ග්‍රෑන්ඩ්පාස් ගින්නෙන් නිවාස 50 කට හානි

ග්‍රෑන්ඩ්පාස් ගින්නෙන් නිවාස 50 කට හානි

*********************************************

ග්‍රෑන්ඩ්පාස් ගින්නෙන් නිවාස 50 කට හානි

(15.03.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් කජීමාවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක ගින්නක් හටගෙන තිබෙනවා.

අද (15) උදෑසන 3 ට පමණ හටගත් ගින්න මේවන විට සම්පුර්ණයෙන් මැඩපවත්වා ඇති බවයි කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේ.

ගින්න හටගත් ප්‍රදේශයේ නිවාස 250 ක් පමණ පිහිටා ඇති අතර ඉන් 50 කට පමණ හානි සිදුව ඇතැයි සඳහන්.

කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් රථ 8 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 18 ක් මෙන්ම ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දමා තිබෙනවා.

ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණ වී නොමැති අතර කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවීමක් වාර්තාවී නැහැ ෴

+++++++++++

May be an image of outdoors
May be an image of outdoors
May be an image of one or more people and outdoors
May be an image of one or more people and outdoors
Photos from am.lk

******************************************

(15.03.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව තුළ බුර්කාව පැලදීම තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව අද (15) අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙම කැබිනට් පත්‍රිකාවට පසුගිය සිකුරාදා මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අත්සන් තැබුවා.

මේ අතර බුර්කාව තහනම් කිරීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ශ්‍රීන් සරූර් පවසනවා.

බුර්කාව තහනම් කිරීමෙන් ඉස්ලාමීය කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවයි ඇය පෙන්වා දෙන්නේ.

******************************************

(15.03.2021 – 08:34 +0530 – hirunews.lk/sinhala)

වසර 44 ක් තිස්සේ කැනඩාවේ එඩ්මන්ටන් හි සත්ත්ව උද්‍යානයක ජීවත් වන ශ්‍රී ලංකාවේ උපන් ලුසී නැමති ඇතින්න ස්වභාවික නිදහස් පරිසරයකට මුදා හරින ලෙස ඉල්ලා හෙට (16) දැවැන්ත පා ගමනක් සංවිධාන කර ඇති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ කියා සිටියේ සත්ත්ව හිතවාදී සංවිධාන සමග එක්ව පස්වරු 03:15 ට කොල්ලුපිටිය – වාලුකාරාමයෙන් ආරම්භ කරන මෙම පා ගමන කැනේඩියානු මහකොමසාරිස් කාර්යාලය දක්වා ගොස් ඉන් අනතුරුව සංදේශයක්ද භාරදීමට කටයුතු කරන බවයි.

සෝභිත හිමියන් පෙන්වා දෙන්නේ මෙම ඇතින්න සත්වෝද්‍යානයට අති විශාල මුදලක් උපයා දී ඇති බවයි.

කෙසේ වෙතත් මෙම සත්වයා ජීවත්වන්නේ අතිශය දුක් වේදනා සහිතව බව උන්වහන්සේ සඳහන් කළා.

සත්වෝද්‍යානයේ ඉතා කුඩා කාමරයකට සීමා වී ඇති සත්වයා හිම සහිත පරිසරයක ඉතා සීතලේ ජීවත්වන බව ද සඳහන්.

මෙවැනි තත්වයන් යටතේ අලින් දුක් විඳිනු දුටු කැනඩාවේ ජනතාව හඬ නැගීම හේතුවෙන් එහි ප්‍රතිඵලයක් ලෙසට අප්‍රිකානු සහ ආසියානු අලින් 6 දෙනෙකු ස්වාභාවික පරිසරවලට යොමුකර තිබෙනවා.

කෙසේවෙතත් ලුසී නම් මෙම ඇතින්න තවදුරටත් සත්වෝද්‍යානයේ දුක් විඳින බවයි පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් කියාසිටියේ ෴

******************************************

(15.03.2021 – 08:49 +0530 – hirunews.lk/sinhala)

සීනි බදු අඩු කිරීමත් සමග රුපියල් බිලියන 15.9 ක පාඩුවක් සිදුවූවා සේ පොල්තෙල් සඳහා බදු පැනවීමේදී රජයට විශාල පාඩුවක් සිදුව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

පසුගිය වසරේ පොල් තෙල් සඳහා රජය විසින් අවස්ථා කිහිපයකදී බදු සංශෝධනය කර ඇති අතර, ඒ ඔස්සේ රජයට විශාල පාඩුවක් සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ ෴

******************************************

(15.03.2021 – 09:07 +0530 – hirunews.lk/sinhala).

එස්.එල්.එස්. (SLS) ප්‍රමිති ලාංඡනය සහිත හිස් වැසුම් භාවිත කිරීමේ වැදගත්කම පිළිබඳව යතුරුපැදිකරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ, අදට (15) යෙදී ඇති ‘ජාත්‍යන්තර පාරිභෝගික අයිතිවාසිකම් දිනය’ට සමගාමීවයි.

ඒ අනුව පෙරවරු 09:00 සිට 10.30 දක්වා ගාලු මුවදොර පිටිය අසළදී එම දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළා.

එමෙන්ම ප්ලාස්ටික් දූෂණය මැඩ පවත්වමු යන්න තේමා කර ගනිමින් නාරාහේන්පිට ආර්ථීක මධ්‍යස්ථානයේදී විශේෂ උත්සවයක් සංවිධාන කර තිබෙනවා ෴

******************************************

(15.03.2021 – 10:35 +0530 – hirunews.lk/sinhala)

කොහුවලදී මෝටර් රථයක් තුළ පිළිස්සී මියගිය ව්‍යාපාරිකයාගේ සිරුර කොහුවල භාතිය මාවතේ පදිංචි 33 හැවිරිදි තරුණයාගේ බවට ඩී.එන්.ඒ. පරීක්ෂණයෙන් තහවුරු වී තිබෙනවා.

ඒ, එම තරුණයාගේ දෙමව්පියන්ගේ සහ මියගිය පුද්ගලයාගේ දේහයෙන් ලබාගත් ඩී.එන්.ඒ. සාම්පල සැසඳීමෙන්.

එම පරීක්ෂණවලින් හෙළිවී ඇත්තේ මියගොස් ඇත්තේ කොහුවල භාතිය මාවත ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි අයෙක් බවයි.

මෙම මළ සිරුරේ අනන්‍යතාව හෙළිකර ගැනීමට නොහැකිවීම හේතුවෙන් සැකකෙරෙන දෙමව්පියන්ගේ DNA සාම්පල පසුගියදා ලබාගැනුනා.

එම සාම්පල මියගිය තරුණයාගේ DNA සාම්පල සමග සැසඳෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

ඔහු දෙල්කඳ ප්‍රදේශයේ වාහන අමතර කොටස් වෙළඳසැලක් පවත්වාගෙන ගිය අයෙක්.

මෙම මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට පැවැත්වීමට නියමිත අතර එහිදී මරණයට හේතුව අනාවරණ කර ගැනීමට හැකිවනු ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණය ද පසුගියදා පැවති අතර මළ සිරුරේ පී.සී.ආර්. පරීක්ෂණයක් ද සිදු කළා.

කෙසේවෙතත් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවටයි එහිදී හෙළිවී තිබුනේ.

33 හැවිරිදි නසාර් මොහොමඩ් නැමැති මෙම ව්‍යාපාරිකයා ගමන්ගත් වැගන්-ආර් වර්ගයේ මෝටර් රථය කොහුවල – ආසිරි මාවත ප්‍රදේශයේදී ගිනිගැනීමට ලක්ව තිබුණේ පසුගිය 10 වනදා රාත්‍රී කාලයේදියි.

පසුව එහි තිබී එම තරුණයාගේ පිළිස්සුණු මළ සිරුර සොයාගැනුනා ෴

******************************************

(15.03.2021 – 10:58 +0530 – hirunews.lk/sinhala)

යාන්ඔය ආශ්‍රිතව උළු නිෂ්පාදන කර්මාන්තපුරයක් ස්ථාපිත කිරීමට පරිසර අමාත්‍යාංශය සැළසුම් කර තිබෙනවා.

රටට අවශ්‍ය සියලු උළු ඉදිරි කාලය තුළ යාන් ඔය හා අම්පාර මැටි නිධි ආශ්‍රිතව නිෂ්පාදනය කිරීමට අවධානය යොමුව ඇති බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

යාන් ඔය මැටි නිධිය පිළිබඳව කරුණු සොයා බැලීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුලු කණ්ඩායමක් පසුගියදා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරතවුණා ෴

******************************************

(15.03.2021 – 09:33 +0530 – sinhala.adaderana.lk)

වැලි කැණිම් සඳහා අවශ්‍ය බලපත්‍ර නිකුත් කිරීමේ බලය ලබන සතියේ සිට දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරීමට කටයුතු කරන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභීන් යොදා ගනිමින් වැලි කර්මාන්තය කරගෙන යෑමට කටයුතු කරන බවද ඔහු පැවසීය.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“එක පුද්ගලයාට වැලි බලපත්‍ර 75 ක් 100 ක් තියෙන තත්ත්වයක් තියෙන්නේ. ඒ නිසා අපි ඒ තත්ත්වය වෙනස් කරලා ලබන සතියේ සිට සමෘද්ධි ලාභීන් සහ අඩු ආදායම් ලාභීන් යොදා ගනිමින් වැලි කර්මාන්තය කරනවා. ජාවාරම්කාරයින් ගෙන් වැලි කර්මාන්තය ඉක්මණින්ම බේර ගන්නවා.”

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ඇස්බැස්ටෝස් භාවිතය තහනම් කිරීමට ද කඩිනමින් කටයුතු කරන බවය.

“ඇස්බැස්ටෝස් ඉවත් කිරීම ක්‍රමානුකූලව අදියරෙන් අදියර කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇස්බැස්ටෝස් පරිසරයටත් සෞඛ්‍යටත් අහිතරකයි” ෴

******************************************

(15.03.2021 – 13:01 +0530 – hirunews.lk/sinhala)

අවිවාහක කාන්තාවන් සිටින නිවෙස්වලට ගොස් ඇඳ යට සැඟවී එම කාන්තාවන්ට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, දෙවට සියඹලාගහවත්ත ප්‍රදේශයේ පදිංචි අවුරුදු 27 ක පුද්ගලයෙක්.

සැකකරු එම ප්‍රදේශයේම පදිංචි 42 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ නිවසට ගොස් ඇඳ යට සැඟව සිට ඇයට ලිංගික අතවර කිරිමට සූදානම් වූ අවස්ථාවේ ඇය කැගසා නිවසින් පිටතට පැමිණි විට සැකකරු පලාගොස් තිබෙනවා.

පසුව එම කාන්තාව පොලිසියට පැමිණිල්ලක් සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ සැකකරු මීට පෙර ද මෙවැනි සිදුවීම්වලට අධිකරණයෙන් දඩුවම් ලබා සිටි අයෙකු බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ගාල්ල වරාය පොලිසිය සිදු කරනවා ෴

@@@@@@@@@@@@@@@

(15.03.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහ නගර සීමාවේ පදිංචි අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට කොරෝනා එන්නත් ලබාගැනීම සඳහා පහසු වේලාවක් ස්වයංක්‍රියව නොමිලේ වෙන් කරවා ගැනීමට අවශ්‍ය පහසුකම් සළසා තිබෙනවා.

ඒ අනුව www.colombo.mc.gov.lk හෝ echannelling.com වෙබ් අඩවිවලට හෝ ඊ-චැනලින් ජංගම යෙදුම මගින් වේලාවක් ස්වයංක්‍රියව වෙන් කරගැනිමට අවස්ථාව පවතින බවයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය දැනුම් දුන්නේ.

මේ අතර පෞද්ගලික බස් සේවකයන්ට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමට කටයුතු නොකිරීම හේතුවෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීමට ගොස් නැවත පැමිණෙණ මෙරට බහුදින යාත්‍රාවල සේවය කරන ධීවරයින් සම්බන්ධයෙන් මෙන්ම වරාය වෙත පැමිණෙන විදේශීය යාත්‍රාවල සේවය කරන ධීවරයින් පිළිබඳව ද දැඩි අවධානය යොමු කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළා.

මේ අතර ලොව පුරා කොරෝනා අසාදිතයන් 12,04,01,769 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ විසිහය ලක්ෂ 64,662 ක් ලෙසයි.

ගතවූ පැය විසි හතරේ (24) වැඩිම මරණ සහ ආසාදිතයන් සංඛ්‍යාවක් බ්‍රසිලයෙන් වාර්තාවනවා.

මේ අතර නව ආසාදිතයන් 307 දෙනෙකු ඊයේ (14) හඳුනාගැනීමත් සමඟ මෙරට මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 87,907 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 275 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර පොකුරේ හත්දෙනෙකු (7) සහ විදේශයන්හි සිට පැමිණි 25 දෙනෙකු රෝගීන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 2,732 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 84,648 ක්.

එමෙන්ම එක් කොරෝනා මරණයක් (1) ද ඊයේ වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 527 ක් දක්වා ඉහළ ගියා.

එලෙස මිය ගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

මේ අතර, කොවිඩ්-19 පිළිබඳ තාක්ෂණික කමිටුව අද (15) රැස්වීමට නියමිතයි.

එහිදී විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනයට ලක් කරන කාලසීමාව දින 7 ක් දක්වා අඩු කිරීම පිළිබදව අවසන් තීරණයක් ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ෴

++++++++++++++++++++++

(15.03.2021 – 09:52 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (14) දිනය වන විට පුද්ගලයන් 773,011 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත ලබාදී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඊයේ (14) දිනය තුල පමණක් 2603 දෙනෙකුට එන්නත ලබාදී තිබෙනවා.

මෙරට තුල කොරෝනා එන්නත ලබාදීම ආරම්භ කෙරුනේ ජනවාරි 29 වනදායි.

++++++++++++++++++++++++

(15.03.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

ගුවන් යානා 11 කින් මගීන් 728 දෙනෙකු අද (15) උදෑසන 08:30 න් අවසන් වූ පැය විසි හතර (24) තුළ දිවයිනට පැමිණ තිබෙනවා.

එමෙන්ම මගීන් 924 දෙනෙකු යානා 12 කින් දිවයිනෙන් පිටත්ව ගිය බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

විදෙස් සංචාරකයන් 102 කුද රුසියාව, එංගලන්තය සහ ඇමරිකාවේ සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණ තිබෙනවා ෴

+++++++++++++++++++++++

(15.03.2021 – 12:10 +0530 – hirunews.lk/sinhala)

සිසුවෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 5 ශ්‍රේණිය තාවකාලිකව වසා දමා තිබෙනවා.

සෞඛ්‍ය උපදෙස් අනුව එම ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු ලබන 22 වනදා දක්වා ආරම්භ නොකරන බවයි හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ප්‍රකාශකර ඇත්තේ.

මෙම සිසුවාගේ මවට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන් දෙදෙනා වලපනේ නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර තිබෙනවා.

එමෙන්ම ආසාදිත සිසුවාගේ සමීපතම ආශ්‍රිත සිසු සිසුවියන් අද (15) පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කිරීමට ද නියමිත බවයි මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා ප්‍රකාශකර ඇත්තේ ෴

++++++++++++++++++++

(15.03.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

ගතවූ දින 9 ක කාලය තුළ කොරෝනා වැළඳී ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් 45 දෙනෙකු භූමදානය කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ සහ කොවිඩ්-19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා කියා සිටියේ ඒ අතර කොරෝනා ආසාදිතව මියගිය කතෝලික කාන්තාවක්ද වන බවයි.

මඩකලපුව – ඔට්ටමාවඩි හි ජනශූන්‍ය ප්‍රදේශයක මෙම භූමදාන කටයුතු සිදු කෙරෙන අතර, දේහ භූමදානය සඳහා තවත් ප්‍රදේශ කිහිපයක් යෝජනාවී ඇති බවද ඔහු කියා සිටියා.

ඊයේ (14) දිනයේ මෙරටින් වාර්තාවූ කොරෝනා ආසාදිතයන් 307 දෙනා අතරින් 25 දෙනෙකු විදේශගතව සිට පැමිණි පුද්ගලයන් වන අතර, සෙසු ආසාදිතයන්ගෙන් වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 50 ක්. එමෙන්ම මාතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 49 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 47 දෙනෙකු ද ඊයේ (14) වාර්තාවී තිබෙනවා.

මේ අතර කොරෝනා මර්දනය සඳහා පත් කර ඇති ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ වනවිට රැස්වී තිබෙනවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරමින් මගීන් ප්‍රවාහනය කළ බස් රථ 176 ක ගමන් වාර තාවකාලිකව අත්හිටුවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

එහි සභාපති ප්‍රසන්න සංජීව මහතා කියා සිටියේ බස්නාහිර පළාතේ අද (15) සිට පාසල් ආරම්භ කිරීමත් සමඟ සිසු දරු දැරියන් ප්‍රවාහනය කිරීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් දැඩි ලෙස අවධානය යොමු කළ යුතු බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *