වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 109 ක පිළිකාකාරක නොමැති බවට සහතිකයක්

වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 109 ක පිළිකාකාරක නොමැති බවට සහතිකයක්

*********************************************

වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 109 ක පිළිකාකාරක නොමැති බවට සහතිකයක්

(10.04.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපොලෙන් ලබාගත් පොල්තෙල් සාම්පල 109 ක පිළිකාකාරක නොමැති බවට අනාවරණ වූ බව සමූපකාර සේවා, අලෙවිකරණ සංවර්ධන සහ පාරිභෝගික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පාරිභෝගික අධිකාරිය, වෙළඳපොලෙන් අදාළ සාම්පල ලබාගත් බවයි.

ඇෆ්ලටොක්සීන් පිළිකාකාරකය අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් තහවුරු කළ ආනයනික පොල්තෙල් තොගයක් රේගුවෙන් සමාගම් වල ගබඩා වෙත මුදා හැර ඇති බවට පසුගියදා හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයත් සමග සමාජය තුල ඒ සම්බන්ධයෙන් දැඩි කතා බහක් මතුවුණා.

අදාල තෙල් තොග වෙළදපොලට නිකුත් නොවූ බවට බලධාරීන් සහ නිලධාරීන් විවිධ තහවුරු කිරීම් සිදු කළ පසුබිමකදී දංකොටුව ප්‍රදේශයේ තෙල් මෝලක පිටුපස සඟවා තිබියදී සොයා ගැණුනු බවුසර් දෙකෙහි තිබෙන ‘පොල් තෙල්’ වලද ඇෆ්ලටොක්සින් නැමති පිළිකා කාරකය අඩංගු බවට පෙරේදා තහවුරු කෙරුණා.

සමාගම් 3 ක් විසින් මෙරටට ආනයනය කළ පොල්තෙල් තොගයක පිලිකා කාරක අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණය ඇතුළු ආයතන 3 ක් මගින් පසුගියදා තහවුරු කළ අතර, ඉන් එක් සමාගමක පොල්තෙල් බහාලුම් 6 ක් ප්‍රතිඅපනයනයට වරාය පර්යන්ත වෙත පසුගිය 6 වනදා යොමුකළ ද මේ දක්වා ඒවා නැව්ගත කර නැහැ.

කෙසේ වෙතත්, සෙසු සමාගම්වල තෙල් තොග සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙන අතර තවදුරටත් එම ගබඩාවලට මුද්‍රා තබා තිබෙනවා.

පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරිවරයෙකු, පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු දස (10) දෙනෙකුගෙන් සමන්විත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් ඊයේ (09) පත් කළේ නීතිපතිවරයාගේ උපදෙස් අනුවයි.

ඒ අනුව, අදාළ විමර්ශන කණ්ඩායම දැනටමත් ප්‍රශ්නගත පොල්තෙල් ගෙන්වූ සමාගම් වලින් ප්‍රකාශ ලබා ගැනීම ආරම්භ කර ඇති බවයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ.

එමෙන්ම, දංකොටුව ප්‍රදේශයේ සඟවා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන රේගුවට භාරදුන් පොල්තෙල් බවුසර දෙකෙහි ඇෆ්ලටොක්සීන් අඩංගු බවට මේ දක්වා තමන්ට ලිඛිතව හෝ වාචිකව කිසිදු දැනුවත් කිරීමක් සිදු නොකළ බව අදාළ පොල්තෙල් ආනයනය කළ සමාගමේ හිමිකරු පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ අදාළ පොල්තෙල් බවුසර් දෙකෙහි (2) ඇත්තේ ප්‍රශ්ණගත ප්‍රතිඅපනයනයට නිර්දේශිත පොල්තෙල් නොව, ඊට පෙර ගෙන්වූ වෙනත් තෙල් තොගයක් බවයි.

එම තෙල් තොග සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ අනුමැතිය ලැබී ඇති බවද ඔහු කියා සිටියා.

******************************************

(10.04.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව අවට දියවන්නා ඔයේ මෙන්ම බත්තරමුල්ල පාලම් තුන අවට පිහිටි තෙත් බිමේ ජලය අවපැහැගැන්වීම සම්බන්ධයෙන් වහාම පරිසර වාර්තාවක් ලබාදෙන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මධ්‍යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී තිබෙනවා.

විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි මේ සඳහා හේතුවී ඇත්තේ මිනිස් මළඅපද්‍රව්‍ය බැහැර කිරීමක්ද යන්න හෝ ඇල්ගී විශේෂයක් වර්ධනය වීමක්ද යන්න පිළිබඳ මෙතෙක් නිශ්චිතව තහවුරු නොවන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මින් පෙර මෙවැනි ආකාරයට දියවන්නාවේ ජලය අවපැහැගැන්වීමක් සිදුවී නොමැති නිසා මේ සම්බන්ධයෙන් තමන් විද්‍යාත්මක විමර්ශන වාර්තාවක් අපේක්ෂා කරන බවද පරිසර අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

මේ අතර, මුතුරාජවෙල තෙත් බිම ජාතික රක්ෂිතයක් ලෙස සංරක්ෂණය කිරීමට අදාල කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කළා. ඒ මොරටුව – ලුනාව ප්‍රදේශයේ ඊයේ (09) පැවති උත්සවයකට එක්වෙමින් ෴

******************************************

(10.04.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

නගර සභාවේ ස්වාධීන ක්‍රියාකලාපයට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගතහැකි උපරිම පියවර ගන්නා බව අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැරුණු යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ඇප මත මුදාහැරීමෙන් අනතුරුව ඊයේ (09) මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

අත්අඩංගුවට ගත් නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් ඊයේ (09) රාත්‍රියේ යාපනය මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.

රුපියල් ලක්ෂ 2 ක ශරීර ඇප මත සැකකරු මුදා හැරීමට නියෝග කල අධිකරණය නඩුව යළි ජූනි 26 වනදා කැඳවීමටයි නියෝග කළේ.

යාපනය නගරයේ විශේෂ රාජකාරී සඳහා විශේෂ ඒකකයක් පිහිටුවා එහි පුද්ගලයින් පස් (5) දෙනෙකුට නිල ඇඳුම ලෙස භාවිතා කිරීමට යුද සමයේදී එල්.ටී.ටී.ඊ. පොලිසිය භාවිත කළ ඇඳුමට සමාන නිල ඇඳුමක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් නගරාධිපතිවරයාව පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින්.

******************************************

(10.04.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සාකච්ඡාවකට එක්වූ කීපදෙනෙකු විසින් ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය පිළිකාකාරක අඩංගු ආහාර සම්බන්ධයෙන් පළ කළ අදහස් සම්බන්ධයෙන් සහ ආනයනික ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා.

++++++++++++++

******************************************

(10.04.2021 – 13:38 +0530 – hirunews.lk/sinhala)

රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ගේ විශ්‍රාමික වැටුප සම්බන්ධ ගැටලුව කඩිනමින් නිරාකරණය කරන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් විශ්‍රාමික කමල් ගුණරත්න මහතා පවසනවා.

ආරක්ෂක ලේකම්වරයා මේ අදහස් පළ කළේ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් පිරිසක් හමු වූ අවස්ථාවේදී.

යුද්ධයේදී දිවි පිදූ ත්‍රිවිධ හමුදා හා පොලිස් රණවිරු යැපෙන්නන්ගේ සංසදය රණවිරු විශ්‍රාමික වැටුප සම්බන්ධ ගැටලුව මුල් කරගනිමින් අවස්ථා කිහිපයකදී විරෝධතාවල නිරත වුණා.

මේ අතර රණවිරු බිරින්දෑවරුන්ගේ සංසදය පසුගියදා ආරක්ෂක ලේකම්වරයා හමුවුණේ සිය ගැටලුවට විසඳුමක් බලාපොරොත්තුවෙන්.

******************************************

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයයෙන් මහා පරිමාණ ඉඩම් වංචාවක් වැළකෙයි

(10.04.2021 – 14:06 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි ගණනක් වටිනා කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි අක්කර 05 ක පමණ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තාවනවා.

‘හිරු සී.අයි.ඒ.’ ඒ පිළිබඳ මෙම අනාවරණය සිදුකරන්නේ කුරුණෑගල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය හරහා සිදු වු මහා පරිමාන ඉඩම් වංචාවක තොරතුරු ද පසුගිය සතියේ හෙළිකළ පසුබිමකයි.

කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම භූමිය අක්කර 05 ක් පමණ වනවා.

කුඹුරු ඉඩමක් වන මෙයට වසර 36 කට අධික කාලයක් පුරා හිමිකම් කියන්නේ පාරම්පරික වැවිලි කරුවෙකු වන මහින්ද්‍ර ප්‍රනාන්දු නම් මෙම පුද්ගලයායි.

ඔහු විසින් රජයට බදු ගෙවමින්, නඩත්තු කර ගෙන ආ මෙම ඉඩමේ වාණිජ වටිනාකමින් ඉහළම කොටස වන කුරුණෑගල – කොළඹ ප්‍රධාන පාරට මුහුණ ලා ඇති කොටසේ පර්චස් 300 ක් පමණ වටකර බලහත්කාරයෙන් වැටක් ගැසීමට පසුගිය 28 වැනිදා රාත්‍රියේ සංවිධානාත්මක පිරිසක් කටයුතු කර තිබුණා.

එහි ගිය ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායමට දැක ගත හැකි වුණේ උදෑසන වනවිට එම කොටසට පෞද්ගලික ආරක්ෂකයන් ද යොදවා තිබු අයුරුයි.

කොළඹ – නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බලහත්කාරයෙන් මෙම ඉඩම් වෙන්කර ගැනීමේ කටයුත්ත සිදුකිරීමට ආධාර අනුබල දී අති බව අප කළ සොයාබැලීමකදී හෙළිවුණා.

කුරුණෑගල ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගන්නා පුද්ගලයන් සොයා අප අදාල ඉඩමට යනවිට එහි ආරක්ෂාවට යොදවා සිටි පුද්ගලයන් පලා ගොස් තිබුණා.

******************************************

(10.04.2021 – 14:34 +0530 – hirunews.lk/sinhala)

ඝාතන සිද්ධි රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘ලොකුගේ ලසන්ත ප්‍රදීප්’ හෙවත් ‘තංගල්ලේ සුද්දා’ ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් චරිත ජයනාත්ගේ නියෝගයකට අනුවයි.

මීගමුව – කට්ටුව ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී විශේෂ කාර්ය බලකාය 39 හැවිරිදි මොහු පෙරේදා (08) අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී මොහුට සැඟව සිටීමට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු (1) ද අත්අඩංගුවට ගැණුනු අතර ඔහු ද ලබන 12 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ ෴

******************************************

(10.04.2021 – 14:53 +0530 – hirunews.lk/sinhala)

අප්‍රේල් 12 සහ 13 යන දිනවල සියළු සතොස වෙළඳසැල් විවෘතව තබන අතර, අනෙකුත් වෙළඳසැල් ද විවෘතව තබන ලෙස රජය ඉල්ලීමක් කරනවා ෴

++++++++++++

******************************************

(10.04.2021 – 14:59 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුද්ද වෙනුවෙන් අඩු ආදායම්ලාභීන් සහ සමෘද්ධිලාභීන් වෙත ලබාදෙන රුපියල් 5000 දීමනාව අප්‍රේල් 12, 13 දිනවල සමෘද්ධි බැංකු මගින් ලබා ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශක කළා.

ඒ කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමෘද්ධි ගෘහ ආර්ථික රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ හෙට (11) දිනයේ සිට මීට අදාළ කටයුතු ආරම්භ කරන බවයි.

මේ අතර කොරෝනා තත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පවුල්වලට අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 5000 ක දීමනාවට අදාළ ප්‍රතිලාභීන් සහ අනෙක් තොරතුරු ඇතුලත් චක්‍රලේඛයක් ද නිකුත්කර තිබෙනවා.

@@@@@@@@@@@@@@@

(10.04.2021 – 13:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහි එන්නත් බෙදාහැරීමේදී ලොව පුරා කම්පනයට පත්වන අසාමානාත්මතාවක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් කියා සිටියේ ජගත් සංවිධානයේ කොවැක්ස් එන්නත්කරණ වැඩසටහනේ ඉලක්කයක් සපුරාගැනීම මේ නිසා ගැටළුවක් වී ඇති බවයි.

ලොව අඩු ආදායම්ලාභී සහ මැදි ආදායම් ලබන රටවල් 100 කට මාර්තු අවසානයේදී අවම වශයෙන් එන්නත් මාත්‍රා මිලියන 100 ක් සැපයීමටයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැළසුම් කළේ.

එහෙත් මේ වනවිට බෙදාහැර ඇත්තේ එම එන්නත් මාත්‍රා මිලියන 38 ක් පමණයි.

ලොව ධනවත් රටවල් මේ වනවිට එන්නත් මාත්‍රා බිලියන 4.6 ක් වෙන් කරගෙන ඇති අතර, අඩු සහ මැදි ආදායම් ලබන රටවල් සඳහා වෙන් කර ඇත්තේ මිලියන 670 ක් පමණයි.

ධනවත් රටවල සෑම හතර (4) දෙනෙකුගෙන් එක් (1) අයෙකුටම කොරෝනා එන්නත ලැබීමේ අවස්ථාවක් හිමිවන අතර, අඩු ආදායම්ලාභී රටවල එම අවස්ථාව හිමිවන්නේ 500 කින් එක් (1) අයෙකුට පමණයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *