ප්‍රාදේශීය සංවර්ධන ව්‍යපෘති පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට

ප්‍රාදේශීය සංවර්ධන ව්‍යපෘති පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට

*********************************************

ප්‍රාදේශීය සංවර්ධන ව්‍යපෘති පිළිබඳ වගකීම ආණ්ඩුකාරවරුන්ට සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට

(24.03.2021 – 18:12 +0530 – hirunews.lk/sinhala)

ප්‍රතිපාදන වෙන්කර ඇතත් මෙතෙක් ආරම්භ නොකළ සහ අතරමග නතර කර ඇති සියලු ව්‍යාපෘති කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ආණ්ඩුකාරවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ඔවුන් සමග අද (24) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති හමුවකදී.

ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග අද (24) පැවති හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර ඇත්තේ ප්‍රාදේශීය සංවර්ධන වැඩසටහනේදී ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු පෙරමුණ ගෙන ක්‍රියාකළ යුතු බවයි.

ජනතා අවශ්‍යතා ඉටුකිරීමේදී චක්‍රලේඛවලට සීමා නොවී රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව ක්‍රියාකිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.

පුද්ගලයෙකුගේ හෝ කිහිපදෙනෙකුගේ වැරදි හේතුවෙන් සමස්ත ජනතාවම පීඩාවට පත්වන අයුරින් නීති සකස් නොකළ යුතුබව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා නිලධාරීන් ගමට ගොස් සැබෑ ලෙස ජනතාවගේ ප්‍රශ්න හඳුනාගත යුතු බව සඳහන් කළා.

ජනතා ප්‍රශ්න පරම්පරාවෙන් පරම්පරාවට යාමට ඉඩ නොදිය යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.

ප්‍රජා වන වගා ව්‍යාපෘති පුළුල් කිරීමෙන් පාරිසරික ගැටලු රැසකට විසඳුම් ලබාදිය හැකි බව පෙන්වාදුන් ජනාධිපතිවරයා නිලධාරීන් දැනුම්දුන්නේ ඒ සඳහා යොමුවන ලෙසයි.

ඇතැම් පිරිස් සහ මාධ්‍ය හුවාදක්වන අන්දමේ පරිසර විනාශයක් දිස්ත්‍රික්ක මට්ටමින් සිදු නොවන බව දිස්ත්‍රික් ලේකම්වරු පවසා තිබෙනවා.

ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ඒවායේ ගැටලු සාකච්ඡා කිරීමට සෑම මසකම ආණ්ඩුකාරවරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරු හමුවීමට අපේක්ෂා කරන බවදජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

******************************************

(24.03.2021 – 18:44 +0530 – hirunews.lk/sinhala)

ජිනිවා මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහි සම්මත වූ යෝජනාවෙන් බලපෑමක් ඇති නොවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

අද (24) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

******************************************

(24.03.2021 – 18:45 +0530 – hirunews.lk/sinhala)

අපරික්ෂාකාරි අන්දමින් මෝටර් රථයක් පදවා රිය අනතුරකින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කළැයි කියන සිද්ධියකට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය ලබන සැප්තැම්බර් මස 29 වනදා තෙක් කල් තබන ලෙස පානදුර අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියෝග කර තිබෙනවා.

සැකකරුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා රුපියල් 50,000 ක ඇප බැදුම්කරයකට යටත්ව තාවකාලික රියදුරු බලපත්‍රයක් මුදාහරින ලෙසටයි නියෝග කළේ.

අනතුර සිදුවී වසරකට ආසන්න කාලයක් සැකකරුගේ රියදුරු බලපත්‍රය අධිකරණය භාරයේ ඇති බැව්න් සහ, ජාතික ප්‍රවාහන අධිකාරියේ වෛද්‍ය සභා වාර්තාව අධිකරණයට ලැබී ඇති බැවින් සැකකරුගේ රියදුරු බලපත්‍රය මුදාහරින ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න කළ ඉල්ලීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබාදී තිබෙනවා.

“මේ රටේ මිලියන විස්සක් පමණ ජනතාව ජීවත් වෙනවා. ඔය අවස්ථාව ලැබෙන්නේ එකොළොස් දෙනෙකුට පමණයි. ඒ එකොළොස් දෙනා අතරට එන්නට විශාල පිරිසක් උත්සාහ දරනවා. මොනවා කලත් හෘදසාක්ෂියට බොරු කරන්න බැහැ. මින් ඉදිරියේ දී පරිස්සමෙන් රිය පැදවිය යුතුයි. අනිත් අයගේ කීර්ති නාමයටද කැළලක් නොවන අයුරින් පරිස්සමෙන් සාවධානව කටයුතු කරන ලෙස නියෝග කරනවා.”

බීමත්ව සිටි බවට කරුණු අනාවරණය නොවන බැවින් රුපියල් 50,000 ක ඇපයකට යටත්ව තාවකාලික රියදුරු බලපත්‍රයක් මුදාහරින බවයි මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ.

සැකකරුගේ රියදුරු බලපත්‍රයේ පිටපතක් සහ රක්ෂණ සහතික පිටපතක් නඩු වාර්තාවට ගොනුකරන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා.

උප පොලිස් පරීක්ෂක පාලිත කන්නන්ගර අධිකරණය හමුවේ කියා සිටියේ මරණයට පත් පුද්ගලයාගේ බිරිඳ වෙත නිවසක් ඉදිකර දෙන බවට සැකකරු පොරොන්දු වී තිබෙන බවයි.

ඒ සම්බන්ධයෙන් වූ සාකච්ඡාවට තමන් සහභාගී සහභාගි නොවූ බවත්, යුක්තියේ සාධාරණත්වය අනුව ඒ පිළිබඳ කටයුතු කරන ලෙසත් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ සදහා අවශ්‍ය වන්නේ නම්, වසර දෙකක් (2) ගතවීමට ප්‍රථම දිසා අධිකරණයේ නඩුවක් පවරන ලෙසත්, නොමිළයේ නීති ආධාර ලබගැනීමට අවශ්‍ය නම් මෙම අධිකරණ පරිශ්‍රයේම ඇති නීති ආධාර කොමිසම වෙත දැනුම් දී නොමිලේ නීති ආධාර ලබා ගැනීමට ලබාගැනීමට කටයුතු කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විත්ති පාර්ශ්වයට උපදෙස් දෙනු ලැබුවා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගේ උපදෙස් පරිදි සැකකරුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කරන බව පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණය අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වුනා.

පසුගිය වසරේ ජූලි මස 06 වැනිදා අලුයම පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ දී මෝටර් රිය පදවා ගෙන යමින් පානදුර දෙස සිට මොරටුව දෙසට පාපැදියෙන් යමින් සිටී පානදුර උතුර ගොරකපොල ප්‍රදේශයේ පදිංචිව සිටී නෙවිල් පීරිස් (64) නමැති අනතුරට ලක්කර මරණයට පත්කර ඇතැයි පවසමින් පානදුර උතුර පොලිසිය ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගනු ලැබුවා.

මාරක රිය අනතුරක් සිදු කිරීම, අනතුර කර පලායාම, තුවාලකරු රෝහලට රැගෙන නොයාම, අනතුරක් වලක්වා නොගැනීම සහ නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කිරීම යන චෝදනා යටතේ ජුලි 7 වැනිදා පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හරිණු ලැබුවා.

පළමු වර නඩුව කැඳවූ අවස්ථාවේ මියගිය තැනැත්තාගේ බිරිඳට සානුකම්පිත දීමනාවක් ලෙසින් රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න ඇතුළු නීතිඥ කණ්ඩායම අධිකරණයට දැනුම්දීමෙන් පසුව එදින රුපියල් ලක්ෂ දෙකක (2) මුදලක් සහ ඉතිරි රුපියල් ලක්ෂ 8 ක් මියගිය තැනැත්තාගේ බිරිඳ ගේ ගිණුමේ තැන්පත් කර තිබෙනවා.

නඩුව නැවත ලබන සැප්තැම්බර් 29 වන දින විභාගයට ගැනීමට නියමිතයි ෴

******************************************

(24.03.2021 – 19:01 +0530 – hirunews.lk/sinhala)

ආනයනය කළ, පිරිපහදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 8300 ක් ඊයේ (23) රාත්‍රියේ කොළඹ වරායෙන් මුදා හැර ඇති බව වාර්තා වනවා.

ඒ ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13 ක් සඳහා සිදුකළ පරීක්ෂාවකදී ඒවායේ පිළිකා කාරක අඩංගු බවට අනාවරණ වී ඇති පසුබිමකයි.

ආනයනය කළ පොල්තෙල් බහාලුම් 13 ක ‘ඇෆ්ලටොක්සීන්ස්’ නම් පිළිකා කාරකය අඩංගු බවට ඊයේ (23) පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය මුල්වරට අනාවරණ කළා.

ඒ සම්බන්ධයෙන් අප ඊයේ (23) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ අංශයෙන් විමසීමක් කළ අතර, ඔවුන් සඳහන් කළේ අදාළ පොල්තෙල් ප්‍රතිඅපනයනය කරන ලෙස මේ වනවිටත් නියෝග කර ඇති බවයි.

කෙසේ වෙතත් එවන් පසුබිමක් තිබියදී තවත් ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් තොගයක් කොළඹ වරායෙන් මුදා හැර ඇති බවයි පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මෙරට වාර්ෂික පොල්තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 1,80,000 ක් වනවා. පොල්ගෙඩි බිලියන 2.8 ක් වාර්ෂිකව දේශීය ඵලදාව වශයෙන් රටට හිමිවන අතර, ඉන් සියයට 38 ක් බහුජාතික ආයතන නියෝජනය වන කර්මාන්තකරුවන් විසින් වෙළඳපොලෙන් මිලදී ගනු ලබනවා.

දේශීය පොල් නිෂ්පාදකයන් පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය පොල්තෙල් නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟවීම කෙරෙහි ඍජුව බලපාන බවයි.

ඒ අනුව, පසුගිය ජනවාරි සහ පෙබරවාරි යන මාස දෙකේදී (2) පමණක් පොල්තෙල් මෙට්‍රික් ටොන් 37,000 ක් බදු සහන යටතේ මෙරටට ආනයනය කර තිබෙනවා.

ඒ සඳහා වැය වී ඇති මුළු මුදල රුපියල් බිලියන 10.5 ක්.

මෙරටට ආනයනය කර ඇති අදාළ පොල්තෙල් වලින් සියයට 60 ක ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ ද සීනි බදු සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සමාගම බවටයි පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය සඳහන් කළේ.

මේ අතර, අද (24) දිනයේ සිට වෙළඳසැල්වල පොල්තෙල් සාම්පල පරීක්ෂාව ආරම්භ කළ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කළා.

කෙසේ වෙතත්, දේශීය නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ පිළිකා කාරක පොල්තෙල් මේ වනවිට වෙළඳපොලට නිකුත් වී ඇති බවයි.

1971 වසරේ පිහිටවූ පොල් සංවර්ධන අධිකාරියේ බලය, හීන කිරීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර අද (24) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා කියා සිටියේ අදාළ රසායනික ද්‍රව්‍ය අඩංගු බවට මේ වනවිට තහවුරු වී ඇති බවයි.

******************************************

(24.03.2021 – 19:24 +0530 – hirunews.lk/sinhala)

පරිසර හානි සිදුකරන පුද්ගලයින් 300 කට අධික පිරිසකට මේ වන විට නීතිය ක්‍රියාත්මක කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කලා.

පරිසර අමාත්‍යාවරයා මේ බව කියා සිටියේ කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, විවාදයට තුඩු දි ඇති සිංහරාජය ආසන්නයේ ඇති ඉඩම රක්ෂිතයට අදාලව ගැසට් කර ඇති භුමියට අයත් නොවන බව ද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (24) පාර්ලිමේන්තුවේදි ද ප්‍රකාශ කළා.

මේ අතර, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය කොළඹ අද (24) කැදවා තිබු මාධ්‍ය හමුවකදී සිංහරාජ රක්ෂිතය සම්බන්ධයෙන් මතුවි ඇති ගැටලුව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්ණ කළා.

එමෙන්ම, රූමස්සල වන විනාශයට එරෙහිව හබරාදුව නගරයේ ජනතාවගෙන් අත්සන් ලබාගැනීමේ ව්‍යාපාරයක් අද (24) සංවිධානයකර තිබුනේ පරිසර සංවිධාන එකමුතුව විසින්.

එසේම, දැරනියගල ප්‍රදේශයේ සිදුකරන අනවසර පස් කැපීම් වලට විරෝධය දක්වමින් ප්‍රදේශවාසීන් දැරනියගල – දෙහිඕවිට අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය අවහිර කරමින් විරෝධාතාවක නිරත වුනා.

******************************************

(24.03.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

කොළඹ වරාය නගරය ලෙස හැඳින්වෙන විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩල රැස්වීමකදී අනුමැතිය හිමිවූ අතර, ඒ සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසීම මෙම පනත් කෙටුම්පත හරහා සිදුකෙරෙනවා ෴

******************************************

(24.03.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

රත්නපුර – කිරිඇල්ල ප්‍රදේශයේ කළු ගඟේ මැණික් නිධියකින් රත්‍රං හමුවී ඇති බව මැණික් සහ ස්වර්ණභරණ අධිකාරිය පවසනවා.

අතීතයේ පටන් ලංකාව ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව තිබුණේ මෙරට සතු ස්වභාවික ඛනිජ සම්පත් හේතුවෙන්.

රත්නපුර ප්‍රදේශය මැණික් සඳහා ප්‍රසිද්ධියක් උසුලන නිසාවෙන්ම, මේ නගරය ප්‍රචලිතව තිබෙන්නේ රුවන්පුරය ලෙසින්.

මේවන විට රුවන්පුරයෙන් රත්‍රංද සොයා ගැනීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට හැකිවී තිබෙනවා.

ඒ, නියමු ව්‍යාපෘතියක් ලෙස රත්නපුර – කළුගඟ – හැරනියාවක ප්‍ර දේශයේ දියත්කර තිබුණු මැණික් ගැරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙසයි.

******************************************

(24.03.2021 – 21:36 +0530 – hirunews.lk/sinhala)

දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළ රජය ඉදිරිපත් කර ඇති අතර ජනාධිපතිවරයා ලෙස ගමින් ගමට යන්නේ ද සැබෑ ජනතා ගැටළු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් ලබාදීමට බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නොමැති පිරිසක් අද ඊට ද පහර ගසමින් සිටින බව ඔහු පෙන්වා දෙනවා.

කුමන බාධක සහ විවේචන පැමිණිය ද ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ අඩපණ නොකරන අතර බොරු ප්‍රචාරවලින් ජනතාව මුලා කිරීමට ඉඩ දිය නොහැකි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළේ.

ඔහු මෙම අදහස් පළ කළේ අද (24) පස්වරුවේ නුගේගොඩ ‘වැලි පාර්ක් උද්‍යානයේ’ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමින්.

වත්මන් රජය බලයට පැමිණ මාස 16 ක් වැනි කෙටි කාලයකදී රට තුළ පැහැදිළි ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කර ඇති අතර පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනතාව තමාගෙන් ඉල්ලා සිටියේ එම වෙනස බවයි ඔහු කියාසිටියේ.

ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සංස්කෘතිය, අපේකම, දේශීයත්වය රැක ගැනීමට මෙන්ම රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ද රජය විශාල වැඩකොටසක් කළ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ඔහු කියාසිටියේ වත්මන් රජයට මුහුණ දීමට සිදුව ඇත්තේ මෙම යුගය තුළ ඇති වූ ගැටළුලට නොව පසුගිය ආණ්ඩු සමයේ ඇති කළ ගැටළුවලට බවයි.

19 වැනි සංශෝධනයෙන් සිදු වූ වැරදි ඉන් එකක් වන අතර 20 වැනි සංශෝධනය ගෙන එමින් එම වැරදි නිවැරදි කළ බව ජනාධිපතිවරයා සඳහන් කළා.

ජාතික ආරක්ෂාව දුර්වලකිරීම හේතුවෙන් පාස්කු ප්‍රහාරය සිදු වූ අතර ඒ පිළිබඳ සොයා බැලීමට ඔවුන්ම පත් කළ පාස්කු කොමිසමට පිළිතුරු බැඳීමට සිදුව ඇත්තේ ද වත්මන් රජයට බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.

MCC ගිවිසුමට මෙන්ම නැගෙනහිර පර්යන්තය බදුදීමට ගිවිසුම් ගතවූයේ ද පසුගිය රජයේ සමයේ වුව ද ඒ පිළිබඳ මතු වූ අර්බුදකාරී තත්ත්වයට ද රජයට මුහුණ දීමට සිදුවූ බව ඔහුසඳහන් කළා.

ඔවුන්ම ඇතිකළ ගැටළු මතු කරමින් එදා ආණ්ඩුවේ සිටි අයම අද රජයට විරුද්ධව උද්ඝෝෂණවල නිරතවන බව ප්‍රකාශ කල ජනාධිපතිවරයා රජයේ ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාවට නංවන අතර ඔවුන් ඇති කළ ගැටළුවලට පිළිතුරු සෙවීමට වැඩි කාලයක් වැය කිරීමට රජයට සිදුව ඇතැයි ද කියසිටියා.

ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවෙකුට අවසර දී නොමැති බවයි ඔහු අවධාරණය කළේ.

විපක්ෂය රට තුළ විශාල වන විනාශයක් සිදුවන බවට බොරු ප්‍රචාර ගෙන යමින් සිටින අතර දිස්ත්‍රික් මට්ටමින් වන විනාශයක් සිදුවනවානම් ඒ පිළිබඳ සොයා බලා කඩිනමි පියවර ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට තමා අද (24) උපදෙස් දුන් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා ෴

******************************************

(24.03.2021 – 22:23 +0530 – hirunews.lk/sinhala)

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ගෙන් රුපියල් බිලියනයක් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවා තිබෙනවා.

ඒ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පසුගිය මාර්තු 15 වැනිදා පැවති දේශපාලන රැලියකදී තමා සම්බන්දයෙන් සිදුකල ප්‍රකාශයක් හරහා බරපතල අපහාසයක් සිදු වූ බව පවසමින්.

මෙම රැලියේදි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මුත්තයියා මුරලිදරන් සතු අක්කර 2000 ක ඉඩමක් සම්බන්දයෙන් ප්‍රශ්න කර තිබෙනවා ෴

******************************************

(24.03.2021 – 23:23 +0530 – hirunews.lk/sinhala)

දිර්ඝ කාලයක පටන් කිරි ගවයින්, වසු පැටවුන් ආදී සතුන් නීති විරෝධීව ඝාතනය කරන මාවනැල්ල ප්‍රදේශයේ ගව ඝාතකාගාරයක් පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු අනාවරණය කර ගත්තා.

අද (24) ‘සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

මාවනැල්ල – දනාගම ප්‍රදේශයේ කලක පටන් මෙම ගව ඝාතකාගාරය පවත්වාගෙන ගිය ද එහි හිමිකරුවන්ට මෙය පවත්වාගෙන යාම සදහා කිසිදු බලපත්‍රයක් නිකුත්කොට නැහැ.

සතර දෙසින්ම CCTV කැමරා සවිකර මෙම ඝාතකාගාරය නීතියට පිටින් පවත්වාගෙන යන අතර ඊයේ (23) දිනයේදී විහාරස්ථානයකට පිං පිණිස පුජා කළ කිරි ගවයෙකු එහි රැගෙනවිත් තිබුණා.

ඝාතනය සදහා මෙම ඉඩමේ ගැටගසා තිබු බොහෝ ගවයන්ගේ ශරීරවල විශාල තුවාල දන්නට තිබු අතර, ඇතැම් සතුන් හණ ගැසීම සඳහා පුළුස්සා තිබුණා.

විහාරස්ථානයට පුජා කළ පුද්ගලයා පොලීසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය ද මෙම ස්ථානයට පැමිණියා.

පසුව සිද්ධිය සමතයකට පත් කර ගැනීම සදහා ගව ඝාතකාගාරයේ සේවකයෙකු පැමිණ ප්‍රකාශ කලේ අවශ්‍යනම් අදාල සත්ත්වයා රැගෙන යන ලෙසයි.

මාවනැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් ද අප මේ පිළිබද විමසා සිටීමේදී ඔවුන් ප්‍රකාශ කලේ මෙහි ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යාම සදහා කිසිදු අවසරයක් ලබා දී නොමැති බවයි.

මේ නීති විරෝධී ගව ඝාතකාගාරයට එරෙහිව දැන්වත් නීතිය ක්‍රියාත්මක වේද ? ‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදීත් මේ පිළිබඳ අවධානයෙන්.

******************************************

(25.03.2021 – 06:54 +0530 – hirunews.lk/sinhala)

පොලිස් ස්ථාන හරහා ඊයේ (24) දිවයිනේ විවිධ ස්ථානවල සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ 112 ක් නීතියේ රැහැනට හසු කර ගන්නට සමත් වුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා.

ඊයේ (24) පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් වැල්ලම්පිටිය ප්‍රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී අයිස් නැමති මත්ද්‍රව්‍ය අලෙවි කළ 28 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබූ රුපියල් අට ලක්ෂ හැත්තෑ දහසක (8,70,000) මුදලක් ද සොයා ගෙන තිබෙනවා.

පොලිසිය විශ්වාස කරන්නේ මෙම මුදල් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් බවටයි.

මීට අමතරව සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් පහළොවක් (15) සමග තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අද (25) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(25.03.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික සහ ජාත්‍යන්තර කතෝලික පාසල් අප්‍රේල් 5 වන දා ආරම්භ වන බව කතෝලික පාසල් සාමාන්‍යාධිකාරී ගැමුණු ඩයස් පියතුමන් පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ලබන 29 වන දා මෙම පාසල් ආරම්භ කිරීමට මීට පෙර තීරණය කර තිබූ බවයි.

ඒ අනුව 5, 11 සහ 13 යන ශ්‍රේණි හැර අනෙකුත් ශ්‍රේණි සදහා අප්‍රේල් 5 වන දායි යළි පාසල් ආරම්භ වන්නේ ෴

******************************************

(25.03.2021 – 08:46 +0530 – hirunews.lk/sinhala)

අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (25) පස්වරුවේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදුකෙරෙනවා.

ඒ, අනුව අද (25) ශෝක දිනයක් ලෙසයි රජය ප්‍රකාශයට පත් කර ඇත්තේ.

ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහනායක, අග්ගමහා පණ්ඩිත, මහෝපාද්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය සඳුදා (22) අලුයම අපවත් වුණා.

ඒ වනවිට උන්වහන්සේ පසුවුණේ 88 වන වියෙහියි.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහය උන්වහන්සේ වැඩවිසූ ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයේ මේ වනවිට තැන්පත් කර තිබෙනවා.

දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍රයේදී අද (25) පස්වරු 3 ට පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති අතර දේහය රැගත් රිය පෙරහැර ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ පස්වරු 1 ට යි.

රිය පෙරහැර විහාරස්ථානයේ සිට ශ්‍රී ධර්මපාල මාවත ඔස්සේ ගාලු පාරට පිවිස වමට හැරී ගාලු පාර ඔස්සේ දෙහිවල, වැල්ලවත්ත පසුකර බම්බලපිටිය වජිරපාර හංදියට පැමිණෙනවා.

පසුව එම හංදියෙන් දකුණට හැරී වජිර පාරෙන් හැව්ලොක් පාරට පිවිස වමට හැරී හැව්ලොක් පාර ඔස්සේ තුම්මුල්ල හංදියට පැමිණීමටයි සැලසුම් කර ඇත්තේ.

අනතුරුව තර්ස්ටන් පාර කේම්බ්‍රිජ් පෙදෙස ජාතික කෞතුකාගාර හංදියෙන් දකුණට හැරී ඇල්බට් ක්‍රසන්ට් මාවතේ ගමන්කර දකුණට හැරී නිදහස් වටරවුම, නිදහස් මාවත ඔස්සේ නිදහස් චතුරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතයි.

ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර ගමන් ගන්නා කාලසීමාව තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක වනවා.

පොලීසිය පැවසුවේ මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා අදාළ කාලය තුල හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි.

අද (25) ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන, මස් මාංශ අලෙවිසැල්, සුරාසැල් හා මත්පැන් අලෙවි මධ්‍යස්ථාන වසා තැබිය යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියන්ගේ අපවත් වීම පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ උත්තරීතර මහ නායක පදවියට ආලෝකයක් වූ කොටුගොඩ ධම්මාවාස නාහිමියන් පල කළ ප්‍රඥා මහිමය සේම කරුණාබරිත බවද ලෝකයට වටිනා ආදර්ශයක් බවයි.

භික්ෂුවක තුළ තිබිය යුතු ව්‍යක්ත බව, විනීත බව සහ විශාරද බව මෙන්ම ධම්මානුධම්ම පටිපන්න බව මහනාහිමියන් තුළින් නිරන්තරයෙන් විද්‍යමාන වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කළා ෴

******************************************

(25.03.2021 – 08:58 +0530 – hirunews.lk/sinhala)

ජනවාරි මාසයේ සිට මේ දක්වා, වන අලි 83 දෙනෙකු මියගොස් ඇති බව වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ෴

@@@@@@@@@@@@@@

(24.03.2021 – 20:33 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 106 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් අද (24) දිනයේ වාර්තා වන මුළු කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 238 ක් ෴

යාපනය නගරාධිපතිවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා ෴

+++++++++++++++++++++

(24.03.2021 – 21:23 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් ආසාදිතයන් 238 අද (24) දිනයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 91,135 දක්වා ඉහළ ගියා.

බස්නාහිර පළාතේ පාසල්වල මෙතෙක් ආරම්භ නොකළ ශ්‍රේණිවල අධ්‍යාපන කටයුතු ආරම්භයට සැලසුම් කර තිබුණේ අප්‍රේල් 19 වැනිදායි.

කෙසේ වෙතත්, ලබන සඳුදා (29) සිට එම ශ්‍රේණි ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අධ්‍යාපන අමාත්‍යාංශයට අවසර ලබාදී තිබෙනවා.

මේ අතර, රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නත මෙරට තුළ හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිව ලබාදීමත් සමඟ එම එන්නත් මිලියන 7 ක් මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 69.65 ක්.

මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ මේ වනවිට කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව පුද්ගලයන් ගණන 844,327 ක් ලබාදී තිබෙනවා.

මේ අතර, චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් එන්නත පිළිබඳව අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

+++++++++++++++++

(24.03.2021 – 22:26 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් (2) වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 554 ක්.

මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක් සහ කොළොන්නාව ප්‍රදේශයේ පදිංචි 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

++++++++++++++++++

(25.03.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතය පාලනය කිරිම සඳහා භාවිත කෙරෙන ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රා තොගය මෙරටට ලැබීම ප්‍රමාද විය හැකි බවට තොරතුරු වාර්තා වනවා.

මීට හේතු වී ඇත්තේ මෙම එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාව තුළ එයට ඇති ඉහළ ඉල්ලුමයි.

ඉන්දියාව තුළ ඇති ඉල්ලුම සපුරාලන තෙක් එම එන්නත් මාර්තු සහ අප්‍රේල් මාසවල දී අපනයනය සීමා කිරීමට ඉන්දීය රජය තීරණය කර තිබෙන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධාන එන්නත් කරන ආධාර පහසුකම හෙවත් COVAX පහසුකම යටතේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මාත්‍රා ලක්ෂ පහක් (5) මෙරටට ප්‍රදානය කෙරුණා.

එහි පළමු මාත්‍රා තොගය මේ වන විටත් මෙරට තුළ භාවිත කරන අතර දෙවන මාත්‍රා තොගය අප්‍රේල් මස මැද භාගයේ දී මෙරටට ලැබීමටයි නියමිතව තිබුණේ ෴

+++++++++++++++++++

(25.03.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා මර්දන එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දියාව තීරණය කළත්, මෙරට එන්නත්කරණ වැඩසටහනට ඉන් බාධාවක් ඇති නොවන බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.

කොරෝනා එන්නත් අපනයනය තාවකාලිකව අත්හිටුවීමට ඉන්දියාවේ සීරම් ආයතනය පියවර ගෙන ඇත්තේ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහළ යෑමත් සමඟ එන්නත් සඳහා පවතින දේශීය ඉල්ලුම සැලකිල්ලට ගනිමින්.

ලොව විශාලතම කොරෝනා එන්නත් නිෂ්පාදකයා වන ඉන්දියාවේ සීරම් ආයතනය ඔක්ස්ෆ්ර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා මිලියන ගණන් මේ වනවිටත් ලොව රටවල් රැසකට ප්‍රදානයන් වශයෙන් සහ මුදලට අපනයනය කර තිබෙනවා.

ඉන්දියාව පසුගිය පෙබරවාරි මාසය වනවිට කොරෝනා එන්නත් මාත්‍රා කෝටි 1.6 ක් ලොව රටවල් විස්සකට අපනයනය කර ඇති අතර, ඉන් 37% ක්ම ලබාදී ඇත්තේ ප්‍රදානයන් ලෙසයි.

ශ්‍රී ලංකාවටද ඉන්දියාවෙන් ප්‍රදානයක් ලෙස කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ එන්නත් මාත්‍රා 2,64,000 ක් මේ වනවිට ලැබී තිබෙනවා.

මීට අමතරව තවත් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා කෝටියක් මෙරටට ගෙන්වීමට මුදල් වෙන්කර ඇති අතර, ඉන් ලක්ෂ 05 ක පළමු එන්නත් තොගය පසුගිය පෙබරවාරි 25 වැනිදා මෙරටට රැගෙන එනු ලැබුවා.

ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති සමස්ත කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ප්‍රමාණය 12,64,000 ක්.

පසුගිය ජනවාරි 29 වැනිදා සිට ආරම්භ කෙරුණු මෙරට එන්නත්කරණ වැඩසටහනට අදාළව මේ වනවිට පුද්ගලයින් 8,56,327 දෙනෙකුට එන්නතේ පළමු මාත්‍රාව ලබාදී තිබෙනවා.

එහි දෙවන (2) මාත්‍රාව ලබාදීමේ කටයුතු ලබන අප්‍රේල් 10 වැනිදායින් පසු ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *