ධීවරයන්ට පිහිට වීමට නොහැකි වීම නිසා, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ඉල්ලා අස්වේ

ධීවරයන්ට පිහිට වීමට නොහැකි වීම නිසා, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ඉල්ලා අස්වේ

*********************************************

ධීවරයන්ට පිහිට වීමට නොහැකි වීම නිසා, මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ඉල්ලා අස්වේ

(15.03.2021 – 21:00 +0530 – hirunews.lk/sinhala)

මියන්මාරයේ (මියන්මාවේ) අතරමං වූ ශ්‍රී ලාංකික ධීවරයන්ට පිළිසරණක් නොවූ බවට එල්ල වන චෝදනා මැද එරට ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලීන් ද සිල්වා මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් අමාත්‍යවරුන්ගේ සමුළුව සහ ධීවර ගැටළුව අවසන් වන තුරු තමන් මියන්මාරයේ රැදී සිටින බවයි තානාපතිවරයා ප්‍රකාශ කළේ.

මියන්මාරයේ අත්අඩංගුවේ පසුවන මෙරට ධීවරයින් පසුගිය දා හිරු ප්‍රවෘත්ති අංශය අමතමින් සඳහන් කළේ තමන්ට මේ වන විට මියන්මාරයේ දුෂ්කරතා රැසකට මුහුණදීමට සිදුව ඇති බවයි.

++++++++++++++++++

මහාචාර්ය නලින්ද සිල්වා මියන්මාර තානාපති ධුරයෙන් ඉල්ලා අස්වේ…

(15.03.2021 – 11:20 +0530 – lankacnews.com)

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. ඒ බව සඳහන් කරමින් සමාජ ජාල ගිණුමේ සටහනක් තබා තිබේ. ‘වැඩ බැරි තානාපති’ යන මැයෙන් තබා ඇති එම සටහන මෙසේය :

= වැඩ බැරි තානාපති =

ශ්‍රී ලාංකික ධීවරයන් දොළොස් දෙනකු මියන්මා මුහු සීමාවට ඇවිත්. ඔවුන් පිළිගන්නවා තමන් වරදක් කර ඇති බව. දැනට ඔවුන් මියන්මා පොලීසියක රඳවා සිටිනවා. ඔවුන් දැනට අප දැනුවත් ව දෙවරක් අධිකරණය ඉදිරියට පමුණුවා තියනවා. අපට ඔවුන් හමුවීමට නොහැකි වුණා. මියන්මා රටේ අප ඉන්නේ යැන්ගොන් ප්‍රදේශයේ. ධීවරයන් රඳවා ඇත්තේ ඉරවෙඩි කියන ප්‍රදේශයේ. කොවිඩ් නිසා ප්‍රදේශාන්තර ගමන් බිමන් තහනම් කෙරිලා. ඒ මදිවට දේශපාලන ප්‍රශ්නයකුත් මතු වෙලා. අප ඉන්නා තැන සිට ධීවරයන් රඳවා ඇති තැනට කිලෝමීටර දෙසිය පනහක් පමණ තියෙනවා.

මියන්මාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ධීවරයන් අත්අඩංගුවට ගත් බව නිල වශයෙන් දැන්වූයේ නැහැ. ධීවරයන් පැමිණ ඇත්තේ පෙබරවාරියේ. අපට ධීවරයන් අත් අඩංගුවට ගත් බව දැන ගන්නට ලැබුණේ නිල වශයෙන් නො වෙයි. කෙසේ නමුත් දැනගත් විගස අප ක්‍රියාත්මක වුණා. අදාළ නිලධාරීන්ට හා පොලීසියට කතා කළා. එහෙත් යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ.

පසුව නිරන්තර උත්සාහයකින් පසුව එක් දිනක් පොලීසියේ යම් අයකු මගින් අපට ධීවරයන්ට කතා කිරීමට හැකි වුණා. ඔවුන්ගේ සුවදුක් හා නීතිමය තත්වය කතා කළා. තමන් අධිකරණය ඉදිරියට පමුණුවා ඇතත් චෝදනා මොනවා ද කියා ඔවුන් දැන සිටියේ නැහැ. ඔවුන් අපට කිවුවේ දෙන කෑම කන්න බැරි බවයි.

අප මියන්මා විදේශ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්ගේ සිට නිලධාරීන් කිහිප දෙනකුට ම කතා කළා. ඔවුන් සමහරකුට මගේ දුරකතන අංකය ලබා දුන්නා. ඒ ධීවරයන්ට හා අප සම්බන්ධ කරවීමට. ඇතැම් නිලධාරීන්ගෙන් අපට පසුව දැන ගැනීමට ලැබුණා ධීවරයන්ට විරුද්ධව මියන්මා නීතිය යටතේ චෝදනා ඉදිරිපත් කරන බව.

එහෙත් එතැනින් එහාට කිසිවක් සිදු වී නැහැ. එකම එක වතාවක දී හැර කිසිම නිලධාරියකු ධීවරයන් අපට සම්බන්ධ කර නැහැ. ධීවරයන්ට තමන්ගේ ම වූ දුරකතන නැහැ. මා අකාර්යක්‍ෂම අදක්‍ෂ අසමත් තානාපතිවරයකු බව මට වැටහෙනවා. මට නිල නොවන වශයෙන් කටයුතු කිරීමට මියන්මාහි දන්නා අඳුනන අය නැහැ. නිල වශයෙන් කරන්න පුළුවන් දේ සීමිතයි. කිසිම දෙයක් කරන්න බැහැ කියන එක අතිශයොක්තියක් ම නො වෙයි.

මා මේ කරුණෙහි ද අසමත් වී ඇති බව පිළිගන්නවා. සමහරු හිතනවා ඇති තානාපති බලතල තිබියදීත් මට කිසිවක් කරන්න බැරි ඇයි කියා. තානාපති බලතල කියා මහා දෙයක් නැහැ. මා විදේශ අමාත්‍යාංශයේ ස්ථිර ලේකම්ට කතා කර සියල්ල පැවසුවා. ඔහු තමයි මේ සම්බන්ධයෙන් කතා කළ හැකි උසස් ම නිලධාරියා. ඒ නිල වශයෙන්.

මා ලංකාවේ මියන්මා තානාපතිතුමා හරහා යමක් කරවා ගැනීමට හැකි ද කියාත් සොයා බැලුවා. ලංකාවේ විදේශ අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් සියලු විස්තර දන්වා තියෙනවා. එහෙත් අපට තවමත් එක්වරකට වඩා ධීවරයන්ට කතා කිරීමට නොහැකි වී තියෙනවා.

එහෙත් මේ අතර ලංකාවේ එක් රූපවාහිනි නාලිකාවක රූහඬ පටයක් ප්‍රදර්ශනය කර තියෙනවා. එහි අර ධීවරයන් කතා කරනවා. තානාපති කාර්යාලයට ධීවරයන් හා සම්බන්ධ වීමට නොහැකි වුවත් දකුණු පළාතේ යම් අයකු ධීවරයන් සමබන්ධ කරගෙන ඇති බව පේනවා. ධීවරයන් කියන බව ආරංචියි ලංකා තානාපති කාර්යාලය ඔවුන් සමග කතා කෙළේ එක් වරක් පමණක් බවත් ඔවුන්ට ලැබෙන කෑම කන්නට බැරි බවත් ඔවුන් යම්තම් හරි කුස පුරවා ගන්නේ අර දකුණු පළාතේ තැනැත්තා සපයන විස්කෝතුවලින් බවත්.

තානාපති කාර්යාලයට ධීවරයන්ට එක් වරකට වඩා කතා කිරීමට නොහැකි වුවත් ලංකාවේ දක්‍ෂ පුද්ගලයකු ධීවරයන්ට විස්කෝතු සැපයීමට සමත් වී තිබෙනවා. ඔහු මා මෙන් නොව දක්‍ෂයකු විය යුතුයි. මට මියන්මාහි ඉඳලත් ධීවරයන්ට කතා කිරීමට නොහැකි වුවත් එකී පුද්ගලයා ලංකාවේ සිට ධීවරයන්ගේ රූහඩ පට ගෙන්වා ගැනීමටත් ධීවරයන්ට විස්කෝතු සැපයීමටත් සමත් වී තිබෙනවා. තානාපති කාර්යාලවලට අවශ්‍ය මෙවැනි පුද්ගලයන්.

ජනාධිපතිතුමා මා මියන්මා තානාපති ලෙස පත් කිරීමෙන් තදබල වරදක් කර තිබෙන බව පේනවා. ජනමාධ්‍යකරුවන් නිතර කියන්නේ අපේ විදේශ තානාපති කාර්යාලවලින් සේවයක් ඉටු නොවන බවයි. මා සම්බන්ධයෙන් නම් එය සියයට දෙසීයක් හරිය කියන්න පුළුවන්. පසුගිය මාසයේ මහා සංඝරත්නය ජනාධිපතිතුමාට අනුශාසනා කෙළේ හැට පිරුණු අය තානාපතිවරුන් ලෙස නොයැවිය යුතු බවයි. එසේ ම උන්වහන්සේට අනුව මියන්මා හා තායිලන්ත රටවලට බෞද්ධ දර්ශනය දන්නා සැදැහැවතුන් තානාපතීන් ලෙස පත් කළ යුතුයි.

මේ සියලු කාරණා සලකා බලා මා තානාපති තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කළා. මෙය අර විද්‍යාඥයකු වීමට ගොස් බැරුව ආපසු පැමිණීමේ අනෙක් එක. ඒ කෙසේ වෙතත් ධීවරයන්ගේ ප්‍රශ්නය දෙකෙන් එකක් වන තුරු හා විදේශ ඇමතිවරුන්ගේ බිම්ස්ටෙක් අතථ්‍ය රැස්වීම පැවැත්වෙන තුරු තනතුරේ රැඳී සිටීමට බලාපොරොත්තු වෙනවා. ඇතැමුන් කියන්න බැරි නැහැ එතරම් කල් ඉන්න අවශ්‍ය නැහැ කියා ෴

******************************************

(15.03.2021 – 22:46 +0530 – hirunews.lk/sinhala)

රජය මගින් සිදුකළ සීනි ආනයන බදු පහත දැමීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින්ද අදහස් පළ කළා.

******************************************

(16.03.2021 – 06:13 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඊයේ (15) සිදුකළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක් (1) සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා 29 සහ 37 හැවිරිදි වියේ පසුවන්නන් දෙදෙනෙකු (2) බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් කොළඹ 02 සහ කොළඹ 12 යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් කොළඹ අලුත්කඩේ අධිකරණයට අද (16) දිනයේ දී ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

******************************************

(16.03.2021 – 06:47 +0530 – hirunews.lk/sinhala)

අක්කරෙයිපත්තු, ඔලුවිල් ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් මුද්‍රණය කළ ස්ථානයක් වටලා සැකකරුවන් දෙදෙනකු (2) අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අදාල වැටලීම සිදුකර ඇති අතර එහිදී මුද්‍රණය කර තිබූ රුපියල් පන්දහසේ (5000) ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සහ අර්ධ වශයෙන් මුද්‍රණය කර තිබූ රුපියල් පන්දහසේ (5000) ව්‍යාජ මුදල් නෝට්ටු 20 ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

මීට අමතරව මෙම මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් උපකරණ රැසක් සහ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගැනුණු බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ අක්කරෙයිපත්තු පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

******************************************

(16.03.2021 – 07:01 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බටහිර පර්යන්තයේ 51% ක් හිමි කරගෙන, වරාය අධිකාරිය සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගම හා එක්ව සංවර්ධනය කරන බව, ඉන්දියාවේ අදානි සමාගම පවසනවා ෴

******************************************

(16.03.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ආදර සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් කිලිනොච්චියේ රාමනාදන්පුර ගම්මානයේ පාසල් සිසුවෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ සැකකරුවෙකුගේ නිවසට ඊයේ (15) කිසියම් පිරිසක් ගිනි තබා තිබෙනවා.

පසුව පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඬ පැවැත්වීමට කටයුතු කළ ද ගින්නෙන් මුළු නිවසටම හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ පාසල් සිසුවා ඝාතනය කර තිබුණේ පාසල් සිසුවියක් සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වා ගැනීම හේතුවෙන් උරණ වූ එම සිසුවියගේ ඥාතියෙකු විසින් බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

එම ඥාතියා මේ වන විට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

එමෙන්ම, ඔහුගේ නිවසට ගිනි තැබූ පුද්ගලයා සොයා පොලීසිය මේ වන විටත් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

******************************************

(16.03.2021 – 07:59 +0530 – hirunews.lk/sinhala)

සීනි ආනයන බදු පහත හෙලීම තුළින් රජයට අවාසියක් සිදුවූවේ යැයි කියන සිද්ධිය පිළිබදව මුදල් හා ප්‍රාග්ධන වෙළදපොළ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ලබන 23 වන දා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි.

අමාත්‍යාංශ නිවේදන යටතේ සිදුකරන එම ප්‍රකාශය මගින් මෙම සිද්ධිය පිළිබද සම්පූර්ණ විග්‍රහයක් සහිතව විපක්ෂය නගන ප්‍රශ්නවලට ප්‍රතිචාර ලබාදීමට ද ඔහු අපේක්ෂා කරනවා ෴

******************************************

(16.03.2021 – 08:03 +0530 – hirunews.lk/sinhala)

වී තොග සඟවා සිටින පුද්ගලයින් සොයා වැටලීම් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙළද හා කෘෂිකර්ම අමාත්‍යවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩලය ජනාධිපති කාර්යාලයේදී ඊයේ (15) රැස්වූ අවස්ථාවේදියි.

දැනට පවතින තත්ත්වය හමුවේ සහල් ආනයනය සිදුනොකිරීමට ද මෙහිදී තීරණය කර තිබෙනවා.

එසේම වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් බවට පත් කර සතොස අලෙවිසැල් හරහා අඛණ්ඩව බෙදා හැරීම ද ඊයේ (15) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළඹි තීරණයක් ෴

******************************************

(16.03.2021 – 08:14 +0530 – hirunews.lk/sinhala)

වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් (1000) බවට ප්‍රකාශයට පත් කරමින් රජය මගින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයට එරෙහිව වතු සමාගම් 20 ක් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා දැනුවත් කළ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

අදාළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ආගරපතන වැවිළි සමාගම, ඇල්පිටිය වැවිළි සමාගම ඇතුළු වැවිළි සමාගම් 20 ක් විසින් ඊයේ (15) මෙම පෙත්සම ගොනු කරනු ලැබුවා.

එහි වගඋත්තරකරුවන් ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, කම්කරු කොමසාරිස් ජනරාල්වරයා, තේ කර්මාන්තය පිළිබඳ පඩි පාලක සභාවේ සභාපතිවරයා ඇතුළු 18 දෙනෙකු නම් කර තිබෙනවා.

පෙත්සම ඉදිරිපත් කරමින් ඔවුන් දැනුම් දී ඇත්තේ රජය විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තුළින් වතු කර්මාන්තය අර්බුදයකට ලක්විය හැකි බවයි.

එමෙන්ම, වතු සමාගම් රජයට විශාල වශයෙන් බදු ප්‍රමාණයක් ගෙවිය යුතු බවත්, මෙම වැටුප් වැඩිකිරීම තුළින් සමාගම් තවදුරටත් අපහසුතාවට පත්විය හැකි බවත් පෙත්සම මගින් පෙන්වා දී තිබෙනවා ෴

******************************************

(16.03.2021 – 08:37 +0530 – hirunews.lk/sinhala)

අපනයන කෘෂි භෝග වන ගම්මිරිස්, කරාබුනැටි සහ කුරුඳු මිල ගණන් යළිත් ඉහළ ගොස් තිබෙනවා.

ගම්මිරිස් කිලෝග්‍රෑමයක් රුපියල් 650 දක්වාත්, කරාබුනැටි කිලෝග්‍රෑමයක් රුපියල් 1000 දක්වා සහ කුරුඳු කිලෝග්‍රෑමයක් රුපියල් 3200 දක්වාත් ඉහළ ගොස් ඇති බවයි අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා ප්‍රකාශ කළේ.

මීට අමතරව කෝපි කිලෝග්‍රෑමයක මිල ද රුපියල් දහස (1000) දක්වා යළිත් ඉහළ ගොස් තිබෙනවා.

පසුගිය කාලසීමාව තුළ ඒවායේ මිල ගණන් යම්තාක් දුරට පහළ බැස තිබුණේ වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් වෙළදපොළට නිකුත් කිරීම හේතුවෙන් ෴

******************************************

(16.03.2021 – 08:59 +0530 – hirunews.lk/sinhala)

ජපානයේ නගෝයා නුවර සංක්‍රමණිකයන් රදවා තබන කඳවුරක දී 33 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක මිය ගොස් ඇත්තේ නිරාහාරව සිටීමෙන් බවට එරට මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය 06 වනදා ඇය මෙලෙස මිය ගොස් ඇත්තේ මාස 07 කට ආසන්න කාලයක් එම කඳවුරේ රඳවා තැබීමෙන් අනතුරුවයි.

එහිදී ඇති වූ මානසික ආතතිය හේතුවෙන් ඇයට ආහාර ගැනීමට නොහැකි වී ඇති අතර, තමා මුදා හරින ලෙස කළ ඉල්ලීම් ජපාන සංක්‍රමණික බලධාරීන් ප්‍රතික්ෂේප කළ බවයි මිය යාමට පෙර ඇය තැබූ සටහන්වල දැක්වෙන්නේ.

2017 වසරේ ශිෂ්‍ය වීසා මත ජපානයට ගිය ඇය පසුගිය වසරේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වීසා ඉකුත් වී එරට රැදී සිටීම හේතුවෙන්.

රැදවුම් කදවුරේදී තමාට කිසිදු පහසුකම් නොලැබුණු බවට ඇය පැමිණිලි කර ඇති අතර, දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් දෙවරක්ම රෝහල්ගත කර ඇති බව සඳහන්.

ඇයගේ මරණය පිළිබදව විමර්ශනයක් සිදුකරන ලෙස ජපාන අධිකරණ ඇමතිනී කමිකාවා යෝකෝ නියෝග කර ඇත්තේ එරට අමාත්‍ය මණ්ඩලය ඒ පිළිබද සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි.

අසාහි ෂිම්බුන් නැමති ජපාන පුවත්පත මෙම ශ්‍රී ලාංකික කාන්තාව තමාට සහය ඉල්ලා තැබූ චිත්‍ර සහිත සටහන් ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවා.

එවැනි එක් සටහනක දැක්වෙන්නේ තමාට සැබවින්ම දැන් ආහාර ගැනීම අවශ්‍ය බවයි.

කෙසේ නමුත් දිගින් දිගටම සෞඛ්‍ය තත්ත්වය පිරිහුණු ඇය පසුගිය 06 වනදා සිය කුටිය තුළම මිය ගොස් සිටි බවයි ජපාන මාධ්‍ය වාර්තා කළේ.

ඇය සහාය ඉල්ලා තැබූ චිත්‍ර සහිත සටහන පහතින් :

******************************************

(16.03.2021 – 07:46 +0530 – sinhala.adaderana.lk)

නිවසක තිබූ මාළු ටැංකියකට වැටී දියේ ගිලීමෙන් කුඩා දරුවෙකු මරණයට පත්ව තිබේ.

ඊයේ (15) දහවල් 02:35 ට පමණ ගල්කිරියාගම කහල්ල, ආඬියාගල ප්‍රදේශයේ නිවසක ඉදිකර තිබූ මාළු ටැංකියකට අවුරුද්දක් පමණ වයසැති එම කුඩා දරුවා වැටී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි ෴

******************************************

(16.03.2021 – 08:08 +0530 – sinhala.adaderana.lk)

අවසරයකින් තොරව පොල් ගස් කැපීම නතර කිරීම සඳහා ඉදිරියේදී නව නීති හදුන්වාදෙන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙරට පොල් සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ විශාල ඉල්ලුමක් පවතින බැවින් රට තුළ ද පොල් මිල ඉහළ ගොස් ඇති බවය.

ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍ය රමේෂ් පතිරණ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“විශාල නිෂ්පාදනයක් රටේ සිදු කරන්න අවශ්‍යයි. පොල් ඉඩම් කට්ටි කිරීම අපි ඉතාම ක්‍රමානුකූලව සීමා කරමින් තිබෙනවා. වර්තමානයේ පවතින්නේ අක්කර 10 කට වඩා වැඩි ඉඩමක් කොටස් වශයෙන් වෙන් කරනාව නම් තමයි අවසර ගන්න අවශ්‍ය. අපි ඒක ඉදිරියේදී හෙක්ටයාර් 1 දක්වා අඩු කරන්න බලාපොරොත්තු වෙනවා” ෴

******************************************

මගෙන් කට උත්තර ගත්තා… මගේ පවුලේ අය ගැන පොලිසියෙන් හොයනවා.. – සිරස ලක්‍ෂපතියේදී පරිසර විනාශයක් ගැන කී භාග්‍යා අබේරත්න කියයි…

(15.03.2021 – 22:26 +0530 – lankacnews.com)

තම පවුලේ අය ගැන සහ තම පවුලේ ඉඩකඩම් ගැන ගම්වාසීන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි සිංහරාජ ආසන්නයේ ඉදිවන හෝටලයක් ගැන ‘සිරස ලක්ෂපති’ වැඩසටහනේදී කියා සිටි භාග්‍යය අබේරත්න මෙනවිය සඳහන් කරයි.

එමෙන්ම අදාල පරිසර විනාශය ගැන පොලිසිය විසින් තම නිවසට පැමිණ ප‍්‍රශ්ණ කල බවත් ඇය පවසයි.

අදාල ඉඩම්වල අයිතිය ගැන තමන් කිසිවක් නොදන්නා බවත් තමන් උදේ හවස දකිනා පරිසර විනාශය ගැන පොලිසියට පැවසූ බවත් ඇය කියයි.

සිංහරාජ ආසන්නයේ අලිමංකඩක් අවහිර කරමින් සිදු කරන බව කියන ඉදිකිරීම් සම්බන්ධයෙන් ‘සිරස ලක්‍ෂපති’ වැඩසටහනේදී ඇය විසින් හෙලි කිරීමෙන් පසු සමාජ ජාලවල ඒ ගැන මහත් ආන්දෝලනයක් ඇති විය.

+++++++++++++

+++++++++++++

+++++++++++++++

ඔප්පු තිබීම වනය විනාශ කිරීමට බළපත්‍රයක් නොවේ. සිරස ලක්ෂපතියට ආ දැරියට දෝෂාරෝපණය කරන්නවුන් වෙතයි

(15.03.2021 – 18:34 +0530 – lankaleadnews.com)

සිරස ලක්ෂපතියට ආ රක්වානේ භාග්‍යා දැරිය කීවේ ඇත්තය. කැපෙන්නේ වනය ඇතුලේද, පිටතද යන්න අදාල නැත. ගස් කපන්නට රටේ පවතින වන සම්පත් නීතිය යටතේ බළපත්‍රයක් උවමනාය. ප්‍රවාහනයට බළපත්‍රයක් උවමනාය. වනය සහිත ඉඩම පුද්ගලික වූවද හෙක්ටෙයාර 1 කට වඩා කපන්නේ නම් පරිසර පණත යටතේ පරිසර වාර්තාවක් සකසා අනුමැතිය ගත යුතුය. ඔප්පු තිබීම වනය විනාශ කිරීමට බළපත්‍රයක් නොවේ.

මම මොරපිටියේය. කලුතර දිස්ත්‍රික්කයේ කෙලවරේය. මොරපිටිය රූනකන්ද මෙන්ම සිංහරාජයද වැඩි ඈතක නොවේ. මට මතක අවුරුදු 50 ක කාලය තුල වනාන්තරය කිලෝ මීටර 5 කට වැඩි ප්‍රමාන‍යකින් ඈතට තල්ලු විය. පිටින් ආ උන්ද කැපූ බව සැබෑය. වැඩිපුර කැපුවේ මායිම් වාසීන්ය. අද කොලඹවාසීන්ට ද, ක්‍රිකට් ක්‍රීඩකයන්ට ද එහි ඉඩම් ඇත. උන්ට ද පැරණි ඔප්පු ඇත. වරෙක මොරපිටියෙන් ගලා යන ගඟ ඉහත්තාවේ ද හෝටලයක් තනන්නට ක්‍රිකට් ක්‍රීඩකයෙක් උත්සාහ දරන බව ආරංචි විය.

දැරියට ඇඟිල්ල දික් කරන්නට, අපහාසයෙන් කතා කරන්නට පෙර, හොරට ඉඩම් හෙළි පෙහෙළි කළ උන් සුද්ධ කරන්නට පෙර, ඈ කියූ කාරණය වටහා ගත යුතුය. ඇයට එලෙස ප්‍රකාශ කිරීම තුළ ගමෙන් පවා බුරුලක් නොලැබේ යයි දැන දැනම ඇය එම සත්‍යය ප්‍රසිද්ධ මාධ්‍යයක නොපැකිල හෙළි කලේ එය ඇයගේ වගකීම බව තේරුම් ගෙනය. ගමෙන් පවා බුරුලක් නොලැබේ යයි දැන දැනම ඇගේ පියා ඇය කැඳවාගෙන ආවේය.

නුඹලා මෙතෙක් ඒ ගැන නිහඬව සිටියේ බිය නිසා නොවේද? නීතිය ගැන නොදැනුවත් කම නිසා නොවේද?, ඒ ගැන උනන්දුවක් නැති කම නිසා නොවේද?, පක්ෂග්‍රාහිත්වය නිසා නොවේද? තමනුත් මෙම වැරැද්දම යම් හේතුවක් නිසා කරන නිසා නොවේද?

වසර 30 ක් පරිසර කටයුතු කල මා මේ සියල්ල ඇත්ත බව දනී. ඊයේ දින මුතුරාජවෙල සම්බන්ධ රැස්වීමකදී ද මතුවූයේ මේ කරුණය.

සල්ලිකාරයන් සමඟ හැප්පෙන්නට අපට හැකි වුවත් උන්ට කඩේ යන මෝඩ වන්දිභට්ටයන් සමඟ හැප්පෙන්නට අපට නොහැක. ඒ සත්‍යය හෝ නීතිය තේරුම් ගැනීම උන්ගේ අවශ්‍යතාවය නොවන බැවිනි.

අපට නිවැරදි වන්නට ඇත්තේ තවත් සුලු කාලසීමාවක් පමණි. පරිසර සම්පත් එක් සීමාවකට වඩා අඩුවූ පසු නැවත ආපසු හරවන්නට නොහැක. තවත් වසර දහයක් පමණ මේ ආකාරයෙන්ම පැවතුනොත් අපට නිවැරදි කරගන්නට දෙයක් ඉතුරු නොවනු ඇත.

(රොෂාන් ද සිල්වා)

+++++++++++++++++

මෙවැනි සිදුවීම් වලට අදාල ශ්‍රේෂ්ඨාධිකරණයේ SC/FR/141/2015 නඩු තීන්දුව තිබෙනවා – නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ

(16.03.2021 – 12:27 +0530 – lankaleadnews.com)

පසුගිය සෙනසුරාදා (13) දින සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වෙමින් භාග්‍යා අබේරත්න දැරිය; සිංහරාජ අඩවියේ සිදුවන දැවැන්ත, බරපතළ පරිසර විනාශය සම්බන්ධයෙන් නිර්භීතව කළ ප්‍රකාශයෙන් පසුව විවිධ සිදුවීම් ඇතිවූවා මෙන්ම ඒ පිළිබඳව පෘථුල කතාබහක් සියලු මාධ්‍ය තුළ ඇතිවී තිබේ.

ඒ සම්බන්ධයෙන් තමාට සහ තම පවුලේ උදවියට එරෙහිව එල්ලවන සියලු චෝදනා ප්‍රතික්ෂෙප කරණ බව භාග්‍යා අබේරත්න දැරිය පවසයි.

එම දැරියගේ ප්‍රකාශය පිළිබඳව ජාතික භික්ෂු පෙරමුණ මාධ්‍ය සාකච්ඡාවකදී දැක්වූ අදහස් මෙසේය :

එම ප්‍රකාශය පිළිබඳව එම දැරියගෙන් ප්‍රශ්ණ කර ඇයට මානසික පීඩනයක් ඇති කිරීමට තරම් නින්දිත තත්වයකට රජය පත්වේයයි කිසිසේත්ම නොසිතූ බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද හිමියන් පවසයි. කඩොළාන සහ පඬු කරඳ ශාඛය පිළිබඳව හඬ නැගූ දේවානි ජයතිලක මහත්මියට විරුද්ධව විනය පරීක්ෂණ තැබීමට පියවර ගෙන ඇති බවත් පරිසර විනාශයන් පිළිබඳව හඬ නඟන තමා ඇතුළු පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා නිහඬ කිරීමට උත්සාහ දරණ බව ද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියහ.

මේසා වේගයෙන් එම දැරියගෙන් ප්‍රකාශ ලබාගැනීමට ඉදිරිපත් වූ පොලීසිය රට තුළ අතිශය බරපතළ පරිසර විනාශයන් සිදුවෙත්දී කිසිවක් නොදන්නා ගානට සිටීම පිටුපස ඇති රහස කුමක්දැයි ප්‍රශ්ණ කර සිටින ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් ජනාධිපතිතුමා ඇතුළු රජය සහ වගකිවයුතු ඉහළ නිළධාරීන් සියලු දෙනා එම දැරියගෙන් සමාව ගතයුතු බවත් සියලු දෙනා එකතුවී එම දැරිය ප්‍රකාශ කළදේ ඇත්තක්දැයි සොයා බැළිය යුතු බවත් ප්‍රකාශ කර සිටියහ.

ගාල්ලේ රූමස්සල සිදුවන දැවැන්ත වන විනාශයට එරෙහිව එළඹෙන 20 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කළ අයගේ සහෝදරයා වන සාරංගට පහර දීම නිසා අද ඔහු ගාල්ල කරාපිටිය රෝහලේ 58 වාට්ටුවේ 12 වන ඇඳෙ ප්‍රතිකාර ලබමින් සිටින බවත් මර්ධනය දියත් කිරීමෙන් විරුද්ධවාදීන් යටපත් කිරීමේ බොළඳ උත්සාහයක රජය නියැලී ඇති බවත් ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් පූජ්‍ය වකමුල්ලේ උදිත හිමියන් පවසයි.

එම දැරියගේ ප්‍රකාශයට අදාල භූමිය සිංහරාජ රක්ෂිතයට පවරාගැනීම සඳහා 2004 වසරේදී කැබිනට් තීරණයක් ගෙන තිබූ අතර ප්‍රාදේශීය නිළධාරීන්ගේ මට්ටමින් එය නතර වී තිබූ තත්වයක් යටතේ කර ඇති ඉදිකිරීම් අකුලා ගැනීමට වුව ද සිදුවිය හැකි බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා ප්‍රකාශ කරයි.

මධ්‍යම පරිසර අධිකාරියේ සපරගමු පළාත් අධ්‍යක්ෂ තිලක් කිරිඇල්ල මහතා පවසන්නේ අදාළ ඉඩම අක්කර 7 රූඩ් 03 පර්චස් 25 ක් විශාල ඉඩමක් බවයි.

චුන්නාකම් ප්‍රදේශයේ මෙවැනි පරිසර හානියක් පිළිබඳ SC/FR/141/2015 ශ්‍රේෂ්ඨාධිකරණ නඩුකරයේදී පරිසරය යනු ඒකීය පද්ධතියක් නිසා පාරිසරික බළපෑම් තක්සේරුවක් සිදු කළයුතු ක්‍රියා සඳහා අදාල භූමියට එකිනෙකට ආසන්නයේ ඇති වපසරිය හෙක්ටයාර 1 ට අඩු කොටස් ද එකතුව තක්සේරුව සලකා බැලිය යුතු බව සඳහන් වන බව නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අවධාරණය කර සිටී ෴

******************************************

ජගත් වික්‍රමසිංහ පන්නා ගුවන් විදුලියේ බලය සියතට ගැනීමේ මුස්ලිම් අන්තවාදීන්ගේ ගේම් එක

(15.03.2021 – colombotoday.com)

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය කලක සිට ඉස්ලාම් අන්තවාදීන්ගේ ග්‍රහණයට හසුවූ ආයතනයක් ලෙස සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ සහ ඉස්ලාම් ආගම අතහැර ගිය කණ්ඩායම්වල චෝදනාවට ලක්විය. මේ පිළිබඳව බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින්ද දිගින් දිගටම හඬ අවදි කරන ලදි.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවද ඒ පිළිබඳව සිය නිර්දේශ ලබා දී ඇත.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහාචාර්ය ජගත් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිධුරයට පත්කිරීමෙන් පසු තත්වය වෙනස් විය. අන්තවාදී දේශකයන් එකින් එකා ගුවන් විදුලි සංස්ථාවෙන් පන්නා දැමීමට සභාපතිවරයා නිර්බීත තීන්දුවක් ගන්නා ලදි.

තත්වය එසේ යහපත් අතට පත්වෙමින් සිටියදී ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය සඳහා උපදේශක සභාවක් පත්කිරීමට අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කටයුතු කරන ලදි. ඒ සඳහා පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට මුදල් වියදම් කල මුස්ලිම් ජාතිකයන් 5 දෙනෙකු උපදේශක මණ්ඩලයට පත් විය. එම 5 දෙනා අන්තවාදී අදහස් ඇති පුද්ගලයන්ය.

අමාත්‍යවරයාගේ මෙම තීරණයෙන් පසුව උපදේශක මණ්ඩලය විසින් යලි අන්තවාදී දේශකයන්ට ගුවන්විදුලියේ ඉඩ කඩ වෙන් කීරීමට උත්සහ ගන්නා ලදි. සභාපතිවරයා ඊට විරුද්ධව තනි සටනක නිරත විය. එහි ප්‍රතිපලයක් ලෙස ගරු කල යුතු මහත්මයෙකු ලෙස නමක් දිනාගෙන සිටි මහාචාර්ය ජගත් වික්‍රමසිංහ මහතා හොරෙකු ලෙස හංවඩු ගසා ඉවත් කිරීමට සැලසුම් ක්‍රියාත්මක වෙමින් සිටියි. මෙහි පිටුපස සිටින්නේ ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් බවට සභාපතිවරයා සාකච්ඡාවක් අතරතුරදී පවසන ලදි.

මුස්ලිම් අන්තවාදීන්ගේ ගේම් එකට ඉඩ දී ගුවන් විදුලියේ සභාපති ජගත් වික්‍රමසිංහ ඉවත් කිරීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරයා කටයුතු කරන්නේදැයි විමසිල්ලෙන් සිටින බව බොදු බල සේනා සංවිධානයෙන් අප සිදුකල විමසීමකදී සඳහන් කරන ලදි.

ගුවන් විදුලි සංස්ථාව පිළිබඳව මීට ඉහතදී Colombo Today සිදුකල අනාවරණයන් :

[ අන්තවාදීන් ගුවන්විදුලියේ මුස්ලිම් සේවය ග්‍රහණයට ගැනීමේ දැඩි උත්සාහයක ]

******************************************

ආණ්ඩුවේ ගමන සුබවාදී නෑ.. වෙන්න යන දේ හොඳ දෙයක් නිසා හෙළි කරන්නේ නෑ… – විජේදාස රාජපක්ෂ

(16.03.2021 – 10:40 +0530 – lankacnews.com)

ආණ්ඩුව යන ගමන සුබවාදී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ආණ්ඩුවට ඉදිරියේදී වීමට නියමිත දේ තමන් දන්නා නමුත් එය වළක්වා ගත යුතු නැති නිසා හෙළි කරන්නේ නැති බවද ඔහු කියා සිටියේය.

හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය :

@@@@@@@@@@@@@@@

(16.03.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණය නතර නොකරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සියළු රටවලින් ඉල්ලීමක් කළා.

ඒ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිත කිරීම ඇතැම් යුරෝපීය රටවල් අත්හිටුවීමත් සමඟයි.

රුධිරය වහනය වීම, ලේ කැටි ඇතිවීම සහ රුධිරාණු සංඛ්‍යාව අඩුවීම වැනි සිද්ධීන් එන්නත ලබාදීමෙන් පසු ඇති වූ බවට වාර්තා වීමත් සමඟයි ඔවුන් එම පියවර ගෙන ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක මණ්ඩලය මගින් එන්නත පිළිබදව ඇගයීමක් සිදුකරන අතර එහි ප්‍රතිඵල කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව සදහන් කළා.

කෙසේ නමුත්, ඔක්ස්ෆර්ඩ් එන්නතෙහි පොදු භාවිතයට ලබාදී ඇති අවසරය එමගින් වෙනස් නොවනු ඇතැයි සදහන්.

යුරෝපයේ විශාලතම සහ ජනගහනය අධික රටවල් 3 ක් වන ජර්මනිය, ඉතාලිය සහ ප්‍රංශය ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය අත්හිටුවන බව දැන් ප්‍රකාශ කරනවා.

කෙසේ නමුත් එම පියවර තුළින් රටවල් 27 කින් සමන්විත යුරෝපා සංගමයේ එන්නත්කරණ වැඩසටහන අඩාල කිරීමේ හැකියාවක් පවතින බවයි වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

යුරෝපීය රටවල් මෙලෙස ඔක්ස්ෆර්ඩ් එන්නත කෙරෙහි වැඩි පූර්ව අවධානයක් යොමු කිරීම ඇතැමුන්ගේ මවිතයට හේතු වී තිබෙනවා.

යුරෝපයේ ලේ කැටි කිරීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇත්තේ මිලියන 17 ක් ජනතාවට එම එන්නත ලබාදීමෙන් අනතුරුවයි.

එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥවරිය සෞම්‍යා ස්වාමිනාදන් ප්‍රකාශ කළේ වාර්තා වී ඇති සිද්ධීන් සහ කොරෝනා එන්නත්කරණය අතර සම්බන්ධතාවක් මෙතෙක් තහවුරු වී නොමැති බවයි.

පසුගිය මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අනුමත කළ අතර මේ වන විට ලොව රටවල් රැසක් එන්නත භාවිත කරනු ලබනවා.

ඉන්දියාව විසින් ද මේ සතියේ ඒ පිළිබද යළි ඇගයීමේ අධ්‍යනයක් සිදුකිරීමට නියමිතයි.

එන්නත පිළිබදව පළ වී ඇති අවිනිශ්චිතභාවය සම්බන්ධයෙන් අද (16) දිනයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශක කමිටුව රැස්වී සාකච්ඡා කරන බව එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

(16.03.2021 – 08:31 +0530 – hirunews.lk/sinhala)

මෙරට පැමිණෙන විදෙස් ශ්‍රමිකයින් නිරෝධායනය කිරීම සඳහා දිස්ත්‍රික්ක වශයෙන් ස්ථාන වෙන් කිරීමට කම්කරු අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සදහන් කළේ විදේශ සේවා කාර්යාංශය හරහා ඒ පිළිබදව කටයුතු කරන බවයි.

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 30,000 ක් පමණ මේ වන විට නැවත දිවයිනට පැමිණ ඇති අතර, තවත් 20,000 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් සිටිනවා.

ඔවුන් සඳහා අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථාන වෙන් කොට පහසුකම් සැලසීම රජයේ අරමුණ බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කොළඹ ඊයේ (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

මේ අතර, ඊයේ (15) දිනයේදීත් මෙරටින් කොරෝනා මරණ 5 ක් වාර්තා වීමත් සමඟ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 532 දක්වා ඉහළ ගියා.

යාපනය, ගම්පහ, කොච්චිකඩේ, පමුණුගම සහ කළුතර – උතුර ප්‍රදේශයෙන් මෙම මරණ වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.

එමෙන්ම ඊයේ (15) දිනයේදීත් තවත් කොරෝනා ආසාදිතයින් 331 දෙනෙකු වාර්තා වීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 88,238 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *