රුපියල් 5000 සේ දීමනාව ගැන සමෘද්ධි වෘත්තිය සංගම්වලට සැකයක්

රුපියල් 5000 සේ දීමනාව ගැන සමෘද්ධි වෘත්තිය සංගම්වලට සැකයක්

*********************************************

රුපියල් 5000 සේ දීමනාව ගැන සමෘද්ධි වෘත්තිය සංගම්වලට සැකයක්

(12.04.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන් ඇතුළු තෝරා ගත් කාණ්ඩ කිහිපයකට රුපියල් 5000 සේ දීමනාව ලබාදීමේ කටයුතු අද (12) පෙරවරුවේ ආරම්භ වූ අතර, ඇතැම් ස්ථානවල ගැටළු සහගත තත්වයන්ද මතුව තිබුණා.

ඒ, අදාළ දීමනාව ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ප්‍රමාද වීම හා එම දීමනාව ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන නිලධාරීන්ගේ ඇතැම් වෘත්තිය සමිති ඊට සහය ලබා නොදීම හේතුවෙන්.

මෙම වැඩපිළිවෙලේ අවිධිමත්භාවය හේතුවෙන් තම සංගමය ඇතුලු වෘත්තීය සමිති කිහිපයක් 5000 සේ දීමනාව ලබාදීමේ කටයුතුවලින් තවදුරටත් ඉවත්ව සිටින බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර සංගමයේ භාණ්ඩාගාරික මංජුල ආරියරත්න මහතා ද කියා සිටියේ මෙම වැඩපිළිවෙලට සහය ලබා නොදෙන බවයි.

කෙසේවෙතත් මෙම වැඩපිළිවෙලට එරෙහිව ඊයේ (11) අදහස් පළ කළ ‘සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය’ අද (12) දිනයේ ඊට සහය පළ කරමින් සමෘද්ධිලාභීන්ට ලබාදෙන රුපියල් පන්දහසේ (5000) දීමනාව ලබාදීමට කටයුතු කර තිබුණා.

එසේම එම සංගමයේ ලේකම් චාමර මද්දුමකළුගේ මහතා කියා සිටියේ මෙම දීමනාව ලබාදීමට අදාළ ප්‍රතිපාදන ලැබුණු ආකාරය සම්බන්ධයෙන් සැකයක් මතුවන බවයි.

මීට අමතරව සමෘද්ධිලාභීන් හා අඩු ආදායම්ලාභීන් වෙත රුපියල් 5000 සේ දීමනාව ලබාදීමේ කටයුතුවලට මැදිහත්ව ක්‍රියා කරන බව ‘සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමය’ සඳහන් කළා.

රුපියල් 5000 ලබාදීම තම සංගමයේ නිලධාරීන් විසින් සිදුකරන බවයි ‘ශ්‍රී ලංකා එක්සත් ගම්පත ග්‍රාම නිලධාරී සංගමයේ’ සභාපති කීර්ති තිස්ස මහතා කියා සිටියේ.

මේ අතර දීමනා ලබා ගැනීම සඳහා ඌව පරණගම – කොටවර සමෘද්ධි බැංකුව වෙත අද (12) පෙරවරුවේ පැමිණි ප්‍රතිලාභීන් යළි හරවා යැවීමට නිලධාරීන් කටයුතු කළේ ඊට අදාල මුදල් ප්‍රතිපාදන තමන්ට ලැබීම ප්‍රමාද වන බව පවසමින්.

මේ අතර, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රජය මාසිකව ලබාදෙන රුපියල් 2000 ක වැඩිහිටි දීමනාව ලබා ගැනීමට හැටන්, බගවන්තලාව ඇතුළු වතුකරයේ තැපැල් කාර්යාලය වෙත අද (12) පෙරවරුවේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පැමිණ සිටිය ද ඔවුන්ට නැවත හැරීයාමට සිදුවුණේ අද (12) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන්.

******************************************

(12.04.2021 – 19:49 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද උදාවීමට තවත් ඇත්තේ දින දෙකක (2) කාලයක් පමණයි.

නව අවුරුදු උදාව සැමරීම සදහා ජනතාව මේ වන විට ලහිලහියේ සුදානම් වන අයුරු දක්නට ලැබෙනවා.

සෑම නගරයක්ම පාසා අද (12) දිනයේදීත් ජනතාව විශාල වශයෙන් සැරිසරනු දක්නට ලැබෙන බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේ වෙතත් කොරෝනා වෛරස් වසංගතය වැළැක්වීම සඳහා පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් ජනයා ප්‍රධාන නගරවල අවුරුදු සාප්පු සවාරියේ යෙදෙන අයුරු දක්නට ලැබුණා.

ඔවුන් බහුතරයක් මුව ආවරණ පැළඳ සිටියද සමාජ දුරස්ථභාවය පිළිබඳව වැඩි සැළකිල්ලක් දැක්වූ අයුරක් දක්නට ලැබුණේ නැහැ.

අද (12) දිනයේදී පැරණි අවුරුද්ද සඳහා ස්නානය කිරීමේ චාරිත්‍රය සිදුකළේ ඉපැරණි චාරිත්‍ර වලට මුල් තැන දෙමින්. අලුත් අවුරුදු උදාව අනිද්දා (14) පූර්ව භාග 02:33 ට සිදුවනවා.

13 වනදා අඟහරුවාදා අපරභාග 08:09 සිට 14 වන බදාදා පූර්ව භාග 08:57 දක්වා පූණ්‍ය කාලය බැවින් හෙට (13) දින අපරභාග 08.09 ට පෙර ආහාරපාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වාතාවත්වල යෙදීම සුදුසු වන බවයි අවුරුදු නැකත් පත්‍රයේ දැක්වෙන්නේ.

අනිද්දා (14) පූර්ව භාග 06:17 ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැද එළකිරි මිශ්‍ර කිරිබතක් සහ මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙල කිරීම සුදුසු වනවා.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය යෙදී ඇත්තේ අනිද්දා (14) පූර්වභාග 07:41 කටයි.

පලාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු ගනුදෙනු කර ආහාර අනුභවය යෝග්‍ය වන බවයි නැකත් පත්‍රයේ සදහන් වන්නේ.

අලුත් අවුරුද්දේ රස කැවිලිවලට හිමිවන්නේ මුල්තැනක්. කෙසේ වෙතත්, පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යාම මෙන්ම පිළිකාකාරක පොල්තෙල් ගැටළුවත් සමඟ මෙවර අලුත් අවුරුදු රසකැවිලිවල මිල ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි ව්‍යාපාරිකයින් සහ ජනතාව සඳහන් කළේ.

මේ අතර, අලුත් අවුරුදු සදහා සිය ගම්බිම් බලා යන ජනතා වෙනුවෙන් මේ වන විට අතිරේක බස්රථ සහ දුම්රිය යොදවා තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේ ඒ වෙනුවෙන් සාමන්‍ය බස්රථ ධාවනයට අමතරව අතිරේක බස්රථ 400 ක් යෙදවීමට කටයුතු කර ඇති බවයි.

එමෙන්ම, එළඹෙන අවුරුදු සමය තුළ කාර්යාල ඇතුළු මගී දුම්රිය ගමන් වාර 30 කට ආසන්න ප්‍රමාණයක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව හෙට (13), අනිද්දා (14) සහ ලබන 15 වෙනිදා පමණක් එම දුම්රිය ගමන් වාර අවලංගු කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

කෙසේ වෙතත්, ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් සහ යළි කොළඹට එන ජනතාව සදහා අලුත් අවුරුදු සමය තුළ ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකයි.

දුම්රිය මගින්ට හදිසි අවස්ථාවකදි පැමිණිලි කිරීමට හා දුම්රිය සම්බන්ධ අනෙකුත් තොරතුරු ලබා ගැනීම සඳහා 1971 කෙටි දුරකථන අංකය හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුවට අදාල සියලු පැමිණි හා අනෙකුත් තොරතුරු මෙම කෙටි දුරකථක අංකය මගින් ලබා ගත හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

අනිද්දා (15) සිට සාමාන්‍ය පරිදි බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර තිබෙනවා ෴

******************************************

(12.04.2021 – 20:01 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු උත්සව සමයේ මෙරට ඉන්ධන භාවිතය ඉහළ ගොස් ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මේ වනවිට දෛනික ඉන්ධන පාරිභෝජනය මෙට්‍රික් ටොන් 4500 ඉක්මවා ඇති බවයි ෴

******************************************

(12.04.2021 – 20:09 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාම මාගම කිරින්ද වෙරළ තීරයේ පිහිටා ඇති ඛණිජ නිධි සහිත වැලි වැටිය ආශ්‍රිත ප්‍රදේශය අද (12) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

++++++++++

******************************************

(12.04.2021 – 20:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ වරාය නගර සැලැස්ම බවට පත්ව තිබෙන්නේ චීනයේ හොංකොං සැලැස්ම බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

කොලඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළා.

+++++++++++++

12-04-2021

******************************************

(13.04.2021 – 06:42 +0530 – hirunews.lk/sinhala)

ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන්වූ කරුංකා පුවක් තොගයක් ව්‍යාජ ලේඛන සකසා ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙන් සහකාර රේගු අධිකාරිවරයෙකු පොලිස් අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත්තා.

මීට මාස තුනකට (3) පමණ පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුංකා පුවක් ප්‍රතිඅපනය කිරීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළා.

මෙම විමර්ශනය සිදු කෙරුණේ ඉන්දුනීසියාවේ සිට මෙරටට ගෙන්වූ කරුංකා පුවක් මෙරට නිෂ්පාදන බවක් අඟවා ව්‍යාජ ලේඛණ සකස් කොට නැවත ඉන්දියාවට ප්‍රතිඅපනයනය කිරීම සම්බන්ධයෙනුයි.

මේ සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු (3) මීට මාස දෙකකට (2) පෙර අත්අඩංගුවට ගැණුනා.

ඔවුන්ගෙන් ලද තොරතුරු සහ සිදුකරන ලද විද්‍යාත්මක පරීක්ෂණ ඔස්සේ මෙම කරුංකා මෙරට නිෂ්පාදන බවට හැඟවෙන ලෙස ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය ඔස්සේ නිකුත් කළ සහතිකය සැකැසූ රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරී වරයා අත්අඩංගුවට ගැණුනේ ඒ අනුවයි ෴

******************************************

සිංහල අලුත් අවුරුදු නැකැත්

(13.04.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් මස 14 වන බදාදා පූර්ව භාග 02:33 ට මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවනවා.

අප්‍රේල් මස 13 වෙනි අඟහරුවාදා අපර භාග 08:09 සිට 14 වනදා බදාදා පූර්ව භාග 08:57 දක්වා පුණ්‍ය කාලය යෙදී ඇති බැවින් අප්‍රේල් මස 13 වෙනි අඟහරුවාදා දින අපර භාග 08:09 ට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදෙන ලෙසයි මෙවර අවුරුදු නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ.

පුණ්‍ය කාලයේ අපර කොටස තුළ එනම් අප්‍රේල් මස 14 වනදා බදාදා පූර්ව භාග 02:33 සිට එදිනම (14) පූර්ව භාග 08:57 දක්වා කාලය තුළ යෙදී පවතිනවා.

‘අප්‍රේල් මස 14 වැනිදා බදාදා පූර්ව භාග 06:17 ට ලා කොළ වර්ණ (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා එළකිරී මිශ්‍ර කිරි බතක් ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කර ගැනීම මැනවී’ යනුවෙනුයි මෙවර අලුත් අවුරුදු නැකත්වල දැක්වෙන්නේ.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභව නැකත අප්‍රේල් මස 14 වැනිදා බදාදා පූර්ව භාග 07:41 ට යෙදී තිබෙනවා.

මෙවර අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත යෙදී ඇත්තේ අප්‍රේල් මස 17 වැනිදා සෙනසුරාදා දින පූර්ව භාග 07:16 ටයි.

‘දකුණු දිශාව බලා හිසට නුග පත් ද, පයට කරඳ පත්ද තබා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසි නුග පත් යුෂ මිශ්‍ර නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවී’ යනුවෙනුයි මෙවර අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ දැක්වෙන්නේ.

රැකීරක්ෂා සඳහා පිටත්ව යෑම පිටත්ව යෑමේ නැකත අප්‍රේල් මස 19 වැනිදා සඳුදා පූර්ව භාග 06:39 ට යෙදී තිබෙනවා ෴

++++++++++++

******************************************

(13.04.2021 – 07:27 +0530 – hirunews.lk/sinhala)

‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස්’ ආයතනයේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කර තිබෙනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මහබැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31-1 වගන්තිය ප්‍රකාරව ඊයේ (12) පස්වරු 05:00 සිට බල පැවැත්වෙන පරිදි මෙම අත්හිටුවීම සිදුකර ඇති බවයි.

ආයතනයේ මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වීම සහ නැවත යථා තත්ත්වයට පත් කිරීම සදහා ක්‍රියාත්මක කළ හැකි සාධනීය ආයෝජන යෝජනාවලියක් ඉදිරිපත් නොවීම හේතුකොටගෙන, මුදල් මණ්ඩලය පසුගිය වසරේ ජුලි මස 13 වන දා සිට බල පැවැත්වෙන පරිදි ‘ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස්’ සහ එහි මව් සමාගම වන ‘ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ්’ යන ආයතන දෙකෙහි (2) ව්‍යාපාර කටයුතු ජුලි මස 10 වන දා අත්හිටුවනු ලැබුවා.

එම ව්‍යාපාර කටයුතු අත්හිටුවීම මේ වසරේ ජනවාරි මස 12 වන දා දක්වා බල පැවැත්වුණා.

ව්‍යාපාර කටයුතු අත්හිට වූ මාස 6 ක කාලසීමාව නිමා වන විට ද ප්‍රාග්ධන යෙදවීමක් මගින් ආයතනය නැවත යථා තත්ත්වයට පත්කිරීම සදහා ක්‍රියාත්මක කළ හැකි යෝජනාවලියක් ඉදිරිපත් නොවූ අතර ආයතනයෙහි මූල්‍ය තත්ත්වය අඛණ්ඩව පසුබෑමට ලක්වූ බවයි මහබැංකුව සදහන් කළේ.

කෙසේ වෙතත්, ආයතනයේ ඉතුරුම් තැන්පත්වලින් සියයට 50 ක ප්‍රමාණයක් ආපසු ගෙවීම සදහා පමණක් පසුගිය ජනවාරි 13 වන දා සිට තෙමසක සීමිත කාලසීමාවක් සඳහා ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් ආයතනයේ ව්‍යාපාර කටයුතු නාමිකව නැවත ආරම්භ කිරීමට තීරණය කරනු ලැබුවා ෴

******************************************

දේශීය පොල් තෙල් බෝතලයක් රුපියල් 450 කට

(12.04.2021 – 19:19 +0530 – sinhala.adaderana.lk)

ප්‍රමිතියෙන් යුතු දේශීය පොල් තෙල් බෝතලයක් රුපියල් 450 ක පාලන මිලකට ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි. අද (12) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා :

“මේ අවුරුද්ද ඉවර වෙනකල් පිරිසිදු, මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු, දේශීයව නිෂ්පාදනය කරන පොල් තෙල් බෝතලයක් කවර වෙනස්කම් ඇති වුණත් රු. 450 කට සතොස සහ සමුපකාර ව්‍යාපාරය හරහා අලෙවි කරනවා. ඒ ගිවිසුමට අපිට එලෙඹෙන්න පුළුවන්. එතකොට මේ වර්ෂය නිමවෙන තෙක් පොල් තෙල්වල මිලේ ඉහළ යෑමක් සිදුවන්නේ නෑ. කිසිඳු හිඟතාවයක් නොමැතිව රු. 450 මිලට පොල් තෙල් සැපයීමට සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය සමග අපි ඉදිරියේ දී ගිවිසුමකට එනවා.”

මේ අතර පිළිකා කාරක අන්තර්ගත බවට තහවුරු වූ ආනයනික පිරිපහදු නොකළ පොල් තෙල් මෙට්‍රික් ටොන් 105 ක තොගයක් මැලේසියාවට ප්‍රතිඅපනයනය කිරීමට ශ්‍රී ලංකා රේගුව අද (12) පියවර ගත්තේය.

මෙලෙස ප්‍රතිඅපනයනය කෙරුණේ ‘කටාන රිෆයිනරීස් සමාගම’ ගෙන්වා තිබූ පොල් තෙල් තොගයයි.

මින් ඉදිරියට ‘ඇෆ්ලටොක්සින්’ අඩංගු බවට සැකකෙරෙන ආනයනික පොල් තෙල් හා වියළි මිරිස් අදාළ සමාගම්වල ගබඩා වෙත නිදහස් නොකරන බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික ජනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කළේය.

කොළඹ වරායේ SAGT පර්යන්තය වෙත බාබරා නමැති නෞකාව අද ළඟා වුණේ ‘ඇෆ්ලටොක්සින්’ නමැති පිළිකාකාරකය ඉහළ ප්‍රතිශතයක් අඩංගු බවට තහවුරු වූ පිරිපහදු නොකළ පොල්තෙල් තොගයන් කොටසක් මෙරටින් රැගෙන යාම සඳහාය.

අලි බ්‍රදර්ස්, එදිරිසිංහ එඩිබල් ඔයිල් හා කටාන රිෆයිනරීස් යන සමාගම් 03 ආනයනය කර තිබූ පොල් තෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 1900 කට ආසන්න වන අතර එම සමස්ත තෙල් තොගයම මිනිස් පරිභෝජනයට නුසුදුසු බව ආහාර ආරක්ෂණ ඒකකය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය දැනුම් දී තිබුණි.

ඒ අනුව කටාන රිෆයිනරීස් සමාගම පමණක් මෙරටට ආනයනය කළ සම්පූර්ණ ප්‍රමාණය එනම් මෙට්‍රික් ටොන් 105 ක පොල්තෙල් තොගය ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීම අද (12) උදෑසන 10 ට පමණ සිදුවිය.

මෙලෙස ප්‍රතිනැව්ගත කෙරුණේ එම සමාගමට අයත් කටාන බටපත්තල පිහිටි අංගනයේ තිබියදී පසුගියදා රේගු නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබූ බහාලුම් 06 යි.

එම බහාලුම් රේගුවෙන් නිදහස් කළ බවට සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය හෙළිදරව් කිරීමත් සමග ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වූ අතර ඊට ප්‍රතිචාර දැක්වූ රේගුව සඳහන් කළේ ප්‍රමිති ආයතනයේ වාර්තා ලැබෙනතුරු එම බහාලුම් නිදහස් කර තිබුණේ රේගු මුද්‍රා සහිතව සමාගම්වල ගුදම් වෙත පමණක් බවය.

මතභේදයට තුඩුදුන් එම බහාලුම් ප්‍රතිනැව්ගත කිරීමේ අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අද (12) ඉඩ ලබාදීම විශේෂත්වයකි.

මෙරටින් ප්‍රතික්ෂේප කෙරෙන කිසියම් බහාලුමක් රැගෙන ආ රටටම යැවීම ක්‍රමවේදය වන අතර ඒ අනුව එම පොල් තෙල් තොගය මැලේසියාවට යැවීම සිදුවේ.

රේගුව සඳහන් කළේ බහාලුම් රැගත් බාබරා නෞකාව අද (12) පස්වරුවේ කොළඹ වරායෙන් පිටව ගිය බවය.

******************************************

කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත කර තිබු ගොඩනැගිල්ල නැවත භාරදීමට බදුකරුගෙන් බාධා – කෘෂිකර්ම ඇමති කියයි

(12.04.2021 – 18:59 +0530 – sinhala.adaderana.lk)

කෘෂිකර්ම අමාත්‍යාංශය ස්ථාපිත කර තිබූ රාජගිරියේ පිහිටි සුපිරි ගොඩනැගිල්ලේ බදු දීමනාකරුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඒ ඔහු රජයේ ආරක්ෂක තැන්පතුව යළි ලබාදීම පැහැරහැරීමට එරෙහිවය.

එම සුපිරි ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සඳහා රජය අධික මාසික කුලියකට ලබාගෙන තිබුණේ 2016 වසරේදීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යාම සඳහා රාජගිරියේ ‘ඩී.පී.ජේ. ගොඩනැගිල්ල’ ඉකුත් යහපාලන ආණ්ඩුව විසින් බදු පදනම මත ලබාගෙන තිබුණේ රුපියල් දෙකෝටි දස ලක්ෂයක (2,10,00,000) මාසික කුලියකටයි.

එහෙත් අමාත්‍යංශයක් පවත්වාගෙන යාම සඳහා එවන් අධික වියදමක් දැරීම සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක විරෝධය එල්ලවීමත් සමඟ ගොඩනැගිල්ලෙන් අමාත්‍යංශය ඉවත් කරනු ලැබීය.

බදු ගිවිසුමට අනුව අප්‍රේල් 07 වැනි දින ගොඩනැගිල්ල යළි භාරදීමට නියමිතව තිබුණත් අද (12) අනාවරණ වූයේ එහි ආරක්ෂක තැන්පතුව ලෙස ගෙවා ඇති රුපියල් හයකෝටි තිස් ලක්ෂයක (6,30,00,000) මුදල යළි ලබාගැනීමේ කාර්යයට ගොඩනැගිල්ලේ බදු දීමනාකරු බාධා සිදුකරන බවය. ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යවරයා මේ පිළිබඳ ව කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා :

“අප්‍රේල් මස 10 වන දා වන විට මේ ගොඩනැගිල්ල අපි බදුකරුට භාරදීමට නියමිතව තියෙනවා. අපි මේ ගොඩනැගිලිවල උපකරණ අයින් කරන්න එනකොට බදුකරු විසින් අපිට ඇතුළු වෙන්න දෙන්නේ නෑ. ඒ අනුව අපි රාජගිරිය පොලීසියට පැමිණිල්ලක් කරා. ‘මොහු විසින් අපිට ඇතුළු වෙන්න දෙන්නේ නෑ. අපිට භාණ්ඩ ගන්න දෙන්නේ නෑ’ කියලා. ඒ නිසා බදුකරු උත්සහ කරන්නේ රු. මි. 63 ක ඇපකර නොදී ඉන්න. ඒ අනුව අපි මේ පිළිබඳව CID එකට පැමිණිල්ලක් කරා.”

******************************************

යතුරු පැදි – මෝටර් රථ අනතුර… (12.04.2021)

******************************************

(13.04.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිඅපනයනය සඳහා නියෝග කළ එක් සමාගමක පිරිපහදු නොකළ පොල්තෙල් බහලුම් රැගත් බාබරා නෞකාව ඊයේ (12) රාත්‍රියේ කොළඹ වරායෙන් පිටත්ව ගියා.

මෙට්‍රික් ටොන් 105 ක් පමණ වන අදාළ පොල්තෙල් තොගය නැවත රැගෙන යනු ලැබුවේ මලයාසියාව වෙතයි.

මේ අතර ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගුදැයි සොයාබැලීම සඳහා වෙළඳපොලෙන් ලබාගත් සෙසු පොල්තෙල් සාම්පලවල ප්‍රතිඵල, අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු නිකුත්වනු ඇතැයි පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රකාශ කළා.

එහි උසස් නිලධාරියෙකු කියා සිටියේ ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගුදැයි සොයා බැලීම සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙත යොමු කළ තවත් පොල්තෙල් සාම්පල 30 ක ප්‍රතිඵල මෙලෙස නිකුත් වීමට නියමිත බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *