සීනි බදු වංචාව ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි

සීනි බදු වංචාව ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි

*********************************************

සීනි බදු වංචාව ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි

(16.03.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

සීනි බදු වංචාව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී විගණකාධිපති චූලාන්ත වික්‍රමරත්න මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඊට අදාළ තොරතුරු එක් රැස් කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බවයි.

අදාළ විමර්ශනයේ වාර්තාව නුදුරු දිනෙකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.

එසේම, මිලදී ගත් මුදලට වඩා සතොස මගින් අඩු මුදලකට සීනි අලෙවි කිරීම සම්බන්ධයෙන් ද වෙනම විමර්ශනයක් ආරම්භ කළ විගණකාධිපතිවරයා සදහන් කළා.

පාඩුවක් යටතේ එලෙස සීනි අලෙවි කිරීමට සතොස ආයතනය පෙළඹුණේ කුමන හේතුවක් මත ද යන්න එහිදී විමර්ශනය කරනු ඇති.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම කොමිසමට වාර්තා වූ පැමිණිල්ලකට අදාළවයි ෴

******************************************

(16.03.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ නිල ඇඳුම ව්‍යාජ ලෙස භාවිත කළ පුද්ගලයකු පන්නිපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයට හැකිව තිබෙනවා.

සැකකරු උප පොලිස් පරීක්ෂක නිල ඇඳුම භාවිත කරමින් විවිධ ව්‍යාපාර කටයුතු සහ අනෙකුත් විවිධ කටයුතු කර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සිදුකරන ලද පරීක්ෂණයකින් අනතුරුව පන්නිපිටිය, පොල්වත්ත ප්‍රදේශයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු රක්වාන ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මේ පුද්ගලයා උප පොලිස් පරීක්ෂක නිල ඇඳුමෙන් සමාජ ජාල මාධ්‍ය තුල ද පෙනී සිට ඇති බවයි මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ව්‍යාජ ලෙස සැකසූ පොලිස් හැඳුනුම්පතක් ද ඔහු සන්තකව තිබී හමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ෴

******************************************

(16.03.2021 – 09:51 +0530 – hirunews.lk/sinhala)

නිවසක ඉදිකර තිබූ තිබූ මාළු ටැංකියකට වැටී කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ගල්කිරියාගම, ආඩියාගල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (15) පස්වරුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුද්දක (1) දරුවෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේදී නිවැසියන් සිට ඇති නමුත්, ඔවුන් දරුවා පිළිබදව විමසිල්ලෙන් සිට නොමැති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා ෴

******************************************

(16.03.2021 – 10:39 +0530 – hirunews.lk/sinhala)

බූර්කාව තහනම් කළයුතුය යන මතයට පැමිණිය ද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

සම්ප්‍රදායික මුස්ලිම් ඇඳුම් පැලදුම් අතරින් බුර්කාව සහ නිකාබ් යන පැළදුම් සම්බන්ධයෙන් මේ වනවිට ඇගයීමක් සිදු කරන බවත් සියල්ලන්ගේ අදහස් ලබාගැනීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එහිදි ප්‍රකාශ කළා.

එමෙන්ම, ඒ සදහා බුද්ධිමය තොරතුරු උපයෝගි කර ගැනෙනවා.

ජාතික ආරක්ෂාව සැලකිල්ලට ගෙන කිසියම් සිදුවීමක් වලක්වා ගැනීම සදහා එවැනි පියවර ගතයුතු බවයි ඔහු අවධාරණය කළේ.

කෙසේ වෙතත් බුර්කාව හා ලියාපදිංචි නොකළ මද්‍රසා පාසැල් තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් පසුගිය 13 වනදා අත්සන් කරනු ලැබුවා.

මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ හැරුණු විට සෙසු මුහුණු ආවරණ තහනම් කරමින් ගෙන එනු ලබන නව නීතිය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ද අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කළා ෴

******************************************

(16.03.2021 – 10:59 +0530 – hirunews.lk/sinhala)

පාලන මිල යටතේ වෙළෙඳපොළේ දැනට ප්‍රමාණවත් සහල් තොග නොමැතිවීම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් මිලදී ගන්නා වී තොග සහල් බවට පත්කර අඛණ්ඩව සතොස ආයතනයේ ශාඛා ජාලය මඟින් බෙදා හැරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම වැඩපිළිවලේ ප්‍රගතිය සැලකිල්ලට ගෙන තවදුරටත් ගතයුතු විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව සලකා බැලීමට ද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා ෴

******************************************

(16.03.2021 – 11:20 +0530 – hirunews.lk/sinhala)

කල් බදු පදනම මත ශ්‍රී ලංකා ගුවන් සමාගමට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කොරෝනා වසංගතය හේතුවෙන් මගී ගුවන් ගමන් අවම වී ඇති අතර, බොහෝ ගුවන් සමාගම් දැන් අවධානය යොමු කරන්නේ භාණ්ඩ ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමටයි.

ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගමනාන්ත 26 ක් වෙත මේ වන විට භාණ්ඩ ප්‍රවාහනය සිදුකරනවා ෴

******************************************

(16.03.2021 – 12:27 +0530 – hirunews.lk/sinhala)

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් 49 හැවිරිදි වියේ පසුවූ පොලිස් සැරයන්වරයෙක් මිය ගොස් තිබෙනවා.

වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයේ තෙලුල්ල, 304 කිලෝමීටර් කණුව ප්‍රදේශයේ දී ඊයේ (15) පස්වරුවේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් මියගිය පොලිස් නිලධාරියා වැල්ලවාය පොලිසියට අනුයුක්තව සේවයකර, ඊයේ (15) දිනයේ ස්ථාන මාරුවීම් ලැබූ අයෙක් බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් ඔහුගේ දරුවා ද බරපතළ තුවාල ලබා තිබෙනවා.

අධික වේගයෙන් ධාවනය වූ ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් පසු තුවාලකරුවන් වැල්ලවාය, හඳපානාගල ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වන විටත් සැරයන්වරයා මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

තුවාල ලැබූ දරුවා මේ වන විට මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුඩාඔය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

[ සේයාරූ ]

******************************************

(16.03.2021 – 13:22 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා එක්වන බව ඉන්දියාවේ අදානි සමූහය නිළ වශයෙන් නිවේදනය කළා.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ වරාය අමාත්‍යාංශය මගින් ඒ සඳහා යොමු කළ අභිප්‍රාය ලිපිය ද තමන් වෙත ලැබුණු බවයි එමගින් ප්‍රකාශ කළේ.

ඒ අනුව බටහිර බහලුම් පර්යන්තයේ සියයට 51 ක කොටස් තමන් හිමි කර ගන්නා බවත්, ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සහ වරාය අධිකාරිය සමඟ එක්ව එය සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් අදානි සමූහය සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා.

එම ප්‍රකාශයට ඉන්දීය මාධ්‍ය මගින් විශාල ප්‍රසිද්ධියක් ලබාදී තිබුණා.

බටහිර බහලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහය සමඟ සංවර්ධනය කිරීමට පසුගිය දා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි වුණා.

දැනටමත් කොළඹ වරායේ බහලුම් ප්‍රති අපනයනවලින් සියයට 45 ක්ම, ඉන්දියාවේ බහලුම් වරාය කිහිපයක් මෙහෙය වන අදානි සමූහය වෙතින් ලැබුණු හෝ එය වෙත යොමු වූ ඒවායි.

අදානි සමූහය සිය නිළ වෙබ් අඩවියේ පළ කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තය රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්ව ව්‍යාපෘතියක් ලෙස ඉදිකර, මෙහෙයුම් සිදුකරමින් වසර 35 කදී පවරා දීමේ පදනම මත සංවර්ධනය කිරීමට සූදානම් බවයි.

බටහිර පර්යන්තය මීටර් 20 ක් පළලකින් සහ මීටර් 1400 ක දිගකින් යුක්තව ඉදිකෙරෙන අතර, අති විශාල බහාලුම් නෞකා හැසිර වීමට ද සමත් වන බවයි එහි දැක්වෙන්නේ.

අදානි සමූහය නිකුත් කළ නිවේදනය සම්බන්ධයෙන් අද (16) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද සංවාදයට ලක්වුණා.

එහිදී අදානි සමූහය වෙත බටහිර පර්යන්තයේ සියයට 51 ක කොටස් හිමි වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පිළිගත්තා.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවට හිමි සියයට 49 ක ප්‍රතිශතය සම්බන්ධයෙන් ඉදිරියේදී අවසන් තීරණයකට එළඹෙන බවයි.

කෙසේ නමුත් අදානි සමූහය ප්‍රකාශ කළේ ඒ සඳහා එක් වන්නේ ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය පමණක් බවයි.

එහෙත් තමන් බටහිර පර්යන්තයේ සියයට 51 ක කොටස් හිමි කර ගන්නා බව අදානි සමාගම නියත වශයෙන්ම ප්‍රකාශ කර ඇති බව මාධ්‍යවේදිනියක පැවසීමෙන් පසු අමාත්‍යවරයා ඒ බව පිළිගත්තා.

එමෙන්ම ඉතිරි ප්‍රතිශතය සඳහා තවත් දේශීය සමාගම් එක් කර ගැනීමට අදහස් කරන බවයි එහිදී ඔහු කියා සිටියේ.

එමෙන්ම, කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අවස්ථාවක් ලබාදීම පිළිබදව ලක් රජයේ නායකයන්ට, රජයට, වරාය අධිකාරියට සහ ජෝන් කීල්ස් ආයතනයට කෘත්‍යඥ වන බවයි අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

එමෙන්ම, එය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික ක්‍රමෝපාය සබදතාවයේ සංකේතයක් වනු ඇති බව ඔහු අවධාරණය කළා.

******************************************

(16.03.2021 – 13:31 +0530 – hirunews.lk/sinhala)

මේ වසරේ අපේක්ෂිත අපනයන ඉලක්ක සපුරාගැනීමට කටයුතු කරන බව ඇඟලුම් ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයින් ජනාධිපතිවරයාට සහතික වී තිබෙනවා.

ඒ ඇඟලුම් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී.

ඒකාබද්ධ ඇඟලුම් සංසදයේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණදෙන අභියෝග සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවට එක්වුණේ ජනාධිපති කාර්යාලයේදී.

එහිදී ඔවුන් සෞඛ්‍ය නිර්දේශ හේතුවෙන් ක්ෂේත්‍රයේ ඉදිරි ගමනට එල්ල වී ඇති අභියෝග පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළා.

කෙසේ වෙතත් මේ වසරේ රුපියල් බිලියන 5.1 ක අපේක්ෂිත අපනයන ආදායම් ඉලක්ක සපුරාගැනීමට කටයුතු කරන බවයි ඔවුන් සඳහන් කළේ.

******************************************

(16.03.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ මායිම් ආශ්‍රිත ප්‍රදේශ එළිපෙහළි කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවට පරිසරවේදීන් චෝදනා කරනවා.

මේ අතර සිංහරාජ වනාන්තරය තුළ සිදුකරගෙන ගිය ගස් කැපීමේ ජාවාරමක් හෙළි කර ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.

මෙරට සතු වටිනාම ස්වභාවික සම්පත් අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා සිංහරාජ වනාන්තරය ඉහළ ජෛව විවිධත්වයකින් යුක්ත පරිසර පද්ධතියක්.

හෙක්ටයාර 11,187 ක වපසරියකින් හෙබි මෙම දැවැන්ත උරුමයට මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන අහිතකර බලපෑම් පිළිබඳව පසුගිය කාලය පුරාම වාර්තා වුණා.

කෙසේ වෙතත්, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා ඊයේ (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ සිංහරාජ වනාන්තරය ආශ්‍රිත භූමියක සිදුවන ඉදිකිරීමකට තමා සම්බන්ධ බවට වන චෝදනා ගැන විමර්ශනයක් සිදුකරන ලෙසට ඉල්ලමින්.

මේ අතර, සිංහරාජ වනාන්තය තුළ ගස් කපමින් සිටි පුද්ගලයින් සිව් (4) දෙනෙකු විශේෂ කාර්ය බලකාය සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, දඹුල්ල, වෑවලවැව හා සීගිරිය – අලකොලවැව ආදී ප්‍රදේශවල රජයේ ඉඩම් අත්පත්කර ගැනීම් සම්බන්ධයෙන් මාධ්‍යයට තොරතුරු දුන් බවට චෝදනා කරමින් කිසියම් පිරිසක් විසින් පුද්ගලයෙකුට පහර දී තිබෙනවා.

මෙලෙස පහර කෑමට ලක්වූ ඒ.ජී. දිසානායක නම් ගොවි මහතා මේ වනවිට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර, දියබෙදුම, කෝඳුරුවාව ප්‍රදේශයේ මොරගහකන්ද ජලාශයෙන් උතුරු පළාතට ජලය රැගෙන යන උමං මාර්ගය ඉදිකිරීම සඳහා පාලමක් ඉදිකිරීමට ප්‍රදේශයේ කුඹුක් ගස් රැසක් කපා දමා ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

ඊට අමතරව, අදාළ ව්‍යාපෘතියේ සේවකයින්ට නවාතැන් ගැනීම සඳහා ඉදිකෙරෙන නේවාසිකාගාරය ආශ්‍රිතව ද ගස් විශාල වශයෙන් කපා දමා ඇති ආකාරය අපට දක්නට ලැබුණා.

******************************************

(16.03.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

වාහන නිෂ්පාදන ක්ෂේත්‍රය තුළින්ද මෙරට නාමය ලොවපුරා ප්‍රචලිත කිරීමට හැකිවනු ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

වාහන නිෂ්පාදනය, එකලස් කිරීම සහ උපාංග නිෂ්පාදනයට අදාළ සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැකීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මෙරට කළ වාහන නිෂ්පාදනය, වාහන එකලස් කිරීම සහ වාහන උපාංග නිපදවීම පිළිබඳ සම්මත මෙහෙයුම් පටිපාටිය එළිදැක්විමේ උත්සවය ඊයේ (15) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවැත්වුණා.

අදාළ ‘සම්මත මෙහෙයුම් පටිපාටි සංග්‍රහය’ ග්‍රන්ථය කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

******************************************

(16.03.2021 – 13:39 +0530 – hirunews.lk/sinhala)

තම සේවය ස්ථීර කරන ලෙස ඉල්ලමින් විරෝධතාවයේ නිරත වන සමස්ත ලංකා ඩෙංගු මර්දන සහයකවරුන් තවමත් ජනාධිපති කාර්යාලය අසළ රැදී සිටිනවා.

ඊයේ (15) පෙරවරුවේ සිට මොවුන් ජනාධිපති කාර්යාලය අසළ විරෝධතාවයේ නිරත වූයේ උද්ඝෝෂණ සඳහා වෙන් කර ඇති භූමියේ රැදී සිටිමින්.

******************************************

(16.03.2021 – 13:52 +0530 – hirunews.lk/sinhala)

මේ අතර පසුගිය යහපාලන රජය සමයේ අධිකරණයට බලපෑම් කරමින් සිදුකළ දේශපාලන පලිගැනීම්වලට වත්මන් රජය යටතේ සාධාරණයක් ඉටු විය යුතු බව දේශපාලඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින්ද අදහස් පළ කළා.

******************************************

(16.03.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටීමක් අද (16) දක්නට ලැබුණු අතර, ඩොලරයක විකුණුම් මිල මේ වසරේ ප්‍රථම වරට රුපියල් 200 ඉක්මවූවා.

මහබැංකුව නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව ඩොලරයක විකුණුම් මිල අද සටහන් වූයේ රුපියල් 200 යි ශත 06 ක් ලෙසයි.

ඒ අනුව මේ වසරේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සියයට 5 යි දශම 7 යි 5 කින් පහත වැටී තිබෙනවා ෴

******************************************

(16.03.2021 – 15:02 +0530 – hirunews.lk/sinhala)

වී අලෙවි මණ්ඩලය මඟින් මිලදී ගත් වී තොග සතොසට සහ සමුපකාර දෙපාර්තමේන්තුවට මුදාහැරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඒ අනුව වී අලෙවි මණ්ඩලය මගින් මිලදි ගත් වී මෙට්‍රික් ටොන් 20,000 ක් සතොසට සහ සමුපකාරයට මුදා හැරෙනු ඇති.

නව වසර සඳහා පාරිභෝගිකයන්ට අඩු මිලට සහල් ලබාදීමට මෙම වී තොග භාවිත කරන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පවසන්නේ.

මෙම පියව‍රත් සමඟ මේ වනවිට කෘත්‍රිමව ඉහළ දමා ඇති සහල් මිල පහත වැටෙන බවත් ඒ අනුව සහල් තොග සඟවාගෙන සිටින මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සිය තොග වෙළෙඳපොළට නිකුත් කිරීමට සිදුවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

ඒ අනුව උත්සව සමයේදී සහල් මිල වැඩිවීමක් හෝ සහල් හිඟයක් ඇති නොවන බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරන්නේ ෴

******************************************

(16.03.2021 – 15:06 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ දහම් පාසල් අප්‍රේල් මස 25 වන ඉරිදා ආරම්භ කිරීමට සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේදී තීරණය කර තිබෙනවා.

බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ බස්නාහිර පළාතේ පාසල් අප්‍රේල් 19 වනදා ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය සැළකිල්ලට ගනිමින් මෙලෙස එම පළාතේ දහම් පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇති බවයි.

බස්නාහිර පළාතේ දහම් පාසල් 2026 ක් ක්‍රියාත්මක අතර, ඒවායේ අධ්‍යාපනය ලබන දරු දැරියන් සංඛ්‍යාව 6,04,853 ක්.

එසේම අප්‍රේල් මස 4 වනදා පැවැත්වීමට නියමිතව තිබූ දහම් පාසල් ශ්‍රේණි විභාගය මැයි මස 9 වනදා පැවැත්වෙන බවයි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ෴

******************************************

(16.03.2021 – 15:40 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ බුර්කාව සහ නිකාබය පැළඳීම තහනම් කිරීමේ තීරණයක් රජය ගෙන නොමැති බව විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කළා.

එය හුදෙක් යෝජනාවක් පමණක් වන අතර එය දැනට සාකච්ඡාවට භාජනය වෙමින් පවතින බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ ලේකම්වරයා පෙන්වා දෙන්නේ.

මේ අතර බූර්කාව තහනම් කළ යුතුය යන මතයට පැමිණිය ද ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ද ප්‍රකාශ කළේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

පසුගිය 13 වනදා මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ බුර්කාව සහ ලියාපදිංචි නොකළ මද්‍රසා පාසල් තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට තමන් අත්සන් කළ බවයි.

කෙසේ වෙතත් එය ඊයේ (15) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

******************************************

(16.03.2021 – 16:06 +0530 – hirunews.lk/sinhala)

මුදල් විශුද්ධිකරණ චෝදනාව මත අත්අඩංගුවට ගත් ස්වර්ණමහල් පෞද්ගලික සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අද (16) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මීට පෙර ඊ.ටි.අයි සමාගමේ සිදුව ඇති මුල්‍ය වංචාවන්ට අදාලව මොවුන් අත්අඩංගුවට ගැනුනා ෴

******************************************

(16.03.2021 – 16:09 +0530 – hirunews.lk/sinhala)

අද (16) සවස දෙකට (02:00) පමණ තලෙයි මන්නාරම දුම්රිය ස්ථානය අසල, දුම්රිය හරස් මාර්ගයේදී මඟී ප්‍රවාහන බස් රථයක් දුම්රියක ගැටුණා.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ පාසල් සිසුන් ඇතුළු මගීන් 30 දෙනෙකු පමණ සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ.

අනතුරෙන් බස් රථයේ ගමන් ගත් වයස අවුරුදු නවයක (9) පමණ දරුවෙකු මිය ගොස් ඇති අතර තවත් පහලොවකට (15) අධික පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඒ අතරින් දෙදෙනෙකුගේ (2) තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.

අනතුර සිදු වන අවස්ථාවේ දුම්රිය හරස් මාර්ගයෙ සංඥා පුවරු ක්‍රියාත්මක තත්වයේ තිබුනේදැයි පරීක්ෂණ සිදු කෙරෙන අතර බස් රථයේ රියදුරු සහ කොන්දොස්තර තලෙයි මන්නාරම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(16.03.2021 – 16:55 +0530 – hirunews.lk/sinhala)

පුත්‍රයා විසින් උල් ආයුධයකින් පහරදී පියා ඝාතනය කිරීමේ පුවතක් නාවලපිටිය – නවකුරුදුවත්ත – කෙලිගෲප් වතුයායෙන් වාර්තා වනවා.

41 හැවිරිදි පුත්‍රයා විසින් සිය 71 හැවිරිදි පියා, ඊයේ (15) රාත්‍රියේ මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පියා බීමතින් සිටියදී දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී පුත්‍රයා විසින් මෙලෙස උල් ආයුධයකින් පියාට පහරදී ඇති බව සඳහන්.

සැකකාර පුත්‍රයා පදිංචි නිවසට පහළින් පියා පදිංචිව සිට ඇති බවත්, දෙදෙනා දිනපතා බීමත්ව පැමිණ මෙලෙස ආරවුල් ඇති කරගන්නා බවයි ප්‍රදේශවාසින් පැවසුවේ.

සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහු සොයා නාවලපිටිය පොලීසිය විමර්ෂණ ආරම්භ කර තිබෙනවා ෴

******************************************

ගුවන් විදුලි සභාපති ගෙදර යැවූ නුවරඑළියේ ඉඩම

(16.03.2021 – 17:36 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයට ඉල්ලා අස්වීමට තුඩු දුන්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට අයත් නුවරඑළිය උදරදැල්ල භුමිය හෙළිපෙහෙළි කර තිබු ආකාරයයි මේ.

අක්කර 14 ක් පමණ වන මෙම ඉඩම තුල ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විකාශණ මධ්‍යස්ථානයක්ද තිබෙනවා.

අති සංවේදී පරිසර කලාපයක පිහිටා ඇති මෙම ඉඩම පිටස්තර පුද්ගලයකුට නීතිවිරෝධී ලෙස බදු දුන් බවටයි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලයට චෝදනා එල්ල වුයේ ෴

@@@@@@@@@@@@@@@@@

(16.03.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

නව ආසාදිතයින් 331 දෙනෙකු ඊයේ වාර්තා වූ අතර ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණේ මාතර දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 49 ක්.

ඊට අමතරව මාතලේ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් ආසාදිතයින් 34 බැගින් වාර්තා වී තිබුණා.

ඊයේ (15) වාර්තා වූ ආසාදිතයින්ගෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 28 දක්වා පහළ යාම විශේෂත්වයක්.

මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ දින 04 ක් අහඹු පරීක්ෂණ සිදුකර ඇති අතර පසුගිය 12 වනදා සිදුකළ පරීක්ෂණ 295 කින් 52 ක් ආසාදිතයින් බවට තහවුරු වී තිබෙනවා.

මේ අතර යුරෝපයේ අත්හිටුවන ලද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් කාණ්ඩය මෙරටට ගෙන්වූ ඇස්ට්‍රාසෙනෙකා – කොවිෂීල්ඩ් එන්නත් කාණ්ඩය නොවන බව රජය පවසනවා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව කියා සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (16) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

++++++++++++++++++++

(16.03.2021 – 14:09 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දනය සඳහා ලබාදෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත මේ වනවිට මෙරට පුද්ගලයින් 7,80,000 කට වැඩි පිරිසකට ලබාදී තිබෙනවා.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ඊයේ (15) දිනයේදී පුද්ගලයින් 11,489 දෙනෙකුට එන්නත ලබාදී ඇති බවයි.

ඒ අනුව, මේ වනවිට කොවිෂීල්ඩ් එන්නත ලබාදී ඇති මුළු පුද්ගලයින් සංඛ්‍යාව 7,84,500 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයන් 402 කු අද (16) සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. ඒ අනුව සුවය ලැබූ මුළු ආසාදිතයන් සංඛ්‍යාව 85,371 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ ෴

+++++++++++++++++

(16.03.2021 – 16:28 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි සති කිහිපය තුල තවත් මිලියනයකට කොවිඩ් එන්නත් ලබා දීමට රජය සැලසුම් කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ කොවිඩ් එන්නත් කරන වැඩ පිළිවෙල හරහා මුළු රටම හැකි ඉක්මනින් සාමාන්‍ය කරණය කිරීමට කටයුතු කරන බවයි.

ලෝකයේ රටවල් 133 කට තවම කොවිඩ් එන්නත ලබා දී නොමැති අතර මේ වන විටත් මෙරට එන්නත්කරන වැඩපිළිවෙල මිලියනයකට ආසන්න වී ඇති බව අමාත්‍යවරයා කියා සිටියේ.

ඊට අමතරව තවත් එන්නත් මිලියනයක් කඩිනමින් ගෙන්වීමට රජය සුදානම් බවත්, මෙරට ජනග්‍රහණයෙන් 50% කට හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ලබා දීම රජයේ ඉලක්කය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *