ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණයි – නීතිපති

ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණයි – නීතිපති

*********************************************

ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණයි – නීතිපති

(22.03.2021 – 18:56 +0530 – hirunews.lk/sinhala)

ස්වර්ණවාහිනියේ කොටස් විකිණීම සම්බන්ධ පරීක්ෂණ අසම්පූර්ණ බව නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ ඒ අනුව පරීක්ෂණ ගොනුව නැවතත් පොලිස්පතිවරයාට යැවූ බවයි.

එම ආයතනයේ කොටස් විකිණීම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන ලෙසද නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා.

******************************************

(22.03.2021 – 16:59 +0530 – hirunews.lk/sinhala)

තම පුතාගේ හත් (7) හැවිරිදි දියණියට බරපතල ලිංගික අතවර කළ හැත්තෑ තුන් (73) හැවිරිදි පුද්ගලයෙකු 31 වනදා දක්වා රක්ෂිත බන්ධානාගර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

සැකකරු ඊයේ දින (21) අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ මෙම දැරියගේ පියා විදේශ ගතව සිටින අතර මව අනෙක් සහෝදර සහෝදරියන් සහ සැකකාර සීයා සමග නිවසේ සිට ඇති බවයි.

එසේ සිටියදි ඉකුත් 21 වන දින මව වැඩිමහල් පුතාට බෙහෙත් රැගෙන එමට ගොස් ඇති බවත් වෛද්‍යවරයා නොමැති නිසා ඉක්මනින්ම ආපසු නිවසට පැමිණ ඇති බවත් එසේ පැමිණිවිට සැකකරු දැරියට ලිංගික අතවර කරනු දැක මව කෑගසා ඇති බවත් එවිට අසල්වාසින්ද පැමිණ ඇති බවත් පොලිසිය කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් දැරියගෙන්ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාවක් ලබාගෙන ඇති බවටයි වාර්තා වන්නේ ෴

******************************************

(22.03.2021 – 18:07 +0530 – hirunews.lk/sinhala)

පරිසර විනාශයට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ සංවිධාන කළ විරෝධතාවක් මේ වන විට කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැවැත්වෙනවා ඔවුන් පස්වරු 3 ට පමණ මරදාන – ටෙක්නිකල් මං සන්ධියෙන් සිය විරෝධතා පා ගමන ආරම්භ කළා.

ඉන් අනතුරුව ඔවුන් කොටුව දුම්රියපොළ ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත වද්දී, ඒ අවට රථ වාහන තදබදයක් ද හට ගත්තා.

******************************************

(22.03.2021 – 18:47 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස කල්දේමුල්ල ප්‍රදේශයේ සුනඛ ප්‍රජනන ස්ථානයක ඇති කරනා සුනඛයින් සඳහා එහි හිමිකරු ප්‍රමාණවත් ලෙස අහාර නොසපයන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මේ පිලිබඳව ලද තොරතුරක් සම්බන්ධයෙන් විමසා බැලීමට සත්ව අවිහිංසා සංවිධානයක් අද (22) මෙම ස්ථානයට පැමිණ තිබෙනවා.

එහිදී ඔවුන් ජංගම දුරකතනයකින් රූ ගත කළ දර්ශන පෙළක් අප වෙත ලබා දුන්නා.

******************************************

(22.03.2021 – 19:19 +0530 – hirunews.lk/sinhala)

තමන් ගමන් ගත් ඩිෆෙන්ඩර් වර්ගයේ රථය මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට හසුව ගසා ගෙන ගිය බව වාර්තා වනවා.

ජනෙල්වලින් පැන යාන්තමින් තමන් ජීවිතය බේරාගත් බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

ඊයේ (21) පස්වරුවේ මැදගම ඔබ්බේගොඩ පුබ්බාර ඔය හරහා ඇති සපත්තු පාලමක් මතින් ගමන් කරද්දී එකවර ජල පහරකට අසුව ගසා ගෙන ගොස් ඇති බවයි මැදගම පොලිසිය ප්‍රකාශ කළේ.

බිබිල මැදගම ප්‍රදේශයේ පැවැති උත්සව කීපයකට සහභාගී වී ආපසු මොනරාගල දක්වා ගමන් කරමින් සිටියදීයි අමාත්‍යවරයා මෙම අනතුරට පත්ව තිබෙනවා.

අධිකවර්ෂාවත් සමග පුබ්බාර ඔයේ ජලමට්ටම ඉහළ ගොස් ඇති අතර සපත්තු පාලමෙන් ගමන් කරද්දී ඩිපෙන්ඩර් රථය සමග ඇමැතිවරයා ගසාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් ඇතුළු පිරිස මැදිහත් වී අමාත්‍යවරයා ගමන්ගත් වාහනය බේරාගෙන තිබෙනවා.

අනතුරින් ඇමැතිවරයාට හෝ කිසිවකුටත් තුවාල සිදුව නැති බවයි වාර්තාවන්නේ ෴

******************************************

(22.03.2021 – 19:30 +0530 – hirunews.lk/sinhala)

නෙලුව – ලංකාගම – කොළොන්තොටුව ප්‍රදේශයේදී සිය පුත්‍රයා විසින් පහර දී පියෙකු ඝාතනය කිරීමේ පුවතක් ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා.

73 හැවිරිදි සිය පියාට ක්‍රිකට් පිත්තකින් පහර දී ඊයේ (21) රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර ඇත්තේ පෞද්ගලික ආරවුලක් හේතුවෙන්.

සිද්ධිය සම්බන්ධයෙන් 31 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(22.03.2021 – 19:32 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ යැයි නම් කර ඇති වැරදිකරුවන් අප්‍රේල් 21 වන දිනට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට රජය අපොහොසත් වුවහොත් දිවයින පුරා විරෝධතා පවත්වන බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

කුමන බලවේගයක් ක්‍රියාත්මක වුවද යුක්තිය ඉටු වන තුරු තමා ජනතාව සමඟ පෙරමුණේ ගමන් කරන බවයි තේ වත්ත බැසිලිකා දේවස්ථානයේ ඊයේ (21) පැවති දේව මෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ.

******************************************

පස්සර බස් අනතුර ගැන පාර්ශව 3 කට චෝදනා

(22.03.2021 – 19:51 +0530 – hirunews.lk/sinhala)

මගීන් රැසකට දිවි අහිමි කළ පස්සර බස් රථ අනතුරට මාර්ග සංවර්ධන අධිකාරිය, ට්‍රක් රථයේ රියදුරා මෙන්ම බස් රථයේ රියදුරු යන තුන් පාර්ශවයම වග කිව යුතු බව මාර්ග ආරක්ෂාව පිළිබද පුහුණුකරුවෙකු වන ඩබ්ලිව්.ඒ. වීරතුංග මහතා පවසනවා.

මෙම අනතුර සම්බන්ධයෙන් ඇතැමුන් විවිධ අදහස් පළ කරන අතර, ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

මේ අතර, අනතුරට ලක්වූ බස් රථය ගොඩට ගැනීම සඳහා අද (22) දිනයේ ක්‍රියාත්මක වූ මෙහෙයුම ද සාර්ථක නොවූ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

+++++++++++++

+++++++++++++

22-03-2021

******************************************

(22.03.2021 – 19:57 +0530 – hirunews.lk/sinhala)

වත්මන් ආණ්ඩුව සිය දේශපාලන ගජමිතුරන්ට කැළෑ කැපීමේ කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායක ජංගම සේවයේ තවත් අදියරක් අද (22) හොරණ ප්‍රදේශයේදී පැවති අතර, ඊට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

මේ අතර, සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (22) නාරාහේන්පිට විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූයේ සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල සම්බන්ධයෙන් සොයා බැලීමටයි.

ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, නලීන් බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියා.

මේ අතර සහල් මිල සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

******************************************

(22.03.2021 – 22:24 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ – චුන්නක්කාඩු රක්ෂිතයේ පදිංචි වූ පුද්ගලයින් ඉවත් කිරීමට වනසංරක්ෂණ නිලධාරීන් හා පොලිසිය අද (22) මැදිහත් වූ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.

මීට මාස තුනකට (3) පමණ පෙර පිරිසක් කන්තලේ චුන්නක්කාඩු රක්ෂිතයේ පදිංචි වූ අතර ඔවුන් පවසන්නේ ත්‍රස්තවාදී සමයට පෙර තමන් මෙම භූමියේ පදිංචිව සිටිබවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එම ජනතාව සහ නිලධාරීන් අතර අවස්ථා කිහිපයකදීම ගැටලු කාරී තත්ත්වයන් ඇති වුණා.

එවන් පසුබිමක ඊයේ (21) දිනයේ විහාරගල විහාර භූමියට පැමිණි වන සංරක්ෂණ නිලධාරීන් අදාළ රකෂිත භූමියෙන් ඉවත්වන ලෙස ජනතාවට දැනුම් දුන්නා.

එම නිලධාරීන් අනතුරුව එහි ඉදිකර තිබූ තාවකාලික නිවාස කඩා ඉවත් කර තිබෙනවා.

රක්ෂිත භූමියේ පදිංචි වූ පිරිස අද (22) පෙරවරුවේ වාන්ඇල පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් අද (22) පස්වරුවේ පැමිණි වන සංරක්ෂණ නිලධාරීන් සහ පොලිසිය අදාළ භූමියෙන් ඉවත් නොවූ පවුල් දෙකක් (2) අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

අත්අඩංගුවට ගත් පිරිස කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇති අතර අපේල් 01 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා.

******************************************

(23.03.2021 – 07:25 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (22) දිනයේදී පලෙයි පොලිස් ස්ථානයට නාවික හමුදාවෙන් ලත් තොරතුරක් අනුව අලියාවේලි කලපුව අසලදී කේරල ගංජා කිලෝ ග්‍රෑම් දෙසිය තිස් නවයක් (239) සමග පුද්ගලයින් දෙදෙනකු (2) අත්අඩංගුවට ගැනීමට පලෙයි පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත් වුණා.

ඒ සමගම එම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක් ද පොලිස් අත්අඩංගුවට පත් වුණා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා (2) අද (23) දින කිලිනොච්චි අධිකරණයට ඉදිරිපත් කර දින හතක (7) රැඳවුම් නියෝග මත තව දුරටත් ප්‍රශ්න කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(23.03.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

අද (23) අළුයම 04:30 ට පමණ වැලිකඩ ආයුර්වේද වටරවුම ආසන්නයේ සිදුවූ අනතුරක් හේතුවෙන් පනස් දෙහැවිරිදි (52) උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයකු මියගොස් තිබෙනවා.

අද (23) අලුයම වැලිකඩ ගුවන් පාලමත් ආයුර්වේද වටරවුම අතර කලාපයේ කොළඹ හදිසි ඇමතුම් අංශයේ පොලිස් නිලධාරීන් මාර්ගයේ ගමන් කරන වාහන පරීක්ෂාවක නිරතවී තිබෙනවා.

ඔවුන් මාර්ගයේ ගමන් ගත් කුඩා ලොරි රථයක් පරීක්ෂා කරන අවස්ථාවේදී බත්තරමුල්ල දෙසින් අධික වේගයෙන් පැමිණි වෑන් රථයක් වාහන පරීක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන් යටකරමින් අනතුරට පත් වී තිබෙනවා.

මෙම අනතුරෙන් හදිසි ඇමතුම් මාර්ග පරීක්ෂණ කණ්ඩායම භාරව සිටි පනස් දෙහැවිරිදි (52) උප පොලිස් පරීක්ෂකවරයා සහ පරීක්ෂාවට ලක් කරමින් තිබූ කුඩා ලොරි රථයේ සහායකයා මියගොස් තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් වෑන් රථය පැදවූ තලවතුගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය මසක පමණ කාලය තුළ දිවයිනේ රිය අනතුරු සිදුවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර එසේ සිදුවන රිය අනතුරු හේතුවෙන් දළ දළ වශයෙන් දිනකට පුද්ගලයින් දහදෙනෙකුට (10) පමණ ජීවිත අහිමි වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.

නිල ඇඳුමෙන් මාර්ග රාජකාරියේ යෙදෙන නිලධාරීන් පවා මෙවැනි අවිනීත රියැදුරන් ගේ ගොදුරු බවට පත් වීම අවාසනාවන්ත තත්ත්වයක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා වැඩිදුරටත් පවසන්නේ ෴

******************************************

(23.03.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

ජාතික හැදුනුම්පත් ඉල්ලුම් කර ඇති අයෙකුට එය කඩිනමින් ලබා ගැනීමට අවශ්‍ය නම් 011 522 6126 ට හෝ 011 522 6100 යන දුරකථන අංකවලට අමතන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ඉල්ලීමක් කරනවා ෴

******************************************

(23.03.2021 – 08:41 +0530 – hirunews.lk/sinhala)

අත්තනෝමතික ලෙස සේවකයින් මර්දනය කරමින් නව බදවා ගැනීම් හා උසස් කිරීම් පටිපාටියක් සිදුකරන බව පවසමින් ලංකා විදුලිබල මණ්ඩලයේ තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරී සංගමය අද (23) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වනවා ෴

******************************************

(23.03.2021 – 08:47 +0530 – hirunews.lk/sinhala)

අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට අතුරුගිරිය දෙසට ධාවනය වූ වෑන් රථයක් ඊයේ (22) රාත්‍රියේ හදිසි ගිනි ගැනීමකට ලක්වූ අතර, පොලීසිය සහ ගිනි නිවීමේ හමුදාව එක්ව ගින්න නිවා දමා තිබුණා.

ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, වෑන් රථය සම්පූර්ණයෙන්ම ගිනි ගෙන විනාශ වී ඇති බවයි පොලීසිය සදහන් කළේ ෴

******************************************

(23.03.2021 – 08:55 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සමඟ සමීප සබඳතා පවත්වමින් එම ත්‍රස්ත ක්‍රියා සඳහා ආධාර අනුබල දී ඇතැයි මේ දක්වා සිදුකළ විමර්ශණවලදී අනවාරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

මේ වන විට රැදවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන අසාද් සාලි, ශ්‍රී ලංකා ජන රජයේ ස්වාධිපත්‍යයට හානි වන අන්දමින් මුස්ලිම් අන්තවාදීන්ට ආධාර අනුබල දීම සිදුකොට ඇති බවට කරුණු අනාවරණ වී ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී පෙන්වා දුන්නා.

මෙම සැකකරු මාවනැල්ල බුදුපිළිම කඩා දැමීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේදී විමර්ශන නිලධාරීන්ට යම් බලපෑමක් සිදුකොට ඇති ආකාරයක් පෙනී යන බව ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව නිකුත් කළ අවසන් වාර්තාවේ සදහන් කර ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය වාර්තාව මගින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වෙත වාර්තා කර තිබුණා.

මේ අතර, පාස්කු කොමිෂන් වාර්තාවේ නිර්දේශ සලකා බැලීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද (23) සහ හෙට (24) යළි රැස්වීමට නියමිතයි.

ඒ අනුව අදාළ වාර්තාවේ අවසන් නිර්දේශ සකස් කිරීම මෙම දින දෙකේදී සිදුවන බව එම කමිටුවේ ලේකම් ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර මහතා ප්‍රකාශ කළා.

පෙරවරු 10:30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අදාළ රැස්වීම් පැවැත්වෙන බව ද ඔහු කියා සිටියා.

පාස්කු කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අධ්‍යයනය කිරීම සඳහා පත් කළ මෙම කමිටුවේ වාර්තාව ලබන 31 වන දා ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිතයි.

එසේම අදාළ වාර්තාව සකස් කිරීම මේ වනවිට අවසන් අදියරේ පවතින බවයි හරිගුප්තා රෝහණධීර මහතා වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, පාර්ලිමේන්තුව අද (23) පෙරවරුවේ සිට ලබන 26 වන දා දක්වා රැස්වීමට නියමිතයි.

ඒ අනුව පාස්කු ප්‍රහාරය පිළිබද පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පිළිබද කල් තැබීමේ විවාදය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පැවැත්වෙනවා ෴

@@@@@@@@@@@@@@@@@@

(22.03.2021 – 17:37 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 175 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ලොව කොවිඩ් 19 ආසාදිතයින් පළමුව වාර්තා වූ චීනයද අභිබවමින් මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 90,375 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර කොවිඩ් ආසාදිතයින් 474 දෙනෙකු සපුගස්කන්ද ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථානයෙන් හමුවීමත් සමඟ ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බලශක්ති අමාත්‍යවරයා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

ලොව මුලින්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ චීනයෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් ගණන 90,099 ක්.

ගෙවුණු දිනයේ මෙරටින් වාර්තා වූ ආසාදිතයින් 354 ක් සමඟින් මෙරට සමස්ත ආසාදිතයින් ගණන චීනය අබිබවා ගියා.

ලොව ආසාදිතයින් වාර්තාවීම පිළිබඳව දෛනික දත්ත සටහන් වන කොවිඩ් වර්ල්ඩ් මීටර් වෙබ් අඩවියට අනුව ශ්‍රී ලංකාව පසුවන්නේ 87 වැනි ස්ථානයේයි චීනය පසුවන්නේ 88 වන ස්ථානයේයි.

ගෙවුණු දිනයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වන්නේ ගම්පහදිස්ත්‍රික්කයෙන් එම පිරිස 197 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 58 ක් සහ යාපනය දිස්ත්‍රික්කයෙන් 17ක් ලෙස ආසාදිතයින් වාර්තා වුණා තවත් කොවිඩ් මරණයක් වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 546 දක්වා ඉහළ ගියා.

මේ අතර සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් කොවිඩ් ආසාදිතයින් 474 දෙනෙකු හමුවීමත් සමඟ ඒ පිළිබඳ සොයා බැලීම සඳහා පංච (5) පුද්ගල කමිටුවක් පත්කිරීමට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කටයුතු කර තිබෙනවා.

එම කමිටුව දින 10 ක් ඇතුළත මේ සම්බන්ධ වාර්තාව අමාත්‍යවරයා වෙත ලබාදිය යුතු බව බලශක්ති අමාත්‍යාංශය නිවේදනය කළා.

මස්කෙළිය නගරයෙන්ද නව කොවිඩ් ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා වී තිබෙනවා මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ මෙම ආසාදිතයින් සියළුදෙනා මස්කෙලියේ පිහිටි හින්දු කෝවිළක් ආශ්‍රයෙන් හමු වූ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි ෴

++++++++++++++++++++

(22.03.2021 – 18:04 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නත පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදය සිදු කර පරීක්ෂණ ප්‍රතිපල නිකුත් වී තිබෙනවා.

එහි දැක්වෙන්නේ මෙම එන්න්නතෙහි මාත්‍රා දෙකම (2) මිනිස් සිරුරට ආරක්‍ෂිත සහ ඉතා ඉහළ ප්‍රතිඵල දක්වන බව පරීක්ෂණ වලින් සනාථ වී ඇති බවයි

මෙම සමඟ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත සම්බන්ධයෙන් ඇති ජාත්‍යන්තර පිළිගැනීම තව දුරටත් සනාථ වනවා.

මේ අතර එන්නත සම්බන්ධයෙන් මෙතෙක් සිදු කරන ලද විද්‍යාත්මක පරීක්ෂණ හරහා තහවුරු කර ගත් තොරතුරු අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රව සති 06 ත් 08 ත් අතර කාලයක ලබා ගැනීමෙන් ඉතා උසස් ප්‍රතිඵල ලබා ගත හැකි බව සොයා ගෙන තිබෙනවා.

මිට පෙර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව නිර්දේශ කර තිබුනේ සති 04 ක කාල පරාසයක් තුළයි.

එමෙන්ම, කොරෝනා වෛරසය ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත්වීම එමගින් සියයට 100 ක්ම වළක්වන බව එමගින් තහවුරු කරනු ලැබුවා ෴

+++++++++++++++++++++

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 05 ක් අද (22) වාර්තාවී තිබෙනවා. මෙම මරණ 05 ත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 551 ක් දක්වා ඉහළ ගියා ෴

මෙරටින් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 99 දෙනෙකු වාර්තාවී තිබෙනවා. ඒ අනුව අද (22) දිනයේ මෙරටින් වාර්තා වන මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 274 ක් ෴

@@@@@@@@@@@@@@@

තුම්මුල්ලේ නිවාස කොල්ලය එක රටක් එක නීතියක් ද මේ ? – Truth with Chamuditha (20.03.2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *