මිය ගිය බව කියූ පුද්ගලයෙකුට මීගමුව රෝහලේදී පණ එයි

මිය ගිය බව කියූ පුද්ගලයෙකුට මීගමුව රෝහලේදී පණ එයි

*********************************************

මිය ගිය බව කියූ පුද්ගලයෙකුට මීගමුව රෝහලේදී පණ එයි

(10.04.2021 – 07:37 +0530 – hirunews.lk/sinhala)

හදිසි අසනීපයක් හේතුවෙන් මීගමුව මහරෝහලට ඇතුලත් කළ රෝගියෙකු මියගිය බව සලකා වෛද්‍යවරයෙකු විසින් මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

කෙසේවෙතත් පසුව අනාවරණය වී ඇත්තේ එම රෝගියා මිය ගොස් නොමැති බවටයි.

මීගමුව මැදපිටිපන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු හදිසි අසනීපයක් නිසා ඔහුගේ බිරිඳ විසින් ඊයේ (09) අලුයම මීගමුව මහ රෝහලේ මූලික ප්‍රතිකාර අංශයට ඇතුලත් කර තිබෙනවා.

පසුව එහි රාජකාරී කළ වෛද්‍යවරයෙකු විසින් මෙම රෝගියා පරීක්ෂාකර බලා දැනුම් දී ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි.

පසුව රෝගියා මෘත ශරීරාගාරය වෙතද යොමු කර තිබෙනවා.

ඒ අතරතුර ඥාතීන්ට පෙනී ගොස් ඇත්තේ මිය ගිය බව කියූ රෝගියාගේ අතක් චලනය වන ආකාරයයි.

එය දුටු ඥාතීන් වහා රෝහල් කාර්ය මණ්ඩලය ගෙන්වා රෝගියා එම රෝහලේ 04 වන වාට්ටුවට ඇතුලත් කර තිබෙනවා.

මොහු රෝගී තත්වයට පත්ව ඇත්තේ රුධිරයේ සීනි මට්ටම අඩුවීම නිසා බවටයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට රෝහල් පාලන අධිකාරිය තීරණය කර තිබෙනවා.

මීගමුව මහ රෝහලේ අධ්‍යක්ෂිකා නිර්මලා ලෝගනාදන් මහත්මිය ප්‍රකාශ කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් ඊයේ (09) දිනයේම සෞඛ්‍ය අමාත්‍යංශය හරහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කල බවයි.

මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඇය කියා සිටියා.

******************************************

රන්මාල කොල්ල කෑ දෙදෙනෙක් අත්බෝම්බයක් සමඟ පොලිස් දැලේ

(10.04.2021 – 06:59 +0530 – hirunews.lk/sinhala)

රන්මාල කොල්ලකෑම්වල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු (2) ඊයේ (09) කාත්තන්කුඩි ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී මෙම සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි පොලිසිය සඳහන් කළේ.

මොවුන් දෙදෙනා (2) ගමන් ගත් යතුරුපැදියේ සඟවා තිබියදී ජීව අත්බෝම්බයක් ද සොයා ගැනීමට හැකිව ඇති බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අද (10) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(10.04.2021 – 06:41 +0530 – hirunews.lk/sinhala)

සේවා අවශ්‍යතාව මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න මහතා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

මීට පෙර එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා මහතා පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

******************************************

(10.04.2021 – 06:31 +0530 – hirunews.lk/sinhala)

උත්සව සමයේ ඉහළ යා හැකි රිය අනතුරු සහ සාප්පු සවාරි යාමෙන් පැතිර යා හැකි කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා මුළු දිවයිනම ආවරණය වන පරිදි විශේෂ පොලිස් මෙහෙයුමක් අද (10) දිනයේ සිට ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මේ සඳහා නිල ඇඳුමෙන් සැරසුණු සහ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ද යොදා ගැනීමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසා සිටියේ.

විශේෂයෙන් මහජනයා බහුලව ගැවසෙන සාප්පු සංකීර්ණ අවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා කොවිඩ් මර්දන රීති උල්ලංඝනය කරන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

එම නිසා අවුරුදු සාප්පු සවාරියේ යෙදෙන පාරිභෝගිකයින් සඳහා කොවිඩ් මර්දනය සඳහා රජය විසින් පනවා ඇති සියලු විධික්‍රම භාවිත කිරීමේ පහසුකම් සපයා තබන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා සිටින්නේ.

එමෙන්ම මුළු දිවයිනම ආවරණය වන පරිදි රිය අනතුරු වැළැක්වීමේ විශේෂ මෙහෙයුමක් ද අද (10) දින සිට ක්‍රියාත්මක වනවා.

මෙම මෙහෙයුමේ දී විශේෂයෙන්ම බීමත් රිය ධාවනය, ජංගම දුරකථනය භාවිත කරමින් රිය ධාවනය, සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය යන කාරණා කෙරෙහි වැඩි අවධානයක් යොමුකර එවැනි රියදුරන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනු ඇති.

මෙරට රිය අනතුරු කැලැන්ඩරයේ වැඩිම රිය අනතුරු සිදුවන අප්‍රේල් මාසය තුළ අනතුරු අවම කර ගැනීමේ අරමුණෙන් සියලු දෙනා කටයුතු කළ යුතු බවත් එළඹෙන උත්සව සමයේ කොවිඩ් රෝගයේ වින්දිතයකු බවට පත් නොවීමට සැමදෙනාම වගබලා ගත යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා සිටියා ෴

******************************************

(10.04.2021 – 06:19 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම ප්‍රදේශයේදී ඊයේ (09) දින පුද්ගල ඝාතනයක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

29 හැවිරිදි කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති අතර ඇයගේ 35 හැවිරිදි ස්වාමි පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් අතර තුර පොල්ලකින් පහර දී මෙම ඝාතනය සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය ගෝනිවලින් වසා නිවසේ ඇඳක් යට සඟවා තිබියදී අද (10) අලුයම් කාලයේදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සහ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (10) දිනයේදී සිදුකිරීමට නියමිත අතර අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පුත්තලම පොලිසිය විසින් සිදුකරණු ලබනවා ෴

******************************************

(10.04.2021 – 07:10 +0530 – hirunews.lk/sinhala)

මිද්දෙණිය, ජූලම්පිටිය, ගල්පොත්තයාය ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මහාපරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවෙකු සමඟ කසිප්පු බෝතල් 80 ක්, ගෝඩා හා කසිප්පු පෙරීමට යොදාගත් උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන්නේ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින්.

අත්අඩංගුවට පත් සැකකරු මිද්දෙණිය – ජූලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු කලක සිට සිය නිවස පිටුපස පිහිටි කුඩා කැලෑ බද ප්‍රදේශයක මෙම ජාවාරම කරගෙන ගොස් ඇති බවයි හෙළිව ඇත්තේ.

සැකකරුගෙන් කළ ප්‍රශ්ණ කිරීමේදි අනාවරණය වී ඇත්තේ අළුත් අවුරුද්ද සඳහා අලෙවි කිරීමට මෙලෙස කල් තියා කසිප්පු පෙරා එකතු කළ බවයි.

******************************************

(10.04.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

මාළිගාවත්ත ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 80 ක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම වැටලීම සිදුකර ඇති අතර, ඔහු ළඟ තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ එකයි ග්‍රෑම් 200 ක්.

62 හැවිරිදි සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මාළිගාවත්ත පොලීසියට භාරදී තිබෙනවා ෴

******************************************

(10.04.2021 – 07:30 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන යළ කන්නයේ සිට පොහොර ලබා දීම සඳහා පස පරීක්ෂා කිරීමෙන් පසු ලබාදෙන වාර්තාව අනිවාර්ය බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලු‍ත්ගමගේ මහතා ප්‍රකාශ කළා ෴

******************************************

(10.04.2021 – 07:39 +0530 – hirunews.lk/sinhala)

රිදියගම ගොවිපොල 2017 හා 2018 වසරවලදී රුපියල් මිලියන 173 ක් පාඩු ලබන මට්ටමට පත්ව ඇති බව කෝප් කාරක සභාවේදී හෙළි වී තිබෙනවා.

2015 වසරේ ආනයනය කළ ගවයින් රඳවා සිටින මෙම ගොවිපොල සම්බන්ධයෙන් කාරක සභාවේදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ එහි මූල්‍ය කටයුතු අවිධිමත්වීම හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවටයි.

ඒ අනුව, ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කටයුතු නෛතික රාමුවක් තුල නිසි මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදුකිරීමට කෝප් කාරක සභාව එම මණ්ඩලයට උපදෙස් ලබාදී තිබෙනවා.

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය 2017 වසරේ සිට 2020 වසරේ වාර්තා පාර්ලිමේන්තුවේ සභාගත නොකිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමුව තිබුණා.

කලක් තිස්සේ තනතුරු 166 ක් පුරප්පාඩුව පැවතීම ගැටලුවක් බව පැවසූ කාරක සභාව එම තනතුරු කඩිනමින් පිරවීමට කටයුතු කරන ලෙසට දන්වා තිබෙනවා.

විධායක තනතුරු කිහිපයක් වසර කිහිපයක සිට පුරප්පාඩුව පැවතීම සම්බන්ධයෙන් ද කාරක සභාව සිය නොසතුට පළ කළා.

මේ අතර දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා කිරිදෙනුන් 12,000 ක් මෙරටට ගෙන ඒමට සැලසුම් කර ඇති බව පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

එහි ලේකම් එස් සේනානායයක හිරු ප්‍රවෘත්තී අංශයට ප්‍රකාශ කළේ දේශීය ආයෝජකයන්ට මහා පරිමාණ ගොවිපොල ස්ථාපිත කිරීම සදහා ඉඩම් හා යටිතල පහසුකම් ලබා දීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක බවයි.

මේවන විට මෙරට කිරි අවශ්‍යතාවයෙන් සියයට 50 ක් දේශීය නිෂ්පාදන මගින් ලබා ගන්නා අතර අනෙක් සියයට 50 ලබා ගන්නේ ආනයනය මගින්.

දේශීය කිරි නිෂ්පාදනය යටතේ දැනට වාර්ෂිකව නිෂ්පාදනය කරන කිරි ප්‍රමාණය ලීටර මිලියන 420 ක්.

එය වසර 2025 වන විට ලීටර මිලියන 750 දක්වා ඉහල නැංවීම පශු සම්පත්, ගොවිපොල ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ අරමුණ බවයි එහි ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

******************************************

(10.04.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මැතිවරණයේදී ආසනයකට එක් පක්ෂයකින් අපේක්ෂකයන් තිදෙනෙකු (3) ඉදිරිපත් කිරීමට සිදු කර ඇති යෝජනාවට අකමැත්ත පල කිරීමට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක්ම තීරණය කර තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ නිදහස් පක්ෂ මූලස්ථානයේ පෙරේදා පැවති සාකච්ඡාවේදී ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවූ බවයි.

අදාළ සාකච්ඡාවට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙන්ම අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර යන මහත්වරු ඇතුලු පිරිසක් එක්ව සිටියා.

එමෙන්ම අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගෙවිඳු කුමාරතුංග, ටිරාන් අලස්, ඒ.එල්.එම්. අතාවුල්ලා, වීරසුමන වීරසිංහ සහ හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර යන මහත්වරු ද ඊට එක්වුණා.

මේ අතර මහනුවරදී ඊයේ (09) මාධ්‍ය වෙත අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේ අප්‍රේල් 19 වනදා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවකදී ගැටලුව විසඳාගන්නා බවයි ෴

******************************************

(10.04.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

දංකොටුව ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගන්නා ලද සැක සහිත පොල්තෙල් බවුසර් දෙක (2) හිමි සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවීප්‍රිය මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ අදාල බවුසර් දංකොටුව ප්‍රදේශයට ගිය ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන බවයි.

මෙම පොල්තෙල් බවුසර දෙකෙහි (2) පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් අඩංගු බව තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදුකළ පරීක්ෂණයකදී පෙරේදා අනාවරණය වුණා.

දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක තිබී පසුගිය 28 වනදා මෙම පොල්තෙල් අඩංගු බවුසර් දෙක (2) සොයාගත් අතර ඒවායේ පොල්තෙල් ලීටර් 55,000 අඩංගු වුණා.

කෙසේ වෙතත්, රේගුව විසින් මීට පෙර ප්‍රකාශ කළේ පිළිකා කාරක පොල්තෙල් අඩංගු බහාලුම් වෙළඳපොලට නිකුත් වී නොමැති බවයි.

ඒවා ආනයනකරුවන්ගේ ගුදම්වල මුද්‍රා තබා තම අධීක්ෂණය යටතේ තිබෙන බව රේගුව ප්‍රකාශ කර තිබුණා.

එවන් පසුබිමකයි දංකොටුවේ තිබී සොයා ගත් පොල්තෙල් වල පිළිකා කාරක අඩංගු බවට මේ වනවිට අනාවරණ වී ඇත්තේ ෴

******************************************

(10.04.2021 – 09:33 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැප්ම පිවිසුම් දොරටුව අසල කොළඹ සිට මාතර දෙසට ඉන්ධන රැගෙන ගමන් කරමින් තිබු බවුසරයක් අද (10) අලුයම අනතුරට ලක්ව පෙරලීගොස් ගිනි ගෙන ඇති බව ඇල්පිටිය පොලීසිය පැවසුවා.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිනි නිවන රථ මගින් දැඩි පරිශ්‍රමයක් දරා ඇතිවූ ගින්න නිවා දමා තිබෙනවා.

ගිනි ගැනිමෙන් බවුසරයට දැඩි හානි සිදුව ඇති අතර රිය සහයකවරයා සුලු පිලිස්සුම් තුවාල ලබා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

******************************************

(10.04.2021 – 10:00 +0530 – hirunews.lk/sinhala)

අපනයන මගින් උපයා ගන්නා ලද මුදල් ශ්‍රී ලංකාවට ගෙන ඒමේදී ඉන් සියයට 25 ක් දේශීය විනිමයට හැරවීමේ නියෝගය ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සංශෝධනය කර තිබෙනවා.

අදාළ නියෝගය පසුගිය මාර්තු 9 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කළේ මෙරට විනිමය සංචිත ඉහළ නැංවීමේ අරමුණින්.

අදාළ අපනයන ආදායම්වලින් සියයට 10 ක් පමණක් දේශීය විනිමයට හැරවිය යුතු බවයි නව ගැසට් නිවේදනය මගින් දන්වා ඇත්තේ.

මහ බැංකු අධිපතිවරයා විසින් මුදල් නීති පනත යටතේ එම අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ (09) නිකුත් කරනු ලැබුවා.

අදාළ විනිමය පරිවර්තන අපනයන ආදායම මෙරටට ලැබී දින 30 ක් ඇතුළත සිදුකළ යුතු බවයි එහි දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නව පියවර ගෙන ඇත්තේ මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 4.1 දක්වා පහත වැටී තිබියදීයි ෴

******************************************

(10.04.2021 – 10:05 +0530 – hirunews.lk/sinhala)

බලංගොඩ – කල්තොට ප්‍රදේශයේ දියවිනි ඇල්ල නැරඹීමට ගොස් ඉන් ඇදවැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

කෑගල්ල – හෙට්ටිමුල්ල පදිංචි 30 හැවිරිදි මෙම පුද්ගලයා ඊයේ (09) මිතුරන් සමඟ මෙලෙස දියවිනි ඇල්ල නැරඹීමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහු දිය ඇල්ල ඡායාරූප ගත කරමින් සිටියදි අඩි 30 ක් පමණ පහළට ඇද වැටී දියේ ගිලී මියගොස් තිබෙනවා.

කෙසේ නමුත් ඊයේ (09) රාත්‍රියේදී ඔහුගේ සිරුර සොයා ගනු ලැබුවා ෴

******************************************

(10.04.2021 – 10:33 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන සඳුදා (12) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලවල කටයුතු එදින සාමාන්‍ය පරිදි සිදුකරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දෙනවා.

@@@@@@@@@@@@@@@@

(10.04.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

අලුත් අවුරුදු සමයේ සමාජ ක්‍රියාකාරකම්වලදී දැඩි ලෙස ආරක්ෂාකාරී වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ජනතාවට යළි දැනුම් දෙනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා කියා සිටියේ පසුගිය දින කිහිපයේදී වෙළදපොල කටයුතු හා පොදු ප්‍රවාහන සේවා භාවිතයේදී අසතුටුදායක තත්වයක් පැවති බවයි.

ඊයේ (09) දිනයේ තවත් ආසාදිතයන් 228 දෙනෙකු හඳුනාගත් බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 94,564 ක් දක්වා ඉහල යනවා.

මේ අතර ඊයේ (09) දිනයේ තවත් කොරෝනා මරණ 2 ක් වාර්තා වූ අතර මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යන්නෙ 595 ක් ලෙසයි ෴

+++++++++++++++++++

(10.04.2021 – 10:55 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් සමෘද්ධිලාභී සහ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් අලුත් අවුරුද්ද සඳහා රුපියල් පන්දහසේ (5000) දීමනාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමකට අනුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත මෙම දීමනාව ලබාදීමට කටයුතු කෙරෙනු ඇති බවයි.

අලුත් අවුරුද්දට පෙර මෙම දීමනාව ලබාදීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සම්පාදනය කිරීමට පියවර ගන්නා ලෙස සමෘද්ධි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *