පළාත් දෙකක් (2) දැඩි අවදානම් – මුව ආවරණ නොමැති නම් නීතිය දැඩි වෙයි

පළාත් දෙකක් (2) දැඩි අවදානම් – මුව ආවරණ නොමැති නම් නීතිය දැඩි වෙයි

*********************************************

පළාත් දෙකක් (2) දැඩි අවදානම් – මුව ආවරණ නොමැති නම් නීතිය දැඩි වෙයි

(24.04.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර සහ වයඹ පළාත්වල කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ එක් ආසාදිතයෙකුගෙන් වෛරසය ව්‍යාප්තවිය හැකි සංඛ්‍යාව පසුගිය කාලසීමාවට සාපේක්ෂව ඉහළ ගොස් ඇති බවයි.

අද (24) පෙරවරුවේ තවත් කොරෝනා මරණ 4 ක් මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 638 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ වත්තල ප්‍රදේශයේ 18 හැවිරිදි තරුණියක්, නිට්ටඹුව ප්‍රදේශයේ 35 හැවිරිදි පුද්ගලයෙක්, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක් සහ මහරගම ප්‍රදේශයේ පදිංචි 71 හැවිරිදි කාන්තාවක් ඊයේ (23) මෙලෙස කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති බවයි.

එමෙන්ම ඊයේ (23) නව ආසාදිතයින් 931 ක් මෙරටින් හඳුනා ගත් අතර, ඉන් වැඩිම පිරිස වන 251 ක් වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. ඒ අතුරින් ආසාදිතයන් වැඩිම සංඛ්‍යාවක් එනම්, 69 ක් කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තාවී තිබෙනවා.

ඊළඟට වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

එම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 236 ක් වාර්තා වන අතර, ඉන් වැඩිම පිරිස වන 41 ක් දිවුලපිටිය ප්‍රදේශයෙන් වාර්තාවන බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

එසේම, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 194 ක් වාර්තා වන අතර, ඉන් වැඩිම පිරිස වන 78 දෙනෙකු පිළියන්දල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පසුගිය 16 වනදායින් පසු කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා වෛරසය ආසාදනය වූවන් වාර්තා වීම සියයට 2 කින් ඉහළ ගොස් ඇති බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුනි මහතා සඳහන් කළා.

මේ වනවිට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 99,691 ක් ලෙසයි.

සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 94,036 දක්වා ඉහළ ගියා.

මේ අතර, සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව කොටගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය උපකාරක පන්ති දෙකක් (2) නතර කිරීමට කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය අද (24) උදෑසන කටයුතු කළා.

එමෙන්ම නුවරඑළියට ඇතුලුවන ස්ථානවලදී පොලිස් මාර්ග බාධක යොදා විනෝද චාරිකා සඳහා පැමිණෙන පුද්ගලයන්ගේ උෂ්ණත්වය අහඹු ලෙස පරීක්ෂා කිරීම සහ තොරතුරු ලබාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා සඳහන් කළා.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ අවදානම නොතකා ඊයේ (23) දිනයේදීත් ශ්‍රී පාදස්ථානය වැඳ පුදාගැනීමට තිස්දහසකට (30,000) අධික බැතිමතුන් පිරිසක් පැමිණ සිටි බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

එමෙන්ම අත්‍යවශ්‍යම වන්දනාමාන හා පුද පූජාවන් සඳහා පමණක් කතරගම පුද බිමට පැමිණෙන ලෙස කතරගම කිරි වෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

පවතින තත්ත්වය හමුවේ මුව ආවරණ නොපැළඳීම ඇතුලු නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

විදේශ රටවල සිට පැමිණෙන සියලුදෙනා අද සිට නැවතත් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරිමට තීරණය කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියා.

ඇගපත වේදනාව, උණ වැනි රෝග ලක්ෂණ ඇත්නම් සමාජයට එක් නොවී වෛද්‍ය ප්‍රතිකාර සඳහා කඩිනමින් යොමුවන ලෙසට අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

+++++++++++++++++++++++

(24.04.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය මුහුදු සීමාව ආසන්නයේ ධීවර කටයුතුවල නිරතව යළි ගොඩබිමට පැමිණෙන ධීවරයින් අහඹු කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් බේරුවල ධීවර වරාය මගින් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, එම වරාය ආශ්‍රිතව ධීවරයන්, මත්ස්‍ය ව්‍යාපාරිකයින් ඇතුළු පිරිස් ඉලක්ක කර අද (24) දිනයේදී කොරෝනා පරීක්ෂණ 410 ක් සිදුකළ බවයි බේරුවල ධීවර වරායේ කළමනාකාර එරංග එඩ්වඩ් මහතා කියා සිටියේ ෴

++++++++++++++++++++++++

(24.04.2021 – 15:39 +0530 – hirunews.lk/sinhala)

කළුතර – දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම නිලධාරි වසම අද (24) පස්වරු 6 සිට හුදකලා කිරීමට තීරණය කර තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බවයි ෴

+++++++++++++++++++

(24.04.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

මුහුණ ආවරණ නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියාසිටියේ මේ පිළිබඳ විමර්ශණයට සිවිල් ඇඳූමින් ද පොලිස් නිලධාරීන් යොදවන බවයි.

++++++++++++++++++++

(24.04.2021 – 16:18 +0530 – hirunews.lk/sinhala)

තවත් ආසාදිතයින් 120 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 94,155 දක්වා ඉහල ගියා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ආසාදිතයින් 4898 දෙනකු ප්‍රතිකාර ලබන අතර, මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව දැක්වෙන්නේ 99,691 ක් ලෙසයි ෴

++++++++++++++++++++

(24.04.2021 – 18:31 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද (24) ලක්ෂයේ සීමාව ඉක්මවා ගියා.

ඒ අද (24) දිනයේ කොරෝනා ආසාදිතයින් 826 දෙනෙකු වාර්තාවීමත් සමගයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1,00,517 ක්.

මේ අතර, කළුතර – දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම නිලධාරි වසම ද අද (24) පස්වරු 6 සිට හුදකලා කෙරුණා.

මේ දිනවල ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ප්‍රභේදයට සමාන ප්‍රභේදයක් බවට විශේෂඥයින් මත පළ කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ පෙනහළු වලට හානි වීමෙන් පසුව බවයි.

රුසියානු ස්පුට්නික් එන්නත තවත් දින කිහිපයකින් දිවයිනට ළගා වනු ඇති බවත්, අනතුරුව එන්නත්කරණයේ දෙවන අදියර ආරම්භ කරන බවත්, ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, එක් ආසාදිතයෙකුගෙන් වෛරසය බොහෝ පිරිසකට සම්ප්‍රේෂණය වන තත්ත්වයක්ද දක්නට ලැබෙන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ.

එසේම, ඇතැම් නීති රීති ලිහිල් කිරීම නිසා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් සිදුවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ මීගමුවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පවතින තත්ත්වය හමුවේ මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය හා දෑත් පිරිසිදු කිරීම වැනි සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළු නිරෝධායන නීති සම්බන්ධයෙන් ජනතාව නිරන්තරයෙන් වැඩි අවධානයක් යොමුකර කටයුතු කිරීම ඉතා වැදගත්.

අද (24) පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මුහුණු ආවරණ නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කරන බවයි කියා සිටියේ.

මේ අතර, පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කළුතර – දකුණ පොලිස් වසමේ අධිකාරිගොඩ ග්‍රාම නිලධාරි වසම අද (24) පස්වරු 6 සිට හුදකලා කෙරුණ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය මෙන්ම, තිත්තවැල්ගාල සහ නිරාවිය, නිකදළුපොත යන ග්‍රාම සේවා වසම් ද මේ වනවිට හුදකලා කර තිබෙනවා.

මේ අතර, මොනරාගල – ඇතිමලේ පොලීසියේ 15 දෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

උණ රෝග ලක්ෂ පෙන්නුම් කළ පොලීසියේ 4 දෙනෙකුට සිදුකළ කොරෝන පරීක්ෂණයකදී ආසාදිතයින් 3 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගේ ආශ්‍රිතයන්ට සිදුකළ පරීක්ෂණවලින් තවත් ආසාදිතයින් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බව සඳහන්.

එමෙන්ම, මාස 2 ක් වයසැති බිලිඳෙකු ඇතුළු ආසාදිතයින් 65 දෙනෙකු වාර්තා වීමත් සමඟ කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ නිවාස රැසක පිරිස් නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

වාර්තා වූ රෝගීන් අතරින් 10 දෙනෙකු සුපිරි වෙළඳසැල් දෙකක සේවය කළ අය වන අතර එම සුපිරි වෙළඳසැල් දෙක (2) තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සමන්තිකා විජේසුන්දර මහත්මිය සඳහන් කළේ.

දැරණියගල – ඉලුක්තැන්න ග්‍රාමයේ සිදුකළ කොරෝනා පරීක්ෂණ 10 කින් ආසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ වෛරසය ව්‍යාප්තිය පාලනය සඳහා සංචරණ සීමා පැනවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද වීරසූරිය මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ හෙට (25) පැවැත්වීමට නියමිත දැරණියගල සතිපොල ද තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.

ඉන්දීය මුහුදු සීමාව ආසන්නයේ ධීවර කටයුතුවල නිරතව යළි ගොඩබිමට පැමිණෙන ධීවරයින් අහඹු කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් බේරුවල ධීවර වරාය මගින් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, එම වරාය ආශ්‍රිතව ධීවරයන්, මත්ස්‍ය ව්‍යාපාරිකයින් ඇතුළු පිරිස් ඉලක්ක කර අද (24) දිනයේදී කොරෝනා පරීක්ෂණ 410 ක් සිදුකළ බවයි බේරුවල ධීවර වරායේ කළමනාකාර එරංග එඩ්වඩ් මහතා කියා සිටියේ.

++++++++++++++++++++

(24.04.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් කොවිඩ් ආසාදිතයන් බහුලව වාර්තාවන පසුබිමක එම වෛරසය ව්‍යාප්තවීමේ ක්‍රමවේදය පිළිබඳ ඊයේ (23) නව හෙලිදරව්වක් සිදු වුණා.

ඒ මෙරට ව්‍යාප්ත වන නව කොවිඩ් ප්‍රභේදය වාතය මගින්ද ව්‍යාප්ත විය හැකි බවටයි.

මෙරට ව්‍යාප්ත වූ පළමු සහ දෙවන කොවිඩ් රැල්ලේදී සෞඛ්‍ය අංශ සඳහන් කළේ, කොවිඩ් ආසාදිත පුද්ගලයෙකු ආශ්‍රිතයෙකු වීමෙන් හෝ ආසාදිතයෙකුගේ ප්‍රශ්වාස මගින් පිටවන බිඳිති ආඝ්‍රාණය කිරීමෙන් කොවිඩ් වෛරසය ආසාදනය වන බවයි.

නමුත් මේවන විට ව්‍යාප්තවන නව කොවිඩ් ප්‍රභේදය ඊට වෙනස්.

එහිදී තමන් කිසි දිනක දැක නොමැති ආසාදිතයෙකු මගින් හෝ වෛරසය ආසාදනය වීමේ හැකියාව පවතිනවා ෴

+++++++++++++++++++++

(24.04.2021 – 20:40 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 54 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 100,571 ක් ලෙසටයි.

අද (24) දිනයේ මේ දක්වා හමුවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 880 ක් ෴

@@@@@@@@@@@@@@@@@

(24.04.2021 – 13:59 +0530 – hirunews.lk/sinhala)

ඡන්ද පොරොන්දුවකට පමණක් සීමා වූ නුවරඑලිය – කර්ගස්වෝල්ඩ් වතුයායේ ඇති අබලන් පාලමක් ගැනයි අද (24) ‘රතු මිනිත්තුවේ’ අවධානය.

මේ නුවරඑළිය – නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට අයත් කර්ගස්වෝල්ඩ් වතුයායයි.

රමණීය සුන්දරත්වයකින් යුත් මෙම වතුයායේ ජීවත්වෙන ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය තේ කර්මාන්තයයි.

කෙසේවෙතත් ඔවුන්ට සිය දෛනික කටයුතු සඳහා බගවන්තලාව නගරයට පිවිසීමට ඇති එකම පාලම මේ වන විට පවතින්නේ දැඩි අබලන් තත්ත්වයකයි.

මීට වසර පහළොවකට (15) පමණ පෙර සිටම අබලන් තත්ත්වයේ පවතින මෙම පාලමෙන් ඇද වැටී බොහෝ දෙනෙකු තුවාල ලබා ඇති බව ද ප්‍රදේශවාසීන් පවසනවා.

එහෙත් තම ජීවිතවලට ඇති අවධානම ගැන ද නොසිතා පවුල් සියයක පමණ ජනතාවත් , පාසල් දරුවනුත් මෙම අබලන් පාලම භාවිත කරන්නේ තම කටයුතු සපුරා ගැනීමට වෙනත් විකල්පයක් නොමැති වීම හේතුවෙන්.

******************************************

(24.04.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

දිනෙන් දින යාවත්කාලීන වන තාක්ෂණයට ගැළපෙන පරිදි නව නිර්මාණ එළිදැක්වීම අප රට හමුවේ ද ඇති අභියෝගයක්.

එවැනි අභියෝගයකට සාර්ථකව මුහුණ දීමට වෙරදරන සිසුවෙකු පිළිබඳවයි මේ පුවත.

මේ, කොළඹ සිට කිලෝමීටර් 256 ක් දුරින් පිහිටි පොළොන්නරුව, වැලිකන්ද මධ්‍ය මහා විද්‍යාලයේ 13 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අංජන නිර්මාල්.

තාක්ෂණික අංශයෙන් ඉගෙනුම ලබන නිර්මාල් නියමුවන් රහිත ගුවන් යානා සහ ඩ්‍රෝන කැමරා නිර්මාණය කිරීමට​ සුවිශේෂී දක්ෂතා දක්වනවා.

ඔහුගේ අතින් මේ වනවිට එළිදක්වා ඇති එවැනි නිර්මණ සංඛ්‍යාව 15 කට ආසන්නයි.

******************************************

(24.04.2021 – 16:43 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව මේවන විට සැකකරුවන් 702 කට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ ඉන් සැකකරුවන් 202 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන බවයි.

තවත් සැකකරුවන් 83 ක් රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බව ද ඔහු සඳහන් කළා.

******************************************

(24.04.2021 – 18:15 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘රුවන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ ගේ තවත් සමීපතමයන් දෙදෙනෙකු (2) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (24) අත්අඩංගුවට ගත්තා.

ඔවුන් ‘මිදිගම සසංක’ සහ ‘රුවන්’ ලෙස හඳුනාගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මීට පෙර ද ‘හරක් කටා’ගේ ගෝලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැණුනා.

පසුගියදා පානදුර මධ්‍යම දූෂණ මර්දන කොට්ඨාශයේ නිලධාරීන් හොරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කිලෝග්‍රෑම් 45 ක හොරොයින් තොගය සම්බන්ධයෙන් ද ‘රුවන් චින්තක’ නොහොත් ‘හරක් කටා’ට චෝදනා එල්ල වුණා.

විදේශ ගතව සිටින ඔහු මියගිය පාතාල කල්ලි නායකයෙකු වන ‘අංගොඩ ලොක්කා’ගේ ප්‍රධාන පෙලේ ගෝලයෙකු ලෙසයි සැලකෙන්නේ.

අද (24) අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) ද වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කළා ෴

******************************************

(24.04.2021 – 19:13 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියුදීන් පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර හිමිවී තිබෙනවා.

පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබලදීම සහ ඔවුන් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මත පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා අද (24) අලුයම අත්අඩංගුවට ගනු ලැබුවේ ඔවුන්ගේ නිවෙස්වල සිටියදියි.

මේ අතර, පාස්කු බෝම්බ ප්‍රහාරයට අදාළව මේ වනවිට පුද්ගලයින් 702 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, 202 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

+++++++++++

******************************************

(24.04.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

ලිට්රෝ සමාගම අලුතින් හදුන්වා දුන් ගෑස් සිලින්ඩරය මගින් තාප ධාරිතාවයේ වෙනස් වීමක් සිදුවී ඇත්ද සම්බන්ධයෙන් තාක්ෂණික පරීක්ෂණයක් සිදු කිරීමට රාජ්‍ය ආයතන තුනක් වෙත යොමු කර ඇති බව පාර්භෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළා.

ලිට්රෝ ගෑස් සමාගම ගෘහස්ථ පරිභෝජනය සඳහා නව මුහුණුවරකින් ගෑස් සිලින්ඩරයක් වෙළඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් මතුව ඇතැයි හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අනාවරණය කළේ මීට පෙරයි.

ඒ අනුව කිලෝගෑම් 12.5 ක් ලෙස බර සඳහන් කරමින් නිකුත් කෙරුණු ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රුපියල් සියයක මිල අඩුකිරීමක් සමඟ ලීටර් 18 ක් ලෙස සටහන් කරමින් පසුගියදා වෙළඳපොළට නිකුත් කෙරුණා.

එහෙත් එම සිලින්ඩරයේ බර කිලෝග්‍රෑම් 02.17 ක් පමණ අඩු බවයි අනාවරණ වුණේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *