වෙළඳපොලේ පොල්තෙල්වල විෂ අඩංගුදැයි සෙවීමට කාලයක් ගතවන බව නිලධාරීන් කියයි

වෙළඳපොලේ පොල්තෙල්වල විෂ අඩංගුදැයි සෙවීමට කාලයක් ගතවන බව නිලධාරීන් කියයි

*********************************************

වෙළඳපොලේ පොල්තෙල්වල විෂ අඩංගුදැයි සෙවීමට කාලයක් ගතවන බව නිලධාරීන් කියයි

(10.04.2021 – 15:48 +0530 – hirunews.lk/sinhala)

දරුණු පිළිකා කාරකයක් වන ඇෆ්ලටොක්සින් වෙළඳ පොලේ ඇති පොල්තෙල් වල අඩංගු දැයි සොයා බැලීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් එක්රැස් කරන ලද සාම්පල පරීක්ෂා කිරීම සඳහා බොහෝ කලක් ගතවනු ඇතැයි සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවනවා.

මීට හේතු වී ඇත්තේ සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබාදෙන සාම්පල පරික්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාට ප්‍රමාණවත් රසායනාගාර පහසුකම් නොමැති වීමයි.

අද (10) දිනයේ රජයේ රස පරීක්ෂකවරයා විසින් සාම්පල 109 ක ප්‍රතිඵල ලබා දුන්නද තවත් සාම්පල තුන්සියයකට (300) අධික සංඛ්‍යාවක් පරික්ෂා කිරීම සඳහා පෙළ ගැසී ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එන්.ඩී. බාලසූරිය මහතා හිරු ප්‍රවෘත්ති සමඟ අදහස් දක්වමින් කියා සිටියේ ආහාර පනත අනුව තමන් එක්රැස් කරගන්නා සාම්පල භාර දිය හැක්කේ ආහාර දෙපාර්තමේන්තුව සතු රසායනාගාර සහ රජයේ රස පරීක්ෂක වෙත පමණක් බවයි.

කෙසේ වෙතත් ආහාර දෙපාර්තමේන්තුව සතු රසායනාගාර පහ (5) තුලම මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති බවයි වාර්තා වන්නේ.

ආහාර දෙපාර්තමේන්තුව සතු පරීක්ෂණාගාර පහ (5) අනුරාධපුර, කුරුණෑගල, මහනුවර සහ කොළඹ පිහිටුවා තිබෙනවා.

නමුත් මේ එකදු රසායනාගාරයක හෝ පොල්තෙල් වල ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය ඇත්දැයි සොයා බැලීම සඳහා සිදු කෙරෙන පරීක්ෂණ කිරීමට අවශ්‍ය පහසුකම් නැහැ.

මේ අතර පොල්තෙල් වල ඇෆ්ලටොක්සින් පිළිකා කාරකය ඇත්දැයි සොයා බැලීම සඳහා සිදුකෙරෙන පරීක්ෂණයට භාවිත කරන රසායන ද්‍රව්‍ය හිඟයක් මතුවී ඇති බව වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ පෙර නොවූවිරූ තරම් සාම්පල සංඛ්‍යාවක් මෙම පරීක්ෂණය සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමයි.

මේ හෙතුවෙන් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇති සාම්පලවල ප්‍රතිඵල නිකුත් කිරීමට අවම තරමින් තවත් සති තුනක (3) පමණ කාලයක්වත් ගත වනු ඇති බවටයි විශ්වාසය පළ කරන්නේ ෴

******************************************

(10.04.2021 – 17:01 +0530 – hirunews.lk/sinhala)

නුගේගොඩ නගරයේ පිහිටි පස්මහල් (5) වෙළඳ සංකීර්ණයක ගින්නක් හට ගෙන තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කලේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ 4 ක් මේ වනවිට යොදවා ඇති බවයි.

******************************************

(10.04.2021 – 17:37 +0530 – hirunews.lk/sinhala)

මේ නුවරඑළිය තලවකැලේ ප්‍රධාන මාර්ගයේ ඩ්‍රෙස්ෆොර්ට් ක්‍රිස්තියානි පල්ලිය අසල ප්‍රධාන මාර්ගය අද (10) දක්නට ලැබුණු ආකාරයයි.

මේ මාර්ගය මාර්ග සංවර්ධන කටයුතු යටතේ නවීකරණය කොට තවමත් මසක් වත් ගත වී නැහැ.

මේ දර්ශන පෙන්වා දෙන්නේ ප්‍රමිතියෙන් තොර ඉදිකිරීම් වල අද (10) තත්ත්වයයි.

මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල ප්‍රමිතිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අවස්ථා ගණනාවක දී විවිධ හෙළිදරව් කිරීම් කළ ද ඒ සියල්ල බලධාරීන්ට බීරි අලින්ට වීනා වැයුමක් පමනක් වුණා.

අප පෙන්වා දුන් වරද එදා නිවැරදි කරගන්නට බලධාරීන් උත්සාහ දරුවා නම් මේ ලෙස මහජන මුදල් නිරපරාදේ අපතේ නොයනු ඇති.

තවමත් මේ මාර්ගයේ සංවර්ධන කටයුතු සිදුවන අතර මේ සිද්ධිය හරහා හෝ මේ මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමිතිය පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් ඒ හරහා මේ රටේ බදු ගෙවන ජනතාවගේ මුදල් වලට යම් හෝ සාධාරණයක් ඉටු වනු ඇති ෴

******************************************

(10.04.2021 – 19:45 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී වරින් වර සාකච්ඡා පවත්වන බව එහි ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ආණ්ඩුව නියෝජනය කරන දේශපාලන පක්ෂ 11 ක නායකයන් සමග පසුගිය බ්‍රහස්පතින්දා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ එම සාකච්ඡාව ආණ්ඩුවට එරෙහි සාකච්ඡාවක් නොවන බවයි.

කෙසේ වෙතත්, පළාත් සභා මැතිවරණයේදී ආසනයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් 3 දෙනෙකු ඉදිරිපත් කිරීමට සිදු කර ඇති යෝජනාවට අකමැත්ත පල කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක්ම තීරණය කර ඇති බව මෙම සාකච්ඡාවෙන් පසු වාර්තා වුණා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් සිදුකරන මීළඟ සාකච්ඡාව ලබන 18 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීයි.

මේ අතර, මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැයි දිනය සැමරීම සඳහා ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සහභාගි කර ගැනීමේ සාකච්ඡා මේ වනවිට ආරම්භ කර ඇති බව නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා ෴

******************************************

(10.04.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

ඇෆ්ලටොක්සීන් නමැති පිළිකා කාරකය ආහාර වල අඩංගු විය හැකි ප්‍රමාණය කිලෝග්‍රෑමයට මයික්‍රොග්‍රෑම් 10 දක්වා අඩු කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඉදිරියේදී ආහාර ආරක්ෂණ ප්‍රතිපත්තියක් ද ගෙන ඒමට කටයුතු කරන බවයි.

පිළිකා කාරක අඩංගු ආනයනික පොල්තෙල් තොගයක් රේගුවෙන් අදාළ ආනයනික සමාගම්වල ගබඩා වෙත මුදා හැර ඇති බවට හිරු ප්‍රවෘත්ති අනාවරණයත් සමඟ වෙළඳපොලේ පවත්නා පොල්තෙල් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මතුවුණා.

එම තත්ත්වය හමුවේ පාරිභෝගික අධිකාරිය දිවයිනේ දිස්ත්‍රික්ක 24 ම ආවරණය වන පරිදි පොල්තෙල් සාම්පල 125 ක් ලබා ගැනීමට පසුගියදා කටයුතු කළා.

ඉන් 109 කම ඇෆ්ලටොක්සීන් පිළිකා කාරකය අඩංගු නොවන බව පරීක්ෂණවලින් තහවුරු වී ඇති බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා හිරු ප්‍රවෘත්ති අංශය සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

ආහාරවල අඩංගු විය හැකි ඇෆ්ලටොක්සීන් ප්‍රමාණය කිලෝග්‍රෑමයට මයික්‍රොග්‍රෑම් 30 ක් ලෙස ආහාර පනතේ දක්වා ඇති අතර, ප්‍රමිති ආයතනයේ නිර්ණායකයන්ට අනුව එම ප්‍රමාණය කිලෝග්‍රෑමයට මයික්‍රොග්‍රෑම් 10 ක් වනවා.

******************************************

(10.04.2021 – 19:58 +0530 – hirunews.lk/sinhala)

සිංහල දෙමල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක් මේ වනවිට දක්නට ලැබෙන බව ප්‍රවාහන බලධාරීන් පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ සොයා බැලීමකදීද අනාවරණ වූයේ ප්‍රවාහන සේවා අවශ්‍යතාව පරිදි යොදවා තිබුණද මගීන්ගේ පැමිණීමේ අඩුවක් පවතින බවයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය යොදවා ඇතත්, අද (10) දිනයේදී මගීන්ගේ අඩුවක් දක්නට ලැබුණු බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමීණි සෙනෙවිරත්න මහතා කියා සිටියේ ෴

******************************************

(10.04.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala)

තමන්ගෙන් තවත් අයෙකුට වරදක් සිදුවූ අවස්ථාවක සමාව අයැදීමට නිහතමානී විය යුතු බව ලොව පළමු විවාහක රූ රැජිණ වන රෝසි සේනානායක මහත්මිය පවසනවා.

ඇය අද මෙම අදහස් පළ කළේ, ලෝක විවාහක රූ රැජිණ තරගය සඳහා මෙරට නියෝජනය තේරීමේ තරගයේදී ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි කතාබහක් මතුව ඇති පසුබිමකයි.

මෙම සිදුවීමට මුල්වුණේ පසුගියදා ලෝක විවාහක රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාවේ නියෝජනය තෝරාපත්කර ගැනීමට පැවති තරගයේ ඇතිවූ සිදුවීමයි.

එහිදී ඉවත් කෙරුණු පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ රූ රැජිණ කිරුළ යලි ඇයටම හිමිවූ අතර, කැරොලයින් ජූරි පෙරේදා පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු පොලිස් ඇප මත මුදාහැරුණා.

මෙම සිදුවීම් ජාත්‍යන්තර මාධ්‍යයේ මේ දිනවල දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

මේ අතර, ලොව පළමු විවාහක රූ රැජිණ ලෙස 1985 වසරේදී කිරුළ පැළඳූ රෝසි සේනානායක මහත්මිය කොළඹදී අද (10) පැවති පාසල් දරුවන්ට පොත්පත් බෙදා දීමේ වැඩසටහනකදී මෙලෙස අදහස් පළකළා.

******************************************

(10.04.2021 – 22:59 +0530 – hirunews.lk/sinhala)

දෛනික ජීවිතයේ පහසුව උදෙසා අප නව තාක්ෂණය බොහෝසෙයින් සමීප කරගෙන තිබෙනවා.

කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් කතා නොකළ හෝ සිදු නොකළ දෙයක් අනවසරයෙන් මවා පෙන්වීමේ හැකියාවක් පවතින අතර, මෙරට තුළ පාසල් සිසු දරුවන්ද මෙම අඳුරු පැතිකඩෙහි ගොදුරු බවට පත්වීමේ දැඩි ප්‍රවණතාවක් මතුව තිබෙනවා.

කෘත්‍රිම බුද්ධිය යනු අද වනවිට තාක්ෂණයේ හිනිපෙත්තටම ගමන් කළ එක් අංගයක්.

මේවන විට නව තාක්ෂණය උපයෝගී කරගනිමින් වැඩිහිටි වෙබ් අඩවි සහ වීඩියෝපට නිර්මාණය කිරීමේ ප්‍රවණතාවක් ද මතුව තිබෙනවා.

විවිධ මූලාශ්‍ර මගින් ලබාගන්නා සේයාරූ, ලිංගික දර්ශන ඇතුළත් චිත්‍රපටවලට මෙන්ම විවිධ ක්‍රියාකාරකම් නිරූපණය වන සිද්ධීන් සඳහා යොදා ගැනීමේ මෙම නව ප්‍රවණතාව හඳුන්වන්නේ DEEP FAKE ලෙසයි.

යමෙකුගේ අවසරයක් නොලබාම කතා නොකළ හෝ සිදු නොකළ දෙයක් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් මවා පෙන්වීමට හැකියාව මෙමගින් ලැබෙනවා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්, ලෝක ප්‍රකට හොලිවුඩ් නළු ටොම් කෲස්, හිටපු අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඇතුළු ලෝකප්‍රකට චරිත රැසකගේ සේයාරූ මෙන්ම හඬපටද මේවන විට ව්‍යාජව සකසා සැබෑ ලෙස නිර්මාණය කිරීමටයි පරිගණක අපරාධකරුවන් කටයුතු කර තිබෙන්නේ.

මෙහි අහිතකර බලපෑම වන්නේ ෆේස්බුක්, ටික්ටොක්, ඉන්ස්ටර්ග්‍රෑම් වැනි ජනප්‍රිය සමාජ මාධ්‍යයන් පරිශීලනය කරන වැඩිහිටි ප්‍රජාව මෙන්ම පාසල් වයසේ පසුවන දරුවන්ද සමාජ විරෝධී ක්‍රියාවල කොටස්කරුවන් බවට ඔවුන් නොදැනුවත්වම පත් වීමයි.

@@@@@@@@@@@@@@

(10.04.2021 – 16:09 +0530 – hirunews.lk/sinhala)

අද (10) දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 184 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 91,456 ක් ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 160 දෙනෙකු හමුවී තිබෙනවා ෴

උත්සව සමයේ මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස පිළිපදින ලෙස, යුධ හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා ෴

+++++++++++++++++++++

(10.04.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ සංචරණ සීමා පැනවීමට හෝ හුදෙකලා කිරීම් සිදු කිරීමට අපේක්ෂා නොකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අලුත් අවුරුද්ද සමරන ලෙසයි.

උත්සව සමයේ මුහුණු ආවරණ පැළදීම ඇතුළු අනෙකුත් සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස පිළිපදින්නැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

උත්සව සමය ආරම්භ වීමත් සමග ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීම සම්බන්ධයෙන් අවධානය යොමුකරමිනුයි යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ.

මේ අතර, අද දිනයේත් මේ දක්වා කොරෝනා ආසාදිතයින් 160 ක් වාර්තා වූ අතර ඒ අනුව සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 94,724 ක් දක්වා ඉහළ ගියා.

එසේම, 184 දෙනෙකු අද දිනයේ සුවය ලැබූ අතර මේ වනවිට සුවය ලබා ඇති සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 91,456 ක්.

ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් වුවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල මෙන්ම ප්‍රාදේශීය කාර්යාල ද සාමාන්‍ය පරිදි සේවා සපයන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

මෙරටින් තවත් එක් කොරෝනා වෛරස් ආසාදිත මරණයක් අද (10) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 596 ක් දක්වා ඉහළ ගියා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 108 දෙනෙකු හමුවී තිබෙනවා. ඒ අනුව අද (10) දිනයට මෙරටින් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 268 ක් ෴

පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ යාපනය දිස්ත්‍රික්කයේ සියලුම සිනමා ශාලා නැවත දැනුම්දෙන තුරු වසා දමා තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *