ඉඩම් මැනීමට ජංගම සේවයක්

ඉඩම් මැනීමට ජංගම සේවයක්

*********************************************

ඉඩම් මැනීමට ජංගම සේවයක්

(27.03.2021 – 08:27 +0530 – hirunews.lk/sinhala)

ඉඩම් මැනීමේ කටයුතු කඩිනම් කිරීම සහ විධිමත් කිරීම සඳහා නවීන තාක්ෂණය යොදා ගන්නා ජංගම සේවයක් රට පුරා ආරම්භ කිරීමට කටයුතු කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසනවා.

ඉඩම් කටයුතු පිලිබඳ උපදේශක කාරක සභාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එහිදී අමාත්‍යාංශ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ දැනටමත් නියමු ව්‍යාපෘතියක් ලෙස තිරප්පනේ ප්‍රදේශයේ නවීන තාක්ෂණ යොදා ගෙන ජංගම සේවයක් ආරම්භ කරන බවයි.

එමෙන්ම, ඉඩම් මැණීමට කැමැත්තක් දක්වන ඉඩම් හිමියන්ගේ ඉඩම් ඉක්මනින් මැන ඔප්පු ලබාදීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා ෴

******************************************

(27.03.2021 – 08:18 +0530 – hirunews.lk/sinhala)

සූවස් ඇළේ සිර වූ දැවැන්ත බහාලුම් නෞකාව ඉවත් කිරීම සඳහා ඊයේ (26) ක්‍රියාත්මක වූ ප්‍රයත්නය සාර්ථක නොවූ බව මෙහෙයුම සිදුකරන නෞකා කළමනාකරණ ආයතනය ප්‍රකාශ කළා.

මෙහෙයුම සඳහා අතිරේක ටග් යාත්‍රා දෙකක් (2) එක්වීමට නියමිත බවයි නෙදර්ලන්ත මෙහෙයුම් කණ්ඩායම ප්‍රකාශ කළේ.

එමඟින් නෞකාව දියඹට තල්ලු කිරීමට උත්සාහයක නිරත වනු ඇති.

ඒ සඳහා වැලි කියුබ් මීටර් විසි දහසක් (20,000) පමණ ඉවත් කළ යුතු බව අදාළ සූවස් ඇළේ පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, සිර වූ නෞකාව ඉවත් කොට සූවස් ඇළේ නෞකා ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඇමරිකානු යුද හමුදාව සූදානම් බව ධවල මන්දිරය ප්‍රකාශ කළා.

ඉල්ලීමක් සිදුකළහොත් ඒ සඳහා ඇමරිකානු නාවික විශේෂඥයින් වහා යෙදවිය හැකි බවයි ධවල මන්දිර ප්‍රකාශිකාව සදහන් කළේ.

ඒ සම්බන්ධයෙන් ඊජිප්තු බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ඇය කියා සිටියා.

දිගින් මීටර් 400 ක් සහ මීටර් 59 ක පළලින් යුත් මෙම නෞකාව පසුගිය අඟහරුවාදා චීනයේ සිට නෙදර්ලන්තයේ රොටර්ඩෑම් වරාය දක්වා ගමන් කරමින් සිටියදී සූවස් ඇලේ ඉවුරු දෙක අතර, සිරවුණේ පැවති සුළං තත්ත්වය හේතුවෙන්.

තායිවානයේ එවර්ග්‍රීන් මැරායින් සමාගමට අයත් ‘එම්.වී. එවර් ගිවන්’ නමැති මෙම නෞකාවේ ඒ වනවිට බහාලුම් 20,000 ක් පමණ තිබූ අතර, නෞකාවේ බර ටොන් ලක්ෂ 2 ක්.

මේ වන විට මෙම නෞකාව ඇළ මාර්ගයේ සිරවීම හේතුවෙන් නෞකා 230 ක් ඇළේ දකුණු කෙළවර සූවස් ඇළට ඇතුළුවීම සඳහා පෙළ ගැසී ඇති බව සදහන්.

ගෝලීය වෙළදාමෙන් සියයට 12 ක් පමණ සිදුකෙරෙන්නේ සූවස් ඇළ හරහා ගමන් ගන්නා භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින්.

එමෙන්ම, මෙරට අපනයන බටහිර යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය වෙත යවනු ලබන්නේ ද සූවස් ඇළ හරහායි.

කෙසේ වෙතත්, මෙරට වරාය කටයුතුවලට මෙමගින් බලපෑම් සිදුවේදැයි අප වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා ගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ දැනට එවැනි බලපෑමක් නොමැති බවයි ෴

******************************************

(27.03.2021 – 08:22 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු 1997 දුරකථන අංකයට දැනුම් දෙන පුද්ගලයන්ට මුදල් ත්‍යාග පිරිනමන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළා ෴

@@@@@@@@@@@@@@

(27.03.2021 – 08:25 +0530 – hirunews.lk/sinhala)

කොවිෂිල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාදී දෙවන මාත්‍රාව නිසි පරිදි ලබාදීමට නොහැකි වුවහොත් එන්නත් ක්‍රියාවලියම අසාර්ථක වනු ඇති බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (26) කැඳවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින්.

නව කොරෝනා ආසාදිතයින් 272 නෙකු ඊයේ (26) හමුවිමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදනය වූ පිරිස 91,561 ක් වනවා.

එමෙන්ම, එක් (1) මරණයක් ඊයේ (26) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 558 දක්වා ඉහළ ගියා.

මේ අතර, එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වෙළඳසැල් තුළ විශේෂ පරීක්ෂාවක් හෙට (28) සිට කරන බව මහජව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ නිළධාරීන් 3000 ක් යොදවා පරික්ෂා කිරීම් සිදුකරන බවයි ෴

******************************************

විෂ පොල් තෙල් ආනයනයකරුවන් රජයට බී සී සී ආයතනයේ අධ්‍යයක්ෂක මණ්ඩලය මිළදී ගැනීමේ උත්සාහයක

(27.03.2021 – 08:33 +0530 – lankaleadnews.com)

දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන් ආරක්ෂාකිරීම සඳහා අමාත්‍යය විමල් වීරවංශ මහතා ඉදිරිපත් කළ අමාත්‍යය මණ්ඩල පත්‍රිකාව අනුව පොල් තෙල් ආනයනය වෙනුවට කැබලි කළ පොල් ආනයනය කොට පොල් තෙල් නිපදවීම මගින් තෙල් වලට අමතරව පුන්නක්කු අපනයනය කොට විදේශ විනිමයෙන් කොටසක් නැවත උපයා ගැනීමට මෙන්ම ගුණාත්මක තෙල් වෙළෙඳ පොළ ඉදිරිපත්කිරීමට හැකියාව ලැබේ.

ඒ අනුව එම පොල් කැබලි ආනයනය වගකීම පවරා ඇත්තේ රජයට අයත් බීසීසී ආයතනයටය. නමුත් එසේ දේශීයව පොල් තෙල් නිපදවීමේ ක්‍රියාවලියට විරුද්ධව කටයුතු කටයුතු කරණ තෙල් ආනයනය කරුවන් විසින් මිළදී ගත් යම් නිළධාරින් පිරිසක් එම ක්‍රියාවලිය කඩාප්පල් කිරීමට කටයුතු කරණ බව වාර්තාවේ ෴

******************************************

‘දී කිරට බළල්ලුත් සාක්ෂි’; සභාපතිගේ මිත්‍රයින් බේරීමට ප්‍රමිති අධ්‍යයක්ෂක සහතික නිකුත් කරන බවට සේවක චෝදනා

(27.03.2021 – 07:23 +0530 – lankaleadnews.com)

සීනි බදු වංචාව පිළිබඳව එල්ලවූ චෝදනා හේතුවෙන් සතොස සභාපති පදවිය අහිමි වූ නුෂාඩ් පෙරේරාට හිමි වූයේ ප්‍රමිති ආයාතනයේ සභාපති තනතුරයි. ආයාතනයේ සේවකයන්ට අනුව එය ‘පොල්බෑය රැගෙන දුවන බල්ලාට උම්බලකඩයෙන් පහර දීම’ට සමාන වූ ක්‍රියාවකි. එම පුද්ගලයා රට තුළට පාම් තෙල් මිශ්‍ර කළ පොල් තෙල් ආනයනය කරන්නන්ගේ ප්‍රබල මිත්‍රයෙකු බවට චෝදනා එල්ල වී ඇති තත්වයක් යටතේ ආනයනික තෙල් වර්ග වල ‘ඇෆ්ලටොක්ෂින්’ අඩංගුවීම පිළිබඳව එම ආයතනය නිකුත් කර ඇති සහතිකවල විශ්වසනීයභාවය පිළිබඳව බරපතල ගැටළුකාරී තත්වයක් පැන නැගී තිබේ ෴

******************************************

විෂ පොල් තෙල් ආනයනයකරුවන්ට ආණ්ඩුව විතරක් නොවෙයි අවශ්‍යයනම් මුළු රටම මිළදී ගැනීමට තරම් සල්ලි තිබෙනවා – සාම්ප්‍රදායික පොල්තෙල් නිපදවන්නන්ගේ සංගමය

(26.03.2021 – 20:10 +0530 – lankaleadnews.com)

‘ටෘත් විත් චමුදිත’ අන්තර්ජාල වැඩසටහනට සහභාගි වෙමින් සාම්ප්‍රදායික පොල් තෙල් නිපදවන්නන්ගේ සංගමයේ සභාපති බුද්ධික ද සිල්වා මහතා පවසා සිටියේ පොල් තෙල් ආනයනයකරුවන් විෂ පොල්තෙල් ආනයනය කර මුළු රටේම ජනයා සමූල ඝාතනයට ලක් කරන ක්‍රියාවලියක නිරතව සිටින බවත් ඔවුනට අවශ්‍යයනම් ආණ්ඩුව පමණක් නොව මුළු රටම මිළදී ගැනීමට තරම් මුදල් ඇති බවයි.

සම්පූර්ණ සාකච්ඡාව :

******************************************

මානව හිමිකම් කොමිසම අධිකරණයක් නෙවෙයි : ස්වෙච්ඡා සංවිධානයක් – නියෝග දෙන්න බැහැ

(26.03.2021 – am.lk)

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනා 16 සම්බන්ධයෙන් මින් ඉදිරියට ශ්‍රී ලංකාව සමඟ ගනුදෙනු කරන්නේ එම කවුන්සිලයේ මහ ලේකම්වරිය බව හිටපු මානව හිමිකම් කොමසාරිස් නීතිඥ, මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පෙන්වා දෙයි.

මහානාමහේවා මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනා සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ ඉදිරි ක්‍රියාමාර්ග කෙසේ වේදැයි ‘ඒෂියන් මිරර්’ කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

මානව හිමිකම් කවුන්සිලය අධිකරණයක් නොවෙන ස්වේච්ඡා සංවිධානයක් බව පෙන්වා දෙන මහානාමහේවා මහතා ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනා ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකාවට නියෝග දීමට මහ කොමසාරිස්වරියට අයිතියක් නොමැති බවද සදහන් කරයි.

එහෙත් ශ්‍රී ලංකාව දිගින් දිගටම අදාළ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය නොදෙන්නේ නම් එම කාරණය මානව හිමිකම් කවුන්සිලයේ ආරක්ෂක කවුන්සිලය වෙත වාර්තා කිරීමට මානව හිමිකම් කවුන්සිලයේ මහලේකම්වරියට හැකියාව තිබෙන අතර ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පනවනවාද නැද්ද යන්න තීරණය කරන්නේ එම කවුන්සිලයෙන් බව පෙන්වා දෙන මහානාමහේවා මහතා එවැනි තත්වයක් ඇති වුවහොත් චීනයට සිය නිශේධ බලය පාවිච්චි කොට එම යෝජනාව ප්‍රතික්ෂේප කරවීමට හැකි බව ද සඳහන් කරයි.

සම්බාධක පැනවීම සඳහා වූ ක්‍රියාදාමය ඉතා දීර්ඝ ක්‍රියාදාමයක් බව පෙන්වා දෙන මහානාමහේවා මහතා ශ්‍රී ලංකාව මීට පෙර මානව හිමිකම් කවුන්සිලයට එකඟ වූ දේශීය යාන්ත්‍රණයන් කඩිනමින් ස්ථාපිත කිරීමත්, ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයෙහි පැවැති ඡන්දයේදී ඡන්දය දීමෙන් වැළකුණු රටවල් දිනා ගැනීමට කටයුතු කිරීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද පෙන්වා දෙයි ෴

******************************************

වැල්ලවාය දරු දෙදෙනා වෙනුවෙන් නිවහනක් තැනීම ආරම්භ කලා – Talk with Sudaththa (26.03.2021)

ඔවුනට ඔබගේ කාරුණික උපකාරය අවශ්‍යයි !

Sudaa Community Care Foundation
A/C No. : 036010318233
HNB Bank – Rajagiriya

TP No. : 077 506 5788

පෙර විඩියෝව :
[ https://www.youtube.com/watch?v=7QJGLjwHNmw ]

******************************************

(27.03.2021 – 08:49 +0530 – hirunews.lk/sinhala)

2020 දෙසැම්බර් 31 දිනට දේශීය අදායම් දෙපාර්තමේන්තුවට ලැබී ඇති අඟරු වූ චෙක්පත් සංඛ්‍යාව 6,878 ක් බවත්, එහි වටිනාකම රුපියල් කෝටි 24 ක් (රුපියල් 2,451,465,383) බවත් පාර්ලිමේන්තුවේදී පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය වුණා.

ඉතා කඩිනමින් එම මුදල් අය කර ගැනීමට අදාළ කටයුතු කරන ලෙස කාරක සභාව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට දන්වා තිබෙනවා.

මේ අතර කැසිනෝ ව්‍යාපාරයේ හිඟ බදු රුපියල් මිලියන 2670 ක් අයකර ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ මේ වන විට නඩු පවරා ඇති බවටත් මෙම කාරක සභාවේදී අනාවරණය වුණා.

මෙයට අමතරව ගෙවීම් පැහැර හරින ලද බදු පියවීමේ විශේෂ විධි විධාන ප්‍රකාරව 2020 දෙසැම්බර් 31 වැනි දිනට රුපියල් කෝටි 14,450 ක හිඟ බදු මුදල් අයකර ගත යුතුව ඇති බවත් මෙම කාරක සභාවේදී හෙළි වුණා.

මෙම කරුණු හෙළිවූයේ ඊයේ (26) පාර්ලිමේන්තු මුදල් කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.

******************************************

(27.03.2021 – 09:04 +0530 – hirunews.lk/sinhala)

මෙතෙක් ලෝකයේ නිෂ්පාදිත විශාලතම බහලුම් නෞකාවක් වන ‘එවර් ගිවන්’ සූවස් ඇළ මාර්ගයේ සිර වීමෙන් මුහුදු කොල්ලකෑම් ඉහළ යාමේ අවදානමක් මතු වී තිබෙනවා.

මේ වන විට සූවස් ඇළ දකුණු අන්තයේ නෞකා 200 කට වැඩි සංඛ්‍යාවක් සිර වී ඇති අතර, ඒවායේ නවතම මෝටර් රථ, මත්පැන්, ගවයන් ඇතුළු සජීවි සතුන් මෙන්ම ඩොලර් බිලියන ගණනක් වටිනා බොරතෙල් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඩොලර් බිලියන 12 කට අධික භාණ්ඩ රැගත් එම නෞකා විකල්ප මුහුදු මාර්ග සොයමින් සිටින්නේ සිර වූ නෞකාව ඉවත් කිරීම තවදුරටත් පමාවීම හේතුවෙන්.

යුරෝපයට ළඟාවීම සදහා ඔවුන්ට පවතින විකල්පය වන්නේ දකුණු අප්‍රිකානු සුබ ප්‍රාර්ථනා තුඩුව හරහා ගමන් කිරීමයි.

එලෙස නෞකා රැසක් නැගෙනහිර අප්‍රිකානු මුහුදට පිවිසීම මුහුදු කොල්ල ඉහළ යාමේ අවදානම ඉහළ නංවන බව නාවික විශේෂඥයන් පෙන්වා දෙනවා.

එලෙස ඇති විය හැකි අවදානම් වැළැක්වීමේ සහය සඳහා නෞකා සමාගම් රැසක් තමන් ඇමතූ බව බහරේනයේ කේන්ද්‍ර ගත ඇමරිකානු නාවික හමුදාවේ 5 වන බලකායේ ප්‍රකාශකයෙකු සදහන් කළා.

******************************************

(27.03.2021 – 09:12 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (26) අත්අඩංගුවට ගත් පුත්තලම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මද්‍රසා පාසලක සේවය කළ ගුරුවරු දෙදෙනා (2) රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන යටතේ ඔවුන් මෙලෙස රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් දෙදෙනා වයස අවුරුදු 26 සහ 27 යන වයස්වල පසුවන හලාවත සහ මදුරන්කුලිය ප්‍රදේශවල පදිංචිකරුවන්.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි ෴

******************************************

(27.03.2021 – 09:44 +0530 – hirunews.lk/sinhala)

වැල්ලව, ගනේවත්ත ප්‍රදේශයේදී පුරාවස්තු කැනීම් සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අද (27) කුරුණෑගල අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර පුරාවස්තු විනාශ කිරීම් සම්බන්ධ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකා පොලිසිය විසින් පරිසරයට අදාල සිදුකරන මෙහෙයුම් ද අඛණ්ඩව සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ පරිසර විනාශ කිරීම් සම්බන්ධයෙන් තොරතුරු 1997 දුරකථන අංකයට දැනුම් දෙන පුද්ගලයන්ට ත්‍යාග පිරිනමන බවයි ෴

******************************************

ප්‍රදේශ කිහිපයකට ලබන 31 වනදා පැය 18 ක ජල කප්පාදුවක්

(27.03.2021 – 10:25 +0530 – hirunews.lk/sinhala)

හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් ලබන 31 වනදා (මාර්තු 31) පස්වරු 10 සිට අප්‍රේල් 01 වනදා පස්වරු 04 දක්වා පැය 18 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම් දෙනවා.

ඒ අනුව වනවාසල, ඔලියමුල්ල, වත්තල මීගමුව පාර, ඇවරියවත්ත පාර, තෙලගපාත, මීගහවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇලකන්ද යන ප්‍රදේශ සහ හැදල පාර කොටසක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

******************************************

(27.03.2021 – 11:35 +0530 – hirunews.lk/sinhala)

අහංගම, කතලුව ප්‍රදේශයේ සංචාරක හෝටලයකට අලෙවි කිරිම සඳහා රැගෙන එමින් තිබූ වාලම්පූරියක් සහ ඇත් දළයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (26) රාත්‍රි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.

දක්ෂිණ නාවික හමුදා බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අහංගම සහ කෝදාගොඩ ප්‍රදේශවල පදිංචි සැකකරුවන් බවයි වාර්තා වන්නේ.

වාර්තා ලබා ගැනීම සඳහා වාලම්පූරිය ගාල්ල ධීවර පරික්ෂක කාර්යාලය වෙත සහ ඇත් දළය හික්කඩුව වනජීවි කාර්යාලය වෙත භාර දී තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *