ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගයේදී දේශපාලන හස්තයන්ගේ බලපෑම් තිබුනා – අයේශා බස්නායක

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගයේදී දේශපාලන හස්තයන්ගේ බලපෑම් තිබුනා – අයේශා බස්නායක

*********************************************

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගයේදී දේශපාලන හස්තයන්ගේ බලපෑම් තිබුනා – අයේශා බස්නායක

(20.04.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

රූ රැජිණ තේරීමේ තරගයේදී විවිධ දේශපාලන හස්තයන්ගේ බලපෑම් ක්‍රියාත්මක වූ බව එම තරගයේ දෙවැනි ස්ථානය දිනාගත් අයේශා බස්නායක මහත්මිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති කළ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළා.

එම සම්පූර්ණ මාධ්‍ය හමුව පහතින් :

******************************************

(20.04.2021 – 16:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළිය කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පක්ෂ මූලස්ථානයේදී අද (20) විශේෂ වැඩසටහනක් පැවැත්වුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ ප්‍රධානත්වයෙන්.

******************************************

(20.04.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සළකා බැලීම හෙට (21) දින දක්වා කල් තැබීමට පංච (5) පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අද (20) නියෝග කළා.

ඒ, අදාළ පෙත්සම් අද (20) දෙවන (2) දිනටත් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වාගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ යළි විභාගයට ගත් අවස්ථාවේදියි.

අද (20) දින පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අවසන් කෙරුණු අතර අතරමැදි පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම හෙට (21) පෙරවරු 10 ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්‍රම් මොහොමඩ් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත මගින් ස්ථාපිත කෙරෙන කොමිසම මහජනයාට වග නොකියන තත්වයකට පත් කොට තිබීම බරපතල ගැටලු‍වක් බව පෙන්වා දුන්නා.

කොමිසමේ මෙවැනි කටයුතු පාර්ලිමේන්තුවට පවා අධීක්ෂණය කල නොහැකි තත්වයක් මෙම පනත් කෙටුම්පත හරහා උද්ගතවී ඇතැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි සඳහන් කළා.

තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂයි.

කොළඹ වරාය නගරය ගොඩනැගීමට අදාළව 2014 වසරේ ඇතිකර ගත් මුල් ගිවිසුමේත් 2016 වසරේ සංශෝදිත ගිවිසුමේත් එම නගරය පාලනය කිරීම සඳහා කොමිසමක් ස්ථාපිත කරන බවට ප්‍රතිපාදන ඇතුළත්ව නොතිබූ බව ඔහු එහිදි කියා සිටියා.

කොළඹ වරාය නගර භූමිය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරන්නේ නම් ඒ සදහා බස්නාහිර පළාත් සභාවේ අනුමැතිය ලබා ගන්නා ලෙස මීට පෙර නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබු බව ඔහු වැඩිදුරටත් සිහිපත් කළා.

ඒ අනුව පලාත් සභා විෂයට අයත් මෙම පනත් කෙටුම්පත පළාත් සභාවලට යොමුකර ඒවායේ මතය විමසීමකින් තොරව එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම පවා ව්‍යවස්ථා විරෝධී යැයි නීතීඥ විජයදාස රාජපක්ෂ පෙන්වා දුන්නා.

එසේම තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු ද අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතර, මෙම පනත් කෙටුම්පත සම්මත වුවහොත් ඒ හරහා නීතිවිරෝධී ක්‍රියා රාශියක් සිදු වීමට ඉඩකඩ විවර වන බව පෙන්වා දුන්නා.

නාගානන්ද කොඩිතුවක්කු කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන විසින් මෙම පනත් කෙටුම්පත් අදාළව පමණක් කරුණු දක්වන ලෙස ඔහුට කිහිප වතාවක් අවවාද කිරීම කැපී පෙනෙන සිද්ධියක් වූ බවයි හිරු අධිකරණ වාර්තාකරු පැවසුවේ.

අදාළ පනත් කෙටුම්පතට එරෙහිව සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ සිවිල් සංවිධාන පෙත්සම් 19 ක් ගොනු කර ඇත්තේ එහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.

එසේම අදාළ පෙත්සම් වලට මැදිහත් වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, ඇතුළු පාර්ශව කිහිපයක් ඊයේ අතරමැදි පෙත්සම් 13 ක් ඉදිරිපත් කරනු ලැබුවා.

පෙත්සම්කරුවන් සඳහන් කරන්නේ අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවයි.

මේ හේතුවෙන් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

******************************************

(20.04.2021 – 16:44 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල බුදුපිළිමවලට හානි කල සිද්ධිය සම්බන්ධයෙන්, ප්‍රජාවන් අතර අසමගිය ඇති කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් නවුෆර් මවුලවි ඇතුළු පිරිසකට කෑගල්ල මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර ඇති බව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළා.

******************************************

ජාතික සඳුන් උද්‍යානයේ ඉදිකිරීම් කටයුතුවලින් 98% ක් අවසන්

(20.04.2021 – 17:32 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ජාතික සඳුන් උයන ඉදිකිරීමේ කටයුතු පසුගිය දා ආරම්භ කෙරුණා.

සඳුන් ගස කැන්ටලම් කුලයේ ශාකයක් වන අතර මෙම සඳුන් උයන බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණය අසල ඉදිකෙරෙන අතර එය ළඟදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.

රාජ්‍ය අනුග්‍රහය යටතේ වර්තමානයේ සඳුන් උද්‍යානයක් ඉදිකෙරෙන පළමු අවස්ථාව මෙය බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.

අක්කර 09 ක භූමි භාගයක ඉදිකෙරෙන ජාතික සදුන් උද්‍යානයේ ඉදිකිරීම් කටයුතුවලින් 98% ක් ඉදිකිරීම් කටයුතු මේ වන විට අවසන්ව තිබෙනවා.

සිටුවන ලද සඳුන් පැළවලට ආධාරක පැළ ලෙස මුගුණුවැන්න පැළ සිටුවා ඇති අතර මෙමඟින් පසේ තෙතමනය නොකඩවා රඳවාගැනීම සහ සඳුන් පැලවලට අවශ්‍ය ජලය රදවා ගැනීම ඉටුවනු ඇති.

එම උද්‍යානය විසිතුරු මල්පැල රැසකින් සමන්විත අතර උද්‍යාන පිවිසුම හැඩවන්නේ ජල ලීටර් ලක්ෂ දෙකකින් සමන්විත වූ පොකුණු ද්විත්වයකින් (2).

පොකුණු දෙක (2) මැදින් උස් වේදිකාවක ප්‍රවේශ මාර්ගය පවතින අතර ප්‍රවේශ මාර්ගය දෙපස මදක් ඉහළ බිත්ති 08 ක් බැඳ ඒ මතින් නිරන්තරයෙන් ඇද හැලෙන සිහින් ජල ධාරා දිය ඇල්ලක සිරිය ගෙනෙනු ඇති.

ඉන් අනතුරුව පිවිසෙන්නේ දෙපස ඇති වර්ණවත් මල් ගොමුවටයි එය පරිසරය සමඟ බද්ධවන ආලෝකයකින් සමන්විතව ඇති අතර ස්වයංක්‍රීයව රටා මවන වතුර මල් ද මෙහි අන්තර්ගතයි.

එයින් පසු කුඩා පොකුණු 12 කින් යුතු ප්‍රදේශයකට පිවිසිය හැකියි.

මෙහි ඇති එළිමහන් රංග පීඨය අතීතයේ පැවති රංග පීඨවලට ද සමාන වන අතර එය නිදහසේ පරිහරණය කිරීමේ අවස්ථාව ද හිමිකර දී තිබීම විශේෂත්වයක්.

ජාතික සඳුන් උයන නිදහස, විවේකය, හුදෙකලාව, විනෝදය, විවිධත්වය සඳහා මෙන්ම තම සිත කැමති පරිසරය සහ යහපත් ක්‍රියාවන්, අවස්ථාවන් සඳහා ද ගැලපෙන අයුරින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්.

ව්‍යායාම කිරීම, යෝගි ව්‍යායාම් වැඩසටහන් පැවැත්වීම, විවිධ භාවනා වැඩසටහන් කිරීමට ඉතා සුදුසු පරිසර පද්ධතියක් ද මෙහි නිර්මාණය කර ඇති අතර ජාතික සඳුන් උයනට පැමිණෙන්නන්ට ස්වභාවික ආහාර පාන ලබාගැනීමේ අවස්ථාවද හිමිවනු ඇති.

ජාතික සදුන් උයන වාහන 60 ක් නවතාලිය හැකි විවෘත රථගාලකින් ද සමන්විතයි.

මදක් ගෝලාකාර හැඩයකින් යුත් සඳුන් ගසක් වැඩීමට අවම වශයෙන් වසර 15 ක් පමණ ගතවනු ඇති.

එම කාලය වන විට සදුන් ගස්වලින් තෙල් ලබා ගැනීමට ද හැකියාව පවතින අතර ගස පරණ වූ තරමට ලබාගන්නා තෙල්වල වටිනාකමද ඉහළ යයි.

සඳුන් තෙල් අතීතයේදී මෙන්ම වර්තමානයේදී ද සූපවේදීන් ආහාර පිළියෙල කිරිමට යොදා ගනී.

හින්දු ආගමේ ශිව දෙවි වන්දනාවට සහ ජෛන ආගමේ ද පූජනීය වස්තුවක් ලෙස සඳුන් ගස් හැඳින්වේ.

සඳුන් ගසේ ලක්ෂ්මී දේවිය වැඩ වාසය කරන බව ලොව පුරා බැතිමතුන්ගේ විස්වාසයයි.

[ සේයාරූ ]

******************************************

(20.04.2021 – 19:05 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවී හෙට (21) දිනට වසර 2 ක් සපිරෙනවා.

ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින් කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් හෙට (21) පෙරවරුවේ පැවැත්වෙන අතර, පෙරවරු 08:45 ට විනාඩි දෙකක (2) නිහැඩියාවක් ආරක්ෂා කරන ලෙස අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලා සිටියා.

එමෙන්ම, කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයට අදාළව අද (20) පස්වරු 4 සිට හෙට දහවල් 12 දක්වා දේවස්ථානය අවට මාර්ග කිහිපයක ගමනාගමනය ද සීමා කර තිබෙනවා.

මේ අතර, පාස්කු ප්‍රහාරය සිදුවී වසර දෙකක් (2) සපිරීම නිමිත්තෙන් කටුවාපිටිය දේවස්ථානයේදීද විශේෂ දේව මෙහෙයක් හෙට (21) පස්වරු 6 ට අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.

මේ අතර ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් තමන්ට සිදුවූ බරපතල මානසික සහ ශාරීරික හානිය වෙනුවෙන් නීතීඥවරයෙකු වන මෝදිත ඒකනායක රුපියල් මිලියන 1200 ක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබෙනවා.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුලු දොළොස් දෙනෙකු (12) මෙහි වගඋත්තරකරුවන්.

ෂැංග්‍රිලා හෝටලය තුළදී ප්‍රහාරයෙන් තුවාල ලබා ඇති ඔහු ඒ වෙනුවෙන් හෝටල් අධ්‍යක්ෂ මණ්ඩලයෙන් මෙන්ම අත්අඩංගුවට ගෙන සිටින ප්‍රහාරකයෙකුගේ පියා ඇතුලු තුන්දෙනෙකු (3) ගෙන්ද වන්දි ඉල්ලා නඩු ගොනුකර තිබෙනවා.

මේ අතර මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාළව නවුෆර් මවුලවි ඇතුලු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කෑගල්ල මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා.

ඊබ්‍රාහිම් මවුලවි, මොහොමඩ් සජීඩ්, මොහොමඩ් සාහිඩ්, සාදික් අබ්දුල්ලා, සයිනුල් ආබ්දීන්, මොහොමඩ් මිල්හාන් ඇතුලු 16 දෙනෙකු ඒ අතර සිටින බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරී රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ නිශාරා ජයරත්න සඳහන් කළේ.

බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීම මගින් ප්‍රචන්ඩත්වය ඇති කිරීමට කුමන්ත්‍රණය කිරීම, ප්‍රජාවන් අතර ආගමික ගැටළු සහ අසමගිය ඇති කිරීම යන චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර තිබෙනවා ෴

@@@@@@@@@@@@@@@

(20.04.2021 – 15:54 +0530 – hirunews.lk/sinhala)

මෙවර මැයි දිනය වෙනුවෙන් පවත්වන පෙළපාලි සහ සැමරුම් සඳහා අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් එම තීරණය ගත් බවයි ෴

+++++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයන් 173 දෙනෙකු අද (20) දිනයේදී සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 93,547 ක් බවයි ෴

+++++++++++++++++++

(20.04.2021 – 17:36 +0530 – hirunews.lk/sinhala)

අද (20) දිනයේදී තවත් නව ආසාදිතයින් 260 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් දැක්වෙන්නේ 97,365 ක් ලෙසයි.

තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 2938 ක් ප්‍රතිකාර ලබනවා.

වෛරසය ආසාදනය වූවන් 173 දෙනෙකු සුවය ලබා අද (20) දිනයේ පිටව යාමත් සමග සුවය ලැබූ මුළු පිරිස 93,547 දක්වා ඉහළ ගියා.

මේ අතර මෙවර මැයි දින පවත්වන පෙළපාලි සහ සැමරුම් සඳහා අවසර ලබා නොදීමට තීරණය කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් එම තීරණය ගත් බවයි.

මේ අතර, අලුත් අවුරුදු සතිය ගතවීමත් සමඟ මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා.

ඊයේ (19) මෙරටින් ආසාදිතයන් 357 ක් හඳුනාගෙන තිබෙනවා.

එසේම කොළඹ – කොටුව ප්‍රදේශයේ බැංකුවක සේවකයින් 53 දෙනෙකුට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර, මහරගම පමුණුව ප්‍රදේශයේ රෙදි පිළි අලෙවිසැල් දෙකක සේවකයින් 17 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (19) තහවුරු වුණා.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා අද (20) සිට යලි අහඹු පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා.

එම පරීක්ෂණවලදී ආසාදිතයින් 18 දෙනෙකු ඊයේ (19) කොළඹ නගරය තුලින් හඳුනා ගත් බවයි කොළඹ මහනගර සභාව සඳහන් කළේ.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා කියා සිටියේ අලුත් අවුරුදු කාලසීමාවෙන් පසු සියයට 8 කින් කොරෝනා ආසාදිතයින්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

පවතින තත්වය පාලනය කර ගැනීමට අසමත්වුවහොත් කොවිඩ් තුන්වන (3) රැල්ලක් මතුවීමේ අවදානමක් පවතින බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ.

ලබන 27 වනදා සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට සැලසුම් කළ ද ඒ සඳහා කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් සකස් කර නොමැති බවයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කළේ.

මේ අතර, කොවිඩ්-19 මර්දනය සඳහා ලබාදෙන එන්නත් පිළිබඳව අද (20) පාර්ලිමේන්තුවේදී සංවාදයට ලක් වුණා.

++++++++++++++++++++

දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක්

(20.04.2021 – 18:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බව සඳහන් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් :

COVID-19 අනතුරු ඇඟවීම!

ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගය බෝ වීමේ ප්‍රවනතාවය වැඩිවීමක් සමග, දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළත් වීමේ සීඝ්‍ර වැඩිවීමක් නිරීක්ෂණය වී ඇත. මීට අමතරව ලංකාව තුළ කොරෝනා වෛරසයේ ලංකාව තුළ මීට පෙර හමු නොවූ ප්‍රභේදයක්ද පසුගිය දවස් කිහිපය තුළ දී වාර්තා වී ඇත. මේ පිළිබඳව විද්‍යාත්මක දත්ත සමාලෝචනය සහ තොරතුරු අධ්‍යනය කිරීම දැනටමත් සිදු වී ගෙන යන අතරතුර මහජනතාව ලෙස අප සියලු දෙනාම මේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුයි.

රෝග නිවාරණ උපදෙස් පිළිපැදීම මගින් රෝග පැතිරීම ඉතා ඉක්මනින් පාලනය කළ හැකි බව අප සියලු දෙනාම පසුගිය කාලයේ දී අත්දුටුවා. පසුගිය උත්සව සමය හා ඊට සමගාමීව මෙම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම ක්‍රමයෙන් අඩු වීමක් දක්නට ලැබීම මෙම අලුත් අවධානම් තත්ත්වයක් නිර්මාණය වීමට හේතු වී ඇති බව නොඅනුමානයි.

යළිත් වරක් දැඩි නීති පැනවීම සහ සංචරණ සීමා පැනවීම වැනි ක්‍රියා මාර්ග වලට යොමු වීම වැළැක්වීම සඳහා සමාජයක් ලෙස රෝග නිවාරණය සඳහා අපගේ වගකීම යළිත් වරක් මතක් කර ගැනීම කාලෝචිත වනු ඇත.

දෑත් පිරිසිදුව තබා ගැනීම, මුව ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථ භාවය පවත්වා ගැනීම, කැස්ස, උගුරේ අමාරුව, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ ඇත්නම් මිනිසුන් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම, පුද්ගලයන් වැඩිපුර රැස් වන ස්ථානවලට නොයා සිටීම මෙම නිවාරණ උපායමාර්ග අතර වේ.

සෞඛ්‍ය උපදෙස් නියමාකාරව පිළිපැදීම නිසා පසුගිය මාස කීපය තුළ යම් ආකාරයක නිදහසක් භුක්ති විඳීමට ලක් වාසී සියලු දෙනාටම හැකි වූයේ මීට පෙර අප විසින්ම ක්‍රියාවට නංවන ලද රෝග නිවාරණ කටයුතු නිසා බැවින් යළිත් වරක් එම උපදෙස් වලට අනුගතවීම අපට අපහසු කාර්යයක් නොවනු ඇත.

එම නිසා එළඹෙන කාල පරිච්ඡේදය පුරාවටම යළිත් වරක් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදිමින්, අනවශ්‍ය ගමන් බිමන් හැකිතාක් අවම කරමින්, තමාට රෝග ලක්ෂණ ඇත්නම් අන් අය ආරක්ෂා වන පරිදි හැසිරෙමින්, යළිත් වරක් කොරෝනා ආසාදන තත්ත්වය රට පුරා පැතිරීම වැළැක්වීමට ඔබ, අප සැමගේම කාර්යභාරය ඉටු කරන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ලක්වාසී සියලු දෙනාගෙන්ම අපි ඉල්ලා සිටින්නෙමු ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *