ජලය නොමැතිව අසරණය වූ ඇල්පිටිය ගොවීන්

ජලය නොමැතිව අසරණය වූ ඇල්පිටිය ගොවීන්

*********************************************

ජලය නොමැතිව අසරණය වූ ඇල්පිටිය ගොවීන්

(17.04.2021 – 13:58 +0530 – hirunews.lk/sinhala)

යල සහ මහ දෙකන්නයම වගා කරමින් සහලින් රට ස්වයංපෝෂිත කිරීම සදහා ගොවියාට අවැසි යටිතල පහසුකම් සැපයීමට ජනතා බදු මුදලින් සැලකිය යුතු කොටසක් වෙන්වනවා.

නිසි කළමනාකරණයකින් තොරව එම මුදල් යෙදවීම හේතුවෙන් යල – මහ දෙකන්නයම අස්වැද්දවීමට නොහැකි වූ ඇල්පිටිය ප්‍රදේශයේ අක්කර සිය ගණනක කුඹුරු යායක් පිළිබඳවයි අද (17) ‘රතු මිනිත්තුවේ’ අවධානය.

මේ ඇල්පිටිය ප්‍රදේශයටම බත සැපයූ අක්කර 100 ක පමණ වපසරියකින් යුතු පොල්ලෙවෙල වෙල්යාය.

ගොවීන් 60, 70 කගේ පමණ ධෛර්යයෙන් යල මහ දෙකන්නයම ඉතා සරුසාරව වගා කළ මෙම වෙල් යාය ජලය ලබාගැනීමේ පවතින අසීරුතාවය හේතුවෙන් අද එක් කන්නයක් හෝ වගාකර ගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා.

මීට පෙර වෙල් යාය අසලින් ගලා බසිනා ජුවන් ඇළ හරහා දමා තිබූ අමුණ හේතුවෙන් යල මහ දෙකන්නයම අපහසුතාවයකින් තොරව වගා කිරීමට ගොවීන්ට හැකියාව ලැබී තිබුණා.

නමුත් ගොවීන් පෙන්වා දෙන්නේ අමුණ විනාශ වී යාම හේතුවෙන් ඇළෙන් ගලා බසින ජලය වෙල් යායට ලබාගැනීමේ හැකියාව තමන්ට අහිමි වූ බවයි.

ගොවීන්ගේ ඉල්ලීම පරිදි එවක රජය රුපියල් දහ අට ලක්ෂ අසු පන්දහසක් (18,85,000) වැය කරමින් අදාළ අමුණ ප්‍රතිසංස්කරණය කළද නිසි ප්‍රමිතියකින් තොරව එම කටයුතු සිදුකිරීම හේතුවෙන් වසරක් ගතවන්නටත් මත්තෙන් අමුණ කැඩීගොස් තිබෙනවා.

අමුණ නොමැතිවීම හේතුවෙන් වතුර මෝටර් යොදා ගොවිතැන් කටයුතු කරගැනීමට ගොවීන්ට සිදුව තිබෙනවා.

වතුර මෝටර්වල කුලිය ගෙවීමට සහ ඒ සඳහා වැයවන විදුලිය සඳහා කන්නයකට රුපියල් 60,000 ත් 1,00,000 අතර මුදලක් වැය වීම හේතුවෙන් බොහෝ ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

ජනතා බදු මුදල් නිසි කළමනාකරණයක් සහිතව පරිහරණය කරමින් පොල්ලෙවෙල වෙල්යායේ ගොවීන්ගේ මෙම ගැටලු සදහා නිසි විසඳුම් ලබාදෙන තුරු ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

******************************************

(17.04.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුර සඳහා පුද්ගලයෙකු පත්කිරීමේ නීත්‍යානුකූල ක්‍රියාවලියට ඇතැම් වෘත්තීය සමිති බාධා කරන බවට, දුම්රිය සේවක අයිතීන් උදෙසා සංවිධානය චෝදනා කරනවා.

දුම්රිය වෘත්තීය සමිති 10 ක සහභාගීත්වයෙන් කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මේ අදහස් පළ කළා.

******************************************

(17.04.2021 – 14:37 +0530 – hirunews.lk/sinhala)

කහ ආනයනය තහනම් කිරීමෙන් පසු දේශීය ගොවීන් නිශ්පාදනය කළ පළමු කහ තොගය මිලදීගැනීම ආරම්භ වුණා. ඒ, සුළු අපනයන භෝග අමාත්‍යාංශයේ මූලිකත්වයෙන්.

මේ අතර, කිතුල් කර්මාන්තයේ පවතින ගැටළු හේතුවෙන් පිටිගල, ඒදංගල ගම්මානයේ කර්මාන්තකරුවන් දැඩි පීඩාවට පත්ව සිටිනවා.

පිටිගල – බඹරවාන – ඒදංගල ගම්මානය කිතුල් පැණි සහ හකුරු නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධියක් උසුලන ගම්මානයක්. නමුත් කිතුල් කර්මාන්තකරුවන් සඳහන් කරන්නේ සිය නිෂ්පාදන සඳහා රජයෙන් කිසිදු සහනයක් මෙතෙක් ලැබී නොමැති බවයි.

කිතුල් කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ, ජීවිත අවදානමක් දරමින් තමන් නිෂ්පාදනය කරන පිරිසිදු කිතුල් පැනි සහ හකුරුවල වැඩි වාසිය අතරමැදියන්ට හිමිවන බවයි.

කොතරම් ගැටළු මධ්‍යයේ වුවත් තවමත් මේ කර්මාන්තකරුවන් මෙම දේශිය කර්මාන්තය ජාත්‍යන්තර දක්වා ඔසවා තැබීමේ බලාපොරොත්තු අත්හැරගෙන නැහැ.

මේ අතර, දේශීය කහ නිෂ්පාදනය දිරිගැන්වීම සඳහා කහ ආනයනය තහනම් කර ඇති පසුබිමක මෙරට ගොවීන් නිෂ්පාදනය කළ පළමු කහ තොගය මිලදී ගැනීම පසුගියදා සිදු වුණා. ඒ සුළු අපනයන භෝග රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතාගේ මූලිකත්වයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයේ කහ ගොවීන්ගේ නිෂ්පාදන මෙලෙස මිලදී ගනු ලැබූ අතර එහි මූලික පියවර ලෙස දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ආවරණය වන පරිදි මෙම මිලදී ගැනීම සිදුකෙරුණා.

******************************************

(17.04.2021 – 14:57 +0530 – hirunews.lk/sinhala)

මෙරටට පැමිණෙන විදේශිකයින් අතර කොරෝනා රෝගීන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් මෙරටට පැමිණෙන විදේශිකයින් කළමනාකරණය කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ වෛරසය සමාජය තුළට ඇතුළු වී ඇතිවිය හැකි හානිකර තත්ත්වය අවම කර ගැනීම සඳහා විදේශ රටවල සිට මෙරටට පැමිණෙන පිරිස් කිසියම් සීමා කිරීමක් හෝ පාලනය කිරීමක් කිරීමට සිදුවනු ඇති බවයි.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත නොවුනහොත් ඊට එරෙහිව නීතිමය ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට සිදුවන බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්.එම්.ආනල්ඩ් මහතා පෙන්වා දුන්නා ෴

******************************************

(17.04.2021 – 15:00 +0530 – hirunews.lk/sinhala)

වැලිගම – මිරිස්ස – කළුවැල්ල වෙරළ තීරයට අද (17) පෙරවරුවේ පිරිමි මළ සිරුරක් ගොඩගසා තිබෙනවා.

පොලිසිය පැවසුවේ එම මළ සිරුර හඳුනාගත නොහැකි තරමටම නරක් වී ඇති බවයි. ඉදිරි පරීක්ෂණ සඳහා එය මාතර මහ රෝහල වෙත යොමු කිරීමට නියමිතයි ෴

******************************************

(17.04.2021 – 16:11 +0530 – hirunews.lk/sinhala)

වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 6.8 කින් අවප්‍රමාණ වී තිබෙනවා.

එසේම යුරෝ, ස්ටර්ලින් පවුම්, ඕස්ට්‍රේලියානු ඩොලර්, ජපන් යෙන් සහ ඉන්දියානු රුපියලට සාපේක්ෂව මේ වසරේදී රුපියල අවප්‍රමාණ වී ඇති බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.

පෙබරවාරි මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ දළ නිළ සංචිත මට්ටම ඇමරිකානු ඩොලර් බිලියන 4.6 ක් බව මහබැංකුව ප්‍රකාශ කළා. බැංකු අංශයේ විදේශීය වත්කම් ද සහිතව එහි අගය සටහන්ව ඇත්තේ ඩොලර් බිලියන 7.3 ක් ලෙසයි ෴

******************************************

(17.04.2021 – 17:06 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කළ බවට සැක කෙරෙන 5 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ යාපනය ප්‍රදේශයෙන් 4 දෙනෙකු සහ කිලිනොච්චිය ප්‍රදේශයෙන් එක් අයෙකු (1) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඔවුන්ගෙන් මේ වන විට ප්‍රශ්න කරමින් සිටින බවයි අමාත්‍යවරයා කියා සිටියේ ෴

******************************************

(17.04.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – යාපනය මාර්ගයේ නාවුල – නාලන්ද ගෙඩිගේ මංසන්ධියේදී ත්‍රිරෝද රථ දෙකක් (2) එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයක ගමන් කළ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

අද (17) පෙරවරු 11 ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, බරපතල තුවාල ලැබූ පුද්ගලයා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ රත්තොට ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක් ෴

******************************************

විවාහක රූ රැජිණ අවසන් තරගකාරියන් පිරිසක් මාධ්‍ය හමුවක … පුෂ්පිකා දිනවන්න නීති නැමූ හැටි හෙලි කරයි…

(18.04.2021 – 00:03 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේ අවසන් තරඟය සඳහා සහභාගී වූ 20 දෙනාගෙන් කිහිප දෙනෙකු කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය.

ඔවුන් එහිදී චෝදනා කළේ සංවිධායකයන් විසින් තමන්ම රවට්ටන ලද බවත් පුෂ්පිකා ද සිල්වා ට කිරුළ ලබාදීමට තමන්ව පාවිච්චි කළ බවත්ය.

එම තරගයේදී පළමුව ඉදිරිපත් කර තිබූ නීති මාලාව පිළිබඳව අපැහැදිලි තත්ත්වයක් මතු වූ බවද ඔවුන් කියා සිටියහ.

තරගයට සහභාගී වූ සියලු තරගකාරියන් විවාහක විය යුතු බවත් ඔවුන්ගේ ස්වාමි පුරුෂයා ද සාක්ෂිකරුවන් ලෙස පැමිණිය යුතු බවත් දැනුම් දුන්නද පසුව එම කොන්දේසි නොතකා හැරි බව ද ඔවුන් චෝදනා කළහ.

එමෙන්ම තරගාවලියේ දී පවත්වන්නට නියමිතව තිබූ ස්වාමි පුරුෂයා සමග ඉදිරිපත් කිරීමද මෙවර අවලංගු කර තිබූ බවත් කියා සිටියහ.

එහිදී ලෝක විවාහක රූ රැජිණ ලෙස කැරොලයින් ජූරිගේ හැසිරීම නිවැරදි බව ද පැවසූ එම පිරිස පුෂ්පිකා ද සිල්වාට විශේෂ සැලකීමක් සිදු කරමින් ඇය ජයග්‍රහණය කරවීම සඳහා සැලසුම් සහගතව කටයුතු කළ බවක් පෙනෙන්නට තිබූ බවද පැවසූහ.

******************************************

(17.04.2021 – 19:05 +0530 – hirunews.lk/sinhala)

සුරාබදු නීතිය සංශෝධනය කිරීම සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් පත් කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ එහි මූලික වාර්තාව ලබන ජුනි 30 වන දාට පෙර රජයට භාරදීමට සැලසුම් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව තුළ දැනට ක්‍රියාත්මක සුරාබදු නීතිය, පදනම් කරගෙන ඇත්තේ 1912 අංක 8 දරණ සුරාබදු ආඥා පනතයි.

ඒ අනුව වර්තමානයේ සුරාබදු නීතිය කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට නව සංශෝධන හරහා අපේක්ෂා කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ වැඩිදුරටත් පෙන්වා දුන්නා ෴

@@@@@@@@@@@@@@

(16.04.2021 – 19:11 +0530 – hirunews.lk/sinhala)

අද (16) දිනයේ මේ දක්වා කාලය තුල කොරෝනා ආසාදිතයින් 129 දෙනෙකු අලුතින් හඳුනා ගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 96,078 ක් ලෙසයි දැක්වෙන්නේ.

මේ අතර, කොරෝනා මරණ 7 ක් අද (16) දිනයේ වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 615 ක්.

තවත් ආසාදිතයින් 303 දෙනෙකු සුවය ලබා අද රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 92,611 දක්වා ඉහල ගියා.

මේ අතර, ලොව පුරා කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව අද (16) තිස් ලක්ෂය (30,00,000) ඉක්මවූවා.

එමෙන්ම සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවද දහතුන් කෝටි අනූහත් ලක්ෂය (13,97,00,000) ඉක්මවා තිබෙනවා. මේ වනවිට ලොව වැඩිම දෛනික ආසාදිතයන් වාර්තාවන්නේ ඉන්දියාවෙන්.

ඊයේ (15) දිනය තුළද එලෙස නව ආසාදිතයන් දෙලක්ෂ දහහත් දහසකට (2,17,000) වැඩි සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් එනම් තුන්කෝටි විසිදෙලක්ෂ විසි හතර දහසක් (3,22,24,000) වාර්තාවන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

ඉන්දියාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි හතලිස්දෙලක්ෂය (1,42,00,000) ඉක්මවන අතර, බ්‍රසීලයෙන් එක්කෝටි තිස්හත් ලක්ෂ පනස් අට දහසක (1,37,58,000) ආසාදිතයන් වාර්තා වුණා ෴

++++++++++++++++

තවත් කොරෝනා ආසාදිතයින් 30 දෙනෙකු අද (16) දිනයේ හඳුනා ගෙන තිබෙනවා ෴

++++++++++++++++

කොරෝනා ආසාදිතයින් 237 දෙනෙකු ඊයේ (16) දිනයේ අලුතින් හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 96,186 ක් ලෙස ඉහළ ගියා.

මේ අතර, කොරෝනා මරණ 7 ක් ඊයේ (16) දිනයේ වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 615 ක්.

තවත් ආසාදිතයින් 303 දෙනෙකු සුවය ලබා ඊයේ (16) රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 92,611 දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++

(17.04.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (16) හඳුනාගත් නව කොරෝනා ආසාදිතයන් 237දෙනා අතරින් වැඩිම පිරිස වන 23 දෙනෙකු වාර්තාවී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන්.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් අසාදිතයන් 21 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් විසිදෙනෙකු (20) හඳුනාගෙන ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

ඊයේ (16) හඳුනාගත් නව ආසාදිතයන් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 96,186 ක්ලෙස ඉහළ ගියා.

තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයන් 2,960 ක් ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 92,611 ක්. මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 615 ක් වනවා.

මේ අතර, අද (17) උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 2,34,692 ක් වාර්තාවී තිබෙනවා.

එය මෙතෙක් ඉන්දියාවෙන් වාර්තාවූ වැඩිම දෛනික ආසාදිත සංඛ්‍යාවයි.

ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව එක්කෝටි හතළිස් පන් ලක්ෂය (1,45,00,000) ඉක්මවනවා.

ගතවූ පැය විසි හතර (24) තුළ වාර්තාවූ තවත් මරණ 1,341 ක් සමඟින් එරට කොරෝනා මරණ සංඛ්‍යාවද 175,000 ඉක්මවූවා.

ඉන්දියාවේ මෙලෙස කොරෝනා ආසාදිතයන් සහ මරණ ඉහළ යද්දී ගංඟා නදියේ ස්නානය කොට පව් සෝදා හැරීමේ කුම්භමේලා සැණකෙළිය තවදුරටත් පැවැත්වෙන බව වාර්තාවනවා.

ඒ එහි මූලිකත්වය ගෙන කටයුතු කරන පූජකයන් පිරිසකටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබියදියි.

කුම්භමේලා සැණකෙළිය සංකේතාත්මකව පමණක් සිදුකළ යුතු බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ට්විටර් පණිවුඩයක් මගින් අද (17) උදෑසන කළ ඉල්ලීමද එහි සංවිධායකයන් නොසළකා හැර ඇති බව සඳහන්.

මේ අතර ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවද අද (17) කෝටි දහ හතරේ (14,00,00,000) කඩඉම පසු කළා.

කොරෝනා මරණ සංඛ්‍යාව තිස් ලක්ෂය (30,00,000) ඉක්මවූයේ ඊයේ (16) දිනයේදියි ෴

++++++++++++++++++

තවත් කොවිඩ්-19 රෝගීන් 221 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ මුළු අසාදිතයින් ගණන 92,832 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කලා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ආසාදිතයින් 2739 දෙනකු ප්‍රතිකාර ලබන අතර, මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 96,186 ක් ලෙසටයි ෴

තවත් කොරෝනා ආසාදිතයින් 168 දෙනෙකු අද (17) දිනයේ හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා අසාදිත සමස්ත රෝගීන් ගණන 96,354 ක් වෙනවා. ඉන් 2907 ක් තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

මේ වන විට මරණ 615 ක් වාර්තා වෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *