සීනි ආනයනික බද්ද සත 25 ක් දක්වා අඩු කලේ ජනතාවට එම සහනය ලබාදීමට – මුදල් ඇමති

සීනි ආනයනික බද්ද සත 25 ක් දක්වා අඩු කලේ ජනතාවට එම සහනය ලබාදීමට – මුදල් ඇමති

*********************************************

සීනි ආනයනික බද්ද සත 25 ක් දක්වා අඩු කලේ ජනතාවට එම සහනය ලබාදීමට – මුදල් ඇමති

(23.03.2021 – 20:23 +0530 – hirunews.lk/sinhala)

සීනි සඳහා අයකෙරෙනු ආනයනික බද්ද සත 25 ක් දක්වා අඩු කිරීමට රජය පියවර ගත්තේ ජනතාවට එම සහනය ලබාදීමේ වුවමනාවෙන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

******************************************

(23.03.2021 – 19:20 +0530 – hirunews.lk/sinhala)

සිංහල අලුත් අවුරුද්දට පෙර බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ මේ වනවිට සීනි, මාගරින් සහ ෆාම් ඔයිල් ඇතුලු බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍යවල මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් තම සංගමය අවස්ථා ගණනාවකදී රජය දැනුවත් කළද මෙතෙක් ඊට නිසි විසඳුමක් ලබා නොදීම හේතුවෙන් බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීමට සිදුවනු ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පාන් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සහල් ආනයනය කිරීම සඳහා අනුමැතිය ලබාදුන් බවයි.

මේ අතර ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු පිරිපහදු නොකළ පොල්තෙල් සහ ෆාම් තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ අංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දඹුල්ලේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා සිටියේ අදාළ පොල්තෙල් වෙළඳපොලට ඇතුලුවී ඇති බවයි.

එමෙන්ම සීනි පිළිබඳ බදු ප්‍රතිපත්තිය පිළිබඳව විපක්ෂය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අද (23) පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබාදුන් අතර, එහිදී විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සංවාදයට මැදිහත් වුණා.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එය වංචාවක් නොවන බවයි.

******************************************

(23.03.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

වෘත්තිය සමිති කිහිපයක් අදත් (23) කොළඹ ස්ථාන කිහිපයකදී විරෝධතාවල නිරතවුණා.

කම්කරු අරගල මධ්‍යස්ථානය කොළඹ ජාතික රෝහල ඉදිරිපිට සිට විරෝධතා පා ගමනකින් මුදල් අමාත්‍යාංශය දක්වා පැමිණියේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් සඳහා විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.

ඒ හේතුවෙන් කොළඹ – පුරහල සහ පිටකොටුව අවට මාර්ග කිහිපයක රථවාහන තදබදයක්ද පැවතුණා.

විරෝධතාවට සෞඛ්‍ය සේවකයින් සහ වෘත්තිය සමිති රැසක නියෝජිතයින් සහභාගිවී සිටියා.

පසුව නියෝජිතයන් කිහිපදෙනෙකුට භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාව සැළසුණා.

එහිදී ඔවුන් ඉල්ලීම් කිහිපයක් ඇතුළත් සන්දේශයක් භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයාට භාරදුන් බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසක්ද අද (23) කොළඹදී උද්ඝෝෂනයක නිරත වුණේ උසස්වීම් ලබාදීම සහ බඳවාගැනීමේ ක්‍රියා පටිපාටිය අක්‍රමවත් බව පවසමින්.

එසේම ලංකා බැංකු සේවක සංගමයද රාජ්‍ය බැංකුවල නොවිසඳී ඇති ගැටළුවලට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා කොල්ලුපිටියේ පිහිටි ජාතික ඉතිරිකිරීමේ බැංකු මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා.

එසේම ජලසම්පාදන මණ්ඩලයේ වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානයද අද (23) රත්මලානේ පිහිටි මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවක් සිදුකළේ වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

******************************************

(23.03.2021 – 19:38 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ මහනුවර නගර සීමාවේ වායු දූෂණය ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ මට්ටම ඉක්මවා ගොස් ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඒ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සංවිධානය කළ සම්මන්ත්‍රණයකට අද (23) එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවලද වායු දූෂණය ඉහළ යාමේ අවදානමක් මතුව ඇති බැවින් එය කඩිනමින් වළක්වා ගත යුතු බවයි.

මේ අතර සිංහරාජ රක්ෂිතයේ ඉදිකිරීමක් සිදුකරන්නේ නම් ඒ සඳහා යුනෙස්කෝ සංවිධානයේ අවසරය ලබා ගන්නා බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ අද (23) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ, සිංහරාජ රක්ෂිතයේ වැව් දෙකක් (2) ඉදිකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

එසේම පරිසර විනාශයට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තු වට රවුම ආසන්නයේ විරෝධතාවක නිරත වුණා.

මේ අතර කිතුල්ගල – දෙහිඅස්ස යෝජිත රක්ෂිතය තුළද හෝටලයක් ඉදිකිරිමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අදාළ ඉදිකිරීම් සිදුකරන පුද්ගලයාගෙන් විමසීමක් සිදුකළ අතර ඔහු කියා සිටියේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම් සභාවට අයත් ඉඩමක නායකත්ව පුහුණු වැඩසටහනක් සඳහා කඳවුරක් ඉදිකරන බවයි ෴

******************************************

(23.03.2021 – 19:50 +0530 – hirunews.lk/sinhala)

අපවත් වී වදාළ අමරපුර මහා නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය සිදුකෙරෙන ලබන 25 වනදා සංවේදනීය දිනයක් ලෙස නම් කර තිබෙනවා.

අමාත්‍ය චමල් රාජපක්ෂ සදහන් කළේ එම ආදාහන පුජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිත බවයි.

ඒ අනුව උන්වහන්සේගේ දේහය පිළිබඳ අදාහන පුජෝත්සවය ලබන 25 වනදා පස්වරු 4 ට සිදුකිරීමට නියමිතව ඇත්තේ කොළඹ නිදහස් චතුරස්‍රයේදීයි.

උන්වහන්සේගේ දේහය මේ වනවිට මහජන ගෞරවය සදහා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ද අද (23) දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

******************************************

(23.03.2021 – 21:23 +0530 – sinhala.adaderana.lk)

ටයර් ආනයනයට රජය සීමා පැනවීමත් සමග වෙළෙඳපොළේ ටයර්වල මිල වැඩිවීමක් සහ හිඟයක් මේ වනවිට වාර්තා වේ.

එවන් පසුබිමක ගෙවීගිය ටයර් භාවිත කරමින් ධාවනය කෙරෙන රථවාහන පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ‍ඊයේ (22) පොලිසිය විසින් ආරම්භ කළේය.

රථ වාහනවල ටයර් නිසි තත්ත්වයෙන් පවතින්නේදැයි සොයා බැලීම සඳහා පොලිසිය එලෙස මෙහෙයුමක් ආරම්භ කළේය.

ඒ අනුව, ඊයේ (22) මෙන්ම අදත් දිවයිනේ ස්ථාන කිහිපයකම රථවාහන පොලිසිය විසින් පරීක්ෂා කෙරුණු අයුරු දක්නට ලැබුණි.

නමුත් විශේෂයෙන් ම රියැදුරන් පැවසුවේ ආදායම් අහිමිව ඔවුන් ගැටලු රැසකට මුහුණදෙමින් සිටින අවස්ථාවක පොලීසිය හරහා ඔවුන්ට දඩ පත්‍ර නිකුත් කිරීම අසාධාරණ බවය.

******************************************

(23.03.2021 – 15:53 +0530 – sinhala.adaderana.lk)

කළුතර ප්‍රදේශ කිහිපයකට හෙට (24) පෙරවරු 08:00 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කළුතර දකුණ, කළුතර උතුර, වාද්දුව, හික්කඩුව, පොතුපිටිය, මොල්ලිගොඩ සහ මොරොන්තුඩුව යන ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය.

අදාළ ප්‍රදේශවලට හෙට (24) පෙරවරු 08:00 සිට අනිද්දා (25) අලුයම 02:00 දක්වා කාලය තුළ ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.

කළුතර අල්විස් පෙදෙස ජලාශ පරිශ්‍රයේ සිදුකෙරෙන නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේය ෴

******************************************

(23.03.2021 – 14:23 +0530 – sinhala.adaderana.lk)

අද (23) අලුයම 04:30 ට පමණ රාජගිරියේ දී සිදුවූ රිය අනතුරකින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂකයෙක් සහ තවත් පුද්ගලෙයක් ජීවිතක්ෂයට පත්විය.

රාජගිරිය ආයුර්වේද වටරවුමත් ගුවන් පාලමත් අතර ප්‍රධාන මාර්ගය අසල වාහන පරීක්ෂාවේ නිරතව සිටි පොලිස් හදිසි ඇමතුම් ඒකකයට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් කුඩා ලොරි රථයක් පරීක්ෂා කරමින් සිටියදී බොරැල්ල දෙසට අධික වේගයෙන් පැමිණි එම වෑන් රථයක් එලෙස අනතුරට ලක් කරමින් ධාවනය කර තිබේ.

එහිදී වාහන පරීක්ෂාවේ නිරතව සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ කුඩා ලොරි රථයේ සහයකයා ලෙස පැමිණි පුද්ගලයා අනතුරින් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්විය.

ජීවිතක්ෂයට පත්වූ 52 හැවිරිදි පීල්ලගේ රංජිත් ප්‍රියංකර නැමති උප පොලිස් පරීක්ෂකවරයා කොම්පඤ්ඤවීදිය පොලිස් නිල නිවාසයක වාසය කළ අක්මීමන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඇයගේ බිරිඳ හඬා වැළෙපෙමින් පවසා සිටියේ, “කොහොම ද මම වාවන්නේ. මම හීනෙකින්වත් හිතුව ද මෙහෙම වෙයි කියලා මගේ මනුස්සයාට. මම තමයි කොයි වෙලාවෙත් ලෙඩ වෙවි හිටපු කෙනා. අන්තිමට එයා
අපිව දාලා ගියා. මගේ දෙයියෝ එන්නකෝ…අපිත් එක්ක යන්න එන්න. මට කියන්න මම කොහොම ද ඉන්නේ
කියලා…” යනුවෙනි.

වෑන් රථය මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති අතර වෑන් රථයේ රියැදුරු ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

******************************************

(23.03.2021 – 14:17 +0530 – sinhala.adaderana.lk)

ඉදිකිරීම් අතරමඟ නතර කර ඇති පොළොන්නරුව කදුරුවෙල ත්‍රෛයිභාෂා ජාතික පාසලේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් යළි අරඹන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලයි.

එහි ඉදිකිරීම් අවසන් නොවූ ගොඩනැගිලි මේ වනවිට ගරා වැටෙමින් පවතී.

ජාතික සංහිඳියාව තහවුරු කිරීමේ අරමුණින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත පොළොන්නරුව කදුරුවෙල ත්‍රෛයිභාෂා ජාතික පාසල සඳහා මුල්ගල තැබුවේ 2017 වසරේ සැප්තැම්බර් මස 29 වනදාය.

ඉන්දීය රජයේ ආධාර යටතේ ඉදිකිරීම් කටයුතු ආරම්භ වූ එහි අධ්‍යයන කටයුතු 2019 වසරේදී ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

මෙහි ඉදිකිරීම් ආරම්භ කර මේ වනවිට වසර 4 කට ආසන්න කාලයක් ගතවී තිබේ.

නමුත් තවමත් සම්පූර්ණ නොවූ ඉදිකිරීම් සඳහා අද අත්ව ඇති ඉරණම ඉතාමත් කණගාටුදායක ය.

ඉදිකිරීම් සඳහා රැගෙන ආ උපකරණද කොන්ත්‍රාත්කරුවන් විසින් යළි රැගෙන ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

කෝටි ගණනක මුදල් වැයකර ආරම්භ කළ මෙවැනි ව්‍යාපෘති විනාශවීමට ඉඩ නොදී නැවත ඉදිකිරීම් අරඹන ලෙස ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

******************************************

‘ඇදේට යන මිනිස්සු ලඹේට බලනවා අපි යන්නේ කෙලින් ද කියලා’ – අනතුරට පත් බස් රථයේ තිබු සටහනක්

(23.03.2021 – 08:48 +0530 – sinhala.adaderana.lk)

පස්සර 13 කණුව ප්‍රදේශයේ දී පසුගිය දා ප්‍රපාතයට පෙරළී ගිය බස් රථය ගොඩට ගැනීම තාවකාලිකව නවතා දමා තිබේ.

‘අද දෙරණ’ වාර්තාකරු පවසා සිටියේ, ඊයේ (22) සවස වන විට එම ප්‍රදේශයට ඇඳ හැලුණු අධික වර්ෂාව හේතුවෙන් එම කටයුත්ත නවතා දැමු බවය.

බස් රථයේ හිමිකරුවන් විසින් බසය ගොඩට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරූව ද අඩි 250 ක පමණ ප්‍රපාතයේ සිරවී ඇති බස් රථය ගොඩ ගැනීම අසීරු කර්තවයක් වී තිබේ.

පසුගිය මාර්තු මස 20 වන දින උදෑසන කොළඹ සිට ලුණුගල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් පස්සර ප්‍රධාන මාර්ගයේ 13 කණුව අසලදී අඩි 250 ක පමණ ප්‍රපාතයකට පෙරළී යාමෙන් එම අනතුර සිදුවුණි.

අනතුරින් පුද්ගලයින් 14 දෙනෙකුට ජීවිත අහිමි වී තවත් 33 දෙනෙකුට තුවාල සිදුවිය.

බදුල්ල දෙසට ධාවනය වෙමින් තිබූ බස් රථය ඉදිරියෙන් පැමිණි ටිපර් රථයකට මාර්ගයේ ඉඩලබාදීමට යාමේදී අනතුර සිදුව තිබුණි.

මේ අතර ප්‍රපාතයට පත් බස් රථයේ පිටුපස සඳහන් කර තිබු වැකියක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වන අයුරු දක්නට ලැබුණි.

එහි සඳහන් ව ඇත්තේ, ‘ඇදේට යන මිනිස්සු ලඹේට බලනවා අපි යන්නේ, කෙලින් ද කියලා’ ලෙසය.

******************************************

විහාරගල ගම්වාසීන්ගේ අඳෝනාව – ‘අපිට ඉන්න තැනක් නැති නිසා මහත්තයෝ මේ ඉන්නේ’

(22.03.2021 – 19:37 +0530 – sinhala.adaderana.lk)

කන්තලේ, විහාරගල විහාරස්ථානය අසල නැවත පදිංචි කළ පිරිස් එම ස්ථානයෙන් ඉවත්කිරීමට අද (22) පොලිසිය හා වන සංරක්ෂණ නිලධාරින් කටයුතු කළ බව ‘අද දෙරණ වාර්තාකරු’ පැවසීය.

එහිදි එම ස්ථානයෙන් ඉවත්වීමට කාලය ඉල්ලා සිටි පවුල් දෙකක් (2) පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණි.

කන්තලේ වාන් ඇළ ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් 1988 වසරේදී සිය ගම්බිම් අත්හැර දමා පිටව යන්නේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ දැඩි තර්ජන හේතුවෙනි.

ඔවුන් 2009 වසරේදී යළි සිය ගම්බිම් වෙත පැමිණෙන ඇත.

එසේ පැමිණි ඔවුන් පදිංචි වී ඇත්තේ කන්තලේ විහාරගල විහාරස්ථානය අසල භූමියකය.

එතැන් සිට අද වන තෙක් තමන් වසර 12 ක පමණ කාලයක් එම භූමියේ ජීවත්වූ බව ඔවුන් කීය.

කෙසේවෙතත් ඉකුත් පෙබරවාරි මස 12 වනදා එම ගමට පැමිණි කන්තලේ වන සංරක්ෂණ නිලධාරීන් පදිංචිකරුවන්ට පවසා ඇත්තේ, එම භූමිය රක්ෂිතයක් ලෙස නම් කර ඇති හෙයින් වහාම ඉන් පිටවන ලෙසය.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී විජේවික්‍රම ළමාහේවා මහතා ඊට මැදිහත් වී වන සංරක්ෂණ නිලධාරීන්ට එම ස්ථානයෙන් පිටත්කර යැවීමට පියවර ගෙන තිබුණි.

ඒ ජනතාව පාරම්පරිකව එම භූමියේ ජීවත් වූ බව පවසමින්.

පසුව වන ජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත වාන් ඇල පොලිසියේ අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයා අධිකරණයේ ඇප මත මුදාහැරෙන්නේ කිසිඳු අයුරක කැළෑ සහිත ඉඩම් බෙදා දීමක් සිදුකිරීමට මැදිහත් නොවන ලෙසට නියෝග කරමිනි.

මෙවන් පසුබිමක අද‍ (22) පොලිසිය හා වන සංරක්ෂණ නිලධාරින් යළි පැමිණ පදිංචිකරුවන්ට වහා පිටව යන්නැයි දැනුම් දුනි.

එහිදී ගම්වාසීන් පැවසුවේ, ‘අපිට ඉන්න තැනක් නැති නිසා මහත්තයෝ මේ ඉන්නේ’ යනුවෙනි.

පසුව පොලිස් නිලධාරීන් විසින් දරුවන් ද සමග එක පවුලක් පොලිස් රියකින් ගෙනයන අයුරු දක්නට ලැබුණි.

******************************************

බාල පොල්තෙල් සොයා අද (24) සිට වැටලීම්

(24.03.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා වෙළඳසැල් වල ඇති පොල්තෙල් පරීක්ෂා කිරීමේ කටයුතු අද (24) සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු පිරිපහදු නොකළ පොල්තෙල් සහ පාම් තෙල් තොගයක් වෙළඳපොලට නිකුත් වී ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනුයි එහි සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා මේ බව සඳහන් කළේ.

මේ අතර ආනයනය කළ මිනිස් පරිභෝජනයට නුසුදුසු පිරිපහදු නොකළ පොල්තෙල් සහ පාම් තෙල් තොගයක් ප්‍රතිඅපනයනය කිරීමට උපදෙස් ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ අංශය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් දඹුල්ලේ ඊයේ (23) මාධ්‍ය හමුවක් පවත්වමින් සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ ප්‍රධාන කැදවුම්කරු බුද්ධික ද සිල්වා මහතා කියා සිටියේ අදාළ පොල්තෙල් වෙළඳපොලට ඇතුලුවී ඇති බවයි ෴

******************************************

(24.03.2021 – 06:41 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – පංචිකාවත්ත – සංඝරාජ මාවතේ ආපනශාලාවක අද (24) අලුයම ඇති වූ ගින්නෙන් එහි අරක්කැමියා මිය ගොස් ඇති බව මරදාන පොලීසිය ප්‍රකාශ කළා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 46 හැවිරිදි බලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අද (24) අලුයම 05:30 ට පමණ අරක්කැමි, ආහාර සකසමින් සිටියදී මුළුතැන්ගෙයි ගෑස් ටැංකිය පුපුරා යාමෙන් මෙම ගින්න හටගෙන තිබෙනවා.

ගින්න මේ වන විට පාලනය කර ඇති අතර ඒ සඳහා ගිනි නිවීමේ රථ 5 ක් යෙදවූ බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

******************************************

(24.03.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත වූ යෝජනාව පිළිගන්නා බව දෙමළ ජාතික සන්ධානය පවසනවා.

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ.

ජගත් මානව හිමිකම් සැසිවාරයට සත්කාරක රාජ්‍යයන් ඉදිරිපත් කළ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඊයේ (23) සම්මත වුණා.

එහිදී එම යෝජනාවට පක්ෂව රටවල් 22 ක් ඡන්දය භාවිත කළ අතර ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේ චීනය, රුසියාව ඇතුළු රටවල් 11 ක් පමණයි.

ඉන්දියාව, ජපානය ඇතුළු රටවල් 14 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

එහිදී බ්‍රිතාන්‍යය, ජර්මනිය, කැනඩාව, උතුරු මැසඩෝනියාව, මොන්ටිනිග්‍රෝ සහ මලාවි යන සත්කාරක රාජ්‍යයන් ගෙන ආ 46-එල් 01 යෝජනාවට පක්ෂව ජර්මනිය, ප්‍රංශය ඇතුළු රටවල් 22 ක් ඡන්දය භාවිත කළා.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය විවේචනය කරමින් ඉදිරිපත් වූ යෝජනාවට එරෙහිව චීනය, පාකිස්ථානය, රුසියාව සහ බංග්ලාදේශය, ඇතුළු රටවල් 11 ක් ඡන්දය භාවිත කළ අතර ඉන්දියාව, ජපානය, නේපාලය ඇතුළු රටවල් 14 ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය ලබාදෙන නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කිරීම සහ එහි සංශෝධන ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතියට අනුකූලව සිදුකළ යුතු බවත්, අදාළ යෝජනාවේ සඳහන්.

යෝජනාව සම්මත වීම පිළිබද ශ්‍රී ලංකාවේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඡන්ද විමසීමෙන් පසු එම අමාත්‍යාංශයේදී ඊයේ (23) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් යෝජනාව සම්මතවීම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

“යෝජනාව සම්මත වීම අපි පිළිගන්නවා සහ ඒ පිළිබඳව සන්තෝස වෙනවා. ඒකේ කරුණු ක්‍රියාත්මක වෙන්න ඕන.

සංහිඳියාව, වගවීම, ගෞරවය ඇතුළත් විදිහට අපිට ජාතික ගැටළුවට දේශපාලන විසඳුමක් ලැබෙන්න ඕන කියන එකයි අපේ ස්ථාවරය.

වගවීම, සංහිඳියාව, ස්ථිර සාමය ඒවා ස්ථාපිත වන අයුරින් යෝජනාව ගෙන ආපු රටවල් සහ ජගත් මානව හිමිකම් කොමසාරිස් කටයුතු කරන්න ඕන කියලා අපි කියනවා.

ඉන්දියාව සහය දුන්නේ නැතත් මේකට එරෙහිව ඡන්දය පාවිච්චි කරලා නැහැ.

ඉන්දියාව ගොඩක් දුරට ගැඹුරින් කල්පනා කරලා ලංකාව ගැන හිතලා, දෙමළ ජනතාවගේ යහපත උදෙසා යම් කිසි තීන්දුවක් අරගෙන තිබෙනවා.

ඒගොල්ලන් කියන විදිහට යෝජනාවේ ඇතුළත් දේවල් ක්‍රියාත්මක වෙන්න ඕන.”

******************************************

(24.03.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

කලවංචිකුඩි – පෙරියකල්ලාර් ප්‍රදේශයේදී පසුගිය ජනවාරි මස 10 වන දා මිය ගිය 12 හැවිරිදි දැරියට දීර්ඝ කාලීනව පහරදීම් සිදුකර ඇති බවට මඩකලපුව රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සිදුකළ පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙලිව ඇතැයි පොලිස මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ කාන්තාවන් 3 දෙනෙකු ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි ෴

******************************************

(24.03.2021 – 08:44 +0530 – hirunews.lk/sinhala)

2015 වසරේ සිට 2019 වසර දක්වා මෙරටට සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා රුපියල් රුපියල් බිලියන 17.2 ක් වැය කර ඇති බව පාර්ලිමේන්තුවේදී ඊයේ (23) අනාවරණ වුණා.

අදාළ කාලය තුළ මෙරටට ආනයනය කර ඇති සුවඳ විලවුන් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් මිලියන 13.8 ක්.

පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ඒ සම්බන්ධයෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රතිචාර දැක්වීමත් සමඟයි මෙම තොරතුරු අනාවරණ වුණේ.

මේ අතර, මෙරටට ආනයනය කරනු ලබන රූපලාවන්‍ය ද්‍රව්‍යවල ප්‍රමිතිය සම්බන්ධයෙන් විවිධ ගැටළු මතුව තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ද්‍රව්‍ය සොයා දිගින් දිගටම වැටලීම් සිදුකරන අතර ඒ අනුව ජාත්‍යන්තර වෙළද නාමයක් යටතේ ව්‍යාජ ලෙස සකස් කරන ලද ප්‍රමිතියෙන් තොර රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු බොරැල්ල – කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

මොහු ළඟ තිබී සොයා ගත් මෙම ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්ෂ 10 කට ආසන්නයි ෴

@@@@@@@@@@@@@@@@

(23.03.2021 – 19:28 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයන් එකසිය හතළිස් දෙදෙනෙකු (142) අද (23) දිනයේදී හඳුනාගැනීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 90,656 ක් ලෙසයි.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 248 දෙනෙකු අද (23) දිනයේදී සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 85,306 ක් ලෙසයි. ආසාදිතයන් 2,657 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – ෆයිව් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 6.5 ක් ඇණවුම් කිරීමට සැළසුම් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 84 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව මෙරටින් අද (23) දිනයේ වාර්තා වන මුළු කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව 226 ක් ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිත එක් මරණයක් අද (23) වාර්තා වී තිබෙනවා. මෙම මරණයත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 552 දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++++++

(24.03.2021 – 08:30 +0530 – hirunews.lk/sinhala)

කුවේට් රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයින් 112 දෙනෙකු අද (24) අලුයම කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියා.

කොරෝනා වෛරසය පැතිර යාමත් සමග මොවුන් නිවෙස්වලින් පළා ගොස් සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙලෙස පිටුවහල් කර ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපළ ඒකකයේ නිළධාරීන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමු කිරීමට නියමිතයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ Sugar debacle. This is definitely a fraudulent move if government is in conspiracy with the sugar importers; if not it shows that the government is incompetent that they have no control over crooked businessmen that are pocketing a large sum of money for every kilo of sugar that they are selling. At the end the general public are being fleeced. UNP and Podu Jana peramuna, thieves of the same school. Despicable!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *