විජේදාස රාජපක්ෂ මහතා ගෙන් හෙළිදරව්වක්

විජේදාස රාජපක්ෂ මහතා ගෙන් හෙළිදරව්වක්

*********************************************

විජේදාස රාජපක්ෂ මහතා ගෙන් හෙළිදරව්වක්

(14.03.2021 – 21:38 +0530 – hirunews.lk/sinhala)

රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා, මුජිබර් රහුමාන් සහ අසාද් සාලි යන පිරිස සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

කොළඹ අද (14) පැවති උත්සවයකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ මුස්ලිම් මන්ත්‍රීවරුන්ගේ බලපෑම මත එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන් අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉවත්කිරීමට පවා කටයුතු කළ බවයි.

++++++++++++++++

පාස්කු ප්‍රහාරය මෙහෙයවූයේ රිෂාඩ් සහ හිස්බුල්ලා, ආරක්ෂා කළේ මුජිබර් – විජේදාස කියයි

(14.03.2021 – 19:18 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරය මෙහෙයවූයේ පැවති ආණ්ඩුවේ සිටි මුස්ලිම් දේශපාලනඥයින් කිහිපදෙනෙකු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

අද (14) ඇඹුල්දෙනියේ පැවති උත්සවයකදී මන්ත්‍රීවරයා කියා සිටියේ තමා අන්තවාදීන් පිළිබඳ කළ හෙළිදරව්වෙන් පසු ඇමති ධුරයෙන් ඉවත් කරදැමීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගත්තේද එම මුස්ලිම් මැතිඇමතිවරුන්ගේ බලපෑම මත බවය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේ :

“එදා අපේ රටේ එක ත්‍රස්තවාදියෙක්, වහබ්වාදියෙක් නැහැ කියපු රිෂාඩ්ගෙන්, හිස්බුල්ලාගෙන්, මුජිබර්ගෙන්, රාජිතගෙන් අපි අද අහනවා පාස්කු ඉරිදා මියගිය අයගේ ජීවිතවලට වගකීම භාරගන්නවා ද කියලා. පාර්ලිමේන්තුවේ හිටියා මුස්ලිම් මන්ත්‍රිවරු 17 ක්. එදා ඒ අය අගමැතිට බල කළා. විජේදාස රාජපක්ෂව අධිකරණ ඇමති ධූරයෙන් ඉවත් නොකළොත් අපි ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා. රනිල්ට වටින්නේ රටට වඩා බහුතරය. මුස්ලිම් ඡන්ද අහිමි වෙයි කියන බයට, මාව ඇමති මණ්ඩලයෙන් ඉවත් කළා. පොලීසියට බලය තියෙනවා පාස්කු ප්‍රහාරය මෙහෙයවපු දේශපාලනඥයින් සොයාගන්න. ඒක මම කලින් පාර්ලිමේන්තුවේදි කිව්වා. මේක මෙහෙයවූයේ රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා කියලා මම දැනුත් කියනවා. ත්‍රස්තවාදින් ආරක්ෂා කළේ මුජිබර් කියලා මම දැනුත් කියනවා. ත්‍රස්තවාදීන් වෙනුවෙන් පොලීසියට බලපෑම් කළේ අසාද් සාලි කියලා මම දැනුත් කියනවා. එහෙනම් මොකක්ද මේක හොයාගන්න පොලීසියට තියෙන ප්‍රශ්නය ?” යනුවෙනි.

******************************************

(14.03.2021 – 17:33 +0530 – hirunews.lk/sinhala)

මෙරට පානීය ජලයෙහි තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා සමීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එක්ව මෙම සමීක්ෂණය ආරම්භ කර ඇති බව සඳහන්.

සහශ්‍ර සංවර්ධන දර්ශකයන්ට අදාළව පානීය ජලයෙහි තත්ත්වය පරීක්ෂා කිරීම එහි අරමුණයි ෴

******************************************

(14.03.2021 – 17:48 +0530 – hirunews.lk/sinhala)

පැල්මඩුල්ල, ගනේගම ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් ඊයේ (13) පස්වරුවේ සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තිස් හැවිරිදි (30) වියේ පසුවූ නිවුන් දරුවන් දෙදෙනෙකු (2) මවක් බවයි වාර්තා වන්නේ.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ නිවුන් දරුවන් ඇතුළු එකම පවුලේ පස්දෙනෙකු (5) ත්‍රීරෝද රථයේ ගමන් කරමින් සිටි බවයි පොලිසිය සඳහන් කළේ.

ඔවුන් ද තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.

ත්‍රීරෝද රථයේ රියදුරාට වේගය පාලනය කරගත නොහැකිව බස් රථයේ ගැටී ඇති බවයි මූලික විමර්ශනවලදී හෙළිව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.

******************************************

(14.03.2021 – 19:17 +0530 – hirunews.lk/sinhala)

සඟවා ඇති සහල් සහ වී සොයා පාරිභෝගික සේවා අධිකාරිය දිවයින පුරා විශේෂ වැටලීම් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

සහල් වෙළදුන් කියා සිටියේ රට තුළ මේ වන විට සහල් හිඟයක් පවතින අතර, මිල පාලනයෙන් තොරව අලෙවි කිරීමට සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් මෙම ගැටළුවට කඩිනමින් විසදුමක් නොලැබුණහොත් තවදුරටත් සහල් මිල ඉහළ යා හැකි බවයි ඔවුන් කියා සිටියේ.

පසුගිය වසරේ මැයි මස 28 වන දා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් රජය නාඩු කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 96 ක් ලෙසත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 120 ක් ලෙසත් දක්වා තිබුණා.

එමෙන්ම, සුදු හෝ රතු සම්බා කිලෝවක් රුපියල් 98 ක් සහ රතු හෝ සුදු කැකුළු කිලෝවක් රුපියල් 93 ක් ලෙසයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර, සහල් නිෂ්පාදකයින්ට, වෙළදුන්ට සහල් අලෙවි කළ හැකි උපරිම මිල සදහන් කරමින් ගැසට් නිවේදනයක් ද නිකුත් කර තිබූ අතර ඒ අනුව රතු හෝ සුදු සම්බා මෙන්ම රතු හෝ සුදු කැකුළු සම්බා කිලෝවක් රුපියල් 94 කට අලෙවි කළ යුතු වනවා.

රතු හෝ සුදු නාඩු කිලෝවක් රුපියල් 92 කටත්, රතු හෝ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 89 කටත් අලෙවි කළ යුතු බවට එම ගැසට් නිවේදනයේ සදහන්.

කෙසේ වෙතත්, තොග සහ සිල්ලර වෙළදුන් පෙන්වා දෙන්නේ පාලන මිල ගණන් යටතේ තමන්ට සහල් නොලැබෙන බවයි.

මේ අතර, රජය ප්‍රකාශයට පත් කර ඇති මිල ගණන් යටතේ සහල් මිලදී ගැනීමට නොමැති බව පාරිභෝගික ජනතාව ද ප්‍රකාශ කරන අතර ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ අලෙවි කිරීමට සහල් නොමැති බවටයි.

කෙසේ වෙතත්, පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කළේ මෙලෙස සහල් මිල ඉහළ යාමට හේතු වී ඇත්තේ ඇතැම් පුද්ගලයින් සහල් සගවා කෘත්‍රිම සහල් හිගයක් ඇති කිරීමට උත්සාහ කිරීම නිසා බවයි.

එබැවින් සහල් සඟවා ඇත්ද යන්න පිළිබදව සොයා බැලීම සදහා දිවයින පුරා විශේෂ වැටලීම් ආරම්භ කර තිබෙනවා.

ඇතැම් පුද්ගලයින් වී තොග සහල් බවට පත් නොකොට සගවා ඇත්ද යන්න පිළිබදව ද මෙහිදී සොයාබැලෙන නමුත්, වී සදහා නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට තමන්ට බලයක් නොමැති බවයි පාරිභෝගික සේවා අධිකාරියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

ඊට හේතු වී ඇත්තේ පාරිභෝගික සේවා පනත තුළින් ඊට බලතල නොමැතිවීමයි.

******************************************

(14.03.2021 – 19:23 +0530 – hirunews.lk/sinhala)

බෞද්ධයන් ලෙස පොහොයට හෝ සතියට දිනයක් පන්සල් යාම අනිවාර්ය කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

පුත්තලම – මාදම්පේ – ගල්මුරුව – ශ්‍රී සුනන්දාරාම පිරිවෙන් විහාරස්ථානයේ රන්වැට සහිත අඩි 60 ක් උසැති චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණ කිරීම සහ මකර තොරණ සහිත ඇතුළත ප්‍රාකාරය මෙන්ම සංරක්ෂණය කළ ඉපැරණි විෂ්ණු දේවාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (14) එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

******************************************

(14.03.2021 – 21:06 +0530 – hirunews.lk/sinhala)

මේ අතර මුස්ලිම් නීතිය සම්බන්ධයෙන් අසාද් සාලි පසුගිය 09 වනදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා.

******************************************

(14.03.2021 – 23:00 +0530 – hirunews.lk/sinhala)

රජය මගින් සිදුකළ සීනි ආනයන බදු පහත දැමීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයින් අදත් (14) විවිධ අදහස් පළ කළා.

******************************************

(15.03.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

මීට මාස ගණනාවකට පෙර මත්ද්‍රව්‍ය වරදකට පෑලියගොඩ පොලිසිය විසින් පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීමේදී ඔහු ඉස්ලාම් අන්තවාදයට අරමුදල් සපයා ඇති බව හෙළිවී තිබෙනවා.

මෙම සැකකරු සම්බන්ධයෙන් රැඳවුම් නියෝගයක් ලබා ගෙන දීර්ඝ සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත්තේ ඔහුගේ ගිණුම්වලට ඩුබායි රාජ්‍යයයෙන් අති විශාල මුදල් ප්‍රමාණයක් ලැබී ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් තවදුරටත් සිදු කරන ලද විමර්ශනවලදී එම මුදල් ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනය කරන යම්කිසි අන්තවාදී සංවිධානයකට බැර කර ඇති බව තහවුරු වී තිබෙනවා.

මෙම තොරතුරු හෙළි වීමත් සමග අදාළ සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීම සඳහා ත්‍රස්ත ක්‍රියා විමර්ශන ඒකකය වෙත භාරදුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලේ.

පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මත්ද්‍රව්‍ය චෝදනා මතයි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට හේතුවූ ලේඛණ පරීක්ෂා කිරීමේදී ද මෙම පුද්ගලයා ඉස්ලාම් අන්තවාදය ප්‍රවර්ධනයට මුදල් ලබාදීම සනාථ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

අන්තවාදී සංවිධාන වෙත මුදල් ලබාදීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අනුව වරදක් වන බැවින් ඉදිරි විමර්ශණ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් සිදුකරන බව ඔහු සඳහන් කළා.

******************************************

(15.03.2021 – 07:47 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමඟ වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද (15) ආරම්භ කෙරෙනවා.

එමෙන්ම අනෙකුත් පළාත්වල සියලු ශ්‍රේණි සඳහා අද (15) පාසල් විවෘත කෙරෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව සෑම පාසලකම ගිලන් කාමරයක් සකස් කරන ලෙසට අධ්‍යාපන බලධාරින් විදුහල්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් බස්නාහිර පළාතේ අනෙකුත් ශ්‍රේණි සදහා පාසල් ආරම්භ වන්නේ අප්‍රේල් මස 19 වනදායි.

මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන සිසුන්ට පාසල් වෙත පැමිණෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඉල්ලා සිටියේ.

මේ අතර, මේ වසරේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය කල් දැමීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිශ්චිත තීරණයකට එළඹ නොමැති බව එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා.

මෙවර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේදී නොපැවැත්වීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඊයේ (14) ප්‍රකාශ කළා.

කොරෝනා වසංගතය හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීම සැළකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ මෙම එකඟතාවට එළඹි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.

කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියේ එවැනි එකඟතාවයකට නොපැමිණි බවයි ෴

******************************************

(15.03.2021 – 07:53 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීම සඳහා රාත්‍රී 10 න් පසුව ද අවසර ලබාදෙන ලෙස සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් ඉල්ලීමක් කරනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ රාත්‍රී 10 ආසන්න වනතුරු රුවන්වැලි මහසෑය අභියස භාවනා කටයුතුවල නිරත සැදැහැවතුන්ට බාධාකාරී ලෙස එම පරිශ්‍රයේ ආරක්ෂක අංශ කටයුතු කිරීමේ සිද්ධීන් පිළිබදව නිරන්තරයෙන් වාර්තා වන බවයි ෴

******************************************

(15.03.2021 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (14) දිනයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල දී සිදු වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් නවදෙනකු (9) මරණ මරණයට පත්වී තිබෙනවා.

එමෙන්ම ඊට පෙර සිදු වූ විවිධ රිය අනතුරු හේතුවෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ තවත් තිදෙනෙකු (3) ද ඊයේ (14) දිනයේදී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇති අය අතර යතුරුපැදිකරුවන් 6 ක්, ත්‍රිරෝද රථකරුවන් දෙදෙනෙකු (2) සහ පදිකයින් දෙදෙනෙකු (2) ද සිටිනවා.

මහමග අනතුරු හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර කුඩා වාහනවල ගමන් ගන්නා මගීන් රිය අනතුරු වල වින්දිතයින් බවට පත්වීම ඉහළ ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසන්නේ ෴

@@@@@@@@@@@@@@@@

(14.03.2021 – 17:14 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් එන්නත පෞද්ගලික බස්රථ සේවකයින්ට සති 02 ක් ඇතුළත නොලැබුණහොත් අනිවාර්යෙන්ම බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

++++++++++++++++++++++

(14.03.2021 – 17:22 +0530 – hirunews.lk/sinhala)

අද දිනයේ නව ආසාදිතයින් 142 නෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 87,742 ක් ලෙසයි.

++++++++++++++++++++

(14.03.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

විදේශගත ශ්‍රී ලාංකිකයින් මෙරට පැමිණීමේදී නිරෝධායන කාලය දින 7 ක් දක්වා අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් හෙට (15) රැස්වන කොවිඩ් නයින්ටීන් පිළිබද තාක්ෂණික කමිටුවේදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමේදී ඔවුන් හෝටල්වල හෝ නිරෝධායන මධ්‍යස්ථානවල දින 14 ක නිරෝධායනයකට මෙතෙක් යොමු කෙරුණා.

මේ අතර, මෙරට සිට කෙටිකාලීනව විදේශගත වන පුද්ගලයින් ආපසු පැමිණීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළා. ඒ, පසුගිය 10 වන දා සිට ක්‍රියාත්මක වන පරිදියි.

විශේෂ රාජ්‍ය සංචාර, නිළ සංචාර හා ව්‍යාපාරික අවශ්‍යතා මත සිදුකෙරෙන කෙටි කාලීන විදෙස් සංචාරවලදී පුද්ගලයින් අනුගමනය කළ යුතු ක්‍රියාවලිය ඊට ඇතුළත්.

දිවයිනට පැමිණි වහාම නිවස තුළ ස්වයං නිරෝධායනයට යොමු විය යුතු අතර, දිවයිනට පැමිණ දින 5 ත් 7 ත් අතර කාලය තුළ කොරෝනා ආසාදිතයෙකු නොවන බවට පරීක්ෂණයකින් තහවුරු වුවහොත් ස්වයං නිරෝධායනය අවසන් වනවා.

මේ අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නතෙහි පළමු මාත්‍රාව ලබාදෙන අවස්ථාවේ දෙවන මාත්‍රාව මාර්තු 2 වන දා සිට ලබාදෙන බවට දැනුවත් කළ ද මේ දක්වා එය ලබාදී නොමැති බවට සමස්ත ලංකා සුව සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ගුරුගේ මහතා ප්‍රකාශ කළා.

මෙරටින් තවත් කොරෝනා ආසාදිත එක් (1) මරණයක් අද වාර්තාවී තිබෙනවා.

ඒ වැලිගම ප්‍රදේශයේ පදිංචි 73 හැවරිදි පිරිමි පුද්ගලයෙක්.

මෙම මරණයත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 527 දක්වා ඉහළ ගියා ෴

නව ආසාදිතයින් 140 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. ඒ සමඟ අද (14) දිනයේ මෙරටින් ආසාදිතයින් 282 ක් වාර්තා වනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *