කොහුවල මෝටර් රථය තුල පිළිස්සී මිය ගියේ, මෝටර් රථ අමතර කොටස් වෙළෙන්දෙක්

කොහුවල මෝටර් රථය තුල පිළිස්සී මිය ගියේ, මෝටර් රථ අමතර කොටස් වෙළෙන්දෙක්

*********************************************

කොහුවල මෝටර් රථය තුල පිළිස්සී මිය ගියේ, මෝටර් රථ අමතර කොටස් වෙළෙන්දෙක්

(11.03.2021 – 12:11 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (10) රාත්‍රී 11:30 ට පමණ කොහුවල ආසිරි මාවතේ මෝටර් රථයක් තුළ පිළිස්සී මිය ගිය පුද්ගලයා දෙල්කඳ ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් වෙළඳාමේ නිරත 34 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

පානදුර ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු වන මොහු, විවාහයෙන් පසු කොහුවල ප්‍රදේශයට පැමිණ ඇති බවයි හෙළිවී ඇත්තේ.

සිද්ධිය වූ ස්ථානය ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් නිරීක්ෂණය කර ඇති අතර රජයේ රස පරීක්ෂක සහ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාද මේ වනවිට එම ස්ථානයට පැමිණ ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මෙම ව්‍යාපාරිකයා අසල පිහිටි අවන්හලකින් රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව නැවත සිය නිවස වෙත යමින් තිබියදී රථය ගිනිගෙන ඇති බවටයි පොලිසිය සැක කරන්නේ ෴

******************************************

(11.03.2021 – 09:10 +0530 – hirunews.lk/sinhala)

හබරණ – පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ 61 වන කණුව අසළ සිදුවූ අනතුරකින් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ජයන්තිපුර – යුද හමුදා කදවුරට අයත් ට්‍රැක්ටර් රථයක අදාළ පොලිස් නිලධාරියා ගමන් ගත් යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා පොළොන්නරුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ 53 හැවිරිදි මින්නේරිය – හතරැස්කොටුව – ගල්ඔය හන්දිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ නිලධාරීයෙක්.

අනතුර සම්බන්ධයෙන් යුද හමුදා ට්‍රැක්ටර් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

******************************************

(11.03.2021 – 09:14 +0530 – hirunews.lk/sinhala)

ජපානය රුපියල් මිලියන 12 ක ආධාර මුදලක් මෙරටට ලබාදී තිබෙනවා.

ඒ, නුවරඑළිය – අඹගමුව ප්‍රදේශයේ පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් සඳහායි.

ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ අදාළ ජල ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතයි.

ඉන් පුද්ගලයින් 750 කට පමණ ජලය සැපයෙනු ඇති ෴

******************************************

(11.03.2021 – 09:32 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟ හැර සිටි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ අද (11) පෙරවරු 09:30 ට පමණ ප්‍රකාශයක් ලබාදීම සඳහා එම දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ, මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ සම්බන්ධ බවට කර තිබූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක් කළ පැමිණිල්ලකට අදාළවයි.

ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව සිදු කෙරෙන පරීක්ෂණයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ මන්ත්‍රීවරයාට පසුගිය 08 වනදා සහ 09 වනදා පෙනී සිටින ලෙස දැනුම් දුන්නද ඔහු එම දිනවල පෙනී සිටියේ නැහැ.

ඒ අනුව අද (11) දිනයේදී අශෝක් අබේසිංහ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර, ඔහුගේ සහයට සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිසක් එක්ව සිටියා.

******************************************

(11.03.2021 – 10:43 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (10) සවස මීරිගම පොදු වෙළඳසල අසල එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු (2) අතර ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාම හේතුවන් යකඩ පොල්ලකින් පහරදී එක් පුද්ගලයකු ඝාතනය කර තිබෙනවා.

ඝාතනයට ලක්වූ පුද්ගලයා 53 හැවිරිදි වියේ පසුවූ අයෙක් බවයි පොලිසිය පැවසුවේ.

ඝාතනයට අදාල සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (11) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් මීරිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

******************************************

(11.03.2021 – 13:06 +0530 – hirunews.lk/sinhala)

කුමන්ත්‍රණයකින් බලය අල්ලා ගත් මියන්මාර හමුදා ජුන්ටාවේ විදේශ අමාත්‍යවරයාට බිම්ස්ටෙක් අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගි වන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා යවන ලද ලිපියක් හේතුවෙන් දැඩි ආන්දෝලනයක් හටගෙන තිබෙනවා.

මෙමගින් ශ්‍රී ලංකාව වක්‍ර ලෙස මියන්මාර හමුදා පාලනය පිළිගෙන ඇති බවයි සමාජ මාධ්‍ය වෙත සිය විරෝධය මුදා හරිමින් මියන්මාර වැසියන් ප්‍රකාශ කර ඇත්තේ.

බහු ආංශික, තාක්ෂණික, ආර්ථික සහයෝගීතාව සඳහා වන බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ වත්මන් සභාපතීත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි.

ඒ අනුව අප්‍රේල් මස 01 වන දා කොළඹ දී ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන විදේශ ඇමතිවරුන්ගේ 17 වන රැස්වීමට සහභාගි වන ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව මියන්මාර හමුදා ජුන්ටාවේ විදේශ අමාත්‍යවරයා වන වුන්නා මාවූන් ලාවුන්ට ආරාධනා කරමින් අදාළ ලිපිය යොමු කර ඇත්තේ පසුගිය 02 වන දායි.

මෙවැනි ලිපියක් යොමු කළ ශ්‍රී ලංකාව මියන්මාරයේ හමුදා පාලනය අනියමින් පිළිගෙන ඇති බවට මියන්මාර වැසියන් ට්විටර් සහ ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත මේ වන විට ප්‍රකාශ මුදාහැර තිබෙනවා.

‘ෂේම් ඔන් යූ ශ්‍රී ලංකා’ යනුවෙන් හෑෂ් ටැගයක් මගින් ඔවුන් ට්විටර් සමාජ මාධ්‍ය වෙත සිය විරෝධය පළ කරන ආකාරය මේ වන විටත් දැක ගත හැකියි.

පසුගිය පෙබරවාරි 01 වන දා අවුන්සාන් සුඛීගේ පාලනය පෙරලා දැමූ මියන්මාර හමුදා ජුන්ටාවට එරෙහිව රට තුළ විරෝධතා රැල්ලක් ද හටගෙන තිබෙනවා.

විරෝධතා වලදී 50 කට අධික පිරිසක් මේ වනවිට මිය ගොස් ඇති අතර, ජගත් සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (10) නිවේදනයක් නිකුත් කරමින් මියන්මාර පාලනය හෙළා දකිනු ලැබුවා.

මේ අතර, ඊයේ (10) මියන්මාර හමුදා පාලනයට විරෝධය පළ කරමින් කොළඹ – මල් පාරේ පිහිටි මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවක් සංවිධාන කර තිබුණේ මියන්මාර ජනතා සහයෝගීතා කමිටුව විසින්.

කෙසේ වෙතත්, බිම්ස්ටෙක් අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගිවීම සඳහා මියන්මාර විදේශ අමාත්‍යවරයා වෙත කරන ලද ආරාධනය පිළිබඳ සමාජ මාධ්‍යයේ පළ වන අදහස් සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමගින් දක්වා ඇත්තේ බිම්ස්ටෙක් සභාපතීත්වය දරණ හා අමාත්‍යවරුන්ගේ රැස්වීමේ සත්කාරක රට ලෙස මේ වසර අග ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අපේක්ෂිත 5 වන බිම්ස්ටෙක් සමුළුව පිළිබද ලේඛන කටයුතු අවසන් කිරීමේ අරමුණෙන් යුතුව සාකච්ඡාවලට සහභාගිවීම සඳහා මියන්මාරය ඇතුළු සියළුම සාමාජික රටවලට ආරාධනා කර ඇති බවයි ෴

******************************************

(11.03.2021 – 13:11 +0530 – hirunews.lk/sinhala)

මාතර – දෙයියන්දර – දෙනගම ප්‍රදේශයේදී සොයා ගත් රුපියල් කෝටි 70 කට අධික වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 74 කට ආසන්න හෙරොයින් තොගය සමඟ අත්අඩංගුවට ගත් යුවල සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

විමර්ශනය මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ ඔවුන් මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් තැරැව්කරුවන් දෙදෙනෙකු (2) බවට මේ වන විට අනාවරණ වී ඇති බවයි.

මත්ද්‍රව්‍ය මෙලෙස එක්වරක් ප්‍රවාහනය කිරීම සඳහා ඔවුන්ට රුපියල් ලක්ෂ 4 ක පමණ මුදලක් ලැබෙන බවත් නම් කරන ලද ස්ථානයකට අදාළ මත්ද්‍රව්‍ය පාර්සල් ගෙන ගොස් තැබීම ඔවුන්ගේ රාජකාරිය වී ඇති බවත් පොලීසිය සඳහන් කළා.

ඉතා සූක්ෂම ආකාරයෙන් සිදුකරන මෙම ක්‍රියාවලිය අනුව මෙම ජාවාරමට සම්බන්ධ නිශ්චිත පුද්ගලයෙකු හඳුනා ගැනීමට නොහැකි වී ඇති බව විමර්ශනවලදී තවදුරටත් හෙලිව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ වැලිගම – මිදිගම ප්‍රදේශයේ ඉඩමක වලදමා තිබී පසුව ඉන් ඉවත් කළ මත්ද්‍රව්‍ය තොගයක් බවට මේවා තහවුරු වී ඇති බවයි.

මීට සති දෙකකට (2) පෙර පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් හොරණ ප්‍රදේශයෙන් සොයාගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් කළ විමර්ශණවලදීයි මෙම මිදිගම ප්‍රදේශයේ ඉඩම සෝදිසි කරනු ලැබුවා.

දැනට විදේශ රටකට පළා ගොස් සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන ‘නඳුන් චින්තක’ හෙවත් ‘හරක් කටා’ ට මෙම මත්ද්‍රව්‍ය තොගය අයත් බවට පොලීසිය සැක පළ කරනවා.

අත්අඩංගුවට ගත් දෙදෙනා (2) සිටි බවට පැවසෙන මහනුවර සහ මීගමුව ප්‍රදේශවල නිවාස 7 ක් පොලීසිය පරීක්ෂාවට ලක් කර ඇති නමුත් එහි තිබී කිසිවක් හමුවී නැහැ.

මොවුන් දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ (10) ඉදිරිපත් කිරීමෙන් පසුව දින 7 ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලබාදුන්නා ෴

******************************************

(11.03.2021 – 13:16 +0530 – hirunews.lk/sinhala)

මෙරට සහල් මිල තීරණය කිරීමේ බලය මහා පරිමාණ මෝල් හිමියන් කිහිප දෙනෙකුට හිමිවන්නේ නම් එහි වගකීම වෙළඳ සහ කෘෂිකර්ම අමාත්‍යවරුන් භාර ගත යුතු බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා.

එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා කොළඹ ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සහල් මිලෙහි විකෘතියක් ඇතිවීම පිටුපස වෙළඳ අමාත්‍යාංශයේ ඇතැම් නිලධාරීන් ද සිටින බවයි ෴

******************************************

(11.03.2021 – 13:55 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 42 කට වැඩි වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ දෙදෙනෙකු (2) යාපනය – එළුවතිව් දූපතට ආසන්න මුහුදු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව ඊයේ (10) යාත්‍රා කරමින් තිබූ ඩිංගි බෝට්ටුවක් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි මේවා සොයාගෙන ඇත්තේ.

එහි කේරළ ගංජා කිලෝග්‍රෑම් 141 ක් තිබී ඇති අතර එය පාර්සල් 52 ක් ලෙස සකස් කර තිබූ බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21 සහ 31 යන වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

******************************************

(11.03.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය – කුරක්කන්හේන ප්‍රදේශයේදී මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පළා යාමට උත්සාහ කළ 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව අද (11) පෙරවරුවේ සිදුකළ මෙහෙයුමකදී ලොරි රථයක් තුළ මොවුන් එම ස්ථානයේ රැදී සිටියදී අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ.

මොවුන් අතර කාන්තාවක් සහ කුඩා දරුවන් තුන් දෙනෙකු (3) ද සිටිනවා. අත්අඩංගුවට ගත් පිරිස යාපනය, මඩකලපුව සහ මන්නාරම යන ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

******************************************

(11.03.2021 – 14:54 +0530 – hirunews.lk/sinhala)

සීනි බදු අඩුකිරීමේ වාසිය ලැබී ඇත්තේ ජාවාරම්කාර සමාගම්වලට බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා
පවසනවා.

කෑගල්ල නගර ශාලාවේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු පැවසුවේ වර්තමාන ආණ්ඩුව මේ වන විටත් අසමත් වී ඇති බවයි.

******************************************

(11.03.2021 – 15:06 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර කාන්තා දිනයේදී සිදුකරන ලද උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරීන්ගෙන් එල්ල වූ බලපෑම සම්බන්ධයෙන් ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ සිය විරෝධය පළ කරනවා.

එම බලපෑම් සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් පොලිස් කොමිසමට පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා.

විදෙස්ගත ශ්‍රමික කාන්තාවන් කඩිනමින් මෙරටට ගෙන්වන ලෙස බල කරමින් ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය’ කොළඹදී විරෝධතා පාගමනක් සංවිධානය කර තිබුණේ පසුගිය 8 වැනිදා පැවති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීවයි.

එම විරෝධතාවය සඳහා පොලිසිය විසින් ඉඩ ලබා නොදීමත් සමඟ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා විරෝධාතාකරුවන් චෝදනා කළේ විරෝධතාවය සඳහා එක් වූ කාන්තාවන් හට පොලිස් නිලධාරීන්ගෙන් විවිධ අඩන්තේට්ටම් සිදු වූ බවයි.

ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් භාර දෙමින් ‘නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ’ සාමාජිකයින් කියා සිටියේ කාන්තාවන්ට සිදුවන මෙම හිංසනය වැළක්වීමට වහාම පියවර ගත යුතු බවයි.

******************************************

(11.03.2021 – 15:10 +0530 – hirunews.lk/sinhala)

තමන් බැලීමට පැමිණි අමුත්තෙකු සමඟ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමේ වරදට, මේ වන විට බන්ධානාගාර ගතව සිටින රන්ජන් රාමනායක අද (11) අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ විනය ශාලාවට කැඳවා තිබෙනවා.

ඒ බන්ධනාගාර අඥා පනතේ 78 වැනි වගන්තියට අනුකූලවයි.

එහිදී, රන්ජන් රාමනායක සෙල්ෆි ඡායාරූපයක් ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගෙන තිබෙනවා.

ඒ අනුව, බන්ධානාගර අඥා පනතේ 78 වන වගන්තිය ප්‍රකාරව, රන්ජන් රාමනායකට සති දෙකක (2) කාලයක් අමුත්තන් මුණ ගැසීම තහනම් කර තිබෙනවා.

එමෙන්ම බන්ධනාගාරය මගින් රන්ජන් රාමනායකට සපයා ඇති දුරකථන පහසුකම් ද සති දෙකක (2) කාලයක් සඳහා අත්හිටුවා තිබෙනවා.

@@@@@@@@@@@@@@@

(11.03.2021 – 11:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමත් සමඟ ගාල්ල – උඩුගම ඩිපෝව මේ වන විට තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඊයේ (10) උඩුගම ඩිපෝවෙන් නව කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ ඉන් හදුනා ගත් මුළු රෝගීන් සංඛ්‍යාව 17 ක්.

එමෙන්ම, මන්නාරම ප්‍රධාන මාළු වෙළඳපොළ ආශ්‍රිතව ද වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආර්. විනෝදන් මහතා ප්‍රකාශ කළේ පසුගිය දින දෙකේ (2) දී එම මාළු වෙළදපොළෙන් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු සහ ආශ්‍රිතයින් 5 දෙනෙකු වාර්තා වූ බවයි ෴

+++++++++++++++++++

(11.03.2021 – 12:55 +0530 – hirunews.lk/sinhala)

මෙරට පළමු කොරෝනා ආසාදිතයා වාර්තා වී අදට (11) වසරක් ගත වනවා.

එලෙස ආසාදිත බවට හඳුනා ගැනුණේ සංචාරක මඟ පෙන්වන්නෙකු වූ මත්තේගොඩ ප්‍රදේශයේ පදිංචි ජයන්ත රණසිංහ මහතායි.

පසුගිය වසරේ මාර්තු මස 4 වන දා ඔහුට කොවිඩ් රෝග ලක්ෂණ මතුව තිබූ අතර පසුව ඔහු ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනුණේ පසුගිය වසරේ මාර්තු 11 වන දායි.

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වසංගතයක් ලෙස ප්‍රකාශයට පත් කර අදට වසරක් සම්පූර්ණ වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙය වසංගතයක් ලෙස නම් කරනු ලැබුවේ ආසාදිතයින් 1,21,500 ක් වාර්තා වී මෙන් පසුවයි.

මේ වනවිට ලොවපුරා ආසාදිතයින් 11,86,38,190 ක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 26,32,074 ක්.

එමෙන්ම, ඊයේ (10) වාර්තා වූ ආසාදිතයින් 340 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිස හඳුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

ඒ, ආසාදිතයින් 62 ක් ලෙසයි.

ඊට අමතරව යාපනයෙන් ආසාදිතයින් 39 දෙනෙකු සහ කොළඹින් ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමත් සමඟ ගාල්ල – උඩුගම ඩිපෝව තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඊයේ (10) උඩුගම ඩිපෝවෙන් නව කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තාවීමත් සමඟ ඉන් හදුනා ගත් මුළු රෝගීන් සංඛ්‍යාව 17 ක්.

එමෙන්ම, මන්නාරම ප්‍රධාන මාළු වෙළඳපොළ ආශ්‍රිතව ද වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආර්. විනෝදන් මහතා ප්‍රකාශ කළේ පසුගිය දින දෙකේ (2) දී එම මාළු වෙළදපොළෙන් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු සහ ආශ්‍රිතයින් 5 දෙනෙකු වාර්තා වූ බවයි.

මේ අතර, කොග්ගල නිදහස් වෙළද කලාපයේ කොරෝනා ආසාදිතයින් 192 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

++++++++++++++++

(11.03.2021 – 14:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ මහනගර සභා බලප්‍රදේශයේ ජනතාවට කොවිඩ් එන්නත ලබාදීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්වී තිබෙනවා.

නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේ 1200 ක පිරිසකට කොවිෂීල්ඩ් එන්නත ලබාදීම අද (11) පෙරවරුවේ සිදුකෙරුණා.

එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරුණු බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ෴

++++++++++++++++

(11.03.2021 – 15:21 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතවූවන් 351 දෙනෙකු අද (11) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 83,561 ක්. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 86,685 ක් වන අතර තවදුරටත් පුද්ගලයින් 2609 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *