සිංහල – දෙමළ අලුත් අවුරුදු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි

සිංහල – දෙමළ අලුත් අවුරුදු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි

*********************************************

සිංහල – දෙමළ අලුත් අවුරුදු සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් වෙයි

(03.04.2021 – 14:04 +0530 – hirunews.lk/sinhala)

නව ජීවන රටාවට අනුගත වෙමින් මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (03) නිකුත් කළා.

මේ වනවිට කොරෝනා වසංගතය පෙරටත් වඩා දරුණුව පැවතිය ද, පසුගිය අවුරුද්දේ අත්දැකීම් සමග, නීතිරීති යම් දුරකට ලිහිල් කිරීම මධ්‍යයේ මෙවර අවුරුද්ද සැමරිය හැකි බවයි එහි දැක්වෙන්නේ.

ඒ අනුව, මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුද්ද සැමරීමේදී, අවුරුදු ගමන් බිමන් යාමේදී, අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමේදී සහ අවුරුදු උත්සව පැවැත්වීමේදී දැඩි අවධානයකින් සහ ලබාදී ඇති උපදෙස් අනුව, කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවට, දැනුම් දෙනවා.

සියලුම අවුරුදු චාරිත්‍ර තම නිවසේදී සිදුකරන ලෙසත්, පුන්‍ය කාලයේදී පුන්‍ය කටයුතු හැකිතාක් දුරට නිවසට වී සිදුකරන ලෙසටත් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දෙනවා.

එසේම, නිවසේ සියලුදෙනා එකට එක්වී අවුරුදු ක්‍රීඩා කළ හැකි බවයි අදාළ මාර්ගෝපදේශයන්හි දැක්වෙන්නේ.

නෑදෑ ගමන් යාම, කැවිලි හුවමාරු කර ගැනීම මෙන්ම, නිවසින් පිටත බොහෝ පිරිසක් එකතු වී සිදුකරන අවුරුදු ක්‍රීඩා, අවුරුදු උත්සව සංවිධානය හැකිතාක් දුරට අවම කළ යුතු බව ද එම සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන් වනවා.

කෙසේ වෙතත්, ආරක්ෂිත ලෙස අවුරුදු උත්සව සංවිධාන කිරීම සඳහා අවසර ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අද (03) නිකුත් කළ මාර්ගෝපදේශ තුලින් කටයුතු කර තිබෙනවා. ඒ අනුව, අවුරුදු උත්සව වලදී සංවිධායකයින්, තරග සඳහා සහභාගි වන්නන් හා නරඹන්නන් අනුගමනය කළ යුතු උපදෙස් වෙන් වෙන්ව සඳහන් කර තිබෙනවා.

මේ අතර, අලුත් අවුරුදු උත්සව වල අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේදී කොරෝනා වසංගතය පැතිරීම අවම කිරීම සඳහා සැලකිලිමත් විය යුතු කරුණු ද සෞඛ්‍ය අමාත්‍යාංශය අද (03) නිකුත් කළ මාර්ගෝපදේශවල ඇතුළත් වනවා.

ඒ අනුව, කොරෝනා වසංගතය පැතිරිය හැකි අවදානම සලකා කඹ ඇඳීම සහ කොට්ටපොර ගැසීම යන ක්‍රීඩා පැවැත්වීම සුදුසු නොවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ. මීට අමතරව, අවුරුදු උත්සව වල සෙසු තරග පැවැත්විය යුතු ආකාරය ද එහි වෙන් වෙන්ව සඳහන් කර තිබෙනවා.

මේ අතර, අද (03) දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 320 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අනූදහසේ සීමාව ඉක්මවා යමින් 90,021 ක් ලෙසටයි දැක්වෙන්නේ. තවත් මරණ 4 ක් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 575 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

[ එම මාර්ගෝපදේශ මාලාව මෙතැනින් ]

+++++++++++++++++

අලුත් අවුරුදු මාර්ගෝපදේශ ප්‍රායෝගික නෑ – PHI සංගමය කියයි

(04.04.2021 – 12:48 +0530 – sinhala.adaderana.lk)

අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ මාලාව කිසිසේත් ප්‍රායෝගික නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මීට පෙර ද අවස්ථා කිහිපයකදී මාර්ගෝපදේශ නිකුත් කළ අතර එම මාර්ගෝපදේශ ද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වු බවය.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් ඊයේ (03) දිනයේ දී මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා මෙම අදහස් පළ කළේය.

“මහජනතාවට මාර්ගෝපදේශ නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විහිලුවක් වෙලා තියෙන්නේ. මුහුණු ආවරණ පැළඳ ගත්ත අවුරුදු කුමරා සහ කුමරිය තේරීම වැනි ජනතාවට විහිලු සපයන අංග සහ ආරක්ෂිත ක්‍රමවේද සඳහන් වෙනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කළේ කොවිඩ් රෝගීන් ලෙස හඳුනානොගත් පුද්ගලයින් රට පුරා සිටින අතර අවුරුදු උත්සව පැවැත්වුවහොත් අලුත් අවුරුද්දෙන් පසුව දිවයින පුරා කොවිඩ් රෝගය දැඩි ලෙස ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බවය.

++++++++++++++++

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 320 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 90,021 ක් වනවා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 98 දෙනෙකු හඳූනාගෙන තිබෙනවා ෴

අද (03) දිනයේ මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 37 ක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මෙරටින් අද (03) දිනයේ වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 135 ක් ෴

++++++++++++++++

(03.04.2021 – 19:33 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණය 04 ක් අද (03) වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 579 ක් දක්වා ඉහළ ගියා.

@@@@@@@@@@@@@@

(03.04.2021 – 14:58 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සතියේ පැවති තේ වෙන්දේසියේදී මෙරට තේ නිෂ්පාදනවල මිල අඩුවීමක් දක්නට ලැබුණා. ඒ මාස 10 ක පමණ කාලයක් තේ මිල ඉහළ මට්ටමක පැවතීමෙන් අනතුරුවයි.

පසුගිය සතියේ තේ වෙන්දේසියේදී තේ කිලෝග්‍රෑමයක මිල රුපියල් 20 ත් 30 ත් අතර ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය කැපී පෙනෙන ලෙස අවප්‍රමාණ වීමද මෙලෙස තේ මිල පහත වැටීමට හේතුවක්.

සිංහල දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු තේ අස්වැන්නේ ප්‍රමිතිය පහත වැටීමේ ප්‍රවණතාව ද ඒ සඳහා බලපා තිබෙනවා.

මේ හේතුවෙන් බටහිර බෑවුම් වැවිල්ලේ තේ සඳහා ලැබුණ මිල කිලෝවකට රුපියල් 30 ත් 50 ත් අතර ප්‍රමාණයකින් පහත වැටීම විශේෂත්වයක්. කොළඹ තේ වෙන්දේසියේදී පසුගිය සතියේදී තේ නිෂ්පාදන මිලදී ගත් රටවල් අතර ඉරානය, රුසියාව සහ නිදහස් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් පෙරමුණේ සිටිනවා ෴

******************************************

(03.04.2021 – 15:58 +0530 – hirunews.lk/sinhala)

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසය අවසන් වීමට පෙර ලබාදීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ප්‍රකාශ කළා. ඒ මහනුවර ගලගෙදර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

******************************************

(03.04.2021 – 17:54 +0530 – hirunews.lk/sinhala)

කතරගම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (03) කතරගම නගරයේ සෝදිසි මෙහෙයුමක නිරතව තිබෙනවා.

මුව ආවරණ නොමැති පුද්ගලයින් හඳුනා ගැනීම, ප්‍රසිද්ධ ස්ථානවල දූම් පානය කරන පුද්ගලයන් වැටලීම සහ ආහාර වෙළද සැල් පරීක්ෂා කිරීම වැටලීමේ ප්‍රධාන අරමුණ වී තිබුණා.

කතරගම පූජා භූමියේ මුව ආවරණ නොමැතිව සැරිසැරූ කිහිප දෙනෙකුට නිරෝධායන නීති කඩ කිරීම යටතේ නඩු පැවරූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම භාවිතයට නුසුදුසු හාල්මැස්සන්, අර්තාපල්, සොසේජස් යන භාණ්ඩ ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව එම වෙළඳසැල්වල හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම මෙහෙයුමේදී මුව ආවරණ නොමැතිව සැරිසැරූ තරුණයෙකුට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් උපදෙස් ලබා දෙන අතරතුර එම තරුණයාගේ මව නිලධාරීන් ඉදිරිපිට වැඳ වැටෙන ආකාරයක් අප වාර්තාකරුගේ කැමරාවේ සටහන්ව තිබුණා.

******************************************

(03.04.2021 – 19:21 +0530 – hirunews.lk/sinhala)

හෙටට (04) යෙදෙන පාස්කු ඉරුදින වෙනුවෙන් දිවයිනේ කතෝලික දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් යෙදවීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

මේ අතර පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කර අමාත්‍ය කමිටුවේ වාර්තාව එළඹෙන සඳුදා (05) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බාරදීමට නියමිතයි.

මෙවර පාස්කු ඉරුදිනය යෙදී ඇති හෙට (04) දිවයින පුරා කතෝලික පල්ලි කේන්ද්‍ර කරගනිමින් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.

නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ ශුද්ධ වූ සතිය තුළ සහ පාස්කු ඉරිදා දිනයේ රටතුළ ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන ඇති බවයි.

මෙම කාලසීමාව තුළ දැඩි අවධානයෙන් සිට රට තුළ ආරක්ෂක විධි විධාන තර කරන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ට සහ ත්‍රිවිද හමුදාපතිවරුන්ට විශේෂ උපදෙස් ලබාදී ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව කතෝලික ජනතාව බහුලව වෙසෙන මීගමුව, හලාවත, මඩකලපුව යන දිස්ත්‍රික්කවල සහ දිවයිනේ අනෙකුත් කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා.

2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කයක් වූ කොළඹ – කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ආශ්‍රිතව විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

මීගමුව – කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයද ත්‍රස්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් වුණා.

එම දේවස්ථානය ආශ්‍රිතවද පාස්කු ඉරුදින වෙනුවෙන් විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා.

මේ අතර, පාස්කු කොමිසමේ අවසන් වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ අමාත්‍ය කමිටුවේ වාර්තාව ලබන සඳුදා ජනාධිපතිවරයාට භාරදෙන බව එම කමිටුවේ සාමාජික අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළා.

******************************************

(03.04.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය ජනතා ගැටලු‍ විසදීමේ අරමුණින් පැවැත්වෙන ‘ගම සමඟ පිළිසඳර’‍ 17 වැනි වැඩසටහන වව්නියාව දිස්ත්‍රික්කයේ වෙඩිවෛත්‍යකල්ලු‍ ග්‍රාමයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) ආරම්භ වුණා.

මෙය උතුරු පළාතේ දියත් කෙරෙන පළමු ‘ජනපති ‍ගම සමඟ පිළිසඳර’ වැඩසටහනයි.

අද (04) පෙරවරුවේ එය ආරම්භ වූයේ වව්නියාව උතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු‍ ග්‍රාමසේවා වසමේ බෝගස්වැව මහා විද්‍යාල භූමියේදීයි.

පවුල් 478 කට අයත් 1520 ක පමණ ජනතාවක් ජීවත්වන වෙඩිවෛත්‍යකල්ලු‍ ග්‍රාමයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ වී සහ හේන් ගොවිතැනයි.

පානීය සහ වගා ජල ගැටලු‍වට විසඳුමක් ලබාගැනීමයි දීර්ඝ කාලයක සිට ගැටලු‍ රැසකින් පීඩා විඳින මෙම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීමක් වනවා. මේ එහිදී අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා :

******************************************

(03.04.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

වෙළඳ අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

හම්බන්තොටදී ඊයේ (02) පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ රටේ ආර්ථිකය දුර්වල වීමට වෙළඳ අමාත්‍යවරයා වගකිවයුතු බවයි.

******************************************

පිළිකා කාරක පොල්තෙල් ගැන ආණ්ඩුව තුළ මත ගැටුම්

(03.04.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala)

පොල්තෙල්වල පිලිකා කාරක අඩංගු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් වන අතර මත ගැටුමක් හට ගෙන තිබෙනවා.

ඒ පොල්තෙල් වල පිලිකා කාරක අඩංගු බවට ආචාර්ය විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කිරීමත් සමගයි.

ඊට ප්‍රතිචාර දක්වමින් වෙළඳ අමාත්‍යවරයා කියා සිටියේ යම් විෂයක් සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් ඇති පුද්ගලයින් පමණක් ඒ පිළිබඳව අදහස් දැක්විය යුතු බවටයි.

සමාගම් 3 ක් විසින් ආනයනය කළ පොල්තෙල්වල පිළිකා කාරක අඩංගු බැවින් ප්‍රතිඅපනයනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර තිබියදී ඒවා අදාළ සමාගම්වල ගබඩා වෙත මුදා හැරීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළා.

ඒ සමඟ වෙළඳපොලේ ඇති පොල්තෙල් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් සමාජය තුල දැඩි කතාබහක් මතුවුණා.

ඒ අනුව පාරිභෝගික අධිකාරිය දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි සාම්පල ලබාගෙන පරීක්ෂා කළ අවස්ථාවේ ඉන් සාම්පල 55 ක පිළිකා කාරක අඩංගු නොවූ බවටයි පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් දෂිත නිරෝෂණ පසුගිය දා ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා චෝදනා කර සිටින්නේ පර්යේෂණ වාර්තා අනුව, සාම්පල බහුතරයක ඇෆ්ලටොක්සීන් පිලිකා කාරකය අඩංගු බව තහවුරු වී ඇතත්, පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හිතාමතාම එම පොල්තෙල් මහජනතාවට පරිභෝජනය කිරීමට සලස්වා ඇති බවයි.

විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ මෙම චෝදනාවට ප්‍රතිචාර දක්වමින් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න කියා සිටියේ ඒ පිළිබඳව නිවැරදිව ප්‍රකාශ කල හැක්කේ ප්‍රාමාණික දැනුමක් ඇති විශේෂඥ පිරිස් වලට පමණක් බවයි.

මේ අතර, දේශීය පොල්තෙල් නිෂ්පාදයන් දිරිගැන්වීම සඳහා වියළි පොල්මද හෙවත් කොප්පරා ආනයනයට 2020 වසරේ දෙසැම්බර් මස 21 වනදා අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවට සමස්ත ලංකා පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කර සිටිනවා.

එමෙන්ම පොල්තෙල්වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීම සඳහා අවසර ලබාදෙන පරිදි නිකුත් කර තිබූ ගැසට් නිවේදනය අවලංගු කරන බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා ප්‍රකාශ කළා.

එලෙස පොල්තෙල් වලට වෙනත් තෙල් වර්ග මිශ්‍ර කිරීමේ හැකියාව ඇති බවට ප්‍රකාශ වන අයුරින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබුණේ රිෂාඩ් බදියුදීන් විෂයභාර අමාත්‍යවරයාව සිටියදි 2016 වසරේ ඔක්තෝම්බර් මස 7 වනදායි.

කෙසේ වෙතත් අදාළ ගැසට් නිවේදනය අහෝසි කරමින් මේ දක්වා ගැසට් නිවේදනයක් නිකුත් වී නැහැ.

******************************************

(03.04.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශන තුළින් ජනතාවට ලබාදෙන පොරොන්දු ඉටු නොකරන්නේ නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ වැඩපිළිවෙළක් නව ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංස හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සදහන් කළේ නව ව්‍යවස්ථාව සඳහා ව්‍යවස්ථාදායක කමිටුව වෙත යෝජනා භාරදෙමින්.

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරිම සඳහා දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවල යෝජනා භාරගැනකීම වෙනුවෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ස්ථාපිත කර ඇති ව්‍යවස්ථා කමිටුවටනව ව්‍යවස්ථාවට සහ සිවිල් සංවිධාන කිහිපයක් අද (03) සිය යෝජනා භාරදුන්නා.

******************************************

(03.04.2021 – 22:45 +0530 – hirunews.lk/sinhala)

පරිසර විනාශයට එරෙහිව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය ඇතුලු පරිසර සංවිධාන කිහිපයක් අද (03) කොළඹදී විරෝධතාවක නිරත වුණා.

එම අවස්ථාවට ආදිවාසීන් පිරිසක්ද එක්ව සිටියා.

මෙම විරෝධතාව අද (03) පස්වරුවේ ආරම්භ කෙරුණේ විහාරමහා දේවී උද්‍යානය අසලින්.

පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය අසළ උද්ඝෝෂණ පැවැත්වෙන ස්ථානයට පැමිණි පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වුණා.

අනතුරුව ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට පාගමනින් පැමිණ අන්තර්ජාලය හරහා අත්සන් ලබාගත් මහජන පෙත්සමක්ද භාරදුන්නා.

******************************************

(03.04.2021 – 22:54 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කාලය පුරා දිගින් දිගටම අන්තවාදීන්ගේ ප්‍රහාරයන්ට ගොදුරු වු මාවනැල්ල ඓතිහාසික දෙවනගල විහාරස්ථානයේ වාහල්කඩ සඳහා මුල්ගල් තැබීම අද (03) උත්සවාකාරයෙන් සිදු කෙරුණා.

පුරා විද්‍යා ස්මාරකයක් වන දෙවනගල පුදබිම ආශ්‍රිතව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කෙරෙන්නේ ‘හිරු සී.අයි.ඒ.’ හරහා අනාවරණය කිරීමෙන් අනතුරුවයි.

මාවනැල්ල – ඓතිහාසික දෙවනගල රජමහා විහාරස්ථානයේ ඉතිහාසය මකා දැමීමට අන්තවාදීන් විසින් කලක පටන් විවිධාකාරයේ ක්‍රියාවල නිරත වන අතරතුරුයි ඒ පිළිබඳ ‘හිරු සී.අයි.ඒ.’ හරහා ඒ පිළිබදව රටට හෙළි කලේ.

අපගේ හෙළිදරව් කිරීම් සමග කුපිත වු අන්තවාදීන් දෙවනගල විහාරස්ථානයේ දේපළවලට අවස්ථා ගණනාවකදී හානි කිරීමට කටයුතු කර තිබුනේ මෙලෙසින් එම ප්‍රහාරයන් අතරවාරයේ අද (03) ඓතිහාසික දෙවනගල ප්‍රධාන පිවිසුමේ වාහල්කඩ ඉදිකිරීමට මුල් ගල තැබුණු අතර ඒ සදහා මහා සංඝරත්නයල ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

දෙවනගල පුදබිම බේරාගැනීම සදහා හිරු ප්‍රවෘත්ති සිදුකළ මෙහෙවර සම්බන්ධයෙන් එහිදීද අදහස් පළ කෙරුණා.

******************************************

(04.04.2021 – 06:33 +0530 – hirunews.lk/sinhala)

කිතුණු බැතිමතුන් ඉමහත් භක්තියෙන් සමරනු ලබන පාස්කු ඉරිදා අදයි.

මේ අතර පාස්කු ඉරිදා දින දේව මෙහෙයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ දිවයින පුරා පිහිටි දේවස්ථාන 1944 ක් ආශ්‍රිතව මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි.

ඊට පොලිස් නිලධාරීන් 9356 ක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 146 ක් සහ ත්‍රිවිද හමුදා සාමාජිකයන් ඇතුලුව දොළොස් දහස් හතලිස් දෙනෙකු (12,040) ඇතුලත්.

දේව මෙහෙයන් පැවැත්වෙන සෑම දේවස්ථානයක් ආශ්‍රිතවම මෙම ආරක්ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

එමෙන්ම පොලිස් මූලස්ථානය විසින් පොලිස් ස්ථානාධිපතිවරුන් මෙන්ම පොලිස් කොට්ඨාශ භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ දේව මෙහෙයන් වෙනුවෙන් උපරිම ආරක්ෂාවක් ලබාදෙන ලෙසටයි.

මීට අමතරව සිවිල් ඇඳුමින් සැරසුනු නිලධාරීන් ද මෙම ආරක්ෂක වැඩසටහනට එක්ව සිටිනවා.

විශේෂයෙන් මීගමුව ප්‍රදේශයේ දේවස්ථාන 111 ක්, හලාවත ප්‍රදේශයේ දේවස්ථාන 101 ක් සහ මඩකලපුව ප්‍රදේශයේ දේවස්ථාන 98 ක් ද ඇතුලුව දිවයින පුරා ආරක්ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ ශුද්ධ වූ සතිය තුළ සහ පාස්කු ඉරිදා දිනයේ රටතුළ ආරක්ෂාව තරකිරීමට පියවර ගෙන ඇති බවයි.

මෙම කාලසීමාව තුළ දැඩි අවධානයෙන් සිට රට තුළ ආරක්ෂක විධි විධාන තර කරන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන්ට සහ ත්‍රිවිද හමුදාපතිවරුන්ට විශේෂ උපදෙස් ලබාදී ඇති බවද එහි වැඩිදුරටත් සඳහන්.

ඒ අනුව කතෝලික ජනතාව බහුලව වෙසෙන මීගමුව, හලාවත, මඩකලපුව යන දිස්ත්‍රික්කවල සහ දිවයිනේ අනෙකුත් කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *