අන්තවාදී ‘වට්ස් ඇප් ගෲප්’ එකේ අන්තිම දෙකත් (2) අත්අඩංගුවට

අන්තවාදී ‘වට්ස් ඇප් ගෲප්’ එකේ අන්තිම දෙකත් (2) අත්අඩංගුවට

*********************************************

අන්තවාදී ‘වට්ස් ඇප් ගෲප්’ එකේ අන්තිම දෙකත් (2) අත්අඩංගුවට

(02.04.2021 – aruna.lk)

අන්තර්ජාලය ඔස්සේ වහබ්වාදය සහ අන්තවාදී ක්‍රියා ප්‍රවර්ධනය කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම සැකකරුවන් මඩකළපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 28 ක් සහ 29 ක් වන අය බවයි.

මෙම පුද්ගලයින් දෙදෙනා (2) පසුගිය නොවැම්බර් මස 21වන දින කටාර් රාජ්‍යයේ සිට පිටුවහල් කර එවන ලද කණ්ඩායමේ හයදෙනාගෙන් (6) ඉතිරි දෙදෙනා (2) වන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මීට පෙර පුද්ගලයින් සිව්දෙනෙකු (4) ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලදී.

මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ කටාර් රාජ්‍යයේ සිට ‘වන් උම්මා’ යන ‘වට්ස් ඇප්’ සමාජ මාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකාවට විවිධාකාරයේ තොරතුරු එවීම සහ එමගින් ශ්‍රී ලංකාවේ විවිධ ජන කොටස්වල ජනතාව වහබ්වාදය සහ අන්තවාදයට යොමු කිරීම යන කරුණු වලට අදාළව බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා :

******************************************

‘ෆේස්බුක්’හි ඡායාරූපයක් පළවීමෙන් පසු ඇති වූ අවුල නිසා දේවානී ජයතිලක ගත් දැඩි තීරණය

(02.04.2021 – mawbima.lk)

තමන් කිසිදු දේශපාලන පක්ෂයකට හිතවාදීව කටයුතු නොකරන බව ගම්පහ දිසා වන නිලධාරිනී දේවානී ජයතිලක මහත්මිය පවසයි.

ඇය ප්‍රකාශ කළේ, යම් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන කාන්තාවක සමග ගත් ඡායාරූපයක් භාවිත කරමින් ඇතැම් පිරිස් තමන් එම පක්ෂයට හිතවාදීව කටයුතු කරන බවට වැරදි මතයක් සමාජගත කිරීමට ගත් උත්සහය ගැන කනගාටු වන බවය.

තමන් හමුවීමට පැමිණි නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය සමග තමන් ඡායාරූපයකට පෙනී සිටි පමණින් තමන් ඇය නියෝජනය කරන දේශපාලන ව්‍යාපාරයකට සම්බන්ධ බවට මඩ ප්‍රචාර එල්ල කිරීම පිළිගත නොහැකි බවය.

මෙම තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී කිසිවෙකු සමග ඡායාරූපවලට පෙනී නොසිටීමටත්, කිසිදු පාර්ශවයක් සමග ස්වේච්ඡා සේවාවන්වල නිරත නොවීමටත් තීරණය කළ බව දේවානී ජයතිලක මහත්මිය මව්බිම වෙබ් අඩවියට පැවසීය.

“මට දැන් කිසි ම වැඩකට යන්න බයයි. ඒ වැඩවලට කවුරු හරි දේශපාලකයෙක් ආවොත් ඡායාරූපයක් අරන් සමාජ මාධ්‍යවල දායි මම ඒ දේශපාලන පක්ෂයට සම්බන්ධයි කියලා. ඒ නිසා මම ටික කාලෙකට ඒ වගේ වැඩවලට සහභාගි නොවෙන්න තීරණය කළා,” දේවානී ජයතිලක මහත්මිය ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් සිය ‘ෆේස්බුක්’ ගිණුමෙහි සටහනක් තබමින් දේවානී ජයතිලක මහත්මිය සඳහන් කර තිබුණේ, තමන් සමග ගත් ඡායාරූපය නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය විසින් අවභාවිත කරනු ලැබ ඇති බවය.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අදහස් දැන ගැනීම සඳහා අපි නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය ඇමතීමු.

ඇය ප්‍රකාශ කළේ, තමන් අදාළ ඡායාරූපය කිසිදු දේශපාලනික අරමුණක් සහිතව හෝ එවැනි සටහනක් සහිතව පළ නොකළ බවය.

“මගේ මිතුරෙක් මට කියල තිබුණා දේවානී ජයතිලක මහත්මියට නීති උපදෙස් අවශ්‍ය වෙලා තියෙනවා කියලා. ඒ අනුව මම ගම්පහ ප්‍රදේශයේ රැස්වීමකට ගිය අතරතුර දේවානිගේ ගෙදරට ගිහින් ඇය මුණ ගැසුණා. ඒ ඇයගේ ඉල්ලීම මත. එයා මම කවුද කියන එක මම යන්න කලින් ම දැනගෙන හිටියා. එහිදී අපි කිසි ම ආකාරයකින් දේශපාලනය ගැන කතා කළේ නැහැ. ඒ වෙලාවේ ඇයගේ කැමැත්ත ඇතිව මම ඇයත් සමග ගත්ත ඡායාරූපයක් “හමුවීම්” කියන සිරස්තලය එක්ක ‘ෆේස්බුක්’ එකේ පළ කළා. එපමණයි වුණේ. පස්සේ මේ ගැන ඇති වූ යම් වැරදි වටහා ගැනීමක් මත ඇය කිව්වා ඒ ඡායාරූපය ඉවත් කරන්න කියලා. ඒ නිසා මම ඒක ඉවත් කළා.”

නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය සිද්ධිය විස්තර කළාය.

ඇය ප්‍රකාශ කළේ, එම ඡායාරූපය භාවිත කරමින් වෙනත් පාර්ශවයක් විසින් වැරදි මතයක් සමාජගත කිරීමට උත්සහ කර ඇති බවය.

“මම කනගාටු වෙනවා මේ සිද්ධිය ගැන. දේවානී ජයතිලක කියන්නේ සමාජයට යහපත් දෙයක් කරන්න උත්සහ කරන කෙනෙක්. මගෙත් අරමුණ ඒක. ඒ නිසා අපි දෙන්නා අතර ප්‍රශ්නයක් ඇති වෙනවට මම කැමති නැහැ. එහෙම වුණොත් ඒකෙනුත් වාසි ගන්නෙ වෙනත් පාර්ශව. මම මේ ප්‍රශ්නය මෙතනින් එහාට ගෙනියන්න උත්සහ කරන්නෙ නෑ,” නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය සඳහන් කළාය.

දේවානී ජයතිලක මහත්මිය මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ වන සංරක්ෂණය වෙනුවෙන් විශාල හඬක් නගමින් සිටින අතර අවස්ථා කිහිපයකදී ම ඇය දේශපාලකයින්ගේ බලපෑම් හමුවේ පරිසර විනාශයට එරෙහිව දැඩි ස්ථාවරයක පසු විය ෴

******************************************

(02.04.2021 – 08:38 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති නීතීඥවරයෙකු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස ව්‍යාජව පෙනී සිටිමින් වංචා සහගතව මුදල් ලබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(02.04.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අසල ගබඩාවක තිබී පොලිස් භාරයට ගත් සැකකටයුතු පොල්තෙල් ලීටර 20,000 පිළිබඳව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බව පොලිසිය සඳහන් කළා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ අදාල සැකකටයුතු පොල් තෙල් තොගය සම්බන්ධයෙන් කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට නොහැකි වීම හේතුවෙන්.

දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානය අසල ගබඩාවක තිබූ සැක කටයුතු පොල් තෙල් කන්ටේනරයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු (2) ඊයේ (01) අත්අඩංගුවට ගත්තා.

ඒ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතාට ලද තොරතුරක් මත දඹුල්ල නගර සභාව සහ පොලීසිය එක්ව සිදුකළ වැටලීමකදීයී.

එහිදී අදාළ පොල් තෙල් තොගය කුමන ප්‍රදේශයක සිට රැගෙන ආවේද යන්න සහ එහි ප්‍රමිතිය පිළිබඳව තහවුරු කෙරෙන කිසිදු ලියකියවිල්ලක් ඉදිරිපත් කිරීමට කන්ටේනර් රථ රියදුරු සහ ගබඩා භාරකරු සමත්ව නැහැ.

ඒ අනුව සැක කටයුතු පොල් තෙල් ලීටර් 20,000 ක පමණ ප්‍රමාණයක් පොලීසිය භාරයට ගෙන ගබඩාව මුද්‍රා තබා තැබීමට මෙලෙස කටයුතු කළා.

ඒ අනුව අදාල සැකකටයුතු පොල්තෙල් තොගය මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල මහේස්ත්‍රාත්වරයාට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කිරීමට නියමිතයි.

අනතුරුව අදාළ තෙල් තොගයේ සාම්පල ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය වෙත යොමු කිරීමට නියමිත බව දඹුල්ල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සදහන් කළා.

මේ අතර ඇෆ්ලටොක්සීන් අඩංගු බවට සැකකෙරෙන තෙල් බවුසර 2 ක් දංකොටුව ප්‍රදේශයේ සඟවා තිබියදී පසුගිය අඟහරුවාදා පොලිසිය සොයා ගත්තේද මෙවන් පසුබිමක් තුළයි.

මේ අතර මෙරටට ආනයනය කළ පිරිපහදු නොකළ පොල්තෙල් තොගයක ඇෆ්ලටොක්සීන් නම් පිළිකාකාරකය අඩංගුබව පසුගියදා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර ආරක්ෂණ ඒකකය මගින් තහවුරු කරනු ලැබුවා.

ශ්‍රී ලංකා රේගුව ආනයනකරුවන්ට නියෝග කළේ ඒ අනුව එම තෙල් තොග නැවත අදාළ රට වෙත හරවා යවන ලෙසයි.

එම තෙල් තොග ගබඩා කර තිබූ ආයනයකරුවන්ගේ පෞද්ගලික ගුදම් මුද්‍රා තබා පාරිභෝගික අධිකාරියද එහි සම්පල ලබා ගත් අතර ඒවා පරික්ෂාව සඳහා කාර්මික තාක්ෂණ ආයතනයට යොමු කෙරුණා.

එම වාර්තාව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලබා දී ඇති අතර එම පර්යේෂණයෙන්ද අදාළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය අඩංගු බවට තහවුරු වුණා.

ඒ අනුව අදල සමාගම් තුනෙහිම (3) ප්‍රශ්නගත පොල්තෙල් තොග හැකි ඉක්මනින් ප්‍රතිඅපනයනය කිරීමට පියවර ගැනීමට නියමිත බව පාරිභෝගික ආරක්ෂණ අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළා.

******************************************

(02.04.2021 – 09:19 +0530 – hirunews.lk/sinhala)

ලංකා විදුලිබල මණ්ඩලය කොළඹ කොටස් වෙළඳපොල හරහා බැඳුම්කර නිකුතුවක් ඉදිරිපත් කිරීමට සැරසෙනවා.

පස් වසරකින් (5) කල් පිරෙන එම බැඳුම්කර මිලියන 100 ක් කොටස් වෙළඳපොලට නිකුත් කරන අතර, ඒ සඳහා වාර්ෂිකව සියයට 9.35 ක පොලියක් හිමිවනු ඇති.

එමඟින් රුපියල් බිලියන විස්සක් (20) උපයා ගැනීම විදුලිබල මණ්ඩලයේ අපේක්ෂාවයි.

විදුලිබල මණ්ඩලයේ බැඳුම්කර අප්‍රේල් 8 වනදා වෙළඳපොලට නිකුත් කෙරෙනවා.

විදුලිබල මණ්ඩලය මෙලෙස බැඳුම්කර නිකුතුවක් ප්‍රකාශයට පත් කර ඇත්තේ ප්‍රථම වතාවටයි.

එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියට පසු කොළඹ කොටස් වෙළඳපොල හරහා බැඳුම්කර නිකුතුවක් සිදුකරන දෙවන (2) මූල්‍ය නොවන රාජ්‍ය ආයතනය විදුලිබල මණ්ඩලයයි ෴

******************************************

(02.04.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින සැකකරුවෙකුට හෙරොයින් මත්ද්‍රව්‍ය බවට සැකකළ හැකි ද්‍රව්‍යයක් සහ දුම්කොළ ලබාදීමට තැත්කළ කාන්තාවක් බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තුවායක් තුළ සූක්ෂම ලෙස සඟවා ගෙන රැගෙන විත් ඇති මෙම ද්‍රව්‍ය වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට වෙස්ලි මුරපොලේ රාජකාරි සිදුකළ නිලධාරියෙකු විසින් ඊයේ සොයා ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ.

එහි තිබී හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් සහ දුම්කොළ ග්‍රෑම් 41 ක් සොයා ගැනුනා. අත්අඩංගුවට ගත් 77 හැවිරිදි කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා බොරැල්ල පොලීසියට භාරදී තිබෙනවා.

******************************************

(02.04.2021 – 10:46 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (01) දිවයින පුරා සිදුවු මාරක රිය අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත 12 ක් අහිමි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙම අනතුරුවලින් මාර්ගයේ ගමන් ගත් පදිකයින් පස්දෙනෙකු (5), ලොරියක ගමන් ගත් පුද්ගලයෙකු (1), ත්‍රීරෝද රථ වල ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනෙකු (4) සහ යතුරුපැදිකරුවන් දෙදෙනකු (2) ගේ ජීවිත අහිමි වුණා.

එමෙන්ම කාන්තාවන් තිදෙනකු (3) මරණයට පත් කරමින් තවත් පුද්ගලයකුට (1) බරපතළ තුවාල සිදු කරමින් ඊයේ (01) නුවරඑළිය හග්ගල ප්‍රදේශයේදී අනතුරක් සිදු කර පළාගිය කන්ටේනර රථයේ රියදුරා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

මෙම කන්ටේනර් රථය කඳාන ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවට අයත් එකක් බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ.

අදාළ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ කරන නුවරඑළිය පොලිසිය වාර්තා කරන්නේ මෙම රියදුරා අදාළ සමාගමට ලබාදී ඇති ජීව දත්ත තොරතුරු ද ව්‍යාජ ඒවා බවයි.

මෙම රියදුරා මෙම ආයතනයට ලබාදී ඇති ලිපිනය ව්‍යාජ එකක් බවත් හෙළිවී තිබෙනවා.

කරුණු මෙසේ හෙයින් ආයතන වලට රියැදුරන් ඇතුළු සේවකයන් බඳවා ගැනීමේදී ඔවුන්ගේ ජීව දත්ත තොරතුරු පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එමෙන්ම පසුගිය වාර්තා සංසන්දනය කර බැලීමේදී වසරේ අනතුරු වැඩිම කාල සීමාව අප්‍රේල් මාසයේ දහවෙනිදාත් (10) විසිවෙනිදාත් (20) අතර වන නිසා මෙම කාලය තුළ වඩාත් සැලකිල්ලෙන් රිය පැදවීම සහ මහමඟ ගමන් කිරීම සිදුකළ යුතු බවටයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

******************************************

(02.04.2021 – 12:48 +0530 – hirunews.lk/sinhala)

මේ අතර ආනයනික පිළිකාකාර සහිත පොල්තෙල් සම්බන්ධයෙන් ‘හිරු ටී.වී. බලය’ දේශපාලන වැඩසටහනේදීද සාකච්ඡාවට ලක්වුණා.

මේ අතර යහපාලන රජය සමයේ සිදු වූ දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡාවට ලක්වුණා.

******************************************

(02.04.2021 – 13:04 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට – වල්සපුගල යෝජිත වන අලි කළමණාකරන රක්ෂිතය ගැසට් කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගෙන ගොවි ජනතාව ආරම්භ කළ සත්‍යග්‍රහයට මේ වන විට දින 76 ක් ගත වනවා.

ඔවුන් මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ පසුගිය ජනවාරි මස 18 වනදායි.

මේ අතර සත්‍යග්‍රහයේ නිරත වූ පුද්ගලයෙකුගේ නිවසට පසුගිය දා වන අලියෙකු පහර දීමේ සිද්ධියක් ද වාර්තා වූණා.

එසේම මඩකළපුව – වෙල්ලාවලි – මලයර්කට්ටු – සින්නවත්ත ප්‍රදේශයේ ජනතාවද වන අලි ගැටලුව නිසා පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

ගතවූ මාස දෙකක (2) කාලය තුළ එම ප්‍රදේශයේ පුද්ගලයින් 6 දෙනෙකු වන අලි ප්‍රහාරවලින් මියගොස් ඇති බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.

මේ අතර පොළොන්නරුව – ඇලහැර ප්‍රදේශයේ ජීවත් වන ජනතාව මුහුණ දෙන වන අලි ගැටලුව පිළිබඳ බකමූණ – ඇලිකිඹුලාවල ප්‍රදේශයේදී අලි මිනිස් සුරක්ෂිතය සංවිධානය අද (02) මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

******************************************

(02.04.2021 – 13:26 +0530 – hirunews.lk/sinhala)

මේ දැරණියගල – මංචනායක මාවතේ සමන් සුරිඳුගම ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින පාලමයි.

මාර්ගය හරහා ඇති පැරණි පාලම කඩා දමා ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා මේ වන විට මාස 2 කට ආසන්න කාලයක් ගතවනවා.

නව පාලම ඉදිකිරීමේදී ජනතාවට විකල්ප මාර්ගයක් ආසන්නයෙන් සකසාදිය යුතු වුවත් කොන්ත්‍රාත්කරුවන් හෝ බලධාරීන් ඒ පිළිබඳ අවධානය යොමුනොකිරීමෙන් ප්‍රදේශවාසීන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

මේ හේතුවෙන් සමන් සුරිඳුගම, නාවෙල, ඉලුක්තැන්නවත්ත ඇතුළු ගම්මාන 6 ක පමණ ජනතාවට ගමනාගමන පහසුකම්වලදී විඳීමට සිදුවන ගැහැට සුළුපටු නැහැ.

පාසල් ළමුන් 300 ක් පමණ දිනකට මෙම මාර්ගය භාවිත කරන අතර ඔවුන්ද දැඩි දුෂ්කරතාවයන්ට මුහුණදෙන බව ප්‍රදේශවාසීන් පවසනවා.

මාර්ගය හරහා ඇති අබලන් වූ පාලම වෙනුවට නව පාලමක් ඉදිකර දීම කාලෝචිත වුවත් ඉදිකිරීම් සිදුවන කාලය තුළ ජනතාවට අපහසුතාවයකින් තොර විකල්ප මාර්ග පහසුකම් සලසාදීම බලධාරීන් සතු වගකීමක් නොවේද?

‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

******************************************

(02.04.2021 – 14:18 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන අලුත් අවුරුදු උත්සවය සමයේ ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ දුම්රිය 21 ක් ධාවනයට යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ.ඩී. එස් ගුණසිංහ මහතා කියා සිටියේ ලබන 09 වන දා සිට එම විශේෂ දුම්රිය ධාවනය සිදු කෙරෙන බවයි.

මීට අමතරව සාමාන්‍ය පරිදි ධාවනය වන සියලු දුරගමන් සේවා දුම්රිය එලෙසම ධාවනය කෙරෙන බවද වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කළා.

මේ අතර ගම් බිම් බලා යන ජනතාව සඳහා දුරගමන් සේවා සඳහා අමතර බස් රථ 200 ක් හෙට සිටම ධාවනයට යොදවා ඇති බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා ෴

******************************************

(02.04.2021 – 14:47 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවත්ත – ධර්මාරාම මාවත ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක අල්කුරාන් ග්‍රන්ථ 14,000 ක් සහිත පොත් ගබඩාවක් පොලීසිය විසින් මුද්‍රා තබා තිබෙනවා.

ඒ එම පාසල තුල නීති විරෝධී ලෙස ගෙන්වූ පොත් තොගයක් පවතින බවට ලද තොරතුරක් මත සිදු කල පරික්ෂාවකදීයි.

එහෙත් අදාල ලිපි ලේඛණ පරීක්ෂා කිරීමේදී එම පොත් තොගය නීත්‍යානුකූල ලෙස මෙරටට ගෙන්වා ඇතැයි තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත්, පොලීසිය සඳහන් කළේ එම පොත්වල අන්තර්ගතය පරීක්ෂා කිරීම සඳහා එම ගබඩාව මුද්‍රා තැබීමට පියවර ගත් බවයි.

මුද්‍රා කරන ලද ගබඩාවේ තිබී හමුවූ අල්කුරාන් ග්‍රන්ථ සිංහල සහ ඉංග්‍රීසී භාෂාවන්ට පරිවර්ථනය කල ඒවා බවයි පොලීසිය ප්‍රකාශ කළේ ෴

******************************************

(02.04.2021 – 15:26 +0530 – hirunews.lk/sinhala)

ලබන සතියේ සිට දුඹුරු සීනි කිලෝ ග්‍රෑමයක් රුපියල් 115 ක මිලකට සතොසෙන් ලබා ගත හැකි බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

කොළඹ අද (02) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

******************************************

(02.04.2021 – 16:21 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පලිගැනීම් පිළබඳ සොයා බැලීමට ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා විසින් පත් කරන ලද ත්‍රී පුද්ගල කමිටුවේ වගකීම් පුළුල් කිරීමට ජනාධිපතිවයා තීරණය කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත සමරකෝන්, ඛේමා කුමුදීනි වික්‍රමසිංහ සහ අභියාචනාධිකරණ විනිසුරු සෝබිත රාජකරුණා යන ත්‍රීපුද්ගල කමිටුවට නව වගකීම් පවරමින් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර නව ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, බලය අනිසි ලෙස භාවිතා කිරීම, දුෂණය, සාපරාධී සාවද්‍ය පරිහණය, වංචා කිරීම ආදී නව කරුණු මෙම ගැසට් පත්‍රයට ඇතුලත් කර ඇත්තේ දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයා බැලීමට අමතරවයි.

Extraordinary Gazette 2221/54 – 2021-04-01 – Presidential Secretariat – Appointed Special Presidential Commission of Inquiry (pdf file)

******************************************

(02.04.2021 – 15:45 +0530 – hirunews.lk/sinhala)

කොට්ටාව බොරැල්ල මාර්ගයේ පන්නිපිටිය පොල්වත්ත හංදිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු (2) ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෝටර් රථයක් සහ යතුරුපැදි දෙකක් (2) ගැටීමෙනුයි අද (02) දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ.

මියගොස් ඇත්තේ යතුරුපැදියක පැමිණි අවුරුදු 25 සහ 27 වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙක් (2).

ඔවුන් මීගොඩ සහ යටියන්තොට පදිංචිකරුවන්.

තවත් දෙදෙනෙකු (2) අනතුරින් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

******************************************

(02.04.2021 – 16:11 +0530 – hirunews.lk/sinhala)

නව කැළණි පාලම අසලදී මෝටර් රථයක් ගිනි ගැනීමට ලක්වී තිබෙනවා. අද (02) පස්වරු 3 ට පමණ අනතුර සිදුව අතර එම අවස්ථාවේ මාර්ගයේ දැඩි රථ වාහන තදබදයක් ද පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කොළඹ ගිනි නිවීම් ඒකකයේ රථයක් සහ ප්‍රදේශවාසීන්ගේ මැදිහත්වීමෙන් ගින්න මැඩපවත්වා ඇති අතර ජීවිත හානි හෝ තුවාල වාර්තාවී නැහැ.

@@@@@@@@@@@@@

(02.04.2021 – 10:32 +0530 – hirunews.lk/sinhala)

රැකියා සඳහා ඕමානයට ගොස් විවිධ හිරිහැර පීඩාවලට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයින් 248 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ඕමානයේ මස්කට් අගනුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානා දෙකකින් (2) ඊයේ (01) රාත්‍රියේ මෙම පිරිස පැමිණි අතර, වැඩි පිරිසක් ගෘහ සේවය සඳහා ගිය කාන්තාවන් බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

රැකියා සඳහා ගොස් යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සිටින පිරිස්, කණ්ඩායම් වශයෙන් ගෙන්වීමේ වැඩසටහන යටතේ මෙම පිරිස පැමිණ ඇති බව සඳහන්. ඔවුන් මේ වනවිට නිරෝධායන ක්‍රියාවලිය සඳහා යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර තිබෙනවා ෴

+++++++++++++++++++

(02.04.2021 – 12:30 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සිදු කෙරෙන එන්නත් කරන වැඩපිළිවෙල අත්හිටුවා නොමැති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

එන්නත් කරන වැඩපිළිවෙල අත්හිටුවා ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ පල වන වාර්තා සම්බන්ධයෙන් හිරු කල විමසීමකදී ඔහු කියා සිටියේ කොවැක්ස් පහසුකම යටතේ මේ වන විට ක්‍රියාත්මක වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් සඳහා කෙරෙන එන්නත් කරන වැඩපිළිවෙල අඛණ්ඩව සිදු කෙරෙන බවයි.

ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සතුව ප්‍රමාණවත් එන්නත් මාත්‍රා සංචිත ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියා.

එමෙන්ම එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයවලුන් සඳහා සිදු කෙරෙන දෙවන මාත්‍රාව ලබා දීම මැයි මස මුල් සතියේදී ආරම්භ කිරීමට හැකි වනු ඇති බවත් ඒ සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා අප්‍රේල් දෙවන (2) සතියේ පමණ දිවයිනට ලඟා වනු ඇති බවටත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්වාසය පල කරනවා ෴

+++++++++++++++++++

(02.04.2021 – 13:00 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පාලනය කිරිම සඳහා ලබාදෙන කොවිඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත පළමු මාත්‍රාවේ එන්නත්කරණය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ රට තුළ තිබෙන ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ප්‍රමාණය දෙවන (2) මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය බැවින් මෙලෙස එන්නත්කරණය තාවකාලිකව අත්හිටවූ බවයි.

මේ අතර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද (02) පස්වරුවේ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ප්‍රකාශ කළේ සීමාවන්ට යටත්ව මෙවර අලුත් අවුරුදු උත්සව පැවැත්වීම සඳහා අවස්ථාව ලබා දෙන බවයි.

නුවරඑළියේ වසන්ත සැණකෙළිය ඊයේ (01) සිට ආරම්භවූ අතර, ඒ සඳහා පැමිණෙන සංචාරකයින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කළ යුතු බවයි නුවරඑළිය සංචාරක ව්‍යාපාරයේ සභාපති සුමිත් වීරසිංහ මහතා ඉල්ලීමක් කළේ.

ඊයේ (01) දිනයේදීත් මෙරටින් කොරෝනා ආසාදිතයින් 211 ක් වාර්තා වු අතර ඉන් වැඩිම පිරිස වන 70 දෙනෙකු හදුනා ගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 25 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 92,917 ක් දක්වා ඉහළ ගියා.

+++++++++++++++++

(02.04.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

ෆයිසර් – බයෝඑන්ටෙක් කොරෝනා වෛරස් එන්නත ලබාදී මාස හයකට (6) පසුවත් සියයට 91.3 ක ඉහළ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරන බව නවතම අධ්‍යයන වාර්තාවලින් හෙළිවනවා.

එන්නතේ දෙවන (2) මාත්‍රාව ලබාදුන් පුද්ගලයන් 46,307 දෙනෙකුගේ අවසන් අදියරයේ සායනික වාර්තා දැන් ලැබී ඇති අතර, ඒ අනුවයි අදාළ නිගමනයට එළඹී ඇත්තේ.

එමෙන්ම ෆයිසර් එන්නත දකුණු අප්‍රිකානු ප්‍රභේදය ඇතුළු විකෘති කොරෝනා ප්‍රභේදවලට ද ප්‍රතිචාර දක්වන බව තහවුරු වී ඇතැයි ෆයිසර් ප්‍රධාන විධායක ඇල්බට් බෝර්ලා සඳහන් කළා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 120 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් මෙතෙක් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 93,037 ක් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *