වෙබ් මාධ්‍යවේදියෙකු පැහැර ගත් සිද්ධිය අසත්‍යයක් – රාජිතගෙන් සහ චතුරගෙන් ප්‍රකාශ ගනී

වෙබ් මාධ්‍යවේදියෙකු පැහැර ගත් සිද්ධිය අසත්‍යයක් – රාජිතගෙන් සහ චතුරගෙන් ප්‍රකාශ ගනී

*********************************************

වෙබ් මාධ්‍යවේදියෙකු පැහැර ගත් සිද්ධිය අසත්‍යයක් – රාජිතගෙන් සහ චතුරගෙන් ප්‍රකාශ ගනී

(18.03.2021 – 15:56 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනාත්මක සිද්ධියක් පිළිබඳ දත්ත ඇතුළත් මෙමරි කාඩ්පතක් මුල් කර ගනිමින් තමා පැහැර ගත් බවට අසත්‍ය පැමිණිල්ලක් සිදුකළ වෙබ් මාධ්‍යවේදියෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ගෙන් සහ ඔහුගේ පුත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න ගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.

මාධ්‍යවේදී සුජීව ගමගේ නමැත්තා තමන් මීරිගම නගරයේදී පැහැර ගැනීමට ලක්වූ බවත්, පසුව මාලිගාවත්ත ප්‍රදේශයේදී අතහැර දමා ගිය බවටත් පොලීසියට පැමිණිල්ලක් කර තිබුණා.

කෙසේ වෙතත්, විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ එය අසත්‍ය පැමිණිල්ලක් බවයි.

සිද්ධිය සිදුවූ දිනයේ ඔහු චතුර සේනාරත්නගේ තිඹිරිගස්යායේ කාර්යාලයට ගොස් එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ද හමුවී ඇති බව තහවුරු වී ඇති අතර, සී.සී.ටී.වී. දර්ශනවලින් මීගමුවේ සිට දෙමටගොඩට ඔහු පැමිණි ආකාරය පොලීසිය අනාවරණය කරගෙන තිබුණා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ පුවත්පතක මාධ්‍යවේදියෙකු වන සුජීව ගමගේට පහරදීමක් සිදුව ඇති බව එම පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන අද (18) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළා.

******************************************

(18.03.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala)

සීනි ආනයන බදු පහත හෙලීම හේතුවෙන් රජයට සිදු වූ බව කියන පාඩුව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් අදහස් පළ කළා.

******************************************

(18.03.2021 – 14:54 +0530 – hirunews.lk/sinhala)

පෞද්ගලික ඉඩම්වල ඇති වනාන්තර කොටස් පවා ඒවායේ හිමිකරුවන්ට රිසි පරිදි හෙලිපෙහෙලි කිරීමට මෙරට නීතියෙන් ඉඩක් නොමැති බව පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහතා පවසනවා.

සිංහරාජ රක්ෂිත සීමාවට අයත් හඳපාන් ඇල්ල බෝධියතැන්න ප්‍රදේශයේ සිදුකරන ඉදිකිරීම් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු මේබව සඳහන් කළා.

මෙරට වටිනාම ස්වභාවික සම්පත් අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා සිංහරාජ ලෝක උරුමයට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව පසුගිය කාලය පුරාම වාර්තා වුණා.

ඒ අතුරින් සිංහරාජයේ හඳපාන් ඇල්ල බෝධියතැන්න අලිමංකඩ ආශ්‍රිත අක්කර 8 ක භූමියක පරිසරය වනසමින් සිදු කෙරෙන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජයේ මතුව තිබෙන්නේ දැඩි කතාබහක් වනඅලි ගැවසෙන භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති එම භූමිය හරස් වන ආකාරයට කම්බි වැටක්ද ඉදිකර ඇත්තේ මෙලෙසින්.

කෙසේ වෙතත් කලවාන ප්‍රාදේශිය සභා සභාපති චන්දන ඉන්ද්‍රප්‍රිය මහතා පැවසුවේ පෞද්ගලික ඉඩමක මෙම ඉදිකිරීම් සිදුවන බවයි.

******************************************

(18.03.2021 – 15:20 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙනවිත් තිබූ රුපියල් ලක්ෂ 60 ක් පමණ වටිනා කහ තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී මීගමුව නගරයේදී අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අදාළ කහ තොගය ප්‍රවාහනය කළ පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

මෙම කහ තොගය මීගමුව – කුට්ටිදූව වෙරළේදී පසුගියදා සොයා ගත් කහ තොගයෙහි ඉතිරි කොටස බවටයි පොලීසිය සැක පළ කරන්නේ ෴

******************************************

(18.03.2021 – 15:22 +0530 – hirunews.lk/sinhala)

රන්න ජල සම්පාදන ක්‍රමයේ යාය විස්ස පොම්පකරන නල මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (19) දිනයේදී පැය 10 ක කාලයක් හම්බන්තොට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

හෙට (19) පෙරවරු හයේ (06:00) සිට පස්වරු හතර (04:00) දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය ප්‍රකාශ කළේ.

ඒ අනුව තිස්ස පාර, බටඅත, ගුරුපොකුණ, වෙහෙරගල පාර, කහඳමෝදර සහ අඩිසීය පාර මෙන්ම චේතියගිරිය ප්‍රදේශයට ජල සැපයුම අත්හිටුවනු ඇති ෴

******************************************

(18.03.2021 – 15:27 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – වියලුව ගම්මාන 4 ක පදිංචි පවුල් 600 ක පමණ ජනතාව මුහුණ පා සිටින ප්‍රධාන ගැටළුව

******************************************

(18.03.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ පහරදීම් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ බද්දේගම ප්‍රදේශයේ අනවසර දැව ජාවාරමක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද සොයා මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි.

බණ්ඩාරගමල බියගම සහ බද්දේගම ප්‍රදේශවලදී පුද්ගලයින්ට පහරදීම් සහ අනවසර ගස් කැපීම් ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෙම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරගම – රයිගම ප්‍රදේශයේ පදිංචි ආබාධිත රණවිරුවෙකුට පසුගියදා රාත්‍රියේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් පහර දී තිබෙනවා.

පහර දෙන අවස්ථාවේ මන්ත්‍රීවරයා බීමත්ව සිට ඇති අතර පහර කෑමට ලක්වූ ආබාධිත රණවිරුවාගේ කෘත්‍රීම පාදය මන්ත්‍රීවරයාගේ නිවස ආසන්නයේ කානුවක තිබී පසුදින සොයා ගත් බවයි අප වාර්තාකරු පැවසුවේ.

පහර කෑමට ලක්වූ ආබාධිත රණවිරුවා පානදුර මූලික රෝහලට අතුළත් කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් නිසි පියවර නොගත් බවට චෝදනා කරමින් ඊයේ (17) බණ්ඩාරගමදී විරෝධතාවක්ද පැවැත්වුණා.

******************************************

(18.03.2021 – 15:39 +0530 – hirunews.lk/sinhala)

නීතිය තුළින් සැමට සමානව සැලකීමට නම් අධිකරණ පද්ධතිය ශක්තිමත් විය යුතු බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් පැවති වැඩමුළුවකට එක්වෙමින්.

මත්ද්‍රව්‍ය චෝදනාවලට සිරගත වන පුද්ගලයන් සම්බන්ධව ද අධිකරණ අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා.

******************************************

(18.03.2021 – 15:45 +0530 – hirunews.lk/sinhala)

සහල් සැඟවීමේ මාෆියාවක් ක්‍රියාක්මක බව රජයේ ඇමති වරුන් කිහිප දෙනෙකුම නැවත සඳහන් කළා කෙසේ වෙතත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය චෝදනා කරන්නේ රජය සහල් මිල ඉහළ යෑමට ඉඩහැර සහල් ආනයනය හරහා වංචාවක් කිරීමට සූදානම් වන බවයි.

******************************************

(18.03.2021 – 16:57 +0530 – hirunews.lk/sinhala)

සිසු දරු යාත්‍රා ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) ආරම්භ වුණා. ඒ අරලියගහ මන්දිරයේදී යි.

එහි පළමු අදියර ලෙස කළුතර දිස්ත්‍රික්කයේ මෙම වසරේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් 106 දෙනෙකු සඳහා පාසල් උපකරණ කට්ටල බෙදා දීම සිදුවූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

සමස්ත ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 20,000 කට මෙම පාසල් උපකරණ ප්‍රදානය කිරීමට නියමිතයි ෴

******************************************

(18.03.2021 – 17:15 +0530 – hirunews.lk/sinhala)

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට අලුතින් සාමාජිකයින් 6 දෙනෙකු පත් කර තිබෙනවා.

ඒ අනුව, හිටපු සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතා වෙනුවට වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා යි.

ඊට අමතරව, අලුතින් පත් කළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතරට වෛද්‍ය රසිත විජේවන්ත, මහාචාර්ය සුධීරා ජයසිංහ, රාජා ගුණරත්න, සෙව්වන්දි සුබසිංහ සහ ඩබ්ලිව්.එම්.ජී.එම්. විජේසූරිය යන මහත්ම මහත්මීන් ද ඇතුළත්.

ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ නිර්දේශ මත සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙම පත් කිරීම සිදුකර තිබෙනවා ෴

******************************************

(18.03.2021 – 17:16 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි රාජ්‍යයේදී මියගිය බවට සැක කෙරෙන ‘කෙසෙල්වත්තේ දිනුක’ නැමති පාතාල සාමාජිකයාගේ මළ සිරුර වෙනත් නමකින් මෙරටට රැගෙන විත් ඇති බවට අද (18) පැවති පොලිස් මාධ්‍ය හමුවේදී හෙළිවුනා.

කෙසේවෙතත් මෘත ශරීරයේ මෙරට භාරකරු ලෙස හැඳින්වෙන ‘කෙසෙල්වත්තේ දිනුක’ගේ මවට එවැනි නමකින් යුතු දරුවෙකු නොමැති බවටයි මේ වනවිට හෙළිකරගෙන ඇත්තේ.

ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ සේවාව ඔස්සේ දිවයිනට රැගෙන විත් ඇති මෙම මෘත දේහය මේ වන විට කටුනායක ශ්‍රී ලන්කන් ගුවන් භාණ්ඩ සේවාව සතු ගුදමේ තැන්පත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මළ සිරුර සම්බන්ධයෙන් මීගමුව අධිකරණයෙන් ලබාගන්නා නියෝගයක් මත DNA සහ ඇඟිලි සලකුණු පරීක්ෂණයක් සිදු කර අනන්‍යතාව සහතික කර ගැනීමෙන් පසු ඉදිරි කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

කොළඹ ප්‍රසිද්ධ මල් ශාලාවක් භාරයේ මෙම සිරුර දිවයිනට රැගෙන විත් ඇති අතර දැනට පවතින කොවිඩ්-19 නීති රීති අනුව අදාළ මළ සිරුර මීගමුව ප්‍රදේශය තුල භූමදානය හෝ ආදාහනය කළ යුතු බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

‘කෙසෙල්වත්ත දිනුක’ සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී ඔහු ‘මාකඳූරේ මදුෂ්’ නැමති පාතාල සාමාජිකයා සමග සමීප සබඳතා පවත්වා ඇති බවට හෙළිවී ට තිබෙනවා.

ඒ අනුව පොලිසිය සැක කරන්නේ ‘කෙසෙල්වත්තේ දිනුක’ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා ද සම්බන්ධවී ඇති බවටයි ෴

කෙසෙල්වත්ත දිනුකගේ මෘත ශරීරය සම්බන්ධයෙන් DNA වාර්තාවක් ලබාගැනීමට නියෝගයක් ලබාදී ඇතැයි පොලිසිය පවසනවා.

එම වාර්තාව ලබාගැනීමෙන් පසු සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

දැනට මෙම මළ සිරුර මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා ෴

******************************************

(18.03.2021 – 18:02 +0530 – hirunews.lk/sinhala)

වව්නියාව පම්පෙමඩුව ප්‍රදේශයේදී කාන්තාවක් විසින් උපන් විගස බිළිඳු කළලයක් වල දැමීම සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා වෙත ලැබුනු පැමිණිල්ලක් අනුව අදාළ පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

පුවරාසකුලම් ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවක් විසින් සිය බිළිඳා වල දමා ඇති බවට ප්‍රදේශවාසීන් ග්‍රාම නිලධාරීවරයා වෙත තොරතුරක් ලබාදී තිබෙනවා.

මෙම සිදුවීමට පාදක වූ කාන්තාව වව්නියාව රෝහලේ ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග යටතේ පරීක්ෂණ පවත්වන බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර කාන්තාව සැමියාගෙන් වෙන්වී සිටින අතර අනියම් සම්බන්ධතාවක් හේතුවෙන් දරුවා පිළිසිඳගෙන ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

අනතුරුව මෙම කාන්තාව පසුගිය 14 වනදා හෝ ඊට ආසන්න දිනයකදී බිළිඳෙකු ප්‍රසූත කර ඇති අතර උපන් විගස කලලය වල දමා ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

කලලය වල දැමූ ස්ථානය සම්බන්ධයෙන් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ කැණීම් සිදු කිරීමට නියමිතයි.

පුවරාසකුලම් පොලිසිය සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරනවා ෴

******************************************

(18.03.2021 – 18:39 +0530 – hirunews.lk/sinhala)

දරු ප්‍රසූතියට ආසන්නව සිටි බිරිඳගේ හිසට සහ උදරය පාගා ඇඳ පොල්ලකින් පහරදී උදරය පාගා ඇය මරාදැමීමට උත්සාහ කළ සැමියෙකු තිරප්පනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බිරිඳගේ ගර්භයේ සිටි බිළිඳා මරාදැමූ බවටයි ඇයගේ ඥාතීන් චෝදනා කරන්නේ.

මෙම සිද්ධියෙන් බරපතළ තුවාළ ලැබූ සැකකරුගේ 40 හැවිරිදි බිරිඳ අනුරාධපුර ශික්ෂණ රෝහළ ට ඇතුළත් කර තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ උට්ටිමඩුව තිරප්පනය ප්‍රදේශයේ පදිංචි වයස 35 ක පුදගලයෙක් ෴

@@@@@@@@@@@@@@@

(18.03.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට හා විදෙස් සංචාරකයන්ට බලාත්මක වන නව නිරෝධායන මාර්ග උපදේශන මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය අද (18) කටයුතු කළා.

ඒ අනුව, නිරෝධායන නිර්දේශ යටතේ අනුමත කොරෝනා එන්නත් ලබා ගෙන තිබීමත්, එලෙස පැමිණිය යුත්තේ එන්නත් ලබා ගැනීමෙන් සති 2 ක් ගත වීමෙන් අනතුරුව බවටත්, එහි දක්වා තිබෙනවා.

කොරෝනා එන්නත් ලබා ගෙන පැමිණෙන ශ්‍රී ලාංකිකයින්, ද්විත්ව පුරවැසියන් හෝටල් වල නිරෝධායනයට ලක් වන කාල සීමාව දින 7 ක් දක්වා අඩුකර ඇති අතර නිරෝධායන මධ්‍යස්ථාන වල නිරෝධායනයට ලක්වන කාල සීමාව දින 10 දක්වා අඩුකර තිබීම විශේෂත්වයක්.

කෙසේවෙතත් එන්නත් ලබා නොගෙන පැමිණීමේදී හෝටල් වල දින 7 ක කාලයක් නිරෝධායනයට ලක් විය යුතු අතර තවත් දින 7 ක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්විය යුතුයි.

කෙසේ වෙතත්, යම් හෙයකින් ආසාදිත බවට තහවුරු වුවහොත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නියමයන්ට යටත්ව ප්‍රතිකාර සදහා යොමු විය යුතු බවද නව මාර්ගෝපදේශ වල ඇතුලත්. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය යටතේ දිවයිනට පැමිණෙන සංචාරකයන් අනුගමනය කල යුතු මාර්ගෝපදේශද එහි වෙනම දක්වා තිබෙනවා.

මේ අතර කොරෝනා වසංගත තත්වය හමුවේ තම ජීවනෝපාය අහිමිවීමෙන් දුෂ්කරතාවයට පත් එළි මහන් ප්‍රාසාංගික කලාකරුවන්ගේ එකමුතුව අද (18) මාධ්‍ය හමුවක් පවත්වමින් ඉල්ලා සිටියේ සීමාවන්ට යටත්ව යළි ප්‍රසංග පැවැත්වීම සදහා අවසර ලබා දෙන ලෙසයි.

මේ අතර, අද (18) දිනයේ මේ දක්වා කොරෝනා ආසාදිතයන් 162 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *