රුපියල් 5000 බෙදන්න, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි හා සංවර්ධන නිලධාරීන්, බෑ කියයි

රුපියල් 5000 බෙදන්න, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි හා සංවර්ධන නිලධාරීන්, බෑ කියයි

*********************************************

රුපියල් 5000 බෙදන්න, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි හා සංවර්ධන නිලධාරීන්, බෑ කියයි

(11.04.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන් ඇතුළු තෝරාගත් පාර්ශව කිහිපයකට ලබා දීමට නියමිත රුපියල් 5000 සේ දීමනාව ගෙවීමේ කටයුතු සඳහා සහය දැක්වීමෙන් වැළකී සිටීමට ග්‍රාම නිලධාරීවරුන්, සංවර්ධන නිලධාරීන් සහ සමෘද්ධි බැංකු නිලධාරීන් තීරණය කර තිබෙනවා.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට දිනක් (1) තිබියදී රජය මෙලෙස හදිසි තීරණ ගැනීම හේතුවෙන් නිලධාරීන් ලෙස තමන් දැඩි අපහසුතාවන්ට මුහුණ දී ඇති බවයි එම වෘත්තීය සංගම් පෙන්වා දෙන්නේ.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ සමෘද්ධිලාභීන්, අඩු ආදායම්ලාභීන් ඇතුළු පාර්ශව 7 කට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000 සේ දීමනාවක් ගෙවන ලෙසට සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබුණේ ඊයේ (10) දිනයේයි.

කෙසේ වෙතත්, මෙම තීරණය සම්බන්ධයෙන් මහනුවර අද (11) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා කියා සිටියේ තමන් 5000 සේ දීමනාව ලබාදීමේ කටයුතුවලින් ඉවත් වන බවයි.

සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් සහ කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්.ඒ.අයි.බී.එම්. අබේසිංහ මහතා මහනුවර දී තවත් මාධ්‍ය හමුවක් කැදවමින් රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඔහු සදහන් කළේ හෙට (12) දිනයේ මෙම දීමනාව ලබාදීම ප්‍රායෝගික නොවන බැවින් එය අලුත් අවුරුද්දෙන් පසුව ලබාදීමට තීරණය කළ යුතුව තිබූ බවයි.

සමස්ත ලංකා රජයේ සංවර්ධන නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමයේ ප්‍රධාන ලේකම් අශෝක රාජපක්ෂ මහතා ද කෑගල්ලේ දී මාධ්‍ය හමුවක් කැදවමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ග්‍රාම නිලධාරීන්ගේ සහ සමෘද්ධි නිලධාරීන්ගේ සහය නොමැතිව සංවර්ධන නිලධාරීන්ට පමණක් මෙම කටයුත්ත සිදුකළ නොහැකි බවයි. එමෙන්ම නිවාඩු දිනයක් ලෙස කලින් ප්‍රකාශ කර තිබියදී මෙලෙස බලහත්කාරයෙන් රාජකාරියේ යෙදවීම හෙළා දකින බව ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, රුපියල් 5000 සේ දීමනාව ලබාදීමේ කටයුතුවලින් ග්‍රාම නිලධාරීවරුන්, සමෘද්ධි නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඉවත්වීමට ගෙන ඇති තීරණය පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය සමෘද්ධි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ රජය තීරණය කළ පරිදි හෙට (12) සිට මෙම කටයුත්ත සිදුකරන බවයි.

මේ අතර, විලච්චිය ප්‍රදේශයේ අද (11) පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා රුපියල් 5000 සේ දීමනාව සමෘද්ධි බැංකු හරහා අලුත් අවුරුද්දට පෙර ලබාදීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි. මේ වන විට ප්‍රතිලාභීන් ලක්ෂ 30 ක පමණ පිරිසක් හදුනාගෙන ඇති බව ද ඔහු එහිදී සදහන් කළා.

******************************************

(11.04.2021 – 19:16 +0530 – hirunews.lk/sinhala)

රාජසන්තක කරනු ලබන භාණ්ඩ සඳහා පනවනු ලබන දඩ මුදල්වලින් රුපියල් බිලියන 60 ක් පමණ අධිකරණයේ නඩු කටයුතු පමාවීම හේතුවෙන් රජයට අහිමි වී ඇති බව රේගු දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ වසර 10 කට ආසන්න කාලයක් මෙලෙස නඩු කටයුතු ප්‍රමාද වී ඇති බවයි.

රාජසන්තක කරනු ලබන භාණ්ඩවලට අදාළව පනවන දඩ මුදල් සම්බන්ධයෙන් විගණන වාර්තා රේගු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය සතුව පවතින බැවින් නඩු කටයුතු කඩිනම් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගත යුතු බවයි එම නිලධාරියා පෙන්වා දුන්නේ ෴

******************************************

(11.04.2021 – 19:31 +0530 – hirunews.lk/sinhala)

අතීතයේ සිටම සිංහල සහ දෙමළ ජනතාව, බක් මහේ උදාවන අලුත් අවුරුද්ද සැමරුවේ නෑදෑ හිතවතුන් පිරිවරාගෙන, චාරිත්‍ර – වාරිත්‍ර, ජ්‍යොතිෂ නැකැත් මුල් කරගනිමින්.

නමුත් පසුගිය වසරේ සිංහල දෙමල අලුත් අවුරුද්ද නිසි ලෙස සැමරීමට මෙරට ජනතාවට අවස්ථාව උදා වූයේ නැහැ.

ඒ කොඩිව්-19 වසංගතය රට තුළ ව්‍යාප්තවී තිබූ පසුබිමක සමාජ දුරස්ථභාවය පවත්වා ගතයුතු නිසයි.

නමුත් මෙවරත් සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සැමරීමට ලක්වාසීන්ට අවස්ථාව උදා වී තිබෙනවා.

කෙසේ වෙතත් කොළඹ ප්‍රදේශ රැසක ජනතාව අද මෙලෙස වෙළදසැල් වලට එක් රොක් වී සිටියා.

මේ අතර කොවිඩ් වසංගතයත් සමඟ කඩාවැටුණු රතිඤ්ඤා සහ ගිනි කෙළි කර්මාන්තයේ වර්ධනයක් මෙවර සිංහල, දෙමළ අලුත් අවුරුදු සමයේ පෙන්නුම් කරන බව ගිනිකෙළි ව්‍යාපාරිකයන් සහ නිෂ්පාදකයින් පෙන්වා දෙනවා.

උත්සව සමය හේතුවෙන් මෙම දින කිහිපයේ වෙළෙදසැල් ආශ්‍රිතව සිදු කරන වැටලීම් ප්‍රමාණය වැඩි කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළා.

අදත් (11) කොළඹ සිට අලුත් අවුරුදු නිවාඩුවට ගම්බිම් බලා යන ජනතාව ප්‍රධාන බස් නැවතුම්පොළවලට සහ දුම්රිය ස්ථානවලට පැමිණ සිටියා.

මේ අතර හෙට (12) දිනය රජයේ නිවාඩු දිනයක් වුවද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වවරයා සඳහන් කළේ හෙට (12) දිනය බැංකු නිවාඩු දිනයක් නොවන බවයි ඒ අනුව ජනතාවගේ ගණුදෙනු සහ අවශ්‍යතා සඳහා හෙට (12) දිනයේත් සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතව තැබෙනු ඇති.

******************************************

(11.04.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

රත්මලාන ගුවන් තොටුපළ විනෝදාස්වාදය කේන්ද්‍ර කර ගත් ගුවන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ ඒ අනුව මෙරට සංචාරක ආකර්ශනීය ස්ථාන වෙත ගමන් කිරීමේ නව දේශීය ගුවන් මාර්ග හඳුනා ගැනීමත්, සුදුසු නව ගුවන් ධාවන පථ හඳුනා ගැනීමත් සිදුකරන බවයි ෴

******************************************

(11.04.2021 – 20:04 +0530 – hirunews.lk/sinhala)

භාවිතයට නුසුදුසු පොහොර තොගයක් ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය විසින් වගාවන් සදහා නිකුත් කර ඇති බව සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා චෝදනා කරනවා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ පරීක්ෂණයකින් තොරව පොහොර ලබාදීම ඉදිරියේදී අත්හිටුවීමට තීරණය කර ඇති බවයි.

අතීතයේදී වගාවන් සදහා බොහෝවිට කාබනික පොහොර භාවිත කලද වගාවේ වර්ධනය සහ අස්වැන්නේ ප්‍රමාණය වැඩිකර ගැනීම සදහා මේ වන විට රසායනික පොහොර බහුලව භාවිත කරනවා.

සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා චෝදනා කරන්නේ වෙළඳ පොළට නිකුත් කිරිමට නුසුදුසු පොහොර තොගයක් ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කර ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ජල අංශු මිලියනයක පවතින නයිට්‍රේට් අංශු ප්‍රමාණය 10 ඉක්මවා යෑමෙන් එම ජලය, පිළිකාරක බවට පත්වීමේ හැකියාවක් තිබෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳජෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා සදහන් කළා.

භාවිතයට නුසුදුසු පොහොර තොගයක් වෙළඳපොළට නිකුත්ව ඇති බවට වන ලිපියක් සම්බන්ධයෙන් පසුගියදා පාර්ලිමේතුවේදීද අවධානයට ලක්වුණා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම පැවසුවේ පරීක්ෂණයකින් තොරව පොහොර ලබා දීම ඉදිරියේදී අත්හිටු වන බවයි.

******************************************

පිළිකාකාරක පොල්තෙල් මෙට්‍රික් ටොන් 105 ක් අනිද්දා මැලේසියාවට

(11.04.2021 – 20:13 +0530 – hirunews.lk/sinhala)

ඇෆ්ලටොක්සින් පිළිකාකාරක අඩංගු බවට තහවුරු වී ඇති ආනයනික පොල්තෙල් මෙට්‍රික් ටොන් 105 ක් අනිද්දා මැලේසියාව බලා නැව්ගත කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර වෙළඳපොළේ පොල්තෙල් සාම්පල අහඹු ලෙස පරික්ෂා කිරීම තවදුරටත් රට පුරා ක්‍රියාත්මකයි.

ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය අඩංගු ආනයනික පොල් තෙල් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් පරිදි මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙනවා.

ඇෆ්ලටොක්සින් පිළිකාකාරක අඩංගු බවට තහවුරු වී ඇති පොල්තෙල් ගෙන්වන ලද එක් ආයතනයක තෙල් සහිත බහාලුම් 6 ක් ලබන 13 වැනිදා මැලේසියාව බලා නැව්ගත කිරීමට නියමිතයි.

එම පොල්තෙල් අඩංගු බහාලුම් පසුගිය 6 වැනිදා වරාය පර්යන්තය වෙත රැගෙන ආ අතර ඒවායේ පොල්තෙල් මෙට්‍රික් ටොන් 105 ක් පවතිනවා.

ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේ ඇෆ්ලටොක්සින් පිළිකාකාරක අඩංගු පොල්තෙල් ආනයනය කළ බවට මේ වන විට අනාවරණය වී ඇති සෙසු ආයතන දෙකේ (2) පොල්තෙල් තොග තවදුරටත් පරීක්ෂා කරමින් පවතින බවයි.

මේ අතර පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (10) හිරු ප්‍රවෘත්ති සමගින් විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ වෙළෙඳපොළෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 125 කින් ප්‍රතිඵල ලැබී ඇති සාම්පල 109 ක ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය අඩංගු නොවන බවට මේවන විට පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි.

පිළිකාකාරක අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවේ පූර්ණ වගකීම රජය භාරගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.

මේ අතර පිළිකාකරක අඩංගු තවත් ආහාර ද්‍රව්‍ය පවතින බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිද්ධිකා ජී. සේනාරත්න හිරු ප්‍රවෘත්ති සමඟ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදත් (11) අදහස් පලකළා.

මේ අතර, කටුපොත – වාරියපොල මාර්ගයේ ගල්වැව හන්දිය ප්‍රදේශයේදී අපනයනය සඳහා රැගෙන යමින් තිබු පොල්තෙල් තොගයක් අඩංගු බහාලුම් රථයක් ඊයේ (10) පස්වරුවේ ඇඟලුම් කම්හලක සේවකයින් පිරිසක් ප්‍රවාහනය කළ වෑන් රථයක ගැටීමෙන් පෙරලී ගොස් තිබුණා.

අනතුරින් කන්ටේනර් රථයේ රියදුරු සහ වෑන් රථයේ අට දෙනෙකු (8) තුවාල ලැබීම නිසා ඇතුළත් කෙරුණේ කටුපොල මූලික රෝහලටයි.

අනතුර සිදුවන අවස්ථාවේ කන්ටේනර් රථයේ රියදුරා බීමත්ව සිට අති අතර, ඹහු මේවන විට පොලිසිය භාරයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

අනතුරත් සමග කන්ටේනර් රථයෙන් පිටතට ගලාවිත් තිබූ පොල්තෙල් ප්‍රදේශවාසීන් එක් රැස්කිරීමට කටයුතු කරමින් සිටියා.

******************************************

(11.04.2021 – 20:23 +0530 – hirunews.lk/sinhala)

බඩු මිල ඉහළ යෑම සම්බන්ධයෙන් අමාත්‍යවරුන් ලබා දෙන විසදුම් වෙලෙදපොලෙන් බඩු මිලදී ගැනීමේදී ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

අද (11) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් උන් වහන්සේ මේ බව සඳහන් කළා.

******************************************

(11.04.2021 – 20:29 +0530 – hirunews.lk/sinhala)

සතොස සහන මල්ලට විරුද්ධව සිදුකළ අපහාසයට එරෙහිව රුපියල් කෝටි 50 ක වන්දියක් ඉල්ලා අදාළ පාර්ශ්වවලට එන්තරවාසියක් යැවීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවා.

ඒ පිළිබඳව කොම්පඤ්ඤවීදිය පොලිසියේ පැමිණිල්ලක්ද ගොනුකළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

******************************************

(11.04.2021 – 22:44 +0530 – hirunews.lk/sinhala)

කිරුළපන සිරි ඇලන් මැතිනියාරාමයේ අභිනවයෙන් ඉදිකළ ආවාස මන්දිරය ඇතුළු පරිශ්‍රයන් විවෘත කිරීම වෙනුවෙන් පැවැත්වුණු දානමය පුණ්‍යකර්මයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) පස්වරුවේ සහභාගී වුණා.

ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා එහිදී ආශීර්වාද පුණ්‍යකර්මයකටද එක්වුණා.

කිරුළපන සිරි ඇලන් මැතිණියාරාමයේ අභිනවයෙන් ඉදිකළ දාන ශාලාව, ගිනිහල්ගෙය, ආවාස මන්දිරය සහ සක්මන් භාවනා උද්‍යානය විවෘත කිරීම වෙනුවෙන් දානමය පිංකමක් අද (11) පස්වරුවේ පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්.

විහාරස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුව ආගමික වතාවත්වල නිරත වුණා.

අදට (11) යෙදී ඇති පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ජන්ම දිනය සහ හෙට (12) දිනයට යෙදී ඇති උන්වහන්සේගේ මැණියන්ගේ ජන්ම දිනයට සමගාමීව ආශීර්වාද පිංකමක්ද අද (11) පස්වරුවේ පැවැත්වුණා.

******************************************

(11.04.2021 – 23:05 +0530 – hirunews.lk/sinhala)

සිය දෛනික අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවෙමින් මෙතෙක් ගිං ගඟ තරණය කළ නෙළුව – නිල්වැල්ල ගම්වාසීන්ට අද (11) වන විට සිය ජීවිත ආරක්ෂාව සඳහා අස්වැසිල්ලක් ලැබී තිබෙනවා.

ඒ ගිං ගඟ හරහා අලුතින් ඉදිවූ සංගිලි පාළම හේතුවෙන්.

ලෝක උරුම සිංහරාජ වනාන්තරයට මැදිව ගිං ගඟ අසබඩ පිහිටි නෙලුව – නිල්වැල්ල ගම්මානයේ ජනතාවට සිය දෛනික අවශ්‍යතා සපුරාගැනීම සඳහා ජීවිත අවදානම නොතකමින් ගිං ගඟ තරණය කිරීමට සිදුව ඇති බව අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ අනාවරණය කළේ පසුගිය 2019 වසරේ අප්‍රේල් 13 වැනිදායි.

නිල්වැල්ල සහ ලංකාගම යා කරමින් තනා තිබූ වැල් පාලම 2017 වසරේදී විනාශ වී තිබුණේ ගං වතුරට හසුවීමෙන්.

පාසල, තැපැල් කාර්යාලය, ග්‍රාමීය රෝහල, සෞඛ්‍ය මධ්‍යස්ථානය ඇතුළු ආයතන ගිං ගගෙන් එතෙර ලංකාගම ප්‍රදේශයේ පිහිටා තිබීම හේතුවෙන් නිල්වැල්ල ගම්මානයේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටියා.

ගම්වාසීන් චෝදනා කළේ 2017 වසරේදී ගිං ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමට රජයෙන් මුදල් වෙන්කෙරුණද පසුව එම මුදල් නැවත බාණ්ඩාගාරයට හරවා යැවුණු බවටයි.

කෙසේ වෙතත් පසුව ලංකාගම ගම්මානය සංවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක වූ අතර ඒ යටතේ ගිං ගඟ හරහා නව පාලමක් ඉදිකිරීමටද කටයුතු ආරම්භ කෙරුණා.

ලංකාගම ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අවස්ථාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද එම කටයුතු මෙලෙස නිරීක්ෂණය කළා.

කෙසේ වෙතත් එම ජනතාවගේ ජීවිත අවධානමට තිත තබමින් ඉදිවූ නව සංගිලි පාලම ඊයේ (10) ජනතා අයිතියට පත්කෙරුණා.

දිගින් මීටර් 53 කින් යුත් මෙම නව සංගිලි පාලම සඳහා වැයකර ඇති මුදල මිලියන 33 ක් වන අතර ඊට ශ්‍රම දායකත්වය ලබාදී ඇත්තේ නාවික හමුදාවයි.

******************************************

(12.04.2021 – 06:16 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් ජා-ඇල නවන්දම ප්‍රදේශයේ කළ වැටලීමකින් ‘අයිස්’ මත්ද්‍රව්‍ය 13 Kg ක් සමග කාන්තාවන් 02 ක් ඇතුළු සැකකරුවන් 06 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

******************************************

(12.04.2021 – 07:45 +0530 – hirunews.lk/sinhala)

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීමට වශී ගුරුකමක් කර දුන්නේ යැයි සැක පිට එම ගුරුකම කළ බව කියන 43 හැවිරිදි කට්ටඩියකු පිහියෙන් ඇන ඝාතනය කළ සැකකරු පැල්මඩුල්ල පොලිසිය විසින් ඊයේ (11දා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශයේ සන්නස්ගම පාළුගම්පොළ ප්‍රදේශයේ මෙම කට්ටඩියා පදිංචි නිවසේදී ඔහුට පිහියෙන් ඇන ඇත්තේ පෙරේදා (10 දා) පස්වරුවේ බවයි වාර්තා වන්නේ.

43 හැවිරිදි විවාහක පුද්ගලයකු එලෙස මරණයට පත්වී තිබෙනවා.

ඔහු දේවාලයක් පවත්වාගෙන යමින් ගුප්ත විද්‍යා කටයුතු සහ කට්ටඩියෙකු ලෙස කටයුතු කරගෙන ගිය අයකු බව පොලිසිය සඳහන් කළේ.

පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලද එම පුද්ගලයා පැල්මඩුල්ල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකරු ඊයේ (11) අලුයම දෙකට (02:00) පමණ අත්අඩංගුවට ගත් බවයි අප කළ විමසීමකදී පැල්මඩුල්ල පොලිසිය සඳහන් කළේ.

තම බිරිඳ වෙනත් පුද්ගලයකුට මිතුරු කිරීම සඳහා මියගිය අය ගුප්ත විද්‍යා කටයුත්තක් සිදු කළේ යැයි සැකයෙන් ඔහුගේ මරණය සිදු කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

පැල්මඩුල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴

******************************************

(12.04.2021 – 08:04 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂය ඇතුළු සෙසු පක්ෂවලට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිදුකරන ලද කෙනෙහිලිකම් නිසා එක්ව සාකච්ඡා සිදුකළ බව නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා.

ගැටඹ විහාරස්ථානයේ ඊයේ (11) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව සදහන් කළේ.

මේ අතර, කොළඹ ඊයේ (11) පැවති උත්සවයකින් අනතුරුව අමාත්‍ය විමල් වීරවංශ මහතා ද මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

******************************************

(12.04.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන් ඇතුළු තෝරාගත් පාර්ශව කිහිපයකට අද (12) සිට රුපියල් 5000 සේ දීමනාව ගෙවීමට කටයුතු කරන බව රජය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, රජය ගත් මෙම කඩිනම් තීරණයට අප්‍රසාදය පළ කරන ග්‍රාම නිලධාරීවරුන්, සමෘද්ධි බැංකු නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් දීමනාව ගෙවීමේ කටයුතුවලින් ඉවත් වීමටයි මේ වන විටත් තීරණය කර ඇත්තේ.

මොවුන්ට සහය පළ කරමින් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් ද 5000 ගෙවීමේ කටයුතුවලින් ඉවත්ව තිබෙනවා.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ සමෘද්ධිලාභීන්, අඩු ආදායම්ලාභීන් ඇතුළු පාර්ශව 7 කට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000 සේ දීමනාවක් ගෙවන ලෙසට සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක් නිකුත් කර තිබුණේ පෙරේදා (10) දිනයේයි.

කෙසේ වෙතත්, රුපියල් 5000 සේ දීමනාව ලබාදීමේ කටයුතුවලින් අද (12) ඉවත් වුවද සෙසු ක්ෂේත්‍ර රාජකාරීවල නිරත වන බවයි ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ සභාපති සුමිත් කොඩිකාර මහතා කියා සිටියේ.

මේ අතර, අද (12) රජයේ නිවාඩු දිනයක් වුවත් රාජ්‍ය සහ පෞද්ගලික බැංකු විවෘතව තැබෙන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල අද (12) දිනයේ සාමාන්‍ය පරිදි සේවා සපයන බව ද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා කියා සිටියා ෴

******************************************

(12.04.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 306 ක් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් 925 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ඊයේ (11) උදෑසන 7 සිට සවස 5 දක්වා කාලය තුළ මෙම විශේෂ මෙහෙයුම සිදුකර ඇති බවයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අපරාධ වැරදි සඳහා අවශ්‍යව සිටි 40 දෙනෙකු සහ දූෂණ වැරදි සම්බන්ධයෙන් වන 518 දෙනෙකු ද වනවා ෴

@@@@@@@@@@@@@@

(11.04.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් එක් කොරෝනා වෛරස් ආසාදිත මරණය 02 ක් අද (11) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 598 ක් දක්වා ඉහළ ගියා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 55 දෙනෙකු හමුවී තිබෙනවා. ඒ අනුව අද දිනයට මෙරටින් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 232 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *