කොළඹ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් බන්ධනාගාරයෙන්

කොළඹ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් බන්ධනාගාරයෙන්

*********************************************

කොළඹ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් බන්ධනාගාරයෙන්

(11.04.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය විසි හතර (24) තුළ මෙරටින් හඳුනාගැනුනු කොරෝනා ආසාදිතයන් 284 දෙනා අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම්, 83 ක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඒ අතුරෙන් 49 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරය තුළින් වාර්තා වන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ.

ඊට අමතරව කළුතර සහ යාපනය දිස්ත්‍රික්කයෙන් අසාදිතයින් 29 දෙනෙකු ද වාර්තා වුණා.

එමෙන්ම කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නතර කෙරුණු රත්මලාන ගුවන් තොටුපලේ සිට ක්‍රියාත්මක අභ්‍යන්තර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව සංචාරක අමාත්‍යාංශය පවසනවා.

එහිදි එම ගුවන් තොටුපල තුල ගුවන් මෙහෙයුම් සිදුකිරීමට අපේක්ෂා කරන සමාගම් සඳහා විශේෂ සහන ලබාදීමටද කටයුතු කර ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, අද (11) උදෑසනින් අවසන් වූ පැය විසි හතර (24) තුළ ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 1,52,879 ක් වාර්තාවී තිබෙනවා.

මහාරාෂ්ට්‍ර, චටිස්කාර්, කර්ණාටක, උත්තර් ප්‍රදේශ් සහ කේරළ ප්‍රාන්තවලින් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ හතරෙන් තුනක් වාර්තාවන අතර, ඉන් අඩක්ම වාර්තාවන්නේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්.

මේ අතර ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණයද නව කඩඉමක් පසුකළා.

ඒ, එන්නත් මාත්‍රා මිලියන 100 කට වැඩි සංඛ්‍යාවක් එරට ජනතාවට ලබාදෙමින් ෴

අද (11) දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 175 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 91,631 ක් ෴

+++++++++++++++++

(11.04.2021 – 16:52 +0530 – hirunews.lk/sinhala)

අද (11) දිනයේ මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයින් 170 දෙනෙකු අලුතින් හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 95,000 ඉක්මවා ගියා. ඒ අනුව මුළු ආසාදිතයින් සංඛ්‍යාව දැක්වුණේ 95,018ක් ලෙසයි.

තවත් ආසාදිතයින් 175 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 91,631 දක්වා ඉහල ගියා.

එමෙන්ම, උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත සභාවේ මැතිවරණයට ඉදිරිපත්ව සිටි කොංග්‍රස් පක්ෂ අපේක්ෂකයෙකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

තමිල්නාඩුවේ ශ්‍රී විල්ලිපුතූර් අසුනට තරඟ වැදි 63 හැවිරිදි මාධව රාඕ නැමැත්තෙක් මෙලෙස මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ.

එමෙන්ම, ඉන්දියාවේ සුප්‍රකට මහා භාරත් ටෙලි වෘතාන්ත මාලාවේ ඉන්ද්‍ර දෙවියන් ලෙස රඟපෑ සතිෂ් කවුල් කොරෝනා ආසාදනයෙන් මියගොස් තිබෙනවා.

74 හැවිරිදි ඔහු කොරෝනා වසංගතය නිසා ආදායම් අහිමිවූ බොලිවුඩ් පුරයේ කලාකරුවන් වෙනුවෙන් කටයුතු කළ රංගන ශිල්පියෙක්.

මේ අතර, චීනය තම රටේ නිෂ්පාදිත කොරෝනා එන්නත් මිශ්‍ර කොට ඒවායේ ශක්‍යතාව ඉහළ නැංවීම පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා.

චීන රෝග නිවාරණ සහ පාලන මධ්‍යස්ථානයේ ප්‍රධානී ගාඕ – ෆු ප්‍රකාශ කළේ දැනට යොදාගනු ලබන එන්නත්වල ශක්‍යතාව ඉහළ මට්ටමක නොපැවතීම ඊට හේතුව බවයි.

චීනය විසින් මේ වනවිට සිය රට තුළ කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 161 ක් ලබාදී තිබෙනවා.

කෝටි 140 ක් වූ චීන ජනගහණයෙන් සියයට 40 කට මේ වසරේ ජූනි වනවිට කොරෝනා එන්නත් ලබාදීම චීන රජයේ අපේක්ෂාවයි.

වසර අවසානය වනවිට ජනගහණයෙන් සියයට 70 ත් 80 ත් අතර ප්‍රමාණයකට කොරෝනා එන්නත් ලබාදිය හැකි බවට චීනය විශ්වාසය පළ කරනවා ෴

@@@@@@@@@@@@@

(11.04.2021 – 12:37 +0530 – hirunews.lk/sinhala)

පොලිතින් සහ ප්ලාස්ටික් යොදාගනිමින් සිදුකරන තවත් නිෂ්පාදන කිහිපයක් තහනම් කිරීම සඳහා අවධානය යොමුවී ඇති බව පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් එලෙස තහනම් කළ යුතු බවට නිර්දේශ කළ නිෂ්පාදන ලැයිස්තුවක් මේ වනවිටත් පරිසර අමාත්‍යාංශය වෙත යොමුකර තිබෙනවා.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළා.

එමෙන්ම මෙලෙස තහනම් කෙරෙන පරිසරයට අහිතකර ප්ලාස්ටික් සහ පොලිතින් වෙනුවට විකල්ප නිෂ්පාදන හඳුන්වාදීමේ වැඩපිළිවෙලද අඛන්ඩව ක්‍රියාත්මකයි.

පසුගිය මස 31 වනදා සිට එක් වරක් භාවිත කර ඉවත දමන පොලිතීන් සහ ප්ලාස්ටික්, මයික්‍රෝන විස්සට අඩු ආහාර දවටන, සැෂේ පැකට්, කොට්න් බඩ් සහ සුළං පුරවන ලද ප්ලාස්ටික් සෙල්ලම් භාණ්ඩ තහනම් කිරීමට එම අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා ෴

******************************************

(11.04.2021 – 12:46 +0530 – hirunews.lk/sinhala)

ජා ඇළ නගරයේ වෙළඳසැලක් තුල ගින්නක් හට ගෙන තිබෙනවා.

ගින්න නිවීම සඳහා මේ වන විට ගිනි නිවීමේ රථ 2 ක් යොදවා ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

******************************************

(11.04.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

සහන මිල ගණන් යටතේ නිෂ්පාදිත රජයන්ගෙන් ඍජුවම ඉන්ධන මිලදී ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

සෞදි අරාබිය, කටාරය, කුවේටය, ඕමානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය මෙන්ම රුසියාවෙන්ද මෙලෙස ඉන්ධන ලබාගැනීම සඳහා සාකච්ඡා පැවැත්වෙන බවයි වාර්තාවන්නේ.

සාමාන්‍යයෙන් දින 270 ක ණය පදනම යටතේ දැනට ඉන්ධන නිෂ්පාදිත රටවල ප්‍රධාන සමාගම් මගින් ඉන්ධන මිලදී ගැනීම් සිදු කෙරෙන අතර, එම ක්‍රමවේදය තවදුරටත් ශ්‍රී ලංකාවට ආර්ථිකමය වශයෙන් වාසිදායක ලෙස වෙනස් කළ හැකිදැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අධ්‍යනයක් සිදුකර තිබෙනවා.

එහි නිරීක්ෂණවලට අනුව විෂයභාර අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මහතා සමඟද සාකච්ඡාවක් කර ඇති අතර, ඒ අනුවයි මෙලෙස රජයකින් රජයකට මිලදී ගැනීමේ පදනමක් යටතේ ඉන්ධන මිලදී ගැනීම් සිදුකර හැකිද යන්න සොයාබැලීමට තීරණය කර ඇත්තේ.

වාර්ෂිකව ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් බිලියන 3 ක පමණ ඉන්ධන ආනයනය කරනු ලබනවා.

මෙරට ආනයන පිරිවැයෙන් වැඩි ප්‍රතිශතයක් වෙන්වන්නේ ඉන්ධන ආනයනයටයි.

එමෙන්ම මේ වනවිට මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 4.1 දක්වා පහත වැටී තිබෙනවා.

රුපියලේ අගයද මෙරටට සාපේකෂ්ෂව කැපී පෙනෙන ලෙස පහත වැටී ඇති අතර, ඩොලරයක විකිණුම් මිල සටහන් වන්නේ රුපියල් 203.50 ක් ලෙසයි.

මේ හේතුවෙන් විදේශ සංචිතය සුරක්ෂිත කරලීම සඳහා ඉන්ධන නිෂ්පාදනය කරන රටවල රජයන් හරහා ඍජුව තෙල් මිලදී ගැනීම පිළියමක් වනු ඇති ෴

******************************************

(11.04.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

2019 වර්ෂයට අදාළව ගිණුම් වාර්තා ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන දේශපාලන පක්ෂ හතරකට (4) මැතිවරණ කොමිසන් සභාව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතාගෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ 76 න් 72 ක් පමණක් 2019 වසරට අදාල විගණනය කළ ගිණුම් වාර්තා ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව මීට දින කිහිපයකට පෙර අදාළ පක්ෂ හතරට (4) ලබන 22 වනදාට පෙර අදාළ ගිණුම් වාර්තා ලබා දෙන ලෙස දැනුම්දී ඇති අතර, එසේ කිරීමට අපොහොසත් වුවහොත් එම දේශපාලන පක්ෂ හතර (4) පිලිගත් දේශපාලන පක්ෂ ලැයිස්තුවෙන් ඉවත් කරන බවද ඔහු කියා සිටියා.

ඒ අනුව ඉදිරි මැතිවරණ සඳහා ඔවුන්ට ඉදිරිපත් වීමේ ගැටලුවක්ද ඉන් මතුවන බවයි මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ ෴

******************************************

(11.04.2021 – 13:13 +0530 – hirunews.lk/sinhala)

මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවේ සිට මෙරටට බීඩි කොළ සහ කරදමුංගු රැගෙන එමින් සිටි සැකකරුවන් 6 දෙනෙකු වෙන්නප්පුව – සින්දාත්‍රිය වෙරළට බටහිරෙන් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (10) දහවල් නාවික හමුදාවට අයත් රංගල නෞකාව මගින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

සැකකරුවන් ගමන්ගත් යාත්‍රාවේ තිබී බීඩි කොළ කිලෝ 770 ක් සහ කරදමුංගු කිලෝ ග්‍රෑම් 5 ක් සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කටුනායක රේගු උපනිවාරණ කාර්යාලය මගින් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබනවා ෴

******************************************

(11.04.2021 – 13:19 +0530 – hirunews.lk/sinhala)

ගම්මිරිස් මිල ස්ථාවර කිරීමේ අරමුණින් රජය මැදිහත්වී හෙට (12) සිට සතොස අලෙවිසැල් හරහා අවම මිලකට ගම්මිරිස් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ගම්මිරිස් ග්‍රෑම් 100 ක් රුපියල් 160 කට මිලදී ගැනීමට හැකි බවයි වෙළඳ අමාත්‍යංශය සඳහන් කළේ ෴

******************************************

(11.04.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ධාවනය කල මෝටර් රථයක් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ලා නිල් පැහැති අදාළ මෝටර් රථයේ ගමන් ගන්නා තරුණයින් හතරදෙනෙකු (4) එහි වීදුරු පහත් කොට ශරීරය මෝටර් රථයෙන් පිටතට සිටින සේ වාඩිවී මෙලෙස අනාරක්ෂිතව ගමන් කරන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම හේතුවෙනුයි මෙලෙස විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.

මෙම තරුණයන් සිදුකරන ක්‍රියාව මෙරට මෝටර් වාහන පනතේ මෙන්ම අපරාධ නීතිය යටතේ ද වරදක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

මෙම වාහනයේ අංකය සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී හෙළිවී ඇත්තේ එහි හිමිකරු මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මේ සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකරන අතර වාහනයේ හිමිකරු ලියාපදිංචියකින් තොරව වාහනය වෙනත් අයෙකුට ලබාදී ඇත්ද යන්න පිළිබඳව ද විමර්ශණ සිදුකරන බවයි අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මේ අතර මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පොලිසියට උපදෙස් ලබාදී ඇත්තේ මෙම සිදුවීමට සම්බන්ධ පිරිස්වලට නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙසටයි.

එමෙන්ම එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුළ අධිවේගී මාර්ග භාවිතා කරන්නන්ගේ ප්‍රමාණය වැඩි වන බැවින් මෙම උත්සව කාල සීමාව තුළ අපරික්ෂාකාරීව, බීමත්ව හා මාර්ග නීති මාර්ග නීති වලට පටහැනි අයුරින් අධිවේගී මාර්ගයන් භාවිතා කරන අයට විරුද්ධව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙස අධිවේගී මාර්ගයන් තුල රාජකාරි කටයුතු වල යෙදී සිටින පොලීසිය දැනුවත් කරන ලෙසට ද අමාත්‍යවරයා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා ෴

++++++++++++

(12.04.2021 – 06:37 +0530 – hirunews.lk/sinhala)

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන කඩවත සිට මාතර දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනාරක්ෂිතව ධාවනය කරන මෝටර් රථයක් සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ඊයේ (11)ආරම්භ කර තිබෙනවා.

ලා නිල් පැහැති අදාළ මෝටර් රථයේ ගමන් ගන්නා තරුණයින් 4 දෙනෙකු එහි වීදුරු පහත් කොට ශරීරය රථයෙන් පිටතට සිටින සේ වාඩිවී අනාරක්ෂිතව ගමන් කරන අකාරය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප හා වීඩියෝවල දැක්වෙනවා.

සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ මෙම මෝටර් රථය ලියාපදිංචි අයිතිකරු මහනවුර පේරාදෙණිය පදිංචි පුද්ගලයෙකු බවයි.

මෙම පුද්ගලයාගෙන් පොලිසිය සිදුකළ විමර්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා විසින් මෙම මෝටර් රථය අකුරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට විකුණා ඇති බවයි.

මෙම පුද්ගලයන්ව අද (11) දින පොලිසිය වෙත ගේනවා ගැනීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම පිරිසට විරුද්දව නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් කියා සිටියේ ෴

******************************************

(11.04.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

රජයේ ඉදිරි ගමන ආපසු හැරවීම සඳහා විවිධ බලවේග ක්‍රියාත්මක වෙමින් සිටින බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා.

ඒ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ අනුරාධපුර ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්.

******************************************

(11.04.2021 – 14:38 +0530 – hirunews.lk/sinhala)

වගාවන් සඳහා භාවිතා කරන නයිට්‍රේට් අඩංගු රසායනික පොහොර ජල මුලාශ්‍රවලට එක්වීම හේතුවෙන් පානීය ජලයේ පිළිකාකරක පැවතිය හැකි බවට සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය අනතුරු අඟවනවා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ පරීක්ෂණයකින් තොරව පොහොර ලබාදීම ඉදිරියේදී අත්හිටුවීමට තීරණය කර ඇති බවයි

අතීතයේදී වගාවන් සදහා බොහෝවිට කාබනික පොහොර භාවිත කලද වගාවේ වර්ධනය සහ අස්වැන්නේ ප්‍රමාණය වැඩිකර ගැනීම සදහා මේ වන විට රසායනික පොහොර බහුලව භාවිතා කරනවා.

මෙලෙස වගාවන් සදහා භාවිත කරන නයිට්‍රේට් අඩංගු රසායනික පොහොරලජල මුලාශ්‍ර වලට එක්වීම හේතුවෙන් පානීය ජලයේ පිළිකාකාරක තත්වයක් පැවතිය හැකි බවට සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනය පවසනවා.

******************************************

වෙළඳපොළේ පොල්තෙල් සාම්පල අහඹු ලෙස පරික්ෂා කිරීම තවදුරටත්

(11.04.2021 – 14:45 +0530 – hirunews.lk/sinhala)

ආහාරවල අඩංගු විය හැකි ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය කිලෝග්‍රෑමයට මයික්‍රොග්‍රෑම් 10 දක්වා අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

වෙළඳපොළේ පොල්තෙල් සාම්පල අහඹු ලෙස පරික්ෂා කිරීම තවදුරටත් රට පුරා ක්‍රියාත්මකයි.

ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය අඩංගු ආනයනික පොල් තෙල් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත්කර තිබෙනවා.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (10) හිරු ප්‍රවෘත්ති සමගින් විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කළේ වෙළෙඳපොළෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 125 කින් ප්‍රතිඵල ලැබී ඇති සාම්පල 109 ක ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය අඩංගු නොවන බවට මේවන විට පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි.

පිළිකාකාරක අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවේ පූර්ණ වගකීම රජය භාරගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළා.

******************************************

(11.04.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

නව වසරේ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා.

ඔවුන් මීට හේතු ලෙස පෙන්වා දෙන්නේ සෑම වර්ෂයකම අප්‍රේල් මුල් සතියේ දී සිදු කෙරෙන මාර්තු මස ගෙවීම් මෙවර සිදු වී නොමැති බවයි.

සාමාන්‍යයෙන් ප්‍රවාහන ටැංකි රථ හිමියන් වෙත මාර්තු මාසයේ ගෙවීම් අප්‍රේල් මස 7 වැනි දින හෝ 8 වැනි දිනට පෙර ගෙවීමට මීට පෙර පැවැති පරිපාලනය කටයුතු කර තිබුණා.

නමුත් මෙවර මේ දක්වා එම ගෙවීම් කටයුතු සිදු නොකර නොකිරීම හේතුවෙන් තමන් මහත් අපහසුතාවට පත්ව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් සේවකයින්ට වැටුප් ගෙවීම සහ උත්සව පාරිතෝෂික ගෙවීම බරපතළ අර්බුදයක් බවට පත්ව ඇති බවත් ඇතැම් විට සේවකයින් සේවයට වාර්තා කිරීම අඩු වීමෙන් නව අවුරුදු සමයේ තෙල් හිගයක් ඇති වීමේ අවදානමක් මතු විය හැකි බවත් ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා ෴

******************************************

(11.04.2021 – 16:50 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි අනුගමනය කරන්නේ ද යන්න සොයා බැලීම සඳහා සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් ද යොදවන බවයි ෴

******************************************

(11.04.2021 – 17:11 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අදාළ නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යොමු කර තිබෙනවා.

වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා කියා සිටියේ වනජීවි අමාත්‍ය සී.බී. රත්නායක මහතා විසින් අදාළ ගැසට් නිවේදනයට අත්සන් කිරීමෙන් අනතුරුව එය මුද්‍රණාලය වෙත යොමු කළ බවයි.

යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් 6 ක් මුල් කර ගනිමින් වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය, සූරියවැව – වල්සපුගල ප්‍රදේශයේ ආරම්භ කළ සත්‍යග්‍රහයට අදට (11) දින 85 ක් ගත වනවා.

කෙසේ වෙතත්, එම ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම මහතා කියා සිටියේ යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමෙන් පමණක් තම ඉල්ලීම් ඉටු නොවන බැවින් සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක කරන බවයි ෴

******************************************

(11.04.2021 – 17:38 +0530 – hirunews.lk/sinhala)

අනියම් බිරිඳගේ දිගු කොණ්ඩය කපා දමා ඇයට බරපතල තුවාල සිදු කරන ලද අනියම් සැමියෙකු සැඟව සිටියදි අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසනවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට පදිංචි 37 හැවිරිදි තිදරු පියෙකු බවයි වාර්තා වන්නේ.

අවුරුදු 10 කට වැඩි කාලයක් මෙම සම්බන්ධය පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

කොණ්ඩය කපා දැමීම නිසා ලැජ්ජාවට පත් කාන්තාවද වස පානය කිරීම නිසා කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

විවාහක දරුවන් දෙදෙනෙකුද (2) සිටින තිදරු (3) මවක්වු 45 හැවිරිදි මෙම කාන්තාව වසර දහයක (10) සිට සැකකරු සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවත් මේ අතර පසුගිය දිනෙක දෙදෙනා (2) අතර ඇතිවු බහින් බස්විමක් නිසා සැකකාර අනියම් සැමියා ඇයගේ දිගු කොණ්ඩය කපා දමා ඇති බවත් මේ නිසා සමාජයට මුහුණ දිමට නොහැකිව ලැජ්ජාවට පත් ඇය වස පානය කර ඇති බවත් පරික්ෂණවලදි අනාවරණය වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඇයගේ තත්වය බරපතල නොවන බව රෝහල් ප්‍රකාශකයෙකු පවසා තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *