පිළිකාකාරක රසායනික සොයන පොල්තෙල් පරීක්ෂාව අද සිට දිවයින පුරා

පිළිකාකාරක රසායනික සොයන පොල්තෙල් පරීක්ෂාව අද සිට දිවයින පුරා

*********************************************

පිළිකාකාරක රසායනික සොයන පොල්තෙල් පරීක්ෂාව අද සිට දිවයින පුරා

(25.03.2021 – 09:20 +0530 – hirunews.lk/sinhala)

පොල්තෙල්වල පිලිකා කාරක රසායනික ද්‍රව්‍ය පරීක්ෂා කිරීම සඳහා තවදුරටත් සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු සිදුවන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ දිවයින පුරා වෙළඳසැල් අහඹු ලෙස පරීක්ෂාවට ලක් කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බවයි.

ඊයේ (24) දිනයේ අදාළ පොල්තෙල් ගෙන්වා ඇති ප්‍රධාන සමාගම් දෙකේ (2) සාම්පල පරීක්ෂාවට ලක් කිරීම සඳහා ලබා ගත් බවද ඔහු සඳහන් කළා.

ආනයනය කළ පිරිපහදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 8000 ක් පෙරේදා (23) රාත්‍රියේ කොළඹ වරායෙන් මුදා හැර ඇති බව වාර්තා වුණා.

ඒ ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13 ක් සඳහා සිදුකළ පරීක්ෂාවකදී ඒවායේ පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වී ඇති පසුබිමකයි.

ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13 ක ඇෆ්ලටොක්සීන්ස් නම් පිළිකා කාරකය අඩංගු බවට පෙරේදා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය මුල්වරට අනාවරණ කළා ෴

(25.03.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

පොල්තෙල්වල පිලිකා කාරක රසායනික ද්‍රව්‍ය ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා වෙළඳපොළෙන් ලබාගත් සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා ප්‍රකාශ කළා.

පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය පොල්තෙල්වල ඇති බවට අනාවරණ වීමත් සමඟ වෙළඳපොළේ පවතින පොල්තෙල් පරීක්ෂා කිරීමේ කටයුතු දැඩි කළ බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, තවදුරටත් වෙළඳපොළෙන් පොල්තෙල් සාම්පල ලබා ගැනීමේ කටයුතු සිදු කෙරෙන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියා සිටියේ.

ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13 ක ‘ඇෆ්ලටොක්සීන්ස්’ නම් පිළිකා කාරකය අඩංගු බවට පෙරේදා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය මුල්වරට අනාවරණ කිරීමත් සමඟ මේ සම්බන්ධයෙන් සමාජයේ කතාබහක් ඇති වුණා ෴

******************************************

(25.03.2021 – 09:36 +0530 – hirunews.lk/sinhala)

අයථා ලෙස ජලය ලබා ගන්නා පුද්ගලයින් සහ ස්ථාන හඳුනාගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ අයථා ජල සම්බන්ධතා පිළිබඳ තොරතුරු ලබා දෙන්නන්ට දිරි දීමනා ලබාදීමේ වැඩපිළිවෙලක්ද ආරම්භ කරන බවයි.

එමෙන්ම, අනවසර ජල පාරිභෝගිකයන් සඳහා අධිකරණ මගින් ලබා දෙන දඬුවම් තවදුරටත් පුළුල් කිරීමටද අවධානය යොමුව ඇති බව සඳහන්.

තොරතුරු හා තාක්ෂණික ක්‍රමවේද හරහා අයථා ජල සබඳතා හඳුනා ගැනීමේ වැඩපිලිවෙලක්ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ආරම්භ කර තිබෙනවා ෴

******************************************

(25.03.2021 – 09:43 +0530 – hirunews.lk/sinhala)

කුඹුක්කන් ඔය ජලාශයට යටවන අක්කර 900 ක භූමියේ පවතින මැණික් නිධිය ගොඩගැනීම සඳහා වන කටයුතු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අප්‍රේල් මුල් සතිය වනවිට බඩල්කුඹුර ප්‍රදේශය ආශ්‍රිතව පවතින එම භූමියේ මැණික් ගොඩගැනීම සඳහා බලපත්‍ර ලබාදීමේ කටයුතු සිදුකරන බවයි එහි සභාපති තිලක් වීරසිංහ මහතා කියා සිටියේ.

මේ අතර, රත්නපුර – කිරිඇල්ල ප්‍රදේශයේ කළු ගඟේ මැණික් නිධියකින් රත්‍රං හමුවී ඇති බව මැණික් සහ ස්වර්ණභරණ අධිකාරිය ප්‍රකාශ කළා.

ඒ, නියමු ව්‍යාපෘතියක් ලෙස රත්නපුර – කළුගඟ – හැරනියාවක ප්‍රදේශයේ දියත්කර තිබුණු මැණික් ගැරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙසයි ෴

******************************************

(25.03.2021 – 10:27 +0530 – hirunews.lk/sinhala)

සිය බිරිඳ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර, පසුව එම සිරුර ගිනි තැබූ පුද්ගලයෙකු එම ගින්නටම පැන සිය දිවි හානි කරගෙන තිබෙනවා.

ගම්පොල පොලීසිය සඳහන් කළේ අගුරුමුල්ල ප්‍රදේශයේ නිවසක මෙම සිද්ධිය වාර්තා වී ඇති බවයි.

මොවුන් එකම ඉඩමේ නිවාස දෙකක් (2) සාදා වෙන් වෙනව ජීවත් වී ඇති අතර, බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඊයේ (24) මෙම ඝාතනය සිදුව තිබුණා.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ වයස අවුරුදු 57 ක් වන අතර, සියදිවි හානි කරගත් සැමියාගේ වයස අවුරුදු 67 ක් ෴

******************************************

(25.03.2021 – 10:45 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලේඛන සකසා වාහන එකලස් කිරීමේ ජාවාරමක නිරත වූ 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර – දකුණ අපරාධ කොට්ඨාශය ඊයේ (24) කළ වැටලීමදියි මෙම සැකකරුවන් මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

******************************************

(25.03.2021 – 11:42 +0530 – hirunews.lk/sinhala)

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු නාදුනන කාන්තා මළ සිරුරක් අද (25) සොයගත් බව තලවකැලේ පොලිසිය පවසනවා. ප්‍රදේශවාසින් ලබාදුන් තොරතුරක් මත පොලිසිය විසින් සිරුර සොයාගෙන තිබෙනවා.

සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවයි තලවකැලේ පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

******************************************

(25.03.2021 – 12:06 +0530 – hirunews.lk/sinhala)

යාපනයේ ගොවීන් සිය එළවලු අස්වැන්න දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එවීමත් සමඟ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වර්ග රැසක මිල පහත වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පවසනවා.

යාපන අර්ධද්වීපයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (25) දින විශාල වශයෙන් එළවළු තොග පැමිණ තිබෙනවා.

මෙලෙස අමු මිරිස්, මාළු මිරිස්, දේශීය අර්තාපල් අල, බීට්,වට්ටක්කා, රතුලූනු ආදී එළවළු වර්ග රැසක මිල පහත වැටී ඇතැයි ව්‍යාපාරිකයෝ පවසනවා.

පසුගිය සති කීපයේ රුපියල් 100 වඩා වැඩි මිලට අලෙවි වූ දේශීය අර්තාපල් අල කිලෝවක මිල, අද (25) දැක්වුණේ රුපියල් 70 ත් 80 ත් අතර මිලකටයි.

රුපියල් 450 ත් 500 ත් අතර ඉතා ඉහළ මිලකට අලෙවි වූ රතු ලූනු කිලෝවක මිල ද අද (25) රුපියල් එකසිය හැට (160) දක්වා පහල වැටී තිබුනා.

එමෙන්ම රුපියල් 200 ත් 220 ත් අතර මිලකට අලෙවි වූ අමු මිරිස් කිලෝව මිල අද රුපියල් 130 ත් 140 ත් දක්වා පහත වැටී තිබෙනවා.

අද (25) යාපනයේ වට්ටක්කා කිලෝවක් අලෙවි වූයේ රුපියල් 50 ත් 55 ත් අතර මිලකටයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඉදිරියේදී විශාල වශයෙන් යාපනය එළවළු තොග ලැබීමට නියමිත අතර ඒ අනුව ඉදිරියේදී එළවලු මිල තවත් පහත වැටෙනු ඇති බවටයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙන්නේ.

මෙලෙස යාපනයේ එළවළු වලට රටේ වෙනත් ප්‍රදේශවලින් පැමිණෙන වෙළෙන්දන්ගෙන් ද ඉහළ ඉල්ලුමක් පවතින බව වාර්තා වනවා.

පිටරටින් ආනයනය කරන අල ලූණු වලට වඩා අඩු මුදලකට යාපනයේ ගොවීන් එළවළු අලෙවි කිරීම නිසා පාරිභෝගික ජනතාවට ඉදිරි උත්සව සමයේ අඩු මිලට එළවලු ලබා දිය හැකි බවටයි වෙළෙන්දෝ පෙන්වා දෙන්නේ.

******************************************

(25.03.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

වසර 5 කට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කළ, කොන්ත්‍රාත් පදනම මත සිටින ශ්‍රී ලංගම සේවකයන් ස්ථිර කරන ලෙස, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට දැනුම් දෙයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ ඊයේ (24) පැවති ප්‍රවාහන කටයුතු පිළිබද අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදීයි.

කාලයක් තිස්සේ පවතින රියදුරු උපදේශක පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා මැයි මාසයේ විභාගයක් පවත්වා බදවා ගැනීම් සිදුකරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා ෴

******************************************

(25.03.2021 – 13:46 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ දහම් පාසල් ලබන මස 18 වන ඉරිදා ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

කොරෝනා ව්‍යාප්තියත් සමඟ බස්නාහිර පළාතේ දහම් පාසල් ආරම්භ කිරීම ප්‍රමාද වූ අතර මීට පෙර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සදහන් කළේ අප්‍රේල් මස 25 වන දා දහම් පාසල් ආරම්භ කරන බවයි.

කෙසේ වෙතත්, රජයේ පාසල් ආරම්භවීමත් සමඟ මෙලෙස ලබන 18 වන දා දහම් පාසල් ආරම්භ කිරීමට තීරණය කළ බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

බස්නාහිර පළාතේ දහම් පාසල් 2026 ක් ක්‍රියාත්මක අතර, ඒවායේ අධ්‍යාපනය ලබන දරු දැරියන් සංඛ්‍යාව හයලක්ෂ 4,853 ක්.

එමෙන්ම, දහම් පාසල් ශ්‍රේණි විභාගය මැයි මස 9 වනදා නියමිත පරිදි පැවැත්වෙන බව ද බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා ෴

******************************************

(25.03.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ වායු දූෂණය අද (25) දිනයේ ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

එහි පාරිසරික අංශයේ අධ්‍යක්ෂ සරත් ප්‍රේමසිරි මහතා කියා සිටියේ මහනුවර සහ කුරුණෑගල ඇතුළු නගර කිහිපයක ද වායු දූෂණය මේ දිනවල ඉහළ ගොස් ඇති බවයි.

******************************************

(25.03.2021 – 14:03 +0530 – hirunews.lk/sinhala)

ගැඹුරු මුහුදේ කිමිදී රාත්‍රි කාලයේ ‘මුහුදු කූඩැල්ලන්’ ඇල්ලීමට දී තිබූ අවසරය වසර කිහිපයක සිට අත්හිටුවීම තුළින් තමන් දැඩි අපහසුතාවට පත්ව ඇති බව පුත්තලම දිස්ත්‍රික්කයේ කිමිදුම්කරුවන් පවසනවා.

කිමිදුම්කරුවන් පවසන්නේ වෙනත් ධීවරයින්ට එවැනි තහනමක් පනවා නොමැතිවීම ගැටලු සහගත බවයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ මුහුදු වෙරළ ආශ්‍රිතව කිමිදුම්කරුවන් 1000 කට වැඩි පිරිසක් ගැඹුරු මුහුදේ කිමිදී මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සිය ජිවිකාව කරගෙන සිටිනවා.

දිවා සහ රාත්‍රී කාලවලදී බාධාවකින් තොරව සිය රැකියාව කරගෙන ගියද වසර කිහිපයකට පෙර සිට රාත්‍රී කාලයේ කිමිදීම සඳහා ඔවුන්ට ලබා දී තිබූ අවසරය අත්හිටුවනු ලැබුවා.

පසුගිය රජය සමයේ ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ ධීවරයින්ගෙන් කිසිදු අදහස් විමසීමකින් තොරව බවයි ඔවුන් පවසන්නේ.

මේ සම්බන්ධයෙන් වත්මන් ධීවර අමාත්‍යවරයා නාවික හමුදාවෙන් කරුණු විමසා තිබෙනවා.

කිමිදුම්කරුවන් පවසන්නේ මාළු අල්ලන දැල් බෝට්ටු විශාල ප්‍රමාණයක් රාත්‍රී කාලයේ ගැඹුරු මුහුදේ සිය රැකියාව සිදුකරගෙන ගියත් ඔවුන්ට එවැනි තහනමක් පනවා නොමැති බවයි.

වෙරළේ සිට කිලෝ මීටර් 40 ක් පමණ දුර ගොස් අඩි 80 ත් 100ත් අතර ගැඹුරේ කිමිදී මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සිදුකරන්නන්ට දිවා කාලයේ පමණක් මෙම රැකියාව සිදුකිරීම තුළින් වැය වන මුදලවත් සොයා ගැනීමට නොහැකි බවට කිමිදුම්කරුවන් මැසිවිලි නඟනවා.

කිමිදුම් රැකියාවත් සමග මතුවන රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර ලබා ගැනීමත් ඔවුන්ට ගැටලුවක් වී තිබෙනවා.

වත්මන් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවද මෙතෙක් ඵලදායී විසදුමක් ලැබී නැහැ.

******************************************

(25.03.2021 – 14:29 +0530 – hirunews.lk/sinhala)

මාතර – නිල්වලා ගඟේ මහානාම පාලම මතින් පුද්ගලයෙකු ගඟට පැන දියේ ගිලී අනතුරට ලක්වන ආකාරය එහි සිටි පුද්ගලයෙකු විසින් මෙලෙස පටිගත කර තිබූ අතර පොලිසිය පැවසුවේ අතුරුදන් පුද්ගලයා සොයා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි.

******************************************

(25.03.2021 – 14:37 +0530 – hirunews.lk/sinhala)

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 54 දෙනෙකු ඔවුන්ගේ යාත්‍රා 5 ක් සමග අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව අද (25) සමත් වුනා.

මෙලෙස නාවික හමුදා දකුණු විධානයෙන් එක් යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර නාවික හමුදා නැගෙනහිර විධානයෙන් මුලතිවු මුහුදු සීමාවේදී තවත් යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගත්තා.

මන්නාරම මුහුදු තීරයේදී තවත් ඉන්දීය ධීවර යාත්‍රා 2 ක් අත්අඩංගුවට ගැනුනේ ශ්‍රී ලංකා නාවික හමුදා මධ්‍යම විධානය විසින් ෴

******************************************

(25.03.2021 – 14:49 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට දින 15 කට පසු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුරත්මන් ඩීන් ඇතුළු තුන්දෙනා (3) නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ, වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊට අදාල නඩුව ඊයේ (24) කැඳවු අවස්ථාවේදීයි.

පාස්කු ප්‍රහාරයෙන් පසු 2019 මැයි 07 වනදා පැල්වත්ත සීනි කර්මාන්තශාලා පරිශ්‍රයේදී සුරත්මාන් ඩීන් රාමසාන් දිනය සැමරීම සම්බන්ධව සේවකයින් පිරිසක් සමග රැස්වීමක් පවත්වා තිබුණා.

කෙසේ වෙතත්, කර්මාන්තශාලාවේ ඇතැම් පිරිස් චෝදනා කළේ එම රැස්වීම ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කිරීමේ අරමුණින් පැවැත්වූ බවටයි.

ඒ අනුව ඇතිවු නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා බුත්තල පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබූ අතර ඔවුන් සිදුකළ පරික්ෂාවකදී පැල්වත්ත කර්මාන්තශාලාවට අයත් උක් වගා භූමියක තිබී වෝකි ටෝකි කිහිපයක්, ඇමති ආරක්ෂක ඇඳුම් කිහිපයක් හමුවුණා.

ඊට අදාලව පැල්වත්ත සීනි කර්මාන්තශාලාවේ හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සුරත්මන් ඩීන් ඇතුළු තුන්දෙනා (3) ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත බුත්තල පොලිසියේ රදවා තිබුණා.

පසුව වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මොවුන්ට විරුද්ධව නඩු පවරා තිබුණා ෴

******************************************

(25.03.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

මගීන් 14 දෙනෙකුට මරු කැඳවමින් පස්සර 13 කණුව ප්‍රදේශයේදී පසුගිය දා අනතුරට ලක් වූ බස් පෞද්ගලික බස් රථය එදින ධාවනය කර ඇත්තේ නියමිත කාලසටහන උල්ලංඝනය කරමින් බවට අනාවරණය වී තිබෙනවා.

ඒ, මෙම අනතුර සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසමේ ත්‍රි පුද්ගල කමිටුව සිදුකළ විමර්ශනයට අනුවයි.

ඊට අදාළ වාර්තාව මේ වනවිට ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා වෙත භාර භාර දී ඇති අතර, නියමිත වේලාවට පෙර අදාළ බස් රථය ලුණුගලින් ගමන් ආරම්භ කර ඇති බවට එහි දක්වා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කාලසටහනට අනුව අදාළ බස් රථය සිද්ධිය වූ දිනයේ පස්වරු 06:50 ට ගමන් ආරම්භ කළ යුතු නමුත්, එදින උදෑසන 06:30 ට ලුණුගලින් කොළඹ බලා පිටත්ව තිබෙනවා.

ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩෝ මහතා සඳහන් කළේ අනෙක් බස් රථය නොමැති නිසා මෙලෙස අනතුරට ලක්වූ බස් රථය එදින උදෑසන මෙලෙස ගමන් ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම, අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයට වැටී තිබූ විශාල ගල අද (25) දිනයේ කඩා ඉවත් කිරීමට පියවර ගන්නා බව මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල – චෙන්කලඩි මාර්ගය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ වැඩබලන අධ්‍යක්ෂ ඒ.පී.කේ. අබේධීර මහතා සඳහන් කළා ෴

@@@@@@@@@@@@@@

(25.03.2021 – 09:54 +0530 – hirunews.lk/sinhala)

යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

පසුගියදා නගරාධිපතිවරයා සහභාගි වූ විවාහ මංගල උත්සවයකට පැමිණි කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අනතුරුවයි ඔහු කොරෝනා පරීක්ෂණයකට යොමුව ඇත්තේ.

මේ අතර, ඊයේ (24) දිනයේදී ආසාදිතයින් 253 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 91,018 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 229 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර, තවත් 9 දෙනෙකු බන්ධනාගාර පොකුරේ ආසාදිතයින් වනවා.

එමෙන්ම, විදේශයන් හි සිට පැමිණි 15 දෙනෙකු ද කොරෝනා ආසාදිතයින් ලෙස හදුනා ගැනුණා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 2834 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 87,630 ක්.

එමෙන්ම, ඊයේ (24) කොරෝනා මරණ 2 ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 554 දක්වා ඉහළ ගියා.

කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් සහ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++

බස්නාහිර පළාතේ ලංකා සභාවට(ඇන්ග්ලිකන්) අයත් සියලු පාසල්, රජයේ පාසල් ආරම්භයට සමගාමීව මාර්තු 29 වන දින විවෘත කරන බව කොළඹ ලංකා සභා (ඇන්ග්ලිකන්) රදගුරු නිවේදනයක් නිකුත් කර තිබෙනවා ෴

++++++++++++++++++

(25.03.2021 – 11:33 +0530 – hirunews.lk/sinhala)

මෙරටට ගෙන්වීමට නියමිත විගමණ ශ්‍රමිකයින් නිරෝධායනයට අවශ්‍ය හෝටල් සහ සංචාරක නිකේතන වෙන් කිරීම ආරම්භ කර තිබෙනවා.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් මෙම කටයුතු සිදු කෙරෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

දිවයිනේ ප්‍රදේශ කිහිපයක හෝටල් 10 ක් ඒ සඳහා වෙන් කර ඇති අතර එක්වරකට ශ්‍රමිකයින් 571 දෙනෙකුට එහි නිරෝධායන ක්‍රියාවලිය සඳහා පහසුකම් සැපයෙනවා.

මේ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතියක කාලයකට රුපියල් මිලියන 18 ක් වැය වන බවයි කම්කරු අමාත්‍යාංශය සදහන් කළේ ෴

++++++++++++++++++++

(25.03.2021 – 14:56 +0530 – hirunews.lk/sinhala)

කොවිෂීල්ඩ් එන්නත් අපනයනය අත්හිටුවීම හේතුවෙන් කොවැක්ස් පහසුකම යටතේ ලොව පුරා එන්නත් බෙදාහැරීමේ කටයුතුද ප්‍රමාද වනු ඇති බව යුනිසෙෆ් සංවිධානය ප්‍රකාශ කළා.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 91,017 දෙනෙකු වාර්තා වන අතර, ඊයේ (24) දිනයේදී හඳුනාගත් ආසාදිතයින් සංඛ්‍යාව 253 ක්.

ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වූ 53 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගැනුණා.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 දෙනෙකු සහ යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 38 දෙනෙකුද වාර්තා වී තිබුණා.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින් අතරින් 87,629 දෙනෙකු මේ වනවිට සම්පූර්ණයෙන්ම සුවය ලබා ඇති අතර, තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 2,834 දෙනෙකු පමණයි ෴

අද (25) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව රෝහල්ගතව සිටි පුද්ගලයින් 351 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 87,881 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

+++++++++++++++++++

(25.03.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala)

රෝගීන් වාර්තා වීමේ අඩුවීමක් පෙන්නුම් කළත් තවදුරටත් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ.

රාජ්‍ය සේවකයින්ට වැටුප් ලැබීමත් සමඟ උත්සව සමයේ සාප්පු සවාරි යෑම සම්බන්ධයෙන්ද වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අදහස් පළ කළා.

මේ අතර, පුද්ගලික සහ ජාත්‍යන්තර කතෝලික පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි හැර සෙසු ශ්‍රේණි අප්‍රේල් 05 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.

එසේම බස්නාහිර පළාතේ ඇන්ග්ලිකන් සභාවට අයත් සියළු පාසල්වල අධ්‍යයන කටයුතු ලබන සඳුදා ආරම්භ කරන බව ඇන්ග්ලිකන් සභාව නිවේදනය කළා.

මේ අතර, නැගෙනහිර යුරෝපයේ තුන් වන (3) කොරෝනා රැල්ල ආරම්භ වී තිබෙනවා.

මේ වන විට පෝලන්තය, හංගේරියාව, චෙක් ජනරජයේ වෛරසය සීග්‍රයෙන් ව්‍යාප්ත වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම තත්ත්වය තුළ නැගෙනහිර යුරෝපයේ හෝටල්, සිනමා ශාලා සහ සාප්පු සංකීර්ණ තාවකාලිකව වසා දමා තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *