ප්‍රහාර වළක්වා ගැනීමට ජනතා සහයද ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යයි – අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර

ප්‍රහාර වළක්වා ගැනීමට ජනතා සහයද ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යයි – අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර

*********************************************

ප්‍රහාර වළක්වා ගැනීමට ජනතා සහයද ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍යයි – අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර

(12.04.2021 – 15:18 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී පාස්කු ප්‍රහාරය වැනි ප්‍රහාර වළක්වා ගැනීම සඳහා ජනතා සහයද ආරක්ෂක අංශවලට අත්‍යවශ්‍ය බව, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ අදහස් පළකළා.

******************************************

(12.04.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දුම්වැටි ප්‍රවර්ධනය කළ පුද්ගලයින් 6 දෙනෙකු සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට දැනුම් දී තිබෙනවා ෴

******************************************

(12.04.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව සබරගමුව මධ්‍යම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකි බවයි එහි සඳහන් වන්නේ.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් ඇතිවිය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු අමගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා ඇත්තේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා අප්‍රේල් මස 05 සිට 14 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින අතර හෙට (13) දින දහවල් 12:10 ට තිකාලි, මලාවි, වන්නිවිලන්කුලම්, ඉදායික්කඩු සහ ආනන්දකුලම් යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

දිවයින වටා මුහුදේ කාලගුණ තත්වය පහතින් :

******************************************

(12.04.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

ඛණිජ තෙල් ආනයනය සඳහා ගිවිසුමකට එළඹීමට වත්මන් රජය වෑයම් කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කළේ මේ නිසා මෙරටට විශාල ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වන බවයි.

******************************************

(12.04.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

පැමිණිලි කිරීම සහ දුම්රිය සම්බන්ධ තොරතුරු සාමාන්‍ය ජනතාවට සැපයීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව 1971 යන ඇමතුම් අංකය හඳුන්වා දි තිබෙනවා ෴

******************************************

(12.04.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ගයේ, අනාරක්ෂිතව අපරීක්ෂාකාරි ලෙස ධාවනය වන මෝටර් රථයක් පිළිබඳ වීඩියෝ දර්ශන පෙළක් ඊයේ (11) සහ අද (12) දින සමාජ මාධ්‍යය කැළඹුවා.

මෙම රථයේ, අනන්‍යතාවය සොයා පොලිස් අධිවේගී රථවාහන කොට්ටාසය සිදු කළ පරීක්ෂණයකින් පසු සොයාගෙන ඇත්තේ, එම රථය නිසි පැවරීමකින් තොරව තවත් පාර්ශවයකට අලෙවි කර ඇති බවයි.

ඒ අනුව මෙම රථයේ පළමු හිමිකරු සහ දෙවන මිලදී ගත් පුද්ගලයින් ඇතුළු අධිවේගයේ මාර්ගයේ අපරීක්ෂාකාරී ධාවනය යෙදෙන අවස්ථාවේ රථයේ සිටි සියලු දෙනාත්, අධිවේගී පොලිස් රථ වාහන කොට්ටාසය වෙත කැඳවා තිබෙනවා.

මෙම දැනුම්දීමට අනුව රථයේ මුල් හිමිකරු, ගැලනිගම පොලිස් අධිවේගී රථවාහන කොට්ටාසයට පැමිණ තිබෙනවා.

එමෙන්ම වාහනය දෙවනුව මිලදී ගත්, මහනුවර අකුරන ප්‍රදේශයේ පුද්ගලයා හදිසි ශල්‍යකර්මයකට යොමු වී ඇති බැවින් ඔහුගේ පුත්‍රයා සහ අධිවේගී මාර්ගයේ වාහනය අපරීක්ෂාකාරි ලෙස පැදවු රියදුරා ද ගැලනිගම පොලිස් අධිවේගී රථවාහන කොට්ටාසයට පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කියා සිටියේ.

කෙසේ වෙතත්. අනාරක්ෂිත ලෙස මෝටර් රථයේ ගමන් කළ අනෙකුත් තරුණයින් සිව් ‍දෙනා (4) මෙතෙක්, සොයාගෙන නැහැ.

මෙහිදී ඔවුන්ගේ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී පසුගිය සෙනසුරාදා කඩවතින් අධිවේගී මාර්ගයට ඇතුළු කර ගාල්ල දක්වා ගොස් නැවත කඩවත පිවිසුමෙන් පිටතට පැමිණ මහනුවර දක්වා ගොස් ඇති බවයි.

මෙම ප්‍රශ්න කිරීම්වලදී වාහනය තවත් පාර්ශවයකට අලෙවි කිරීමේදී සිදු කළ යුතු මුලික පියවරයන් අනුගමනය කර නොමැති බව හෙළිවී තිබෙනවා.

එමෙන්ම මෙම රිය පැදවු රියදුරා අන්ත්‍රාකාරී, අපරීක්ෂාකාරි රිය ධාවනයක යෙදි ඇති බවත්, සිදු කරන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් කියා සිටියා ෴

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව මෝටර් රථයක් ධාවනය රියදුරු මේ මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ අත්අඩංගුවට ගත් අදාල රියදුරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ෴

******************************************

(12.04.2021 – 14:42 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව, චීන සංවර්ධන බැංකුව සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය ගිවිසුමකට අද (12) එළඹුණා.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ඊට අත්සන් තැබූ බවයි බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ.

ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මෙම ණය මුදල චීනය විසින් පසුගිය වසරේ ලබාදුන් ඇමරිකානු ඩොලර් බිලියනයේ ණය මුදලේ දෙවන (2) වාරිකය වනවා.

මෙම ණය ගිවිසුම මගින් රටට ගලා එන විදේශ විනිමය, කොරෝනා වසංගතය හමුවේ මෙරට ආර්ථිකය සවිමත් කිරීම සඳහා රජය දරණ වෑයමට පිටිවහලක් වනු ඇති බවයි බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ෴

******************************************

(12.04.2021 – 15:40 +0530 – hirunews.lk/sinhala)

නිල්වැල්ල මෙරට දකුණුදිග වෙරළ තීරයේ දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක්.

එයට වැඩි ආකර්ෂණයක් ගෙන දෙමින් නිල්වැල්ල දුපතේ දිය යට ඉදිකළ කලාගාරය ජනතා අයිතියට පත් කෙරුණා.

නිල්වැල්ල වෙරළ සහ දුපත දෙස් විදෙස් කිමිදුම් සංචාරකයන්ගේ ආකර්ෂණය නොමඳව හිමිවන සුන්දර වෙරළ තීරයක්.

දිය යට සුන්දරත්වය විඳ ගැනීම සඳහා මේ ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයින් නිරන්තර කිමිදුම් කටයුතු සිදු කරනවා.

සංචාරකයින් සඳහා නවුම් අත්දැකිම් ගෙන දෙමින් පරිසර හිතකාමී අමුද්‍රව්‍යයන් යොදා ගනිමින් නාවික හමුදාව ධීවර අමාත්‍යාංශය සහ බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශය එක්ව මාතර නිල්වැල්ල ආශ්‍රිත මුහුදු තීරයේ අපුර්ව දියයට කලාගාරය ස්ථාපිත කර තිබෙනවා.

මීටර 100 ක පමණ දිගකින් සහ මීටර 40 ක පමණ පළලින් යුතු විහිදී ඇති අතර එය මෙම ආකර්ෂණිය දියයට කලාගාරය නිර්මාණය කර ඇත්තේ නගරයක ස්වරූපය පිළිඹිඹු වන අයුරින්.

ඊට මිනිස් රූප ඇතුළු විවිධ නිර්මාණාත්මක ආකෘතීන්, ගොඩනැගිලි ආකෘතින් මෙන්ම භාවිතයෙන් ඉවත් කරන ලද බස් රථ ඇතුළු රථ වහාන, ගුවන් යානා සහ කොරල් වර්ධනය සඳහාම නිර්මාණය කළ උපස්ථර ඇතුලත්.

මේහි ඇතැම් ආකෘති කුඩා ගල් කැබලි එකිනෙක සම්බන්ධ කරමින් නිර්මාණය කර ඇති බැවින් එම පෘෂ්ඨ මත මුහුදු ශාක සහ කොරල් පහසුවෙන් වර්ධනය වී ස්වාභාවික මත්ස්‍ය අභිජනනයට හිතකර පරිසරයක් ඉතා අඩු කාලසීමාවකින් නිර්මාණය වනු ඇති.

කිමිදුම් කරුවන්ට පමණක් නොව දෙස් විදෙස් සියළුම සංචාරකයින් හට මුහුද මතුපිට පිහිනීම මගින් සහ වීදුරු පතුලක් සහිත ඩිංගි යාත්‍රා මගින්ද මීටර 4 සිට10 දක්වා ගැඹුරට විහිදී ඇති මෙම ආකර්ශනීය දියයට පරිසරය පහසුවෙන් දැක බලා ගැනීමේ හැකියාව පවතිනවා.

******************************************

(12.04.2021 – 16:31 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද, රක්ගහවත්ත ප්‍රදේශයේදී, අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 100 ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මීට ටික වෙලාවකට පෙර සමත් වුණා.

ඒ, ජාඇළ ප්‍රදේශයේදී ඊයේ (11) අළුයම අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙනා (4) ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී හෙළි වූ තොරතුරු අනුවයි.

මෙම අත්අඩංගුවට ගැනීමේදී ඔවුන් සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් 13 කට අධික ප්‍රමාණයක් සොයා ගත්තා.

මෙම ජාවාරමට එකම පවුලේ මව , පියා සහ දරුවන් දෙදෙනෙකු (2) හවුල් වී තිබුණා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මොවුන්ගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් අනතුරවයි, සපුගස්කන්දේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගය පිළිබඳව තොරතුරු ලැබී ඇත්තේ.

අදාළ වැටලීමේදී මත්ද්‍රව්‍ය අඩංගු පාර්සල 91 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් 100 කට වැඩි ප්‍රමාණයක් ඇති බවටයි සැක කරන්නේ.

මේ අනුව පසුගිය දින දෙක (2) ඇතුළත කොළඹ අවටින් අවස්ථා දෙකකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් 113 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැණුනා.

මෙම මත්ද්‍රව්‍ය ජාලයේ සුළමුළ සොයා ගැනීම සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තවදුරටත් පරීක්ෂණ සිදු කරනවා.

+++++++++++++

දින 03 ක් තුල ඇල්ලූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 125 මෙරටට ආ හැටි හෙළිවෙයි

(12.04.2021 – 18:17 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (11) සහ අද (12) ජාඇළ සහ සපුගස්කන්ද ප්‍රදේශවලින් අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 125, විදේශ රටවල් දෙකක (2) රැඳී සිටින ‘රූබන්’ සහ ‘කුඩු ලාල්’ නැමැත්තන්ට අයත් බවට හෙළිවී තිබෙනවා.

දැනට ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින ‘නිපුණ’ නැමැත්තෙකු විසින් ඒවා මුහුදු මාර්ගයෙන් මෙරටට එවා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය විසින් ඊයේ (11) ජාඇළ – නිවන්දන ප්‍රදේශයේදී එකම පවුලේ පුද්ගලයින් හයදෙනෙකු (6) සමඟ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 15 ක් අත්අඩංගුවට ගත් අතර, අනතුරුව ලද තොරතුරුවලට අනුව අද සපුගස්කන්ද – රග්ගහවත්ත ප්‍රදේශයේ නිවසක තිබී අනෙක් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 110 සොයා ගනු ලැබුවා.

මේවායේ වටිනාකම රුපියල් කෝටි 100 ඉක්මවන බවයි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

++++++++++++

******************************************

(12.04.2021 – 16:55 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය සම්බන්ධ ගැසට් පත්‍රය මුද්‍රණය කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා ෴

******************************************

තවත් වාහන හිමියෙකුට ලීසිං මැරයන්ගෙන් ප්‍රහාරයක්

(11.04.2021 – 20:23 +0530 – sinhala.adaderana.lk)

අදත් වාහන හිමියකු ලීසිං සමාගමක නියෝජිතයින් පිරිසකගේ මැර ප්‍රහාරයකට ලක්වීමේ සිද්ධියක් පොළොන්නරුව, අරලගංවිල ප්‍රදේශයෙන් වාර්තා වී තිබුණි.

පොළොන්නරුව, අරලගංවිල, 5 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටින 32 හැවිරිදි බුද්ධික සඳරුවන් මහතා ත්‍රිරෝද රථ හිමිකරුවෙකි.

මීට පෙර පාසිකුඩා ප්‍රදේශයේ හෝටලයක සූපවේදියකු ලෙස සේවය කළ ඔහුට කොවිඩ් ව්‍යාප්තියත් සමග එම හෝටලය වසා දැමීම නිසා රැකියාව අහිමි වී තිබුණි.

පසුව ඔහු දෙහිඅත්තකණ්ඩියේ මූල්‍ය සමාගමකින් රුපියල් ලක්ෂ පහමාරක (5½) ණය මුදලක් ලබාගෙන තිබුණේ සිය නිවසේ කුඩා බේකරියක් ඉදිකිරීම සඳහාය.

ණය මුදල වෙනුවෙන් ඔහු ඇපයට තබා තිබුණේ සිය ත්‍රිරෝද රථයේ හිමිකාරීත්ව සහතිකයයි.

ණය මුදලට අදාළ මාස දෙකක (2) ණය වාරික නිසි පරිදි ආපසු ගෙවීමට නොහැකිවීම හේතුවෙන් අද (11) අලුයම ඔහුගේ නිවසට පැමිණි අදාළ මූල්‍ය සමාගමේ පිරිසක් ඔහුට පහර දී ත්‍රිරෝද රථය පැහැරගෙන ගිය බව මේ වනවිට රෝහල්ගතව සිටින බුද්ධික සඳරුවන් මහතා පවසයි.

ඒ අනුව බුද්ධික මහතා මේ පිළිබඳව අරලගංවිල පොලීසියට පැමිණිලිකර ඇති අතර සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ක්‍රියාත්මකය.

මේ අතර ලීසිං සමාගම්වල නියෝජිතයින්ට එලෙස පොලීසියේ මැදිහත්වීමකින් තොරව බලහත්කාරයෙන් වාහන පැහැරගෙන යා නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

“පොලීසිය නොමැතිව සන්තකය ලබාගන්න, යම් කණ්ඩායමක් හෝ කල්බදු සමාගමක නියෝජිතයින් ගියොත් එය ප්‍රශ්නගත තත්ත්වයක් විය හැකියි. ඒ අනුව අනෙක් පාර්ශ්වය සමහරවිට ඔවුන්ගේ ආත්ම ආරක්ෂාව තකා යම් යම් ක්‍රියාමාර්ග ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා හැම අවස්ථාවකදීම අදාළ පොලීසියේ ස්ථානාධිපතිවරයාට දන්වා පසුව පොලිස් නිලධාරීන් සමග සන්තකය ලබා ගැනීමට යා යුතුයි.”

******************************************

(12.04.2021 – 17:06 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි වංචාවන් සිදු කර සැඟව සිටින පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම සැකකරු වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවරයෙකු, ගුරුවරයෙකු හා ව්‍යාපාරිකයෙකු වශයෙන් පෙනී සිටිමින් නොයෙක් ආකාරයේ වංචාවන් සිදු කර ඇති අතර ඒ සම්බන්ධව පොලිස් ස්ථාන මඟින් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය නිවේදනය කළේ.

මෙම සැකකරු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුකර ඇති වංචා අතර, වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කොල්ලකන ලද වාහනයක් ලක්ෂ 165 කට විකිණීම, ව්‍යාජ අත්සන් යොදා රුපියල් 1,550,000 ක් වටිනා වාහනයක් පවරා ගැනීම, කල් බදු සමඟ විකුණු වාහනයක් සම්බන්ධයෙන් විශ්වාසය කඩ කිරීම, රුපියල් ලක්ෂ 28 ක් වටිනා මෝටර් රථයක් ලබාගෙන වංචා කිරීම, රුපියල් ලක්ෂ 30 ක් වටිනා වෑන් රථයක් සොරකම් කිරීම මොහු සිදු කළ වංචා අතර වනවා.

සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් පහත දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව : 071 859 2604

නියෝජ්‍ය පොලිස්පති, අපරාධ හා සංවිධානාත්මක අපරාධ දිසාව කාර්යාලය : 011 268 5958

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරු ලබා දෙන කෙනකුට රුපියල් ලක්ෂ 10 ක ත්‍යාග මුදලක් ලබා දීමට පොලිස්පතිතුමා විසින් අනුමැතිය ලබා දී තිබෙනවා ෴

******************************************

(12.04.2021 – 18:48 +0530 – hirunews.lk/sinhala)

සුරාබදු නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ‘1913’ සුරාබදු මෙහෙයුම් මධ්‍යස්ථානය ලබන 23 වනදා දක්වා තාවකාලිකව වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ වෙනුවට නව අංක තුනක් (3) හඳුන්වා දී තිබෙනවා.

එම අංක : 071 634 5291 / 071 310 8507 / 071 812 2333

******************************************

(12.04.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

ප්‍රති අපණයනයට නියෝග කළ එක් සමාගමක පිරිපහදු නොකළ පොල් තෙල් බහලුම් රැගත් ‘බාබරා’ නෞකාව කොළඹ වරායෙන් පිටව ගොස් තිබෙනවා.

ඇෆ්ලටොක්සීන් නැමති පිළිකාකාරකය අඩංගු වී තිබේද යන්න පරික්ෂා කිරීමට වෙළඳපොල තුලින් ලබා ගත් පොල්තෙල් සාම්පල 125 න් ප්‍රතිඵල පැමිණීමට නියමිතව ඇත්තේ ඇසුරුම් කර විකිණීමට තබා ඇති පොල්තෙල් වල පමණක් බව පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කළා.

මේ වන විට අහඹු ලෙස වෙළඳපොල තුලින් ලබා ගත් පොල්තෙල් සාම්පල 125 න් ඇෆ්ලටොක්සීන් නැමති පිළිකාකාරකය අඩංගු නොවන බවට තහවුරු වූ සාම්පල 109 ඇසුරුම් කර නොමැති පොල්තෙල් වලින් ලබා ගත් ඒවා බවයි එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙතෙක් පරික්ෂාවට ලක් කර ඇත්තේ වෙළඳපොල තුල පවතින තෙල් අතුරින් පොල්තෙල් ලෙස වර්ග කර ඇති තෙල් පමණයි.

එළවලු තෙල් සහ සූරියකාන්ත තෙල් ලෙස නම් කර ඇති ආහාර සඳහා යොදා ගන්නා තෙල් වර්ග මෙවැනි පරික්ෂණයකට භාජනය කර නැහැ.

ඒ සම්බන්ධයෙන් පාරිභෝගික සේවා අධිකාරියෙන් අප විමසීමක් කළා.

ඊට පිළිතුරු ලබා දෙමින් එහි නිලධාරියෙකු සඳහන් කළේ ඉදිරියේදී පොල්තෙල් වලට අමතරව අනෙකුත් සියලුම තෙල් වර්ගද පරික්ෂාවට ලක් කරන බවයි.

එසේම වෙළඳපොල තුලින් අහඹු ලෙස ලබා ගත් පොල්තෙල් වල ඇෆ්ලටොක්සීන් නැමති පිළිකාකාරකය අඩංගු වී නොතිබුණද ඉදිරියේදී තවදුරටත් අහඹු ලෙස ලබා ගන්නා පොල්තෙල් සාම්පල පරීක්ෂාවට ලක් කරන බවද පාරිභෝගික සේවා අධිකාරිය කියා සිටියා.

@@@@@@@@@@@@@@@

(12.04.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් හට කොරෝනා රෝග මර්ධනය සඳහා ලබාදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටු සභාපති මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා පවසනවා.

මහාචාර්යවරයා පැවසුවේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය ගෙන ඇති තීරණය අනුව මෙලෙස ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් එන්නත්කරණය අත්හිටවූ බවයි.

බ්‍රිතාන්‍යය ඇස්ට්‍රාසෙනෙකා එන්නත වයස අවුරුදු 30 ට අඩු අයට ලබානොදෙන ලෙස පසුගියදා නිර්දේශ නිකුත් කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් බහුතරයක් වයස අවුරුදු 30 ට අඩුවීම සහ ක්‍රීඩකයන් බොහෝදෙනෙක් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීමට අකමැත්ත පළකිරීමත් මේ සඳහා හේතුවූ බව මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටියා.

මේ සමඟ ක්‍රීඩකයන්ට එළඹෙන බංගලාදේශ සංචාරයේදී සෞඛ්‍ය තර්ජනයක් මතුවේදැයි හිරු ප්‍රවෘත්ති කළ විමසීමකට පිළිතුරු දෙමින් මහාචාර්යවරයා කියා සිටියේ බංගලාදේශ කණ්ඩායමේ සියලු සාමාජිකයන් එන්නත්කරණයට ලක්ව ඇති බවත් මෙම සම්පූර්ණ සංචාරය ජීව බුබුලක් යටතේ ක්‍රියාත්මක වීමත් යන කාරණා ඔස්සේ එවැනි තර්ජනයක් ඇතිවීමට ඇති ඉඩකඩ සීමිත බවයි.

ආබාධයකට ලක්ව සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ නැගී එන තරුණ පිතිකරුවා වන පැතුම් නිස්සංක මහතාගේ ආබාධ තත්වය මේ වනවිට සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති අතර ඔහු එළඹෙන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනු ඇති බවත් මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියා ෴

අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයන් 144 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඒ අනුව මෙරට සුවය ලබා රෝහල් වලින් පිටව ගිය මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 91,755 ක් වනවා ෴

තවත් කොරෝනා ආසාදිතයන් 182 ක් අද (12) දිනයේ වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා ෴

මෙරට තවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් 43 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අද (12) දිනයේ මේ වන විට වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 225 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *