පාම් තෙල් ගැසට්ටුවෙන් ආයෝජකයෝ අමාරුවේ

පාම් තෙල් ගැසට්ටුවෙන් ආයෝජකයෝ අමාරුවේ

*********************************************

පාම් තෙල් ගැසට්ටුවෙන් ආයෝජකයෝ අමාරුවේ

(07.04.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

පාම් තෙල් පිළිබඳ රජයේ ස්ථාවරය කෘෂිකාර්මික අංශයට කෙරෙන ආයෝජන වලක්වන බරපතල ප්‍රතිවිපාක ගෙන දෙන්නක් වනු ඇතයි ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවනවා.

මේ වන විට මෙරට විවිධ වතු සමාගම් විසින් දිවයිනේ හෙක්ටයාර් 11,000 ක පමණ භූමි ප්‍රමාණයක පාම් තෙල් ලබාගැනීම සඳහා කටුපොල් වගා කර ඇති අතර එය ආසන්න වශයෙන් රුපියල් බිලියන 26 ක පමණ ආයෝජනයක්.

රට තුල පාම් තෙල් සහ කටුපොල් වගාව තහනම් කිරීම හේතුවෙන් මෙම ආයෝජකයින් මේ වන විට බරපතල අර්බුදයකට ලක්ව සිටිනවා.

මොවුන් රජයේ ස්ථාවරය පිළබඳ වැඩිමනත් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින්නේ සිය වගාවන් මුළුමනින් උදුරා දැමීම හේතුවෙන් තමන්ට සිදුවන පාඩුව වෙනුවෙන් රජය යම්කිසි හානි පූර්ණයක් සිදු කරන්නේද යන්න පැහැදිලි කර ගැනීම සඳහායි.

එමෙන්ම ඔවුන් රජයෙන් සිය වගාවන් ගලවා ඉවත් කලයුතු ආකාරය පිළිබඳ පූර්ණ පැහැදිලි මාර්ග සැලැස්මක් ද ඉල්ලා සිටිනවා.

මේ අතර රජය පාම් තෙල් සම්බන්ධයෙන් තවත් පියවරක් ඉදිරියට යමින් පාම් තෙල් ආනයනයට පහසුකම් නොදෙන ලෙස බැංකු වලට උපදෙස් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම රජය විසින් මේ වන විටත් ශ්‍රී ලංකා රේගුව වෙත උපදෙස් නිකුත් කර ඇත්තේ කිසිදු ආකාරයක පාම් තෙල් ආනයන කටයුත්ත සඳහා අවසර නොදෙන ලෙසයි.

මෙලෙස පාම් තෙල් ආනයනය කිරීමේ ක්‍රියාවලියට වහාම ක්‍රියාත්මක වන ලෙස පහසුකම් නොදෙන ලෙස සියලුම වාණිජ බැංකු සහ ශ්‍රී ලංකා රේගුවට නියෝගයක් නිකුත් කර ඇත්තේ ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් ෴

******************************************

(07.04.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වසර 04 ක සිරදඬුවම් නියම වී සිටින රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය හිස්ව පවතින බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාට දැනුම් දී ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව එම පුරප්පාඩුව සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පත් කිරීමට නියමිතයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රන්ජන් රාමනායකට වසර 4 ක සිරදඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරනු ලැබුවේ පසුගිය ජනවාරි 12 වනදායි.

ඒ අනුව ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි වන බව නීතිපතිවරයා, පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දී තිබුණා.

පසුව රන්ජන් රාමනායක සිය දඬුවම යලි සලකා බලන ලෙස ඉල්ලමින් නීතිඥයින් මාර්ගයෙන් මෝසමක් ඉදිරිපත් කළද ශ්‍රේෂ්ඨාධිකරණය එය ද ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

මේ අතර සිර දඬුවම් නියම වූ තමන්ගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීම වැලැක්වීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රන්ජන් රාමනායක අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කළා.

එහි තීන්දුව පෙරේදා ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණය තීරණය කළේ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමටයි.

2020 වසරේ පැවැති මහ මැතිවරණයේදී සමඟි ජන බලවේගයට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ආසන 04 ක් හිමි වුණා.

රන්ජන් රාමනායක ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියේ මනාප ලැයිස්තුවේ දෙවනුවට මනාප ලබාගෙනයි.

කෙසේ වෙතත් රන්ජන් රාමනායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා ගම්පහ දිස්ත්‍රික් සමඟි ජන බලවේග ලයිස්තුවේ 05 වන ස්ථානයට වැඩිම මනාප ලබාගෙන සිටින අජිත් මාන්නප්පෙරුම පත්වීමට නියමිතයි. එහිදී ඔහු මනාප ජන්ද 47,212ක් ලබා ගත්තා ෴

******************************************

(07.04.2021 – 10:52 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් දින දෙකක් (2) පුරා කළ මෙහෙයුමකින් රුපියල් කෝටි 10 ක් වටිනා ගංජා හේන් 10 ක්, පැල තවාන් 02 ක් හා එක් (1) සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තණමල්විලල, හම්බෙගමුව සහ කොස්ලන්ද ප්‍රදේශවල මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර ඒ සඳහා සූරියවැව, උඩවලව, කහවත්ත, අම්බලන්තොට හා කතරගම විශේෂ කාර්ය බළකා කඳවුරුවල නිළධාරීන් 60 දෙනෙකු සහභාගී වූ බවයි අප වාර්තාකරු කියාසිටියේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ ඩ්‍රෝන කැමරා ඒකකයේ නිළධාරීන් පිරිසක් ද මෙම වැටලීම්වලට එක්වුණා.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ගංජා හේන්වලින් ලබාගත් සාම්පල අධිකරණයට ඉදිරිපත් කිරිම සදහා තණමල්විල සහ කොස්ලන්ද යන පොලිස් ස්ථානවලට භාරදී තිබෙනවා ෴

******************************************

(07.04.2021 – 11:42 +0530 – hirunews.lk/sinhala)

බේකරි සහ බිස්කට් කර්මාන්තශාලා සඳහා අවශ්‍ය පාම් ඔයිල් ආනයනය කිරීමට ඔවුන්ට විශේෂ බලපත්‍රයක් ලබාදීමට කටයුතු කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දුන්නේ ෆාම් ඔයිල් ආනයනය සහ කටුපොල් වගාව තාවකාලිකව තහනම් කරන ලෙසයි.

කෙසේ වෙතත්, තම නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් ෆාම් ඔයිල් භාවිත කරන බැවින් මෙම තීරණය මගින් තමන් දැඩි අපහසුතාවයට පත්වන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (06) මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා.

එහෙත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ බේකරි සහ බිස්කට් කර්මාන්තශාලා සඳහා අවශ්‍ය පාම් ඔයිල් ආනයනයට බලපත්‍රයක් ලබාදෙන බවයි.

මේ අතර, බේරුවල සහ දර්ගා නගරයේ ආපනශාලා 50 කට වැඩි ප්‍රමාණයක් ඊයේ (06) දින පරීක්ෂාවකට ලක්කොට ආහාර පිසීම සඳහා යොදා ගන්නා පොල්තෙල් සාම්පල් 5 ක් පමණ රජයේ රස පරීක්ෂක වෙත යොමුකර තිබෙනවා ෴

******************************************

වස පොල්තෙල් Made in Srilanka කරන ජාවාරම – පොල්තෙල් නැව පන්න ගත්ත මෙහෙයුම -Truth with Chamuditha (06.04.2021)

******************************************

(07.04.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි පළාත් සභා මැතිවරණයට තරඟ කිරීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අසාධාරණයක් නොවන තීරණයක් ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළා.

මේ අතර පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා කියා සිටියේ වර්තමානයේ පක්ෂ දෙකකට බෙදී සිටිය ද සියළු දෙනාගේ ආරම්භය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නව ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන යෝජනා ඇතුළත් කෙටුම්පත ඊයේ (06) පස්වරුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අති පූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන් වෙත පිළිගන්වනු ලැබුවා.

ඊට පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ උප සභාපතිවරයෙකු වන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එක්ව සිටියා ෴

******************************************

(07.04.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

චීනයේ පරිත්‍යාගයක් ලෙස ශ්‍රී ලංකාවට ලබාදුන් සිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් වෙත ලබාදී අවසන් කර තිබෙනවා.

ඒ අනුව පෙරේදා (05) සහ ඊයේ (06) ශ්‍රී ලංකාවේ සේවය කරන හෝ පදිංචිව සිටින චීන ජාතිකයන් 2456 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ, හම්බන්තොට, මහනුවර සහ පුත්තලම යන ප්‍රදේශවල සිටින චීන ජාතිකයන් වෙත මෙසේ එන්නත් ලබා දී ඇති අතර එහිදී කිසිදු චීන ජාතිකයෙකුට අහිතකර බලපෑමක් ඇති බවට වාර්තා වී නොමැති බවයි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.

එන්නතේ දෙවන (2) මාත්‍රාව තවත් සති තුනකින් (3) ලබාදීමට නියමිතයි.

මේ අතර ඊයේ (06) හඳුනා ගත් නව කොරෝනා අසාදිතයින් 177 දෙනා අතරින් වැඩිම පිරිස වන 31 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 29 දෙනෙකු වාර්තා වන බවයි කොවිඩ්-19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත ම්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව වසා දමා ඇති සියලුම විද්‍යා පිඨ යළි විවෘත කරන ලෙසට ලංකා ගුරු සේවා සංගමය ඉල්ලිමක් කරනවා.

මේ අතර, ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය අද (07) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිට විරෝධතා පාගමනක් ආරම්භ කළා.

මේ හේතුවෙන් පුරහල අවට රථවාහන තදබදයක් පැවති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

******************************************

(07.04.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

ෆේස්බුක් පරිශීලකයින් මිලියන 530 කගේ දත්ත සොරා ගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා.

2019 සැප්තැම්බර් මාසයට පෙර කාලය තුලදී මෙම දත්ත සොරා ගැනීම සිදුව ඇති බවට ෆේස්බුක් ආයතනය නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ.

ෆේස්බුක් ෆ්‍රොෆයිල් නාම, ඊමේල් ලිපින, ෆේස්බුක් හැඳුනුම් අංක, දුරකථන අංක වැනි තොරතුරු මෙහිදී සොරකම් කර ඇතැයි සඳහන්.

කෙසේවෙතත් ෆේස්බුක් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ 2019 වසරේදී මෙම දත්ත සොරකම සිදුවූ අතර එම වසරේ අගෝස්තු මාසයේදී එය හඳුනාගත් බවයි.

කෙසේවෙතත් එම නිකුත්වූ දත්ත නැවත ලබාගැනීමට හැකියාවක් නොමැති බව ද ඔවුන් ප්‍රකාශකර තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ ෆේස්බුක් ගිණුම් මිලියන 30 කට වඩා වැඩි ප්‍රමාණයකට මෙමගින් බලපෑම් එල්ලවී ඇතැයි සඳහන් ෴

******************************************

(07.04.2021 – 14:01 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය පකිස්ථාන සහ චැඩ් රාජ්‍යයේ පාපන්දු සංගම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබෙනවා ෴

******************************************

කිරිබත්ගොඩ වෙළෙඳ සංගමයේ ලේකම් ට සිදුකළ පහරදීමේ CCTV දර්ශන

(07.04.2021 – 13:41 +0530 – sinhala.adaderana.lk)

පසුගිය දිනක කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංගමයේ ලේකම්වරයාට යම් පිරිසක් විසින් පහරදෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් පොලීසිය විසින් මාධ්‍යට නිකුත් කර තිබේ.

එම පහර දීම සම්බන්ධයෙන් කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනකුට (2) චෝදනා එල්ල වී ඇත.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංගමය සඳහන් කර සිටියේ, ලේකම්වරයාට පහරදීමේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් සාධාරණයක් ඉටුනොවූ බවය.

පසුගිය මාර්තු මස 8 වන දින රාත්‍රියේ කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ අවන්හලකට රාත්‍රී ආහාර ගැනීමට ගොස් සිටි කිරිබත්ගොඩ පොදු වෙළෙඳ සංගමයේ ලේකම්වරයාට යම් පිරිසක් විසින් අතින්, පයින් හා පොලුවලින් පහර දෙන අයුරු CCTV දර්ශනවල දැක්වේ.

එහිදී බරපතළ තුවාල ලැබු ලේකම්වරයා පසුව රෝහල්ගත කර ඇත.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන මේ වන විට ඇප මත මුදා හැර තිබේ.

වසා තිබු කිරිබත්ගොඩ රථගාල පොදු වෙළෙඳ සංගමය විසින් විවෘත කිරීම හේතුවෙන් අදාළ ගැටුම ඇතිව තිබෙන බව කිරිබත්ගොඩ පොලීසිය සඳහන් කරයි.

******************************************

රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලයක් කොළඹ වරාය තුළ ස්ථාපනය කෙරේ

(07.04.2021 – 11:54 +0530 – sinhala.adaderana.lk)

වරාය ආරක්ෂක අංශය ප්‍රතිසංවිධානය කළ බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක මහතා පවසයි.

“කිසිදු දිනක වරායේ නාකොටික් කාර්යාලයක් පිහිටුවා තිබුණේ නැහැ. මේ වනවිට නාකොටික් කාර්යාලයක් වරාය තුළ පිහිටුවා තිබෙන අතර එය ක්‍රියාත්මක වී මේ වන විට ඉතා සාර්ථක මෙහෙයුම් ගණනාවක් සිදු කර තිබෙනවා ඒ වගේම රේගු ආශ්‍රිතව සිදුවන කටයුතු නිරීක්ෂණය කිරීමටත් වරාය තුළ සිදුවන කටයුතු නිරීක්ෂණය කිරීමටත් රාජ්‍ය බුද්ධි අංශ කාර්යාලයක් ද ඉතිහාසයේ ප්‍රථම වතාවට වරාය තුළ ස්ථාපිත කළ තිබෙනවා ඒ මගින් විශාල ලෙස සිදුවන අක්‍රමිකතා වංචා සහ හොරකම් නවත්වා දැමීමට හැකි වෙලා තිබෙනවා”.

එසේම කොරෝනා වසංගතය හමුවේ වුවද 2021 පළමු කාර්තුවේදී සාර්ථක ආදායමක් ලබාගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සමත් වූ බව ඔහු පැවසීය.

******************************************

පාස්කු අවසන් වාර්තාවේ නිර්දේශ රැසකට අමාත්‍ය අනු කමිටුවේ අනුමැතිය – බොදු බල සේනා තහනමට කමිටුව එරෙහි වෙයි

(06.04.2021 – 19:27 +0530 – sinhala.adaderana.lk)

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනයට පත් කළ අමාත්‍ය අනුකමිටුව ඊයේ (05) භාරදුන් වාර්තාවේ නිර්දේශ 78 ක් සඳහන් කරමින් ඒවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ කරුණු පැහැදිලි කර තිබේ.

බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට කොමිෂන් වාර්තාව නිර්දේශ කර තිබුණද අමාත්‍ය අනුකමිටු වාර්තාවේ නිර්දේශ කර ඇත්තේ එසේ නොකරන ලෙසය.

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට‍ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය පෙබරවාරි මස 19 වනදා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කළේය.

එහි සභාපති ලෙස අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කටයුතු කළ අතර සෙසු සාමාජිකයන් වූයේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, උදය ගම්මන්පිල, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග සහ රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරුන්ය.

කමිටුවේ ලේකම් ධුරයට පත්කර ඇත්තේ ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතාවය.

ඒ අනුව කමිටුව නිර්දේශ 78 ක් හඳුනාගෙන තිබූ අතර එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න වාර්තාවට ඇතුළත් කර තිබේ.

එම නිර්දේශ ඇතුළත් වාර්තාව ඊයේ (05) පස්වරුවේ කමිටුව විසින් ජනාධිපතිවරයාට ලබාදුන්නේය.

• ඒ අනුව මියගිය එක් අයෙකු සඳහා රුපියල් මිලියන 02 ක් සහ තුවාල වූවන්ගේ සැබෑ වියදම් සළකා රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදලක් රජය විසින් ප්‍රදානය කිරීමට පාස්කු කොමිසම මඟින් නිර්දේශ කර තිබූ අතර එය අමාත්‍ය අනු කමිටුව මඟින් අනුමත කර තිබේ.

• එමෙන්ම මාවනැල්ල සිද්ධිය සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ වැදගත් කාර්යභාරයක් ඉටුකළ මොහොමඩ් රාසික් මොහොමඩ් තස්ලින් යන අයට වැඩිදුර ප්‍රතිකාර සඳහා ජීවිතාන්තය දක්වා මූල්‍ය ආධාර සැපයීම මෙන්ම ආරක්ෂාව සැපයීමට ද පාස්කු කොමිසම මඟින් නිර්දේශ කර තිබුණි. එයද අමාත්‍ය අනු කමිටුව විසින් අනුමත කර තිබේ.

• ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මඟින් මුස්ලිම් නීතිය සම්පූර්ණයෙන් අහෝසිකරන තෙක් වයස අවුරුදු 18 ට අඩු විවාහ තහනම් වන පරිදි පාර්ශ්ව දෙකටම විවාහයේ නෛතික අයිතිය ලැබෙන පරිදි හා දික්කසාදය සාමාන්‍ය නීතිය යටතේ සිදුකළ හැකි වන පරිදි මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීමට නිර්දේශ කර තිබෙන අතර එයද අමාත්‍ය අනු කමිටුව මඟින් අනුමැතිය ලබා දී තිබේ.

• ශ්‍රී ලංකාවේ වහබ්වාදය තහනම් කළ යුතු බවට පාස්කු කොමිසම විසින් නිර්දේශ අනුමත කරන අමාත්‍ය අනු කමිටුව මඟින් නිර්දේශ කර ඇත්තේ සියලුම තවුහිද් සංවිධාන තහනම් කිරීමට සළකා බැලිය යුතුය බවය.

• ශ්‍රී ලංකාවේ පීස් ටීවී තහනම් කිරීමට පාස්කු කොමිසම මඟින් නිදේශ කර තිබූ අතර එය අමාත්‍ය අනු කමිටුව මඟින් තහවුරු කර ඇති බව වාර්තා වේ.

• මේ අතර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් එක් තනතුරකට වඩා නොදැරිය යුතුය ලෙසට පාස්කු කොමිසම කළ නිර්දේශය ද අමාත්‍ය අනු කමිටුව මඟින් අනුමත කර තිබේ.

• ශ්‍රී ලංකා ජමාතේ – ඊ – ඉස්ලාම් සංවිධානය සහ ජවාඅත් – ඊ – ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරය තහනම් කිරීමට පාස්කු කොමිසම මඟින් කර තිබූ නිර්දේශය ද අමාත්‍ය අනු කමිටුව අනුමත කළේය.

• කෙසේ වෙතත් බොදු බල සේනා සංවිධානය තහනම් කිරීමට පාස්කු කොමිසම නිර්දේශ කළ ද අමාත්‍ය අනු කමිටුව එම සංවිධානය තහනම් නොකිරීමට නිර්දේශ කර තිබීම විශේෂත්වයකි.

• මේ අතර පාස්කු කොමිසම විසින් ආගමික හේතු සහ විශ්වාසයන් මත පදනම්ව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම තහනම් කිරීමට පාස්කු කොමිසම නිර්දේශ කර තිබුණි. අමාත්‍ය අනු කමිටුව එම කරුණට නිර්දේශ කර ඇත්තේ ශ්‍රී ලංකා සමාජය ජාතිය හා ආගම පදනම් කරගෙන බෙදී ඇති බැවින් එය වෙනස් කළ යුත්තේ ආකල්පමය වෙනසකින් මිස නීති සම්පාදනයෙන් නොවන ලෙසය.

• ජනාධිපතිවරයා විදෙස්ගතව සිටින විට සහ අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයා නොවන අවස්ථාවක දී සියලු ජාතික ආරක්ෂක තොරතුරු අග්‍රාමාත්‍යවරයාට දැනුම් දීම අනිවාර්ය කිරීමට පාස්කු කොමිසම කළ නිර්දේශය අමාත්‍ය අනු කමිටුව අනුමත කර තිබේ.

• අමාත්‍ය අනු කමිටුව මගින් නිර්දේශ කර ඇත්තේ පොලිස්පති ඉවත් කිරීම ජනාධිපතිවරයාට ලබාදිය යුතුය යන්නය.

• මද්‍රසා අධ්‍යාපනය උපරිම සංඛ්‍යාව 50 කට සීමා කිරීම සහ අතිරික්ත සිසුන් 2023 වන විට පොදු අධ්‍යාපන ක්‍රමයට අන්තර්ග්‍රහණය කිරීමට අමාත්‍ය අනු කමිටුව තීරණය කර ඇත.

• මේ අතර ආරක්ෂක අමාත්‍යංශය සෑම විටම ජනාධිපතිවරයා යටතේ තබන ලෙසට පාස්කු කොමිසම මඟින් නිර්දේශ කර තිබූ අතර එම නිර්දේශය අමාත්‍ය අනු කමිටුව අනුමත කර තිබේ.

• අබ්දුල් රාසික්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කළ හැකි ද යන්න කඩිනමින් සළකා බැලීමට පාස්කු කොමිසම කළ නිර්දේශය අමාත්‍ය අනු කමිටුව අනුමත කළේය.

• මුස්ලිම් ආගමික සිද්ධස්ථානයක් ඉදි කර මාස 06 ක් තුළ ලියාපදිංචි කිරීමට අවස්ථාව ලබා දෙමින් වකුෆ් සභා පනතේ ඇති විදිවිධාන ඉවත් කිරීමට යටතේ අමාත්‍ය අනු කමිටුව නිර්දේශ කර ඇත.

******************************************

(07.04.2021 – 15:01 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 තුල වැඩිම උෂ්ණත්වය කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එහි අගය සෙල්සියස් අංශක 36.2 ක්.

මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වල තැනින් තැන මිලිමීටර් 75 ක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

******************************************

(07.04.2021 – 15:04 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කිරීමේ චෝදනාවලට එල්ල වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ එවක ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ලයනල් ජයරත්න ඇතුළු සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා හා ඒවා සම්බන්ධයෙන් ඇති සාක්ෂි වෙන් වෙන් ආකාරයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලයනල් ජයරත්න ඇතුළු 6 දෙනෙකු විසින් ගොනුකර තිබූ ඇප අයදුම්පතක් අද (07) විභාගයට ගත් අවස්ථාවේදීයි.

එහිදී විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සැකකරුවන් එම මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගෙන් ඇති ඉඩම් හා මුදල් පිළිබද පරීක්ෂණ වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි ෴

******************************************

(07.04.2021 – 15:39 +0530 – hirunews.lk/sinhala)

පවතින වියළි කාලගුණ තත්ත්වයෙන් ජල සැපයුමට බාධා මතුව ඇති බැවින් නල ජලය, අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පෙන්වා දෙන්නේ එළඹ ඇති උත්සව සමය නිසා ජල පරිභෝජනය ද ඉහළ ගොස් ඇති බවයි.

ජල මූලාශ්‍රවල ධාරිතාව පහළ බසිමින් පවතින නිසා දවසේ පැය 24 පුරාම එකම මට්ටමකින් ජලය සැපයීමට අපහසුතා පැන නැගී ඇති බව ද ජල සම්පාදන මණ්ඩලය පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් උස්බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇතිවිය හැකි බවයි එම මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

@@@@@@@@@@@@@@@

(07.04.2021 – 16:13 +0530 – hirunews.lk/sinhala)

අද (07) දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 209 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 90,917 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *