පිළිකා කාරක පොල් තෙල්, රේගුවෙන් නිදහස් වීම ගැන පරීක්ෂණයක්

පිළිකා කාරක පොල් තෙල්, රේගුවෙන් නිදහස් වීම ගැන පරීක්ෂණයක්

*********************************************

පිළිකා කාරක පොල් තෙල්, රේගුවෙන් නිදහස් වීම ගැන පරීක්ෂණයක්

(24.03.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

පිළිකා කාරක අඩංගු පොල්තෙල් සෞඛ්‍ය නිර්දේශයන් නොතකා රේගුවෙන් නිදහස් කිරීම පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (24) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කියා සිටියේ පිළිකා කාරක අඩංගු පොල්තෙල් බෙදාහැර ඇති ප්‍රදේශ පිළිබඳ තොරතුරු ලබාදෙන්නේ නම් එය පරීක්ෂණ සඳහා පහසුවන බවයි.

මේ අතර, පිළිකා කාරක අඩංගු පොල්තෙල් සම්බන්ධයෙන් සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ (23) අනාවරණයක් සිදුකළ අතර ඕනෑම අවස්ථාවක පරීක්ෂණ සඳහා සහය දැක්වීමට සූදානම් බවයි එහි ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා සිටියේ.

මේ අතර, අද (24) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද මෙම පොල් තෙල් ගැටළුව පිළිබදව සාකච්ඡාවට බදුන් වුණා ෴

******************************************

(24.03.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

මිහින්තලය – 580 – වෙල්ලාරගම – පළුගස්වැව ගම්මානයේ බොරලු කැපීම සඳහා නිකුත් කර ඇති බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ඒ, මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එම ප්‍රදේශයේ සිදුකළ නිරීක්ෂණයකින් අනතුරුවයි.

ගම්මානයේ පරිසරයට හානි වන අයුරින් බොරලු කැපීම සිදුකරන බවට පසුගිය දා රැස්වූ මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනුරාධපුර අඩවි වන නිලධාරී සුමිත් සුවාරිස් මහතා විසින් හෙළිදරව්වක් සිදුකරනු ලැබුවා.

ඒ අනුවයි රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ (23) පස්වරුවේ එම ප්‍රදේශයේ නිරීක්ෂණය කිරීමට එක්වුණේ.

ඒ සඳහා රාජ්‍ය නිලධාරීන් ද සහභාගි වී සිටි අතර එම අවස්ථාවේදී බොරලු කැපීම් සිදුකරන ව්‍යාපාරිකයින් සඳහන් කරනු ලැබුවේ රජය මගින් වසර කිහිපයකට පෙර ලබාදුන් බලපත්‍ර අනුව බොරලු කැපීම් සිදුකරන බවයි.

කෙසේ වෙතත්, බොරලුව කැපීම් සිදුකරන පරිසර භූමිය වන සංරක්ෂණ කලාපයට අයිති බැවින් ඒ සම්බන්ධයෙන් නිවැරදිතාවය සොයා බලන තෙක් එම බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සදහන් කළා.

******************************************

(24.03.2021 – 13:48 +0530 – hirunews.lk/sinhala)

නිසි මිලක් නොමැතිවීම සහ තීන්ත ආනයනය කිරීම හේතුවෙන් ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බව බදුල්ල දිස්ත්‍රිකයේ පාරම්පරික හුණු කර්මාන්තකරුවන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ අමුද්‍රව්‍ය සපයා ගැනීමේ අසීරුතාව සහ නිෂ්පාදන සඳහා නිසි මිලක් නොමැතිකමින් හුණු කර්මාන්තශාලා වැසීයමින් පවතින බවයි.

මෙරට පාරම්පරික කර්මාන්තයක් වන හුණු නිශ්පාදනය සඳහා සොරණාතොට , මැඩිතලේ , රිදීපාන , ඇතුලු ප්‍රදේශ අතීතයේ සිටම ප්‍රසිද්ධියක් උසුලනවා.

විකල්ප නිෂ්පාදන වෙළෙදපොළ ආක්‍රමණය කිරීමත් සමග විශාල ඉල්ලුමක් තිබූ හුණු කර්මාන්තය අවදානමකට පත්ව ඇති බවයි බදුල්ල සොරණාතොට හුණු නිෂ්පාදකයින් පෙන්වා දෙන්නේ.

ඔවුන් පවසන්නේ පාරම්පරිකව සිදු කරගෙන ආ සිය කර්මාන්තය සිදු කරගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයා ගැනීමද මේ වනවිට අභියෝගයක්ව පවතින බවයි.

බුලත් විට සඳහා හුණු නිශ්පාදන අලෙවි වුවද පොලිතීන් මිල ඉහළයාම හේතුවෙන් එම නිෂ්පාදන ඔස්සේද ලාභ ලබා ගැනීම අපහසු බව කර්මාන්තකරුවන් පෙන්වා දෙනවා.

දිනෙන් දින අවදානමට ලක්වෙන හුණු කර්මාන්තය ආරක්ෂා කර ගනිමින් දැඩි ගැටලු රැසක් මධ්‍යයේ එම කර්මාන්තයේ රැදී සිටින කර්මාන්තකරුවන් ඉල්ලා සිටින්නේ සිය කර්මාන්තය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වගකිව යුතු බලධාරීන්ට මැදිහත් වන ලෙසයි.

******************************************

(24.03.2021 – 14:07 +0530 – hirunews.lk/sinhala)

ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇති සෙරමික් නිෂ්පාදන දින 180 ක ණය පදනම මත ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දක්වමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව කියා සිටියා.

එසේම, බතික් හා අත්යන්ත්‍ර මගින් වියන ලද ඇඟලුම් හා රෙදිපිළි හැර වෙනත් සාරි වර්ග දින 90 ක ණය පදනම මත ආනයනය කිරීමට ද අවසර ලබාදීමටයි අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ ෴

******************************************

(24.03.2021 – 14:30 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය විසින් නීති විරෝධී ලෙස මාර්ග බලපත්‍රයක් ලබා දී ඇති බව පවසමින් මාතලේ – මහනුවර සහ මාතලේ – ගලේවෙල දක්වා ධාවනය කරන පෞද්ගලික බස් රථවල සේවකයින් ධාවනයෙන් ඉවත් වී වර්ජනයක නිරත වනවා.

ඔවුන් චෝදනා කළේ මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා විසින් ගලේවෙල සිට පේරාදෙනිය දක්වා බස් රථයකට මෙලෙස ධාවන බලපත්‍රයක් ලබාදී ඇති බවයි.

ඊට විරෝධය පළ කරමින් අද (24) බස් රථ සේවකයින් මාතලේ – නුගවෙල බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක ද නිරත වුණා ෴

******************************************

(24.03.2021 – 14:36 +0530 – hirunews.lk/sinhala)

කොළොන්නාවේදී අත්අඩංගුවට ගත් කසල තේ අපනයනය කිරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරු අප්‍රේල් මස 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරු ඉරාකය ඇතුළු රටවල් කිහිපයකට කසල තේ අපනයනය කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙනවා.

ඔහු අවස්ථා කිහිපයකදී අධිකරණය මඟහැර සිටි අයෙකු ද වන බවයි රේගුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ෴

******************************************

(24.03.2021 – 14:39 +0530 – hirunews.lk/sinhala)

‘කෙසෙල්වත්තේ දිනුක’ගේ අනන්‍යතාවය ඔහුගේ මවගෙන් ලබා ගත් DNA පරීක්ෂාවෙන් තහවුරු වී තිබෙනවා.

මීට අදාළ වාර්තාව අද (24) රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත භාර දී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

‘රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන්’ වන ඔහු ‘රාජපක්ෂ කසුන් මධුරංග’ යන ව්‍යාජ නමකින් පෙනී සිට ඇති නිසා මෙලෙස අනන්‍යතාවය තහවුරු කර ගැනීමට සිදුව ඇති බව සඳහන්.

අනන්‍යතාවය තහවුරු වූ හෙයින් දේහය අද (24) මීගමුව රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි ෴

(24.03.2021 – 17:44 +0530 – hirunews.lk/sinhala)

පුද්ගල ඝාතන චෝදනා ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ‘රාජපක්ෂ ආරච්චිගේ දිනුක මධුෂාන්’ හෙවත්, ‘කෙසෙල්වත්ත දිනුක’ගේ අවසන් කටයුතු අද (24) මීගමුව නගර සභා පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

ඒ ඩුබායිහි දී ජිවිතක්ෂයට පත්ව පසුගිය 18 වනදා දිවයිනට රැගෙන ආ දේහය පිළිබඳ ඩී.එන්.ඒ. හා ඇගිලි සලකුණු පරීක්ෂණ වාර්තා අනුව, ඔහු ‘කෙසෙල්වත්තේ දිනුක’ බවට තහවුරු වීමෙන් අනතුරුවයි.

අවසන් කටයුතු සිදුකරන අවස්ථාවට ඔහුගේ මව ඇතුළු ඥාතීන් මෙන්ම ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද එම ස්ථානයට පැමිණ තිබෙනවා.

මීගමුව රෝහලේ තිබූ දේහය රිය පෙරහරකින් පොදු සුසාන භූමියට රැගෙන ආ අතර පසුව සුසාන භූමියෙහි ප්‍රධාන පිවිසුම වසා දමන ලෙසට දිනුකගේ ඥාතීන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් පැමිණ කිසියම් අනතුරක් සිදුකළ හැකි බවට ඇති වූ සැකය මතයි ෴

******************************************

(24.03.2021 – 15:08 +0530 – hirunews.lk/sinhala)

මේ වන විට වෙළඳ පොලට නිකුත්ව ඇති කුරුඳු සිගරට්ටුව නීතියට පටහැනි බව ‘දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය’ පවසනවා.

අද (24) බත්තරමුල්ල සෙත්සිරිපායේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් දක්වමින් දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා මේ බව කියා සිටියා.

කුරුඳු සිගරට්ටුවේ නිකොටින් අඩංගු නොමැති බැවින් ශරීරයට හිතකර බව පැවසීම කීම මිථ්‍යාවක් බවත් කුමන ආකාරයක හෝ දුම් ආඝ්‍රහණය ශ්වසන පද්ධතියට අහිතකර සහ එමගින් ස්වසන පද්ධතිය දුර්වල කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මෙහිදී අදහස් දක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කලේ තනි සිගරට් අලෙවිය පවා වහා නතර කළ යුතු සමයක මෙවැනි හඳුන්වා දීමක් හරහා සිදු කරන්නේ රටේ නීතියට අභියෝග කිරීමක් බවයි.

එමෙන්ම සිගරට් අලෙවිය සඳහා බලපත්‍රයක් නිකුත් කළ යුතුයි යන ස්ථාවරයේ තම සංගමය දිගින් දිගටම සිටිනා බවත් ඔහු මෙහිදී අනාවරණය කළා.

මෙහිදී අදහස් දැක්වූ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ මහතා කියා සිටියේ ආර්වේද යන නාමය හිතුමතේ භාවිත කල නොහැකි බවයි.

එමෙන්ම මෙම සිගරට්ටුව සඳහා ආයුර්වේද සූත්‍ර කමිටුවේ අවසරය ලබාදී නොමැති බවත් ඔහු වැඩි දුරටත් කියාසිටියා.

පසුගියදා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි මෙම කුරුඳු සිගරට්ටුව ජනගත කිරීම සිදුවුයේ ෴

******************************************

(24.03.2021 – 15:25 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී එම පක්ෂවල නිල නාම යම් ආගමික හෝ වාර්ගික වශයෙන් නම් කරන්නේ නම්, එවැනි පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

පවතින නීති අනුව, දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරනු ලබන්නේ ජාතික පක්ෂයක් වශයෙන් වන බැවින් ඊයේ (23) කොමිසම රැස්වූ අවස්ථාවේ මෙම තීරණයට එළඹි බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.

එසේම, දැනට ලියාපදිංචි කර ඇති පිළිගත් දේශපාලන පක්ෂවල නිල නාම එවැනි ආගමික හෝ වාර්ගික වශයෙන් නම්කර තිබේ නම්, ඒවා සංශෝධනය කිරීම සඳහා අදාළ පක්ෂ දැනුවත් කර සාධාරණ කාලසීමාවක් ලබාදීමට ද මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා ෴

******************************************

(24.03.2021 – 15:35 +0530 – hirunews.lk/sinhala)

2019 උසස් පෙළ කඩයිම් ලකුණු ගැටලුවෙන් අසාධාරණයට පත් තාක්ෂණවේද සහ ප්‍රායෝගික පරීක්ෂණ ගැටලු සහිත සිසුන් සරසවි වෙත බඳවා ගන්නා ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (24) විරෝධතාවක නිරත වුණා. ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදීයි.

පසුව කොමිෂන් සභාවේ බලධාරින් සමඟ විරෝධතාකරුවන් සාකච්ඡාවක් ද පැවැත්වූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

******************************************

(24.03.2021 – 15:55 +0530 – hirunews.lk/sinhala)

අද (24) දින අළුයම 04:50 ට පමණ කළුතර බන්ධනාගාරයේ තාප්පයට පිටත සිට යම්කිසි පාර්සලයක් විසි කර පුද්ගලයෙකු දිව යන අයුරු මුරපොලක ආරක්ෂක රාජකාරියේ සිටි නිළධාරින් වෙත නිරික්ෂණය වී තිබෙනවා.

පසුව පාර්සලය පතිත වූ බන්ධනාගාරයේ C අංශයේ ඇතුළත භූමිය පරික්ෂා කිරිමේදී තණ කොළ වලින් ආවර්ණය කරන ලද පාර්සලයක් සොයා ගැනීමට බන්ධනාගාර නිලධාරින් සමත් වුනා.

එය පරික්ෂා කිරිමේදී ඒ තුල ජංගම දුරකථනයක්ද, දුරකථන බැටරියක්ද, සහ දුම්කොළ තිරු 08 ක්ද සොයා ගත්තා.

අත්අඩංගුවට ගන්නා ලද තහනම් ද්‍රව්‍ය ඉදිරි විමර්ශණ කටයුතු සදහා කළුතර උතුර පොලිස් ස්ථානය වෙත භාර දීමට නියමිතයි ෴

******************************************

(24.03.2021 – 17:12 +0530 – hirunews.lk/sinhala)

අපවත් වී වදාල ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවයේ රිය පෙරහර හේතුවෙන් හෙට (25) පස්වරුවේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ අනුව, රිය පෙරහර ගමන් කරන ගල්කිස්ස, ගාලුපාර, බම්බලපිටිය, තුම්මුල්ල හන්දිය හරහා නිදහස් චතුරස්‍රය දක්වා මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් පස්වරු 01:00 සිට විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලීසිය මහජනතාවට දැනුම් දෙන්නේ.

මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහැර හෙට පස්වරු 01:00 ට ගල්කිස්ස ධර්මපාලාරාමයෙන් ආරම්භ වනවා.

රිය පෙරහැර ගාලු පාර ඔස්සේ බම්බලපිටිය වජිර පාර තෙක් පැමිණ එතැනින් වජිර පාර ඔස්සේ හැව්ලොක් මාර්ගයයට පිවිසීමට නියමිතයි.

ඉන් අනතුරුව තුම්මුල්ල හන්දියෙන් තර්ස්ටන් පාර ඔස්සේ ඉදිරියට පැමිණෙන රිය පෙරහැර ජාතික කෞතුකාගාරය ඉදිරිපිටින් ගමන් කර නන්දා මෝටර්ස් වටරවුමෙන් දකුණට හැරී නිදහස් මාවතට පිවිස නිදහස් චතුරස්‍රය වෙත ළගා වනු ඇති ෴

@@@@@@@@@@@@@@

(24.03.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala)

අද (24) දිනය තුළ කොවිඩ්-19 ආසාදිතව රෝහල්ගතව සිටි පුද්ගලයින් 324 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 87,630 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 90,765 ක් වන අතර පුද්ගලයින් 2,583 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

++++++++++++++++++

(24.03.2021 – 16:00 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයින් 324 දෙනෙකු සුවය ලබා අද (24) පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 87,630 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර, ඉන්දියාවෙන් නව ද්විත්ව විකෘති කොරෝනා ප්‍රභේදයක් හඳුනාගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය අද (24) වාර්තා කළා.

ඉන්දියාවේ ප්‍රාන්ත 18 ක පුද්ගලයන්ගෙන් ලබාගත් සාම්පල මගිනුයි මෙම වෛරසය හඳුනාගෙන ඇත්තේ.

ලබාගත් සාම්පල 10,787 කින් 736 දෙනෙකු බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදයේ ආසාදිතයන් බවට හෙළිවී තිබෙනවා.

34 දෙනෙකු දකුණු අප්‍රිකා සහ බ්‍රසීල වෛරස ආසාදිතයන් බව සඳහන්.

ඉන්දියාවෙන් ඊයේ (23) දිනයේ පමණක් කොරෝනා වෛරස් ආසාදිතයන් 47,262 ක් වාර්තාවී ඇති අතර මරණ 275 ක් වාර්තාවුණා ෴

+++++++++++++++++

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 132 දෙනෙකු වාර්තාවී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *