පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලාංකිකයින් හතරක් දිවයිනට ගෙන්වාගැනීමට සැරසේ

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලාංකිකයින් හතරක් දිවයිනට ගෙන්වාගැනීමට සැරසේ

*********************************************

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලාංකිකයින් හතරක් දිවයිනට ගෙන්වාගැනීමට සැරසේ

(15.03.2021 – 13:07 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් හතරදෙනෙකු (4) දිවයිනට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා.

ප්‍රහාරය සම්බන්ධයෙන් විදෙස් රටවල සිටි ශ්‍රී ලාංකිකයින් 54 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් 50 දෙනෙකුම මෙරටට ගෙන්වාගෙන ඇති බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොළඹ අද (15) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා අනාවරණ කළේ ෴

******************************************

(15.03.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

මහරගම ප්‍රදේශයේ රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩමක් කූට ලේඛණ සකස් කර හිමිකරගත් බවට දැනට සිර දඬුවම් විදින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ බිරිඳට එරෙහිව ගොනු කළ නඩුවෙන් එම සැකකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (15) නියෝග කළා.

ඒ මොවුන්ට එරෙහි චෝදනා පත්‍රය නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුවයි.

මෙම නඩුව අද (15) කැදවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැදිගේ හමුවේයි.

මේ අතර සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් වරදකරු කර සිර දඬුවම් නියම කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට නිදොස් කොට නිදහස් කරමින් අභියාචනාධිකරණය ඉකුත්දා ප්‍රකාශයට පත් කළ තීන්දුව අද (15) කොළඹ මහාධිකරණය හමුවේ කියවනු ලැබුවා.

මෙම නඩුව අද (15) කැදවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේයි.

එම අවස්ථාවේදි අභියාචනාධිකරණය මඟින් නිදොස් කොට නිදහස් කරන ලද දැනට ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී විනිසුරුවයා අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ තීන්දුව මොවුන්ට කියවා දෙමින් අදාළ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇති බව දැනුම් දුන්නා.

අනතුරුව ලලිත් වීරතුංගගේ සහ අනූෂ පැල්පිටගේ විදේශ ගමන් බලපත්‍ර හා ඇප මුදල් අධිකරණය භාරයේ තිබේ නම් ඒවා අනන්‍යතාවය තහවුරු කර ඔවුන් වෙත මුදා හරින ලෙසත් ඔවුන් වෙනුවෙන් පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කර ඇති බව ආගමන හා විගමන පාලක හා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දීමට පියවර ගන්නා ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් විදුලි සංදේශ නියමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහණය කළේ යැයි චෝදනා කරමින් ඉකුත් පාලන රජය සමයේ මොවුන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණා ෴

******************************************

(15.03.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීලඟ නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාල විරෝධතා ඇත්නම් ලබන ජූනි 8 වනදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (15) වගඋත්තරකරුවන්ට නියෝග කළා.

ඒ, මෙම පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඇතුලු 19 දෙනෙකු මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයින් වන මුත්තයියා මුරලිදරන්, සිදත් වෙත්තමුණි ඇතුලු 12 දෙනෙකු විසින් ෴

******************************************

(15.03.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මින්නේරිය – මින්නේරිය නගරය, රොටවැව, රජඇල, මුවන්පැලැස්ස, රජඇලගම, පුරණගම, මිනිහිරිගම, සී.පී.පුර සහ බටුඔය ප්‍රදේශවලට හෙට (16) පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ලබනවා.

ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ හෙට (16) පෙරවරු 9 සිට කොතලාවල, ගිරිතලේ, සමගිපුර, අග්බෝපුර, බුබුල, බත්ගම්පත්තුව, රත්මලේ සහ ගිරිතලේ ජනපදයට ද මෙලෙස ජලසැපයුම අත්හිටුවන බවයි.

එමෙන්ම හිඟුරක්ගොඩ නගරය, පාලුවැව, දොරදෙක, සාමපුර, කිඹුලාවල, ගම් උදාව, හතමූණ, බෝගස්හන්දිය, ජයපුර සහ කුමාරගම යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවනු ලබනවා.

තවද බැඳිවැව, සරණ සිරිගම, යාය හතර, යාය තුන, මාලකපුර, නිකවැව, සුදුකන්ද සහ තඹලවැව ප්‍රදේශවලටද එම කාලය තුලම ජල සැපයුම අත්හිටවනු ඇති ෴

******************************************

(15.03.2021 – 13:41 +0530 – hirunews.lk/sinhala)

අම්පාර – මහඔය කටුකැලියාව රක්ෂිතයේ වන සංරක්ෂණ නිලධාරීන් කළ වැටලීමකට වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මැදිහත් වු බවට චෝදනා එල්ල වනවා.

පසුගිය සිකුරාදා අනවසර දැව ජාවරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා වන සංරක්ෂණ නිලධාරීන් කටුකැලියාව රක්ෂිතයේ වැටලීමක් සිදුකළා.

එම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවෙකු නිදහස් කර ගැනීමට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක එම ස්ථානයට පැමිණ උත්සහ කළ බවටයි චෝදනා එල්ල වන්නේ.

කෙසේ වෙතත්, වන සංරක්ෂණ නිලධාරීන් කිසිවෙකුත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර නැහැ.

එහෙත් රාජ්‍ය අමාත්‍යවරයා තමන්ට වන සංරක්ෂණ නිලධාරින් තර්ජනය කළ බවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය මහඔය පොලිසියෙන් විමසීමක් කළා.

එහි නිළධාරියෙකු සඳහන් කළේ අමාත්‍යවරයා ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර ඇති අතර දෙදෙනෙකු (2) ගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.

ඉදිරි දිනයකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙන්ම වන සංරක්ෂණ නිලධාරීන්ද පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කරන බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, මේ සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට අප වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක සම්බන්ධ කිරීමට උත්සහ කලද එය ව්‍යර්ථ වුයේ ඔහු දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් ෴

******************************************

(15.03.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජනතාවට යුක්තිය හා සාධාරණය ඉටුකරණ ලෙස ඉල්ලමින් දින 16 ක් එංගලන්තයේ ලන්ඩන් – කොන්ටන් හි උපවාසයක නිරත ශ්‍රී ලාංකික දෙමළ කාන්තාවකට සහය පළ කරමින් පැවැත්වූ විරෝධතාවක් විසුරුවා හැරීමට එරට පොලීසිය කටයුතු කළා.

එහිදී විරෝධතා කරුවන් සහ පොලිසිය අතර ගැටුමක් ද හටගත් අතර, ඉන් එක් අයෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සිදු කර ඇති ප්‍රකාශවලට විරෝධය පළකරමින් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් ද ඊයේ (14) උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ ඉතාලියේ චෙන්ත්‍රාලේ හිදියි.

රට භේද කිරීමට උඩගෙඩි දෙන ඊනියා මානව හිමිකම් සංවිධානයට එරෙහිව අප එක්වෙමු යන මැයෙන් ඊයේ (14) මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණා.

******************************************

(15.03.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව අද (15) දිනයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

මේ වනවිට වෙළඳපොලේ සහල් මිල ඉහළ ගොස් ඇති අතර, ඇතැම් පුද්ගලයින් සහල් සඟවාගෙන සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ෴

******************************************

(15.03.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

ජාතිවාදය ඇවිලෙන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීමට අසාත් සාලි වැන්නන්ට බලය ලැබුණේ කෙසේදැයි පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් ප්‍රශ්න කර සිටිනවා.

උන්වහන්සේ ඒ පිළිබඳ අදහස් පළ කළේ හම්බන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

++++++++++++++++

******************************************

(15.03.2021 – 14:13 +0530 – hirunews.lk/sinhala)

රජය මගින් සිදුකළ සීනි ආනයන බදු පහත දැමීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදත් (15) විවිධ අදහස් පළ කළා.

******************************************

(15.03.2021 – 14:17 +0530 – hirunews.lk/sinhala)

අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු ගොවීන් සිය අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ බඩඉරිඟු සඳහා සහතික මිලක් නොලැබීම ප්‍රධානතම ගැටලුව බවයි.

ජාතික ගොවිජන එකමුතුවේ සාමාජිකයින් පිරිසක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, හොරොව්පතාන, මැදවච්චිය, රඹෑව යන ප්‍රදේශවල සංචාරය කරමින් බඩඉරිඟු ගොවීන් මුහුණදෙන ගැටලු පිළිබඳව සොයා බැලුවා.

මෙහිදී බඩඉරිඟු ගොවීන්ගේ අස්වැන්නට මිලක් නොමැතිවීමේ ගැටලුව පිළිබඳව ඔවුන්ගේ අවධානය යොමුවුණා.

******************************************

(15.03.2021 – 14:20 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසර පහක (5) කාලය තුළ සිදුවූ අනතුරු හේතුවෙන් යතුරුපැදිකරුවන් 5,677 දෙනෙකු මියගොස් ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එම කාලය තුළ රිය අනතුරුවලින් පදිකයින් 4,221 දෙනෙකු සහ පාපැදිකරුවන් 1,185 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

ආරක්ෂිත හිස් වැසුම් පැළඳ නොසිටීම, අධික වේගය සහ බීමත්ව රිය පැදවීම, වැඩි වශයෙන් යතුරුපැදි කරුවන් අනතුරුවලට ලක්වීමට හේතුවයි.

මේ අතර ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය නිමිති කරගනිමින් යතුරුපැදිකරුවන්ගෙන් සිදුවන රථවාහන අනතුරු අවම කරගැනීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක්ද අද (15) ගාලු මුවදොර පිටිය අසළින් ආරම්භ කෙරුණා ෴

******************************************

(15.03.2021 – 14:27 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධනයට වර්තමානයේ අවධානය යොමුවුවද, එලෙස බලධාරීන්ගේ හා නිලධාරීන්ගේ නෙත නොගැටුණු ගම්මානයක් පිළිබඳව ගාල්ල, නෙළුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (15) ‘රතු මිනිත්තුවේ’ අවධානය එහි වැසියන්ට මුහුණ දීමට සිදුව ඇති දුක් කම්කටොළු පිළිබඳවයි.

******************************************

(15.03.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ඉහළ දැමීමේ ගැටලුව සම්බන්ධව ඉදිරි දින කිහිපයේදී සාකච්ඡාවක් ලබා දෙන බවට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලිඛිත දැනුම්දීමක් සිදුකල බව පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය පවසනවා.

ඒ, එම ව්‍යාපාරයේ නියෝජිතයින් හා අසාධාරණයට ලක්වූ බව කියන සිසුන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් අද (15) කොළඹදී පැවැත්වූ විරෝධතා පා ගමනකින් අනතුරුව පැවති සාකච්ඡාවකදීයි.

කොළඹ විහාරමහාදේවී උද්‍යානය අසලින් ඇරඹි එම පා ගමන අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය දක්වා පැමිණියා.

පසුව ඔවුන් සාකච්ඡාවක් සඳහා අරලියගහ මන්දිරය වෙත කැදවාගෙන යනු ලැබුවා.

අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් එම්.ඒ. වීරසිංහ මහතා ඇතුලු නිළධාරීන් සමග එහි පැවති සාකච්ඡාවේදී, අදාල ගැටළුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් ලබා දෙන බවට ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබෙනවා ෴

******************************************

(15.03.2021 – 15:13 +0530 – hirunews.lk/sinhala)

මහවැලි ගඟේ දිය නෑමට ගොස් අතුරුදන් වූ 17 හැවිරිදි පාසල් සිසුවාගේ සිරුර එම ගංඟාවේ ගැඹුරු වළක තිබී අද (15) දහවල් සොයා ගත්තා.

ඒ, වැලිසර නාවික හමුදා කිමිදුම්කරුවන් නාවලපිටිය පොලීසිය සමඟ එක්ව සිදුකළ මෙහෙයුමකදීයී.

මෙලෙස මිය ගොස් ඇත්තේ මහනුවර – තෙල්දෙණිය ප්‍රදේශයේ පදිංචි මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙක්.

මිය ගිය සිසුවා නාවලපිටිය – මල්ලන්ද ප්‍රදේශයේදී මිතුරන් සමග මහවැලි ගඟේ දිය නාමින් සිටියදී අතුරුදන් වුණේ ඊයේ (14) දිනයේදීයි ෴

******************************************

“සේරම දේපල විකුණලා හරි ජේ.වී.පී එක ඊළඟ ඡන්දෙදී බින්දුවට දානවා” – මේජර් නිශ්ශංක සේනාධිපති

(15.03.2021 – am.lk)

තමා සතු සේරම දේපල විකුණා හෝ ජනතා විමුක්ති පෙරමුණ මීළඟ මැතිවරණයේදී ජන්ද බින්දුවට දැමීමට කටයුතු කරන බව ඇවන් ගාර්ඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා සඳහන් කරයි.

තමා ISIS සංවිධානයට උදව් කර නැති බවත් සහරාන්ව තමාට මුණ ගැහි නැති බවත් සඳහන් කරන ඒ මහතා වැඩිදුරටත් සඳහන් කලේ තමා අන්තවාදීන්ට ආයුධ පුහුණුව ලබා දී නැති බවත් ආයුධ ලබා දී නැති බවත්ය.

කිසිම ආකාරයකින් අන්තවාදීන් වෙනුවෙන් මුදල් ලබා දීමක් සිදු කර නොමැති බවත් තමාට ලෝකයේ ඕනෑම රටකට යන්න මේ මොහොතෙත් හැකියාව පවතින බවද ඒ මහතා සඳහන් කරයි.

ශානි අබේසේකර, රිෂාඩ් බදියුදීන්, අසාත්සාලි, හිස්බුල්ලා යන අයගේ නම් මේ කොමිසමේ නැත්තේ කුමන්ත්‍රණයකින් එය ඉවත් කල නිසා බවද සඳහන් කරන සේනාධිපති මහතා වැඩිදුරටත් සඳහන් කලේ තමා නිරෝධායන ශ්‍රමිකයන්ගෙන් හොරා කා නැති බවය.

අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රකාශය තනිකරම රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ඒ මහතා මෙම අදහස් පල කලේ යුටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.

******************************************

(15.03.2021 – 17:25 +0530 – hirunews.lk/sinhala)

පොදු මගී ප්‍රවාහන සේවාවල පුද්ගලයන් සහ ව්‍යාපාර සඳහා ලබාදී ඇති ලීසිං පහසුකම්වලට සහනයක් සලසන ලෙස මහබැංකුව ලීසිං සමාගම්වලට දැනුම් දී තිබෙනවා.

මෙහිදී සියළුම බලපත්‍රලාභී මූල්‍ය ආයතන, ලීසිං සමාගම් සහ වාණිජ බැංකු වෙත දැනුම් දී ඇත්තේ ලබන අප්‍රේල් 01 වන දා සිට අවම වශයෙන් මාස 6 ක කාලයක් සඳහා අදාළ සහනය ක්‍රියාත්මක කරන ලෙසයි.

අදාළ සහනය පොදු මගී ප්‍රවාහන සේවාවල නිරත වූවන් මෙන්ම පාසල් සහ කාර්යාල ප්‍රවාහන සේවා, කුලී රථ සහ ත්‍රිරෝද රථ සඳහා ද ක්‍රියාත්මකයි.

මේ අතර, ණය ගෙවීම පැහැර හැරීම හේතුවෙන් බැංකු මගින් ණයකරුවන්ගේ දේපළ වෙන්දේසි කිරීමට පෙර ඒ පිළිබදව සොයා බැලීම සඳහා බලධාරියෙකු පත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

වෙන්දේසි කිරීමට හේතුව සහ ණයකරුවාගේ මූල්‍ය ඉතිහාසය පිළිබදව සොයා බැලීම අත්‍යාවශ්‍ය කරුණක් වන බවයි මුදල් අමාත්‍යාංශයේ අද පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ ෴

******************************************

(15.03.2021 – 17:30 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතානයේ හැරෝව් හිදී LTTE ධජ අතින් ගත් LTTE ආධාර කරුවන් පිරිසක් සහ බ්‍රිතාන්‍ය පොලිසිය අතර ගැටුමක් ඇති වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හැරෝව් ටයිම්ස් පුවත්පත වාර්තා කළේ කෙන්ටන් ප්‍රදේශයේ LTTE ආධාර කරුවන් පිරිසක් පැවැත් වූ විරෝධතාවක් විසුරුවා හැරීමට යාමේදී අධාල ගැටුම හටගත් බවයි.

මෙහිදී පොලිසිය සහ LTTE ආධාර කරුවන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද වන අයුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝවක දක්නට ලැබෙනවා.

මෙම සිද්ධියේදී ලන්ඩන් පොලිසිය විසින් LTTE ආධාර කරුවෙකු අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව මුදා හැර තිබෙනවා.

මෙම LTTE ආධාරකරුවන් මෙලෙස විරෝධතාවයේ නිරත වුයේ කෙන්ටන් හී දින 16 ක් උපවාසයේ යෙදෙන, සමුල ඝාතනයන් වැළකීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ නියෝජිත වරියක වන අම්භිහායි සෙල්වකුමාර්ට සහයෝගය දැක්වීමටයි

ඇය විරෝධතාවයේ නිරත වන්නේ සමූල ඝාතනයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර අධිකරණය වෙත කැඳවන ලෙස ඉල්ලමින්.

******************************************

(15.03.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර බුද්ධි ඒකකයට ලද තොරතුරකට අනුව අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ කොටසක වළ දමා තිබූ ජංගම දුරකථනයක් සොයාගෙන තිබෙනවා.

බන්ධනාගාරයෙහි වයි විශේෂ අංශය හා තාප්පය අතර කොටසෙහි පොළවෙහි මෙම ජංගම දුරකථනය වළ දමා තිබී සොයා ගත් බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා සදහන් කළේ.

මෙම වයි අංශය තුළ රන්ජන් රාමනායක ඇතුළු තවත් සිරකරුවන් රදවා සිටින අතර මෙම සොයා ගත් ජංගම දුරකථනය රන්ජන් රාමනායකට ලබාදීමට රැගෙන ආ දුරකථනයක් දැයි සැක පළ වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

******************************************

(15.03.2021 – 17:41 +0530 – hirunews.lk/sinhala)

ඇඟලුම් ක්ෂේත්‍රය වර්තමානයේ මුහුණ දී තිබෙන අභියෝග හඳුනාගෙන ඇති රජය එහි ඵලදායීතාවය සහ ගුණාත්මකභාවය නැංවීමට පූර්ණ අනග්‍රහය දීමට සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ඒ සඳහා සැලසුම්සහගත වැඩ පිලිවෙලක් දැනටමත් ක්‍රියාත්මක වන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ නියෝජිතයින් සමග ජනාධිපති කාර්යාලයේ අද (15) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.

සෞඛ්‍ය නිර්දේශ නිසා ඉදිරි ගමනට එල්ල වී ඇති අභියෝග පිළිබදව ද ව්‍යාපාරිකයින් එහිදී කරුණු පැහැදිලි කර තිබෙනවා ෴

******************************************

(15.03.2021 – 17:57 +0530 – hirunews.lk/sinhala)

පසුගිය පැය 24 ක කාලය තුළ කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ බලපත්‍ර නොමැතිව අනවසරයෙන් වැලි ප්‍රවාහනය කළ පුද්ගලයින් 17 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිසිය පවසනවා.

මෙහිදී සැකකරුවන් සතුව තිබී ට්‍රැක්ටර් රථ අටක් (8) සහ ටිපර් රථ නමයක් (9) ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසූවේ කිලිනොච්චිය උමයාල්පුරම්, මුරුසමොටෙයි, උරුත්තිපුරම්, තිරුවේයාරු ආදි ප්‍රදේශවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් සහ අදාළ වාහන පොලිස් භාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ වාහන කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කිලිනොච්චිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ෴

******************************************

(15.03.2021 – 19:48 +0530 – hirunews.lk/sinhala)

කතරගම – ලුණුගම්වෙහෙර මාර්ගයේ තැම්මැන්නාව වැව රක්ෂිතය එළිපෙහෙලි කරන බවට චෝදනා කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (15) විරෝධතාවක නිරත වුණා.

කතරගම – ලුණුගම්වෙහෙර ප්‍රධාන මාර්ගයේ මත්තල අධිවේගී මාර්ගය අවහිර කරමිනුයි වීරවිල ප්‍රදේශවාසීන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ.

මේ අතර, මුතුරාජවෙල තෙත් බිමෙහි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්වල සවි කර තිබූ පුවරු කිසියම් පිරිසක් විසින් ගලවා ඇති බවට මුතුරාජවෙල අඩවි ආරක්ෂක නිලධාරීන් පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම, සීගිරිය අවට රජයේ ඉඩම් පවරාගෙන ඇති පුද්ගලයින්ට කූඨ ලේඛන සෑදීමේ චෝදනාව මත නඩු පැවරීමට පියවර ගන්නා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් දිස්ත්‍රික් ලේකම් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ආණ්ඩුකාර කාර්යාලයේ අද පැවති උත්සවයකට එක්වෙමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා මේ බව සඳහන් කළා ෴

******************************************

(15.03.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

බුර්කාව තහනම් කිරීමට ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබදව පාකිස්තාන රජය සිය කණස්සල්ල පළ කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙරට පාකිස්තාන මහකොමසාරිස් සාද් කත්තාක් සදහන් කර ඇත්තේ බුර්කාව තහනම් කිරීම තුළින් මෙරට සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ මෙන්ම ලොව පුරා මුස්ලිම්වරුන්ගේ හැගීම්වලට හානියක් සිදුවන බවයි.

කොරෝනා වසංගතය හේතුවෙන් උදා වී ඇති ආර්ථික වශයෙන් දුෂ්කර සමයක රටේ ප්‍රතිරූපය සම්බන්ධ වෙනත් අභියෝග ද පවතින බවයි මහකොමසාරිස්වරයා එහිදී සිහිපත් කළේ.

පාකිස්තාන මහකොමසාරිස්වරයාගේ එම ට්විටර් පණිවුඩයට ප්‍රසාදය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් විසින් ද සිය ට්විටර් ගිණුමේ සදහනක් යොදා තිබුණා.

එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ගේ දුක්ගැනවිලි සොයා බැලීම ගැන ඔහුට ස්තූතිය පළ කරන බවයි.

එමෙන්ම, වාර්ගිකත්වය හෝ ආගමික පසුබිම නොතකා සියළු ශ්‍රී ලාංකිකයන් එක්සත් වන්නේ නම්, විවිධාංගීකරණය සඳහා මෙය අවස්ථාවක් නොවනු ඇති බවයි රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව තුළ බුර්කාව පැලදීම තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (15) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම කැබිනට් පත්‍රිකාවට පසුගිය සිකුරාදා මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අත්සන් තැබුවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කළ විජිත් මළල්ගොඩ ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශයන්ට අනුව 2019 වසරේ මැයි මස 13 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මෙවැනිම නීතියක් පනවනු ලැබුවා.

ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධ ස්ථානවල අනන්‍යතාව හඳුනාගැනීමට නොහැකිවන පරිදි සම්පූර්ණයෙන් මුහුණ සඟවාලන ඇඳුමක්, ඇඟළුමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොපැළඳිය යුතු බවටයි එම ගැසට් පත්‍රයේ සඳහන් වුණේ.

මේ අතර මද්ද්‍රාසා පාසල් සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස රජය නියෝගයක් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කලේ කොළඹ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

@@@@@@@@@@@@@@

(15.03.2021 – 13:05 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ 5, 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (15) ආරම්භ කිරීමත් සමඟ පාසල් තුළ සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය පසු විපරමක් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ගැටළුවට විසඳුම් ඉල්ලා පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය කොළඹදී අද (15) විරෝධතා පා ගමනක නිරතවුණේ අසාධාරණයට ලක්වූ සිසුන්ද සම්බන්ධ කරගනිමින්.

බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 යන ශ්‍රේණි වසරකට ආසන්න කාලයකින් පසුව අද (15) යළි අධ්‍යයන කටයුතු සඳහා විවෘත වුණා.

කෙසේ වෙතත් එම පළාතේ පාසල්වල අනෙකුත් ශ්‍රේණි අධ්‍යයන කටයුතු සඳහා විවෘත වීමට නියමිතව ඇත්තේ ලබන මස 19 වනදායි.

පාසල් විවෘත කළද සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළා.

මේ අතර හැටන් – නෝවුඩ් දමිල මහා විද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ සිසුවෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් අදාළ පන්තියේ සිසුන් සියලුදෙනා නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුනා.

මේ අතර පහ (5) ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ගැටළුවට කඩිනම් විසදුම් ඉල්ලා විරෝධතා පා ගමනක් අද (15) ආරම්භ වූයේ කොළඹ විහාරමහා දේවි උද්‍යානය අසළින්.

අනතුරුව ඔවුන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය වෙත ගමන් කළා.

තවත් කොරෝනා ආසාදිතයින් 321 දෙනෙකු සුවය ලබා අද (15) දිනයේදීත් රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 84,969 ක්.

2411 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.

අද (15) වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 87,907 ක් ෴

අද (15) දිනයේදීත් කොරෝනා ආසාදිතයින් 178 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 88,085 දක්වා ඉහළ ගියා ෴

මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 05 ක් අද (15) වාර්තාවී තිබෙනවා. මෙම මරණ 05ත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 532 දක්වා ඉහළ ගියා ෴

තවත් කොරෝනා ආසාදිතයින් 70 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව අද (15) දිනයේ වාර්තා වු සමස්ථ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 248 ක්.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 88,155 ක් දක්වා ඉහළ ගියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *