බුර්කාව තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක ඇමති අත්සන් තබයි

බුර්කාව තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක ඇමති අත්සන් තබයි

*********************************************

බුර්කාව තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක ඇමති අත්සන් තබයි

(13.03.2021 – 12:21 +0530 – hirunews.lk/sinhala)

බුර්කාව හා ‘ලියාපදිංචි නොකළ මද්‍රසාර පාසැල්’ තහනම් කිරීමට අදාළ කැබිනට් පත්‍රයට මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් අත්සන් කරනු ලැබ තිබෙනවා.

******************************************

(13.03.2021 – 12:38 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාතේ ප්‍රථම ගම සමඟ පිළිසඳරක් වැඩසටහන මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව ප්‍රදේශයේදී පැවැත්වෙනවා.

දුෂ්කර ග්‍රාමීය ජනතාවගේ ගැටලු සඳහා එම ගම්මානවලටම ගොස් විසදුම් ලබා දීමට ක්‍රියාත්මක කරන ගම සමඟ පිළිසඳරක් වැඩසටහනේ 14 වැනි අදියර අද පැවැත්වෙන්නේ ගාල්ල – හික්කඩුව – ගලබොඩ ප්‍රදේශයේදී.

පවුල් දහසකට (1000) අධික සංඛ්‍යාවක් ජීවත් වෙන එම ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපායන් වන්නේ ධීවර කර්මාන්තය, කෘෂිකර්මය, කුරුඳු සහ කොහුලණු කර්මාන්තයයි.

වැඩසටහනට සහභාගිවීම සඳහා ගලගොඩ ජනපද කමිටු විදුහල් ක්‍රීඩා පිටියට පැමිණි ජනාධිපතිවරයා ප්‍රදේශයේ ජනතාව සමඟින් සුහද පිළිසදරක නිරත වුණා.

ප්‍රදේශයට බලපාන ජනතා ගැටලුවලට විසඳුම් ලබාදීමේ සංවාදාත්මක වැඩසටහන ආරම්භ වුණේ ඉන් අනතුරුවයි ෴

******************************************

(13.03.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

නෙත් අඳ පියා සහ තම කුඩා නැඟණිය රැකබලා ගන්නා අපූරු පුතෙකු පිළිබඳව අපට වාර්තා වුණේ දඹුල්ල – හල්මිල්ලෑව ප්‍රදේශයෙන්.

9 වසරේ ඉගෙන ගන්නා නුවන් තිළිණ මීට වසර කිහිපයකට පෙර සිදු වූ අනතුරකින් නුවන්ගේ පියාගේ දෑස් අන්ධ වීමත් සමග නුවන්ගේ මව ඔවුන් හැර යනවා.

දෑස් අන්ධ පියාගේ සහ කුඩා නැඟණියගේ සියලු වගකීම් ඉන්පසුව පැටවෙන්නේ නුවන්ගේ කර මතයි.

අසල්වාසීන්ගෙන් ලැබෙන යම් උපකාරයකින් බඩවියත සරිකරගන්නා මේ පවුලට අඟහිඟකම්වලින් නම් අඩුවක් නෑ.

මහමෙරටත් වඩා දැනෙන පවුල් බර ලාබාල වයසේදීම කරට ගනිමින් අධ්‍යාපන කටයුතු වලටද නොඅඩුව අවධානය යොමු කරන තිළිණගේ එකම අධිෂ්ඨානය තම නැඟණියගේ අධ්‍යාපන කටයුතු කෙසේ හෝ සාර්ථක කර ගැනීමයි.

මේ සඳහා සංවේදී සිත් ඇත්තවුන්ගේ කුඩා හෝ උපකාරයක් බලාපොරොත්තු වන බව පුංචි තිළිණ පැවසූවේ හැඬූ කඳුලින්.

******************************************

(13.03.2021 – 13:15 +0530 – hirunews.lk/sinhala)

තමන්ව කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස මියන්මාර අත්අඩංගුවේ පසුවන මෙරට ධීවරයින් පිරිසක් රජයෙන් ඉල්ලා සිටිනවා.

ඔවුන් මියන්මාර අත්අඩංගුවට ගනු ලැබූවේ දේශසීමා උල්ලංගනය කිරීමේ චෝදනාව මතයි.

හලාවත සහ මාරවිල ප්‍රෙද්ශවල ධීවරයින් 07 දෙනෙක් සාගර කුමාර අංක 4 බහුදින ධීවර යාත්‍රාවෙන් මසුන් ඇල්ලීම සඳහා ත්‍රිකුණාමලය වරායෙන් පිටත්ව ගොස් ඇත්තේ පසුගිය ජනවාරි 21 වනදායි.

එම මාසයේ 27 වනදා මයෝමි නම් තවත් බහුදින යාත්‍රාවක් ධීවරයන් 05 දෙනෙකු සමග ත්‍රිකුණාමල වරායෙන් මසුන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් තිබුණා.

කෙසේ වෙතත් පසුව අනාවරණය වුණේ දිය රළකට හසු වීමෙන් එම යාත්‍රා මියන්මාරය ආශ්‍රිත මුහුදු සීමාවට ගසාගෙන ගොස් ඇති බවයි.

එහිදී ඔවුන් මියන්මාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමන් රඳවා සිටින ස්ථානයේ දුෂ්කරතා රැසක් පවතින බවයි ඔවුන් හිරු ප්‍රවෘත්ති සමග අදහස් දක්වමින් කියා සිටියේ.

******************************************

(13.03.2021 – 13:44 +0530 – hirunews.lk/sinhala)

කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ එළිදැක්වීම අරලියගහ මන්දිරයේදී ඊයේ (12) සිදු කෙරුනා.

දැනට කොල්ලුපිටිය වෙළඳ පොළ පවතින ස්ථානයේ මහල් 39 කින් සමන්විතව නව වෙළඳ හා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට නියමිත අතර අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ සාමාන්‍ය වෙළෙන්දන්ට ඔවුන්ගේ අස්වනු අලෙවි කරගැනීම සඳහා නව වෙළඳ සංකීර්ණයේ අනිවාර්යයෙන්ම ස්ථානයක් වෙන් කරන ලෙසටයි ෴

******************************************

(13.03.2021 – 16:15 +0530 – hirunews.lk/sinhala)

දේවාලයක් පවත්වාගෙන යන මුවාවෙන් නාවලපිටිය නගරයේ හෙරොයින් ජාවාරමේ නිරතව සිටි කාන්තාවක ඇතුළු දෙදෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දේවාලයේ කපුමහතා සහ ආවතේව කටයුතු සිදුකළ කාන්තාවක ලෙසයි ඔවුන් එහි රැදී සිට ඇත්තේ.

උපාය දූතයෙකු යොදා ගනිමින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.

අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකාර කාන්තාවගේ අත්බෑගයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 140 ක් ද සොයා ගෙන ඇති අතර, ඊෂි කෑෂ් ක්‍රමය හරහා ඉතා සූක්ෂම ලෙස ඔවුන් මෙම ජාවාරමේ නිරතව සිට ඇති බව ද මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වී තිබෙනවා ෴

******************************************

(13.03.2021 – 16:32 +0530 – hirunews.lk/sinhala)

ජාතික ධජය භාවිත කරමින් නිෂ්පාදන සිදුකිරීම සහ විකිණීම සම්බන්ධයෙන් විශේෂ අධීක්ෂණයකින් පසුවන බව, බීජිං නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.

එවැන්නක් සිදුවන්නේ නම්, කඩිනමින් එම කටයුතු අත්හිටුවීම සඳහා චීනයේ අදාල බළධාරින් හරහා සුදුසු පියවර ගන්නා බවයි තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ශ්‍රී ලංකා ලංකා ජාතික ධජය භාවිත කරමින් පාපිස්නා නිෂ්පාදනය කර අන්තර්ජාලය ඔස්සේ විකිණීම සඳහා ඉදිරිපත් කර තිබූ අතර ඒ අනුවයි මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරුණේ.

ශ්‍රී ලංකාවේ ධජය භාවිත කරමින් මෙම පාපිසි සහ එවැනි නිෂ්පාදන විකිණීම වහාම නතර කරන ලෙස තානාපති කාර්යාලය විසින්, මෙම නිෂ්පාදන අලෙවි කළ සමාගමෙන් ලිපියක් මගින් ඉල්ලා සිටි අතර මේ වන විට එම දැන්වීම අදාළ වෙබ් අඩවියෙන් ඉවත් කර තිබෙනවා.

මේ පිළිබඳව සමීපව අධීක්‍ෂණය කරමින් සිටින අතර, ශ්‍රී ලංකාවේ ධජය සහිත ඕනෑම නිෂ්පාදනයක් නිෂ්පාදනය කිරීම හා විකිණීම අත්හිටුවීම සඳහා චීනයේ අදාළ බලධාරීන් හරහා සුදුසු පියවර ගන්නා බවයි බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියාසිටියේ ෴

******************************************

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු පසුපස සිටි දේශපාලකයන් ගැන විශේෂ විමර්ශනයක්

(13.03.2021 – mawbima.lk)

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු ලෙස දැනට ත්‍රස්ත විමර්ශන අංශය විසින් හඳුනාගෙන සිටින ‘මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර්’ සමග සබඳකම් පැවැත්වූ දේශපාලනඥයන් සොයා බුද්ධි අංශ සහ ත්‍රස්ත විමර්ශන අංශය මගින් විශේෂ විමර්ශනයක් මේ වනවිට සිදුකරමින් පවතින බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ‘ඉරිදා මව්බිම’ට ප්‍රකාශ කළේ ය.

වසර ගණනාවක් තිස්සේ ‘මොහොමඩ් නවුෆර්’ නමැති පුද්ගලයා කටාර් රාජ්‍යයේ සිට ඇති බවත් මෙම පුද්ගලයා සමග කටාර් රාජ්‍යය ඇතුළු විදෙස් රටවලදී සහ මෙරටදී සම්බන්ධකම් පැවැත්වූ දේශපාලනඥයන් කවුදැයි කියා සෙවීම සඳහා මෙම විශේෂ විමර්ශනය සිදුකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

2016 වසරේ සිට ‘මොහොමඩ් නවුෆර්’ ‘සහරාන්’ සමග සම්බන්ධ වී ඇති බවත් ‘අබුබකර් අල් බැග්ඩෑඩ්’ගේ මතවාදයට ‘සහරාන්’ සම්බන්ධ කිරීමට ‘මොහොමඩ් නවුෆර්’ සැලකිය යුතු කාර්යභාරයක් සිදුකර ඇති බවට විමර්ශනවලදී හඳුනාගෙන තිබෙන බව ද අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් පෙන්වා දෙන ලදී.

‘මොහොමඩ් නවුෆර්’ ‘සහරාන්’ සමග සම්බන්ධ වෙමින් පාස්කු ඉරිදා ප්‍රහාරය දක්වා ඔහුව මතවාදීව මෙහෙයවා ඇති බවට ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයෙන් සිදුකරන ලද විමර්ශනවලදී තොරතුරු අනාවරණය කරගෙන ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

‘සහරාන්’ට දේශපාලන රැකවරණ ලබාදෙමින් සම්බන්ධකම් පැවැත්වූ දේශපාලනඥයන් සහ සංවිධාන ‘මොහොමඩ් නවුෆර්’ සමග ද සබඳකම් පවත්වා තිබේද කියා දැනගැනීම සහ ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය කරගැනීම සඳහා මෙම විශේෂ විමර්ශනය සිදුකරන බවද අමාත්‍ය වීරසේකර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය ෴

******************************************

ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හිදී තරුණියන් 5 දෙනෙකුට ලිංගික අතවර කළ ශ්‍රී ලාංකිකයෙකුට සිර දඬුවම්

(12.03.2021 – mawbima.lk)

Uber රියැදුරෙකු ලෙස පෙනී සිටිමින් තම මෝටර් රථයට ගොඩවූ කාන්තාවන් පස් දෙනෙකුට (5) ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි පදිංචි ශ්‍රී ලාංකිකයෙකු සිරගත කර තිබේ.

44 හැවිරිදි ‘සම්පත් සඳරුවන් සමරනායක’ නමැත්තා අධිකරණයේදී පවසා ඇත්තේ, අදාළ තරුණියන් ස්පර්ශ කිරීම, සිප ගැනීම හෝ සිය අයවය පෙන්වීම නොකළ බවය.

2018 වසරේ සැප්තැම්බර් මාසයේදී බ්‍රිස්බේන්හි රාත්‍රී සමාජ ශාලාවක සිට පැමිණි තරුණියන් පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

ඔහුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා 18 ට ම ඔහු වරදකරු බවට ක්වීන්ස්ලන්ත දිස්ත්‍රික් අධිකරණයක් තීන්දු කළේය.

ඔහුට එරෙහිව ගොනු කර තිබූ චෝදනා වූයේ, ලිංගික අතවර කිරීම් 9 ක්, නිදහසට බාධා කිරීම් 4 ක්, හිංසා කිරීම් 3 ක් සහ අවිනීත හැසිරීම් 2 ක් යන ඒවාය.

මෙම නඩු විභාගය පැවැත්වෙන අතරතුර කාන්තාවන් පස් දෙනෙකු (5) සාක්ෂි දෙමින් පැවසුවේ, ‘සම්පත් සමරනායක’ නමැත්තා ඔහුගේ සිරුර ස්පර්ශ කරන ලෙසට බල කළ බවය.

ඇතැම් කාන්තාවන් පැවසුවේ, ඔහු මෝටර් රථය ලොක් කර තිබූ බවය.

කෙසේ වෙතත්, ‘සම්පත් සමරනායක’ පවසා ඇත්තේ, වෘත්තියෙන් කෝකියෙකු ලෙස සේවය කරන තමන් දෙවන රැකියාවක් ලෙස ටැක්සි රියැදුරෙකු ලෙස ද සේවය කළ බවය.

ඒ අතරතුර තමන් සිය ශරීර ප්‍රමාණය අඩු කර ගැනීමට උත්සහ කළ බවත් අදාළ තරුණියන් සමග ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ඔහු අධිකරණය හමුවේ පවසා තිබිණි.

කෙසේ වෙතත්, අධිකරණය නියෝග කළේ, ඔහුට වසර 3 ක සිර දඬුවමක් නියම කරන බවය.

සිර දඬුවම අවසන් වීමෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතය ෴

******************************************

ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට වහා ඉවත් වන්නැයි ඇමතිගෙන් නියෝග

(12.03.2021 – mawbima.lk)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා ඇතුළු එහි අධ්‍යක්ෂ මණ්ඩලයට වහා ම ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුම් දී තිබේ.

‘මව්බිම’ කළ විමසීමකදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව වඩාත් කාර්යක්ෂමව ඉදිරියට ගෙන යාමේ අරමුණින් හේතු ගණනාවක් පදනම් කරගෙන මෙම තීරණය ගත් බවය.

ඒ අනුව, දැනට සිටින අධ්‍යක්ෂ මණ්ඩලයට ඉවත්වීම සඳහා එළඹෙන සඳුදා (15) දක්වා කාලය ලබා දුන් බවත් ඉල්ලා අස් නොවුණහොත් නීත්‍යනුකූලව කටයුතු කිරීමට සිදු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, නව අධ්‍යක්ෂ මණ්ඩලය ලබන සතියේදී පත්කිරීමට බලාපොරොත්තු වන බවය ෴

@@@@@@@@@@@@@@@

(13.03.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාරවලින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 5,125 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 4,702 කු මේ වනවිට සුවය ලබා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ දක්වා වැලිකඩ බන්ධනාගාරයෙන් ආසාදිතයන් 929 දෙනෙකු, මැගසින් බන්ධනාගාරයෙන් 881 දෙනෙකු, මහර බන්ධනාගාරයෙන් 836 දෙනෙකු, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 458 දෙනෙකු සහ මීගමුව බන්ධනාගාරයෙන් ආසාදිතයන් 370 දෙනෙකු වාර්තාවී තිබෙනවා ෴

+++++++++++++++++++++

(13.03.2021 – 14:43 +0530 – hirunews.lk/sinhala)

ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොරෝනා වෛරස් එන්නතෙහි අතුරු විපාක පිළිබඳ ඉදිරි සතියේ ඇගයීමක් සිදුකරන බව ඉන්දියාව පවසනවා.

මෙම එන්නත ඉන්දියාවේ පූනේහි සීරම් ආයතනයේ ද නිෂ්පාදනය කරනු ලැබීම ඊට හේතුවයි.

එන්නත ලබාදුන් පුද්ගලයන්ට ද රුධිර කැටිති ඇතිවිය හැකි බවට සැකයෙන් ඩෙන්මාර්කය, නෝර්වේ සහ අයිස්ලන්තය ආදි යුරෝපා රටවල් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් එවැනි අතුරුවිපාක සිදුවන්නේ යැයි සාක්ෂි නොමැති බවයි.

ඇස්ට්‍රාසෙනෙකා සමාගම ද එන්නතෙහි ආරක්ෂාකාරි බව පිලිබඳ විශ්වාසය තහවුරු කර තිබෙනවා.

ඉන්දියාවේ කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකායේ වෛද්‍ය එන්.කේ.අරෝරා ප්‍රකාශ කළේ සිදුකිරිමට නියමිත ඇගයීමේදී සැලකිය යුතු කිසියම් කරුණක් වේ නම් ඒ පිළිබඳව ප්‍රකාශයට පත් කරන බවයි ෴

++++++++++++++++++++++

(13.03.2021 – 15:46 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුළ ගුවන් යානා 30 ක මෙහෙයුම් කටයුතු සිදුකරමින් ගුවන් මගීන් 1515 දෙනෙකු සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මගින් ගුවන් පහසුකම් සලසා තිබෙනවා.

ඒ අනුව ගුවන් මගීන් 999 දෙනෙකු ගුවන් යානා 15 කින් දිවයිනට පැමිණ ඇති බවයි ගුවන් තොටුපල අප වාර්තාකරු සඳහන් කළේ.

එමෙන්ම, ගුවන් යානා 15 කින් දිවයිනෙන් පිටත්ව ගිය මගීන් සංඛ්‍යාව 525 ක්.

පිටත්ව ගිය පිරිසට, ඩුබායි බලා ගිය 109 දෙනෙකු සහ කටාර් රාජ්‍යය වෙත ගිය 90 දෙනෙකු ද ඇතුළත් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *