රථවාහන තදබදය මැද මතුවූ පොලිසියේ මනුස්සකම

රථවාහන තදබදය මැද මතුවූ පොලිසියේ මනුස්සකම

*********************************************

රථවාහන තදබදය මැද මතුවූ පොලිසියේ මනුස්සකම

(22.04.2021 – 18:40 +0530 – hirunews.lk/sinhala)

අද (22) පස්වරුවේ පාර්ලිමේන්තු මාර්ගයේ ධාවනය වෙමින් තිබු රථයක් හද්දීසියේ අබාධයකට ලක් වුණා ඒ එම රථයේ පසු පස ටයරයේ හුළං බැසිම හේතුවෙන්.

මෙම රිය ධාවනය කරේ තරමක් වයස් ගත කාන්තාවක්.

ඇය පත්වූ අපහසුතාව දුටු ඒ මොහාතේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි නිළධාරීන් යුහසුළුව ඇයට උපකාර කිරිමට ඉදිරිපත්ව සිටි අයුරු හිරු තෙවෙනි ඇස ගැටුණේ මෙලෙසින්.

පොලිස් නිලධාරීන් සහ පොලිස් සේවයේ අඩුපාඩුකම් පිළිබඳ සාමජයත් මාධ්‍යත් නිරන්තරයෙන් කථා කරනවා.

ඒ අතර වාරයේ පොලිසියට තුති පිදිය යුතු මේ අවසථාව පැහැර නොහරින්නත් හිරු ප්‍රවෘත්ති අංශය වග බලා ගන්නවා.

******************************************

(22.04.2021 – 19:54 +0530 – hirunews.lk/sinhala)

ගෘහස්ථ පරිභෝජනය සඳහා මෙතෙක් නිකුත් කළ ගෑස් සිලින්ඩරය වෙනුවට නව ගෑස් සිලින්ඩරයක් වෙළඳපොලට නිකුත් කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ගෑස් සැපයුම සිදුකරන ප්‍රධාන සමාගම් දෙකෙන් එක් සමාගමක් විසින් මෙලෙස නව ගෑස් සිලින්ඩරයක් හඳුන්වාදී ඇති බවටයි වාර්තා වන්නේ.

දැනට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය වෙනුවට, ගෘහස්ථ ලීටර් 18 ක් ලෙස සඳහන් කර නව ගෑස් සිලින්ඩරයක් වෙළඳපොලට නිකුත් කර ඇති බව සඳහන්.

එම ගෑස් සිලින්ඩරය සඳහා රුපියල් 100 ක මිල අඩු කිරීමක් ද සිදුකර තිබෙනවා. දැනට වෙළඳපොලේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් අලෙවි වන්නේ රුපියල් 1493 කටයි. ඒ අනුව, ලීටර් 18 ක් ලෙස සටහන් කර ඇති ගෑස් සිලින්ඩරයක් 1393 කට අලෙවි වනවා.

කෙසේ වෙතත්, කිලෝග්‍රෑම් වෙනුවට ලීටර් ලෙස සඳහන් කර වෙළඳපොලට ගෑස් සිලින්ඩර නිකුත් වීම පිළිබඳව පාරිභෝගික සේවා අධිකාරිය සොයා බැලීමක් ආරම්භ කර ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

එවන් පසුබිමකයි ප්‍රධාන ගෑස් සමාගම් විසින් ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බවට පවසමින් ගෑස් මිල වැඩි කිරීම සඳහා අවසර ඉල්ලා ඇත්තේ.

කෙසේ වෙතත්, පාරිභෝගික සේවා අධිකාරිය තවමත් ඊට අනුමැතිය ලබාදී නැහැ.

ගෑස් සමාගම් ප්‍රකාශ කරන්නේ ලෝක වෙළඳපොලේ ගෑස් මිල ඉහළ ගොස් ඇති බැවින් තමන්ට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රුපියල් 750 ක අලාභයක් සිදු වන බවයි.

මේ හේතුවත් සමඟින් වෙළඳපොලේ ගෑස් හිඟයක් නිර්මාණය වී ඇති බවට ද තොරතුරු වාර්තා වනවා ෴

******************************************

(22.04.2021 – 20:24 +0530 – hirunews.lk/sinhala)

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී හෙරොයින් ග්‍රෑම් 300 ක් සහ හෙරොයින් අඩංගු කුඩා පැකට් 700 ක් සමඟ සැකකරුවන් 04 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(22.04.2021 – 20:36 +0530 – hirunews.lk/sinhala)

යහපාලන ආණ්ඩු සමයේ අධිකරණයට කළ බලපෑම් හේතුවෙන් කිසියම් පුද්ගලයෙකුට අසාධාරණයක් සිදුවූයේනම් ඔවුන්ට කඩිනමින් සාධාරණය ඉටුවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළ කළේ අද (22) පාර්ලිමේන්තුවේදී දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව සම්බන්ධ විවාදයට එක්වෙමින්.

******************************************

(22.04.2021 – 20:55 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත සමග සංකල්පයක් ලෙස එකඟ වුවද පනත කෙටුම්පත් කිරීමේ අඩුපාඩු ගණනාවක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද (22) කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ වරාය නගරය වෙනම රාජ්‍යයක් බවට පත්වන්නේ පනතේ කුමන වගන්ති අනුවදැයි ඒ සම්බන්ධයෙන් චෝදනා නගන පිරිස වහාම රටට පැවසිය යුතු බවයි.

******************************************

(22.04.2021 – 21:15 +0530 – hirunews.lk/sinhala)

රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට අද (22) පැවැත්වූ විරෝධතවක් අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

ඒ එම පිරිස අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය උත්සහ කිරීමත් සමඟයි.

උපාධිධාරීන්ට වාර්ෂික රැකියා ලබාදීමේ වැඩපිළිවෙල සකස් කිරීම, වයස අවුරුදු 45 ඉක්ම වූ උපාධිධාරීන්ට සාධාරණයක් ඉටු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රැකියා විරහිත උපාධිධාරී ඒකාබද්ධ මධ්‍යස්ථානය මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටි විරෝධතාකරුවන්ට පොලිසිය දැනුම් දුන්නේ එම ස්ථානයෙන් ඉවත්ව උද්ඝෝෂණ සඳහා වෙන්කර ඇති ස්ථානය වෙත යන ලෙසයි.

පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණේ එම අවස්ථාවේදීයි.

වගකිවයුතු නිලධාරියෙකු සමඟ සාකච්ඡාවක් ලබා දෙන බවට පොලිසිය ලබාදුන් පොරොන්දුවත් සමඟ විරෝධතාකරුවන් උද්ඝෝෂණ ස්ථානය වෙත ගමන් කළ අතර විරෝධතාකරුවන් අතරින් කිහිප දෙනෙකුට සාකච්ඡාවක් සඳහා අවස්ථාව හිමිවුණා.

******************************************

(22.04.2021 – 21:21 +0530 – hirunews.lk/sinhala)

වියළි මිදි බව පවසා ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බහාලුමක තිබී වියළි කහ කිලෝ 6885ක් සොයාගෙන ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසනවා.

ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ බහලුම් 4 ක් පරීක්ෂා කිරීමේදී වියළි මිදි ඇසුරුම් තුළ සැඟවූ වියළි කහ තොගයක් සොයා ගැනීමට ඊයේ (21) ශ්‍රී ලංකා රේගුව සමත්වුණා.

ඊයේ (21) එම එක් බහාලුමක තිබී හමුවූ කහ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6.4 ක් ෴

******************************************

වේපත්අංග ගම්මානයේ නිවසක අද්භූත සිදුවීමක්

(22.04.2021 – 22:53 +0530 – hirunews.lk/sinhala)

වාරියපොල – වේපත්අංග ගම්මානයේ නිවසකට අමනුෂ්‍ය බලවේගයකින් බලපෑම් එල්ල වන බවට නිවැසියන් හා ගම්වාසීන් පවසනවා.

නිවැසියන් පවසන්නේ දින 5 ක පමණ සිට අත්විඳින අද්භූත සිදුවීම් ගම් වැසියන්ද භීතියට පත්කර ඇති බවයි.

පසුගිය 17 වැනිදා සිට මෙම අමනුෂ්‍ය බලවේගය ඒල්ල වී ඇති බව පැවසෙන්නේ වාරියපොල – වේපත්අංග ගම්මානයේ පිහිටා ඇති නිවසකටයි.

මේ හේතුවෙත් බියපත්ව ඇති ඒම ගම්මානයේ වැසියන් සොයා ‘හිරු ප්‍රවෘත්ති’ මෙලෙස ගමන් ආරම්භ කළා.

ඒහිදී හෙළිවුයේ අමනුෂ්‍ය බලපෑම ඒල්ල වී ඇති බව කියන නිවසේ මව, දියණිය, දියණියගේ සැමියා හා ඥාති දැරියක වාසය කරන බවයි.

ඔවුන් අළුත් අවුරුදු සමයේ දිනකිහිපයක් නිවසෙන් බැහැරව සිට නැවත පැමිණ ඇත්තේ පසුගිය 17 වැනිදායි.

නිවසට පැමිණි අවස්ථාවේ ඔවුන් අද්භූත සිදුවීම් කිහිපයකට මුහුණ දී තිබෙනවා.

ඇය පවසන්නේ එදින සිට දිනපතා නිවසේ විවිධ ස්ථානවලට ලේ කැටි වැනි යම් ද්‍රව්‍යයක් නිරන්තරයෙන් පතිතවන බවයි.

මෙම සිදුවීම් හරහා ඇගේ විවාහක දියණියද දැඩි කම්පනයකට පත්ව සිටිනවා.

නිවැසියන් පවසන්නේ දින 05 ක සිට තමන් මුහුණ දෙන මෙම අද්භූත සිදුවීම් තවමත් නිමා වී නොමැති බවයි.

1:52 සිට 1:55 දක්වා ඈත නිවසේ පෙනෙමින් නොපෙනීයන රතු ඇඳගත් රූපය කුමක්ද ?

******************************************

(22.04.2021 – 23:25 +0530 – hirunews.lk/sinhala)

රසායනික පොහොර ආනයනය ඉදිරි කෙටි කාලය තුළදී සම්පූර්ණයෙන් නතර කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

රසායනික පොහොර භාවිතයෙන් ඉහළ අස්වැන්නක් ගත හැකි වුව ද වැව්, ඇලවේලී සහ භූගත ජලය දූෂණයෙන් ජීවිතවලට වන හානිය එම ලාභයෙන් පියවිය නොහැකි බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

රසායනික පොහොරවල බලපෑම වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකට හේතු වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

ප්‍රතිකාර සඳහා වැයවන මුදල සහ ජිවිතවලට වන බලපෑම ඉහළ වන අතර නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහි කිරීමටනම් රජය විසින් වස විසෙන් තොර ආහාර වේලක් සඳහා ජනතාවට ඇති අයිතිය සහතික කළ යුතු බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

ඒ වෙනුවෙන් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

අද (22) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී රාජ්‍ය සංස්ථා සහ ව්‍යස්ථාපිත මණ්ඩලවල ප්‍රධානීන් සමග පැවති හමුවේදීයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ.

මෙරට කාබනික පොහොර නිෂ්පාදනය ඉහළ නැංවීමට සියලු පාර්ශ්ව මැදිහත් විය යුතු වනවා.

පොහොර සහනාධාරය වෙනුවට කාබනික පොහොර ලබාදීමට සැලසුම් කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

වාර්ෂිකව පොහොර ආනයනය සදහා වැය කෙරෙන ඩොලර් මිලියන 400 ක මුදල ජන ජීවිතය නගා සිටුවීමට යොදාගත හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

තමා බලයට පත් කිරීමෙන් ජනතාව ප්‍රතිපත්තිමය වෙනසක් අපේක්ෂා කළ අතර රට වෙනුවෙන් එම අපේක්ෂා ඉටු කර ගැනීමට සියලුදෙනාගේ සහය අවශ්‍ය බව ද ජනාධිපතිවරයා කියා සිටියා ෴

******************************************

(23.04.2021 – 06:18 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ දී අත් අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ධීවරයින් 12 දෙනා අද (23) දිවයිනට ගෙන්වා ගැනිමට විදේශ අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා .

මියන්මාර රජය සමඟ පැවැති සාකච්ඡා වට කීපයකින් පසුව මෙම ධීවරයන් නිදහස් කර ගැනීමට හැකි වූ බවයි විදේශ අමාත්‍යංශය සදහන් කරන්නේ.

මේ අනුව අද (23) දින මියන්මාරයේ යැංගන් සිට සිංගප්පූරු ගුවන් සේවයට අයත් Q761 යානයෙන් සිංගප්පූරුවට පැමිණෙන මෙම පිරිස එතැන් සිට Q 468 දරන ගුවන් යානයෙන් කොළඹට රැගෙන ඒමට නියමිතයි.

මෙසේ මියන්මාරයේ අත් අඩංගුවෙන් මිදී ඇත්තේ ඒ.සී.අයි.ප්‍රනාන්දු, එල්.ඒ.නිර්මිත ශ්‍රීලාල්, එච්.එස්.චමින්ද, එච්.එස්. ජයන්ත, ඩී.කේ.එස්.එස්.හේමචන්ද්‍ර, ඩී.එම්.කේ.මධුශංක, කේ.එම්.ප්‍රනාන්දු, එස්.නානායක්කාර, ඩබ්ලිව්.එන්.ප්‍රනාන්දු, ටී.කේ.එන් පීරිස්, ජේ.කේ.එස්.ලාල් පෙරේරා, සහ ඩබ්ලිව්.ඒ එස්.ප්‍රනාන්දු යන අයයි.

මෙසේ ලංකාවට පැමිණෙන මෙම ධීවරයන් නිරෝධායන නීතිය යටතේ නිරෝධායනය කීරිමට ද කටයුතු සුදානම් කර තිබෙන බවයි විදේශ අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ත්‍රිකුණාමල වරායෙන් නික්මුණු මෙම ධීවර යාත්‍රා මියන්මාර මුහුදු සීමාවට ගොස් ඇත්තේ දිය රළකට හසුවී ගසාගෙන යාම හේතුවෙන්.

පසුව ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට ඒ පිළිබදව දැනුම් දීමත් සමඟයි පසුගිය මාර්තු මස 13 වන දා මෙම ශ්‍රී ලාංකික ධීවරයින් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මුලින්ම අනාවරණ කළේ ෴

******************************************

සහරාන්ගේ පන්තිවලට ගිය තවත් 3 ක් අත්අඩංගුවට

(23.04.2021 – 06:34 +0530 – hirunews.lk/sinhala)

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා එල්ලවූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ ප්‍රධානියා වන සහරාන් හෂීම් විසින්, ඔහුගේ අනුගාමිකයන් යොදවා මෙහෙයවූ අන්තවාදී දේශනවලට සහභාගී වූ 03 දෙනෙකු කුලියාපිටිය කැකුණගොල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකරුවන් තිදෙනා වයස අවුරුදු 40, 52 සහ 55 හැවිරිදි වියේ පසුවන්නන් බවයි සඳහන් වන්නේ.

ඒ අතර සහරාන් හෂීම් ගේ බිරිඳගේ පියා ද සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එම සැකකරුවන් ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාශය වෙත රැගෙනවිත් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ සැකකරුවන් තිදෙනා (3) රඳවාගෙන ප්‍රශ්න කෙරෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

******************************************

(23.04.2021 – 08:01 +0530 – hirunews.lk/sinhala)

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය ප්‍රකාශ කළා.

ආමර් වීදිය, බාබර් වීදිය, ග්‍රෑන්ඩ්පාස් – ලෙයාඩ්ස් බ්‍රෝඩ්වේ මාර්ගය සහ හයිලෙවල් මාර්ගයේ තුම්මුල්ල ප්‍රදේශයේ මෙලෙස දැඩි රථ වාහන තදබදයක් පවතිනවා.

මේ අතර, දිවයිනේ ප්‍රදේශ රැසකට අද (23) දිනයේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකියි.

******************************************

(23.04.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ ඉන් පිටතදී හැසිරිය යුතු ආකාරය සම්බන්ධයෙන් යළි සිහි කැඳවීම් කෙරෙන නිවේදනයක් කතානායකවරයාගේ උපදෙස් අනුව ලබාදෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා.

එය කතානායකවරයාගේ නිවේදනයක් ලෙස ලබන මස මුල් සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සතියේදී භාෂා ත්‍රිත්වයෙන්ම ලබාදීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ.

ඒ අනුව සභාවේ කටයුතු පැවැත්වෙන අවස්ථාවලදී මන්ත්‍රීවරුන් කටයුතු කළ යුතු ආකාරය ඇතුළු කරුණු කිහිපයක් යටතේ අදාළ නිවේදනය ලබාදෙනු ඇති.

එසේම, කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳවද එමඟින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරටම පිළිපදින ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා එහි කාර්ය මණ්ඩලයටද දැනුම් දී ඇති බව සඳහන්.

මේ අතර, පාර්ලිමේන්තු සභාවේ 07 වන රැස්වීම අද (23) දහවල් පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ප්‍රකාශ කළා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද එක්වීමට නියමිතයි.

ඊට අමතරව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ද ඊට එක්වනු ඇති ෴

@@@@@@@@@@@@@@@

(22.04.2021 – 18:21 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය පොලිස් වසම අද (22) මධ්‍යම රාත්‍රියේ සිට හුදෙකලා කරන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

එම ප්‍රදේශයේ පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ ෴

++++++++++++++++++++

(22.04.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් අවදානම හේතුවෙන් කුලියාපිටිය පොලිස් වසම අද (22) මධ්‍යම රාත්‍රියේ සිට හුදෙලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

මේ අතර, අද (22) දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 520 ක් වාර්තා වූ අතර, ගතවූ පැය 24 තුළත් ආසාදිතයින් 578 දෙනෙක් වාර්තා වුණා.

අවුරුදු සමයෙන් පසු මෙරට කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමට හේතුව නව ප්‍රභේදයක්ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති සියළු ඇදන් මේ වන විට රෝගීන්ගෙන් පිරී පවතින බව වාර්තා වනවා.

කෙසේ වෙතත් රෝහල් බලධාරියෙකු හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළේ එය රෝහල් කටයුතු සඳහා බධාවක් නොවන අතර ඔක්සිජන් හෝ ඖෂධවලද කිසිදු හිගයක් නොමැති බවයි.

අද (22) දිනයේ මේ දක්වා මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයින් 520 ත් සමගින් මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 98,570 ක් ලෙසයි.

පසුගිය පෙබරවාරි මාසයෙන් පසු දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව යළි 500 සීමාව ඊයේ (21) විශේෂත්වයක්. ඒ අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 171 ක්.

කුරුණෑගලින් වාර්තා වූ මෙම ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තාවන්නේ වැල්ලව ප්‍රදේශයෙන්. එම සංඛ්‍යාව 100 ක්.

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ කුරුණෑගල, කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ගාල ග්‍රාම නිලධාරී වසම හුදෙකලා කෙරුණා.

මේ අතර, කුලියාපිටිය පොලිස් වසමද අද (22) මධ්‍යම රාත්‍රි යේ සිට හුදෙකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

මේ අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයට බලපා ඇති කොවිඩ් අවදානම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් අද (22) උදෑසන රැස්වීමක් පැවැත්වුණා.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය අස්වැන්නවත්ත ප්‍රදේශයේ පසුගිය 15 වැනිදා පැවති අවුරුදු උත්සවයක් ආශ්‍රිතව ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගැනීමත් සමග සිදුකළ කොවිඩ් පරීක්ෂණවලින් තවත් ආසාදිතයින් 24 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අම්බුළුවාවේ විනෝද චාරිකාවක් ගිය දිවුලපිටිය – මැල්ලවගෙදර ප්‍රදේශයේ පුද්ගලයින් 42 කටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි දිවුලපිටිය, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ.

මේ අතර යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් 11 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. කේදීස්වරන් මහතා පවසනවා.

දික්ඔය මූලික රෝහලේ හෙදියකට (1) සහ ඇයගේ පුතුන් දෙදෙනාටත් (2) කොවිඩ් ආසාදනය වීමත් සමඟ ඇයගේ පුතුන් දෙදෙනා (2) අධ්‍යාපනය ලැබූ හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ ළමුන් 107 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මෙරට සියලුම විශ්වවිද්‍යාල ආරම්භය තවත් සති දෙකකින් (2) කල් දැමීමට තීරණය තර තිබෙනවා.

ලබන 27 වැනිදා මෙරට විශ්වවිද්‍යාල ආරම්භ කිරීමටයි මීට පෙර තීරණය කර තිබුණේ. කෙසේ වෙතත් පවතින තත්ත්වය හමුවේ පාසල් වසා දැමීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණය කර නැහැ.

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 137 ක් වාර්තාවී තිබෙනවා ෴

++++++++++++++++++

(22.04.2021 – 21:05 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 634 ක් ලෙසටයි.

++++++++++++++++++

(23.04.2021 – 06:51 +0530 – hirunews.lk/sinhala)

මේ මොහොතේ සිට කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුඹුක්ගැටේ පොලිස් වසමට අයත් නිරාවිය ග්‍රාම නිලධාරී කොට්ඨාශය සහ වැල්ලව පොලිස් වසමේ නිකදළුපොත ග්‍රාම සේවා කොට්ඨාශය හුදෙකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එසේම, කොරෝනා රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වී ඇති කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට හුදකලා කිරීමට පියවර ගැනුණා.

කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ කුරුණෑගල, කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ගාල ග්‍රාම නිලධාරී වසමද මීට පෙර හුදෙකලා කෙරුණා.

මේ අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයට බලපා ඇති කොවිඩ් අවදානම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ද පැවැත්වුණා.

එසේම මේ වනවිට අවුරුදු සමයෙන් පසු මෙරට කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමට හේතුව නව ප්‍රභේදයක්ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලේ කොවිඩ් රෝගීන් සඳහා වෙන් කර ඇති සියළු ඇඳන් මේ වන විට රෝගීන්ගෙන් පිරී පවතින බව වාර්තා වනවා.

කෙසේ වෙතත් රෝහල් බලධාරියෙකු හිරු ප්‍රවෘත්ති වෙත ප්‍රකාශ කළේ එය රෝහල් කටයුතු සඳහා බාධාවක් නොවන අතර ඔක්සිජන් හෝ ඖෂධවලද කිසිදු හිගයක් නොමැති බවයි.

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය අස්වැන්නවත්ත ප්‍රදේශයේ පසුගිය 15 වැනිදා පැවති අවුරුදු උත්සවයක් ආශ්‍රිතව ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගැනීමත් සමග සිදුකළ කොවිඩ් පරීක්ෂණවලින් තවත් ආසාදිතයින් 24 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

අම්බුළුවාවේ විනෝද චාරිකාවක් ගිය දිවුලපිටිය – මැල්ලවගෙදර ප්‍රදේශයේ පුද්ගලයින් 42 කටද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි දිවුලපිටිය, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසන්නේ.

මේ අතර යාපනය පොලිස් ස්ථානයේ නිලධාරීන් 11 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ඒ. කේදීස්වරන් මහතා පවසනවා.

දික්ඔය මූලික රෝහලේ හෙදියකට (1) සහ ඇයගේ පුතුන් දෙදෙනාටත් (2) කොවිඩ් ආසාදනය වීමත් සමඟ ඇයගේ පුතුන් දෙදෙනා (2) අධ්‍යාපනය ලැබූ හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ ළමුන් 107 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා ෴

+++++++++++++++++++

(23.04.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

අද (23) දිනය මාර්ග ආරක්ෂාව පිළිබඳව වැඩි අවදානමක් යොමුකළයුතු දිනයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඒ එළඹෙන දීර්ඝ සති අන්තය හේතුවෙන් ජනතාව විවිධ ප්‍රදේශවලට ගමන් කිරීමට පෙළඹීම හේතුවෙන්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ මේ වනවිට කොවිඩ් අවදානම ඉතා වැඩි වී ඇති බැවින් එළඹෙන දීර්ඝ සති අන්තයේ ඒ පිළිබඳවද විශේෂ අවදානයක් යොමුකළ යුතු බවයි.

යම් යම් ස්ථානවල පොකුරු සහ අනු පොකුරු නිර්මාණය වෙමින් පවතින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

ඒ අනුව මාර්ග නීති පිළිබඳවද සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳවද ජනතාව වැඩි සැළකිල්ලක් දැක්විය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා දැනුම්දෙන්නේ.

එහිදී විශේෂයෙන් මුහුණු ආවරණ පැළඳීම දුරස්ථභාවය තබාගැනීම අත් පිරිසිදු කරගැනීම ආදී කාරණා සෑම අවස්ථාවකම සිදුකළ යුතු වනවා.

මේ අතර බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ද ශ්‍රී ලංකා පොලිසිය විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ෴

+++++++++++++++++

(23.04.2021 – 08:23 +0530 – hirunews.lk/sinhala)

වත්තල – හැඳල ප්‍රදේශයේ පසුගියදා පැවති විවාහ මංගල උත්සවයක මනාල යුවලට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව එම උත්සවයට එක්වූ පවුල් 40 ක පුද්ගලයින් 120 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට යොමුකිරීමටයි ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන ඇත්තේ.

මනාල යුවල හැඳල – වැලිඅමුණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, මනාලියගේ නැගණියටද මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

මේ අතර, විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් නිරෝධායනය කිරීමේ ක්‍රමවේදය යළිත් ඇගයීමකට ලක් කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියා.

ඊයේ (22) දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිත මරණ 05 ක් වාර්තා වුණා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මොරටුව ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙක්, මහනුවර පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙක්, පෑලියගොඩ පදිංචි 71 හැවිරිදි පුද්ගලයෙක්, කොට්ටමුල්ල ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පුද්ගලයෙක් සහ නාරාහේන්පිට පදිංචි 77 හැවිරිදි කාන්තාවක් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 634 ක්.

පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව ඊයේ (22) දිනයේදී යළිත් මෙරටින් කොරෝනා ආසාදිතයින් 600 ඉක්මවා වාර්තා වුණා.

ඒ අනුව ඊයේ (22) මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 672 ක්.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 98,722 ක් ලෙස දැක්වෙන අතර, ආසාදිතයින් 93,884 ක් සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 4,204 ක් පමණයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *