තඹලගමුවේ වැවක දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

තඹලගමුවේ වැවක දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

*********************************************

තඹලගමුවේ වැවක දිය නෑමට ගිය සිසුන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට

(18.04.2021 – 17:05 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – තඹලගමුව ප්‍රදේශයේ වැවක දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු (2) දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද (18) පෙරවරුවේ මොවුන් දිය නෑම සඳහා අදාළ වැවට ගොස් ඇති බවයි.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා (2) දියේ ගිලී ඇති අතර පසුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන්ගේ සිරුරු සොයාගෙන තිබුණා.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 14 ක පමණ පාසල් සිසුන් දෙදෙනෙක් (2) ෴

******************************************

(18.04.2021 – 17:50 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාතේ හෝටලයක පැවති උත්සවයක් අතර තුර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ගැටුමක් ඇති කරගත් බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ දකුණු පළාතේ සංචාරක හෝටලයක් තුළ දී මෙම ක්‍රීඩකයා ගැටුමක් ඇති කර ගත් බවට මාධ්‍ය වාර්තා පළ කර තිබූ බවයි.

ඒ අනුව මොහු විනය කඩ කිරීමක් සිදුකර ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවදුරටත් ප්‍රකාශ කළා ෴

******************************************

(18.04.2021 – 18:17 +0530 – hirunews.lk/sinhala)

උස්බෙකිස්ථානයේ පැවැත්වෙන ආසියානු බර ඉසිලීමේ තරඟාවලියේදී පළමු පදක්කම ලෙස ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දීමට ඩිලංක ඉසුරු කුමාර මහතා අද (18) සමත් වුණා.

ඒ, කිලෝග්‍රෑම් 55 බර පන්තිය යටතේ සමස්ත බර කිලෝ 214 ක් ඔසවමින් ෴

******************************************

(18.04.2021 – 18:41 +0530 – hirunews.lk/sinhala)

ගෑස් මිල වැඩි කිරීමට කිසිදු අදහසක් නැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

ඔහු මේ අදහස් පල කලේ ගෑස් මිල වැඩිවීමක් පිලිබදව පැතිර යන වාර්තා පිළිබඳව හිරු ප්‍රවෘත්ති කල විමසුමකට ප්‍රතිචාර දක්වමින් .

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගෑස් මිල වැඩිවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තාවන්හි කිසිදු සත්‍යතාවක් නැති බවයි.

හිරු කළ විමසීමේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ගෑස් මිල වැඩි කරනවා වෙනුවට රුපියල් සියයක් (100) අඩුවෙන් ලබා දිය හැකි අධි කාර්යක්ෂම නව ගෑස් වර්ගයක් හඳුන්වා දී ඇති බවයි.

රජයට අයත් ලිට්ට්‍රෝ ගෑස් සමාගමෙන් වෙළෙඳ පොළට නිකුත් කර ඇති මෙම නව ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1395.00 ක්.

කිලෝ ග්‍රෑම් 09 ක බරකින් යුත් මෙම ගෑස් සිලින්ඩරයේ අඩංගු ‘දෙමුහුන් ගෑස්’ හෙවත් hybrid gas වල සක්‍රියතාව සාමාන්‍ය එල්පී ගෑස්වල සක්‍යතාවට වඩා 40% කින් වැඩි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

මේ අනුව මෙම ගෑස් සිලින්ඩරයක් භාවිතයේදී පාරිභෝගිකයන්ට අතිරේක වාසියක් සැලසෙන බව රාජ්‍ය අමාත්‍ය අලගියවන්න මහතා වැඩිදුරටත් පවසනවා ෴

******************************************

(18.04.2021 – 18:45 +0530 – hirunews.lk/sinhala)

ජා ඇල නගරයේ පිහිටි වාහන අලෙවි ආයතනයක නවතා තිබූ යතුරුපැදියක් අද (18) උදෑසන කාලයේ කිසියම් පුද්ගලයෙකු විසින් සොරාගෙන ගොස් තිබෙනවා.

සැකකරු විසින් මෙලෙස සොරාගෙන ගොස් ඇත්තේ අදාල ආයතනයේ සේවකයෙකුට අයත් යතුරුපැදියක් බවයි පොලිසිය පැවසුවේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් දන්නේ නම් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

071 859 1589 / 071 859 1602 / 071 859 1603

අදාල සැකකරුගේ ඡායාරූපයක් පහතින් :

******************************************

(18.04.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

අන්තවාදීන්, ආගම අන්තවාදී වැඩ සඳහා භාවිතා කර පාස්කු ඉරු දින ප්‍රහාරය සිදුකළේ සිය දේශපාලන ඉලක්ක ඉටු කර ගැනීම සඳහා බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උට්ඨානය වූ ජේසු ස්වාමි දරුවන්ගේ ප්‍රතිමාව ආසිරි ගැන්වීමේ මෙහෙය අද (18) පස්වරුවේ මාදම්පිටිය සුසාන භූමියේදී සිදුකෙරුණු අතර ඊට එක්වෙමිනුයි කාදිනල් හිමිපාණන් මේ බව කියා සිටියේ.

******************************************

(18.04.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගරයේ පූර්ණ හිමිකාරීත්වය මෙරට සතු බවත්, වරාය භූමියේ කොටසක් වෙනත් පාර්ශවයකට පැවරූ බවට ගෙන යන ප්‍රචාරයන් ප්‍රතික්ෂේප කරන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ ව්‍යාපාරික සංගමය ද කොළඹ දී අද (18) මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ කොළඹ වරාය නගරය තුළ ශ්‍රී ලාංකිකයින්ට ද ආයෝජනය කිරීමේ හැකියාව පවතින බවයි.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව යනු වරාය නගරය තුළ සිදුවන ක්‍රියාකාරකම් පාලනය, කළමනාකරණය සහ නියාමනය සඳහා පිහිටුවන්නක්. කොළඹ වරාය නගරය තුළ ව්‍යාපාර හෝ සේවා සැපයීම සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමට අපේක්ෂා කරන්නේ එමගින්.

මුහුද ගොඩ කරමින් ඉදිවන කොළඹ වරාය නගරයේ සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර 269 ක් වන අතර එහි සමස්ත ආයෝජනය ඇමරිකානු ඩොලර් බිලියන 15 ක්.

කෙසේ වෙතත්, මේ දිනවල කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පිළිබදව දේශපාලන වේදිකාවේ මෙන්ම සමාජයේ ද දැඩි අවදානයට යොමුව තිබෙනවා.

එමෙන්ම, සමාජය තුළ වරාය නගර ආර්ථික කොමිසම සම්බන්ධයෙන් දැඩි කතාබහක් ඇතිව තිබෙන පසුබිමක මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසක් මේ පිළිබදව දැනුවත් කිරීම සඳහා මල්වතු හා අස්ගිරි මහනාහිමිවරුන් බැහැදුටුවා.

එහිදී මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් සමඟ රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස සංවාදයක නිරත වුණා.

++++++++++++

++++++++++++

******************************************

(18.04.2021 – 22:28 +0530 – hirunews.lk/sinhala)

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා රෝහල් ගතකර ඇති බව වාර්තා වනවා.

ඉන්දියාවේ චෙන්නායි හි පෞද්ගලික රෝහලකට ඔහු ඇතුළත් කර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ දිනවල පැවැත්වෙන ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස මුරලිදරන් මහතා කටයුතු කරනවා.

ඔහුට ඉදිරියේදී සිදුකිරීමට නියමිත සැත්කමක් සඳහා අවශ්‍ය වෛද්‍ය වාර්තා ලබාගැනීමට ඔහු මෙලෙස රෝහල් ගතකර ඇති බවයි වාර්තා වන්නේ ෴

******************************************

(19.04.2021 – 06:28 +0530 – hirunews.lk/sinhala)

පොලිසිය විසින් ඊයේ (18) දින දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකළ මෙහෙයුම්වලදී නීති විරෝධී ගිනි අවි ළඟ තබාගත් පුද්ගලයින් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හොරොව්පතාන, කලාවන, මීරිගම, තින්නියාවල සහ ගලහ යන ප්‍රදේශවලදී මොවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

******************************************

(19.04.2021 – 06:58 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සියලුම දේවස්ථාන සඳහා අනිද්දා (21) ආරක්ෂාව ලබාදෙන ලෙස පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථාන ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත දැනුම්දී තිබෙනවා.

ඒ, මීට වසර දෙකකට (2) පෙර මේ මස 21 වනදා සිදුවූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහි කර දේවස්ථානවල දේව මෙහෙයන් සහ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබීම හේතුවෙන්.

මේ අතර කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවැත්වීමට නියමිත විශේෂ දේව මෙහෙයක් හේතුවෙන් හෙට (20) පස්වරු හතරේ 4 සිට අනිද්දා දහවල් 12 දක්වා දේවස්ථානය අසළ මාර්ග කිහිපයක ගමනාගමනය සීමා කර තිබෙනවා.

ඒ අනුව ශාන්ත අන්තෝනි මාවත, රාමනාදන් මාවත සහ ක්‍රිස්ටි පෙරේරා මාවතේ ගමනාගමනය සීමාවනු ඇති.

පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ අදාල නිවේදනය පහතින් :

******************************************

(19.04.2021 – 07:09 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ඨ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් රෝහල් ගතකර ඇති බව විදෙස් මාධ්‍ය ඊයේ (18) වාර්තා කළා.

රෝහල් ගත කිරීමෙන් පසු ඔහු සැත්කමකට භාජනය කර ඇති අතර මේවන විට මුරලිගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවයි වෛද්‍යවරු පවසන්නේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඔහුගේ හෘදයේ රුධිර නාලිකාවක තිබූ අවහිරයකට ප්‍රතිකාර ගැනීමට (Stent එකක් ඇතුළු කිරීමට) මුරලි මෙලෙස රෝහල් ගතව ඇති බවයි.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියට එක්ව සිටින මුරලි ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගලික රෝහලකට ඊයේ (18) ඇතුළත් කරනු ලැබුවා.

මේ අතර පසුගිය 17 වනදා මුරලි සිය 49 වන උපන්දිනය සමරනු ලැබුවා.

(19.04.2021 – 11:55 +0530 – hirunews.lk/sinhala)

හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර රෝහලකට ඇතුළත් කෙරුණු ශ්‍රී ලංකා හිටපු සුපිරි දග පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් මහතා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඔහු මෙලෙස රෝහල් ගත කෙරුනේ ඊයේ (18) දිනයේයි.

කෙසේ වෙතත්, මේ වන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව සදහන්.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියට එක්ව සිටින මුරලි පසුගිය 17 වනදා සිය 49 වන උපන්දිනය ද සමරනු ලැබුවා ෴

******************************************

(19.04.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති විශේෂ පෙත්සම් අද (19) පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි.

මෙම විශේෂ පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන පංච (5) පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි කැඳවනු ලබන්නේ.

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ප්‍රකාශ කරන ලෙස ඉල්ලා මේ වනවිට සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් පෙත්සම් ගොනු කර තිබුණා.

මෙම පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක (2/3) බහුතර ඡන්දයෙන් හෝ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බවට ප්‍රකාශ කරන ලෙසට පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම පනත් කෙටුම්පතෙහි 6(1) වගන්තිය අනුව වරාය නගරය තුළ සිදුවන ආයෝජන ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය වරාය නගර ආර්ථික කොමිසම වෙත පැවරීමෙන් රටේ ජාතික ආරක්ෂාවට සහ ආර්ථික සුරක්ෂිතතාවයට බරපතල තර්ජනයක් බව පෙත්සම්කරුවන් පෙන්වා දෙනවා.

මෙම පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්ති මගින් එහි සේවය කරන සේවකයින්ට වීසා නිකුත් කිරීම ඇතුළු අනුමත කිරීම් සිදු කිරීමට මෙම ආර්ථික කොමිසම වෙත බලය හිමි වීම ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව පෙත්සම්කරුවන් තවදුරටත් පවසා සිටියා.

මෙම පනත් කෙටුම්පත පසුගිය මාර්තු මස 23 වනදා ගැසට් පත්‍රයක් මගින් ප්‍රසිද්ධියට පත් කර ඇති බවත්, එය පසුගිය අප්‍රේල් මස 8 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, පෙත්සම්කරුවන් සඳහන් කළා ෴

******************************************

(19.04.2021 – 07:23 +0530 – hirunews.lk/sinhala)

පොලිතින් සහ ප්ලාස්ටික් අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් පසුගිය වසර 10 ක කාලසීමාව තුළ ලොව පුරා කැස්බෑවන් ලක්ෂයක් පමණ මිය ගොස් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සහාපති නිතිඥ දර්ශණි ලහදපුර මහත්මිය ප්‍රකාශ කළා.

ඇය කියා සිටියේ ශ්‍රී ලංකාව අවට සාගර ප්‍රදේශයට ද මෙයට බලපා ඇති බවයි ෴

******************************************

(19.04.2021 – 07:44 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු (2) අනතුරට ලක් කරමින් පළා ගිය කැබ් රථයේ රියදුරු, සහකරු සහ අදාළ රථයේ හිමිකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 04 ක් පත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ සැකකරුවන් ප්‍රදේශය අතහැර පළා ගොස් සැඟව සිටින බවටයි.

සැකකරුවන් වව්නියාව සහ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් සිය නිවෙස් ද අතහැර ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

පෙරේදා වව්නියාව – ඕමන්තේ මාර්ග බාධකයකදී අදාළ කැබ් රථය නතර කරන ලෙස දැනුම් දී ඇති අතර, එහිදී කැබ් රථය අණ නොතකා ධාවනය කරමින් මාර්ග බාධකයේ සිටි යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු (2) ද අනතුරට ලක් කර තිබුණා.

පසුව කැබ් රථය කෙටි දුරක් ධාවනය කොට ඔවුන් එය අතහැර දමා ගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ කැබ් රථයේ තිබී නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ බුරුත දැව තොගයක් ද සොයාගත් බවයි.

අනතුරෙන් තුවාල ලැබූ යුද හමුදා සාමාජිකයන් දෙදෙනා (2) මේ වන විට වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන් 56 වන සේනාංකයට අයත් භට පිරිස් වන බවයි යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ ෴

******************************************

(19.04.2021 – 08:50 +0530 – hirunews.lk/sinhala)

මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලීසිය, අධිවේගී මාර්ග ආශ්‍රිතව අද (19) දිනයේත් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ අවුරුදු නිවාඩුවට ගම් බිම් බලා ගොස් නැවත කොළඹට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි ෴

******************************************

(19.04.2021 – 09:15 +0530 – hirunews.lk/sinhala)

මේ වසර අවසානය වන විට රුපියලේ අගය ස්ථාවර මට්ටමකට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ඔහු සඳහන් කළේ රුපියල වසර අවසන් වන විට ඩොලරයකට සාපේක්ෂව රුපියල් 175 ත්, රුපියල් 180 ත් අතර අගයක් ගනු ඇති බවයි.

චීනයෙන් ලබා ගත් ණය ආධාරයත් සමඟ විදේශ සංචිත සියයට 20 ක වැඩි වීමක් බලාපොරොත්තු විය හැකි බවද ඔහු කියා සිටියා ෴

******************************************

(19.04.2021 – 10:13 +0530 – hirunews.lk/sinhala)

උතුර – නැගෙනහිර ප්‍රදේශවල පවතින පුරාවිද්‍යාත්මක ස්ථානවල ඇති වැදගත්කම පිළිබඳව එම ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවක් ආරම්භ කිරීමට පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව සූදානම් වනවා.

එහි ආරම්භක සම්මන්ත්‍රණය හෙට මඩකලපුවේදී පැවැත්වෙන බවයි එම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ ෴

******************************************

(19.04.2021 – 10:16 +0530 – hirunews.lk/sinhala)

වෙනත් ග්‍රහ ලෝකයක සිට ප්‍රථම වරට හෙලිකොප්ටරයක් පියාසර කිරීමේ මෙහෙයුමක් නාසා ආයතනය අද (19) අත්හදා බැලීමට නියමිතයි.

පසුගිය පෙබරවාරි මාසයේ අඟහරු ග්‍රහයා වෙත ගොඩබස්වන ලද පර්සිෆියර්නස් රෝවරය මගින් ගෙනයන ලද කිලෝ 1 යි ග්‍රෑම් 800 ක් බරැති මෙම කුඩා හෙලිකොප්ටරය සාර්ථකව පියාසර කරවීමට හැකිවනු ඇති බවයි නාසා ආයතනය ප්‍රකාශ කළේ.

ඉන්ජෙනියුටි ලෙස නම් කර ඇති මෙම යානය අගහරු ග්‍රහයාගේ ජෙසෙරෝ ආවාටයේ සිට මීටර තුනක් (3) පමණ ඉහළට එසවීමට නාසා විද්‍යාඥයින් සැළසුම් කර තිබෙනවා.

@@@@@@@@@@@@@@@@

දෙවන (2) වාරය සඳහා දිවයින පුරා සියලු පාසල් අද (19) සිට ආරම්භ වනවා

(19.04.2021 – 06:14 +0530 – hirunews.lk/sinhala)

පළමු පාසල්වාරය සඳහා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් සෞඛ්‍ය මාර්ගෝපදේශ එලෙසින්ම දෙවන පාසල් වාරය සඳහා ද ක්‍රියාත්මක බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ.

කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ ආරම්භ කළ ද අද (19) දිනයේ දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සඳහා එකවර පාසල් විවෘත කරනු ලබන්නේ වසරකට වැඩි කාලයකට පසුව වීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් කොළඹ, ගම්පහ, කළුතර යන දිස්ත්‍රික්කවල පාසල් සඳහා ළමුන් ගෙන්වා ගැනීම තවදුරටත් කාණ්ඩ කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව පසුගිය වාරය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයට අදාළව සිසුන් 15 ක් දක්වා සිටින පංති සෑම සතියේ දිනකමත්, සිසුන් 16 – 30 ත් අතර සිටින පංති කණ්ඩායම් 02 කට බෙදා සතියක් හැර සතියක් සහ සිසුන් 30 කට වැඩි පංති කණ්ඩායම් 03 කට බෙදා සමාන දින සංඛ්‍යාවක්වන සේ පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.

දරුවන් පාසල් සඳහා පැමිණීමේදී මුව ආවරණයක් පැළඳීම අනිවාර්යවන අතර දෑත් පිරිසිදුව තබාගැනීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කිරීමටද වගබලා ගත යුතුයි.

කෑම පෙට්ටි, වතුර බෝතල් වැනි පෞද්ගලික උපකරණ අන් අය සමඟ එක්ව පරිහරණය නොකිරීමටත් සිසුන් වගබලා ගත යුතු වනවා.

++++++++++++++++++

(19.04.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදෙන්නේ සති 10 කින්ද, 12 කින්ද යන්න අද (19) තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

එන්නත්කරණය පිළිබඳ විද්වත් කමිටුව පස්වරුවේ වසංගත රෝග විද්‍යා අංශයේදී රැස්වී එම තීරණය ගැනීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.

මේ අතර නව ආසාදිතයින් 357 දෙනෙකු ඊයේ (18) හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 96,796 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 281 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර පොකුරේ ආසාදිතයන් හත්දෙනෙකු (7) සහ විදේශයන් හි සිට පැමිණි 70 දෙනෙකු මෙම පිරිස අතර වනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 3,065 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 93,113 ක්.

එමෙන්ම නව මරණයක් ඊයේ (18) වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 618 ක් දක්වා ඉහළ ගියා.

පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *