සීගිරියට බැහැලා ඉඩමකට විද්ද ක්‍රිකට් තරුවගේ හයේ පාර !

සීගිරියට බැහැලා ඉඩමකට විද්ද ක්‍රිකට් තරුවගේ හයේ පාර !

*********************************************

සීගිරියට බැහැලා ඉඩමකට විද්ද ක්‍රිකට් තරුවගේ හයේ පාර !

(13.03.2021 – mawbima.lk)

රජයේ සහ පෞද්ගලික ඉඩම් අලෙවි කිරීමේදී සිදු කෙරෙන මහා පරිමාණ වංචාවන් පිළිබඳව බොහෝ දෙනකු කතාබහ නොකරන්නේ ඉඩම් නඩු මැරෙනතුරු දිග්ගැස්සෙන නිසාය. මේ නිසා ඉතා සූක්ෂ්ම ලෙස රජයේ වටිනා ඉඩම්වලට ව්‍යාජ බලපත්‍ර, ඔප්පු සකසා අලෙවි කරන කණ්ඩායම් සිටිති.

සීගිරිය අභය භූමිය මෙන්ම දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සංචාරක ආකර්ෂණය දිනා ඇති පෙදෙස් වෙයි. සංචාරක හෝටල් ව්‍යාපාරයට මෙන්ම වගාබිම සඳහා ද මෙම ප්‍රදේශය පහසුකම් සපයන බවද ප්‍රකටය.

මෙම සෑම ඉඩමකටම ඉතා සූක්ෂ්ම ලෙස බලපත්‍ර, ඔප්පු, දීමනාපත්‍ර ආදිය සකසා දිවයිනේ මෙන්ම විදේශ රටවල පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත සංවිධානාත්මක කණ්ඩායමක් සිටින බවද රහසක් නොවේ.

ඒත් මෙම උපක්‍රමය සිදුකෙරෙන ආකාරය කිසිවකුටත් සොයාගැනීමට නොහැකි විය. බොහෝ ඉඩම් මිලදී ගත් පිරිස් මේ වන විටත් සීගිරියේ අතරමං වී සිටිති. මෙම කණ්ඩායමට සිදුව ඇත්තේ නිරවුල් නැති ඉඩම්වලට හසුවීමය.

මෙසේ අසරණවූවන් නිහඬව සිටින්නේ මැර බලය, දේශපාලන හයියට ඇති බිය නිසාය.

ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ග්‍රාම නිලධාරිවරියකුගේ සේවය අත්හිටුවා ඇතැයි කියන පුවත දඹුල්ල පුරා පැතිර යන්නට වූයේ ඔය අතරේය.

මේ පිළිබඳව තොරතුරු සොයා බැලීමට අප දැඩි උත්සාහයක නිරත වුවද බොහෝ දෙනා එම තොරතුර සඟවන්නට වූයේ එහි මෙරට ප්‍රසිද්ධ පුද්ගලයකුගේ බිරියගේ නමක් ගෑවී ඇති නිසාය.

සීගිරිය ප්‍රදේශයේ මෙම ඉඩම් ගනුදෙනුව සහ ව්‍යාජ ලිපි ලේඛන සිදුවී ඇති ආකාරය පිළිබඳව අපි දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් තොරතුරු ඉල්ලා සිටිමු.

එම තොරතුරුවලින් පෙනෙන්නේ සීගිරිය, මයිලැත්තාව ප්‍රදේශයේ අසරණ පවුලකට අයත් සීගිරි ගල ඉතා මැනවින් දර්ශනය වන රජයේ දීමනා බලපත්‍ර සහිත ඉඩම කූට ලේඛන සකසා කාන්තාවකට පවරා ඇති බවය.

මෙම පැවරීම සිදුකොට ඇති ක්‍රමවේදය මේ වනවිටත් අබිරහසකි. මේ නිසා අපි සීගිරිය ප්‍රදේශයේ මෙම ඉඩම් ගනුදෙනුව සිදු වූ ආකාරය සොයා බැලුවෙමු.

ව්‍යාජ ලිපි ලේඛන සකසා වෙනත් අයකුට පැවරූ ඉඩමේ හිමිකාරිය බවට පත්ව සිටියේ ‘ඇතුගල් පේඩිගේ පද්මිණි’ යන මවයි. මෙම ඉඩම් ගනුදෙනුව සිදු වූ ආකාරය ඇය මෙසේ විස්තර කළාය.

“අපේ ඉඩමට අල්ලපු ඉඩම බලාගන්න මහත්තයා අපට උදවු කළා. මමයි මහත්තයයි දෙන්නම අසනීපෙන් ඉන්නේ. අපිට බෙහෙත් ගන්න උදවු කළා. ආහාරපාන ලබා දුන්නා. අපි නුවර අරන් ගිහින් බෙහෙත් අරන් දුන්නා. ඒ හැමදේටම මුදල් වියදම් කළේ ඉඩම බලාගන්න මහත්තයා.”

“අපිට ඒ මහත්තයට දෙන්න දෙයක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මේ ඉඩම ඒ මහත්තයට පවරලා දෙන්න අපි තීරණය කළේ. මේ ඉඩමේ ලියකියවිලිත් අපි ඒ මහත්තයට දුන්නා. අපි කැමැත්තෙන් තමයි ඒ මහත්තයට ඉඩම දෙන්න පොරොන්දු වුණේ. ඒ මහත්තයා අපිට කිව්වේ මැරෙනකං සලකන්නම් කියලා. මැරෙනකම් අපේ ගෙදර ඉන්න කියලත් කිව්වා. අපි ඒක විශ්වාස කළා. අපිට සැකයක් තිබුණෙත් නැහැ. ඒ මහත්තයා අපේ දරුවෙක්වත් නොකරන විදිහට තමයි අපිට සැලකුවේ. මේ ඉඩම ඒ මහත්තයගෙන් වෙනත් කෙනකුට පවරනවා කියලා මම දැනගෙන හිටියේ නෑ. මට එහෙම කිව්වෙත් නෑ. මේ ඉඩමට ඔප්පු හතරක් තියෙනවා. ඒ හතරම ඒ මහත්තයට පවරලා දෙන්න තීරණය කළා.

“මම එක දවසයි අල්ලපු ඉඩමේ අයිතිකාර ‘සංගක්කාර’ මහත්තයව දැකලා තියෙන්නේ. ඒත් ඉඩමට ආපු දවසක. ඒ නෝනා මහත්තයාව දැකලා තියෙන්නේ එක දවසයි. ළමයි එක්ක ඇවිල්ලා එළුවෝ අතගගා ඉන්නවා මම දැක්කා.

අපි දෙන්නා දඹුල්ලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් කොළ වගේකට අස්සන් කර දීලා බෙහෙත් ගේන්න ගියා. ඇත්තටම ඒ මහත්තයා අපට උදවු කරපු නිසා තමයි අදත් අපි කාලා ඉන්නේ නැත්තං මෙලහට මැරිල.”

“අපි පස්සේ ඉල්ලුවා බෙහෙත් ගන්න මුදල් ටිකක් දෙන්න කියලා. එතකොට කිව්වා මේ ඉඩමේ සිද්ධිය පත්තරවල, ටීවීවල ගිහිල්ලා තියෙන නිසා දෙන්න බෑ කියලා.

අපේ ඉඩම ඒ මහත්තය වෙන කෙනකුට පවරලා කියලා අපි දැනගත්තේ පත්තර, ටීවීවල යනකොටයි. එතකල් දැනගෙන හිටියෙ නෑ.”

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් ‘පියල් ජයසූරිය’ මහතාගෙන්ද විමසූ විට ලැබුණේ මෙබඳු පිළිතුරකි.

“මට මේක අනාවරණය වුණේ – මේ අවුරුද්දේ ජනවාරි දෙවැනිදා තමයි ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර පැවැරීමක් සිදු වෙලා තියෙනවා කියලා මම දැනගත්තේ. ඒ සම්බන්ධයෙන් අපි ග්‍රාම නිලධාරිවරයාගේ ප්‍රකාශ සටහන් කරගෙන ලේකම්තුමා දැනුවත් කළා. දිස්ත්‍රික් ලේකම්තුමා පරීක්ෂණයක් කරලා ව්‍යාජ ලේඛන ඉදිරිපත් කළ ග්‍රාම නිලධාරිගේ වැඩ තහනම් කළා. ඒ වගේම පැවරීම අවලංගු කිරීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්තුමාට දන්වා යැව්වා. ජනවාරි මාසේම අදාළ ක්‍රියාමාර්ග ගන්න කියලා පළාත් ඉඩම් කොමසාරිස්තුමාට උපදෙස් ලබා දීලා තියෙනවා.

ඒ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිවරයා සපයා තියෙන වාර්තා පිළිබඳව සහ ඔහුගේ විෂමාචාර සිද්ධිය සම්බන්ධයෙන් දැනට පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. අනිත් පැත්තෙන් ව්‍යාජ ලේඛන සකස් කළ බව තහවුරු වුණා. 2014 චක්‍රලේඛය අනුව පැවැරීම අවලංගු කරන්නත් පුළුවනි.”

වැඩිදුරටත් අප කළ විමසීම්වලදී ඒ මහතා මෙසේ ද පැවැසීය.

“මේ අවුරුද්දේ ජනවාරි දෙවැනිදා තමයි මට දැනගන්න ලැබුණේ මේ ව්‍යාජ ඉඩම් ගනුදෙනුව සම්බන්ධයෙන් කූට ලේඛන සකසලා තියෙනවා කියලා. ‘කුමාර සංගක්කාර’ මහත්තයා මට ජනවාරි 02 දින ඇමැතුමක් දීලා තමන් සතු සීගිරි ප්‍රදේශයේ ඉඩමේ ආයෝජකයෙක් හඳුනාගෙන සිටින බවත් එම ආයෝජකයා මඟින් ආයෝජන වැඩසටහන ආරම්භ කිරීමට මගේ අනුමැතිය අවැසි බවත් කීවා. මගේ අනුමැතියක් මේ සඳහා අවශ්‍ය නැහැ කියලා මම කිව්වා. පසුව එම අවස්ථාවේම කුමාර සංගක්කාර මහත්තයා ‘සංජීව’ කියලා කෙනකුව දුරකථනයට සම්බන්ධ කළා.

“සංජීව කියන අය තමයි කිව්වේ ඉඩම සංගක්කාර මහත්තයාගේ පෞද්ගලික ඉඩම නෙවෙයි, පසුගියදා පැවරූ ඉඩමක් සම්බන්ධයෙනුයි අනුමැතිය අවශ්‍ය වෙන්නේ කියලා. මම ඒ අයට කිව්වා මම ඒ අයට ඉඩමක් පවරා නැහැ කියලා. කෙසේ වෙතත් මම එදිනම ලේඛන පරික්ෂා කළා. ව්‍යාජ ලේඛනවලට මගේ අනුමැතිය අරගෙන තියෙන විත්තිය මට වැටහුණේ එවිටයි.”

මෙම ඉඩමේ පෙර හිමිකම පැවැරී තිබූ පද්මිණි මහත්මියගේ සැමියා ‘එච්.එම්. විමලසිරි’ මහතා අප සමඟ මෙසේ පැවැසීය.

“මේ ඉඩම මගේ බිරිය නමින් තමයි පැවැරිලා තියෙන්නේ. පර්චස් අනූවක් (90) තියෙනවා. අපේ ඉඩමට අල්ලපු ඉඩම තමයි සංගක්කාර මහත්තයගේ ඉඩම. මගේ බිරිය නිතර නිතර අසනීප වෙනවා. සංගක්කාර මහත්තයාගේ ඉඩම බලාගන්න සංජීව මහත්තයා අපට උදවු කළා. කන්න බොන්න ගෙනත් දුන්නා. ලෙඩට දුකට බැලුවා. බෙහෙත් ගේන්න වාහන දුන්නා. ඒ උදවු කරපු නිසා තමයි ඉඩම පවරලා දෙන්න අපි කල්පනා කළේ.”

අපි ලියකියවිලි ඒ මහත්තයට දුන්නා. ඒ මහත්තයා කිව්වා අපි දෙන්නාට මැරෙනකල් ජීවත් වෙන්න සලකන්නම් කියලා. ඒ වගේම බෙහෙත් ටික අරගෙන දෙන්නං කිව්වා. අපිට වෙන මොනවත් ඕනෑ නැති නිසා අපි කැමැති වුණා.”

“හැබැයි අපි දැනගෙන හිටියේ නැහැ මේ ඉඩම වෙනත් කාන්තාවකට පවරනවා කියලා. අපිට ඒ බවක් කිව්වෙත් නෑ. සංගක්කාර මහත්තයාගේ බිරිය සමහර දවස්වලට ඉඩමට ඇවිල්ල යනවා ඈතින් දැකලා තියෙනවා. සීගිරිගල අපේ ඉඩමට දර්ශනය වෙන නිසාත් අපේ කරුමෙට අසනීප වුණු නිසාත් දැන් මෙලොව දෙයක් නැතිව හූල්ලන්නයි දැන් අපිට වෙලා තියෙන්නේ.”

මෙම ඉඩම පිළිබඳව සොයා බැලීම සඳහා ඉඩමට පැමිණි දඹුල්ල නගරාධිපති ‘ජාලිය ඕපාත’ මහතා මෙසේ පැවැසීය.

“මේ සිද්ධිය ආරංචි වීමත් සමඟ ‘ජනක බණ්ඩාර තෙන්නකෝන්’ ඇමැතිතුමා ප්‍රාදේශීය ලේකම්වරුන් කැඳවලා දිස්ත්‍රික්කයේ ඉඩම් විකුණන එක වහාම නවත්වන්න කියලා උපදෙස් දුන්නා. මේකට කිසිම දේශපාලන සම්බන්ධයක් නැහැ.”

“සංචාරක ව්‍යාපාරය දියුණු වෙන්න ඕනෑ. හෝටල් ඉදිවෙන්න ඕන. හැබැයි ඒක වෙන්න ඕනෑ අහිංසක මිනිසුන්ගේ දේපළ කොල්ලකාලා නෙවෙයි. ජනමාධ්‍යට ස්තුතිවන්ත වෙනවා මේ මංකොල්ලය හෙළිදරව් කළාට. මේ අසරණ අම්මට තාත්තට ජීවත්වීමේ බලාපොරොත්තුව දීලා ඉතා සූක්ෂ්ම ලෙස මේ ඉඩම් පවරාගෙන තියෙනවා. ඒක මහා අපරාධයක්. හැබැයි ලියුම් කඩදාසියක්වත් ඒ දෙපල ළඟ නැහැ. අපි හරියටම දන්නේ නැහැ මේකේ ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මහත්තයා සහ බිරියගේ නමට තමයි මේ පැවැරුම් සිද්ධ වෙලා තියෙන්නේ. මේක කූට වැඩක්ද කියලත් සැකයක් තිබෙනවා. මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන්න කියලා අපිත් ඉල්ලනවා. ඒ වගේම මේ සොයා බැලීම මම ආණ්ඩුකාරතුමාටත් ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමැතිතුමාටත් දැනුම් දී සිටිනවා.”

මෙම පැවැරීමට අදාළ ලිපි ලේඛන පරීක්ෂා කිරීමට අනුමත කිරීමට දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බලය පවරා තිබුණු දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපද නිලධාරි ‘ශානක වර්ණසූරිය’ මහතාගෙන්ද අපි විමසීමක් කළෙමු.

“මට පැවැරුණු රාජකාරිය හරියටම ඉටු කරලා තියෙනවා. මේ ඉඩම් පවරා ගන්න කාන්තාව ඉදිරිපත් කොට තියෙන හැඳුනුම්පතේ රූපයකට සමාන කෙනෙක් මගේ ඉදිරියට පැමිණිලා සිටියා. ඒ නිසා මම අනුමත කළා.”

දැනට වැඩ තහනමට ලක්ව ඇති දඹුල්ල ඉහළ ඇරෑවුල ග්‍රාම සේවා වසමේ සේවය කළ ග්‍රාම නිලධාරි ‘ලක්ෂ්මන් ප්‍රේමරත්න’ මහතා හමුවීමට ද අපි අමතක නොකළෙමු.

“මම නීත්‍යනුකූලවයි වැඩ කරල තියෙන්නේ. මට පෙන්නුවේ එහේ පදිංචිය තියෙනවා කියලයි.

මම මේ වසමේ වැඩ භාර අරගෙන මාසයක වගේ කාලයක් තමයි ගතවෙලා තියෙන්නේ. වසම ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ.

ඡන්ද නාම ලේඛනයේ මේ වගේ නමක් තිබුණෙ නැහැ. මම කිව්වා පදිංචිය හැර යෑමේ ලියුමක් ගේන්න කියලා. ඒ ලියුමේ තිබුණ දේ ලිව්වේ. ලේඛන අරගෙන ආවේ මං අඳුරන කෙනෙක්.

ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර කියන අය දැකලා තියෙන්නේ රූපවාහිනියෙන් විතරයි. ‘යෙහාලි සංගක්කාර’ කියලා කෙනෙක්ව දන්නේ නැහැ. මෙම ලේඛන ලබාදුන් පුද්ගලයා අපේ ගෙවල් ළඟ පදිංචි වෙලා ඉන්න කෙනෙක්. මං එයාව හොඳට අඳුරනවා. මට ඔහු විශ්වාස නිසා තමයි අස්සන් කළේ.

ලිඛිත සාක්ෂි තිබුණේ පදිංචිය හැර යෑමේ කඩදාසිවල. ඒකෙ තමයි රැකියාව ගොවිතැන කියලා සඳහන් වෙලා තිබුණේ. ඒ නිසා තමයි මම ඒක ලිව්වේ. එම ලිපිය පරීක්ෂණයකට ඉදිරිපත් කරන්නම්.

මගේ ළමයි මහනුවර ප්‍රදේශයේ පාසල්වලට ඇතුළත් කර නැහැ. ඒක බොරුවක්.

මෙහිදී අපි කුමාර සංගක්කාර මහතාගේ ඉඩම රැක බලා ගන්නා මෙන්ම ඉහත ඉඩම පවරාදුන් දෙපළට උදවුපදව් කිරීමට පොරොන්දු වී සිටි දඹුල්ල ජලාශ පාර ප්‍රදේශයේ ‘සංජීව අසේල වර්ණකුලසූරිය’ මහතාගෙන් විමසීමක් කළෙමු. මෙම ඉඩම් පැවැරීමේදී සාක්ෂිකරුවකු ලෙස ඔහු අස්සන් තබා තිබීමද විශේෂත්වයකි.

“මේ අසරණ පවුලට මම උදවු කළා. ඒ අය මට වැඳ වැටිලා කිව්වා ජීවත් වෙන්න ප්‍රතිකාර කරන්න උදවු කරන්න කියලා. ඒ නිසා තමයි මම උදවු කළේ. ඒ වගේම මට කිව්වා මේ ඉඩම අරගෙන සල්ලි දෙන්න කියලා. ඒ අනුව තමයි මම ඒ අයට උදව්වක් වශයෙන් මේක කළේ.

මම තවත් කෙනකුට උදවු කරන්න ගිහිල්ලා තමයි අමාරුවේ වැටිල තියෙන්නේ. මේ මැඩම්ව මම අවුරුදු 10 ක කාලයක් තිස්සේ අඳුරනවා. ඒ නිසා තමයි ඉඩම එතුමියට පවරලා දෙන්න තීරණය කළේ. මේ අසරණ යුවළට උදවු කරන්න ඒ මැඩම් තමයි මට මුදල් දුන්නේ. ඒ නිසා එතුමියගේ නමට මේ ඉඩම පවරලා දෙන්න කියලා කණ්ඩලම ප්‍රදේශයේ ඉන්න ‘වර්ණසූරිය’ කියන අයටයි ‘සෙනවි’ කියන කෙනකුටයි භාර දුන්නා. ඒ අය තමයි සියල්ල පවරලා ලියවිලි හදලා අපිට ලබා දුන්නේ. මේකට මගේ කිසිම සම්බන්ධයක් නැහැ.”

ප්‍රශ්නය : මෙම ඉඩම පවරන යෙහෙලි පීරිස් කියන කෙනාව කුමාර සංගක්කාර මහත්තයගෙ බිරිය කියල ඔබ දැනගෙන හිටියද?

පිළිතුර : ඇසුරු කළාට ඇගේ ස්වාමිපුරුෂයා කවුද කියලා මම දන්නේ නෑ.

ප්‍රශ්නය : ප්‍රාදේශීය ලේකම්තුමා සඳහන් කළා ජංගම දුරකථනය ඔස්සේ ඔබත් කුමාර් සංගක්කාර මහත්මයත් එක්ක බහු සම්බන්ධතා ඇමැතුමක් ලබා ගත්තා කියලා.

පිළිතුර : ඒක ඇත්ත. මේ ඉඩමේ ලියකියවිලි වැරදි නිසා තමයි අපි එතුමා සමඟ කතා කළේ. අපි කතා කරපු නිසා තමයි එතුමා දන්නේ මේවා වැරදියි කියලා.

ප්‍රශ්නය : ඔබ මීට පෙර කිව්වා කුමාර සංගක්කාර මහත්තයව හෝ මේ යෙහෙලි පීරිස් කියන මහත්මිය පෞද්ගලිකව දන්නෙ නැහැ කියලා.

පිළිතුර : ඒවා එකපාරටම කියන්න පුළුවන් දේවල් නෙවෙයිනේ.

පසුව අපි මෙහිදී දෙවැනි සාක්ෂිකරු ලෙස ඉදිරිපත්ව සිටි ‘අලුත් ගෙදර වර්ණසූරිය’ මහතා සමඟ දුරකථනයෙන් කතා කළෙමු.

“මට එහෙම ලියකියැවිලි භාරදීමක් සිද්ධ වුණේ නැහැ. ඒක තනිකර බොරුවක්. මමත් තව කෙනකුත් ඉඩම් බ්‍රෝකර් වැඩ කරනවා. ඒ නිසා ගමේ අහල පහළ අය අඳුරනවා. මට කිව්වේ මේ කඩදාසියේ සාක්ෂියට අස්සන් කරන්න කියල විතරයි, කිසිම ආකාරයකින් මේ සිද්ධියට සම්බන්ධයක් නෑ. මම අක්කර සිය ගණන්වලට පවා අස්සන් කරලා තියෙනවා. අපි ඉඩමක් විකුණලා කීයක් හරි හොයාගන්නවා. ඔහු කීවේය.

කෙසේ වෙතත් මෙම ඉඩම් ගනුදෙනුවට ගෑවී ඇති ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර මහතාගෙන් අප කළ විමසීමෙන් පසුව මේ සම්බන්ධයෙන් 2021 ජනවාරි විසිඑක් වැනි දින ඉඩම් කොමසාරිස් ‘ලක්මාලි ජයසිංහ’ මහත්මියගේ අස්සනින් යුතු ලිපියක් අප වෙත එවා තිබිණි.

එහි මෙසේ සඳහන්ව තිබේ. “උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබ විසින් යොමු කරන ලද 2021.01.05 දිනැති ලිපිය හා බැඳේ. ඒ අනුව වගකිවයුතු පුරවැසියකු ලෙස මෙහි කර ඇති අවංක ප්‍රකාශ පිළිබඳව ස්තුතිය ප්‍රකාශ කරන අතර යථා කාලයේදී මෙම ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය පියවර දඹුල්ල, ප්‍රාදේශීය ලේකම් සමඟ සාකච්ඡා කර ගැනීමට කටයුතු කරන බවත් කාරුණිකව දන්වමි.” ලිපිය යොමු කොට ඇත්තේ කුමාර සංගක්කාර, යෙහාලි සංගක්කාර මිය යන දෙදෙනා වෙතය.

දඹුල්ල – කේ.කේ. ආරියදාස

******************************************

බෝඩිමට සල්ලි නැති නිසා සමහර දවස් වලට තරුණ සේවා සභාවේ හොරට නිදාගත්තා – ප්‍රවීන රංගන ශිල්පී මිහිර සිරිතිලක (08.02.2021)

******************************************

කොලඹ හා තදාසන්න ප්‍රදේශ වල පවතින රථවාහන තදබදයට විසදුම්…

(14.03.2021 – 12:40 +0530 – lankacnews.com)

වර්තමානයේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල මාර්ග වල පවතින රථවවාහන තදබදයට පිලියම් යෙදවීම සඳහා වාහන තදබදය අධිකව පවතින ස්ථානවල ගුවන් පාලම් ඉදිකිරීම, උමං පදික මාරු, ගුවන් පදික මාරු, අතුරු මාර්ග (By pass road) මාර්ග තදබදය පවතින ප්‍රදේශ මගහැර වෙනත් ප්‍රදේශයන් කරා ගමන් කිරිම පහසු කිරීමට විකල්ප මාර්ග හදුනාගෙන ඒවා සංවර්ධනය කිරීම සඳහා 2021 වසරේ අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව අදහස් කළේ 2021 වසරේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කිරීමට යෝජනා ව්‍යාපෘතීන් පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමග 12.03.2021 වන දින අමාත්‍යාංශීය ශ්‍රවණාගාරයේ දී පැවැති රැස්වීමේ දීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා :

මේ යටතේ කොළඹ නගරයේ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහා හඳුනාගත් ස්ථාන වල ගුවන් පාලම් ඉදිකිරීමට මේ වන විට මූලික සැලසුම් සකස් කර තිබෙනවා. ඒ අනුව කොහුවල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, බාලදක්ෂ මාවතේ ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම, උත්තරානන්ද මාවතේ ගුවන් පාලම සහ විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක් ඉදිකිරීමට යෝජිත ගුවන් පාලම වේ. එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ මුත්තෙට්ටුගල, යාංගල්මෝදර, අලව්ව සහ මහව යන නගරවල ගුවන් පාලම් ඉදිකිරීමටත් මහනුවර දිස්ත්‍රික්කයේ ගැටඹේ ප්‍රදේශයේ ගුවන් පාලම ඉදිකිරීමටත් මේ වන විට තීරණය කර ඇති බව ප්‍රකාශ කරන ලදී.

කොළඹ සහ බොහොමයක් නගරවල අධික රථවාහන තදබදයට බලපාන හේතුව ක්‍රමවත් පදික මාරු නොමැති වීම බව සඳහන් කළ අමාත්‍යවරයා රථවාහන තදබදය අවම කිරීමටත් රථවාහන අනතුරු ප්‍රමාණය අඩුකර පදිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගෙන උමං පදිකමාරු සහ ගුවන් පදිකමාරු ඉදිකිරීම සැලසුම් කර ඇති බව සඳහන් කරන ලදී. ඒ අනුව රාජගිරිය ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාව අසල උමං පදික මාරුවක් ඉදිකිරීම, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) අසල උමං පදික මාරුවක් ඉදිකිරීම, රාජගිරිය ජනාධිපති විදුහල අසල උමං පදිකමාරුවක් ඉදිකිරීම, කොට්ටාව උමං පදික මාරුවක් ඉදිකිරීම, රත්නපුර උමං පදික මාරුවක් ඉදිකිරීම, මොරටුව වේල්ස් කුමර විදුහල හා වේල්ස් කුමරි විදුහල් අසල උමං පදිකමාරු 2 ක් ඉදිකිරීම, බොරැල්ල කාසල් රෝහල අසල ගුවන් පදික මාරුවක් ඉදිකිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී.

අධික රථවාහන තදබදයන් සහිත නගරවල එම රථවාහන තදබදය පවතින නාගරික ප්‍රදේශ මගහැර, නගරයෙන් පිටතට යන රථවාහන සඳහා පහසුකම් සැලසීම සඳහා අතුරුමාර්ග (By pass road) ඉදිකිරීම වඩාත් යෝග්‍ය ක්‍රමවේදයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ අනුව රත්නපුර, වරකාපොළ, රාගම යන ප්‍රදේශවල එම මාර්ග ඉදිකිරීමේ දී ඉදිකරන බව ප්‍රකාශ කරන ලදී.

අධික රථවාහන තදබදය මගහැර ගමන් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ සංවර්ධනය කළ යුතු විකල්ප මාර්ග ලෙස කිඹුලාවල, රෝහල් පාරේ අංශක 90 වංගුවේ සිට පන්නිපිටිය, තොරණපාර හරහා බොරුපන මාර්ගය සංවර්ධනය කරන බව පෙන්වා දෙන ලදී. මෙම මාර්ගය සංවර්ධන කිරීම තුළින් බත්තරමුල්ල ප්‍රදේශයේ සිට ඉතා කෙටි කාලයකින් රත්මලාන ගුවන් තොටුපළට හා ගාලුපාරට ලඟා විය හැක.

මාලඹේ නගරයේ පවතින අධික රථවාහන තදබදය මගහැර බත්තරමුල්ලේ සිට කඩුවෙල දෙසටත් කඩුවෙල සිට බත්තරමුල්ල දෙසටත් ගමන් කරන වාහන සඳහා චන්ද්‍රිකා කුමාරතුංග මාවත හා තලාහේන අතර විකල්ප මාර්ගයක් සංවර්ධනය කිරීමට යෝජිතය. එමෙන්ම චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ සිට අතුරුගිරිය දක්වා විකල්ප මාර්ගයන්ද සංවර්ධනය කෙරේ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

******************************************

මානසික ලෙඩෙක් මගේ නමින් නළු නිළියන්ට, සරසවිවලට කතා කරනවා – මහාචාර්ය සුනිල් ආරියරත්න

(12.03.2021 – 12:43 +0530 – truenews.lk)

මෙරට සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ගේය පදරචකයකු, සාහිත්‍යවේදියකු මෙන්ම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට නැණස පෑදු මහාචාර්යවරයකු වන සුනිල් ආරියරත්න මහතා පිළිබඳව පසුගිය දිනවල කතාබහක් ඇති වුණි. ඒ ගීත කොල්ලයක් පිළිබඳවය. එහෙත් ඊටත් වඩා ඔහුගේ ජීවිතයට බලපාන කරුණක් දැන් ඇති වී තිබේ. ඒ ඔහු නමින් වන පුද්ගලයකු කලාකරුවන් රැවටීමේ ප්‍රයත්නයක නියැළී සිටිමය. මෙය මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ජිවිතයට ද ප්‍රශ්නයක් වී තිබේ.

“මේ දවස්වල එක පැත්තකින් මගේ නිර්මාණ කොල්ලකනවා. අනෙක් පැත්තෙන් මගේ නමත් කොල්ලකනවා. මට දැන් යනඑන මං නැති වෙලා තිබෙන්නේ. නමත් බේරගෙන නිර්මාණත් බේරගෙන ජීවත් වෙන්නේ කොහොම ද කියන ප්‍රශ්නය පැනනැගිලා තිබෙනවා. මහාචාර්ය සුනිල් ආරියරත්න නමින් අංක 3 කින් කලා ක්ෂේත්‍රයේ අයට පුද්ගලයකු කතා කරනවා. මේ කතා කිරීම පටන් ගත්තේ 2019 වර්ෂයේදී. ඔය විදියට කතා කරන්න පටන් ගන්නකොටම මම 2013.03.13 වැනි දින දවසේ මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. දැන් 2021 වර්ෂයටත් ඇවිත්. අද වනතුරුත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කෙරුණේ නැ. එහෙත් නැවත නැවතත් ඒ අංක තුනෙන් මේ මානසික ලෙඩා කතා කරනවා.

කාලයක් ඔහු කතා කරන්නේ ‘ෆොටෝ ෂූට්’ කරන ඡායාරූප ශිල්පීන්ට, ‘මොඩ්ලින්’ කරන තරුණියන්ගේ පින්තූර ගන්න ඡායාරූප ශිල්පීන්ට. ඒ වගේම තවත් අමුතු මානසිකත්වයක් මේ මානසික ලෙඩාට තිබෙනවා. ඒ තමයි ‘මාෂල් ආරට්’ කරන ගැහැනු ළමයින් සොයා ගැනීම සදහා විවිධි ආයතනවලට – විශේෂයෙන් ශ්‍රී ජයවර්ධනපුර අපේ විශ්වවිද්‍යාලයටත්, රුහුණ විශ්වවිද්‍යාලයටත් – එහි ක්‍රීඩා අංශවලට කතා කරලා තිබුණා ‘මාෂල් ආර්ට්’ කරන ගැහැනු ළමයින්ගේ අංක ලබාගන්න. ඒ අතරේ ජාතික චිත්‍රපට සංස්ථාවේ ලකුණ, මගේ චිත්‍රපටවල කොටස් (පත්තිනි, කුසපබා, විජයබා කොල්ලාය, යශෝධරා) දාපු පොඩි ‘ට්‍රේලර්’ එකක් වගේ හදලා. ඒක දාලා තමයි මෙයා හඳුන්වා දෙන්නේ. එයා කියන්නේ මම සුනිල් ආරියරත්න – අලුත් චිත්‍රපටයක් කරනවා – ඒකට නිළියන් ගන්නවා – මුදල් වගේම විශ්‍රාම වැටුපක් ද දෙනවා කියලා ඉස්සෙල්ලා පින්තූර ගෙන්වා ගන්නවා. ඊළඟට ‘වට්ස්ඇප්’ (WhatsApp) හරහා ඉන්ටර්විව් කරනවා. හැබැයි මිනිහ පේන්න එන්නේ නෑ. එක ගැහැනු ළමයෙක් රුපියල් 8000 ක් ඔහු කියූ ගිණුමට දාලත් තිබෙනවා. සල්ලි ගැන ආරංචි වුණේ එච්චරයි.

ආධුනික ළමයින්ට කතා කළා නම් කමක් නෑ කියමුකෝ. ඊට කලින් මම හොඳින්ම දන්නවා සමිතා මුදුන්කොටුවගේ දියණිය වන කවින්ද්‍යටත් කතා කරලා. ඒ අතරේ සුලෝචනා විරසිංහ, දුලානි අනුරාධා, පියුම් බොතේජු, ගංගු රොෂානා, මාදනී මල්වත්තගේ වගේ විශාල පිරිසකට කතා කළා. මේ විදිහට මානසික ලෙඩා විශාල හානියක් කරගෙන යනවා.

මේ දවස්වල කොරෝනා ප්‍රශ්න නිසා මගේ ප්‍රශ්නය අරන් පොලිසියට මම ගියේ නෑ. මොකද ඔවුන්ට ඊට වඩා වැඩ කටයුතු යෙදිලා තිබෙන හින්දා. කොරෝනා සම්බන්ධ දහසකුත් වැඩ ඔවුන්ට තිබෙනවා. මගේ පුද්ගලික ප්‍රශ්නයක් කියලා ඔවුන්ට තව තවත් වද දෙන්න උත්සාහ කළේ නැ. එහෙත් මම දැන් නැවතත් තිබෙන පැමිණිල්ල අලුත් කරන්න හෝ අලුතින්ම පැමිණිල්ලක් දාන්න බලාපොරොත්තු වනවා. එහෙම නැත්තම් කිර්තීනාමයට පමණක් නොව ජීවිතයටත් එයින් තර්ජනයක් වෙන්න පුළුවන්.

මට නම් හිතෙන්නේ ඔහු මානසික ලෙඩෙක් කියලයි. මොකද අනිවාර්යනේ මේ ලෙඩා ගැහැනු ළමයින්ට පේන්න එන්නේ නැ. මහ රෑ නිලියන් ඉන්ටර්විව් කරනවා. ඇත්තටම ඒ ළමයි හිතනවා මමයි මේ කතා කරන්නේ කියළා. මීට ඉස්සෙල්ලා සහාය අධ්‍යක්ෂවරයෙක් වන ඩොනල්ඩ් ජයන්ත, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරියට මේ වගේ දේවල් සිද්ධ වුණා. හැබැයි ඒ අයට බැරී වුණ ඒ අය නමින් කතා කරපු ඒ මානසික ලෙඩාව හරියට හඳුනාගන්න. ඒත් යම් තරමකට උදයකාන්ත වර්ණසුරිය සොයාගෙන ගියා. ඔහු කිව්වා සමහරවිට මගේ නමින් කතා කළ ඒ මානසික ලෙඩා වෙන්නැති ඔබතුමා නමිනුත් කතා කරන්නේ කියලා. ඉතා ඉක්මනින් ඔහු එළියට ඇදාලා මාධ්‍යයට හෙළි කළ යුතු බවයි මා හිතන්නේ.

මම මෙහිදී බැගැපත්ව ඉල්ලන්නේ මෙවැනි මානසික ලෙඩ්ඩුන්ට අහුවෙන්න එපා කියලයි. මේ පිළිබඳව නැවත පොලිසියට පැමිණිල්ලක් දාන්න මා බලාපොරොත්තු වෙනවා. මේ රටේ සිටින තරුණ තරුණියන් මේ මානසික ලෙඩාට රැවටෙන්න එපා කියලා මම ආයාචනා කරනවා.”

(සමන්ත යහම්පත්)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *