා.

එසේම, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (25) දිනයේත් විශේෂ මෙහෙයුම් සිදුකෙරුනේ මුව ආවරණ පැළදීම ඇතුලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පිළිපදින්නේද යන්න පිළිබදව සොයා බැලීමටයි.

එහිදි බොහෝ ප්‍රදේශවල පුද්ගලයින් මුව ආවරණ පැළදීම ඇතුළු සෞඛ්‍ය නිතී රිති කඩකරන ආකාරයක් දක්නට ලැබුනු අතර පොලිසිය ඔවුන්ට අවවාද කරනු ලැබුවා.

මේ අතර, නිකුත් කෙරුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට යටත්ව දහම් පාසල් පවත්වාගෙන යා යුතු බවයි බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමෙන්තුව නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ.

එසේම, සියලු පාසල් මෙතෙක් ක්‍රියාත්මක වූ ආකාරයටම සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ තවදුරටත් පවත්වා ගෙන යන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පාසල්වල විදුහල්පතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති කමිටු, පාසල් පවත්වාගෙන යන ආකාරය සැලසුම් කරනු ඇති බවයි ෴

++++++++++++++++++++++

(25.04.2021 – 16:23 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 156 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 94,311 දක්වා ඉහළ යන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 650දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 101,236 ක් ලෙසටයි ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 133 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (25) දිනයේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 783 ක් ෴

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 644 ක් දක්වා ඉහළ ගියා. ඒ තවත් මරණ 02 ක් වාර්තා වීමත් සමගයි.

++++++++++++++++++++++

කටුනායක ගුවන්තොටුපොළ නරඹන්නන්ට වැසේ

(25.04.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මහජන ආලින්ද වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමා තිබෙනවා.

ගුවන් තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ පැමිණීමේ සහ පිටවීමේ මහජන ආලින්ද මෙලෙස නැවත දැනුම් දෙන තුරු අමුත්තන් සඳහා වසා දමා ඇති බවයි.

කොරෝනා වෛරස් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++

(25.04.2021 – 21:31 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් යළි දැනුම් දෙන තුරු වසා තැබීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය තීරණය කර තිබෙනවා ෴

++++++++++++++++++

(26.04.2021 – 06:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා රෝගයේ අනු පොකුරු නැවත මෙරටින් වාර්තා වීමත් සමඟ නැවත නිරෝධායන නීති කඩ කරන්නන්ට නීතිය මේ වන විට දැඩි කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (25) දිනයේදී පොලීසිය සිදුකළ මෙහෙයුම් වලදී නිරෝධනය නීතිය කඩ කළ 177 දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

+++++++++++++++++++

(26.04.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (25) දිනයේ මෙරටින් නව ආසාදිතයින් 793 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ එක්දහස් තුන්සිය හැත්තෑනවයක් (1,01,379) දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 773 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර පොකුරේ ආසාදිතයන් දස දෙනෙකු (10) සහ විදේශයන් හි සිට පැමිණි දස දෙනෙකු (10) මෙලෙස ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව ආසාදිතයන් 6,424 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 94,311 ක්. එමෙන්ම, කොරෝනා මරණ 2 ක් ද ඊයේ (25) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 644 ක් දක්වා ඉහළ ගියා.

කැළණිය ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් සහ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියළු පාසල් හෙට (27) සිට නැවත දැනුම් දෙන තෙක් වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කියා සිටියා.

එමෙන්ම මුහුණු ආවරණ නොපැළැඳීම ඇතුලු නිරෝධායන නීති කඩකළ 177 දෙනෙකු ඊයේ (25) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මින් 134 දෙනෙකු බස්නාහිර පළාතෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

@@@@@@@@@@@@@@@@@

(25.04.2021 – 16:44 +0530 – hirunews.lk/sinhala)

මාතර, මිරිස්ස උඩුපිල ප්‍රදේශයේදී අද (25) උදෑසන ටිපර් රථයක් පාපැදිකරුවෙකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පාපැදිකරු එම ස්ථානයේදීම ජීවිතක්ෂය පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මිරිස්ස, තල්අබර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙක්.

මාතර සිට ගාල්ල දෙසට ධාවනය වූ ටිපර් රථය උඩුපිල ප්‍රදේශයේදී පාපැදිකරු ඉස්සර කිරීමට යාමේදී මෙම අනතුර සිදුව තිබෙනවා.

මිය ගිය පුද්ගලයාගේ සිරුර මාතර රෝහලේ තැන්පත් කර ඇති අතර ටිපර් රථයේ රියදුරු සොයා වැලිගම පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන්.

******************************************

(25.04.2021 – 00:00 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙන ආ බවට සැකකෙරෙන අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 07 ක් යාපනය සහ කෝපායි ප්‍රදේශ වලින් සොයාගෙන ඇති අතර එහිදී සැකකරුවන් හතර දෙනෙකු (4) ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

******************************************

(25.04.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala)

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ප්‍රධාන කාර්යාලය සහ සියලු ශාඛා මඟින් සේවා ලබා ගත හැක්කේ ඕනෑම දුරකථන ජාලයකින් 225 හෝ 1225 අංක ඇමතීමෙන් හෝ e-channelling ඔස්සේ වේලාවන් වෙන් කර ගැනීමෙන් පමණක් බව එම ආයතනය පවසනවා ෴

******************************************

(25.04.2021 – 17:49 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා සම්බන්ධයෙන් දින 90 ක් සඳහා රැදවුම් නියෝග ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරකයින්ට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කොළඹ – බෞද්ධාලෝක මාවතේ පිහිටි නිවසේදී ඊයේ (24) අලුයම අත්අඩංගුවට ගත්තා.

එමෙන්ම, ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගනු ලැබුවේ ද වැල්ලවත්ත ප්‍රදේශයේදීයි.

ඉන් අනතුරුවයි ඔවුන් දෙදෙනා (2) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72 ක් සදහා රැදවුම් නියෝග ලබා ගැනුණේ.

මේ අතර, රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසය අද (25) මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

කෙසේ වෙතත්, ඔවුන් සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති සාක්ෂි විශ්ලේෂණය සඳහා පැය 72 ක කාලයක් ප්‍රමාණවත් නොවීම සලකා බලමින් දින 90 ක් රැදවුම් නියෝග ලබා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශය වෙත ඉල්ලීමක් සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

+++++++++++

******************************************

(25.04.2021 – 18:02 +0530 – hirunews.lk/sinhala)

වලල්ලාවිට, පැලවත්ත, එකේ කණුව ප්‍රදේශයේ පසුගිය අවුරුදු සමයේ මුදල් ඔට්ටුවට කැට ගැසීම සිදුකළ පුද්ගලයන් 22 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට පත්ව ඇතැයි මීගහතැන්න මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා.

පසුගිය 23 වනදා සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණ මගින් මෙම පිරිස් ආසාදිතයන් බවට තහවුරු වී ඇති අතර මෙම සූදු ක්‍රීඩාවට සහභාගී වු තවත් පිරිස් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

මෙලෙස ආසාදිතයන් බවට පත්ව ඇත්තේ පැලවත්ත, පහළ හෙවෙස්ස , මිගහතැන්න, වලල්ලාවිට ලේදොළ ඇතුළු ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

(25.04.2021 – 18:28 +0530 – hirunews.lk/sinhala)

මුලතිව්, වට්ටුවාකල් පාලම අසළ ඉඩමක අද (25) දහවල් සිදුවූ පිපිරීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තරුණයෙකු තුවාල ලබා ඇති බව මුලතිව් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ යතුරුපැදියකින් පැමිණි තරුණයින් දෙදෙනෙකු (2) කිසියම් ශාරීරික අවශ්‍යතා කටයුත්තක් වෙනුවෙන් අදාළ ඉඩමට ගොස් ඇති අවස්ථාවක මෙම පිපිරීමක් සිදුව ඇති බවයි.

පිපිරීමෙන් 19 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 20 හැවිරිදි තරුණයෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.

ජීවිතක්ෂයට පත්වූ තරුණයාගේ මළ සිරුර මුලතිව් රෝහලේ තැන්පත් කර ඇති අතර තුවාලකරු මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර වෙනුවෙන් යාපනය රෝහලට යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පිපිරීම සිදුවූ ස්ථානය ආසන්නයේ නාවික හමුදා කඳවුරක්ද ස්ථාපිතව පවතින බව මුලතිව් ආරක්ෂක අංශ සඳහන් කළා.

පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ පවත්වන බව මුලතිව් පොලිසිය සඳහන් කළා ෴

******************************************

(25.04.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

මහියංගනය පූජාභූමිය ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයකට සිදුවන වන අලි තර්ජන මේ වන විට උග්‍ර අතට පත්ව ඇති බව මහියංගනය රජමහා විහාරයේ භාරකාර, අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නාහිමියන් පවසනවා.

මේ අතර, බදුල්ල – ගිරාදුරුකෝට්ට – උල්හිටියාව ධීවර ගම්මානයේදී වන අලි පහරදීමකින් තවත් කාන්තාවක් අද (25) ජීවිතක්ෂයට පත්වුණා. පසුගිය 23 වන දා ද වන අලි පහරදීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, දින දෙකක (2) කාලයක් තුළ දී සිදුවූ දෙවන (2) මරණය ද මෙයයි.

අද (25) අලුයම වන අලි පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වූයේ 55 හැවිරිදි උල්හිටියාව ධීවර ගම්මානයේ ජීවත් වූ කාන්තාවක්. ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වන අලි තර්ජන පිළිබදව බලධාරීන් කොතෙකුත් දැනුවත් කළ ද මෙතෙක් ඊට අදාළ නිසි විසදුමක් ලබාදී නොමැති බවයි ෴

******************************************

(25.04.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

ඉබ්බාගමුව – පන්නල ප්‍රදේශයේ නිවසක සිදුවූ පිපිරීමේ කොටස් රසායනාගාර පරීක්ෂාවක් සඳහා යොමු කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙම පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2) බරපතළ තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ එකම පවුලේ 21 සහ 27 වන වියේ පසුවූ තරුණයින් දෙදෙනක් (2).

ඉබ්බාගමුව, පන්නල, මීගහමුලවත්ත ප්‍රදේශයේ නිවසක මෙම පිපිරීම සිදුව ඇත්තේ ඊයේ (24) රාත්‍රී අටට (8) පමණ.

අදාළ නිවසේ ත්‍රිරෝද රථ අලුත්වැඩියා කරන ස්ථානයක්ද පවත්වාගෙන යනු ලබනවා.

මෙම පිපිරීම සිදුව ඇත්තේ තරුණයන් දෙදෙනා (2) රතිඤ්ඤාවල අඩංගු වෙඩි බෙහෙත් යකඩ බටයක් තුළට දමා අනතුරුව යකඩ කපන උපකරණයකින් එම බටය කපා වෙන්කිරීමට යාමේදීයි.

පිපිරීමෙන් පසු පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කළා.

******************************************

(25.04.2021 – 20:00 +0530 – hirunews.lk/sinhala)

ආදර්ශමත් අමුතුම ත්‍රිරෝද රථ රියදුරෙක්

ත්‍රිරෝද රථ රැකියාව ගැන වගේම ත්‍රිරෝද රථ රියදුරන් ගැනත් අද සමාජයේ තිබෙන්නේ එතරම් හොඳ මතයක් නොවේ නමුත් ඒ මතය වෙනස් කරපු අමුතුම ත්‍රිරෝද රථ රියදුරෙක් අපිට හමුවුණා.

මේ ඔහුගේ කතාව :

******************************************

(25.04.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

වරාය නගරය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමත් සමඟ කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

වරාය නගරයේ වත්මන් ඉදිකිරීම් ප්‍රගතිය සහ ආර්ථිකය පිළිබඳව හිරු ප්‍රවෘත්ති කළ සොයා බැලීමක් මේ :

******************************************

(26.04.2021 – 06:58 +0530 – hirunews.lk/sinhala)

මිනුවන්ගොඩ වටිනාපහ ප්‍රදේශයේදී ඊයේ (25) 32 හැවිරිදි පුද්ගලයෙකු පොල්ලකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිසිය සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයාව ඝාතනය කර ඇත්තේ ඝාතනය වූ පුද්ගලයාගේ 27 හැවිරිදි බාල සහෝදරයා බවයි.

කෙසේ වෙතත් ඝාතනයෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.

මේ වන විටත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා ෴

******************************************

(26.04.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය වසා දැමුවද අද (26) උදෑසනත් ගොවීන් සිය එළවළු තොග රැගෙන පැමිණ තිබුණා.

ආර්ථික මධ්‍යස්ථානය ඊයේ (25) සිට දින තුනකට (3) වසා දැමුනේ එම මධ්‍යස්ථානය තුලින් කොරෝනා ආසාදිතයන් හමුවීමත් සමඟයි.

කෙසේ වෙතත් මෙම තීරණය සන්නිවේදනය නොවීමෙන් මෙලෙස ගොවීන් පිරිසක් සිය අස්වැන්නත් රැගෙන දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණ සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගොවීන් ඉල්ලා සිටින්නේ අස්වැන්න අලෙවි කිරීම සඳහා විකල්ප වැඩපිළිවෙලක් සකස් කර දෙන ලෙසයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *