බැඳුම්කර නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්

බැඳුම්කර නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්

*********************************************

බැඳුම්කර නඩුවේ සැකකරුවන්ට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්

(19.04.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

2016 මාර්තු 29 වන දා පැවති මහබැංකු බැඳුම්කර වෙන්දේසිය හා සම්බන්ධ බැඳුම්කර වංචාවට අදාළ සැකකරුවන්ට ඇප ලබාදීමට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනයක් ගොනු කර තිබෙනවා.

ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් මගින් හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු පසුගිය 1 වන දා මෙලෙස රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ පෞද්ගලික ඇප දෙකක් (2) මත මුදා හැරුණා.

කෙසේ නමුත් එහිදී සැකකරුවන්ට විදේශ ගමන් තහනමක් ද පැනවීමට නියෝග කළා.

කෙසේ නමුත් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත්තේ එලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සැකකරුවන්ට ඇප ලබාදීම අභියෝගයට ලක් කරමින් ෴

******************************************

(19.04.2021 – 14:26 +0530 – hirunews.lk/sinhala)

වත්මන් කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට පාරම්පරික කලා ශිල්පීන්ට එල්ල වූ බලපෑම ද සුළුපටු නොවේ.

මේ සොයා බැලීම එවැනි පිරිසක් පිළිබඳවයි :

******************************************

(19.04.2021 – 14:50 +0530 – hirunews.lk/sinhala)

ලෙඩ රෝග කියන්නේ, කාට කුමන මොහොතක වැළඳේ දැයි කිව නොහැකි දෙයක්.

රෝගයකින් පෙළෙන අයෙකුට ඉන් මිදීම සඳහා කිසියම් හෝ උපකාරයක් කිරීමට හැකි නම් එය මහඟු පුණ්‍යකර්මයක් වනු නොඅනුමානයි.

මාතර – දෙවුන්දර – කපුගම ගම්මානයේ ජීවත් වන 27 හැවිරිදි සලනි සඳරේකා මහත්මිය දරුවන් දෙදෙනෙකු (2) ගේ මවක්.

වයස අවුරුදු 18 දී පමණ සලනි මහත්මියට කොඳුඇටපෙළෙහි කුඩා ඇදයක් මතුව ඇති අතර වෛද්‍යවරුන් පෙන්වාදෙන්නේ, මේ හේතුවෙන් ඇයගේ පෙනහැල්ලක් ද ඇකිලි ඇති බවයි.

******************************************

(19.04.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

මීට වසර දෙකකට (2) පමණ පෙර පාරිභෝගික සේවා අධිකාරියට බලහත්කාරයෙන් ඇතුලුවීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ, ඊට අදාළ නඩුව අද කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා හමුවේ කැදවූ අවස්ථාවේදියි.

එහිදී රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මතයි ඔහුව මුදා හැරුණේ ෴

******************************************

(19.04.2021 – 15:44 +0530 – hirunews.lk/sinhala)

තල්මසුන්ගෙන් ලැබෙන අම්බර් කිලෝග්රැම් දෙකහාමාරක් (2½) ප්‍රවාහනය කළ සැකකරුවන් සිව් දෙනෙකු (4) අද (19) මුලතිව් නගරයේදී අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසූවේ ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් හා පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු (4) ජාවාරම වෙනුවෙන් පැමිණ සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් පැවසූවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 50 ත් 65 ත් අතර පිරිසක් වන අතර, මෙම අම්බර් තොගය රුපියල් කෝටි එකහාමාරක (1½) මුදලකට අලෙවි කිරීමට සැකකරුවන් රැගෙනවිත් ඇති බවට තොරතුරු අනාවරණය කොටගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් පොලිසිය හරහා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් හා මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

******************************************

(19.04.2021 – 16:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පිළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය මගින් වසර 8 ක ක්‍රිකට් තහමක් පනවා තිබෙනවා.

අයි.සී.සී. දූෂණ මර්ධන ආචාර ධර්ම පද්ධතිය උල්ලංගණය කිරීම ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනාවයි.

ICC ය විසින් දිල්හාර ලොකුහෙට්ටිගේ හට 2019 වසරේ අප්‍රේල් 03 වනදා සිට තාවකාලික ක්‍රිකට් තහනමක් පැනවූවා.

ඒ අනුව අදාළ දඬුවම් කාලසීමාව එදින (2019 වසරේ අප්‍රේල් 03) සිට ක්‍රියාත්මක වනු ඇති ෴

******************************************

(19.04.2021 – 16:42 +0530 – hirunews.lk/sinhala)

මුලතිව්, චලෙයි ප්‍රදේශයේ කැළෑවක වළදමා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් ඊයේ(18) සොයාගත් බව මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් පවසනවා.

පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් පැවසූවේ ආර්.පි.ජි. උණ්ඩ 05 ක්, මිලිමීටර් 81 වර්ගයේ මොටාර් උණ්ඩ 03 ක්, මිලිමීටර් 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 03 ක්, අත්බෝම්බ 01 ක් හා හදුනානොගත් විවිධ වර්ගයේ බෝම්බ හතරක් (04) සොයාගත් බවයි.

යුධ සමයේ එල්.ටි.ටි.ඊ. සංවිධානය අදාළ පුපුරණ ද්‍රව්‍ය නැවත ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් සඟවා යන්නට ඇති බවද ආරක්ෂක අංශ සැක පළ කරනවා.

සොයාගත් පුපුරණ ද්‍රව්‍ය මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ නිශ්ක්‍රීය කළ බවද පොලිස් විශේෂ කාර්ය බළකාය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකාය හා මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

******************************************

(19.04.2021 – 17:27 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය – හග්ගල උද්‍යානය ආසන්නයේ සිදුවූ රිය අනතුරකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (19) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මාර්ගය ආසන්නයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු (2) අනතුරට ලක්කරමින් ධාවනය කර තිබුණා.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයන් නුවරඑළිය රෝහලට ඇතුලත් කරනු ලැබුවා.

පසුව ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වූයේ එම ස්ථානයේ නිරන්තරයෙන් අනතුරු සිදුවුවත් ඊට බලධාරීන්ගෙන් නිසි විසදුමක් ලබා දී නොමැති බවට චෝදනා කරමින් ෴

******************************************

(19.04.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

ලෝක විවාහක රූ රැජිණ කැරොලයින් ජූරි සහ නිරූපණ ශිල්පිණී චූලා පද්මේන්ද්‍ර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කළා.

ඒ, ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේ දී ඇති වූ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කෙරුණු නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදියි.

විවාහක රූ රැජිණ ලෙස කිරුළ පැළදි පුෂ්පිකා ද සිල්වාට සුළු තුවාල සිදුකිරීම, බිය ගැන්වීම, බලපෑම් කිරීම ඇතුළු චෝදනා ඔවුන්ට එරෙහිව ගොනු කර තිබුණා.

කෙසේ වෙතත්, ඊට අදාල අධිකරණයෙන් පවරා ඇති නඩුව සමථයකට පත් කර ගැනීමට පැමිණිලිකාර පුෂ්පිකා ද සිල්වා එකඟ වී ඇති බව ඇයගේ නීතිඥයින් අද අධිකරණයට දන්වා සිටියා.

එම අවස්ථාවේදී කුරුඳුවත්ත පොලීසිය අධිකරණය හමුවේ කරුණු ගොනු කරමින් ප්‍රකාශ කළේ අදාළ රූ රැජිණ තේරීමේ තරඟය පැවැත්වූ නෙළුම් පොකුණ රගහලට රුපියල් ලක්ෂ 4 ක පමණ අලාභයක් සිදුව ඇති බවයි.

ඒ අනුව එම අලාභය නිශ්චිතව ගණනය කොට නීතිපතිවරයා වෙත යවා උපදෙස් ලබාගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර තිබෙනවා.

එම අවස්ථාවේදී කැරොලයින් ජූරි වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කළේ සිය සේවාදායිකාව අතින් කිසිදු අලාභයක් සිදුව නොමැති බවයි.

කෙසේ වෙතත් ඊට අදාළ නඩුව වැඩිදුර විභාගය ජුනි මස 28 වන දා දක්වා කල් තැබීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල නියෝග කළේ ෴

++++++++++++

******************************************

(19.04.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනුකර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම හෙට (20) දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

අදාල පෙත්සම් සලකා බැලීම අද (19) පෙරවරුවේ ආරම්භ කෙරුණේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලු‍විහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු, සහ ජනක් ද සිල්වාගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි.

ඊට පෙර විවෘත අධිකරණයේ කරුණු දැක්වූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මෙම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් නීතිඥවරුන් විශාල පිරිසක් පෙනී සිටින නිසා සෑම නීතිඥවරයෙකුම සිය වාචික දේශන ඉදිරිපත් කිරීම විනාඩි 20 ත් 30 ත් අතර කාලයකට සීමා කර ගන්නා ලෙස ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කළ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ පාක්‍යසෝති සරවනමුත්තු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කේ.කනගීශ්වරන් කරුණු දැක්වීම ආරම්භ කල බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

එහිදී ඔහු පෙන්වා දුන්නේ යෝජිත පනත් කෙටුම්පත තුළ අන්තර්ගත ප්‍රතිපාදන වලින් රටේ භෞමික අඛණ්ඩතාවය මෙන්ම ජනතා පරමාධිපත්‍යය බරපතල ලෙස උල්ලංඝනය වන බවයි.

මුහුද ගොඩ කර නිර්මාණය කරන ලද හෙක්ටයාර 46.53 කින් යුත් කොළඹ වරාය නගර භුමිය ශ්‍රී ලංකාවේ දේශසීමාව තුළට ඇතුළත් වන භූමි ප්‍රදේශයක් බව පැහැදිලි යැයිද ඔහු පෙන්වා දුන්නා.

මෙම පනත් කෙටුම්පතේ 65-3 වගන්තිය මගින් කොළඹ වරාය නගර කලාපයට අයත් භූමි භාගයේ අයිතිය මෙම පනත් කෙටුම්පත තුළින් ස්ථාපිත කෙරෙන කොමිසම වෙත පැවරීමට යෝජනා කර තිබෙනවා.

යෝජිත කොමිසම වෙත මෙවැනි ඉඩම් ප්‍රදානයක් සිදු කිරීමට ජනාධිපතිවරයාට නීතිමය බලයක් නොමැති අතර ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 05 වන වගන්තිය උල්ලංඝනය වන බවත් ජනාධිපති නීතිඥ කණගීස්වරන් තර්ක කළා.

යෝජිත පනත් කෙටුම්පත හරහා වරාය නගර කලාපය තුළ මෙරට තුළ පොදුවේ ක්‍රියාත්මක බැංකු නීති ඇතුළු මුල්‍ය නීති ක්‍රියාත්මක නොවන තත්ත්වයක් දක්නට ලැබෙන අතර ඒ හරහා වරාය නගර කලාපය ‘මුදල් විශුද්ධිකරණය’‍ සිදුකිරීමට මග පාදන පාරාදීසයක් බවට පත් වනු ඇතැයි ද ඔහු අනතුරු අඟවා සිටියා.

තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ තොරතුරු තාක්ෂණ වෘත්තිය වේදීන්ගේ එකමුතුවේ සභාපති කපිල රේණුක පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන වේරදුවගේ අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ‘ඉඩම්’‍ පලාත් සභා වලට අයත් වන විෂයක් බව පෙන්වා දී ඇති බව සදහන් කළා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව මෙවැනි ඉඩම් පිළිබඳ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර එය පලාත් සභා වෙත යොමු කිරීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දුන්නේ.

එහෙත් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම පලාත් සභා වෙත යොමු කිරීමක් සිදු කර නොමැති හෙයින් එය න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට පාර්ලිමේන්තුවට බලයක් නොමැති බවටත් නීතිඥ වේරදූවගේ චෝදනා කළා.

තවත් පෙත්සමක් ඉදිරිපත් කළ ගාමිණි වියන්ගොඩ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත වගන්ති බොහොමයක් මෙරට නීති අභිබවා යන තත්වයක් පෙන්නුම් කරන්නේ යැයි කියා සිටියා.

මෙම පනත් කෙටුම්පත මගින් කොළඹ වරාය නගර කලාපය වෙනම ස්වාධීන රාජ්‍යයක තත්ත්වයකට පත් කොට ඇතැයි ද ඔහු චෝදනා කළා.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එරාජ් ද සිල්වා, අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පනත් කෙටුම්පත මගින් ස්ථාපිත කිරීමට යෝජිත කොමිසම වෙත අසීමිත ඒකාධිකාරී බලයක් පවරා දී ඇතැයි චෝදනා කර තිබෙනවා.

සමගි ජන බලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පනත් කෙටුම්පත තුළින් ස්ථාපිත කෙරෙන කොමිසම සදහා සාමාජිකයන් පස් (5) දෙනෙකුගේ සිට හත් (7) දෙනෙකු දක්වා පත් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පවරා ඇති බව පෙන්වා දුන්නා.

එම සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපතිවරයා වෙත අත්තනෝමතික බලයක් පවරා දී ඇතැයි චෝදනා කළ ජනාධිපති නීතිඥවරයා, එම සාමාජිකයන් පත් කිරීමේදී ඔවුන්ට පැවතිය යුතු සුදුසුකම් පිළිබඳව අදාළ පනත් කෙටුම්පත තුළින් පැහැදිලිව දක්වා නොමැති බවට තර්ක කළා.

එසේම යෝජිත කොමිසම සදහා ජනාධිපතිවරයා විසින් සාමාජිකයන් පත් කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුවට අවස්ථාවක් සලසා දී නොමැති බවටයි ජනාධිපති නීතිඥවරයා චෝදනා කළේ.

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ශාන්ත ජයවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පනත් කෙටුම්පත තුළින් ස්ථාපිත කෙරෙන කොමිසම වෙත රෙගුලාසි හා විධාන සෑදීම සඳහා නීතිය අභිබවා යන අත්තනෝමතික බලයක් සපයා දී ඇතැයි චෝදනා කළා.

එසේ සාදනු ලබන රෙගුලාසි හා විධාන අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරිමක් සිදු නොවන නිසා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි තත්වයක් මෙන්ම ඒ තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවටත් ඔහු චෝදනා කළා.

කොළඹ වරාය නගරය කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටා තිබුනද එහි කටයුතු වලට මැදිහත් වීම සදහා එම නගර සභාවට තිබෙන නීතිමය හිමිකම යෝජිත පනත් කෙටුම්පත තුළින් අහිමි කර ඇතැයි චෝදනා කළ නීතිඥ ශාන්ත ජයවර්ධන, ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය උල්ලංඝනය වන බවත් පෙන්වා දී තිබෙනවා.

ඉන් අනතුරුව පෙත්සම් පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට (20) පෙරවරු 10 දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර ඇත්තේ.

සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර හා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ, ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් 19 ක් ඉදිරිපත් කර තිබුණා.

එසේම අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය, ඇතුළු පිරිසක් අතරමැදි පෙත්සම් ඉදිරිපත් කිරීමටද පියවර ගෙන තිබූ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

අදාල පනත් කෙටුම්පතේ අන්තර්ගත ඇතැම් වගන්ති වලින් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව පෙත්සම්කරුවන් පෙන්වා දී තිබෙනවා.

ඒ හේතුවෙන් අදාළ වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙසයි ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.

මේ අතර පෙත්සම් සලකා බැලීම ආරම්භයට පෙර පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද (19) උදෑසන ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා.

+++++++++++

+++++++++++++

******************************************

(19.04.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පක්ෂ නායක හමුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

එම හමුවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී.එල්. පිරීස් සහ දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසක් එක්ව සිටියා.

එහිදී මැයි මස පළමු වනදාට යෙදී ඇති කම්කරු දිනය සැමරුම් සම්බන්ධයෙන් සාකච්ඡා වු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ.

(19.04.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත්වීමක් අද දක්නට ලැබුණු අතර, මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 191.97 ක් ලෙසයි.

එහි ගැණුම් මිල රුපියල් 187.93 ක්.

පසුගිය 15 වන දා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය වාර්තාගත ලෙස පහත වැටුණේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 204.62 ක් ලෙස සටහන් කරමින්.

මෙරට විදේශ සංචිතය මාර්තු මාසය අවසානයේ ඩොලර් බිලියන 4.1 ක් දක්වා පහත වැටීම රුපියලේ අගය අවප්‍රමාණ වීමට බලපා තිබෙනවා.

කෙසේ නමුත්, පසුගිය සතියේදී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක ණය ආධාරයක් හිමිවීම විදේශ සංචිතය මෙන්ම රුපියල ශක්තිමත් කිරීමට ද බලපා ඇති බව සඳහන් ෴

******************************************

(19.04.2021 – 20:27 +0530 – hirunews.lk/sinhala)

උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රාජකාරී අරඹමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) මැති ඇමතිවරුන් සහ සිය කාර්යය
මණ්ඩලය හමුවුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද අරලියගහ මන්දිරයේදී අලුත් අවුරුද්දේ වැඩකටයුතු ආරම්භ කළා.

උදා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ නැකත අද (19) පෙරවරුවේ යෙදී තිබුණා.

ඒ, අනුව, නව වසරේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී මැති ඇමතිවරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමුවුණා.

මෙහිදි ජනාධිපතිවරයා අවධාරණය කළේ, අභියෝග ජය ගනිමින් ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන්, කැපවීමෙන් ක්‍රියාකළ යුතු බවයි.

මැති ඇමතිවරුන්ට සහ කාර්ය මණ්ඩලයට අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් එක්කළ ජනාධිපතිවරයා අනතුරුව ඔවුන් සමඟ සුහද කතාබහක ද නිරත වුණා.

@@@@@@@@@@@@@

(19.04.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා එන්නතෙහි දෙවන මාත්‍රාව මැයි මස පළමු සතියේ සිට ලබා දීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග පිළිබද උපදේශ කමිටුව එම තීරණයට එළඹී ඇත්තේ අද (19) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

ජනවාරි 29 වැනිදා ආරම්භ කෙරුණු මෙරට එන්නත්කරණ වැඩසටහන යටතේ මේ වන විට මෙරට පුද්ගලයින් 9,25,642 කුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදීමට නියමිතව තිබුණේ මේ මස 23 වන දා සිටයි ෴

අද (19) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 204 දෙනෙකු මෙරටින් හඳුනාගෙන තිබෙනවා ෴

තවත් කොවිඩ් රෝගීන් 261 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් ගණන 93,374 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළා ෴

කොරෝනා මර්දනය සඳහා ලබාදෙන දෙවන (2) එන්නත් මාත්‍රාවත් ලබාගෙන සිටි ඉන්දීය හිටපු අගමැති මන්මෝහන් සිංට කොරෝනා ආසාදනය වී තිබෙනවා ෴

+++++++++++++++++++

(19.04.2021 – 19:27 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලා ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ වැඩි ප්‍රවනතාවක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා.

කෙසේ වෙතත්, තත්ත්වය පාලනය කිරිම සඳහා මේ වන විටත් පියවර ගෙන ඇති බවයි කොළඹ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.

එමෙන්ම, කොට්ටාව ප්‍රදේශයේ පාසලක සිසුන් 06 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමග එම සිසුන්ගේ ආශ්‍රිතයින් සියලු දෙනා කොරෝනා පරීක්ෂණ සඳහා යොමුකෙරුණා.

අද (19) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 204 දෙනෙකු මෙරටින් වාර්තා වුණා ෴

අද (19) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 87 ක් වාර්තා වනවා ෴

අද (19) දිනයේ තවත් කොවිඩ් මරණ 2 ක් වාර්තා වනවා. ඒ අනුව මෙරට කොවිඩ් අසාදිතව මියගිය මුළු ගණන 620 ක් වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *