නිට්ටෑවන් යළිත් කරළියට

නිට්ටෑවන් යළිත් කරළියට

*********************************************

නිට්ටෑවන් යළිත් කරළියට

(12.04.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මීට ඉහත දී වාර්තා වූ නිට්ටෑවන් නැමැති කුරු මිනිසුන් පිළිබදව යළිත් සමාජයේ කතාබහට ලක්ව තිබෙනවා.

ඒ, බදුල්ල – දෙකේ කණුව – නේත්‍රාගම ප්‍රදේශයේ ගම්වැසියන් ඒ පිළිබදව සිදුකරන අනාවරණයත් සමඟයි.

මාතර – තොටමුණ ධීවර ගම්මානයෙන් ද මීට පෙර නිට්ටෑවන්පිළිබඳ තොරතුරු වාර්තා වී තිබුණා.

එමෙන්ම, කුලියාපිටිය – එලතලව සහ මූණමල්දෙණිය යන ප්‍රදේශවලින් ද අනුරාධපුර – මහවිලච්චිය, ඇද්දකල්ල යන ප්‍රදේශයෙන් සහ අම්පාර – දමන – තොට්ටම ප්‍රදේශයෙන් මීට පෙර නිට්ටෑවන් පිළිබද තොරතුරු වාර්තා වූ අතර ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති ඔස්සේ කරුණු අනාවරණ කළා.

එවන් පසුබිමකයි බදුල්ල – දෙකේ කණුව – නේත්‍රාගම ප්‍රදේශවාසීන් නීත්තෑවන් සිටින බවට ප්‍රකාශ කරන්නේ. ඒ හේතුවෙන් තමන් දැඩි බියකින් පසුවන බව ද ප්‍රදේශවාසීන් සඳහන් කළා.

+++++++++++++

බදුල්ලේ ගමක් අසල අඟුටු මිට්ටෙක් – නීත්තෑවෙක් දැයි සැකයක්

(12.04.2021 – 12:38 +0530 – sinhala.adaderana.lk)

ඌව ආණ්ඩුකාර නිල නිවාසයට නුදුරින් බදුල්ල ග්ලෙන්ඇල්පින් වත්ත ආශ්‍රිත කැලෑ ප්‍රදේශයේ සැරිසරන බව පැවසෙන නිරුවත් අඟුටු මිට්ටෙක් නේත්‍රාගම වැසියන් කිහිපදෙනෙක් විසින් දැක තිබේ.

වලහෙකුගේ මෙන් පෙනුම ඇති කොණ්ඩය දිගට වවා ඇති අඩි දෙකහමාරක පමණ උසැති එම අඟුටු මිට්ටා හේතුවෙන් ගම්වාසීහු මේ දිනවල මහත් බියට පත්ව සිටිති.

එම අඟුටු මිට්ටාව මුලින්ම දැක ඇත්තේ, ජලනල සකස් කිරීමට ගොස් සිට ඇති ඩී.ඉන්ද්‍රසිංහ නමැත්තෙකි.

ඔහු පවසා සිටියේ, “අඩි 150 ක් විතර කන්දට නැගලා ජලනල පරීක්ෂා කරගෙන ඉදිරියට යද්දි කැලේ හෙලවෙනවා වගේ දැනුණා. මම බලනකොට මේ අද්භූත අඟුටුමිට්ටා දැක්කා. කළුම කළුයි වලහෙක් වගේ. මුහුන උල් ඇස් දෙක රතුපාටයි දැක්ක ගමන් මට බයක් ඇති උනා. ඌ මට දෙයක් කරන්න කලින් ඌට මොනවහරි කරන්න කියලා ක්ෂණිකව මම මගේ අතේ තියන ආයුධත් අරන් ඌ ළගට යන්න යනකොට පස්සනොබලා දුවන්න පටන් ගත්තා. කැලේ මැදින් රිංගලා ආණ්ඩුකාර බංගලාව පැත්තට දිව්වා. මේ කැලේ මුවෝ ඌරෝ විතරක් නොවෙයි කුළු හරක් පවා ඉන්නවා. මට හිතාගන්න බැහැ මේ මොකාද කියලා අර අනුරාධපුර පැත්තේ හිටිය නීත්තෑවෙක් ද දන්නෙත් නැහැ ඊට පස්සේ ගමේ තවත් අය මේ අඟුටුමිට්ටා දැකලා තියෙනවා.” යනුවෙනි.

ඩී. ඉන්ද්‍රසිංහ මහතාට අමතරව තවත් කිහිපදෙනෙක් ම අඟුටු මිට්ටාව දැක ඇති අතර, ඔවුන් සෑමකෙනෙකුම කළු ශරීරයකින් හෙබි මිටි පුද්ගලයෙකු පිළිබඳ ‘අද දෙරණ’ට විස්තර කරන්නට විය.

14 හැවිරිදි ශිරාන් මේ පිළිබඳ විස්තර කරමින් සඳහන් කර සිටියේ, “මම දැක්කා කළු කොට මිනිහෙක් ඉන්නවා. කොණ්ඩය දිගයි මම ආයෙත් බැලුවා හරිම භයානක් මූණක්. මම කෑ ගහගෙන ගෙට දිව්වා.” යනුවෙනි.

ශිරාන්ගේ සහෝදරිය වන 16 හැවිරිදි සෆ්නා ද මේ පිළිබඳ මෙලෙස විස්තර කරන්නට විය.

“මල්ලි කෑගහෙන ගෙට දුවගෙන ආ නිසා මං ගිහින් බැලුවා. දොරෙන් එබිලා බලන කොට මම දැක්කා අඩි දෙකහමාරක් (2½) විතර උස කළු මිනිහෙක් ආපස්ස හැරිලා යනවා. මම හොඳටම බයවෙලා කෑ ගහගෙන ගෙට දිව්වා. පස්සේ මමයි මල්ලියි තාත්තාට කෝල් කළා.”

එම සිදුවීමත් සමග නේත්‍රාගම ගම්වැසියෝ බෙහෝ බියට පත්ව සිටිති. ඔවුන් ඉල්ලා සිටින්නේ වගකිව යුතු අංශ විසින් මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ඉක්මනින් ගන්නා ලෙසය.

මීට ශත වර්ෂ කිහිපයකට පෙර අම්පාර, මොනරාගල සහ බදුල්ල වැනි දිස්ත්‍රික්කවල ඝන වනාන්තර සහිතව තිබූ කලාපවල නීත්තෑවන් ගැවසුණු බවට මත පවතී.

කුරු මිනිසුන් ලෙස අඟ පසඟ වර්ධනය වී තිබූ බවට පැවසෙන නීත්තෑවන්, මෙරට වැදි ජනයා සමග නිතර ගැටුණු බවට ද ජනප්‍රවාදයේ පවතී.

එහි ප්‍රතිඵලයක් ලෙස නීත්තෑවන් ව වැදි ජනයා විසින් ඝාතනය කළ බවට අම්පාර, මොනරාගල සහ බදුල්ල වැනි ප්‍රදේශ වන ජනයා අතර මතයක් තිබේ.

නමුත් ආදිවාසී නායක ඌරුවරිගෙ වන්නිලා ඇත්තෝ එම මතය ප්‍රතික්ෂේප කරයි.

******************************************

(12.04.2021 – 08:46 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිඅපනයනයට නියෝග කළ එක් සමාගමක පොල්තෙල් බහාලුම් අද (12) නැව්ගත කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නීති කටයුතු පිළිබඳ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ දැනට පර්යන්ත ගත කර ඇති අදාළ සමාගමේ පිළිකා කාරක අඩංගු බවට තහවුරු වූ පොල්තෙල් මෙට්‍රික් ටොන් 15 ක් අඩංගු බහලුම් 6 ක් පමණ මෙලෙස නැව්ගත කරන බවයි. ඒ අනුව බාබරා නම් නෞකාවෙන් රුපියල් කෝටි තුනකට (3) අධික මෙම පොල්තෙල් තොගය මලයාසියාවට ප්‍රතිඅපනයනය කෙරෙනු ඇති ෴

******************************************

(12.04.2021 – 08:58 +0530 – hirunews.lk/sinhala)

යල කන්නයේ වගා කිරීමට ප්‍රමාණවත් බිත්තර වී හිඟ වීමෙන් මහවැලි ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව තිබෙනවා.

ගොවීන් පෙන්වා දෙන්නේ ජලය නිසි පරිදි නොලැබීම නිසා බිත්තර වී නිෂ්පාදය අඩාල වී ඇති බවයි ෴

******************************************

(12.04.2021 – 10:20 +0530 – hirunews.lk/sinhala)

හෙට (13) සහ අනිද්දා (14) කාර්යාල දුම්රිය ඇතුළු මගී දුම්රිය ගමන් වාර 30 කට ආසන්න සංඛ්‍යාවක් අවලංගු කර තිබෙනවා.

කෙසේ වෙතත්, අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා සහ යළි කොළඹට පැමිණෙන මගීන් වෙනුවෙන් යොදවා ඇති විශේෂ දුම්රිය සේවා සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක බවයි දුම්රිය දෙපාර්තමේන්තුව කියා සිටියේ ෴

******************************************

(12.04.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

ඉන් පුද්ගලයින් 6 දෙනෙකු ඊයේ (11) දිනයේ සිදුවූ රිය අනතුරුවලින් මිය ගොස් ඇති අතර, ඉතිරි 7 දෙනා මීට පෙර සිදුවූ රිය අනතුරුවලින් මිය ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

මිය ගිය පුද්ගලයින් අතර මගියෙකු සිටින අතර ඔහු බස් රථයක දොරටුවෙන් විසි වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා ෴

******************************************

(12.04.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා තිබෙනවා.

මෙම මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය මල්ලාක්කම් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ , නීතිවිරෝධී ලෙස මත්පැන් නිෂ්පාදනය කර රජයේ අනුමත මත්පැන් ආකාරයට ලේබල් යොදා වෙළෙඳපොළට නිකුත් කිරීමක් මෙම ස්ථානයේදී සිදු වන බව වාර්තා වී ඇති බවයි.

ඒ ආකාරයට සාදන ලද මිලිලීටර් 750 මත්පැන් ‌බෝතල් 42 ක්, මිලිලීටර් 180 මත්පැන් ‌බෝතල් 262 ක් හා මත්පැන් ලීටර් 3000 ක් සහ අදාළ ව්‍යාජ ලේඛන පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

******************************************

පොල්තෙල් බහලුම් නැව්ගත කිරීම ඇරඹේ

(12.04.2021 – 11:15 +0530 – hirunews.lk/sinhala)

ඇෆ්ලටොක්සීන් නැමති පිළිකාකාරකය අඩංගු බවට තහවුරු වූ ආනයනික පොල්තෙල් මෙට්‍රික් ටොන් 105 ක් ප්‍රතිඅපනයනය කිරීම සඳහා අද (12) පෙරවරුවේ නැව් ගත කෙරුණා.

සමාගම් 3 කින් ආනයනය කළ පොල් තෙල්වල පිළිකාකාරක අඩංගු බවට පරීක්ෂණ වලදී තහවුරු වූ අතර මෙලෙස ප්‍රතිඅපනයනය කරන්නේ ඉන් එක් සමාගමකට අයත් පොල් තෙල් තොගයක්.

කොළඹ වරායේදී එම කටයුතු සිදුවූ අතර, එම අවස්ථාවට එක්වෙමින් රේගු අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා කියා සිටියේ පිළිකා කාරක පොල්තෙල් මෙරටට ගෙන්වූ සමාගම්වලින් දඩ මුදල් අය කිරීමට ද පියවර ගන්නා බවයි.

ඇෆ්ලටොක්සීන් පිළිකාකාරකය අක්මවේ පිළිකාවන් සඳහා හේතු වන අතර ශ්‍රී ලංකාව තුළ එක් වසරකට වාර්තා වන අක්මා පිළිකා රෝගීන් සංඛ්‍යාන 800 කට අධිකයි.

******************************************

(12.04.2021 – 11:30 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය, ඇල්ෆ්‍රඩ් හවුස් පාරේ චීන බඩු භාණ්ඩ අලෙවි කරන වෙළඳසැලක තිබි, නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වූ චීන මත්පැන් තොගයක් අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිසිය සමත් වුණා.

ඊයේ (11) රාත්‍රීයේ 07:30 ට පමණ කොල්ලුපිටිය පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ, නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ මෙම වැටලීමේදී බලපත්‍ර රහිතව මෙරටට ගෙන්වූ විවිධ චීන වයින් වර්ග අඩංගු බෝතල් 656 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වයින් තොගය උත්සව සමයේ මෙරට සිටින චීන ජාතිකයින් සහ දේශීය පාරිභෝගිකයින් ඉලක්ක කර මෙරටට ගෙන්වා ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

අදාළ වෙළඳසැලේ තිබි, මීට සතියකට පෙර නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වූ සිගරට් තොගයක් සහ දේශීයව නිෂ්පාදනය කළ කසිප්පු අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය සමත් වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද (12) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

+++++++++++++

******************************************

(12.04.2021 – 12:40 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ප්‍රබල පතාල කල්ලි නායකයෙකු වන ‘සංජීව සමරරත්න’ හෙවත් ‘ගනේමුල්ලේ සංජීව’ ඇතුලු 11 දෙනෙකු චෝදනා වලින් නිදහස් කර තිබෙනවා.

ඒ, ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල හමුවට අද (12) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් යුද සමයේදී උතුරු – නැගෙනහිර ප්‍රදේශවල වළ දමා තිබූ ක්ලෙමෝ බෝම්බ සහ ටි 56 ගිනි අවි ගොඩගෙන කොළඹ ඇතුලු තදාසන්න ප්‍රදේශවලට ප්‍රවාහනය සහ විකිණිම යන චෝදනා යටතේ ගනේමුල්ල සංජීව ඇතුලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගත කර තිබුණා.

ඔවුන්ට පවතින චෝදනා සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නීතිපති උපදෙස් ලැබී ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශ නිලධාරින් අධිකරණයට දැනුම් දුන් අතර ඒ අනුවයි ගනේමුල්ල සංජීව ඇතුලු සැකකරුවන් 11 දෙනා නිදහස් කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ෴

******************************************

(12.04.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

පස්සර නගරයේ අද (12) උදෑසන රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකු මුහුණට එල්ල වූ පිහි ප්‍රහාරයකින්, බරපතල තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

තුවාල ලැබූ කොස්තාපල්වරයා නගරයේ රාජකාරියේ නිරතව සිටියදී, පෙට්ටි කඩයක් පවත්වාගෙන යන බව කියන වෙළෙන්දෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා පස්සර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව බදුල්ල මහ රෝහලට මාරු කර යැවුණා.

සැකකරු පිහියත් සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(12.04.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන් ඇතුළු තෝරා ගත් කාණ්ඩ කිහිපයකට රුපියල් 5000 සේ දීමනාව ලබාදීමේ කටයුතු අද (12) පෙරවරුවේ ආරම්භ වුණා. ඒ, ඇතැම් ග්‍රාම නිලධාරී සහ සමෘද්ධි නිලධාරී වෘත්තීය සංගම් ඊට සහය ලබානොදෙන බවට ප්‍රකාශ කළ පසුබිමකයි.

මෙම වැඩපිළිවෙලේ අවිධිමත්භාවය හේතුවෙන් තමන් තවදුරටත් රුපියල් 5000 සේ දීමනාව ලබාදීමේ කටයුතුවලින් ඉවත්ව සිටින බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කළා.

කෙසේ වෙතත්, රුපියල් 5000 ලබාදීම තම සංගමයේ නිලධාරීන් විසින් සිදුකරන බව ශ්‍රී ලංකා එක්සත් ගම්පත ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති කීර්ති තිස්ස මහතා කියා සිටියා.

සමෘද්ධිලාභීන් හා අඩු ආදායම්ලාභීන් වෙත රුපියල් 5000 සේ දීමනාව ලබාදීමේ කටයුතුවලට මැදිහත්ව ක්‍රියා කරන බව සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමය නිවේදනය කළා.

මෙම වැඩපිළිවෙලට එරෙහිව ඊයේ (11) අදහස් පළ කළ සමෘද්ධි සංවර්ධන නිලධාරී සංගමය අද (12) දිනයේ ඊට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

මේ අතර, රුපියල් 5000 සේ දීමනාව ලබා නොදීම නිසා අද (12) පෙරවරුවේ හැටන් – සමෘද්ධි කාර්යාලය වෙත පැමිණි පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටි බව හිරු වාර්තාකරු සඳහන් කළා. එසේ පැමිණි පිරිස ආපසු හරවා යැවීමටයි නිලධාරීන් කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ රුපියල් 5000 බෙදාදීමේ කටයුතු මේ වන විටත් සාර්ථකව සිදුකරමින් පවතින බවයි.

මේ අතර, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා රජය මාසිකව ලබාදෙන රුපියල් 2000 ක වැඩිහිටි දීමනාව ලබා ගැනීමට හැටන්, බගවන්තලාව ඇතුළු වතුකරයේ තැපැල් කාර්යාලය වෙත පැමිණ සිටිය ද ඔවුන්ට නැවත හැරීයාමට සිදුවුණේ අද (12) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීම හේතුවෙන් ෴

@@@@@@@@@@@@@@@

(12.04.2021 – 08:50 +0530 – hirunews.lk/sinhala)

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත මෙරට සිටින චීන ජාතිකයින් 2500 කට ලබාදී ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, කොළඹ – චීන තානාපති කාර්යාලයේ ඉල්ලීමක් අනුව මෙරට සිටින චීන ජාතිකයන්ට ලබාදීම සඳහා ප්‍රදානයක් ලෙස ලැබුණු සිනොෆාම් එන්නත් ලක්ෂ 6 න් ඉතිරි කොටස ශ්‍රී ලාංකිකයින්ට ලබාදීමට අනුමැතිය ලැබී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුව තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

මේ අතර, සිනොෆාම් එන්නත ලබා ගත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සහ ජනාධිපති අරිෆ් අල්විට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු එම එන්නතේ විශ්වාසනීයභාවය සම්බන්ධයෙන් විවිධ ගැටළු මතුවුණා.

චීනයේ ඖෂධ නිෂ්පාදන ආයතන 3 ක් එක්ව කොරෝනා එන්නත් නිපදවූ අතර, එම සියළු දෙනා සිය තුන්වන අදියරේ සායනික පරීක්ෂණවල ප්‍රතිඵල පිළිබදව පූර්ණ වශයෙන් අනාවරණ කර නැහැ.

සිනොෆාම් එන්නත භාවිතය සම්බන්ධයෙන් ලොව පුරා ඇතැම් පාර්ශව විවේචන ඉදිරිපත් කරමින් සිටින අතරතුර ෂැංහයි හි වෛද්‍ය විශේෂඥයෙකු වන ටාඕ ලිනා ලොව වඩාත්ම අනාරක්ෂිත එන්නත එය බවට ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඊජිප්තුවේ සිනොෆාම් එන්නත ලබා ගත් බොහෝ පිරිස් අතුරු ආබාධයන්ට ලක්ව ඇති බවට ද වාර්තා පළ වූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

එවැනි පසුබිමක් තුළ චීනය තම රටේ නිෂ්පාදිත කොරෝනා එන්නත් මිශ්‍ර කොට ඒවායේ ශක්‍යතාව ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමුකර ඇති බව ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා ෴

+++++++++++++++++

(12.04.2021 – 12:18 +0530 – hirunews.lk/sinhala)

ගත වූ දින දෙක (2) තුළ වැලිකඩ බන්ධනාගාරයෙන් කොරෝනා වැළඳුණු රැදවියන් 96 දෙනෙකු හමුවී තිබෙනවා.

මේ අතර, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ මෙවර සිංහල, දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බන්ධනාගාර රැදවියන් බැලීම සීමා කර ඇති බවයි.

ඊයේ (11) මෙරටින් වාර්තා වූ ආසාදිතයන් 283 දෙනා අතරින් 49 දෙනෙකුම වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන්.

පෙරේදා දිනයේ ද එම බන්ධනාගාරයෙන් ආසාදිත රැදවියන් 47 දෙනෙකු සොයා ගැනුණා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා කියා සිටියේ මෙම ආසාදිතයින් මේ වන විට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බවයි.

ඊයේ (11) දිනයේ වැඩිම ආසාදිත සංඛ්‍යාවක් එනම් 127 දෙනෙකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් 26 දෙනෙකු වාර්තා වී තිබෙනවා. තුන්වනුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුවී ඇත්තේ යාපනයෙන් වන අතර එම සංඛ්‍යාව 17 ක්.

මේ අතර, මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය ලද රුසියානු ස්පුට්නික් එන්නත ඉදිරි සති දෙකක (2) කාලය තුළ මෙරටට ගෙන්වීම සඳහා ගෙවීම් සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, දැනට මෙරට තුළ ලබාදෙන පූනේ හි සීරම් ආයතනයේ නිෂ්පාදනය කෙරෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලක්ෂ 10 ක තොගයක් ඉදිරි කාලය තුළ මෙරටට ලබාදීමට හැකියාව ඇති බවට ඉන්දීය රජය දැනුම් දී ඇති බවයි ඔහු කියා සිටියේ.

ලක්ෂ 5 බැගින් අවස්ථා දෙකකදී (2) එම එන්නත් ලබාදීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *