ත්‍රී රෝද රථ, යතුරුපැදි සොරකම් සහ රන් මාල කැඩීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

ත්‍රී රෝද රථ, යතුරුපැදි සොරකම් සහ රන් මාල කැඩීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

*********************************************

ත්‍රී රෝද රථ, යතුරුපැදි සොරකම් සහ රන් මාල කැඩීමට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට

(14.03.2021 – 09:41 +0530 – hirunews.lk/sinhala)

සොරකම් සහ කොල්ලකෑම්වලට සම්බන්ධ පුද්ගලයෙකු වරකාපොළ ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (13) අත්අඩංගුවට ගත් මෙම සැකකරු අනුරාධපුර දේවානම්පියතිස්සපුර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි අයෙක්.

මෙම පුද්ගලයා යතුරුපැදි, ත්‍රී රෝද රථ සොරකම් කිරීම මෙන්ම කාන්තාවන්ගේ ගෙළ බැඳි රන් මාල කැඩීමට ද සම්බන්ධ බවටයි අනාවරණ වී ඇත්තේ.

නිට්ටඹුව, මහබාගේ, වීරඟුල සහ වරකාපොළ යන පොලිස් බල ප්‍රදේශවල සිදු කළ අපරාධ රැසකට මෙම පුද්ගලයා සම්බන්ධ බවට අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශණවලදී හෙළිවී තිබෙනවා.

එමෙන්ම අනුරාධපුර අධිකරණ මගින් මෙම පුද්ගලයාට වරෙන්තු 16 ක් නිකුත්කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

සැකකරුගේ ප්‍රකාශයක් මත ඔහු සතුව තිබූ සොරකම් කළ ජංගම දුරකථ 7 ක් සහ යතුරුපැදි දෙකක් (2) ද සොයාගෙන තිබෙනවා.

සැකකරු ඊයේ (13) වරකාපොළ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දුන්නේ සංවිධානාත්මක කණ්ඩායම් මගින් මෙන්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් විසින් ද මෙවැනි සොරකම් සිදු කරන බවයි.

එවැනි අපරාධවල වින්දිතයන් නොවීමට සැලකිලිමත් වන ලෙසට ද ඔහු ඉල්ලීමක් කළා.

මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවල ඊයේ (13) යතුරුපැදි සොරකම් 3 ක් සහ ත්‍රී රෝද රථ සොරකම් කිරීමක් (1) වාර්තාවන බව ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියා ෴

******************************************

(14.03.2021 – 11:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බටහිර පර්යන්තය – ඉන්දියාව සහ ජපානය විසින් නම් කරන සමාගම් දෙකකට (2) සංවර්ධනය කිරීම සඳහා ලබාදීමට අදාළ ගිවිසුම නීතිපතිවරයාගේ අනුමැතියට යොමුකර තිබෙනවා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ජෙනරාල් දයා රත්නායක මහතා සඳහන් කළේ බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවීමත් සමඟ ඒ පිළිබඳව සොයා බැලූ කමිටුවේ නිර්දේශ මෙලෙස නීතිපතිවරයාට යොමු කළ බවයි ෴

******************************************

(14.03.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala)

බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් විසින් තණමල්විල, දේවගිරිය කන්ද ප්‍රදේශයේ දී ගංජා හේනක් වටලා තිබෙනවා.

ඊයේ (13) රාත්‍රියේ මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී අක්කර භාගයක (½) පමණ භූමි ප්‍රදේශයක වගාකර තිබු උස අඩි හතකට (7) ආසන්න ගංජා ගස් දසදහසක (10,000) පමණ ප්‍රමාණයක් හමුවී ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ පනහකට (50,00,000) අධික වන අතර වැටලීමේදී ගංජා හේන වගා කල සැකකරුද (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු හම්බෙගමුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු විසිපහක (25) පුද්ගලයෙකු බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකරු ඉදිරි විමර්ශන සදහා තණමල්විල පොලිසිය වෙත භාර දී ඇති අතර සියලුම ගංජා ගස් ගිනි තබා විනාශ කර තිබෙනවා ෴

******************************************

(14.03.2021 – 10:57 +0530 – hirunews.lk/sinhala)

කොත්මලේ රම්බොඩ දිය ඇල්ල ආසන්නයේ පිහිටි සංචාරක නිකේතනයක නවාතැන්ගෙන සිටි තරුණයෙකු අද (14) අලුයම සිට අතුරුදන් වී තිබෙනවා.

මෙසේ අතුරුදහන් වි ඇත්තේ අනුරාධපුර, විජයමාවත, ඉසුරුපුර ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තරුණයෙක්.

ඔහු තම මිතුරන් 8 දෙනෙකු සමග ශ්‍රි පාද වන්දනාවේ ගොස් ඊයේ (13) පස්වරුවේ කොත්මලේ රම්බොඩ දිය ඇල්ල අසල පිහිටි සංචාරක නිකේතනයට පැමිණ තිබෙනවා.

මිතුරන් සමග එම සංචාරක නිකේතනයේ උඩු මහලේ ආලින්දයේ මත්පැන් සාදයක් පවත්වා ඇති අතර ඉන් අනතුරුවයි ඔහු අතුරුදහන් වී ඇත්තේ.

අද (14) අලුයම එකට (01:00) පමණ මෙම තරුණයා ආලින්දයෙන් බිමට පැන සංචාරක නිකේතනය ආසන්නයේ පිහිටි රම්බොඩ දිය ඇල්ලේ බැවුම දෙසට දිවයන අයුරු තමන් දුටු බවයි එම සංචාරක හෝටලයේ කලමණාකාරවරයා කියා සිටියේ.

අතුරුදන් වි ඇති තරුණයා සොයා කොත්මලේ පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා ෴

******************************************

(14.03.2021 – 11:54 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සිදුකළ ප්‍රකාශය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණය පසසන අතර ඒ ආකාරයෙන්ම තමන් සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා සිදු කර ඇති ප්‍රකාශය පිළිබඳව ද කඩිනම් පියවර ගනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරනවා ෴

******************************************

(14.03.2021 – 12:54 +0530 – hirunews.lk/sinhala)

රට තුළ මේ වනවිට සහල් හිගයක් පවතින බවත් මිල පාලනයෙන් තොරව සහල් අලෙවි කිරිමට සිදුව ඇති බවත් සහල් වෙළෙදුන් පසවනවා.

ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුවට කඩිනමින් විසදුමක් ලබා දෙන ලෙසයි.

රජය මඟින් පනවා ඇති පාලන මිල යටතේ සහල් අලෙවි කල හැකි උපරිම සිල්ලර මිල ලෙස නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 96 කටත්, කීරි සම්බා කිලෝග්‍රෑමයක් 120 ට සහ සුදු හෝ රතු සම්බා කිලෝග්‍රෑමයක් 98 මෙන්ම රතු හෝ සුදු කැකුළු කිලෝග්‍රෑමයක් රුපියල් 93 කටත් මිල නියම කළා.

අනතරුව සහල් නිෂ්පාදකයින්ට සහල් අලෙවි කල හැකි උපරිම මිල නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කල අතර එහි දැක්වුණේ රතු හෝ සුදු සම්බා මෙන්ම රතු හෝ සුදු කැකුළු සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 94 කට අලෙවි කල යුතු බවයි.

රතු හෝ සුදු නාඩු කිලෝග්‍රෑමයක්රුපියල් 92 ත් රතු හෝ සුදු කැකුළු සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 89 යකට අලෙවි කල යුතු බවද එම ගැසට පත්‍රයෙ සදහන් වුණා.

කෙසේවෙතත් තොග හා සිල්ලර වෙළෙදුන් පෙන්වා දෙන්නේ පාලන මිල ගණන් යටතේ තමන්ට සහල් නොලැබෙන බවයි.

මේ අතර පාලන මිල ගණන් යටතේ සහල් මිලදී ගැනිමට නොමැති බවට පරිභෝගික ජනතාවද පවසන අතර වෙළෙදුන් පැවසුවේ වෙළදාම් කිරිමට සහල් නොමැති බවයි.

කෙසේවෙතත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දාන්ද අලුත්ගමගේ මහතා පසුගියදා පැවති උත්සවයකදි සදහන් කළේ අලුත් අවුරුදු සමයේ රුපියල් 97 ට සහල් ලබාදිමට කටයුතු කරන බවයි.

******************************************

(14.03.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ඊයේ (13) පැවති දුරකථන සංවාදය, ජිනීවා මානව හිමිකම් මණ්ඩලය හමුවේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වී ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්දයට තීරණාත්මක බව හින්දු පුවත්පත පවසනවා.

ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සංශෝධිත යෝජනාවලිය ජිනීවා මානව හිමිකම් මණ්ඩලය මගින් ඊයේ (13) ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය යන තේමාව යටතේ අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනීග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය මගින්. එම යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම ලබන 22 වනදා හෝ 23 වනදා පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති දුරකථන සංවාදයේදී ඒ පිළිබඳවද සාකච්ඡා වන්නට ඇති බව හින්දු වාර්තාකාරිනියගේ අදහසයි.

දුරකථන සංවාදය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ ඒ පිළිබඳ ඍජු සටහනක් සිදුකර නැහැ.

එහෙත් එහි දැක්වෙන සාකච්ඡාවට ලක්වූ වර්ධනාත්මක කරුණුවලට එය, ඇතුළත් විය හැකියි. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ නායකයන් දෙදෙනා (2) වැදගත් වර්ධනයන් මෙන්ම ද්විපාර්ශවික සහයෝගීතාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගත් බවයි.

එමෙන්ම බහු පාර්ශවික සංවාද මණ්ඩපයන් හිදී දෙරටේ සහයෝගීතාව පිළිබඳවද එහිදී අවධානය යොමුවී තිබෙනවා.

එමෙන්ම, තම අසල්වැසියන්ට ප්‍රමුඛත්වය ලබාදීම ඉන්දියාවේ ප්‍රතිපත්තිය වන බැවින් ශ්‍රී ලංකාව අතිශය වැදගත් කොට සලකන බව එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළා.

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය ඉන්දියාවට අහිමිවීම මෙන්ම උතුරේ දිවයින්වල චීන බලශක්ති ව්‍යාපෘති අනුමත කිරීම සම්බන්ධයෙන් ඉන්දිය රජය නොසතුටින් පසුවූ බව හින්දු වාර්තාකාරිනිය සිහිපත් කළා.

කෙසේ නමුත් ජිනීවා මානව හිමිකම් මණ්ඩල ඡන්දයේදී ඉන්දියාව බොහෝ දුරට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටිය හැකි බවයි ඇය කියා සිටියේ.

එහෙත් ඡන්ද විමසීම ආසන්නයේ සාමාජික රටවල් අතර පැවැත්වෙන තීරණාත්මක සාකච්ඡාවලදී ඉන්දියාවට වැදගත් කාර්යභාරයක් ඉටු කළ හැකි බවයි හින්දු වාර්තාකාරිනිය පෙන්වා දෙන්නේ.

සාමාජිකයන් 47 දෙනෙකුගෙන් සමන්විත මානව හිමිකම් මණ්ඩලයේ වත්මන් සාමාජිකයෙකු වන චීනය ශ්‍රී ලංකාවට සහය ලබාදුන් බව දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සියලු වාර්ගික සහ ආගමික කණ්ඩායම්වල අයිතීන්වලට ගරු කරමින් තිරසාර සාමය සහ සංවර්ධනය උදෙසා දේශපාලන විසඳුමක් ඇති කරගැනීමට ලක් රජය පුළුල් සංවාදයකට එළඹීම පිළිගන්නා බවයි මානව හිමිකම් මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කළ සංශෝධිත යෝජනාවේ දැක්වෙන්නේ.

දේශපාලන බලාධිකාරිය විසින් බලය බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට පියවර ගත යුතු අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි ඇගයීමට පියවර ගත යුතුයි.

එමෙන්ම එය ප්‍රතිස්ථාපනය කෙරෙන වෙනත් ඕනෑම නීතිමය කෙටුම්පතක් ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීතිය සඳහා වන ලක් රජයේ වගවීම් සහතික කරමින් සැකසිය යුතු බව අදාළ සංශෝධිත යෝජනාවේ සඳහන්.

******************************************

(14.03.2021 – 13:25 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය ආරක්ෂිත මුහුණු ආවරණ හැරුණු විට සෙසු මුහුණු ආවරණ තහනම් කරමින් ගෙන එනු ලබන නව නීතිය කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා.

නව නීතීන්ට අනුව බුර්කාවද තහනමට ලක්වන අතර, ඒ පිළිබඳව මේ වනවිට සංවාදයක් මතුව තිබෙනවා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කළ විජිත් මළල්ගොඩ ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශයන්ට අනුව 2019 වසරේ මැයි මස 13 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් මෙවැනිම නීතියක් පනවනු ලැබුවා.

ශ්‍රී ලංකාව තුළ ප්‍රසිද්ධ ස්ථානවල අනන්‍යතාව හඳුනාගැනීමට නොහැකිවන පරිදි සම්පූර්ණයෙන් මුහුණ සඟවාලන ඇඳුමක්, ඇඟළුමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොපැළඳිය යුතු බවටයි එම ගැසට් පත්‍රයේ සඳහන් වුණේ.

නව නීතිය මගින් මෙම තාවකාලික තහනම ස්ථිර තහනමක් ලෙස ක්‍රියාත්මක වන අතර, ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිටත් සකස් කර තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනපති කොමිසමේ වාර්තාවේද මේ පිළිබඳව සඳහන් වන අතර, එහි දැක්වෙන්නේ ඕනෑම පොදු ස්ථානයකදී මුහුණු ආවරණය වන සේ නිර්මාණය කර ඇති ඇඳුම් ඇඳීම තහනම් කළ යුතු බවයි.

වෙනත් රටවලද එවැනිම තහනම් පනවා ඇති බවද එහි දැක්වෙනවා ෴

******************************************

(14.03.2021 – 13:27 +0530 – hirunews.lk/sinhala)

ජිනීවා නුවර ජගත් මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට චීනය විසින් ශ්‍රී ලංකාවට සහය දක්වන ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා.

සම අදහස් දරණ රටවල් කණ්ඩායම වෙනුවෙන් ඉදිරිපත් කළ එම ප්‍රකාශය මගින් ‘ශ්‍රී ලංකාව’ නමින් සඳහන් කර නොමැති වුවද මානව හිමිකම් මණ්ඩලය දේශපාලනීකරණය වීම පිළිබඳව නොසතුට පළ කෙරුණා.

එහි දැක්වෙන්නේ මානව හිමිකම් ක්‍ෂේත්‍රයේ ඵලදායී සංවාදයක් පවත්වා ගත යුතු අතර, මානව හිමිකම් පිළිබඳ කරුණු දේශපාලන අරමුණු සඳහා යොදා නොගත යුතු බවයි.

විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවත්නා රටවලට පදනම් විරහිත චෝදනා එල්ල කරමින් කටයුතු කිරීම එම රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් ලෙසයි චීනය හැඳින්වූයේ.

එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය දැඩි ලෙස උල්ලංඝනය කිරීමක් ලෙසද ජිනීවා නුවර මානව හිමිකම් මණ්ඩලයේ චීන තානාපති චෙන් ෂූ ප්‍රකාශ කළා.

චක්‍රලේඛයක් මගින් මහජන දේපළ සූරාකෑම සිදුවන බවට විපක්ෂ නායකවරයාගෙන් චෝදනා

මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පූර්ණ බලතල අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට පවතින බවට නිකුත් කර ඇති චක්‍රලේඛය මගින් මහජන දේපළ සූරාකෑමක් සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පහළ අන්දර වැව – ශ්‍රී පන්තාරාම විහාරස්ථානයේ අද (14) පැවති විපක්ෂ නායක ජංගම සේවයට එක්වෙමින් ෴

******************************************

(14.03.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

කොත්මලේ රම්බොඩ දිය ඇල්ල අසල සංචාරක නිකේතනයකට පැමිණ සිටියදී අතුරුදහන් වූ තරුණයා රම්බොඩ දිය ඇල්ල අසල රක්ෂිතයේ සිටියදී අද (14) පෙරවරු 10 ට පමණ සොයාගෙන තිබෙනවා.

අතුරුදහන්ව සිටි තරුණයා සොයා කොත්මලේ පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් අද (14) පෙරවරුවේ රම්බොඩ දිය ඇල්ල රක්ෂිතයේ මෙහෙයුමක් ක්‍රියාත්මක කළ අතර පසුව ඔහු රම්බොඩ ගඟ අසල රක්ෂිතයේ සැගවි සිටියදි සොයා ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තරුණයා සොයාගන්නා අවස්ථාවේ ඔහු දැඩි විජලන තත්ත්වයෙන් සහ සුළු තුවාල ලබා සිට ඇති අතර පසුව ඔහුව රෝහල් ගත කළ බව කොත්මලේ පොලිසිය ප්‍රකාශ කළා.

******************************************

(14.03.2021 – 14:14 +0530 – hirunews.lk/sinhala)

නීතිය කාටත් එකයි – එරෙහිව ගියොත් අත්අඩංගුවට ගන්නවා – ආරක්ෂක ලේකම් කියයි

රජයේ අනුමත නීති රීතිවලට අනුව කටයුතු නොකරන ඕනෑම අයෙකු ඉදිරියේදී කිසිදු පැකිලීමකින් තොරව අත්අඩංගුවට ගන්නා බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළා.

ඒ, කොළඹ ඊයේ (13) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

මේ අතර, ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි විසින් සිදුකරන ලද මතභේදකාරී ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 5 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ද පත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් මෙම පරීක්ෂණ කණ්ඩායම මෙහෙයවන බවයි.

පසුව පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණා.

බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් ගොනු කර තිබූ පැමිණිල්ලකට අනුව උන්වහන්සේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (14) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබුණා.

******************************************

(14.03.2021 – 14:33 +0530 – hirunews.lk/sinhala)

දුම් පානය හේතුවෙන් වසරකට ලොව පුරා මිලියන 06 ක පමණ පිරිසක් මරණයට පත්වන බව සංඛ්‍යා ලේඛන මගින් හෙළි වී තිබෙනවා.

අක්‍රීය දුම් පානයට ලක්වන පුද්ගලයින් ලක්ෂ 06 ක් පමණද ඒ අතර වීම විශේෂත්වයක්.

දුම්පානයට අබ්බැහි වුවෙකු ඒ හරහා අනන්‍යයන්ගේ ජිවීතද අවදානමකට ලක් කරන බව ඔබ දැන සිටියාද ?

Secondhand smoke හෙවත් අක්‍රීය දුම යනු දුම් පානය කරන්නෙක් විසින් පිට කරන දුමාරය වෙනත් පුද්ගලයෙකු ආශ්වාස කිරීමයි.

එය සිගරට්, දුම් පයිප්ප සහ සුරුට්ටු ඇතුළු සියලුම ආකාරයේ දුම්වැටි භාවිත කරද්දී ඇති වන අහිතකර තත්ත්වයක්.

එලෙස පිටවන සිගරට් දුමෙහි රසායනික ද්‍රව්‍ය 4000 ක් පමණ අඩංගු වෙනවා.

එම රසායනික ද්‍රව්‍ය සියල්ලක්ම පාහේ මිනිස් සිරුරට අහිතකර වන අතර එම සංඝටක 50 කට වැඩි ප්‍රමාණයක් පිළිකා කාරක ඒවා බවටයි සැලකෙන්නේ.

මෙලෙස අක්‍රිය දුම්පානයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ කාන්තාවන් විමත් බරපතල කරුණක්.

කෙසේ නමුත් දුම්පානය කරන පුද්ගලයින්ට කොවිඩ්-19 ආසාදනය වීමේ වැඩි අවදානමක් පවතින බව විද්‍යාඥයින් විසින් අනාවරණය කිරිමත් සමග ලෝකයේ මිලියනයකට අධික පිරිසක් මේ වන විට දුම්පානය අතහැර දමා ඇති බවත් වාර්තා වනවා.

මෙරට දුම්පානය කරන ජනතාව දෛනිකව රුපියල් මිලියන 290 කට ආසන්න මුදලක් දුම්වැටි වෙනුවෙන් වියදම් කරන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරියේ සංඛ්‍යා ලේඛන වල දැක්වෙනවා.

ඔබ තවමත් දුම්පානය කරන්නෙක් තම ජිවිතය අනතුරේ හෙළමින්, ආර්ථිකමය පාඩු විදිමින් අනන්‍යන්ගේ ජීවිත පවා අවදානමට ලක්කරන දුම්පානය පිළිබඳව තීරණයක් ගැනීමට තව දුරටත් ප්‍රමාද විය යුතු නැහැ.

******************************************

(14.03.2021 – 14:48 +0530 – hirunews.lk/sinhala)

පාතාල කල්ලි නායකයෙකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘දිනුක මධුශාන්’ හෙවත් ‘කෙසෙල්වත්තේ දිනුක’ නැමැත්තා ඩුබායි හිදී මිය ගොස් ඇති බවට තහවුරු වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ හෘදයාබාධයක් හේතුවෙන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මොහු ජීවිතක්ෂයට පත්වී ඇති බවට තොරතුරු වාර්තා වන බවයි.

කොළඹ – කෙසෙල්වත්ත ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි ඔහු පසුකාලීනව ඩුබායි රාජ්‍යය වෙත පළා ගොස් තිබුණා.

එහි සිට ද මෙරට මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත වූ අතර ඔහුගේ සහයකයින් කිහිප දෙනෙකු ද පසුගිය කාලසීමාවේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව ඔහුට පුද්ගල ඝාතන මෙන්ම කප්පම් ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වනවා.

2010 වසරේ මැයි මස 4 වන දා කෙසෙල්වත්ත – මුහන්දිරන් පටුමඟේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, එම වසරේදීම අප්‍රේල් මස 2 වන දා පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කිරීම මොහුට එල්ල වන චෝදනාවලට ඇතුළත්.

කෙසෙල්වත්තේ දිනුක, මිය ගිය පාතාල කල්ලි නායක ‘මාකඳුරේ මධුෂ්’ගේ සමීපතම ගෝලයෙකු ද වනවා.

34 හැවිරිදි වියේ පසුවූ ‘කෙසෙල්වත්තේ දිනුක’ අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදන පවා නිකුත් කර තිබුණා.

මේ වන විට ඔහුගේ දේහය මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවයි පවුලේ ඥාතීන් පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.

******************************************

(14.03.2021 – 15:58 +0530 – hirunews.lk/sinhala)

පසුගිය දා නිමාවට පත්වූ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුවෙකුට පහරදී තුවාල සිදුකිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් දෙදෙනෙකු (2) හෙට (15) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, මොවුන් ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉකුත් 8 වන දා මෙම පහරදීම සිදුකර තිබුණේ එම පාසලේම ‘නවයේ කල්ලිය’ ලෙසින් හඳුන්වා ගන්නා සිසුන් පිරිසක් විසින්. පහරදීමෙන් සිසුවාගේ කනට බරපතල හානි සිදුව තිබුණා ෴

******************************************

(14.03.2021 – 16:21 +0530 – hirunews.lk/sinhala)

සුදුසුකම් සම්පූර්ණ කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 209 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරීවරු තනතුරට උසස් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය, විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ කළුතර ප්‍රදේශයේ විහාරස්ථානයක අද (14) පැවති උත්සවයකට එක්වෙමින් ෴

@@@@@@@@@@@@@@@

(14.03.2021 – 13:51 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල් අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි හෙට (15) සිට ආරම්භ කෙරෙනු ඇති.

මෙරට බලපෑ කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ 2020 මාර්තු මස 11 වනදා දිවයිනේ සියලුම පාසල් වසා දැමීට අධ්‍යාපන බලධාරීන් කටයුතු කලා.

කෙසේවෙතත් වරින් වර පාසල් විවෘත කිරීමට සහ වසා දැමීමට බලධාරීන්ට සිදුවූයේ කොවිඩ්-19 හමුවේ එල්ලවූ බලපෑම හේතුවෙන්.

මාස ගණනාවක් වසා දැමුණු බස්නාහිර පළාතේ පාසල් අදියර කිහිපයක් යටතේ විවෘත කිරීමට බලධාරීන් තීරණය කර ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින්.

මේ අනුව හෙට (15) සිට බස්නාහිර පළාතේ පාසල් අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව 5, 11 සහ 13 ශ්‍රේණි පළමු (1) අදියර යටතේ විවෘත කෙරෙනවා.

මේ අතර ලංකා ගුරු සංගමය පවසන්නේ බස්නාහිර පලාතේ පාසල් ආරම්භයට පෙර දරුවන් පාසල වෙත හුරු කිරීම සදහා වැඩපිළිවෙලක් නිර්මාණය කල යුතු බවයි.

මේ අතර, මේ වසරේ ශිෂ්‍යත්ව විභාගය සහ අපොස උසස්පෙළ විභාගය අගෝස්තු මාසයේදී නොපවැත්වීමට තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළා.

කොවිඩ් වසංගතය හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමේ අපහසුතා සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමග පැවති සාකච්ඡාවේදී මෙම තීරණයට එළැඹ තිබෙනවා.

++++++++++++++++++++++

(14.03.2021 – 14:02 +0530 – hirunews.lk/sinhala)

කොවිෂීල්ඩ් එන්නත් ලබාගැනීමෙන් පසු සංකූලතා ඇතිවීම මෙරටින් වාර්තා වී ඇත්තේ අවස්ථා කිහිපයකදී පමණක් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ අතර, ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 314 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 87,600 දක්වා ගියා.

ගතවූ පැය 24 තුළ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් 314 දෙනා අතුරින් 33 දෙනෙකු විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින්.

සෙසු ආසාදිතයින් 281 දෙනා දේශීයව හඳුනාගත් අයයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවද 87,600 ක් ලෙස ඉහළ ගියා.

මේ අතර, ඊයේ (13) දිනයේ තවත් කොවිඩ් මරණයක් වාර්තා වූ අතර, එලෙස මියගොස් ඇත්තේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 48 හැවිරිදි කාන්තාවක්.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වුණේ 526 ක් ලෙසයි.

පසුගිය දින කිහිපය තුළ මොරවක නගරය ආශ්‍රිතව අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින්ට කොවිඩ් පරීක්ෂණ සිදුකර ඇති අතරල 12 වැනිදා සිදුකළ කොවිඩ් පරීක්ෂණ 295 ක් අතුරින් පුද්ගලයින් 51 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ එලෙස හඳුනාගත් ආසාදිතයින් වෙළෙඳසැල් සේවකයින්, අවශ්‍යතා සඳහා නගරයට පැමිණි පුද්ගලයින් මෙන්ම, තේ කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක්වන බවයි.

ඒ අනුව දින 3 ක කාලයක් සඳහා මොරවක නගරයේ වෙළෙඳ සැල් තාවකාලිකව වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා.

නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාටල ඔහුගේ මවට සහ ඔහුට අයත් වෙළෙඳසැලක සේවකයෙකුට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

මේ හේතුවෙන් නෝර්වුඩ් ප්‍රා දේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරුන් 21 දෙනෙකු නිරෝධායනයට යොමුකෙරුණා.

කොවිඩ් ආසාදිත උපසභාපතිවරයාගේ බිරිඳට මීට පෙර වෛරසය ආසාදනය වී තිබෙනවා.

වව්නියාව පෞද්ගලික ඇඟලුම් කම්හලක 21 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි වව්නියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසනවා.

අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 700 කට අධික පිරිසක් සේවය කරන අතර, ආසාදිතයන්ගේ සමීපතම ආශ්‍රිතයින් කොවිඩ් පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.

මේ අතර දෛනිකව කොවිඩ් පරීක්ෂණ 25,000 ක් සිදු කිරීමේ හැකියාව මෙරට පැවතියද පරීක්ෂණ 4000 කට ආසාන්න සංඛ්‍යාවක් පමණක් සිදු කිරීම ගැටලු සහගත තත්ත්වයක් බව වෛද්‍ය රසායානාගාර වෘත්තීයවේදීන්ගේ සංගමය පෙන්වා දෙනවා.

මේවන විට ජනතාව නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම ඉහළ ගොස් ඇති බැවින් ඒ සම්බන්ධව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසියේ අවධානය යොමුව තිබෙනවා.

මේ අතර, කෙටි කාලීනව විදෙස්ගත පුද්ගලයින් යළි මෙරටට පැමිණීමේදී අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර තිබෙනවා.

පසුගිය 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති අදාළ මාර්ගෝපදේශවල දැක්වෙන්නේ විශේෂ රාජ්‍ය සංචාර, නිල සංචාර, වෙළෙඳාම් කටයුතු සඳහා කෙටිකාලීනව විදෙස්ගතවන පුද්ගලයින් අනුගමනය කළ යුතු ක්‍රමවේදයි.

මීට අමතරව නිර්දේශිත කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම (2) ලබාගත් පුද්ගලයින් මෙරටට පැමිණීමේදී නිරෝධායනය වීම අවශ්‍ය නොවන බවද අදාළ මාර්ගෝපදේශ මාලාවේ වැඩිදුරටත් සඳහන්.

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 395 දෙනෙකු සුවය ලබා අද (14) රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 84,648 ක් දක්වා ඉහළ ගියා.

තවදුරටත් 2426 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *