හිස සුන් තරුණියගේ මළ සිරුරේ DNA පරීක්ෂණයේ වාර්තාව එළියට

හිස සුන් තරුණියගේ මළ සිරුරේ DNA පරීක්ෂණයේ වාර්තාව එළියට

*********************************************

හිස සුන් තරුණියගේ මළ සිරුරේ DNA පරීක්ෂණයේ වාර්තාව එළියට

(09.03.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාර්තු පළමුවනදා ගමන් බෑගයක දමා වේල්ලවීදියට ගෙනවිත් දමා තිබියදී හමුවූ හිස සුන් තරුණියකගේ මළ සිරුරේ DNA සාම්පල, ඇයගේ මවගෙන් සහ සහෝදරයාගෙන් ලබාගත් DNA සාම්පල සමඟ ගැලපෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

රජයේ අතිරේක රස පරීක්ෂක D.H.L.W. ජයමාන්න මහතා විසින් එම වාර්තාව නිකුත්කර ඇති එම වාර්තාවේ දැක්වෙන්නේ මෙම තරුණියගෙන් ලබාගත් DNA සාම්පල ඇයගේ මවගේ සහ සහෝදරයාගේ DNA සාම්පල සමඟ ගැලපෙන බවයි.

ඒ අනුව මේ වනවිට අදාල කවන්ධයේ අනන්‍යයතාව ජීව විද්‍යාත්මකව තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර තරුණියක ඝාතනය කළ උප පොලිස් පරීක්ෂකවරයා පිටෙහි එල්ලා ගෙන සිටි බවට සැක කෙරෙන බෑගය පුළුස්සා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේදී අදාළ බෑගය පුළුස්සා ඇති බවටයි.

බෑගයට අමතරව උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ සිට නිවසට පැමිණි අවස්ථාවේ හැද සිටි ටී-ෂර්ටය ද පුළුස්සා ඇති බවට මීට පෙර අනාවරණ වී තිබුණා.

කෙසේ වෙතත්, ඝාතනය කරන ලද තරුණියගේ හිස කොටස තවමත් සොයා ගැනීමට හැකි වී නැහැ.

එමෙන්ම, ඉදිරි දින කිහිපය තුළ දී ද උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සදහන් කළේ.

++++++++++++++++

වේල්ලවීදියෙන් හමුවූ තරුණියගේ මළසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එළියට

(09.03.2021 – 15:49 +0530 – hirunews.lk/sinhala)

වේල්ලවීදියෙන් සිරුර සොයාගත් තරුණිය ඝාතනය කිරීමෙන් පසු, හිස වෙන් කර ඇති බව හෙළිවේ.

පසුගිය 1 වනදා කොළඹ – වේල්ලවීදියේ බෑගයකින් සිරුර සොයා ගත් තරුණියගේ හිස සිරුරෙන් වෙන් කර ඇත්තේ ඇය ඝාතනය කිරීමෙන් පසුව බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පොලිස් මූලස්ථානයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඇයගේ මරණය සිදුව ඇත්තේ අවසන් වරට ආහාර ගෙන පැය දෙකත් (2), 3 ත් අතර කාලයකදී බවයි.

බුත්තල උප පොලිස් පරීක්ෂකවරයා අතින් ඝාතනයට ලක්වූ මෙම තරුණියගේ මවගේ සහ සහෝදරයාගේ ඩී.එන්.ඒ පරීක්ෂණවලින් ඇයගේ අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් අනතුරුවයි මෙලෙස අද (09) සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවේ ෴

***************************************

(09.03.2021 – 09:22 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය කලපුවේ – සෝමතිව් දූපතෙහි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 107 යි ග්‍රෑම් 25 ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබෙනවා.

මෙම කේරළ ගංජා තොගය එම දූපතෙහි අතහැර දමන තෙප්පමක් තුළ සූක්ෂම සඟවා තිබියදී සොයා ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකෙරෙන අතර, මේ වන තෙක් කිසිදු සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ ෴

***************************************

(09.03.2021 – 09:33 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම – සෙරක්කුලිය වෙරළ තීරයේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට ගෙන ආ වියළි කහ කිලෝග්‍රෑම් 670 ක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු (3) නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මොවුන් වයස අවුරුදු 37 ත්, 25 ත් අතර වයසේ පසුවන කල්පිටිය සහ පල්ලිවාසල්තුරෙයි ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

***************************************

(09.03.2021 – 09:49 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල ක්‍රියාත්මක අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී වෙනත් විභාග අපේක්ෂකයින් වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයින් තිදෙනෙකු (3) මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

මෙලෙස ඊයේ (08) දිනයේදී ද අනුරාධපුර, හිදොගම පොලිසිය විසින් කළුවිල විභාග මධ්‍යස්ථානයේ දී ගණිත ප්‍රශ්න පත්‍රය සඳහා විභාග අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි වෙනත් අයෙකු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා තිස්සමහාරාම, වීරවිල ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක් බවයි වාර්තා වන්නේ.

ඔහු සිය ඥාතියෙකු වෙනුවෙන් මෙලෙස ඊයේ (08) පැවති ගණිතය ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිට තිබෙනවා.

අදාළ විභාග මධ්‍යස්ථානාධිපතිට ලද තොරතුරක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

(09.03.2021 – 10:26 +0530 – hirunews.lk/sinhala)

නිකවැව දෙස සිට ගලෙන්බිඳුණුවැව දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් එහි රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගලෙන්බිඳුනුවැව පොලිසිය සඳහන් කළේ අනතුරට ලක් වූ වෑන් රථයේ සිටි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඊයේ (08) මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මිහින්තලය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම්හලක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කළ වෑන් රථයක්.

අනතුරෙන් මියගොස් ඇත්තේ දුටුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි දෙදරු මවක් වන අතර අනතුරෙන් කාන්තාවගේ හිස කදින් වෙන්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියට අදාළ වැන් රථයේ රියදුරු ගලෙන්බිදුණුවැව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

(09.03.2021 – 10:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අදානි සමාගම සමඟ සාකච්ඡා ආරම්භ කළේ එය ඉන්දීය රජයේ නම් කිරීමක් ලෙස සලකා බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා ප්‍රකාශ කළා.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (09) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව විසින් අදානි සමූහය නම් කර තිබූ බවයි.

කෙසේ නමුත්, වෘත්තීය සමිති විරෝධතා මැද නැගෙනහිර පර්යන්තය විදේශ සමාගමක් සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ ප්‍රයත්නය රජය විසින් අත්හැර දමනු ලැබුවා.

බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට සැලසුම් කිරීමේදී අදානි සමූහය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීමට ලක් රජය කටයුතු කළා.

ඒ, අදානි සමූහය ඉන්දීය රජයේ නම් කිරීමක් යන මතයේ පිහිටා බවයි අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය සමාගමක් එක්ව සිටින්නේ තම රජයේ සම්බන්ධයකින් තොරව බවට ඉන්දීය විදේශ අමාත්‍යාංශය පසුගිය දා ප්‍රකාශ කළා.

හින්දු මාධ්‍යවේදිනිය විමසා සිටියේ කලාපයේ තවත් වරාය කිහිපයක් පවත්වාගෙන යන අදානි සමූහයට බටහිර පර්යන්තයේ බහුතර කොටස් ලබාදීම බැඳියා පිළිගැටුමකට (Conflict) මුල් නොවන්නේ ද යන්නයි.

එහිදී අමාත්‍ය ගම්මන්පිළ කියා සිටියේ බටහිර පර්යන්තය, නැගෙනහිර පර්යන්තය තරම් ක්‍රමෝපාය වැදගත්කමකින් යුක්ත නොවන බවයි.

බටහිර පර්යන්තය සහ නැගෙනහිර පර්යන්තය කොළඹ වරායේ අන්ත දෙකක (2) පර්යන්තයන් බැවින් ඒවායේ වැදගත්කම වෙනස් වන්නේ කෙසේ දැයි හින්දු මාධ්‍යවේදිනිය මෙහිදී විමසා සිටියා.

එහිදී අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා කියා සිටියේ නැගෙනහිර පර්යන්තයට ඉන්දියානු සහ බංග්ලාදේශ කුඩා නෞකා පැමිණෙන ගැඹුරෙන් අඩු පැරණි වරාය මෙන්ම බහාලුම් නෞකා පැමිණෙන ගැඹුරු වරාය ද අයත් වන බවයි.

මේ නිසා ගොඩබාන බහාලුම් කුඩා නැව්වලට පැටවීමේ මෙහෙයුම් සිදුකළ හැකි එකම පර්යන්තය නැගෙනහිර පර්යන්තය බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ ෴

***************************************

(09.03.2021 – 10:40 +0530 – hirunews.lk/sinhala)

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත මේ වසරේ ජනප්‍රිය සහ ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා නිකුත් කර තිබූ කඩඉම් ලකුණු මත ළමයින් පාසල්වලට ඇතුළත් කර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.

එහි ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මීට අදාළ චක්‍ර ලේඛය මීට දින කිහිපයකට පෙර විදුහල්පතිවරුන් වෙත යොමු කළ බවයි.

2020 වසරේ ඔක්තොම්බර් මස 11 වනදා පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල එම වසරේ නොවැම්බර් මස 15 වනදා නිකුත් කෙරුණු අතර ඒ සමඟ එහි සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු ද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වන සිසුන් ජනප්‍රිය සහ ජාතික පාසල් වලට ඇතුළත් කර ගන්නා ලකුණු සීමාවන් නිකුත් කරනු ලැබුවේ මේ වසරේ ජනවාරි මස 15 වනදායි.

පසුව දෙමාපියන් පිරිසක් විරෝධතා පවත්වමින් කියා සිටියේ ජනප්‍රිය සහ ජාතික පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා නිකුත් කර ඇති කඩඉම් ලකුණු අසාධාරණ බවයි.

පෙර වසරවල් සමඟ සැසදීමේදී මෙවර ජනප්‍රිය පාසල්වලට ඇළත් කර ගන්නා ලකුණු සිමාවන් ඉතා ඉහල මට්ටමක ඇති බව ඔවුන් පෙන්වා දුන්නා.

පසුව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ මෙම ගැටළුව සම්බන්ධයෙන් මසක් ඇතුළත විසදුමක් ලබාදෙන බවත් එතෙක් මෙම ලකුණු මත ළමයින් ඇතුළත් කර ගැනීම තාවකාලිකව නතර කරන බවයි.

කෙසේ වෙතත්, ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදුකළ අධ්‍යයන වාර්තාවක් ජනාධිපති කාර්යාලය වෙත ලබාදීමට කටයුතු කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා කියා සිටියා.

මේ අතර ජනප්‍රිය පාසල්වල 6 ශ්‍රේණියේ ඇති පුරප්පාඩු මත පදනම්ව 05 වසර සමත් සිසුන්ගේ කඩඉම් ලකුණු තීරණය කිරීමට අධ්‍යාපන බලධාරීන්ට නියෝග කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඊයේ (08) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කෙරුණා.

ඒ, පසුගිය වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් 10 දෙනෙකුගේ දෙමව්පියන් පිරිසක් විසින්.

***************************************

(09.03.2021 – 10:56 +0530 – hirunews.lk/sinhala)

කිසියම් පිරිසක් තමන්ව පැහැරගෙන ගොස් හිරිහැරවලට ලක්කළ බවට අසත්‍ය ප්‍රකාශ සිදුකළ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස්ට කොළඹ මහාධිකරණය හමුවේ අද (09) අධිචෝදනා භාර දෙනු ලැබුවා.

කොළඹ මහාධිකරණ විනිසුරුවරයා හමුවේ නඩුව කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනු කළ අධිචෝදනා විත්තිකාරියට භාර දුන් අතර අනතුරුව ඇය ඇප මත මුදා හැරීමටයි පියවර ගනු ලැබුවේ.

2019 වසරේ නොවැම්බර් මස 25 වනදා මෙම කාන්තාව කුරුඳුවත්ත ප්‍රදේශයේදී සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි පස්දෙනෙකු විසින් පැහැරගෙන ගිය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු ලැබුවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරීන් විසින්.

පැහැරගෙන ගොස් ලිංගික අතවර කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරික්ෂකවරයෙකු වන නිශාන්ත සිල්වාට වීසා ලබාදීම පිළිබඳව ප්‍රශ්න කර පසුව මුදාහැරි බවයි පැමිණිල්ලෙන් දක්වා තිබුණේ ෴

***************************************

(09.03.2021 – 12:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොලිසියේ නවීකරණ කටයුතු මෙහෙයවීම සහ ක්‍රියාවට නැංවීම සඳහා ව්‍යාපෘතික් සැලසුම් කිරීම සඳහා මෙහෙයුම් කමිටුවක් පත් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

දැනට අනුගමනයකරන සම්ප්‍රදායික ක්‍රමවේද වෙනස් කරමින් ශ්‍රී ලංකා පොලිසිය නව්‍යකරණය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනීමෙත් සමඟයි මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත්කර ඇත්තේ.

ඒ අනුව රථවාහන හැසිරවීමේ ක්‍රියාවලිය ඵලදායි සහ කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති අතර නාගරික ප්‍රදේශවල පවත්නා මාර්ග තදබදය අවම කරගැනීමට ඩිජිටල්කරණ විසඳුම් හඳුන්වාදීම මඟින් පොලිස් රථවාහන සහ මාර්ග ආරක්ෂක කොට්ඨාශයේ කටයුතු කාර්යක්ෂම කිරීම කෙරෙහි ප්‍රමුඛතාව ලබාදීමට ද මෙහි අවදානයට යොමුව තිබෙනවා ෴

***************************************

(09.03.2021 – 12:30 +0530 – hirunews.lk/sinhala)

ජාත්‍යන්තර මුහුදු සීමාව තුළ බලපත්‍ර නොමැතිව, නීති විරෝධීව ධීවර මෙහෙයුම් කටයුතුවල නිරතව සිටි බව කියන ශ්‍රී ලාංකික බහුදින ධීවර යාත්‍රා 18 ක් හඳුනාගෙන තිබෙනවා.

ජාත්‍යන්තර මුහුදු සීමාව උල්ලංඝනය කරමින් බලපත්‍ර නොමැතිව ධීවර මෙහෙයුම් කටයුතු වල නිරතවන බවට ලද තොරතුරක් මත ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ කණ්ඩායමක් මඟින් පසුගිය වසරේ දෙසැම්බර් 28 සිට මේ වසරේ මාර්තු 08 වන දින දක්වා සිදුකළ විමර්ශනයකදීයි මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ.

එහිදී බහුදින ධීවර යාත්‍රා 18 ක් හඳුනාගෙන ඇති අතර එම සියලුම යාත්‍රා වැලිගම, මිරිස්ස ප්‍රදේශයට අයත් බවටයි තොරතුරු අනාවරණය වි ඇත්තේ.

ධීවර දෙපාර්තමේන්තුවේ මිරිස්ස ධීවර පරීක්ෂක කාර්යාලය පැවසුවේ එම යාත්‍රාවල නිරත ධීවරයන් පිරිසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි ෴

***************************************

(09.03.2021 – 13:29 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ පසුගියදා සිදුකළ අනාවරණයෙන් පසුව ජා ඇළ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ කටයුතු වහා ක්‍රමවත් කිරීමට පියවර ගත් බව කම්කරු කොමසාරිස් ජනාරල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.

එම කාර්යාලයේ වැඩකටයුතු පිළිබද සොයාබැලීමට පැමිණි අවස්ථාවේ ඒ මහතා මේ බව සඳහන් කළා.

සේවක අර්ථසාධක අරමුදල් සම්බන්ධ ගැටලු සදහා ජා ඇළ දිස්ත්‍රික් කම්කරු කාර්යාලය වෙත පැමිණෙන ජනතාව එහි නිසි වැඩපිළිවෙළක් නොමැතිකමින් දැඩි අපහසුතාවයට පත්වන බව ‘හිරු CIA’ හරහා අප පසුගිය 5 වැනිදා හෙළිකළා.

මෙහි වැඩකටයුතු සම්බන්ධයෙන් විමසීමේදී එහි නිලධාරීන් ප්‍රකාශකර සිටියේ කුලී පදනම මත ලබාගෙන ඇති මෙම ගොඩනැගිල්ලේ සිදුවන නිරන්තර විදුලි බිඳ වැටීම්ද සේවා සැපයීමේදී දැඩි බාධාවක්ව පවතින බවයි.

***************************************

(09.03.2021 – 13:33 +0530 – hirunews.lk/sinhala)

‘ග්ලෝකෝමාව’ පුද්ගලයෙකු සදාකාලික අන්ධභාවයට පත්කළ හැකි ප්‍රධානතම රෝගී තත්ත්වයක්.

මෙරට අන්ධ භාවයට තුඩු දෙන හේතු අතරින් සියයට 2 ක් ම ග්ලෝකෝමා බව හඳුනාගෙන තිබෙනවා.

සෑම වසරකම මාර්තු මස 12 වැනි දිනට යෙදී ඇති ලෝක ග්ලෝකෝමා දිනයට සමගාමීව ග්ලෝකෝමා සතියක් ප්‍රකාශයට පත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

‘ලෝකය දීප්තිමත්ය, ඔබේ පෙනුම සුරකින්න’ යන්න මෙවර ග්ලෝකෝමා සතියේ තේමාවයි.

ග්ලෝකෝමාව මගින් සිදුවන්නේ ක්‍රමයෙන් දෘෂ්ඨික ස්නායුවට හානි සිදුවීමයි. අපි දකින දේ නිවැරදිව හඳුනා ගැනීම සඳහා ඇසේ සිට මොළයට සන්නිවේදනය ලබා දෙන්නේ දෘෂ්ටික ස්නායුව මගිනුයි.

ඒ අනුව දෘෂ්ටික ස්නායුවට හානි වීමෙන් දෙනෙත්වල පෙනුම නැතිවී යාමේ ඉහළ අවදානමක් පවතිනවා.

ලොව පුරා මිලියන 80 ක් පමණ පිරිසක් මේ රෝගයට ගොදුරු වී සිටින අතර අන්ධ භාවයට පත්වන හේතූන් අතර දෙවන (2) සාධකය ලෙසයි මෙම රෝගී තත්ත්වය හඳුනාගෙන ඇත්තේ.

මීට අමතරව දියවැඩියාව, අධික රුධිර පිඩනය හා හෘද රෝග වැනි බෝනොවන රෝගවලින් පෙලීම, ඇසට අනතුරක් සිදුවිම සහ කුඩා කළ සිට බරෙන් අධික වූ කන්නාඩි පළදින අය ද මෙම රෝගයට ගොදුරුවීමේ අවදානමක් ඇති පිරිස ලෙස හඳුනා ගෙන තිබෙනවා.

කෙසේවෙතත්, ග්ලෝකෝමා තත්ත්වය මුල් අවධියේම හඳුනා ගෙන නිසි ප්‍රතිකාර ලබා ගැනිමෙන් එය සුව කළ හැකියි බවත් වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

@@@@@@@@@@@@@@@

(09.03.2021 – 11:28 +0530 – hirunews.lk/sinhala)

රජයේ රෝහල්වල සායනික රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ එම රෝගීන්ගේ නිවෙස් වෙත ලබාදීමේ කටයුතු වලින් තැපැල් දෙපාර්තමේන්තුව ඊයේ (08) දින සිට ඉවත්ව ඇති බව දැනුම් දෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් රට අඟුළුදමා තිබූ තත්ත්වයක් යටතේ රජයේ රෝහල්වලින් සායනික ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ ඖෂධ එම රෝගීන්ගේ නිවෙස් වෙතටම ගෙනවිත් දීම සඳහා ශ්‍රී ලංකා තැපැල් සේවය සමඟ ඒකාබද්ධව වැඩපිළිවෙලක් ආරම්භ කළා.

එහි දෙවන අදියර 2020 වසරේ නොවැම්බර් 05 වන දින සිට ආරම්භ කරනු ලැබුවා ෴

+++++++++++++++++

(09.03.2021 – 12:59 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ පාසල්වල සෙසු ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන අප්‍රේල් මස 19 වන දා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (09) ප්‍රකාශ කළා.

බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 යන ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා (15) ආරම්භ කිරීමටයි තීරණය කර ඇත්තේ.

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *