හිරු සාකච්ඡාවෙන් පසු සංවිධාන කිහිපයක් ප්‍රමිති ආයතනයට

හිරු සාකච්ඡාවෙන් පසු සංවිධාන කිහිපයක් ප්‍රමිති ආයතනයට

*********************************************

හිරු සාකච්ඡාවෙන් පසු සංවිධාන කිහිපයක් ප්‍රමිති ආයතනයට

(05.04.2021 – 13:08 +0530 – hirunews.lk/sinhala)

වෙළඳපලට නිකුත් වී ඇති විෂ රසායනික අඩංගු ආහාර මොනවාද යන්න සහ එම සමාගම් පිළිබඳ තොරතුරු හෙළිදරව් කරන ලෙස ඉල්ලා සිංහලේ සංවිධානය ඇතුලු සංවිධාන කිහිපයක් මේ වන විට ප්‍රමිති ආයතනයට පැමිණ තිබෙනවා.

ඒ, පසුගියදා හිරු ප්‍රවෘත්ති අංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සිද්දිකා සේනාරත්න සමඟ පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවේදී සිදුකළ අනාවරණයට අදාළවයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරිය එම සම්මුඛ සාකච්ඡාවේදී කියා සිටියේ ‘සමාගම් බිඳ වැටෙන බැවින් විෂ සහිත ආහාර පවතින සමාගම්වල නම් ප්‍රකාශ කළ නොහැකි’ බවයි.

ඇයගේ මෙම ප්‍රකාශයට දැඩි විරෝධයක් මතුවූ අතර, ඊයේ (04) දිනයේ ‘සිංහලේ ජාතික සංවිධානය’ ඇතුලු සංවිධාන කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමටද කටයුතු කළා.

ජනබලපවුර සංවිධානයේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් මහතා කියා සිටියේ තම සංවිධානය ද අද (05) දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන බවයි.

මේ අතර පාරිභෝගික අධිකාරිය මගින් දිවයින පුරා පොල්තෙල් සාම්පල ලබාගනිමින් ප්‍රමිතිය පරීක්ෂා කිරීම් සිදුකළ ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ අදාළ පරීක්ෂණ සිදුකිරීමට තමන්ට පහසුකම් නොමැති බවයි ෴

අදාල විඩියෝව :

03.04.2021

******************************************

(05.04.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ඇතෙකුගේ පහරදීමෙන් මියගිය බවට පැවසුණු කලාවැව රක්ෂිතයේ දිවිගෙවූ ‘දීගදන්තු-එක’ ඇතා මියගොස් නොමැති බවට වාර්තාවනවා.

මෙම සත්වයා පසුගිය දින කිහිපයේම රක්ෂිතයේ සැරිසරන අයුරු කිහිපදෙනෙකු විසින් නිරීක්ෂණයට ලක් කර ඇති අතර, ඊයේ (04) දිනයේදී හිරු ප්‍රාදේශීය වාර්තාකරු විසින් ද එම සත්වයා ඡායාරූප ගතකර තිබුණා.

2019 වසරේ අගෝස්තු මාසයේදී කලාවැව රක්ෂිතයේ සියඹලාගස්පිටිය ප්‍රදේශයේ තිබී මියගොස් සති තුනක් (3) පමණ වන ඇතෙකුගේ සිරුරක් සොයා ගැනුනු අතර, එම අවස්ථාවේදී ප්‍රකාශ කෙරුණේ එලෙස මියගොස් ඇත්තේ ‘දීගදන්තු-එක’ ඇතා බවයි.

තවත් ඇතෙකුගේ ප්‍රහාරයකින් එම සත්වයා මියගොස් ඇති බවට පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණා.

කෙසේ වෙතත් 2019 වසරේදී එලෙස මියගොස් ඇත්තේ ‘දීගදන්තු-දෙක’ ඇතා බවටයි මේ වනවිට පරිසරවේදීන් සැක පළ කරන්නේ.

එම කාලවකවානුවේ ‘දීගදන්තු-එක’ ඇතා පිළිබඳ කිසිදු තොරතුරක් වාර්තා නොවූ අතර, ඒ හේතුවෙනුයි එලෙස මියගොස් ඇත්තේ ‘දීගදන්තු-එක’ බවට පරිසරවේදීන් නිගමනය කර තිබුණේ.

‘දීගදන්තු-එක’ ඇතා මෙන්ම ‘දීගදන්තු-දෙක’ ඇතාද ප්‍රසිද්ධියට පත්වූයේ විශාල දළ යුගලක් පැවතීම හේතුවෙන්.

******************************************

(05.04.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බවට ප්‍රකාශයට පත් කරමින් රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වතු සමාගම් 20 ක් විසින් ගොනු කර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

ඒ, අද (05) එම නඩුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා හමුවේ විභාගයට ගත් අවස්ථාවේදියි.

පෙත්සම පිළිබඳ විභාගය මැයි මස 05 වනදා පැවැත්වීමට තීන්දුකළ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස ද නියෝග කළා.

ආගරපතන වැවිලි සමාගම, ඇල්පිටිය වැවිලි සමාගම ඇතුලු සමාගම් 20 විසින් එම පෙත්සම ගොනුකර තිබූ අතර, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති, තේ කර්මාන්තය පිළිබඳ පඩිපාලක සභාවේ සභාපතිවරයා ඇතුළු 18 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා ෴

******************************************

(05.04.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

පසුගිය යහපාලන රජය විසින් හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් ධුරයෙන් ඉවත් කිරීම නීත්‍යානුකූල නොවන බැවින් එය නිවැරදි කිරීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

******************************************

(05.04.2021 – 14:15 +0530 – hirunews.lk/sinhala)

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් එළඹෙන 09 වන දා සිට විශේෂ දුම්රිය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

කොළඹ කොටුව, ගල්කිස්ස, මරදාන, යාපනය, බෙලිඅත්ත සහ මාතර යන දුම්රිය යන ස්ථානවලින් මෙම දුම්රිය ක්‍රියාත්මක වනු ඇති.

සාමාන්‍ය ලෙස ධාවනය වන දුරගමන් සේවාවන්ට අමතරවයි මෙම විශේෂ දුම්රිය යොදවා ඇත්තේ.

9 වන දා ආරම්භ වන මෙම විශේෂ දුම්රිය සේවය එළඹෙන 21 වන දා දක්වා ක්‍රියාත්මකයි.

******************************************

(05.04.2021 – 14:39 +0530 – hirunews.lk/sinhala)

ගලෙන්බිදුණුවැව ප්‍රදේශයේ ජීවත් වන බොහෝ පිරිසකගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ බඩ ඉරිගු වගාවයි.

ප්‍රදේශයේ පනස් පන් දහසකට (55,000) අධික ගොවි පවුල් සංඛ්‍යාවක් බඩ ඉරිගු වගාවේ නියැලෙන අතර අක්කර දස දහසකට (10,000) අධික ප්‍රමාණයක ඔවුන් තම වගා කටයුතු සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම ගොවීන් චෝදනා කරන්නේ විශාල මුදලක් වැය කොට නෙලා ගත් අස්වැන්නට නිසි මිලක් නොලැබෙන බවටයි.

රුපියල් 80 ත් 85 ත් අතර අලෙවි වූ බඩ ඉරිඟු කිලෝවක් මේ වන විට රුපියල් 50 ත් 60 ත් අතර මිලක් දක්වා පහළ බැස ඇති බව ගොවීන් පෙන්වා දෙනවා.

මෙම තත්ත්වය යටතේ ගොවීන් අඩු මුදලකට අස්වනු විකුණා දැමීමට පෙළඹී ඇත්තේ වගා කටයුතු වෙනුවෙන් ලබා ගත් ණය ගෙවා දැමීමට වෙනත් විකල්පයක් නොමැති වීම හේතුවෙන්.

එහෙත් ඇතැම් ගොවීන් සාධාරණ මිලක් ලැබෙන තුරු නිවෙස් තුළ අස්වනු ගබඩා කිරීමටද පියවර ගෙන තිබෙනවා.

ගලෙන්බිඳුණුවැව බඩඉරිඟු ගොවීන්ගේ මෙම ගැටලු වෙත බලධාරීන්ගේ අවධානය යොමුවන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

******************************************

(05.04.2021 – 14:48 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි මාස කිහිපයේ විදේශීය ණය ගෙවීමට ප්‍රමාණවත් සංචිත රජයට නොමැති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා චෝදනා කරනවා.

කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

******************************************

(05.04.2021 – 15:50 +0530 – hirunews.lk/sinhala)

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ සතොස මගින් ලබාදෙන රුපියල් දහසක (1000) සහන මල්ල තමන් රු. 950 ට පාරිභෝගිකයන්ට ලබාදෙන බව හැටන් ප්‍රදේශයේ වෙළඳුන් සඳහන් කරනවා.

තමන් පාරිභෝගිකයන්ට ලබාදෙන රු. 950 සහන මල්ලට සතොසින් ලබාදෙන ආහාර මල්ලේ තිබෙන භාණ්ඩ වලට වඩා හොඳ තත්ත්වයේ ආහාර ද්‍රව්‍ය තිබෙන බවයි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් කියා සිටියේ.

පෞද්ගලික අංශයේ වෙළෙඳසල්වලින් ලබාදෙන සහන මල්ලේ ටී.වී.පී පැකට් එකක් රු. 25 ක් , කෑලි මිරිස් ග්‍රෑම් 100 රු. 70 ක් , තේ කුඩු ග්‍රෑම් 100 රුපියල්. 70 ක් , ලුණු පැකට් එකක් රු. 40 ක් , තිරිගු පිටි කිලෝ එකක් රු. 83 ක් , හාල් මැස්සෝ ග්‍රෑම් 200 රු. 95 ක් , සුදු හාල් කිලෝ එකක් රු. 93 ක් , මයිසුර් පරිප්පු කිලෝ එකක් රු. 165 ක් , සිනි කිලෝ එකක් රු. 108 ක් , රතු සහල් කිලෝ එකක් රු. 93 ක්, මාස්ක් එකක් රු. 12 ක් වශයෙන් වශයෙන් ඇතුළත් වනවා.

සතොසින් සහන මල්ල ලබාදිමට ප්‍රථම තමන් එම මිලට සහන මල්ල පාරිභෝගිකයන්ට ලබාදුන් එම සහන මල්ල තමන් අඛණ්ඩව පාරිභෝගිකයන්ටලබාදෙන බවයි හැටන් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් වැඩි දුරටත් කියා සිටියේ.

පෞද්ගලික අංශයෙන් රු. 950 ට සහන මල්ලක් ලබාදෙද්දි සතොසට මිට වඩා අඩු මිලට සහන මල්ල ලබාදිමේ හැකියාවක් තිබිය යුතු බවද එම ව්‍යාපාරිකයන් පේනවා දෙනවා.

@@@@@@@@@@@@@

(05.04.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

චීනයෙන් මෙරටට ප්‍රදානය කළ සිනොෆාම් එන්නත මෙරට වාසය කරන චීන ජාතිකයන් සඳහා ලබාදීම අද (05) නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ඒ අනුව අද (05) දිනයේදී එන්නත චීන ජාතිකයින් 1,000 කට ලබාදීම සිදු කෙරෙන බවයි කොළඹ මහ නගර සභාවේ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය කියා සිටියේ.

කෙසේ වෙතත් මෙම එන්නත මෙරට වැසියන්ට ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ තවමත් තීරණයක් ගෙන නැහැ.

(05.04.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් වාර්තාවූ සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ දෛනික කටයුතු යළි සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබෙනවා.

මේ අතර ඊයේ (04) දිනයේ මෙරටින් අලුතින් කොරෝනා ආසාදිතයින් 141 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යව 93,436 දක්වා ඉහළ ගියා.

ඊයේ (04) 54 ක් වන වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාවුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 25 දෙනෙකු සහ කළුතරින් ආසාදිතයන් 12 දෙනෙකු වාර්තාවුණා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ මෙරට කොරෝනා ව්‍යාප්තියේ අඩුවීමක් වාර්තාවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම්දී ඇති බවයි.

කොරෝනා ආසාදිතයන් වාර්තාවූ සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ දෛනික කටයුතු යළි සාමාන්‍ය පරිදි ආරම්භ කර තිබෙනවා.

මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති මාධ්‍ය හමුවකදී පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂිකා චිත්‍රමාලිද සිල්වා මහත්මිය සඳහන් කළේ කොරෝනා වසංගතය හේතුවෙන් මෙරට මාතෘ හා ළදරු මරණ වැඩිවීමක් වාර්තාවී නොමැති බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය කියා සිටියේ ගර්භනී මව්වරුන් 132 කුට කොරෝනා ආසාදනය වී තිබූ බවයි ෴

+++++++++++++++++++

(05.04.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා (Oxford AstraZeneca Vaccine) එන්නතේ දෙවන මාත්‍රාව අප්‍රේල් 19 සිට ලබාදීම ආරම්භ කරන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා.

මේ වනවිටත් දෙවන මාත්‍රාවට අදාල එන්නත් 300,000 ක පමණ තොගයක් වෙන්කොට ඇති බවත් එම ප්‍රමාණය අප්‍රෙල් 19 සිට ජුනි 30 දක්වා ලබා දීමට කටයුතු කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතරතුර දෙවන මාත්‍රාවට අදාල ඉතිරි එන්නත් තොගය ලබාදීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරිය මෙසේද පැවසීය : “පළමු මාත්‍රාව අපි ජනවාරි 29 වෙනිද දෙන්න පටන් ගන්නකොට දෙවනි මාත්‍රාව දෙන්න තිබුණෙ සති 4 කින්. නමුත් මෙම දෙවන මාත්‍රාව සති 10 ක් 12 ක් කල්දාන්න පුලුවන් කියල ලැබුණු විද්‍යාත්මක තොරතුරු අනුව අපි අප්‍රෙල් 19 සිට දෙවන මාත්‍රාව දෙන්න කටයුතු කරනවා. ඒ නිසා දෙවන මාත්‍රාව ලබාදීම ගැන ගැටලුවක් නෑ.”

+++++++++++++++++

(05.04.2021 – 16:46 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි 21 වැනිදා රට විවෘත කිරීමෙන් අනතුරුව මේ දක්වා දස දහසකට (10,000) ආසන්න සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇතැයි සංචාරක ප්‍රවර්ධන අධිකාරිය අනාවරණය කර තිබෙනවා.

ගෝලීය කොවිඩ් වසංගත තත්වය හමුවේ වසා තිබූ රට විවෘත කළ දිනයේ සිට මේ දක්වා සංචාරකයින් 9629 කසකස්ථානය, ජර්මනිය, එක්සත් රාජධානිය, යුක්රේනය, රුසියාව, ඉන්දියාව, චීනය, ස්විස්ටර්ලන්තය, කැනඩාව යන රටවලින් මෙරටට පැමිණ ඇති බවටයි වාර්තා වන්නේ.

ගෝලීය කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු රට සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීමත් සමඟ නව ගුවන් සේවා ආකර්ෂණය කරගැනීම සහ පවතින ගුවන් සේවා වාර ඉහළ නැංවීම සම්බන්ධයෙන් තානාපති කාර්යාල සහ ගුවන් සමාගම් අතර සාකච්ඡා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කොට තිබෙනවා.

කොවිඩ් එන්නත් දෙකම ලබාගත් සංචාරකයින් සඳහා නිරෝධායන නීති රීති සහන ලබාදීමට සාකච්ඡා ආරම්භ කොට ඇති අතර මේ යටතේ මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ටද නිරෝධායන නීතිරීති ලිහිල් කිරීමට පියවර ගනු ලබන බවටයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *