පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට ගැලවීමට ඉඩ නොතබන බව ජනපති කියයි

පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට ගැලවීමට ඉඩ නොතබන බව ජනපති කියයි

*********************************************

පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට ගැලවීමට ඉඩ නොතබන බව ජනපති කියයි

(04.04.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට දායක වූ වැරදිකරුවන්ට නීතියෙන් ගැලවී සිටීමට කිසිසේත් ඉඩක් නොතබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

පාස්කු දිනය වෙනුවෙන් විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරය හේතුවෙන් බිඳුණු හදවත්වල වේදනාව අදටත් මැකී ගොස් නොමැති බවයි.

නැවත එවන් ඛේදාන්තයන්ට කවර හෝ අවසරයක් නොලැබෙන පරිදි ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට රජය වග වී සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පවසන්නේ වර්තමානයේ ලෝකය හමුවේ මුහුණ පෑමට සිදුවන බහුවිධ පීඩන පරාජය කර නැගී සිටීමටත්, ප්‍රේමයෙන් දයාවෙන් යුතු මානව හිතවාදී සමාජයක් තුළ ජීවත්වීමටත් පාස්කු සමය ආශීර්වාදයක් කර ගත යුතු බවයි.

මේ අතර, පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් වූ සැමට සාධාරණය ඉටුවන තෙක් වූ කිතුණු ජනතාවගේ ඉවසීම විශිෂ්ඨ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

මීට වසර දෙකකට පෙර 2019 අප්‍රේල් 21 වැනිදා පාස්කු මංගල්‍යය දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් කුඩා දරුවන් ඇතුළු කිතුණු බැතිමතුන් දෙසිය පනහකට (250) අධික පිරිසකගේ ජීවිත අහිමි වීම සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා එම නිවේදනයෙන් සිහිපත් කර තිබුණා.

එම මිලේච්ඡ ප්‍රහාරය එදා මෙන්ම අදත් තරයේ හෙළා දකින අතර ප්‍රහාරයෙන් ජීවිත අහිමි වු කිතුණු ජනතාවගේ පවුල්වල සමාජිකයන්ට මෙන්ම සමස්ත කිතුණු ජනතාවට සංවේගය පළ කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.

එමෙන්ම, පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒමේ පරීක්ෂණ රජයක් ලෙස මේ දක්වා අඛන්ඩව ඉටු කර තිබෙන බවත් කිතුණු ජනතාව බලාපොරොත්තුවන පරිදි ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවේ වරදකරුවන් වනතුරු එම පරීක්ෂණ ක්‍රියාවලිය කිසිඳු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ අතර, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද පාස්කු ඉරිදාව වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. 2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිදුවූ බිහිසුණු සිදුවීමේ කම්පනය අප අතරින් පහව ගොස් නොමැති අතර, එම ප්‍රහාරයේ මහ මොලකරුවන් සොයා ගැනීමේ වගකීමෙන් කිසිවෙකුටත් බැහැර විය නොහැකි බවයි එහි දැක්වෙන්නේ ෴

******************************************

(04.04.2021 – 07:01 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාර්තු 31 වනදා සිට අප්‍රේල් 02 වනදා දක්වා පැය 72 ක කාලයක් තුල මාර්ගයේ ධාවනයට නුසුදුසු යතුරුපැදි 450 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

යතුරුපැදිවලින් සිදුවන අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් පොලිසිය මෙම විශේෂ වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ පසුගිය මාර්තු මස 31 වනදා සිටයි.

ඊට අමතරව අදාළ කාලසීමාව තුල බීමත්ව යතුරුපැදි පැදවූ පුද්ගලයන් 398 ක්, අන්තරායකාරීව යතුරුපැදි පැදවූ පුද්ගලයන් 139 දෙනෙකු සහ අධික වේගයෙන් යතුරුපැදි පැදවූ 108 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

ඊට අමතරව හෙල්මට් නොමැතිව යතුරුපැදිවල ගමන් ගත් සිදුවීම් 1077 ක්, බලපත්‍ර වැරදි උල්ලංඝණය කළ පුද්ගලයන් 1303 ක් සහ මාර්ග නීති උල්ලංඝණය කිරීමට අදාළව නඩු 2806 ක් ද ලබාගෙන තිබෙනවා.

ඊට අමතරව වෙනත් වැරදි සම්බන්ධයෙන් 6186 කට මෝටර් වාහන පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඒ අනුව අදාළ කාලය තුල ලබාගෙන ඇති සම්පූර්ණ නඩු සංඛ්‍යාව 13,320 ක් වනවා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නේ මෙම මෙහෙයුමේ බලාපොරොත්තුව දෛනිකව යතුරුපැදි වලින් සිදුවන අනතුරු අවම කිරීම මෙන්ම යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන් මියයාම අවම කිරීම බවයි.

මෙම මෙහෙයුමේ අරමුණ යතුරුපැදිකරුවන් අපහසුතාවට පත් කිරීම නොව ඔවුන් ආරක්ෂා කිරීම සහ යතුරුපැදි ධාවනය විධිමත් කිරීම බව ද ඔහු සඳහන් කළා ෴

******************************************

(04.04.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

ප්‍රදේශ කිහිපයකදී පොලිසිය සිදුකළ මෙහෙයුම්වලින් හෙරොයින් සහ ගංජා සමග පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් බෙලිඅත්ත ප්‍රදේශයේදී කළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 21 ක් සමග පුද්ගලයෙකු (1) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

පෑලියගොඩ කොට්ඨාශ අපරාධ විමර්ශණ ඒකකය මගින් බියගම සියඹලාපේ ප්‍රදේශයේදී ගංජා කිලෝ 88 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගනු ලැබුවා.

මෝදර පොලිසියේ නිලධාරීන් විසින් උස්වැටකෙයියාව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 20 ක් සමග 39 හැවිරිදි අයෙකු (1) ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

කලුතර අපරාධ කොට්ඨාශය විසින් අලුත්ගම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10 ක් සහ ගංජා ග්‍රෑම් 300 ක් සමග මග්ගොන ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරුවෙකු (1) ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය මගින් හෙරොයින් ග්‍රෑම් 8 ක් සමග පුද්ගලයන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

නීති විරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහජනතාවට 1997 අංකය ඔස්සේ පොලිසියට තොරතුරු ලබාදිය හැකි අතර සාර්ථක තොරතුරු ලබාදෙන අයට මුදල් ත්‍යාග ලබාදෙන බව ද අජිත් රෝහණ මහතා කියාසිටියා ෴

******************************************

(04.04.2021 – 08:15 +0530 – hirunews.lk/sinhala)

තමා විසින් අත්සන් තබා ඇති මුහුණු ආවරණ තහනම් කිරීම පිළිබඳ යෝජනාව කැබිනට් න්‍යාය පත්‍රයට ඇතුලත් කර ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

හිරු ප්‍රවෘත්තී අංශය කළ විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන දිනය තීරණය කරනු ලබන්නේ කැබිනට් ලේකම්වරයා විසින් බවයි.

අදාළ යෝජනාවේ අන්තර්ගත කරුණු අතරට සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කරන ලද හෙල්මට් හෙවත් ‘ෆුල් ෆේස් හෙල්මට්’ තහනම් කිරීමක් ඇතුළත් කර නොමැති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා ෴

******************************************

(04.04.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

දැනට පවතින මැතිවරණ නීතිවල දුර්වලතා හඳුනාගැනීම සඳහා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවක් පත්කිරීමට අදාළ යෝජනාව හෙට (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ, සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින්.

ඉන් අනතුරුව කතානායකවරයා විසින් අදාළ තේරීම් කාරක සභාව සඳහා සාමාජිකයන් 15 දෙනෙකු පත් කරනු ඇති.

මෙම තේරීම් කාරක සභාව පත් කිරීමෙන් පසු මාස 06 ක කාලයක් තුළ නිර්දේශ ඉදිරිපත් කළ යුතු බව අදාළ යෝජනාවේ සඳහන් වනවා.

දැනට ක්‍රියාත්මක මැතිවරණ, ඡන්ද විමසීම් ව්‍යුහය සහ නීතිරීතිවල පවතින දුර්වලතා හදුනාගැනීම සහ ඒ සම්බන්ධයෙන් වන සංශෝධන නිර්දේශ කිරීම මෙම කාරක සභාවේ වගකීමයි.

මෙලෙස විශේෂ තේරීම් කාරක සභාවක් පත්කල යුතු බවට වන මෙම යෝජනාව ගෙන එනු ලැබුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්.

එසේම ආණ්ඩුවේ පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබඳ යෝජනාව විෂයභාර අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

රැස්වීම පවත්වන දිනය සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් ජනාධිපතිවරයා විසින් මෙතෙක් දැනුම් දී නොමැති බවයි වර්තා වන්නේ ෴

******************************************

(04.04.2021 – 09:11 +0530 – hirunews.lk/sinhala)

ඉන්දීය ධීවරයින්ට මෙරට මුහුදු සීමාවට ඇතුළු වී මත්ස්‍ය සම්පත අත්පත් කර ගැනීමට අවසර ලබා දුනහොත් දැඩි විරෝධතා ක්‍රියා මාර්ගවලට අවතීර්ණ වන බව සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය පවසනවා.

එහි සභාපති රත්න ගමගේ මහතා පෙන්වා දෙන්නේ මෙරට මුහුදු සීමාවට ඉන්දීය ධීවර යාත්‍රා වලට ඇතුළු වීම සදහා බලපත්‍ර ක්‍රමයට අවසර ලබා දීමේ සූදානමක් පවතින බවටයි ෴

******************************************

(04.04.2021 – 10:35 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරු දින වෙනුවෙන් කොටහේන ශාන්ත ලුසියා දෙව් මැදුරේ පැවති දිව්‍ය පූජාවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද එක්ව තිබෙනවා.

අනතුරුව උන්වහන්සේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුණිඳුන්ගේ දේවස්ථානය වෙතද පැමිණියා ෴

******************************************

(04.04.2021 – 11:06 +0530 – hirunews.lk/sinhala)

ඊජිප්තුවේ පිරමීඩවල තිබී සොයා ගැනුනු පෞරාණික මළ සිරුරු හෙවත් පාරාවෝ රජවරුන්ගේ මමී 22 ක් නව කෞතුකාගාරයක් වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඒ නයිට්‍රජන් යොදා විශේෂයෙන් සකස් කරනු ලැබූ බහාලුම් යොදා ගනිමින්.

පැරණි රජවරුන් රාජ්‍ය පාලනය කළ අනු පිළිවෙල අනුව එම සිරුරු විශේෂ රථ පෙරහරක් මගින් කයිරෝ අගනුවර හරහා රැගෙන ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

පාරාවෝ රජවරුන් 18 දෙනෙකු සහ රැජිණියන් 4 දෙනෙකුගේ මමී මෙලෙස නව කෞතුකාගාරයකට රැගෙන ගොස් තිබෙනවා.

කයිරෝ අගනුවර තහීර් චතුරස්‍රයේ පිහිටි ඊජිප්තු කෞතුකාගාරයේ තිබූ සිරුරු ෆුස්ටාට්හි පිහිටි ඊජිප්තු ශිෂ්ඨාචාරයේ ජාතික කෞතුකාගාරය වෙත රැගෙන ගොස් ඇත්තේ දැවැන්ත සැමරුම් පෙළපාලියකින්.

මෙම රථ පෙළපාලිය හේතුවෙන් මාර්ග රැසක් ද වසා දමා තිබුණා. එමෙන්ම මෙම උත්සවයට දැඩි ආරක්ෂක රැකවල් ද යොදා තිබුණා.

පාරාවෝ රජවරුන්ගේ මෙම සිරුරු සොයාගනු ලැබුවේ 1881 සහ 1898 අතර කාලසීමාවන්වලදීයි.

කොවිඩ්-19 හමුවේ කඩා වැටී ඇති සංචාරක කර්මාන්තය යළිත් ප්‍රකෘතිමත් තත්වයට ගෙන ඒම ඊජිප්තුවේ අරමුණක්.

ඒ හේතුවෙන් නව කෞතුකාගාරයක පාරාවෝ රජවරුන්ගේ සිරුරු තැන්පත් කිරීම ඔවුන් සිදුකළ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

නව කෞතුකාගාරය මහජන ප්‍රදර්ශණය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම විවෘත කිරීම ලබන 18 වනදා සිදුවනු ඇති. මෙම සිරුරු නව කෞතුකාගාරයක තැන්පත් කිරීම උත්සවාකාරයෙන් සිදුකෙරුණු කටයුත්තක් ලෙසට පෙන්නුම් කෙරුණ ද ඊජිප්තුවේ පිරමීඩවලින් හමුවූ සිරුරු ඓතිහාසික මෙන් මිත්‍යා විශ්වාස හා සම්බන්ධ වී ඇති දෙයක්.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙම මමී වෙනත් ස්ථානයකට ගෙන යාමේ කටයුතුවල ආරම්භයත් සමගම ඊජිප්තුවට ව්‍යසනකාරී තත්වයන් කිහිපයකටම මුහුණදීමට සිදුවූ බවයි.

විශාල පිරිසකට මරු කැඳවමින් ශොහාග් ප්‍රදේශයේ දුම්රියක් පීලි පැනීම ගොඩනැගිල්ලක් කඩා වැටී පුද්ගලයන් 18 දෙනෙකු මියයාම මෙන්ම සූවස් ඇලේ නෞකාවක් සිරවීම ද ඊට අයත්.

මෙය පාරාවෝවරුන්ගේ ශාපයක් විය හැකි බවටයි ඇතැම් පිරිස් සඳහන් කර ඇත්තේ.

මෙම සිරුරු ප්‍රදර්ශණය කිරීම දීර්ඝ කාලයක සිට විවාදයට ලක්ව තිබෙනවා.

ඇතැම් පිරිස් චෝදනා කරන්නේ මළවුන්ට ගෞරවයෙන් සැලකිය යුතු අතර එය ප්‍රදර්ශණ භාණ්ඩයක් නොවිය යුතු බවයි ෴

******************************************

(04.04.2021 – 12:09 +0530 – hirunews.lk/sinhala)

ඉඩම් ප්‍රතිසංස්කරණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ගස් කැපීම සම්බන්ධයෙන් දැරණියගල – යටිවල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් මූලස්ථානයේ 1997 පරිසර හානි පිළිබඳ දැනුම්දීමේ දුරකතන අංකයට ලද තොරතුරකට අනුවයි.

සැකකරු සමඟ ගස් කැපීම සඳහා යොදාගත් යන්ත්‍රයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ඔහු දැරණියගල – කැන්දලන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ (03) අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු රුපියල් 50,000 ක ශරීර ඇපයක් මත මුදාහැර තිබෙනවා ෴

******************************************

(04.04.2021 – 12:53 +0530 – hirunews.lk/sinhala ඇසුරෙන්)

වවුනියාව – තාලිකුලම – ශ්‍රී මුත්තුමාරි කෝවිල අසල නිධන් හෑරූ සිවුරුකරුවන් දෙදෙනෙකු (2), පූජකවරයෙකු (1) ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, මෝටර් රථ දෙකක් (2), ත්‍රීරෝද රථයක් (1) සහ කැණීම් සඳහා භාවිත කළ උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් සිවුරුකරුවන් දෙදෙනා (2) අකුරැස්ස සහ අනුරාධපුර ප්‍රදේශවල විහාරස්ථානවල ලැග සිට ඇති බවටයි වාර්තා වන්නේ.

පූජකවරයා ඇතුළු අනෙකුත් පුද්ගලයින් වවුනියාව, අනුරාධපුරය, මැදවච්චිය, බදුල්ල සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

(04.04.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

නාවුල – ඇලහැර මාර්ගයේ බකමූණ ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය තොගයක් ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කළ සැකකරුවන් සිව් දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී ඇමෝනියා කිලෝ 03 කට අධික ප්‍රමාණයක්, වෝටර් ජෙල් ග්‍රෑම් 135 ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 20 ක්, ඩෙටනේටර් කැප් 14 ක් ඇතුළු තවත් ද්‍රව්‍ය තොගයක් සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 ත්, 43 ත් අතර වයස්වල පසුවන අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් ෴

******************************************

(04.04.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

බාලවයස්කාර තම දියණිය වැඩිමහල් පුද්ගලයෙකුට විවාහ කරදීමට ගත් උත්සාහයක් පිළිබඳ උරණ වූ ඇයගේ පියා, ඊට සම්බන්ධ තරුණියක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් ගලේවෙල – පට්ටිවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණියක්. 42 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මව අහිමි 17 හැවිරිදි සැකකරුගේ දියණිය රැකවරණ නිවාසයක හැදී වැඩී ඇති අතර, අවුරුදු නිවාඩුව සඳහා නිවසට පැමිණ තිබෙනවා.

ඝාතනයට ලක්වූ තරුණිය ඇයගේ ඥාති තරුණියක් වන අතර, තනිව සිටිය නොහැකි නිසා එම නිවසේ තම දියණිය නතර කළ බවයි පියා ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, එහිදී තම දියණිය ඔවුන්ගේ නිවසේ රඳවාගෙන වයසින් වැඩි අයෙකුට විවාහ කරදීමට තැත්කළ බව ඝාතනය සිදුකළ පියා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

අවස්ථා කිහිපයකදීම දියණිය බැලීම සඳහා එම නිවසට ගියත් ඇය සඟවාගෙන සිටි නිසා උරණ වී ඥාති තරුණිය සේවය කරන පොත් අලෙවිසැලකට ගොස් ඊයේ (03) ඇයට තියුණු ආයුධයකින් පහරදී සැකකරු මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

******************************************

(04.04.2021 – 13:49 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අධ්‍යයනය කළ කමිටුවේ වාර්තාවේ හෙට (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීමට නියමිතව තිබෙනවා.

පසුගිය 15 වැනිදා එය භාරදීමට නියමිතව තිබුණත්, වැඩිදුර විමර්ශන සඳහා කමිටුව සති දෙකක (2) කාලයක් ලබාගත්තා.

ඒ අනුව කැබිනට් මණ්ඩලය රැස්වීමට පෙර හෙට (05) එය ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බවයි කමිටුවේ සාමාජික, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ගැන පාර්ලිමේන්තු කල් තැබීමේ විවාදය 04 වන දිනටත් අප්‍රේල් 07 වැනිදා පැවැත්වීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පසුගියදා සඳහන් කළා ෴

******************************************

පාස්කු වාර්තාවෙන් වරදකරුවෙකු කළ හිටපු ජනපති මෛත්‍රීට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්නැයි කාදිනල් හිමිපාණන් ඉල්ලයි

(04.04.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

පාස්කු කොමිසමේ වාර්තාවෙන් වැරදිකරුවෙකු ලෙස නම්කර ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ අද (04) පෙරවරුවේ පැවති පාස්කු දේව මෙහෙයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

මෙවර පාස්කු ඉරු දිනය යෙදී ඇති අද දිවයින පුරා කිතුණු දේවස්ථානවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යටතේ දේව මෙහෙයන් පැවැත්වුණා.

ඊට බැතිමතුන් විශාල පිරිසක් එක්ව සිටි බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති දේව මෙහෙයට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (04) පෙරවරුවේ සහභාගි වුණා ෴

++++++++++++++

******************************************

ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් මිශ්‍ර කිරීම තහනම් කෙරෙන ගැසට් නිවේදනය තවත් ප්‍රමාද වෙයි

(03.04.2021 – 20:02 +0530 – sinhala.adaderana.lk)

ආනයනික පොල් තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම තහනම් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කිරීමට තවත් මසකට අධික කාලයක් ගතවන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද (03) සඳහන් කළේය.

එහිදී ඔහු පෙන්වා දුන්නේ “මේ ගැසට් නිවේදනයට අදාළ සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කරලා අවසානයේ තමයි පාරිභෝගික අධිකාරිය විසින් ගැසට් නිවේදනය පළකළ යුතු වන්නේ. මාස එකහමාරක් (1½) වැනි කාලසීමාවක් තුළදී ගැසට් නිවේදනය පළ කිරීමට බොහෝ දුරට කටයුතු කරනවා.”

මේ අතර තෙල් සාම්පල සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමට පොල් සංවර්ධන අධිකාරිය ද අද (03) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී පොල් සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂක අශෝක රාජමන්ත්‍රී මහතා සඳහන් කළේ, “නිකුත් කරන ලද සාම්පලවල ප්‍රතිඵල අනුව අපිට ලැබිලා තියෙනවා සාම්පල 6 ක ප්‍රතිඵල. සාමාන්‍යයෙන් ඇෆලටොක්සීන් අගය මනින්නේ පොල් තෙල් අංශු ප්‍රමාණය මිලියන 100 කට කොයිතරම් ප්‍රමාණයක් ඇෆලටොක්සීන් අංශු තියෙනවාද කියලා. ඒකෙදි අපිට ලැබිලා තියෙනවා, 10 ට අඩුවෙන් තමයි සාම්පල 49 ක ලැබිලා තියෙන්නේ. 3 ක ලැබිලා තියෙනවා 17 ක්. තවත් 3 ක 13 ක් හා ඒ ආසන්න ප්‍රමාණවලින් ලැබිලා තිබුණා.”

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව පොල් තෙල්වල ඇෆලටොක්සීන් අගය 10 ඉක්මවා ගොස් ඇත්නම් එය කෑමට කිසිසේත් සුදුසු නොවන බව පොල් පර්යේෂණ ආයතනයේ පොල් සැකසුම් පර්යේෂණ අංශයේ අංශාධිපති ආචාර්ය චන්දි යාලේගම මහත්මිය පැවසුවාය.

++++++++++++++

Tissa Jananayake – Episode 127 – ආනයනික විෂ පොල් තෙල් (aflatoxin සහිත) පරිභොජනය කලොත් වෙන්නේ මොකක්ද? (30.05.2021)

******************************************

රටේ නම වෙනස් කිරීමට විද්වත් කමිටුවට යෝජනාවක්

(03.04.2021 – 18:51 +0530 – sinhala.adaderana.lk)

නව ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත් කළ විද්වත් කමිටුවට භික්ෂූන් වහන්සේලා අද (03) සිය අදහස් හා යෝජනා ඉදිරිපත් කරනු ලැබීය.

බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි නව ව්‍යවස්ථා සම්පාදන විද්වත් කමිටුව වෙත මෙලෙස භික්ෂූන් වහන්සේ සිය අදහස් හා යෝජනා ඉදිරිපත්කර තිබේ.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි සඳහන් කළේ “අපි මහපොළව ගැන විතරක් නෙමෙයි අහස සහ මුහුද, සතා සිවුපාවා ගැනත් කරුණු ඉදිරිපත් කළා. තවත් කරුණු රැසක් ගැන කරුණු ඉදිරිපත් කළා. අපි ඉදිරියේ දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉදිරිපත් කරනවා. ඒවා ඉටු නොකළොත් අපිට ඒ සඳහා ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද කියලත් අපිට වැඩපිළිවෙලක් අවශ්‍යයි, අපි ඉදිරියේ පොරොන්දු වූ ප්‍රශ්න එකකටවත් විසඳුම් ලබලා දීලා නෑ. ජාතියක් හැටියට අපි අසරණ වෙලා ඉන්නේ. ආණ්ඩුව කියන දේ අහන්නේ තැන්තම් ඒකටත් ප්‍රතිකර්ම තියෙනවා. ලුණු හැදෙන්නෙත් වතුරෙන් ලුණු නැති වෙන්නෙත් වතුරෙන් නේ” යනුවෙනි.

ශ්‍රී රෝහණ පාර්ශ්වය වෙනුවෙන් එහි අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමි අදාළ යෝජනාව භාරදීමෙන් අනතුරුව මෙලෙස අදහස් පළ කර තිබුණි.

“මේ රටේ නම සිංහලේ විය යුතුයි කියලා තමයි මම යෝජනා කළේ. මේ රටේ රාජ්‍ය භාෂාව සිංහල විය යුතුයි. ඊළඟට මේ රටේ ඓතිහාසික බෙදීම රුහුණු, මායා, පිහිටි කියන බෙදීම මුල්කර ගෙන පරිපාලනයේ බෙදීමක් ඇතිකළ යුතුයි. අපේ යෝජනා සඳහා වැඩි අවධානයක් යොමු කරයි කියලා හිතනවා.”

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ද සඳහන් කළේ, “මම යෝජනා කළේ ශ්‍රී ලංකා ජනරජය කියන නම. කිසිදු ආකාරයක බලය බෙදීමක් නොවිය යුතුයි.”

මේ අතර, පළාත් සභා අහෝසි කර දිස්ත්‍රික් සංවර්ධන සභාවක් බලගැන්වීම ඇතුළු නව ව්‍යස්ථාවට ඇතුළත් වියයුතු තවත් යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් භික්ෂු සංවිධාන විසින් අද (03) නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා පත් කළ විද්වත් කමිටුවට ඉදිරිපත් කර තිබුණි.

******************************************

නැව්වල දැවිතෙල් අවිධිමත්ව පරිසරයට බැහැර කරලා – සමාගම් කිහිපයකට එරෙහිව නීතිමය පියවර

(03.04.2021 – 08:51 +0530 – sinhala.adaderana.lk)

නැව් මගින් බැහැර කරන දැවිතෙල් විධිමත් නොවන ආකාරයෙන් පරිසරයට මුදාහැරීමට කටයුතු කළ සමාගම් කිහිපයකට එරෙහිව නීතිමය පියවර ගත් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

එම සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට මෙන්ම දඩ මුදල් නියම කිරීමට පියවර ගත් බවද එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සඳහන් කළේය.

දැවි තෙල් ප්‍රවාහනය කිරීම සඳහා ආයතන 23 ක් වෙත බලය හිමිව ඇති අතර ඉන් ආයතන දෙකක් දැවිතෙල් ගබඩා කිරීමේ කටයුතු සිදුකරයි.

නැව් මගින් බැහැර කරන දැවිතෙල් හේතුවෙන් පාරිසරික හානි මෙන්ම ජනතාවට විවිධ රෝගාබාධ ඇතිවීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවට පරිසරවේදීන් විසින් පෙන්වාදීමෙන් අනතුරුව ඒ පිළිබඳ නියාමන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් ලබාදී තිබුණි.

ඊට අදාළව GPS තාක්ෂණය ඔස්සේ නියාමන කටයුතු සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගත් බව එහි අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා පැවසීය.

එම නියාමන කටයුතු ඔස්සේ නැව් මගින් බැහැර කරන දැවිතෙල් විධිමත් නොවන ආකාරයෙන් පරිසරයට මුදාහැරීමට කටයුතු කළ සමාගම් හඳුනාගෙන තිබේ.

ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කළ අතර තවදුරටත් අදාළ නියාමක කටයුතු සිදු කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සඳහන් කළේය ෴

@@@@@@@@@@@@@@@@

(04.04.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (03) වාර්තා වූ ආසාදිතයින් 167 දෙනා සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 93,295 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (03) දිනයේ වාර්තා වූ ආසාදිතයින් අතර විදේශයන් හි සිට පැමිණි තිස් දෙදෙනෙකු (32) ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේම, ඊයේ (03) දිනයේ මරණ 08 ක්ද වාර්තා වූ අතර, ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 579 දක්වා ඉහළ ගියා.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොළඹ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සයිනොෆාම් එන්නත සඳහා හදිසි අනුමැතිය ලැබීමෙන් පසු මෙරට ජනතාවට එය භාවිත කිරීමට අපේක්ෂා කරන බවයි ෴

++++++++++++++++++++

(04.04.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදර, හිරිහැරවලට ලක්වීමෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 268 දෙනෙකු අද (04) අලුයම දිවයිනට පැමිණියා. ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින්.

ගුවන් තොටුපල වෙත පැමිණි මෙම පිරිස නිරෝධායන ක්‍රියාවලිය සඳහා රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකර තිබෙනවා ෴

++++++++++++++++++++

(04.04.2021 – 10:28 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 තුළ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. එම අගය 53 ක්.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් දස දෙනෙකු (10) වාර්තා වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

ඊයේ (03) දිනය තුළ හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 167 ක් වන අතර, දිවයිනෙන් මේ දක්වා වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 93,295 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *