LTTE පොලිසියට පණ දෙන්න හැදූ යාපනේ නගරාධිපති පොලිස් අත්අඩංගුවට

LTTE පොලිසියට පණ දෙන්න හැදූ යාපනේ නගරාධිපති පොලිස් අත්අඩංගුවට

*********************************************

LTTE පොලිසියට පණ දෙන්න හැදූ යාපනේ නගරාධිපති පොලිස් අත්අඩංගුවට

(09.04.2021 – 06:17 +0530 – hirunews.lk/sinhala)

යාපනය නගර ආරක්ෂක බලකාය නමින් නීතිවිරෝධී ආරක්ෂක ඒකකයක් පිහිටු වීමේ චෝදනා යටතේ යාපනය නගරාධිපති වන 37 හැවිරිදි ‘විශ්වලිංගම් මනිවන්නන්’ අද (09) අළුයම යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණේ පසුගිය දිනවල යාපනය නගරයේ විවිධ රාජකාරි වල යොදවා සිටි යාපනය නගර ආරක්ෂක බලකාය නැමැති ආරක්ෂක ඒකකය පිළිබඳව යාපනය නාගරික කොමසාරිස් සහ අනිකුත් පුද්ගලයින්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි.

මෙම නගර ආරක්ෂක බළකාය පිහිටුවා ඒ වෙනුවෙන් නිල ඇඳුමක් ද නිර්මාණය කර තිබූ අතර එම නිල ඇඳුම එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පවත්වාගෙන ගිය පොලිසියේ නිල ඇඳුමට බෙහෙවින්ම සමාන නිළ ඇඳුමක්.

එල්ටීටීඊ සංවිධානය මෙරට තහනම් සංවිධානයක් වන අතර එම සංවිධානය ප්‍රවර්ධනය වන හෝ එම සංවිධානයේ නිල ඇඳුම් ලාංඡන ආදිය ප්‍රදර්ශනය කිරීමත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තහනම් ක්‍රියාවක්.

මෙසේ අත්අඩංගුවට ගත් යාපනය නගරාධිපතිවරයා අද (09) දින ත්‍රස්ත ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

+++++++++++++++

******************************************

(08.04.2021 – 07:40 +0530 – hirunews.lk/sinhala)

ගාලුමුවදොර පිටියේ ලෙළදෙන අතිවිශාල සිංහ කොඩිය අද (09) දින මේ මොහොත (07:40) දක්වා ප්‍රදර්ශනය නොවන බව වාර්තා වනවා.

මෙම සිංහ කොඩිය වසරේ දින 365 පුරාම ප්‍රදර්ශනය වන අතර එය දිනපතා ඉහළට නැංවීමේ වගකීම පැවරී ඇත්තේ ආරක්ෂක හමුදාවන්ටයි.

[ සේයාරූ ]

++++++++++

(09.04.2021 – 08:28 +0530 – hirunews.lk/sinhala)

අද හිමිදිරියේ සුපුරුදුපරිදි ජාතික ධජය ගාලුමුවදොර කොඩි කණුවේ එසවූ බවත් නමුත් ඉන් ටිකවේලාවකට පසු ඇතිවූ වර්ෂාව හේතුවෙන් එය නැවත ගලවා ඉවත් කළ බවත් ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරවයා අප සමඟ පැවසුවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වර්ෂාව පවතින අවස්ථාවලදී ජාතික ධජය තෙත්වී කොඩි කණුවේ එතෙන බැවින් එවැනි අවස්ථාවලදී එලෙස ධජය ඉවත්කිරීමට පියවරගන්නා බවයි.

තෙත් වූ ධජය නැවත වියළීමෙන් අනතුරුව යළි එසවීම සාමාන්‍ය ක්‍රියාපිළිවෙත බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ගුවන් හමුදාව වැඩිදුරටත් ප්‍රකාශ කළේ මේ වනවිට යළි එම ජාතික ධජය ඔසවා ඇති බවයි ෴

******************************************

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාව අද සිට

(09.04.2021 – 07:12 +0530 – sinhala.adaderana.lk)

උත්සව සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් වු විශේෂ බස්රථ සේවාව අද (09) සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා සඳහන් කළේ, එම කාලය තුළ අමතර බස් රථ 400 ක් පමණ යෙදවීමට පියවර ගෙන ඇති බවය.

ඒ අනුව අද (09) සිට අප්‍රේල් මස 15 දක්වා එම බස් රථ ධාවනය කිරීමට නියමිත බව ද ඒ මහතා පැවසීය.

ගම්බිම්වලට ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා අවශ්‍ය බස් රථ කොළඹීන් පිටත් කිරීමට වැඩ පිළිවෙලක් සකස් කර අවසන් බවත්, ඒ සඳහා කොන්දොස්තර හා රියදුරු මහතුන්ගේ නිවාඩු පිළිබඳ තීන්දුව මේ වන විට අදාළ ඩිපෝවලට යොමුකර ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

“සාමාන්‍යයෙන් කොළඹින් පිටතට බස් රථ 800 ක් පමණ ගමන් කරනවා. අලුත් අවුරුදු සමය වෙනුවෙන් එය 1000 ක් දක්වා වැඩි කිරීමට අපි කටයුතු කරලා තියෙනවා. ඊට අමතරව අපි තවත් බස් රථ 200 ක් යෙදවීමට මේ වන විට සැලසුම් කරලා තියෙනවා.”

එමෙන්ම අමතර දුම්රිය 21 ක් සහ අමතර දුම්රිය ගමන්වාර 58 ක් ද අද (09) සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එම දුම්රිය කාල සටහන පහතින් දැක්වේ :

******************************************

(09.04.2021 – 07:58 +0530 – hirunews.lk/sinhala)

ඝාතන සිද්ධි රැසකට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයෙකු වන ‘ලොකුගේ ලසන්ත ප්‍රදීප්’ හෙවත් ‘තංගල්ලේ සුද්දා’ මීගමුව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය ඊයේ (08) එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

39 හැවිරිදි හොරණ ප්‍රදේශයේ පදිංචි සැකකරුට මාතර – මිරිස්ස ප්‍රදේශයේදී ‘අමිල ප්‍රසන්න හෙට්ටිහේවා’ හෙවත් ‘සන්ෂයින් සුද්දා’ ඝාතනයට තැත් කිරීම, 2006 – 2007 වසරවල මාතර ප්‍රදේශයේ පුද්ගලයින් කිහිපදෙනෙකු ඝාතනය කිරීම ඇතුලු චෝදනා රැසක් එල්ලවී තිබෙනවා.

එමෙන්ම ඔහුට නවාතැන් ලබාදීමේ චෝදනාව මත තවත් පුද්ගලයෙකු (1) ඊයේ (08) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ෴

******************************************

(09.04.2021 – 08:40 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේදී මියගිය පාතාල කල්ලි නායකයෙකු වූ ‘අංගොඩ ලොක්කා’ අපරාධවලට යොමුකළ සංවිධානාත්මක අපරාධකරුවකු වන 44 හැවිරිදි ‘සරත් කුමාර’ හෙවත් ‘චීටි’ මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය අද (09) අලුයම එම ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මොහු වැලිගම ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 112 ක් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ 9 වන සැකකරු ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(09.04.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (09) දින මහමග සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයින් දහතුන් දෙනෙකු (13) මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරනවා.

ඒ අතරෙන් මරණ හයක් (06) ඊයේ දින (08) සිදුවූ අනතුරුවලින් වාර්තා වන අතර ඉතිරි හත් දෙනා (07) මියගොස් ඇත්තේ ඊට පෙර සිදු වූ රිය අනතුරුවලින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබා ගනිමින් සිටියදීයි.

මෙසේ මිය ගිය පුද්ගලයින් අතරින් හය දෙනකු (06) පදිකයින් වීම විශේෂත්වයක්.

එමෙන්ම යතුරුපැදිවල ගමන් කල සිව් දෙනෙකුගේ (04) ජීවිත ද ඊයේ (08) සිදුවූ අනතුරු හේතුවෙන් අහිමි වුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ රිය අනතුරුවලදී පදිකයින් අනතුරට පත්වීම සහ මිය යෑමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බැවින් එළඹෙන උත්සව සමයේ දී මහමග ගමන් වඩාත් සුපරික්ෂාකාරීව සිදු කල යුතු බවටයි.

එමෙන්ම උත්සව සමයේ මහමග සිදුවන රිය අනතුරු අවම කරගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය දිවයිනම ආවරණය වන පරිදි විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවත් එය හෙට (10) සිට ක්‍රියාත්මක වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් සඳහන් කළා ෴

******************************************

පිලිකාකාරක පොල්තෙල් ගෙනා නැව් භාණ්ඩ මෙහෙයුම් පිළිබඳ පරීක්ෂණ

(09.04.2021 – 08:56 +0530 – hirunews.lk/sinhala)

දංකොටුව ප්‍රදේශයෙන් පසුගියදා සොයා ගන්නා ලද සැක සහිත පොල්තෙල් බවුසර් දෙක (2) සම්බන්ධයෙන් රේගු නිවාරණ අංශය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එහි අඩංගු පොල්තෙල්වල පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් අඩංගු බව තහවුරු වී ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත් ද සිල්වා මහතා ඊයේ (08) ප්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සිදුකළ පරීක්ෂණයට අනුවයි.

ඒ අනුව අදාළ පොල්තෙල් මෙරටට ආනයනය කළ නැව් භාණ්ඩ මෙහෙයුම් සම්බන්ධයෙන් මේ වනවිට රේගු නිවාරණ අංශය විමර්ශනය කරනවා.

අදාළ බවුසර් දෙකේ (2) පොල්තෙල් සඳහා ආහාර පාලකවරයාගේ සහ ප්‍රමිති ආයතනය අවසර ලබාදී ඇත්ද යන්න පිළිබඳවද එහිදී විමර්ශනය කරන බවයි රේගු ආරංචි මාර්ග සඳහන් කළේ.

ඊට අදාළව එම පොල්තෙල් ගෙන්වූ සමාගමෙන්ද මේ වනවිට ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බව සඳහන්.

දංකොටුව නගරයට ආසන්න තෙල් මෝලක තිබී පසුගිය 28 වනදා මෙම පොල්තෙල් අඩංගු බවුසර් දෙක (2) සොයාගත් අතර ඒවායේ පොල්තෙල් ලීටර් 55,000 අඩංගු වුණා.

කෙසේ වෙතත්, රේගුව විසින් මීට පෙර ප්‍රකාශ කළේ පිළිකා කාරක පොල්තෙල් අඩංගු බහාලුම් වෙළඳපොලට නිකුත් වී නොමැති බවයි.

ඒවා ආනයනකරුවන්ගේ ගුදම්වල මුද්‍රා තබා තම අධීක්ෂණය යටතේ තිබෙන බව රේගුව ප්‍රකාශ කර තිබුණා.

එවන් පසුබිමකයි දංකොටුවේ තිබී සොයා ගත් පොල්තෙල් වල පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වී ඇත්තේ.

ඒ අනුව මේ වනවිට අදාළ ගුදම්වල පවතින පොල්තෙල් තොග සම්බන්ධයෙන්ද රේගු නිවාරණ අංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පිළිකා කාරක අඩංගු පොල්තෙල් වෙළඳපොලට මුදා හැර ඇති බවට මුල් වරට හිරු ප්‍රවෘත්ති අංශය මගින් අනාවරණ කළේ සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින් කළ කරුණු දැක්වීම් පදනම් කර ගනිමින් ෴

******************************************

(09.04.2021 – 08:57 +0530 – hirunews.lk/sinhala)

2016 සහ 2019 ත් අතර කාලය තුළ විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ට මෙතෙක් හිමි නොවූ හිඟ විශ්‍රාම වැටුප් ලබාදීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසනවා.

ඒ අනුව එම කාලය තුළ විශ්‍රාම ගිය ලක්ෂයකට අධික රාජ්‍ය සේවකයින් පිරිසකට එම ප්‍රතිලාභය හිමිවන බවයි ඔහු කියා සිටියේ ෴

******************************************

(09.04.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala)

මෙරට විදේශ සංචිතය මාර්තු මාසය අවසන් වනවිට ඇමරිකානු ඩොලර් බිලියන 4.1 දක්වා පහත වැටී තිබෙනවා.

එය, ප්‍රමාණවත් වන්නේ මෙරට තුන් (3) මසක ආනයන සඳහා පමණයි. කෙසේ නමුත් විදේශ සංචිතය වර්ධනය කිරීම සඳහා පියවර රැසක් ගෙන ඇති බව මහ බැංකුව ප්‍රකාශ කළා.

2019 වසර අවසානයේ මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 7.6 ක් ලෙස පැවති අතර, 2020 වසර අවසානයේ එය, ඩොලර් බිලියන 5.7 දක්වා පහත වැටුණා ෴

******************************************

(09.04.2021 – 09:37 +0530 – hirunews.lk/sinhala)

නිවසේ සිටි සුනඛයෙකු උසි ගන්වා සපා කෑමට සළස්වා රාජකාරි කටයුත්තක් සඳහා ගිය පොලිස් නිලධාරියෙකුට තුවාල සිදුකිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔහු මිනුවන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඊයේ (08) ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

සැකකරු මිනුවන්ගොඩ නිල්පනාගොඩ ප්‍රදේශයේ පදිංචි අයෙක්.

මිනුවන්ගොඩ පොලීසිය වෙත ලැබී තිබූ පැමිණිල්ලකට අදාලව සැකකරු පොලීසිය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත නිලධාරීන් දෙදෙනෙකු (2) ඔහුගේ නිවසට ගොස් තිබුණා.

පොලිස් නිලධාරීන් දෙදෙනා (2) දුටු සැකකරු නිවස තුළට ගොස් එහි සිටි සුනඛයා පිටතට කැඳවා පොලිස් නිලධාරීන් පෙන්වා උසි ගන්වා ඇති බවයි අධිකරණයේදී සඳහන් වුණේ.

එහිදී එක් පොලිස් කොස්තාපල්වරයෙකුගේ කකුලක් සුනඛයා විසින් සපා කා ඇති අතර තුවාල ලැබූ කොස්තාපල්වරයා ගම්පහ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා ෴

******************************************

(09.04.2021 – 09:58 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳින රන්ජන් රාමනායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයේ අජිත් මාන්නපෙරුම අද (09) දිවුරුම් දුන්නා.

පාර්ලිමේන්තුවේ කටයුතු පෙරවරුවේ ආරම්භ වීමත් සමඟ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඔහු දිවුරුම් දුන් අතර, ඊයේ (08) ඔහුගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණා.

සමගි ජන බලවේගයෙන් පසුගිය මහ මැතිවරණයට තරඟ කර ගම්පහ දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ 05 වන ස්ථානයට පැමිණි අජිත් මාන්නප්පෙරුම ලබාගෙන තිබූ මනාප සංඛ්‍යාව 47,212 ක් ෴

******************************************

(09.04.2021 – 10:44 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නවතම ලෝක ආර්ථික වර්ධන පුරෝකථනය අනුව මේ වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 4 කට සීමා කර තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝම්බරයේ මූල්‍ය අරමුදල නිකුත් කළ පුරෝකථනයේ සඳහන් කර තිබුණේ ශ්‍රී ලංකාව මේ වසරේදී සියයට 5.3 ක වර්ධනයක් ලබනු ඇති බවයි.

ආසියානු සංවර්ධන බැංකුව මගින්ද මෙලෙස ශ්‍රී ලංකාවේ මේ වසරේ ආර්ථික වර්ධනය සියයට 4.1 ක් ලෙස පහත හෙළනු ලැබුවා.

කෙසේ නමුත් ආර්ථික වර්ධනය පිළිබඳව සුබවාදී ආකල්පයක් දරණ මහ බැංකුව ප්‍රකාශ කළේ මේ වසරේ මෙරට ආර්ථික වර්ධනය සියයට 6 ක් පමණ වනු ඇති බවයි.

කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මෙරටින් වාර්තාවූයේ සියයට 3.6 ක ඍණ ආර්ථීක වර්ධනයක් ෴

******************************************

‘ඇලවුන කුලුණෙන්’ රුපියල් කෝටි 1,200 ක් ඇදලා

(09.04.2021 – 06:02 +0530 – lankaleadnews.com)

කොළඹ ‘ඇලවුන කුලුණ’ නමින් ප්‍රචලිත ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ කොටස් විකුණා රුපියල් කෝටි 1200 කට ආසන්න වංචාවක් සිදුකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවේ, කල්කටාහි පිහිටි පෞද්ගලික සමාගමක් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාපාර අපරාධ විමර්ශන අංශය විසින් පුළුල් පරීක්ෂණයක් පවත්වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.

අදාළ ඉන්දියානු සමාගමේ පාලිත සමාගමක් මෙරට පිහිටා තිබෙන බවත්, එම සමාගමේ හිමිකාරීත්වය සහ පාලනය දරන පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරුන් දෙදෙනකු (2) මැදිහත්වී මෙම වංචාව සිදුකර තිබෙන බවත් පැමිණිලිකාර ඉන්දියානු සමාගමේ උප සභාපති මනමෝහන් බස්ලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබේ ෴

@@@@@@@@@@@@@@

(09.04.2021 – 10:51 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනිකා කොරෝනා වෛරස් එන්නතෙන් සිදුවන අතුරු විපාක පිළිබඳව ඉන්දීය විශේෂඥයන් පිරිසක් විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

විශේෂයෙන් ඉන්දියාව තුළ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් පුද්ගලයන්ට රුධිර කැටිති ඇතිවීමේ සිද්ධීන් පවතින්නේද යන්නයි එහිදී අවධානයට යොමුවන්නේ.

එමෙන්ම එන්නතෙහි සුළු හෝ අතුරු විපාක පවතින්නේද යන්න එහිදී විමර්ශනය කෙරෙන බව විදෙස් වාර්තා සඳහන් කළා.

ඉන්දියාව විසින් මේ වනවිට පූනේ හි සීරම් ආයතනය නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙන්ම දේශීය වශයෙන් සංවර්ධනය කළ ‘භාරත් බයෝටෙක්’ කොරෝනා එන්නතත් එරට ජනතාවට ලබාදෙනවා.

යුරෝපයේ රටවල් රැසක්ම මේ වනවිට ඇස්ට්‍රාසෙනිකා එන්නත වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයන්ට ලබාදීම සීමා කර ඇත්තේ ඇතැම්විට මාරාන්තික රුධිර කැටිති ඇතිවීමේ සිද්ධීන් වාර්තාවීම හේතුවෙන් ෴

******************************************

ඇමති විමල් වීරවංශගේ විශේෂ ව්‍යාපෘති 05 කට චීන රජයේ සහයෝගය

(09.04.2021 – 18:52 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘති 05 ක් ක්‍රියාවට නැංවීමට චීන රජයේ සහයෝගය!

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය භෞතික පරිසරය සැකසීම සඳහා හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05 ක් ක්‍රියාත්මක කිරීමට චීන රජයේ ද සහයෝගය ලබා ගනිමින් ඉදිරි පියවර ගැනීමට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (07) දින කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කොන්සියුලර් ලී ගුආන්ග්ජුන් (Li Guangjun), තෙවන ලේකම් ඩෝන්ග් ෂිආකුන් (Dong Xiakun) හා ෂූ මින් (Zhu Min) යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

මෙම ව්‍යාපෘති අතර ශ්‍රී ලංකාවට උචිත කර්මාන්තවල මූලාකෘති නිර්මාණය කරගැනීමට අවශ්‍ය කරන ජාතික කාර්මික උද්‍යානයක් (National Industrial Park) පිහිටුවීම ද වන අතර එය රත්මලාන ප්‍රදේශයේ අක්කර 16 ක භූමි භාගයක ඉදි කිරීමට නියමිතය. ‘එක් ගමකට එක් කර්මාන්තයක්’ (Industry for a Village) ව්‍යාපෘතිය මගින් ග්‍රාමීය ප්‍රජාව ව්‍යවසායකයන් බවට සවිබල ගැන්වීමට අපේක්ෂිතය.

එසේම කෘෂි ආහාර සහ මත්ස්‍ය ආහාර සැකසීමේ කලාපයක් (Agro Food and Fish Processing Zone) පිහිටුවීම මෙන්ම ශ්‍රී ලංකාව තුළ 4 වන කාර්මික විප්ලවයේ ප්‍රධාන මෙවලම වන සෙමිකන්ඩක්ටර්ස් නිෂ්පාදනය සදහා චීන ආයෝජකයන් කැදවීම (Establishment of Semiconductor Manufacturing Industries in Sri Lanka) යන ව්‍යාපෘති ඒ අතර වේ. තවද චීන – ශ්‍රී ලංකා උසස් කාර්මික පුහුණු ආයතනයක් (China – Sri Lanka Advanced Industrial Training Institute) පිහිටුවීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.

චීනයේ දුගී බව තුරන් කිරීම සඳහා වූ වැඩසටහන්වල අත්දැකීම් ශ්‍රී ලංකාවේ දුගී බව තුරන් කිරීම සඳහා යොදාගත හැකි අන්දම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා කෙරුණු අතර කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේ ඉහත ව්‍යාපෘති ග්‍රාමීය ප්‍රජාව වෙත රැගෙන යාමේදී එම අත්දැකීම් බෙහෙවින් වැදගත් වන බවය.

1956 සිට ඇරඹි චීන – ශ්‍රී ලංකා දිගුකාලීන මිත්‍රත්වයට මේ වන විට වසර 63 ක් සම්පූර්ණ වී ඇති බවත් එමගින් ලැබෙමින් පවතින ප්‍රතිලාභ මෙසේ ශ්‍රී ලංකාවේ ජාතික කාර්මිකරණය වේගවත් කිරීමට යොදා යොදාගැනීමට හැකිවීම පිළිබඳව තමන් සතුටට පත්වන බවත් ඒ සම්බන්ධයෙන් චීන රජයට සිය ප්‍රණාමය පුද කරන බවත් විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක, ජාතික ව්‍යවසාය සංවර්ධන මණ්ඩලයේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය
2021.04.08

******************************************

පොලිස් ජීප් රියට එල්ල කළ ගල් ප්‍රහාරයේ මහමොළකරු සොයාගන්න – ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි පොලිස් කොමිසමෙන් ඉල්ලයි

(09.04.2021 – 22:19 +0530 – lankaleadnews.com)

මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේ හා ආබාධිත රණවිරුවන්ගේ දීමනා පිළිබඳව ඇති ගැටළුවලට විසඳුම් ඉල්ලා ඊයේ (08) දින කොළඹ පැවති විරෝධතාවයකදී නාඳුනන පුද්ගලයෙකු විසින් පොලිස් ජීප් රථයකට එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතු කරගෙන අත්අඩංගුවට ගත් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ මැදිහත්වීමෙන් ඇප මත මුදාහැර තිබුණි.

කෙසේ වෙතත් අද (09) දින ජාතික පොලිස් කොමිසම වෙත පැමිණි පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි ඇතුළු පිරිස ඉල්ලා සිටියේ ඒ සිද්ධිදාමය තුළ සිටි සියලු පොලිස් නිළධාරීන් සහ අත්අඩංගුවට ගත් පුද්ගලයා පිළිබඳව පූර්ණ ස්වාධීන පරීක්ෂණයක් සිදුකර එම සැලැස්මේ මහමොළකරු හෙළිදරව් කරගෙන නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

******************************************

******************************************

අමතකව ගිය ‘නිව් ඩයමන්ඩ් ගින්න’ යළි පත්තුවේ?

(09.04.2021 – 14:15 +0530 – lankaleadnews.com)

කුවේට් සිට ඉන්දියාවේ පැරඩිප් (Paradip) තෙල් පිරිපහදුව වෙත බොරතෙල් ටොන් 270,000 ක් ප්‍රවාහනය කරමින් සිටියදී 2020 සැප්තැම්බර් මස 03 වන දින ශ්‍රී ලංකා මුහුදේදී ගිනිගැනීමට ලක්වීමෙන් ඇතිවූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නෞකාවේ තෙල් කාන්දුවෙන් සිදුවූ සමුද්‍ර හානියට රුපියල් බිලියන 3.423 ක වන්දි ගෙවන ලෙස නෞකා සමාගමේ නීතිඥයින්ට නීතිපතිවරයා විසින් දන්වා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනි ලහඳපුර මහත්මිය සඳහන් කළේ, හානි පූර්ණය සිදු නොකළ හොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයා සමග සාකච්ඡා කරන බවයි.

******************************************

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ඩෙඟා නැටූ සිද්දීකා, ආශු මාරසිංහගේ දේශපාලන හිතවතියක්!

(10.04.2021 – 06:51 +0530 – lankaleadnews.com)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අචාර්ය සිද්දීකා ජී සේනාරත්න එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහගේ යෝජනාවකට අනුව එම ආයාතනයට පත් කර එවා ඇති තැනැත්තියක් බව එම ආයාතනයේ සේවක පිරිසක් ‘ලංකා ලීඩ්’ වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටියහ. ඒ අනුව වත්මන් ආණ්ඩුව මෙතරම් කාලයක් කර මත තබා ගෙන ගොස් ඇත්තේ එජාප ප්‍රභල හිතවතියක් බව තහවුරු වන බව නම සඳහන් කිරීමට අකමැති වූ ප්‍රභල ආණ්ඩු හිතවාදී ක්‍රියාකරිකයෙකු අප වෙත පවසා සිටියේය ෴

******************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *