ජනාධි නින්දෙන් අවදිවේ ; වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කෙරේ

ජනාධි නින්දෙන් අවදිවේ ; වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කෙරේ

*********************************************

ජනාධි නින්දෙන් අවදිවේ ; වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කෙරේ

(05.04.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala)

= වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කෙරේ =

වහාම ක්‍රියාත්මක වන පරිදි ‘පාම් ඔයිල්’ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය අද (05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබෙනවා.

දැනට ආනයනය කර ඇති ‘පාම් ඔයිල්’ නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

මේ සමගම ‘කටු පොල් වගාව’ ද සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ජනාධිපතිවරයා දී ඇති උපදේශය බලාත්මක කරමින් අදාළ නීති යටතේ නියෝග පනවා ඇත.

මෙරට ‘කටු පොල් වගාව’ ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබුනේ මීට මාස 6 කට පමණ පෙරය.

දැනට පවතින කටු පොල් වගාව අදියරෙන් අදියර වරකට 10% බැගින් ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම සමාගම් හා ආයතන සමඟ නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද උපදෙස් ලබාදී තිබෙනවා.

මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ විට ‘කටු පොල් වගාව’ සහ ‘ෆාම් ඔයිල්’ පරිභෝජනය සම්පූර්ණයෙන්ම නතර කිරීම රජයේ අරමුණයි.

++++++++++++++++++

(05.04.2021 – 19:29 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපලට නිකුත් වී ඇති විෂ රසායනික අඩංගු ආහාර මොනවාද යන්න සහ එම සමාගම් පිළිබඳ තොරතුරු හෙට (06) දිනයේ ලබාදෙන බවට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, අදාළ සමාගම් සම්බන්ධයෙන් හෙළිදරව් කරන ලෙස ඉල්ලා ‘සිංහලේ සංවිධානය’ ඇතුලු සංවිධාන කිහිපයක් අද (05) ප්‍රමිති ආයතනයට ගිය අවස්ථාවේදියි.

හිරු ප්‍රවෘත්ති අංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්දිකා සේනාරත්න සමග පසුගියදා පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවේදී ඇය කියා සිටියේ සමාගම් බිඳ වැටෙන බැවින් විෂ සහිත ආහාර පවතින සමාගම්වල නම් ප්‍රකාශ කළ නොහැකි බවයි. [ එම විඩියෝව ]

ඇයගේ මෙම ප්‍රකාශයට දැඩි විරෝධයක් මතුවූ අතර, ඊයේ (04) දිනයේ ‘සිංහලේ ජාතික සංවිධානය’ ඇතුලු සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටද කටයුතු කළා.

කෙසේ වෙතත්, අද (05) ‘සිංහලේ සංවිධානය’ ඇතුළු සංවිධාන 16 ක නියෝජිතයින් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වෙත ගිය ද අධ්‍යක්ෂ ජනරාල්වරිය හමුවීමට අවස්ථාව නොලැබුණේ ඇය එහි නොසිටීම හේතුවෙන්.

ප්‍රමිති ආයතනයට පැමිණි ‘සිංහලේ සංවිධානයේ’ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් සහ ප්‍රමිති ආයතනයේ වෙනත් නිලධාරිනියක අතර සංවාදයක් ද ඇති වුණා.

පැය ගණනාවක් ප්‍රමිති ආයතනයෙන් පිටත රැදී සිටීමෙන් අනතුරුව එහි සභාපති නුෂාඩ් පෙරේරා හමුවීමට අදාළ භික්ෂු සංවිධාන සහ සිවිල් සංවිධාන නියෝජිතයින්ට අවස්ථාව හිමි වුණා.

කෙසේ වෙතත්, අදාළ සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා පැය 24 ක් ඇතුළත අදාළ සමාගම් පිළිබද තොරතුරු ලබාදෙන බවට ලිඛිත දැනුම්දීමක් සිදුකළ බවයි සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් කියා සිටියේ.

එමෙන්ම ‘අපේ ජන බල පක්ෂයේ’ නියෝජිතයින් පිරිසක්ද අද (05) දහවල් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුණා.

මේ අතර, ‘ජනබලපවුර සංවිධානය’ ද අද (05) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා සිටියේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය හිරු ප්‍රවෘත්ති අංශය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදී සිදුකළ ප්‍රකාශයට අදාළ විමර්ශන ආරම්භ කරන ලෙසයි.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අද (05) කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරියට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි.

******************************************

(05.04.2021 – 18:06 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටු අවසන් වාර්තාව අද (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබුවා.

එම වාර්තාව භාර දෙනු ලැබුවේ කමිටු සභාපති, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් අද (05) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදීයි.

2021 පෙබරවාරි මස 19 වන දින ජනාධිපතිවරයා විසින් මෙම කමිටුව පත් කරනු ලැබුවා.

මෙම කමිටු වාර්තාව මාර්තු මස 15 වන දිනට පෙර ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණ ද වැඩිදුර විමර්ශණය සඳහා කමිටුව තවත් සති දෙකක (2) කාලයක් ලබා ගත්තා.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තා දීර්ඝ ලෙස අධ්‍යයනය කළ කමිටුව නිර්දේශ 78 ක් හඳුනාගෙන තිබෙනවා.

එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ කෙසේද, ක්‍රියාත්මක කරන්නේ කුමන ආයතන ද යන්න මෙම වාර්තාවට ඇතුළත් කර තිබෙනවා.

නීතිමය කාරණා පිළිබඳ නිර්දේශ ජනාධිපතිතුමා විසින් මීට පෙර නීතිපතිතුමා වෙත යොමු කරනු ලැබුවා.

කමිටුවේ සෙසු සාමාජිකයන් වන අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන සහ කමිටුවේ ලේකම් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් (නීති) හරිගුප්ත රෝහණධීර යන මහත්වරු වාර්තාව භාරදීමේ අවස්ථාවට එක්ව සිටියා.

******************************************

(05.04.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඊයේ (04) සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් කණගාටු වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද (05) පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් තමන්ට සිදුවූ බරපතළ මානසික සහ ශාරීරික හානි වෙනුවෙන් රුපියල් මිලියන 500 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු වන මෝදිත ටී.බී. ඒකනායක එන්තරවාසියක් යොමුකර තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු 12 දෙනෙකු වෙතටයි. එමෙන්ම, පාස්කු ප්‍රහාරයට අදාළව ඔහු විසින්ම තවත් එන්තරවාසි දෙකක් (2) යොමු කර ඇති බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.

******************************************

(05.04.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

කාදිනල් හිමිපාණන්ට බෞද්ධ ජනතාවගේ සහයෝගය ලබාදිය යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන් පවසනවා.

******************************************

(05.04.2021 – 22:37 +0530 – hirunews.lk/sinhala)

හොරණ ප්‍රදේශයේ සිට නුවරඑළියට පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු (4) තමන් පැමිණි මෝටර් රථය හැටන් ප්‍රදේශයේදී ප්‍රපාතයකට තල්ලු කර පළාගොස් ඇති බව සිද්ධිය දුටුවන් හැටන් පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

නුවරඑලිය වසන්ත උදානයට පැමිණි හොරණ ප්‍රදේශයේ පිරිසක් 04 වන දින රාත්‍රි 11 ට පමණ නුවරඑලිය සිට හොරණ දක්වා මොටර් රථය ධාවනය කරවන අවස්තාවේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේදි බිමත්ව මොටර් රථය ධාවනය කල රියදුරා මොටර් රථය ප්‍රධාන මාර්ගය හරහා නතර කර එම මාර්ගයේ ගමන් ගන්නා අනෙකුත් වාහන වලට බාධා කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

මාර්ගය අවහිර විම නිසා එම මාර්ගයේ ගමන් ගත් රියදුරන් මොටර් රථයේ රියදුරා සමග උණුසුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා.

අනතුරක් සිදු කර පොලිසියට වාර්තා නොකර පලා යාම සම්බන්ධයෙන් එම මෝටර් රථයේ රියදුරා අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

(පුවත් වාර්තාව පැහැදිලි නැත)

(05.04.2021 – colombotoday.com)

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළා රියදුරු (1) සහ මොටර් රථයේ ගමන්ගත් තවත් තිදෙනෙක් (3) පළාගොස් ඇති බව හැටන් පොලීසිය පවසයි.

නුවරඑළිය ට පැමිණි හොරණ ප්‍රදේශයේ සිව් දෙනෙක් ඊයේ (04)දින රාත්‍රී 11 ට පමණ නුවරඑළියේ සිට හොරණ දක්වා එම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරතුර ඔවුන් පැමිණි රථය ප්‍රපාතයකට තල්ලු කර පැනගොස් ඇති බව වාර්තා වේ.

හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ෂැනන් ප්‍රදේශයේදී බිමත්ව මෝටර් රථය ධාවනය කළ රියදුරා මොටර් රථය ප්‍රධාන මාර්ගය හරහා නතරකර එම මාර්ගයේ ගමන් ගත් අනෙකුත් වාහන වලට බාධා කරමින් සිටි බවත්, මාර්ගය අවහිර විම නිසා එම මාර්ගයේ ගමන් ගත් රියදුරන් සමග මෝටර් රථයේ රියදුරා සමග උණුසුම් තත්ත්වයක් ඇති වි තිබුණි.

එම මොටර් රථයටද දැඩි ලෙස අලාභ හානි සිදු වි ඇත ෴

******************************************

(05.04.2021 – 22:37 +0530 – hirunews.lk/sinhala)

ආනයනික සමාගම් අතර පවතින තරගය හේතුවෙන් මුළු මිනිස් සමාජයම අමානුෂිකත්වයට යොමුකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ හිඟුරක්ගොඩදී පැවති පක්ෂයේ 50 වැනි විරුසමරුව අමතමින්.

******************************************

බෞද්ධ විරෝධි, භික්ෂූත්වයට නිගාකරන චරිත භික්ෂූත්වයෙන් නෙරපා දඬුවම් කළ යුතුයි – පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

(05.04.2021 – 22:31 +0530 – sinhala.adaderana.lk)

භික්ෂුත්වයට නිගාදෙන පිරිස් භික්ෂූත්වයෙන් නෙරපා හැරීම ඇතුළු කරුණු හයක් (6) ඇතුළත් යෝජනාවලියක් ජනපති පත්කළ බෞද්ධ උපදේශක සභාවට ඉදිරිපත් කරන බව ‘ධර්මයුක්ති මහ සභාව’ පවසයි.

අද (05) පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන සම්බන්ධිකාරක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් මේ බව සඳහන් කළහ.

“ධර්ම විකෘතිය ඇතුළු ශාසන විරෝධීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුයි. සිවුරු පොරවාගෙන ඊට නොගැලපෙන පරිදි වචන, හැසිරීම් ප්‍රසිද්ධියේම දකින්න තියෙනවා. භික්ෂූත්වය ලියාපදිංචි කරන්නේ නීත්‍යානූකූල පිළිගැනීමකට. විනය විරෝධි හැසිරීමකදී එම නීතිය යටතේ දඬුවමක් ලැබෙන්නේ නැහැ. අපි ජනාධිපතිට යෝජනා කරනවා විහාර – දේවාලගම් පනත සංශෝධනය කරන්න. බෞද්ධ විරෝධි, භික්ෂූත්වයට නිගාකරන චරිත භික්ෂූත්වයෙන් නෙරපා දඬුවම් කළ යුතුයි.” යනුවෙන් ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පැවසූහ.

ප්‍රශ්නය : ගිහියන් විසින් බුද්ධශාසනයට සිදුවෙන විකෘතීන්ට ගත හැකි ක්‍රියාමාර්ග තිබෙනවාද ?

පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි : “ගිහියන් බුද්ධ ශාසනය සම්බන්ධව කරන විකෘතීන්ට යම් ක්‍රියාමාර්ගයක් ගත නොහැකියි; ධර්මය හා බුද්ධ ශාසනය පිළිබඳව අර්ථ කථනය ව්‍යවස්ථාවට ඇතුළත්වී නොමැති නිසායි. 9 වැනි ව්‍යවස්ථාවට අදාළ අර්ථකථනය දෙන්න සංඝාධිකරණය බලසම්පන්න කරන්න.”

******************************************

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(05.04.2021 – 18:02 +0530 – sinhala.adaderana.lk)

තංගල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 11 ක ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට (06) පෙ.ව 8 සිට ප.ව 7 දක්වා ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

ඒ අනුව ජල කප්පාදුව සිදුකෙරෙන ප්‍රදේශ පහතින් දැක්වේ :

නෙටොල්පිටිය, අලුත්ගොඩ, විතාරන්දෙණිය, රොටේ පාර, ඇත්ගාල් මුල්ල පාර, කපුහේනවල, මාරකොල්ලිය , වගේගොඩ, සැමුවෙල් මාවත, තංගල්ල තිස්ස පාර, තංගල්ල නගරයේ කොටසක්, පට්ටියපොල පාර නෙටොල්පිටිය,
රැකව පාර ෴

******************************************

පිරමිඩ ජාවාරම අලුත්ම විදිහකට කරලා

(06.04.2021 – aruna.lk)

කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටලයක සිට මෙහෙයවන හෝටල් පැකේජ් සම්බන්ධ අලුත් පිරමිඩ ජාවාරමක් ගැන බුද්ධි අංශ තොරතුරු අනාවරණය කර ගෙන ඇත.

වසර ගණනක සිට විවිධ පීරමීඩ ජාවාරම් මෙහෙය වූ මෙම ජාවාරම්කරු හෝටල් පැකේජ් ලබාදෙන බව කියමින් අලුත්ම පිරමිඩ ජාවාරම තරුපහේ හෝටලයේ සිට කරගෙන යන බව හෙළි වී තිබේ. මෙම මහ පරිමාණ ජාවාරම්කරු නැවතී සිටින හෝටලයේ 119 කාමරයට ප්‍රභූවරුන් මෙන්ම ප්‍රසිද්ධ නළු නිළියන්ද නිතර යන එන බව අනාවරණය වී ඇත.

හෝටල් පැකේජ ඇතුළු විවිධ වරප්‍රසාද පෙන්වා දෙමින් පවත්වාගෙන යන මෙම පිරමීඩ ජාවාරම නිසා ලක්ෂ ගණනින් මුදල් අහිමි වූ විශාල පිරිසක් සිටින බවද අනාවරණය වී ඇත.

අනුරාධපුර, කුරුණෑගල ඇතුළු ප්‍රදේශවල ගුරුවරුන්, වෛද්‍යවරුන් ඇතුළු රජයේ සේවකයන්ද මෙම වංචාවට හසු වී ඇති බවද අනාවරණය වෙමින් ඇත. යුරෝපය ඇතුළු විදේස් රටවල සිටින අයද වංචාවන්ට හසුවන අතර මෙම ජාවාරම සඳහා විවිධ තනතුරු හොබවන්නන්, නළු නිළියන්, කලාකරුවන් පවා එක් කරගනිමින් වංචාවට සම්බන්ධ ප්‍රධාන ජාවාරම්කරු ජනතාව නොමග යවමින් සිටී.

රුපියල් දහඅට දහසක මුදලක් ගෙවා මෙම හෝටල් පැකේජ් සහිත පිරමිඩයක ආකාරයට ජාවාරම කරගෙන යන බව අනාවරණය වී ඇත.

තිස්ස රවින්ද්‍ර පෙරේරා

@@@@@@@@@@@@@@@

(05.04.2021 – 18:00 +0530 – hirunews.lk/sinhala)

අද (05) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 100 දෙනෙකු අලුතින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 93,536 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

අද (05) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 37 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් අද (05) දිනයේ වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 137 ක් ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 05 ක් අද (05) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 586 ක් දක්වා ඉහළ ගියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *