වර්ධනය වෙමින් පවතින කොවිඩ්-19 පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැඩි තීරණ රැසක්

වර්ධනය වෙමින් පවතින කොවිඩ්-19 පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැඩි තීරණ රැසක්

*********************************************

වර්ධනය වෙමින් පවතින කොවිඩ්-19 පාලනයට සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැඩි තීරණ රැසක්

(21.04.2021 – 17:32 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් එය පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව දැඩි තීන්දු තීරණ ගැනීමට ‘විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව’ තීරණය කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය කියාසිටියේ පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොරෝනා වෛරසය පැතිර යාමේ අවධානමක් පවතින බවයි.

ඒ අනුව අද රැස්වූ කමිටුව තීරණය කර ඇත්තේ : දැඩි සත්කාර ඒකකවල ඇඳන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) ‘හයි ෆ්ලෝ’ ඔක්සිජන් ලබා දීම, දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම සහ වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇදුම් වැඩිපුර ලබා දීම යි.

එමෙන්ම කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැළසුම් සකස් කිරීම, ඉදිරියේදී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හඳුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම, කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතරතුර දෛනිකව අනෙකුත් රෝග සඳහා ද රෝහල් ගතවන රෝගීන්ට ලබාදෙනු ලබන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම ද තීරණය වී තිබෙනවා.

PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000 ක් දක්වා වැඩි කිරීම සහ නිරෝධායනය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම සාකච්ඡා වී ඇති අනෙක් කරුණු වනවා.

විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම ද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව තීරණය කර ඇති කරුණක්.

+++++++++++++++++

(21.04.2021 – 20:22 +0530 – hirunews.lk/sinhala)

පැතිර යන කොවිඩ් අවදානම පාලනය කිරීම සඳහා රජය දැඩි තීන්දු රැසක් ගැනීමත් සමඟ ‘හිරු ප්‍රවෘත්ති’ කොළඹ අයි.ඩී.එච් රෝහලේ තත්ත්වය සොයා බැලීමට එහි ප්‍රකාශකයෙකු සම්බන්ධ කරගත්තා.

ඔහු අප සමග පැවසුවේ අයි.ඩී.එච් රෝහල සැම විටම ප්‍රතිකාර කරනු ලබන්නේ අනිකුත් රෝහල් වලින් සිය රෝහල වෙත එවනු ලබන අසාධ්‍ය රෝගීන් සඳහා බවයි.

එමෙන්ම පසුගිය දින කීපය තුල මෙලෙස රෝහලට රැගෙන එන රෝගීන්ගේ සංඛ්‍යාත්මක වර්ධනයක් දක්නට හැකි බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මේ වන විට රෝහලේ දැඩිසත්කාර ඒකකය උපරිම ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බවයි.

කෙසේ වෙතත් කෝවිඩ් දෙවැනි රැල්ලක් මතුවීමේ අවදානමක් පිළිබඳව අනතුරු ඇඟවීමට තවමත් කල් වැඩි බව සඳහන් කල ඔහු පවසන්නේ ජනතාව කොවිඩ් නීති රීති වලට දැඩිව අනුගත විය යුතු බවටයි ෴

+++++++++++++++++

(21.04.2021 – 21:23 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 5 ක් වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 630ක් ලෙසටයි. මියගොස් ඇත්තේ අවුරුදු 75, 80, 57, 66 සහ 39 වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් 5 දෙනෙක්. ඔවුන් සෙවණගල, ජාඇල, කැළණිය, රත්නපුර සහ ගම්පහ ප්‍රදේශවල පදිංචිකරුවන්.

++++++++++++++++++++

(21.04.2021 – 21:30 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ගල ග්‍රාම නිලධාරී වසම (GN442) වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා ෴

@@@@@@@@@@@@@@@

(21.04.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීම තුන්වන (3) දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (21) සිදුවුණා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.

අතරමැදි පෙත්සම්වලට අදාළව කරුණු දැක්වීම අද සිදුවූ අතර පෙත්සම් යළි හෙට (22) පෙරවරු 09:30 ට සලකා බැලීමට නියමිතයි.

මෙහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මුලින්ම අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළා.

කොළඹ වරාය නගර ආර්ථික කලාප සංකල්පයට එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පාර්ශව විරුද්ධත්වය පළ කර නොමැති බව ප්‍රකාශ කල ඔහු මෙම පනත් කෙටුම්පත පිළිබඳව පවතින වැරදි වටහා ගැනීම් හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගතව තිබෙන බව පැවසුවා.

මෙම ක්‍රියාවලියේ පවතින වරද කුමක් දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වරාය නගර කලාපයේ කටයුතුවලට අවසන් වශයෙන් ජනාධිපතිවරයා වගකීමට බැඳී සිටින බව පෙන්වා දුන්නා.

මෙහිදී අගවිනිසුරුවරයා මතු කළ ප්‍රශ්ණයකට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥවරයා යෝජිත කොමිසමේ සාමාජිකයන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් ගැටලු‍වක් පවතී නම් ඕනෑම අයෙකුට මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරිමට හැකියාව පවතින බව ද සඳහන් කළා.

මේ අතර, වරාය නගරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන පනත් කෙටුම්පත වෙනුවට උපරිම ප්‍රතිලාභ ශ්‍රී ලංකාවට අත්වන අයුරින් නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ සඳහන් කළේ වරාය ව්‍යාපෘතිය හෙලා දැකීමක් නොකරන අතර, නව කෙටුම්පතක් සකස් කිරීමේදී දේශහිතෛශී උගතුන්ගේ සහභාගිත්වය ලබා ගත යුතු බවයි.

උන්වහන්සේ අදාළ කෙටුම්පතට සංශෝධන 11 ක් ද යෝජනා කර තිබෙනවා.

එහි එක් කරුණක දැක්වෙන්නේ වරාය නගරය තුල ඇති රැකියා අවස්ථාවලින් අවම වශයෙන් සියයට 70 ක් ශ්‍රී ලංකා පුරවැසියන්ට ලබාදිය යුතු බවයි.

******************************************

(21.04.2021 – 17:24 +0530 – hirunews.lk/sinhala)

මහජන සේවා සැපයෙන රාජ්‍ය ආයතනවලින් ජනතාව අපේක්ෂා කරන කාර්යය ඉටු කර ගැනීමට නොහැකිය යන චෝදනාවට තිත තැබිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (21) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ මාසිකව පැවැත්වෙන සමාලෝචන රැස්වීමට එක්වෙමින්.

ඇතැම් ආයතන ප්‍රධානීන් නිසි ලෙස කාර්යයන් ඉටු නොවීම පිළිබඳව වාර්තාවී ඇති අතර, රජයේ අපේක්ෂිත ඉලක්ක වෙත ළගා වීමට නොහැකි වී ඇති එවැනි ආයතන පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසටයි ජනාධිපතිවරයා එහිදී රාජ්‍ය අමාත්‍යවරුන්ට දැනුම් දී ඇත්තේ.

******************************************

(21.04.2021 – 19:07 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයෙන් දිවි අහිමිවූ පිරිස් සිහිපත් කරමින් දිවයින පුරා දේවස්ථානවල සැමරුම් සිදුකෙරෙද්දී යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින් ඇතැම් ප්‍රදේශවල විරෝධතා ද පැවැත්වුණා. ඒ සඳහා සර්වාගමික නායකයින් එක්ව සිටීම විශේෂත්වයක්.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේදී පහනක් දල්වා පාස්කු ඉරුදින ප්‍රහාර මාලාවෙන් දිවි අහිමිවූවන් සිහිපත් කළා.

එමෙන්ම, පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වූ කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය ඇතුළු තවත් ස්ථාන කිහිපයක ද අනුස්මරණ උත්සව පවත්වා තිබෙනවා.

මීගමුව, වෙන්නප්පුව, මාතලේ ඇතුළු ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුණේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලමින්. මීගමුව, මාරිස්ටෙලා විද්‍යාලය අසල සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා පැවති නිහඬ විරෝධතාවයක් ද අද (21) පස්වරුවේ පැවැත්වුණා.

ඒ සඳහා දිවයිනේ සියලුම රදගුරුවරුන් මෙන්ම පූජකවරුන් සහ ස්වාමින් වහන්සේ ඇතුළු ආගමික නායකයින් එක්ව සිටි බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, කටුවාපිටිය දේවස්ථානය ආසන්නයේ බාල්දි හන්දියේ ශාන්ත අන්තෝනි ප්‍රතිමාව අසලද අද (21) විරෝධතාවක් පැවැත්වුණා.

‘මීගමුව පුරවැසි එකමුතුව’ විසින් මෙය සංවිධානය කර තිබූ අතර, ඊට පියතුමන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මේ අතර පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සහන සැලසීම සඳහා විදෙස් රටවලින් සහ විවිධ සංවිධානවලින් ලැබුණු රුපියල් බිලියනයක මුදල එම වින්දිතයන්ට ලබාදී නොමැති බව පවසමින් පරීක්ෂණයක් ඉල්ලා ජාතික විද්වත් සංඝ සභාව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකළා.

එමෙන්ම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කර දෙන ලෙස ඉල්ලමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් කොළඹ නගරයේ ප්‍රදර්ශනය කළ පෝස්ටර් ඊයේ (20) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගලවා ඉවත් කර ඇති බවට පවසමින් අද (21) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ගොනුකර තිබෙනවා.

+++++++++++

(21.04.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

ලොවම කම්පා කරමින් 2019 වසරේ අද (21) වැනි දිනෙක සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් (2) සපිරෙන අද (21) ඒ වෙනුවෙන් විවිධ අනුස්මරණ උත්සව පැවැත්වුණා.

මිනිස් ජීවිතයක වටිනාකම දන්නා රට පුරා ජනතාව පෙරවරු 08:45 සිට මිනිත්තු දෙකක (2) නිහැඬියාවක් රකිමින් ප්‍රහාරයෙන් මියගිය අපේම ජනතාව සිහිපත් කළා.

මීට දෙවසරකට (2) පෙර අද (21) වැනි දිනෙක පෙරවරු 08:45 ට කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයටත්, කටුවාපිටිය ශාන්ත සෙබෙස්තියන් දේවස්ථානයටත්, පෙරවරු 09:10 ට මඩකලපුව සියෝන් දේවස්ථානයටත් අන්තවාදයේ බැඳුණු ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළා.

කිංග්ස්බරි, ෂැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්ද ප්‍රහාරයේ ඉලක්ක වූ අතර, දෙහිවල ට්‍රොපිකල් ඉන් ලැඟු‍ම්හලේ මෙන්ම දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසකද පිපිරීම් සිදුවුණා.

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 දෙනෙකුට දිවි අහිමි වූ අතර, තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 596 ක්. පූර්ණ කාලීනව ආබාධිත තත්ත්වයට පත්වූ පුද්ගලයින් 17 දෙනෙකු ඒ අතර වනවා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවෙන් දිවි අහිමි වූවන් සිහිකරමින් පෙරවරු 08:45 ට විනාඩි දෙකක (2) නිශ්ශබ්දතාවයක් පවත්වනු ලැබුවා. ඊට සමගාමීව දේවස්ථානවල සීනු නාද කිරීම ද සිදු කෙරුණා.

මේ අතර, දිවයින පුරා සියලුම දේවස්ථානවල ඊයේ (20) පස්වරුවේ සිට විවිධ දේව මෙහෙයන් පැවැත්වුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම, අද (21) උදෑසන ද සියලුම දේවස්ථානවල මෙන්ම විහාරස්ථානවල ද මීට සමගාමීව මියගිය අය සිහි කර ආගමික වතාවත් සිදුකෙරුණා.

දිවි අහිමි වූවන් සිහි කර කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සර්ව ආගමික වැඩසටහනට මහා සංඝරත්නය, අනෙකුත් ආගමික පූජකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එසේම, ඊට ශ්‍රී ලංකාවේ වතිකානු තානාපතිවරයා, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිවරයා, ඉන්දියානු මහකොමසාරිස්වරයා ඇතුළු තානාපතිවරුන් සහ කලාකරුවන් මෙන්ම මියගිය අයගේ ඥාතීන් සහ ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ද එක්ව සිටියා.

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අනුස්මරණ උත්සවය අමතමින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ වහාම ක්‍රියාවට නංවන ලෙස ඉල්ලා සිටියා.

අනතුරුව බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහිකරමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී දිව්‍ය පූජා යාගය පැවැත්වුණා.

බෝම්බකරුවන්ගේ ගොදුරක් වූ මඩකලපුව සියෝන් දේවස්ථානයේදී ද අද (21) විශේෂ දිව්‍ය පූජා යාගයක් පැවැත්වුණු අතර, පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාවේ තවත් ඉලක්කයක් වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීද ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කෙරුණා.

එහිදී දේවස්ථානයට ඇතුළුවන ස්ථානයේ තොරණ ඉදිකර තිබුණේ එම දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරයේදී මියගිය පිරිසගේ ඡායාරූප යොදාගනිමින්.

ප්‍රහාරයෙන් දිවි අහිමි වුවන් සිහිපත් කිරීමේ ගමන් චාරිකාවක් අද (21) පස්වරු 03:00 ට මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන් ආරම්භ වූණේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

කාදිනල් හිමිපාණන් රදගුරු හිමිවරුන් සමඟ කටුවාපිටිය දේවස්ථානයේදී දිවි අහිමි වූවන් මිහිදන් කළ සෙල්ලකන්ද හා ඩේවිඩ්වත්ත සුසාන භූමි වෙතද පැමිණියා.

එහිදි කාදිනල් හිමිපාණන් විසින් සුසාන භූමියේ ස්ථාපිත නව දේවස්ථානය ආසිරි ගැන්වීමද සිදු කළා ෴

******************************************

(21.04.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සහ පීඩාවට පත් පිරිස සිහි කර අද (21) පාර්ලිමේන්තුවේදී ද විනාඩියක නිහැඩියාවක් ආරක්ෂා කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ විශේෂ ප්‍රකාශයෙන් පසුව කළ ඉල්ලීමකට අනුවයි.

අද (21) ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් කළු පටි පැළද සභාවට පැමිණ සිටි අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කළු පැහැති ඇඳුම්වලින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.

අනතුරුව, දේශපාලන පළි ගැනීම් පිළිබද ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රශ්න කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ අතරතුර, ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ වචන හුවමාරුවක නිරත වූ බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඇතැම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂයට විරෝධය පළ කරමින් පුවරු අතැතිව සභා ගර්භයට පැමිණ තිබුණා.

දෙපාර්ශවය අතර වචන හුවමාරුව ගැටුම්කාරි තත්ත්වයක් දක්වා දුරදිගගොස් තිබූ අතර, එහිදී ඇතිවූයේ දැඩි උණුසුම් තත්ත්වයක්.

සභාවේ කටයුතු පාලනය සඳහා කතානායකවරයා පාර්ලිමේන්තු කටයුතු මිනිත්තු 10 කට අත්හිටුවනු ලැබුවා.

අනතුරුව, සභා ගර්භයෙන් එලියට පැමිණි ඇතැම් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් අතර, සංවාදාත්මක තත්ත්වයක් ඇතිව තිබූ අතර, පාර්ලිමේන්තු සංකීර්ණයේ වෛද්‍ය ශාලාව අසලදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු සහ ජානක තිස්ස කුට්ටිආරච්චි අතර ගැටුම්කාරිත්වයක් ඇති වූ බවයි හිරු පාර්ලිමේන්තු වාර්තාකරු ප්‍රකාශ කළේ.

******************************************

(21.04.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

වියලි මිදි බව පවසා ඉන්දියාවෙන් ආනයනය කළ බහාලුමක තිබී, වියලි කහ කිලෝග්‍රෑම් 7110 ක් සොයා ගැන තිබෙනවා.

තවත් බහාලුම් 3 ක් ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි රේගුව සඳහන් කළේ ෴

******************************************

(21.04.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළි පහත වැටීමක් අද දක්නට ලැබුණු අතර, මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 200.90 ක් ලෙසයි.

ඊයේ (20) දිනයේ එම අගය 195.21 ක් ලෙස සටහන් වුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *