රිෂාඩ් බදියුදීන් සහ සොහොයුරා දින 90 ක් රඳවා ගැනීමට යයි

රිෂාඩ් බදියුදීන් සහ සොහොයුරා දින 90 ක් රඳවා ගැනීමට යයි

*********************************************

රිෂාඩ් බදියුදීන් සහ සොහොයුරා දින 90 ක් රඳවා ගැනීමට යයි

(25.04.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීම සඳහා අධිකරණ නියෝග ලබාගැනීමට සූදානම් වන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඔවුන් දෙදෙනා (2) ගෙන් මේවන විට ද ප්‍රශ්ණ කෙරෙමින් පවතින බවයි.

පාස්කු ප්‍රහාරකයින්ට ආධාර අනුබල දීමේ චෝදනාවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා වන රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් ඊයේ (24) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති අනුව ඔවුන් පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණ නියෝග ලබාගත් අතර සාක්ෂි විශ්ලේෂණය ඇතුලු කරුණු සලකා බැලීමේදී එම කාලය ප්‍රමාණවත් නොවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.

ඒ අනුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව තවදුරටත් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණ නියෝග ලබාගැනීම වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් පවතිනවා.

පාස්කු ප්‍රහාරයේ ඝාතකයින්ට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් ලැබුනු පුද්ගල සාක්ෂි, පරිවේෂණීය සාක්ෂි, විද්‍යාත්මක සාක්ෂි මෙන්ම තාක්ෂණික සාක්ෂි උපයෝගී කර ගනිමින් රිෂාඩ් බදියුදීන් සහ සොහොයුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ මෙම සිද්ධියට අදාළව විවිධ මූල්‍ය ආයතන හරහා මුදල් හුවමාරු වීම්, චෙක්පත් ලබාදීම් පිළිබඳව ද දැඩි විමර්ශණයකට විමර්ශණ නිලධාරීන් සූදානමින් පසුවන බවයි.

******************************************

(25.04.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

වසරේ මේ දක්වා ගතවූ මාස හතර (4) තුළ දිවයිනෙන් ඩෙංගු රෝගීන් 6,383 ක් වාර්තාවී තිබෙනවා.

ඉන් වැඩිම ප්‍රමාණයක් මඩකලපුව දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර එම සංඛ්‍යාව 2,686 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන්ද රෝගීන් 939 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 368 දෙනෙකු, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 213 දෙනෙකුද වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

අඩුම රෝගීන් වාර්තාවී ඇත්තේ මුලතිව් දිස්ත්‍රික්කයෙන් වන අතර, මාර්තු සහ අප්‍රේල් මාස දෙකෙහි එම දිස්ත්‍රික්කයෙන් කිසිදු රෝගියෙකු වාර්තාවී නැහැ.

දිවයිනට බලපා ඇති වැසි තත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව සැළකිල්ලෙන් සිටින ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ෴

******************************************

(25.04.2021 – 12:03 +0530 – hirunews.lk/sinhala)

යාපනය, පේදුරුතුඩුව, තික්කම් ප්‍රදේශයේදී පසුගිය 21 වැනිදා ගුරුවරියක ගමන්ගත් යතුරුපැදියක් අනතුරට ලක්කොට පළාගොස් සැඟව සිටි ටිපර් රථ රියදුරෙකු ඊයේ (24) යාපනය පේදුරුතුඩුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පේදුරුතුඩුව පොලිසි සිදුකළ වැඩිදුර විමර්ශන අනුවයි සැකකරු යාපනය කොඩිකාමම් ප්‍රදේශයේ සැඟව සිටියදී ටිපර් රථය සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වැලි ප්‍රවාහනය කළ ටිපර් රථය ගුරුවරිය ගමන් ගත් යතුරුපැදිය අනතුරට ලක් කර පළායන ආකාරය CCTV දර්ශණවල ද සටහන්ව තිබුණා.

එම අනතුර සිදුවී තිබුනේ ටිපර් රථය නතර කරන ලෙසට පොලිසිය කළ අණ කිරීම් නොතකා පළායන අවස්ථාවේදීයි.

33 හැවිරිදි සැකකරු පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

******************************************

(25.04.2021 – 12:50 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් විවිධ අදහස් පළකළා.

******************************************

(25.04.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

මහා පරාක්‍රමබාහු රජුගේ විශිෂ්ට නිර්මාණයක් වූ පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය ජලජ ශාක විශේෂයක ආක්‍රමණයට ගොදුරුවීමේ පුවතක් අප ‘රතු මිනිත්තුවෙන්’ පසුගියදා අනාවරණ කළා.

අප කළ අනාවරණයෙන් පසු එම ආක්‍රමණශීලී ජලය ශාක ඉවත් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

පොළොන්නරුව ගොවි ජනතාවගේ හදවත බදු වූ පරාක්‍රම සමුද්‍රය ජපන් ජබර ශාක වලින් වැසී යමින් පවතින බවට ‘හිරු රතු මිනිත්තුවෙන්’ අප අනාවරණ කළේ පසුගිය 20 වැනිදායි.

කුඹුරු අක්කර 35,000 ක් පමණ පෝෂණය කෙරෙන පරාක්‍රම සමුද්‍රයේ වසර දෙකක (2) කාලයක සිට මෙම තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වීම හේතුවෙන් ගොවීන් සහ මිරිදිය ධීවරයන් පත්වන අපහසුතාවයන්ද අප එහිදී පෙන්වා දුන්නා.

අප කළ අනාවරණයෙන් දිනකට පසු පරාක්‍රම සමුද්‍රයේ ජපන් ජබර ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

මේ යන්ත්‍රයක් ආධාරයෙන් එම ආක්‍රමණශීලී ශාක ඉවත් කිරීමට කටයුතු කරන ආකාරයයි.

******************************************

(25.04.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යාපන පෙළ පොත්වල ජාතික වීරයින් පිළිබඳව ඕනෑ තරම් පාඩම් අප දැක තිබෙනවා.

අප එවන් සුවිශේෂී චරිතයක් සොයා ගිය ගමනක තොරතුරුයි මේ.

5 ශ්‍රේණිය සිංහල පෙළ පොතේ ආදර්ශමත් චරිතයක් වශයෙන් අනාගතර පරපුරට පාඩමක් වන්නට තරම් වටිනා චරිතයක් වුණු ඇය කෑගල්ල – පරගම්මන ප්‍රදේශයේ පදිංචි 85 වන වියේ පසුවන ලිලී වයලට් මාතාවයි.

‘පාර කියන අත්තම්මා’ යනුවෙන් කා අතරත් ප්‍රචලිත මේ මිත්තණිය වසර ගණනාවක් තිස්සේ හෙට්ටිමුල්ල – බණ්ඩාරනායක කනිෂ්ඨ විද්‍යාලය අසල ඇති ප්‍රධාන මාර්ගයේ පාසල් දරුවන් සහ ජනතාවට ආරක්ෂිතව පාර මාරුවීමට ස්වේච්ඡාවෙන් සහය වනවා.

මෙවැනි සමාජ මෙහෙවරක් සිදුකිරීමට ලිලී වයලට් මාතාව පෙළඹුණු කාරණය සහ එහිදී ලැබුණු අත්දැකීම් ගැන අප ඇයගෙන් විමසුවා.

එලෙස ඇරඹි ඇයගේ විරල සමාජ මෙහෙවර අද දක්වාම අඛණ්ඩව සිදුකෙරෙනවා.

තම ජීවිත කාලයම ළමා පරපුර වෙනුවෙන් කැප කරන මේ අත්තම්මා දරුවන්, ගුරුවරුන් පමණක් නොව ගම්වැසියන් සහ රථ වාහන රියදුරන්ගේද නොමඳ ආදරයටත් ගෞරවයටත් පාත්‍ර වී සිටිනවා.

ජීවිතයේ සැදෑ සමය විවේකයෙන් ගෙවිය යුතු සමයක සෑම දරුවෙකුම තමන්ගේම දරුවන් ලෙස සලකමින් සමාජ මෙහෙවර වෙනුවෙන් කැපවුණු ඇයට ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු නොවේද?

******************************************

(25.04.2021 – 14:05 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය සම්මත කරගත් ශ්‍රී ලංකාව පිළිබඳ නවතම යෝජනාව අනුව පත් කෙරෙන මෙරට මානව හිමිකම් අධීක්ෂණය කිරීමේ කමිටුවට ශ්‍රී ලංකා නියෝජිතයෙකු නම් නොකරන බව වාර්තාවනවා.

එමඟින් සඳහන් කර ඇත්තේ ජිනීවා නුවර සිට ක්‍රියාත්මක වන එම අධීක්ෂණ කමිටුව ජාත්‍යන්තර වෘත්තිකයන්ගෙන් සමන්විත වනු ඇති බවයි.

ඒ සඳහා ලක් රජයේ නියෝජිතයෙකු නම් නොකිරීමට තීරණය කර ඇත්තේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලය විසින්.

කෙසේ නමුත් මේ පිළිබඳව අප කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ මෙම ඒකපාර්ශවික තීරණය පිළිබඳව විරෝධය දක්වන බවයි.

මානව හිමිකම් මණ්ඩලය මෙවැනි ආකල්පයක නිරතවීම මීට පෙරද දක්නට ලැබුණු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මානව හිමිකම් මණ්ඩලයේ තීරණය පිළිබඳව ලක් රජයේ නිල ප්‍රතිචාරය නුදුරේදී ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂිතයි.

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී පසුගියදා සම්මත කරගැනුනේ පශ්චාත් යුද සමයේ ශ්‍රී ලංකාව පිළිබඳ පස්වන යෝජනාවයි.

එමගින් මෙරට පැවති යුද්ධයේදි සහ ඉන් අනතුරුව සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ තොරතුරු එක් රැස් කිරීම, සංරක්ෂණය සහ විශ්ලේෂණය කිරීමට යෝජනා කෙරුණා ෴

******************************************

(25.04.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

වසරකට වරක් අලුත් කෙරෙන ඡන්ද හිමි නාම ලේඛණය සදහා මාස 4 කට වරක් ඇමුණුම් එක් කිරීම සඳහා නීති සංශෝධණය කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති නිතීඥ නිමල් පුංචිහේවා මහතා සදහන් කළේ පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ඡන්ද හිමි නාමලේඛණ සංශෝධන පනත් කෙටුම්පත මගින් අදාල ඇමුණුම් මැතිවරණයක් අවස්ථාවේදි පිලිගන්නා ආකාරයෙන් සංශෝධනය කෙරෙන බවයි.

වාර්ෂිකව ඡන්ද හිමි නාම ලේඛනය සකස් කිරීමේදි අවසන් දිනයෙන් පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන තරුණයින්ට එම ලේඛණය සඳහා ඇතුලත් වීමේ ගැටලුවක් පවතින බැවින් අදාල තීරණය ගෙන ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ.

ඒ අනුව නව සංශෝධණය මගින් ප්‍රධාන ජන්ද හිමි නාමලේඛණය සකස් කිරීමෙන් පසු වයස අවුරුදු 18 සම්පූර්ණ වන පුද්ගලයන්ට අදාල ලේඛණයට ඇතුළත්ව ඡන්දය භාවිතා කිරීමේ හැකියාව පවතින බවද මැතිවරණ කොමිසමේ සභාපති නිතීඥ නිමල් පුංචිහේවා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.

මේ අතර, වාර්ෂික විගණන වාර්තා ඉදිරිපත් නොකල දේශපාලන පක්ෂ 2 ක් සම්බන්ධයෙන් ඉදිරියේදි රැස්වීමකදී තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති නිතීඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ විගණන වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පසුගිය 22 වනදා කොමිසම හමුවට අදාල දේශපාලන පක්ෂ දෙක ඇතුළු දේශපාලන පක්ෂ 4 ක් කැඳවා තිබු බවයි.

ඉන් දේශපාලන පක්ෂ දෙකක් (2) පමණක් අදාල විගණන වාර්තා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට කරුණු දක්වා තිබු බවද එහි සභාපතිවරයා ප්‍රකාශ කළා ෴

******************************************

(25.04.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී භාවිත කළ පුපුරණ ද්‍රව්‍ය ඇතුළත් ප්ලාස්ටික් බැරලයක් සොයාගෙන තිබෙනවා.

වැල්වැටිතුරෙයි පොලීසිය විසින් එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ යාපනය – පොලිකන්නි ප්‍රදේශයේ වළදමා තිබියදියි.

ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී එහි තිබූ බෝම්බ සහ මෝටාර් උණ්ඩ ආකාරයේ ආයුධ කිහිපයක් සොයාගෙන ඇති බව සඳහන්.

වැල්වැටිතුරෙයි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

@@@@@@@@@@@@@@@@

(25.04.2021 – 11:58 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව ඇති අතර අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කටයුතු කල ආකාරයෙන් සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇති සහ ඉදිරි කාලය තුළ අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්දන එන්නත් අතරින් හතරක්ම (4) ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා තිබෙනවා.

ප්‍රථමයෙන් ගෙන්වනු ලැබූ ඇස්ට්‍රසෙනෙකා එන්නත පුද්ගලයින් 925,242 කට මේ වන විට ලබාදී ඇති අතර එම එන්නතේ දෙවන (2) මාත්‍රව ලබාදීම මැයි මස මුල සතිය තුළ ආරම්භ කිරීමට නියමිතයි.

ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන්, කොවිඩ් මර්දනයේ නිරත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළුව 356,000 ක් දෙනාට දෙවැනි (2) මාත්‍රාව ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

ඉතිරි අවශ්‍යතාව සපුරාගැනීම සඳහා ඇස්ට්‍රාසෙනකා එන්නත නිෂ්පාදනය කරන ලෝකයේ සෙසු ආයතන සමග රජය දැන් සාකච්ඡා කරමින් සිටින බව ජනාධිපතිවරයා සඳහන් කළා.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා 200,000 අප්‍රේල් අවසානයේ දීත්, මාත්‍රා 400,000 ක් මැයි මාසයේදීත්, මාත්‍රා 800,000 ක් ජූනි මාසයේදීත්, මාත්‍රා 1,200,000 ක් ජූලි මාසයේදීත් ගෙන්වා ගැනීමට සැලසුම් කර තිබෙනවා.

ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13 ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා 600,000 ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග මෙරට ජනතාවට ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

මීට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව ෆයිසර් එන්නත ගෙන්වීම සඳහා අවශ්‍ය මූලික ගිවිසුම් දැනටමත් අත්සන් කර ඇති අතර එම එන්නත හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට රජය ක්‍රියාකාරමින් සිටිනවා.

කොවිඩ්-19 ව්‍යාප්තිය පිටුදැකීමේ කොඳුනාරටිය වනුයේ මූලික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (24) ජිනීවා නුවරදී යළිත් වරක් අවධාරණය කරනු ලැබුවා.

නිසි පරිදි මුහුණු ආවරණය, සබන් හෝ විෂ බීජ නාශක යොදා විටින් විට දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ගමන් බිමන්වලින් සහ උත්සව සහ සාද වැනි ඒකරාශීවීම්වලින් වැලකී සිටීම ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා.

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම හා ශික්ෂණයක් සහිත විනයගරුක සමාජ චර්යාව වෛරස ව්‍යාප්තිය නතර කිරීමට සාර්ථක විසඳුමක් බව එවැනි ශික්ෂණයක් පෙන්නුම් කළ සියලු රටවල අත්දැකීමක්.

කොවිඩ්-19 උවදුරට විසඳුමක් ලෙස යම් කලකට රට වසා දැමිය යුතුය යැයි ඇතැමුන් සිතන අතර ආරම්භක අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ගයකින් සතුටුදායක ප්‍රතිඵල අත්වුවද දිගුකාලීනව එය ජන ජීවිතයට සහ ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් ඇති කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ආර්ථික ක්‍රියාකාරිත්වය මුලිමනින්ම අඩපණ කරන අගුල් දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට කළ නොහැකියි.

අප රටේ ආදායම් උපයන්නන්ගෙන් බහුතරය අවිධිමත් ජීවනෝපාය මාර්ග මත යැපෙන බැවින් රජය සිය කාර්ය ඉටුකරන අතර, ජනතාව රටේත්, තමාගේත් සුබ සිද්ධිය තකා ස්වකීය වගකීම සහ යුතුකම ඉටුකළ යුතු බවයි ජනාධිපතිවරයාගේ අදහස වන්නේ.

++++++++++++++++++++

(25.04.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් යළි ඉහළ යාමත් සමඟ ඊයේ (24) දිනයේ වාර්තාවූ රෝගීන්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ප්‍රදේශයෙන් රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති අතර, එම සංඛ්‍යාව 71 ක්.

ඉන් අනතුරුව කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම රෝගීන් වාර්තාවන්නේ තලංගම ප්‍රදේශයෙන් වන අතර, එම සංඛ්‍යාව 30 ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

ඊට අමතරව කොළඹ – කොටුව ආශ්‍රිතව රෝගීන් 19 දෙනෙකු සහ කොට්ටාව ප්‍රදේශය ආශ්‍රිතව රෝගීන් 18 දෙනෙකුද ඊයේ (24) වාර්තාවී තිබෙනවා.

ඉන් අනතුරුව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 150 ක් වන අතර, ඉන් 95 දෙනෙකුම වැල්ලව ප්‍රදේශයෙන් වාර්තාවනවා.

ආසාදිතයන් විසි දෙනෙකු (20) කුලියාපිටියෙන් වාර්තාවන අතර, කුඹුක්ගැටේ ප්‍රදේශයෙන් රෝගීන් 12 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඉන් අනතුරුව කළුතර දිස්ත්‍රික්කයෙන් වැඩිම කොරෝනා රෝගීන් වාර්තාවී ඇති අතර, එම සංඛ්‍යාව 147 ක්.

ඉන් 93 දෙනෙකු බේරුවලින් වාර්තාවී ඇති අතර, කළුතරින් වාර්තාවී ඇති රෝගීන් සංඛ්‍යාව 32 ක්.

ගම්පහ – දිවුලපිටියෙන්ද කොරෝනා රෝගීන් 47 ක්ද වාර්තාවී ඇති අතර, පුත්තලම – වෙන්නප්පුවෙන් රෝගීන් 18 ක්, මහනුවරින් රෝගීන් 15 දෙනෙකු, තංගල්ලෙන් රෝගීන් 14 දෙනෙකු මොණරාගලින් රෝගීන් 13 දෙනෙකු, මාතලෙන් රෝගීන් 12 දෙනෙකු සහ කෑගල්ල රුවන්වැල්ලෙන් රෝගීන් 11 දෙනෙකුද වාර්තාවී තිබෙනවා.

ඊයේ (24) දිනයේදී කොරෝනා පරීක්ෂණ 5,159 ක් සිදුකර ඇති අතර, පසුගිය ඔක්තෝම්බර් 4 සිට මේ දක්වා කොරෝනා පරීක්ෂණ විසිඑක් ලක්ෂ හැත්තෑ තුන් දහස් දෙසිය හතලිස් පහක් (21,73,245) සිදුකර තිබෙනවා.

ඊයේ (24) දිනයේදී මරණ හතරක් (4) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 642 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ (24) සිදුවූ මරණ හතරෙන් (4) දෙදෙනෙකුම (2) විදේශිකයන් වනවා. ඉන් එක් අයෙකු (1) කොළඹ දෙක (2) ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු වන අතර, අනෙක් විදේශිකයා බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි අයෙක්.

මේ අතර සංචාරකයින් සඳහා හෝ දිවයිනට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මෙතෙක් විශේෂ සීමා කිරීමක් සිදුකර නොමැති අතර, සෞඛ්‍ය අංශ ලබාදී ඇති මාර්ගෝපදේශවලට යටත්ව ඔවුන් ගෙන්වාගැනීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ.

++++++++++++++++++++

(25.04.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති දෙකක (2) කාලය තුළ කොරෝනා ආසාදිතයින් වැඩිවීමේ ඉහළ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව ජනතාව සෞඛ්‍ය මාර්ගොපදේශ පිළිබද දැඩි ලෙස සැළකිලිමත් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ ෴

++++++++++++++++++

(25.04.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරන ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම නතර කිරීමට සිදුව තිබෙනවා.

ඒ, ඉන්දියාවේ සීග්‍රයෙන් වසංගත තත්වය පැතිර යාමත් සමඟ ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම අවදානම් සහගත වීම හේතුවෙන්.

ඒ අනුව මුහුදු සීමාව උල්ලංඝනය කරන ඉන්දීය ධීවරයන් යළි හරවා යැවීමට සිදුව ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ඔවුන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත් කළහොත් එම ධීවරයන්ගෙන් නාවික හමුදා සෙබළුන්ට කොවිඩ් වැළඳීමේ අවදානමක් පවතින අතර, රට තුළට ඔවුන් රැගෙන ඒමෙන් අර්බුදය තවදුරටත් උග්‍ර විය හැකි තත්වයක් පවතිනවා.

ඒ අනුව පසුගිය සිකුරාදා මන්නාරමට ඔබ්බෙන් පිහිටි කුදිරමලේ මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනුනු ඉන්දීය ධීවරයන් පස්දෙනෙකු (5) සහ ඔවුන් පැමිණි යාත්‍රාව ආපසු හරවා යවා ඇති බව වාර්තාවනවා.

මේ නිසා තාවකාලිකව ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයට පත් කිරීම නවතා දැමීමට සිදුව ඇති බවයි ධීවර අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(25.04.2021 – 14:19 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 නව ප්‍රභේදය පිළිබඳව මේ දිනවල සමාජයේ වැඩි කතා බහක් මතුව ඇත්තේ එහි ඇති අවදානම ඉහළ බැවින්.

එම නව ප්‍රභේදය සමාජයේ ශීඝ්‍රෙයන් ව්‍යාප්ත විය හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අගවන පසුබිමක මේ පිළිබඳ අප විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය ගෙන් විමසීමක් කළා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

(25.04.2021 – 14:46 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිත රෝගීන් සදහාම වෙන්වූ හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකය ඇතුළු පවත්වාගෙන ගිය කොවිඩ් රෝගී වාට්ටු සියල්ල මේ වන විට රෝගීන්ගෙන් පිරී යෑම හේතුවෙන්තවත් වාට්ටු ඒකක දෙකක් (2) අද (25) දින සිට රෝගීන් ඇතුලත් කර ගැනීම වෙනුවෙන් සකස් කල බව රෝහල් අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසනවා.

මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් තරැණ පිරිසක් වන අතර ඔවුන් බොහෝ දෙනෙකුට නිධන්ගත රෝග නොමැති බවයි රෝහල් අධිකාරීවරයා කියාසිටියේ.

ජනතාව අදාළ රෝගී තත්වය පිළිබඳ අවධානය යොමු නොකලහොත් සමස්ත රෝහල් පද්ධතියම කොවිඩ් රෝගීන් සඳහා වෙන් කලත් පාලනය කර ගත නොහැකි වනු ඇති බවට ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සඳහා වෙන් කර තිබුනද හෝමාගම රෝහලේ සායනික කටයුතු දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් අනුව සිදු කරන බවයි රෝහල් අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියාසිටියේ.

+++++++++++++++++++++

(25.04.2021 – 15:16 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකළ අහඹු කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයින් 42 නෙකු හඳුනාගෙන තිබෙනවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන්, ලොතරැයි අලෙවිකරුවන් හා නාට්ටාමිවරුන් ඇතුළු පිරිස් මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි.

පසුගිය සිකුරාදා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ අහඹු කොරෝනා පරීක්ෂණ 190 ක් සිදුකර තිබුණා.

ඉන් 42 නෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙනවා ෴

කොරෝනා අවදානමක් හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (25) සිට දින 3 ක් වසා දැමීමට තීරණය කර තිබෙනවා ෴

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *