පොලිසියෙන් ජනතාවට උපදෙසක්

පොලිසියෙන් ජනතාවට උපදෙසක්

*********************************************

පොලිසියෙන් ජනතාවට උපදෙසක්

(11.04.2021 – 06:36 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු සමයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගමනය නොකරන තත්වයක් පෙන්නුම් කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ බස් රියදුරන්, කොන්දොස්තරවරුන් මෙන්ම එහි ගමන් කරන ජනතාව සහ සාප්පු සංකීර්ණවලට යන ජනතාව දුරස්ථ භාවය තබා නොගැනීම ද පෙන්නුම් කෙරෙන බවයි.

මේ හේතුවෙන් පොලිස් මූලස්ථානය විසින් දිවයිනේ සියලු පොලිස් ස්ථානවලට චක්‍රලේඛයක් ද නිකුත් කර ඇත්තේ මේ පිළිබඳ සොයාබලා කටයුතු කරන ලෙසටයි.

මේ හේතුවෙන් සියලු පොලිස් ස්ථාන මගින් අද (11) සිට නිරන්තරයෙන් මෙම කරුණු අධීක්ෂණය කරන අතර සෑම අවස්ථාවකදීම මුහුණ ආවරණ පැළඳීම ඇතුලු සෞඛ්‍ය ආරක්ෂණ උපදේශ අනුගමනය කරන ලෙසටයි පොලිසිය ජනතාවට දැනුම්දෙන්නේ.

එමෙන්ම අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධාන කෙරෙන සියලු උත්සව කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා.

එම සියලු ක්‍රියාකාරකම් සම්බන්ධයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ගේ මෙන්ම පොලිසියේ අවසරය ලබාගත යුතුයි ෴

******************************************

(11.04.2021 – 06:25 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (10) දිනයේදී දිවයින පුරා ප්‍රදේශ කිහිපයකින් ගෙල බැඳි රන් මාල කඩා ගැනීමේ සිදුවීම් 5 ක් වාර්තාවී ඇති බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ මීගමුව අවිස්සාවේල්ල තිස්සමහාරාම රාගම සහ ජාඇල ප්‍රදේශවලින් මෙම සිදුවීම් වාර්තාවී ඇති බවයි.

යතුරුපැදිවලින් පැමිණ යමක් විමසන මුවාවෙන් රන් මාල කඩා ගැනීම සිදුවී ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා.

රන් මාල කඩා ගැනීමේ සිදුවීම්වලට අදාළ සැකකරුවන් තුන්දෙනෙකු (3) ඊයේ (10) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

උත්සව සමයේදී මෙවැනි කටයුතු සම්බන්ධයෙන් අවදානයෙන් කටයුතු කරන ලෙසට ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළා ෴

******************************************

(11.04.2021 – 06:41 +0530 – hirunews.lk/sinhala)

වත්තල දුම්රියපොල පාර ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සහ රුපියල් 1,030,670 ක් සමග සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ (10) දහවල් මෙම වැටලීම සිදුකර තිබුණේ.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 101 ක් සහ අයිස් ග්‍රෑම් 113 ක් සොයාගෙන තිබෙනවා. අවුරුදු 34 ක් වන සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7 ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශණ සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ මෙවර අලුත් අවුරුදු සමයේදී මත්පැන් භාවිත කර රිය පදවන පුද්ගලයන් සෙවීමට අමතරව මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන පුද්ගලයන් ද සොයා මෙහෙයුම් සිදුකරන බවයි.

මෙරට දැනට පවතින නීති අනුව මත්ද්‍රව්‍යයක් භාවිත කර රිය පැදවීම රුපියල් 25000 ක දඩයක් ලැබිය හැකි වරදක් වන අතර අධිකරණයක් මගින් රිය බලපත්‍රය තාවකාලිකව හෝ ස්ථිරව අත්හිටුවීමට සහ සිර දඬුවම් ලබාදිය හැකි වරදක් ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ ෴

******************************************

(11.04.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (10) සවස 04:35 ට පමණ රාගල ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

රියදුරාට ත්‍රී රෝද රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් එය මාර්ගයෙන් ඉවතට පැන මීටර් 150 ක පමණ ප්‍රපාතයට පෙරළී ඇති බවයි පොලිසිය කියාසිටියේ.

අනතුරින් ත්‍රී රෝද රථයේ පිටුපස ගමන් කළ කාන්තාවන් දෙදෙනෙකු (2) ගැහැණු දරුවන් දෙදෙනෙකු (2) සහ මාස 9 ක පිරිමි දරුවෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි එක් කාන්තාවක් මියගොස් ඇත්තේ.

මියගොස් ඇත්තේ වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි කාන්තාවක්.

මෘත ශරීරය නුවරඑළිය රෝහලේ තැන්පත් කර ඇති අතර රාගල පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනවා ෴

******************************************

(11.04.2021 – 07:21 +0530 – hirunews.lk/sinhala)

වගාවන් සඳහා භාවිත කරන නයිට්‍රේට් අඩංගු රසායනික පොහොර, ජල මූලාශ්‍ර වලට එක්වීම හේතුවෙන් පානීය ජලයේ පිළිකාකරක පැවතිය හැකි බවට අනාවරණය වන බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනය පවසනවා.

එහි සභාපති නාමල් කරුණාරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කලේ කෘෂිකාර්මික කටයුතු බහුලව සිදු කෙරෙන වයඹ සහ උතුරුමැද පළාත්වල පානීය ජලය පරීක්ෂාවට ලක් කළයුතු බවයි.

මේ අතර, මහනුවර ප්‍රදේශයේදී ඊයේ (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ පරීක්ෂණයකින් තොරව පොහොර ලබා දීම අත්හිටුවීමට ඉදිරියේදී කටයුතු කරන බවයි.

ජලයට නයිට්‍රේට් එක්වීමත් සමග පිළිකාකාරක නිර්මාණය වීමේ විද්‍යාත්මක තත්වය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා ගෙන් විමසීමක් කළා.

එහිදී මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ජල අංශු මිලියනයක පවතින නයිට්‍රේට් අංශු ප්‍රමාණය 10 ඉක්මවා යෑමෙන් එම ජලය, පිළිකාකාරක බවට පත්වීමේ හැකියාවක් පවතින බවයි.

පානීය ජලය තුල පමණ ඉක්මවා නයිට්‍රේට් අන්තර්ගතවීමෙන් ඇතිවිය හැකි තත්වයන් සම්බන්ධයෙන් මහාචාර්ය ගාමිණි රාජපක්ෂ වැඩිදුරටත් කරුණු පැහැදිලි කළා ෴

******************************************

(11.04.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමය හේතුවෙන් මේ දින වල වෙළඳසැල් ආශ්‍රිතව දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන වැටලීම් ප්‍රමාණය වැඩි කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

එහි සභාපති ශාන්ත දිසානායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ට දඩ පැනවීමටද පියවර ගෙන ඇති බවයි ෴

******************************************

(11.04.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ ගතවූ කාලසීමාව තුල රිය අනතුරුවලින් පුද්ගලයන් 580 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසනවා.

ඊයේ (10) දිනය තුල පමණක් මාරක රිය අනතුරු 5 ක් සිදුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් රිය අනතුරු සිදුවන මාසය අප්‍රේල් වන අතර අප්‍රේල් 10 වනදා සිට 20 වනදා දක්වා කාලය රිය අනතුරු බහුලම කාලයක් ලෙසටයි සැලකෙන්නේ.

මේ හේතුවෙන් රිය අනතුරු අවම කර ගැනීමේ අරමුණින් ඊයේ (10) දිනයේ සිට විශේෂ මෙහෙයුමක් පොලිසිය විසින් ආරම්භ කර තිබෙනවා.

විශේෂයෙන් පෞද්ගලික බස් රථ ආශ්‍රිතව සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් ද යෙදවීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

විශේෂයෙන් අවුරුදු සමයේදී බීමත්ව රිය පැදවීම සිදු නොකළ යුතු අතර ප්‍රමාණය ඉක්මවා මගීන් රැගෙන යාම ද අනතුරුවලට හේතුවක් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ.

ඊයේ (10) සවස ද රාගල ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක් (1) මියගොස් තවත් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

රියදුරාට ත්‍රී රෝද රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් එය මාර්ගයෙන් ඉවතට පැන මීටර් 150 ක පමණ ප්‍රපාතයට පෙරළී ඇති බවයි පොලිසිය කියාසිටියේ ෴

******************************************

(11.04.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ ප්‍රසංග වේදිකාව ඇතුළු කලා කටයුතු සඳහා අවසර ලබාදෙන ලෙස ප්‍රසාංග කලා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා යළි ඉල්ලීමක් කරනවා.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඊට අදාළ බලධාරීන් සමග දිගින් දිගටම සාකච්ඡා පැවැත්වුවද මේ වනතෙක් ඒ සඳහා අවසර ලබා නොදීම විශාල ගැටලුවක් වී ඇති බවයි.

ඍජුව සහ වක්‍රව ප්‍රසංග වේදිකාව හා සම්බන්ධ මිලියන 02 ක පමණ ජනතාවක් සිය ජීවිකාව පවත්වාගෙන යන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(11.04.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

සිංහල දෙමල අලුත් අවුරුදු සමයේ කොහාගේ නාදයේ තීව්‍ර වීමක් අපේක්ෂා නොකරන බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කොහාගේ හඬ නැගීම මැයි මාසය අවසානයේ උච්ච තත්ත්වයකට පත්වනු ඇති බවයි ෴

******************************************

(11.04.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala)

සියලුම රාජ්‍ය සහ පෞද්ගලික බැංකු හෙට (12) විවෘතව තැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා ෴

******************************************

(11.04.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතා පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර දෙවරක් පිහිනා නව වාර්තාවක් පිහිටුවීමට අද (11) සමත්වුණා.

තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි වෙරළ බලා පිහිනා යළි පැමිණීමට ඔහු ගත කළේ පැය 28 මිනිත්තු 19 යි තත්පර 44 ක වාර්තාගත කාලයක්. එය නව ආසියානු වාර්තාවක් බවද ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළා.

කිලෝමීටර 60 ක් වූ මුහුදු පිහිණීම දැඩි අභියෝගයක් ලෙසයි සැළකෙන්නේ. මීට පෙර එම දස්කම දක්වා ඇත්තේ එකම ශ්‍රී ලාංකික පිහිනුම්කරුවෙකු විසින්. ඒ, කුමාර් ආනන්දන් 1971 වසරේදී පැය 51 කින් පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඉන්දියාවට පිහිනා ගොස් යළි පැමිණ පිහිටවූ වාර්තාවයි.

මාතර මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන 32 හැවිරිදි රොෂාන් අබේසුන්දර මහතා ගුවන් හමුදාවට එක්වූයේ 2008 වසරේදියි. ඔහු පසුගිය මාර්තු 21 වනදා කිලෝමීටර 49 ක මුහුදු පිහිනුම පැය 23 කින් අවසන් කරමින් ජාතික වාර්තාවක්ද පිහිටුවා තිබෙනවා.

පෝක් සමුද්‍ර සන්ධිය තරණය කිරීමේදී නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර මහතාට උපදේශක සේවා සපයනු ලැබුවේ ජ්‍යෙෂ්ඨ ජීවිතාරක්ෂක උපදේශක ජනක හේවාපතිරණ මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසින්.

******************************************

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්ත වෙයි

(11.04.2021 – 09:15 +0530 – hirunews.lk/sinhala)

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. ඔහු මියයන විට 58 හැවිරිදි වියෙහි පසු වුණා.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි වෛද්‍යවරයාගේ ඥාතීන් පවසන්නේ ෴

******************************************

Government Medical Officers’ Association Live Stream (08.04.2021)

******************************************

Government Medical Officers’ Association Live Stream (10.04.2021)

@@@@@@@@@@@@@@@

(11.04.2021 – 07:16 +0530 – hirunews.lk/sinhala)

ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදෙන්නේ සති 10 කින්ද, 12 කින්ද යන්න හෙට (12) දිනයේ තීරණය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

එන්නත්කරණය පිළිබඳ විද්වත් කමිටුව හෙට (12) රැස්වී එම තීරණයට එළඹෙන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ඊයේ (10) දිනයේදී කොරෝනා ආසාදිතයින් 284 දෙනෙකු මෙරටින් හඳුනා ගත්තා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 94,848 ක්.

මේ වනවිට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 91,456 ක් වන අතර, තවදුරටත් ආසාදිතයින් 2,796 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලැබූ උඩහේන්තැන්න ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබූ අතර, ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 596 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *