ලොවම කම්පා කරවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට (21) වසර 2 යි

ලොවම කම්පා කරවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට (21) වසර 2 යි

*********************************************

ලොවම කම්පා කරවූ පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට (21) වසර 2 යි

(21.04.2021 – 06:18 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී අදට (21) වසර 2 ක් සපිරෙනවා.

ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් අද (21) පෙරවරුවේ පැවැත්වෙන අතර, 08.45 ට විනාඩි දෙකක (2) නිහැඩියාවක් ආරක්ෂා කරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම, කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයට අදාළව ඊයේ (20) පස්වරු 4 සිට අද (21) දහවල් 12 දක්වා දේවස්ථානය අවට මාර්ග කිහිපයක ගමනාගමනය ද සීමා කර තිබෙනවා.

මේ අතර, පාස්කු ප්‍රහාරය සිදුවී වසර දෙකක් (2) සපිරීම නිමිත්තෙන් කටුවාපිටිය දේවස්ථානයේදීද විශේෂ දේව මෙහෙයක් අද (21) පස්වරු 6 ට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

එසේම මඩකලපුව සියොන් දේවස්ථානයේද විශේෂ දේව මෙහෙයක් සූදානම් කර තිබෙනවා.

ඊට අමතරව දිවයින පුරා දේවස්ථානවල දේව මෙහෙයන් සංවිධාන කර ඇති අතර, කතෝලික සභාව යටතේ පාලනය වන සියලු පාසල්වලට අද (21) නිවාඩු ලබාදෙන බවද කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළා.

දිවයින පුරා සියලුම දේවස්ථාන වෙත ආරක්ෂාව ලබාදෙන ලෙසද පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථාන ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත දැනුම්දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

(21.04.2021 – 09:40 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට දෙවසරක් (2) සපිරෙන අද දින (21) මියගිය පිරිස සිහිකර පෙරවරු 08:45 ට විනාඩි 2 ක නිහැඬියාවක් ආරක්ෂා කිරීමට කටයුතු කළා.

ඒ, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියළු ජනතාවගෙන් කළ ඉල්ලීමට අනුවයි.

ඊට සමගාමීව දේවස්ථානවල සීනු නාද කිරීමට සිදු කෙරුණා.

පාස්කු ප්‍රහාරයේ දෙවන (2) වසර සිහි කිරීමේ පූජා යාගය කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී මේ වන විට පැවැත්වෙනවා.

ඊට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, ශ්‍රී ලංකාවේ වතිකානු තානාපතිවරයා ඇතුළු විදෙස් තානාපතිවරුන් සහ කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා ෴

******************************************

(21.04.2021 – 07:07 +0530 – hirunews.lk/sinhala)

කැලණිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය ඊයේ (20) වනවාසල ප්‍රදේශයේදී සිදු කල වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 35 ක් සන්තකයේ තබා ගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කාන්තාව වයස අවුරුදු 35 ක් වන අතර ඇය වනවාසල, කැලණිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි පොලිසිය පැවසුවේ.

සැකකාරිය අද (21) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පෑලියගොඩ පොලිසිය පවත්වනවා ෴

******************************************

(21.04.2021 – 07:20 +0530 – hirunews.lk/sinhala)

2020 ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළු පළන් කැරොලයින් ජූරි සිය කිරුළ ස්වෙච්ඡාවෙන් අත්හැරීමට ගත් තීරණයත් සමග එය මෙම තරගාවලියේ දෙවන (2) ස්ථානය දිනා ගත් අයර්ලන්ත විවාහක රූ රැජිණ සතු වන බව ලෝක විවාහක රූ රැජන සංවිධායක මණ්ඩලය පවසනවා.

ඒ අනුව 2020 නව ලෝක විවාහක රූ රැජිණ ලෙස කිරුළ පළදින්නේ මෙම තරඟාවලියේ දෙවන (2) ස්ථානය දිනාගත් අයර්ලන්ත විවාහක රූ රැජිණ වන කේට් ෂයින්ඩර්.

පසුගියදා මෙරට පැවැති 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගය අවසානයේ මතු වූ අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන් කැරොලයින් ජූරි සිය ලෝක විවාහක රූ රැජන කිරුළ අත්හැරීමට තීරණය කළා.

******************************************

(21.04.2021 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ගෙවී ගිය පැය 24 ක කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ගෙල බැඳි රන් මාල කඩා ගැනීමේ සිද්ධීන් හතරක් (4) වාර්තා වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම සිද්ධීන් වාර්තා වන්නේ යක්කල,කල්මුණේ, වලස්මුල්ල සහ වැල්ලව යන පොලිස් වසම් වලින්.

මෙම මාල කඩාගැනීම් හතරම (4) යතුරුපැදිකරුවන් විසින් එකම ආකාරයට සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පවසන්නේ

රන් ආභරණ පැළඳ මගතොට ගමන් ගන්නා කාන්තාවන් නිරීක්ෂණය කරනා මෙම යතුරුපැදිකරුවන් ඔවුන් අසලට පැමිණ ඔවුන්ගෙන් යම්කිසි තොරතුරක් විමසන මුවාවෙන් මෙම මාල කඩා ගැනීම සිදුව තිබෙනවා.

එහෙයින් නියෝජ්‍ය පොලිස්පතිවරයා කාන්තාවන්ට අවවාද කර සිටින්නේ රන් ආභරණ පැලඳ මගතොට ගමන් බිමන් යාමේදී මේ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙසයි ෴

******************************************

(21.04.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (20) දිනය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගල මරණ හයක් (6) වාර්තා වී තිබෙනවා.

මේ අතුරින් තිදෙනකු (3) යතුරුපැදිකරුවන් වන අතර අනෙක් තිදෙනා (3) මාර්ගයේ ගමන් ගත් පදිකයින් බවයි පොලිස් මාධ්‍ය අංශය පවසන්නේ.

මේ අනුව පසුගිය අප්‍රේල් දහතුන් වැනිදා (13) සිට ගෙවී ගිය දින අටක (8) කාලය තුළ මහමග සිදුවු රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 76 දෙනෙක් මියගොස් ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙනවා.

මෙලෙස මියගිය පුද්ගලයින්ගෙන් 55% ක් පමණ යතුරුපැදිකරුවන්.

ඊට අමතරව ත්‍රීරෝද රථ අනතුරු හේතුවෙන් සිදු වූ මරණ ප්‍රතිශතය සියයට විස්සක් (20%) පමණ වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියා ෴

******************************************

(21.04.2021 – 08:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ විදේශ උපාධි ආයතන සම්බන්ධයෙන් වූ ලිපි ගොනු අස්ථානගත වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ.

උසස් පෙළ විෂයන් 3 ම අසමත් පිරිස් පමණක් නොව උසස් පෙළ විභාගයට පෙනී නොසිටි පුද්ගලයින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හරහා වෛද්‍යවරුන් වී ඇති බව නිරීක්ෂණය වී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එමඟින් පෙන්වා දෙන්නේ ෴

******************************************

(21.04.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala)

පිරිපහදු නොකරන ලද පොල්තෙල් ආනයනය ඉදිරියේදී නතර කරන බව පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තුවේදී ඊයේ (20) අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙරටදී පොල්තෙල් නිෂ්පාදනය කිරීමට කොප්පරා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය මේ වනවිටත් හිමිව ඇති බවයි.

මේ අතර මිල වැඩිවීම නිසා දකුණු පළාතේ ගෘහස්ථව පොල්තෙල් නිෂ්පාදනය කරනු ලබන සුළු පරිමාණ පොල්තෙල් නිෂ්පාදකයින් ගැටළු රැසකට මැදිව ඇති බව වාර්තාවනවා.

කොප්පරා කිලෝවක මිල රුපියල් 430 දක්වා වැඩිවී ඇති බවයි ඔවුන් කියා සිටියේ. එම තත්වය නිසා ගෘහස්ථව නිෂ්පාදනය කරනු ලබන පොල්තෙල් බෝතලයක මිල රුපියල් 550 ත්, 650 ත් අතර වැඩි වී ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම, රජය මගින් පනවනු ලැබු පාම් ඔයිල් තහනම හේතුවෙන් ඉදිරියේදී තම නිෂ්පාදනවලට බලපෑම් එල්ල විය හැකි බව ලංකා රස කැවිළි නිෂ්පාදකයන්ගේ සම්මේලනයේ සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතා ප්‍රකාශ කළා ෴

******************************************

(21.04.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වී ඇති පෙත්සම් සලකා බැලීම තුන්වන (3) දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (21) ආරම්භ වුණා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි. ඒ අනුව ඉදිරිපත් වී ඇති අතරමැදි පෙත්සම්වලට අදාළව කරුණු දැක්වීම මේ වන විට සිදුවනවා.

මෙහිදී අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මුලින්ම අධිකරණය හමුවේ අද කරුණු ඉදිරිපත් කිරිම ආරම්භ කළා.

එහිදී ඔහු කරුණු දක්වමින් කියා සිටියේ ජනතාවගේ විධායක බලය ජනතාව විසින් තෝරා පත් කර ගනු ලබන ජනාධිපතිවරයා හරහා ක්‍රියාත්මක වන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සදහන් කර ඇති බවයි.

කොළඹ වරාය නගර ආර්ථික කලාප සංකල්පයට එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය ඇතුළු පාර්ශව විරුද්ධත්වය පළ කර නොමැති බව ප්‍රකාශ කල ජනාධිපති නීතිඥවරයා මෙම පනත් කෙටුම්පත පිළිබඳව පවතින වැරදි වටහා ගැනීම් හේතුවෙන් නොසන්සුන්කාරි තත්ත්වයක් උද්ගතව තිබෙන බව ඔහු වැඩිදුරටත් සදහන් කළා.

ඔහු පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා වෙත ප්‍රදානය කළ විධායක බලය මගින් යෝජිත කොමිසම ස්ථාපිත කෙරෙන අතර ඊට සාමාජිකයින් පත් කිරීම ජනාධිපතිවරයා විසින් සිදු කරන බවයි.

ඒ අනුව මෙම ක්‍රියාවලියේ පවතින වරද කුමක් දැයි ප්‍රශ්න කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වරාය නගර කලාපයේ කටයුතුවලට අවසන් වශයෙන් ජනාධිපතිවරයා වගකීමට බැඳී සිටින බව පෙන්වා දුන්නා.

ජනාධිපතිවරයා පත් කරනු ලබන අදාළ කොමිසමේ සාමාජිකයන් සම්බන්ධයෙන් යම් අයෙකු අතෘප්තියට පත් වන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර අනුගමනය කිරීමට හැකියාව පවතින බව ඔහු සඳහන් කළා.

******************************************

(21.04.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ සියළු දෙනාව නීතියේ රැහැනට හසු කර ගැනීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (21) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කළ කොමිෂන් සභාවේ වාර්තාව සහ සෙසු පරීක්ෂණ වාර්තා නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සහ පීඩාවට පත් පිරිස සිහි කර අද (21) පාර්ලිමේන්තුවේදී ද මිනිත්තුවක නිශ්ශබ්දතාවක් පැවැත්වුණා.

ආණ්ඩු පක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් කළු පටි පැළද සභාවට පැමිණ සිටි අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කළු පැහැති ඇඳුම්වලින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ සිටියා.

ඔවුන් පෙරවරු 08:45 ට ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය හා වින්දිතයින් සිහි කර පාර්ලිමේන්තු කාරක සභා කාමරයක් තුළ මිනිත්තු දෙකක (2) නිශ්ශබ්දතාවක් ද පවත්වා තිබෙනවා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ පාස්කු ප්‍රහාරයේ චෝදනා එල්ල වූවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී අධිකරණ කටයුතුවලට ඕනෑම සහයෝගයක් ලබාදීමට සූදානම් බවයි.

******************************************

(21.04.2021 – 11:02 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා තුන් වන (3) සංග්‍රාමික ප්‍රවාහන භට කණ්ඩායම මාලි රාජ්‍ය වෙත පිටත්ව ගොස් තිබෙනවා.

117 දෙනෙකුගෙන් යුත් එම යුද හමුදා සාමාජිකයින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් ඊයේ (20) රාත්‍රි 11:45 ට පමණ මෙලෙස පිටත්ව ගිය බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ ෴

******************************************

(21.04.2021 – 11:17 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලා අද (21) පස්වරුවේ සියලු කතෝලික ආගමික නායකයන් එක්කරගනිමින් පාගමනක් පවත්වන බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළා.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය අසල සිට කටුවාපිටිය දේවස්ථානය වෙත අද (21) පස්වරු 03:45 ට මෙම පා ගමන දියත් වනු ඇති බවයි සඳහන් වන්නේ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයේ දෙවන (2) වර්ෂ පූර්ණ අනුස්මරණය කිරීම වෙනුවෙන් කොච්චිකඩේ දේවස්ථානයේ සංවිධානය කර තිබූ විශේෂ දේවමෙහෙයට එක්වෙමින්.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනපති කොමිසමේ ඇති නිර්දේශ වහාම ක්‍රියාත්මක කිරීමට පියවර ගතයුතු බව අවධාරණය කරන බවයි එහිදී උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම පරීක්ෂණ යහපත් දිශාවකට යොමුවන තුරු සිය අඛණ්ඩ විරෝධතාවන් දිගින් දිගටම පවත්වන බවයි අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

අද (21) උදෑසන 08:45 ට විනාඩි දෙකක (2) නිහැඬියාවක් ආරක්ෂා කරමින් මියගිය පිරිස් සිහිකළ අතර, ඊට සමගාමීව දේවස්ථානවල සීනු නාද කිරීම ද සිදු කෙරුණා.

පාස්කු ප්‍රහාරයේ දෙවන (2) වසර සිහි කිරීමේ දිව්‍ය පූජාව කාදිනල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදීයි.

ඊට මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්, ශ්‍රී ලංකාවේ වතිකානු තානාපතිවරයා, ඇමෙරිකානු ශ්‍රී ලංකා තානාපතිවරයා, ඉන්දියානු මහකොමසාරිස්වරයා ඇතුළු තානාපතිවරුන් සහ කලාකරුවන් මෙන්ම මියගිය අයගේ ඥාතීන්, ප්‍රහාරයෙන් තුවාලලැබූවන් ද එක්ව සිටියා.

එහිදී පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහි කර කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සීනුව නාද කෙරුණා.

මේ අතර, දිවයින පුරා සියලුම දේවස්ථානවල ඊයේ (20) පස්වරුවේ සිට විවිධ දේව මෙහෙයන් පැවැත්වුණු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම, අද (21) උදෑසන ද සියලුම දේවස්ථානවල මෙන්ම විහාරස්ථානවල ද මීට සමගාමීව මියගිය අය සිහි කර ආගමික වතාවන් සිදුකෙරුණා.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද (21) උදෑසන පැවති පූජා යාගයේදී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් අනුශාසනාවක් සිදු කළා.

මෙහිදී ශ්‍රී ලංකාවේ වතිකානු තානාපති අති උතුම් බ්‍රයන් උඩයිග්වේ හිමිපාණන්ද අදහස් පළ කළා.

******************************************

(21.04.2021 – 11:46 +0530 – hirunews.lk/sinhala)

කොළඹ බන්ධනාගාර පරිශ්‍රය තුල හා ඉන් පිටත සිදුවන අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා ආරක්ෂක කැමරා CCTV පද්ධතියක් සවිකිරීම අද (21) ආරම්භ කෙරුනා.

කොළඹ බන්ධනාගාර පරිශ්‍රයට අයත් වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, මැගසින්, වැලිකඩ කාන්තා අංශය සහ බන්ධනාගාර රෝහල යන ආයතන මේ යටතේ ආවරණය කෙරෙනු ඇති.

මෙම කැමරා පද්ධතිය සවිකිරීම මෙම වසරේ අගෝස්තු මසට පෙර නිමා කිරීමට නියමිතයි.

මීට අමතරව කළුතර, මහර හා මීගමුව බන්ධනාගාර වලද ආරක්ෂක කැමරා පද්ධති යුදහමුදා සම්පත්දායකත්වය මගින් සවිකිරීමට නියමිතයි.

එහි පළමු අදියර කළුතර බන්ධනාගාරයෙන් ආරම්භ කෙරුනා ෴

******************************************

(21.04.2021 – 11:52 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පළි ගැනීම් පිළිබද ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විවාදය ආරම්භවීමට ප්‍රථම විපක්ෂය ප්‍රශ්න කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මේ හේතුවෙන් කථානායකවරයා තීරණය කරනු ලැබුවේ විනාඩි 10 කට සභාව කල් තැබීමටයි.

@@@@@@@@@@@@@@@@

(21.04.2021 – 08:47 +0530 – hirunews.lk/sinhala)

සිංහල – දෙමල අලුත් අවුරුද්දෙන් පසු මෙරට තුළ පැතිර යන කොරෝනා වෛරසයේ ප්‍රභේදය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මේ දිනවල කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තා වීම නව ප්‍රභේදයක් ද යන්න සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන බවයි.

මෙරටින් ඊයේ (20) කොරෝනා ආසාදිතයන් 367 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 97,472 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 345 ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර විදේශයන් හි සිට පැමිණි 22 නෙකු රෝගීන් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයින් 3300 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ සංඛ්‍යාව 93,547 ක්.

ඊයේ (20) දිනයේ නව මරණ 5 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 625 දක්වා ඉහළ ගියා.

යාපනය, රත්නපුර, පානදුර, මට්ටක්කුලිය සහ හොරණ ප්‍රදේශවල පදිංචි අවුරුදු 59 ත්, 90 ත් අතර වයස්වල පසුවන්නන් මෙලෙස මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ ෴

+++++++++++++++++++++

(21.04.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)

ගුවන් යානා 24 කින් මගීන් 1363 දෙනෙකු අද (21) උදෑසන 08:30 න් අවසන් වූ පැය 24 තුළ දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ අතර කටාර් රාජ්‍යයේ සිට 173 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 232 ද පැමිණි බවයි ගුවන් තොටුපළ හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ. එමෙන්ම, එම කාලසීමාව තුළ ගුවන් මගීන් 1345 දෙනෙකු දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *