තෙවන (3) කොරෝනා රැල්ලක් ගැන, පී.එච්.අයි. වරුන්ගෙන් අනතුරු ඇගවීමක්

තෙවන (3) කොරෝනා රැල්ලක් ගැන, පී.එච්.අයි. වරුන්ගෙන් අනතුරු ඇගවීමක්

*********************************************

තෙවන (3) කොරෝනා රැල්ලක් ගැන, පී.එච්.අයි. වරුන්ගෙන් අනතුරු ඇගවීමක්

(23.03.2021 – 09:30 +0530 – hirunews.lk/sinhala)

එන්නතට මුල් තැන දෙමින් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ අවම කළහොත් එය මෙරට තෙවන (3) කොරෝනා රැල්ලක ආරම්භය විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එම තත්ත්වය එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දට බලපෑ හැකි බවයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර, ඊයේ (22) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 314 ක් වාර්තා වූ අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 90,514 දෙනෙකු දක්වා ඉහළ ගියා.

එමෙන්ම, කොරෝනා මරණ 5 ක් ද ඊයේ (22) දිනයේ වාර්තා වූ අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 551 ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මෙලෙස මිය ගිය පුද්ගලයින් වයස අවුරුදු 80 ත්, 51 ත් අතර වියේ පසුවන්නන්.

ඊයේ (22) දිනයේ වාර්තා වූ මරණ 5 ම පිරිමි පුද්ගලයන් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. දැනට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාවෙන් 341 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර සෙසු 210 දෙනා කාන්තාවන්.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් සමස්ත කොරෝනා ආසාදිතයින් 29,312 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 17,838 දෙනෙකුත්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 6562 කුත් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක වලට අමතර මහනුවරින් ආසාදිතයින් 4158 දෙනෙකුත්, රත්නපුරයෙන් 2758 දෙනෙකුත් වාර්තා වී තිබෙනවා.

මේ අතර, ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ චීන සිනොෆාම් කොරෝනා එන්නත මෙරට ජනතාව සඳහා එන්නත් කිරීමට මෙතෙක් පූර්ණ අනුමැතිය ලබා දී නොමැති බවයි ෴

+++++++++++++++++++

(23.03.2021 – 11:47 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (22) වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් 314 දෙනා අතරින් 52 නෙකු වාර්තා වී ඇත්තේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන්.

කළුතරින් ආසාදිතයින් 30 දෙනෙකු සහ ගම්පහින් ආසාදිතයින් 29 දෙනෙකු වාර්තා වී ඇති අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28 දෙනෙකු අලුතෙන් සොයා ගත් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.

මේ වන විට කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා ලබාදෙන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (22) දිනයේදී පුද්ගලයින් 8490 කට එන්නත් ලබාදී තිබෙනවා.

ඒ අනුව මේ වන විට එන්නත්කරණය සිදුකර ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 8,38,355ක් ෴

@@@@@@@@@@@@@@

(23.03.2021 – 09:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අප්‍රේල් 6 වන දා නැවත වරක් කෝප් කමිටුව හමුවට කැදවා තිබෙනවා.

මීට පෙර පෙබරවාරි 11 වන දා ද ඔවුන් කෝප් කමිටුව හමුවට කැදවා තිබූ අතර, ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණීම හේතුවෙන් රැස්වීම අතරමග දී අත්හිටුවනු ලැබුවා.

ඒ අනුවයි ඔවුන්ට මාසයකට ආසන්න කාලයක් ලබාදී ලබන මස 6 වන දා කෝප් කමිටුව හමුවට පැමිණෙන ලෙසට දැනුම් දී තිබුණේ.

එසේම, කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් තවත් රාජ්‍ය ආයතන 7 ක් මෙම මස සහ ලබන මස එම කමිටුව හමුවට කැදවා ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය කියා සිටියේ.

මේ අතර, කලා විෂය ධාරාව යටතේ අධ්‍යාපනයට නැඹුරු වීමේ ප්‍රවණතාව සහ කලා උපාධිධාරීන්ගේ විරැකියාව පිළිබඳ විමසා බැලීමේ විශේෂ විගණන වාර්තාව අද (23) රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී සලකා බැලීමට නියමිතයි.

එමෙන්ම, හෙට (24) දිනයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නැවත වරක් රජයේ ගිණුම් කාරක සභාවට කැදවා ඇති අතර බදු පරිපාලන කළමනාකරණ තොරතුරු පද්ධතියේ වර්තමාන තත්ත්වය පිළිබදව එහිදී සලකා බැලෙනු ඇති ෴

******************************************

(23.03.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා මහබැංකුව චීන මහජන බැංකුව සමඟ යුආන් බිලියන 10 ක එනම් ඇමරිකානු ඩොලර් බිලියන 1.5 ක මුදල් හුවමාරු ගිවිසුමකට එළඹී තිබෙනවා.

ද්වි පාර්ශවික වෙළදාම් සහ ඍජු ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් එළඹුණු මෙම ගිවිසුම වසර 3 ක කාලයක් සඳහා වලංගු බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.

මහජන චීනය ශ්‍රී ලංකාවේ විශාලතම ආනයන ප්‍රභවය වන අතර, පසුගිය වසරේ එරටින් ආනයන කළ භාණ්ඩවල වටිනාකම ඩොලර් බිලියන 3.6 ක්.

එය මෙරට ආනයනයන්ගෙන් සියයට 22.3 ක් ලෙස සැලකිය හැකියි.

ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩල නිර්දේශය මත මෙම හුවමාරු ගිවිසුමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මීට පෙර හිමි වුණා.

අදාළ මුදල් හුවමාරු ගිවිසුමට මහබැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා සහ චීන මහජන බැංකුවේ අධිපති ආචාර්ය යි – ගැන් මහතා අත්සන් තබා තිබෙනවා ෴

******************************************

(23.03.2021 – 09:11 +0530 – hirunews.lk/sinhala)

පස්සර – 13 කණුව – ප්‍රදේශයේ පසුගිය දා සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අනිද්දා (25) දිනයේ අධිකරණයට සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන බව පොලීසිය ප්‍රකාශ කළා.

පස්සර පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ මෙතෙක් සිදුකළ විමර්ශන පිළිබද සියළු තොරතුරු එහිදී අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අඩි 300 කට ආසන්න ප්‍රපාතයකට පෙරළී පසුගිය සෙනසුරාදා පෙරවරුවේ සිදුවූ මෙම අනතුරෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එහිදී තුවාල ලැබූ සංඛ්‍යාව 33 ක්.

පොලීසිය ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට තුවාලකරුවන් ඇතුළු විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි.

එසේම මෙම අනතුර සිදුවූ මාර්ගයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් එල්ල වන චෝදනා විමර්ශනය කිරීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ කමිටුවක් ද පත් කර තිබෙනවා ෴

******************************************

(23.03.2021 – 09:15 +0530 – hirunews.lk/sinhala)

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසි වාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද (23) පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ අදාළ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුයේ එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, මලාවි, මොන්ටිනීග්‍රෝ සහ උතුරු මැසිඩෝනියාව විසින්.

සාමාජිකයන් 47 දෙනෙකුගෙන් සමන්විත ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ඒ පිළිබද ඡන්ද විමසීම ඊයේ (22) දිනයේ පැවැත්වීමට නියමිතව තිබුණා. කෙසේ නමුත්, යෝජනා රැසක් න්‍යාය පත්‍රවලට ඇතුළත් කිරීමේ ගැටළු හේතුවෙන් එය අද (23) දක්වා කල් දමනු ලැබුවා.

ඒ අනුව මානව හිමිකම් මණ්ඩලයේ 46 එල් – 1 දරණ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ජිනිවා වේලාවෙන් අද (23) පෙරවරු 9 ට පළමු යෝජනාව ලෙස විවාදයට ගැනෙනු ඇති.

අදාළ යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබද අධීක්ෂණය සහ වාර්තාකරණය ඉහළ නංවන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය වෙතින් ඉල්ලා සිටිනවා. එමෙන්ම, මෙරට සංහිදියාව සහ වගවීම සම්බන්ධයෙන් ලබන ප්‍රගතිය මානව හිමිකම් මණ්ඩලයේ ඉදිරි සැසි වාරයන් සදහා ඉදිරිපත් කර යුතු බව ද එම යෝජනාවේ සදහන්.

කෙසේ නමුත්, මෙම යෝජනාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. එමෙන්ම, ශ්‍රී ලංකාවේ මිතුරු රටවල් ද එම ස්ථාවරය දරනු ඇතැයි අමාත්‍යවරයා අපේක්ෂාව පළ කළා ෴

******************************************

(23.03.2021 – 09:18 +0530 – hirunews.lk/sinhala)

සිංහල අලුත් අවුරුද්දට පෙරත් තම ඉල්ලීම්වලට විසදුම් ලබානොදුනහොත් අලුත් අවුරුද්ද උදාව සැමරීම ද සිදුකරන්නේ සත්‍යග්‍රහයේ නිරත වෙමින් බව වලව ඒකාබද්ධ ගොවි සංවිධානය පවසනවා.

හම්බන්තොට යෝජිත වන අලි කළමණාකරන රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ගොවි සංවිධාන නියෝජිතයින් වල්සපුගල ප්‍රදේශයේ ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට අදට දින 65 ක් ගතවනවා.

බලධාරීන් මීට පෙර ප්‍රකාශ කළේ එළඹෙන අලුත් අවුරුද්දට පෙර ඔවුන්ගේ ඉල්ලීම්වලට විසදුම් ලබාදෙන බවටයි.

මේ අතර, අලි මිනිස් ගැටුමෙහි තවත් ප්‍රතිඵලයක් ලෙස වෙඩි වැදී සිටි වන අලියෙකු ගල්කිරියාගම – පැල්බැදියාව ප්‍රදේශයේ සිටියදී වනජීවි නිලධාරීන් ඊයේ (22) සොයාගනු ලැබුවා. මෙලෙස වෙඩි වැදීමට ලක්වූයේ කහල්ල – පල්ලෙකැළේ අභයභූමියේ සිටි වන අලියෙකු බවයි වනජීවි නිලධාරීන් කියා සිටියේ ෴

******************************************

(23.03.2021 – 09:25 +0530 – hirunews.lk/sinhala)

මොරටුව මධ්‍යම වෙළද සංකීර්ණය කඩා ඉවත් කිරීමට මහ නගර සභාව තීරණය කර ඇති බවට මොරටුව මධ්‍යම වෙළඳපොල වෙළඳසැල් හිමියන්ගේ සංගමය චෝදනා කරනවා.

එහි සභාපති සිරි ද අල්විස් මහතා කියා සිටියේ කඩ කාමර 80 කින් යුත් එම වෙළඳ සංකීර්ණය ඉවත් කිරීමෙන් ව්‍යාපාරිකයන් දැඩි අපහසුතාවයට පත්වන බවයි ෴

******************************************

(23.03.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පෙබරවාරි මාසයේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් මෙරටට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 579.7 ක් දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 10 කින් වර්ධනය වී තිබෙනවා.

එමෙන්ම, පසුගිය මැයි මාසයෙන් අනතුරුව විදෙස්ගත ශ්‍රමික ආදායම ඉහළ ගිය අඛණ්ඩ දස වන (10) මාසය මෙයයි. මේ වසරේ ජනවාරි මාසයේදී ද විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ඩොලර් මිලියන 675.3 ක් මෙරටට ලැබුණු අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 16.3 ක වර්ධනයක් ලෙස සැලකිය හැකියි.

මේ වසරේ පළමු මාස 2 තුළ ඩොලර් මිලියන 1255 ක් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට එවා ඇති අතර, එය පසුගිය වසරේ එම කාලසීමාව හා සැසදූ විට සියයට 13.2 ක වර්ධනයක්.

පසුගිය වසරේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ඩොලර් බිලියන 7.1 ක් මෙරටට එවූ අතර, එය වසර 4 කින් මෙරටට ලැබුණු ඉහළම ආදායමයි ෴

******************************************

(23.03.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

බද්දේගම – තිඹිල්ල රක්ෂිතය හෙළිපෙහෙලි කරමින් වන විනාශයක් සිදුකළ බද්දේගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

******************************************

(23.03.2021 – 10:35 +0530 – hirunews.lk/sinhala)

පරිසර විනාශයට එරෙහිව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තු වට රවුම ආසන්නයේ විරෝධතාවක නිරත වුණා. විරෝධතාව අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් පළ කළා ෴

******************************************

(23.03.2021 – 11:00 +0530 – hirunews.lk/sinhala)

කළුතර වලල්ලාවිට හොරවල-පැලවත්ත මාර්ගයේ ලිහිණියාව ප්‍රදේශයේදී ඊයේ (22) උදෑසන ත්‍රීරෝද රථයක ගැටී හඳුන් දිවියෙකු මරණයට පත්වුනා.

හඳුන් දිවියා (Fishing Cat) සැලකෙන්නේ මෙරට බිලාල කුලයේ දෙවැනි විශාලතම සත්වයා ලෙසටයි.

උසින් අඩි දෙකකට (2) ආසන්න ගැහැණු සතෙකු වන මෙම සත්ත්වයා හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරීන් පැමිණ රැගෙන ගියා.

මෙම ප්‍රදේශයේදීම පසුගිය දෙසැම්බර් මස 03 වන දිනද මෙලෙසම වාහනයක ගැටී පිරිමි හඳුන් දිවියකු මිය ගියා.

මෙම ප්‍රදේශය ආශිතව විශාල වනාන්තර ප්‍රමාණයක් පවතින අතර එම වනාන්තර ආශ්‍රිතව හඳුන් දිවියන්ගේ විශාල ගහණයක් සිටිනවා.

කෙසේවෙතත් මෙම වනාන්තර තුල වෙසෙන හඳුන් දිවියන් මෙන්ම අනෙකුත් වනජිවීන් රැක ගැනීම සඳහා ප්‍රදේශයට වනජීවී කාර්යාලක් නොමැති වීම බරපතල අඩුවක් බවයි ප්‍රදේශවාසින් පෙන්වා දෙන්නේ.

වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල වෙසෙන වනජීවින් රැක ගැනීම සහ වනජීවී අපරාද සිදුවීම වලක්වා ගැනීම සඳහා වනජීවී කාර්යාලයක් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුල ස්ථාපනය කරන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ ෴

******************************************

(23.03.2021 – 11:17 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය- හැටන් මාර්ගයේ තලවකැලේ, ඩෙවෝන් ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී අද (23) අලුයම සිදු වු අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් තුවාල ලැබුවා.

මෙලෙස ජීවිත්කෂයට පත්ව ඇත්තේ තලවාකැලේ නානුඔය ප්‍රදේශයේ පදිංචිව සිටි ගනේෂන් නිත්‍යා (25) නැමැති තරුණියක්.

නුවරඑළිය මහ රෝහලට බෙහෙත් ද්‍රව්‍ය රැගෙන ඒම සදහා නුවරඑළිය සිට කොළඹට දෙසට යමින් සිටි නුවරඑළිය මහ රෝහලට අයත් ලොරි රථයක් හා කොළඹ සිට නානුඔයට පැමිණෙමින් සිටි ත්‍රී රෝද රථයක් මෙසේ අනතුරට ලක්වුනා.

අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රීරෝද රථයේ මවක හා දියණියක ගමන් කරමින් සිටි බව පොලිස් විමර්ශණවලදී අනාවරණය වී තිබෙනවා.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරාට තුවාල සිදුව නොමැති අතර ජීවිතක්ෂයට පත් තරුණියගේ මළසිරුර කොටගල රෝහලට රැගෙන ගියා.

ත්‍රීරෝද රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි දිඹුලපතන පොලීසිය සැකකරන්නේ ෴

******************************************

(23.03.2021 – 11:36 +0530 – hirunews.lk/sinhala)

කන්දකැටිය කහගොල්ලඅරාව ගම්මානය වෙත අද (23) අළුයම කඩා වැදුණු වන අලියෙකු එහි නිවසක අළුතින් ඉදි කරනු ලබන වැසිකිලි වළකට වැටී තිබෙනවා.

වැසිකිලි වළට වැටුණු වන අලියා ගොඩගැනීම සඳහා ප්‍රදේශයේ ජනතාව සහ සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් මැදිහත්ව සිටිනවා.

සිද්දිය වන ජීවී දෙපාර්තමේන්තුවට දැනුමිදීමට ගම්වාසීන් පියවර ගෙන තිබෙනවා.

මේ දිනවල කන්දකැටිය හා ඒ අවට ප්‍රදේශයන්හි කුඹුරු වල වී අස්වනු නෙළන සමය ආරම්භව ඇති බැවින් රන්දෙණිගල හා ඒ අවට රක්ෂිත වල සිටින වන අලි නිරන්තරයෙන් ගම් වදින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ ෴

******************************************

(23.03.2021 – 12:29 +0530 – hirunews.lk/sinhala)

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා එම ධුරයෛන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ අනුව වැඩබලන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු වන එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර මහතා පත් කර ඇති බවයි විෂය භාර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *