ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද (08) ජිනීවා වල ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද (08) ජිනීවා වල ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත

*********************************************

ශ්‍රී ලංකාව ගැන සංශෝධිත යෝජනාව අද (08) ජිනීවා වල ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත

(08.03.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධානය සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායමේ සංශෝධිත යෝජනාව ජගත් මානව හිමිකම් කවුන්සිලයට අද (08) දිනයේ ඉදිරිපත් කෙරෙනවා.

මෙරට ප්‍රතිසංවිධානය සහ සංහිඳියාව සම්බන්ධයෙන් එක්සත් රාජධානිය ප්‍රමුඛ මූලික කණ්ඩායම ජගත් මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් මීට පෙර ඉදිරිපත් කළ අතර, එහි සංශෝධිත යෝජනාවකුයි මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලෙට් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන සිය වාර්ෂික වාර්තාව පසුගිය මස 24 වනදා එම කවුන්සිලයට ඉදිරිපත් කර තිබුණා. විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම වාර්තාවට ලක් රජයේ අප්‍රසාදය පළ කළේ ඉන් පසුවයි.

මේ අතර, හිටපු උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළේ අදාළ සංශෝධිත යෝජනාව පිළිබදව තමන් සෑහීමකට පත් නොවන බවයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසි වාරය ජිනිවා හිදී පසුගිය 22 වන දා ආරම්භ වූ අතර, එය ලබන මස 23 වන දායින් අවසන්වීමට නියමිතයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේයි මෙම සැසි වාරය පැවැත්වෙන්නේ.

මානව හිමිකම් කවුන්සිලයේ අන්තර් ක්‍රියාකාරී සංවාදය පසුගිය 25 වන දා ආරම්භ වූ අතර, එහිදී රටවල් 21 ක් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පක්ෂපාතී ස්ථාවරයක් අනුගමනය කළා. චීනය, පාකිස්ථානය, ඉරානය, සිරියාව සහ රුසියාව ද ඒ අතර වනවා ෴

***************************************

(08.03.2021 – 08:09 +0530 – hirunews.lk/sinhala)

විදෙස් රටවලට අපනයනය කරන තේ වල කීර්ති නාමයට හානි වන අයුරින් කසල තේ විදෙස්ගත කරන ජාවාරමක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ වී තිබෙනවා.

සිද්ධියට අදාළව ප්‍රධාන වශයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයා මේ වන විට අධිකරණය මඟහරිමින් සිටින බවටයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත්, ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනෙකු මේ මස 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අතර වාප්පු ලිපිකරුවන් දෙදෙනෙකු (2) ද සිටින බවටයි රේගුවේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

මිරිස් කුඩු සහ හාල්පිටි අපනයන කරන මුවාවෙන් විදෙස් රටවලට මෙලෙස කසල තේ අපනයන කර ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එලෙස කසල තේ කිලෝග්‍රෑම් 70,000 ක් අඩංගු බහාලුම් 4 ක් ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමත් සමඟයි මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මෙරට තේ සඳහා කීර්ති නාමයට හානි කර අයුරින් කසල තේ අපනයනය කළහොත් මෙරටට දැඩි පාඩුවක් සිදුවිය හැකි බව ද රේගුව පවසනවා.

මීට පෙර ද කසල තේ අඩංගු කන්ටේනර් 160 ක් ඉරාකය වෙත අපනයනය කර තිබුණා.

ඊට අදාළව ද ප්‍රධාන සැකකරු වන්නේ දැනට චෝදනා එල්ල වී සිටින පුද්ගලයායි.

අවස්ථා ගණනාවකදී අධිකරණයට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණ ද වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ඒවා මගහරින බවටයි රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ෴

***************************************

(08.03.2021 – 08:33 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළව 32 නෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට අදාළ ලිපිගොනු නීතිපතිවරයා වෙත යොමු කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළා.

මාතර, වැලිගම ප්‍රදේශයේ ඊයේ (07) පැවති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ මනුෂ්‍ය ඝාතන හා කුමන්ත්‍රණ කිරීමේ චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇති බවයි.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්නැයි ඉල්ලා කතෝලික සභාව දිවයින පුරා දේවස්ථානවල ඊයේ (07) කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කර තිබුණා.

කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා ෴

***************************************

(08.03.2021 – 08:36 +0530 – hirunews.lk/sinhala)

ලෙබනනයේ රැකියා සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමට නොහැකිවීමෙන් ගැටළුකාරී තත්ත්වයක් මතු වී තිබෙනවා.

ඒ, ඩොලරයේ වටිනාකම ඉහළ යෑමත් සමඟ හිඟයක් මතුවීම හේතුවෙන්.

දැනට ලෙබනනයෙහි ශ්‍රී ලාංකිකයින් 30,000 කට වැඩි පිරිසක් සිටිනවා ෴

***************************************

(08.03.2021 – 08:39 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වාර්ෂිකව පිරිනමන මෙම වසරේ ජාත්‍යන්තර දිරිය කාන්තාවන් 14 දෙනාගේ ලැයිස්තුවට ශ්‍රී ලාංකික නීතීඥවරියක සහ සිවිල් ක්‍රියාකාරිනියක වන රනීතා ඥාණරාජා ඇතුළත් කර තිබෙනවා.

ඊට අදාළ සම්මාන ප්‍රදානෝත්සවය අද එරට වේලාවෙන් පෙරවරු 10 ට වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට නියමිතයි.

ඒ, ඇමරිකානු ජනාධිපති ආර්යා ආචාර්ය ජිල් බයිඩ්න් සහ රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවට අමතරව බෙලරුසය, බුරුමය, කැමරුන්, චීනය, කොළොම්බියාව, කොංගෝ, ග්වාතමාලාව, ඉරානය, නේපාලය, සෝමාලියාව, ස්පාඤ්ඤය, තුර්කිය සහ වෙනිසියුලාව නියෝජනය කරමින් දිරිය කාන්තාවන් ඇඟයීමට ලක්කෙරෙනු ඇති ෴

***************************************

(07.03.2021 – 18:19 +0530 – sinhala.adaderana.lk)

මහියංගනය පඟරගම්මන නගරයට ඊයේ (06) දහවල් වන අලියෙක් පැමිණීමෙන් ජනතාව කලබලයට පත්වී තිබුණි.

ඒ හේතුවෙන් වන අලියාද කලබලයට පත්ව ඇත.

වන අලියා නගරයට පැමිණි අවස්ථාව CCTV කැමරාවක සටහන්ව තිබුණි.

නගරයේ පිරිස් ආගමික කටයුතුවල නිරත වී සිටියදී වන අලියා එලෙස නගරයට පැමිණ ඇති අතර වන අලියා නගරය පුරා සැරිසරමින් ආහාර සොයා තිබේ.

වීඩියෝව පහතින් :

***************************************

(08.03.2021 – 06:32 +0530 – lankaleadnews.com)

පාස්කු බෝම්බ ප්‍රහාර වාර්තාව ගැන මාධ්‍යවේදීන් කළ විමසීමකදී මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසා සිටියේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වරදකරුවෙකු විය යුතු යයි යන මතය තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ හිටපු ජනාධිපතිවරයා තම වගකීම් පැහැරහැරීම පිළිබඳව චෝදනාවක් එල්ල විය හැකි නමුත් ඔහු වරදකරුවෙක් යැයි යන චෝදනාව එල්ල කිරීම කළ නොහැකි බවත් එවකට පැවති ආණ්ඩුවේ අර්බුදකාරී තත්ත්වය මත ජනාධිපතිවරයාට තම තනතුර රැකගැනීම පවා ගැටලුවක් වී තිබුණු බවත්ය.

***************************************

වයඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් දුර්ලභ ජලජ පැළෑටියක් සොයා ගනිති

(06.03.2021 – mawbima.lk)

වයඹ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් දුර්ලභ ජලජ පැළෑටි විශේෂයක් සොයා ගැනීමට සමත් වී තිබේ.

එම නව පැළෑටි විශේෂය Lagenandra wayambae යනුවෙන් නම් කර ඇත.

බුලත්සිංහල, වතුරණ, වලව්වත්ත ප්‍රදේශයේ පිහිටි මිරිදිය වගුරු බිමක තිබී මෙම පැළෑටිය සොයාගෙන ඇතැයි වයඹ විශ්වවිද්‍යාලය පවසයි.

මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ, වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම සහ වැවිලි කළමනාකරණ අධ්‍යයන පීඨයේ පර්යේෂකයින් පිරිසකි.

මහාචාර්ය කපිල යකන්දාවල, ඉන්ද්‍රඛීල මාදොලගේ ප්‍රධානත්වයෙන් මහාචාර්ය දීප්ති යකන්දාවල සහ ආචාර්ය සේනානි කරුණාරත්න යන පර්යේෂණ කණ්ඩායම මෙම සොයා ගැනීම සිදු කර තිබේ.

මෙම ශාකයේ ඡායාරූප පහත දැක්වේ :

***************************************

වේල්ල වීදියේ කාන්තා මළ සිරුර : SI ගේ නිවසට යාබද වත්තේ තිබී තවත් හෝඩුවාවක් හමු වෙයි

(08.03.2021 – mawbima.lk)

කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී සොයා ගත් කාන්තා මළ සිරුරේ හිස සෙවීම සඳහා සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා පදිංචිව සිටි බඩල්කුඹුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස සහ ඒ අවට ද සෝදිසි මෙහෙයුමක් පසුගිය දා ආරම්භ කෙරිණි.

ඒ අනුව, ඇගේ හිස සහිත කොටස බෑගයක දමා බඩල්කුඹුර සිය නිවෙසට රැගෙන ගොස් ඇති බවට මතුවූ සැකයක් මත ඔහු පදිංචි නිවසට යාබද වත්ත සෝදිසි කිරීමේදී හමුවූ ‘ලේ බින්දු’ ඝාතනයට ලක් වුණු තරුණියගේ දැයි සැකකරන පොලිසිය එය තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන ඇත.

එම ලේ බින්දු මියගිය තරුණියගේ සිරුරෙන් ලබාගෙන ඇති ලේත් සමග සැසඳුණහොත් සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා ඇගේ හිස කොටස සිය නිවසට ගෙනැවිත් ඇති බවට තහවුරු වන බව වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරුආරච්චි මහතා ‘මව්බිම’ ට පැවසීය.

වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරුආරච්චි, ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානාධිපති අජිත් මෙත්තානන්ද, වේල්ලවීදිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අත්තනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන ඇරැඹීම සඳහා ඉකුත් දා බඩල්කුඹුර බලා පිටත්ව ගියහ.

ඒ, මරාදැමුණු තරුණියගේ හිස කොටස මියගිය පොලිස් පරීක්ෂකවරයා විසින් බෑගයක දමාගෙන සිය නිවෙසට ගෙන ගොස් ඇති බවට ලැබුණු තොරතුරු අනුව විමර්ශනයක් ඇරැඹීම සඳහා ය.

මෙලෙස බඩල්කුඹුරට ගිය මෙම කණ්ඩායම උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට හා ඔහුට අයත් වත්ත ද පරීක්ෂා කරන්නට වූහ.

“මේ පොලිසියේ නිලධාරියාගේ ඉඩමේ උඩ කොටස එයා පුතාට ලියලා දීල තියෙන්නේ. ඒකේ ඒ පුතා ගෙයක් හදනවා. එක ම ඉඩම වුණත් දෙන්නගේ ඉඩම වෙන්වෙන්න වැටක් ගහලා තියෙනවා. ඒ වෙන්වෙන තැනක තියෙනවා කෙසෙල් පඳුරක්. ඒ පඳුරේ තියෙන එක කෙසෙල් ගහක් යට පරණ පොල්අතු වගයක් දමලා තියෙනවා. ඒවායේ එක් පොල් අත්තක මුල කොටසේ ලේ බින්දු හය – හතක් තියෙනවා. එතැන ලේ තියෙන්න විධියක් නැහැ.

අපි තවදුරටත් ස්ථානය නිරීක්ෂණය කරද්දී පෙනුණා ලේ තියෙන තැන තණකොළ තැළිලා වගේත් තියෙනවා. අපි හිතන්නේ එතැන බර දෙයක් තියලා තියෙනවා. සමහරවිට ඝාතනයට ලක් වුණු කාන්තාවගේ හිස දාගෙන ආව බෑග් එක එතන තියලා පස්සේ අරගෙන ගියාද දන්නේ නැහැ. ඒ හින්දා අපි ලේ බින්දු ඩී.එන්.ඒ. එකකට දානවා ඒක අර කාන්තාවගේ ද කියා ස්ථීරව ම දැනගන්න.”

ප්‍රධාන පොලිස් පරීක්ෂක පේදුරුආරච්චි මහතා එසේ සඳහන් කළේ ය.

ඔහු තවදුරටත් කියා සිටියේ මියගිය උපපොලිස් පරීක්ෂකවරයා තරුණියගේ ගෙල සහිත කොටස බිරියට පෙන්වීමට හෝ සැඟවීමට හෝ සිය නිවෙසට ගෙන ආවේ ද යැයි දැන ගැනීමට ඔහුගේ බිරියගෙන් හා පුතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව ය.

මේ අතර, ඝාතනයට ලක් වුණු කාන්තාවගේ හිස සුන් මළකඳ වේල්ලවීදියේ තබා මොණරාගල බලා යන බසයක ගොස් බුත්තලින් බැසගත් මෙම උප පොලිස් පරීක්ෂකවරයා සිය නිවසට පැමිණ ඇත්තේ ඥාති තරුණයෙකු සමගිනි. ඒ ඔහුගේ යතුරුපැදියේ වේ. නිලධාරීන් ඔහු ඇතුළු තවත් කිහිපදෙනකුගෙන් ද ප්‍රශ්න කළේය.

ඒත් තවමත් හිස සොයා ගැනීමට හැකිවී නැත.

කීර්ති මෙන්ඩිස්

+++++++++++++++++

තවමත් සොයන වේල්ලවීදියෙන් හමුවූ මළ සිරුරේ හිස ගැන සැකය වෙනත් දිශාවකට

(08.03.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

කොළඹ, වේල්ලවීදියේ ගමන් බෑගයක තිබී සොයාගත් මළ සිරුරේ හිස කොටස ඝාතකයා විසින් පුලුස්සා දමන්නට ඇතැයි සැකකරන බව උසස් පොලිස් නිලධාරියෙක් හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් කියා සිටියා.

මෙම කාන්තාවගේ හිස සොයා ගැනීම සඳහා කොළඹ සහ මොණරාගල විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

මෙම ඝාතනය සිදුකළ උපපොලිස් පරීක්ෂකවරයා නිවසට පැමිණි දින රාත්‍රියේ ඔහුගේ කිලිටි ඇඳුම් සිය නිවසේ නානකාමරයේ බේසමක තිබූ බවත් නමුත් පසුදා උදෑසන එම ඇඳුම් දක්නට නොලැබුණු බවත් ඔහුගේ දියණියගෙන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිව තිබෙනවා.

තම පියා මධ්‍යම රාත්‍රිය ආසන්යේ දී නිවසට පැමිණි බවත් ඉන්පසු රාත්‍රී ආහාර ගත් බවත් දියණියගේ සාක්ෂියේ සටහන් වී තිබෙනවා.

මේ අනුව පොලිසිය සැක කරන්නේ ඝාතනය සිදුකළ උපපොලිස් පරීක්ෂකවරයා එදින රාත්‍රි ආහාර ගැනීමෙන් අනතුරුව කාටත් හොර රහසේ නිවසෙන් පිටවන්නට ඇති බවයි.

එලෙස නිවසින් පිටවූ උපපොලිස් පරීක්ෂකවරයා තම වැඩිමහල් පුත්‍රයාගේ ඉදිකෙරෙමින් පවතින නිවසට ගොස් තමන්ගේ කිලිටි ඇදුම් සහ හිස කොටස පුළුස්සා දමන්නට ඇති බවටයි පරීක්ෂණ මෙහෙයවන කණ්ඩායම් සැක කරන්නේ.

මේ වනවිට කිලිටි ඇදුම් සහ ගමන් බෑගය පුළුස්සා දැමූ ස්ථානය සොයාගෙන ඇති අතර හිස කොටස සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි ෴

***************************************

ජාතික හැඳුනුම්පත් තොරතුරු ඔන්ලයින් හරහා සහතික කිරීමේ වැඩපිළිවෙළක්

(08.03.2021 – mawbima.lk)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත් තොරතුරු මාර්ගගතව (online) තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

‘තාක්ෂණය මත පදනම් වන සමාජයක් – ඩිජිටල්කරණය වූ ශ්‍රී ලංකාවක්’ ගොඩනැඟීමේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත්කරමින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකාවේ පිහිටි රාජ්‍ය ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, බැංකු හා මූල්‍ය ආයතන, දුරකථන සේවා සපයන ආයතන, රක්ෂණ සමාගම් යනාදී ආයතනවල සේවා අවශ්‍යතාවන් ඉටුකර ගැනීමේදී එම ආයතනවල සේවාලාභීන්ගේ කැමැත්ත මත ජාතික හැඳුනුම්පත් තොරතුරු මාර්ගගතව සහතික කිරීම සඳහා මෙම වැඩපිළිවෙළ මඟින් අවස්ථාව සැලසෙනු ඇත.

ඒ අනුව මේ වනවිටත්, මෙම වැඩපිළිවෙළ යටතේ පුද්ගල දත්ත මාර්ගගතව තහවුරු කරගැනීමේ සේවාව ලබාගැනීමට ශ්‍රී ලංකා සුරැකුම් පත් විනිමය කොමිෂන් සභාව (කොටස් වෙළෙඳපොළ), ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, ලංකා බැංකුව, නේෂන් ට්‍රස්ට් බැංකුව, කොමර්ෂල් බැංකුව, ඩයලොග් මූල්‍ය ආයතනය, සම්පත් බැංකුව, ස්ටේට් බෑන්ක් ඔෆ් ඉන්දියා, HSBC බැංකුව යන ආයතන සමඟ ගිවිසුම්ගත වී ඇති අතර ඉදිරියේදී විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, වරාය අධිකාරිය, ජාතික ලොතරැයි මණ්ඩලය, මහජන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සණස සංවර්ධන බැංකුව, වැලිබල් ෆිනෑන්ස් යනාදී ආයතන ඇතුළු තවත් ආයතන රැසක් සමඟ ගිවිසුම්ගත වීමට නියමිතය.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ තාක්ෂණික දායකත්වයත් සමඟ සිදුකරන මෙම වැඩපිළිවෙළ ඔස්සේ පුද්ගල දත්ත ද්විත්වවීම වළක්වා ගැනීමට මෙන්ම වංචනික ක්‍රියාවළක්වා ගැනීමටද හැකියාව ලැබී ඇත.

ඒ අනුව තාක්ෂණය සමඟ මුසුවූ ඩිජිටල් ආර්ථික ක්‍රියාවලිය තුළ පුද්ගල අනන්‍යතාව වඩාත් නිවැරදිව හා විශ්වසනීයව තහවුරු කරමින්, විධිමත් හා කාර්යක්ෂම මහජන සේවාවන් සැපයීම සඳහා ඉහත සියලුම ආයතනයන්ට අවශ්‍ය සහාය ලබාදීමට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක සඳහන් කරයි ෴

***************************************

Online අධ්‍යාපනයෙන් ළමයින්ට මානසික රෝග රැසක්… දරුවන් රෑ එළිවෙනකන් අසභ්‍ය වීඩියෝ පට බලන්න පෙළඹිලා

(08.03.2021 – colombotoday.com)

දුරස්ථ අධ්‍යාපනය වැරදි ලෙස භාවිත කර එයට ඇබ්බැහි වූ දරුවන් මානසික ගැටලුවලට ගොදුරු වන්නේ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව වැනි වෛරස රෝගයන්ට ගොදුරු වන්නාක් මෙන් යැයි ද එය ඉතා බරපතළ තත්ත්වයක් බව ද ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

මේ වන විට දරුවන් සිය ගණනක් තමා වෙත ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවත් මෙවැනි තත්ත්වන් අනෙකුත් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට වාර්තා වී ඇති අතර මෙය දිනෙන් දින වැඩි වර්ධනය වන සමාජ ගැටලුවක් බවට පත්වෙමින් තිබෙන බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දේ.

බලාගත් අත බලා සිටීම, නිතර උදරයේ ඇතිවන වේදනාව, හිසේ කැක්කුම, නිතරම මුත්‍ර පිටවීම හා මල පිටවීම වැනි ලක්ෂණයන් සහිත දරුවන් විශාල සංඛ්‍යාවක් ප්‍රතිකාර සඳහා ළමා රෝහල වෙත පැමිණෙන බවත් මෙම දරුවන් පරීක්ෂා කිරීමේදී කිසිදු රෝගයක් නොමැති බව හෙළිවන්නේ යැයිද මෙය කිසියම් මානසික ගැටලුවක ලක්ෂණයක් බවත් වෛද්‍ය දීපාල් සඳහන් කරයි.

පාසල් නොමැතිව දිගුකාලයක් නිවෙස් තුළ සිටීම හා දුරස්ථ අධ්‍යාපනය සඳහා ජංගම දුරකථනයට යොමු වීම හේතුවෙන් දරුවන් ක්‍රමයෙන් මේ වන විට ජංගම දුරකථනයට ඇබ්බැහි වී ඇතැයිද ඔවුන් එයින් ගලවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයිද දෙමාපියන් සඳහන් කරන බව විශේෂඥවරයා පැවසුවේය.

මෙහිදී ඉතා භයානක තත්ත්වය වන්නේ ඇතැම් දරුවන් දෙමාපියන් නින්දට ගිය පසුව හා දෙමාපියන් නිවසේ නැති අතර අන්තර්ජාලයේ අසභ්‍ය වීඩියෝ නැරඹීමට පුරුදු වී සිටීමත් මින් සමහර දරුවන් එළිවෙනතුරු එවැනි අසභ්‍ය වීඩියෝ පට නැරඹීමට පෙළඹී ඇති බවත් කරන ලද සොයා බැලීම්වලදී හෙළිව ඇතැයි ඔහු සඳහන් කළේය ෴

***************************************

තරුණයෙකුට දිවි අහිමිකළ පැල්වත්ත මාරක මෝටර් රථ අනතුර

(08.03.2021 – 09:56 +0530 – hirunews.lk/sinhala)

බුත්තල, පැල්වත්ත සිනී සමාගම අසල මාර්ගයක ඊයේ (07) පස්වරුවේ සිදුවූ අනතුරකින් පුද්ගලයෙක් (1) ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු (2) තුවාල ලබා තිබෙනවා.

මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනෙකු (3) සිට ඇති අතර අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැල්ලවාය, කොටවෙහෙරගල ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණයෙක්.

අනතුරෙන් තුවාල ලැබූ දෙදෙනා (2) ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලවෙත ඇතුලත් කර තිබෙනවා.

ඔවුන් අවුරුදු 18 ක පාසල් සිසුවෙක් සහ 23 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක්.

අනතුරින් තුවාල ලැබූ දහඅට (18) හැවිරිදි පාසල් සිසුවා මියගිය තරුණයාගේ බාල සහෝදරයා බවටයි අනාවරණය වී ඇත්තේ.

අනතුර සම්බන්ධයෙන් විමර්ශන බුත්තල පොලිසිය විසින් සිදුකරනු ලබනවා.

[ සේයාරූ ]

@@@@@@@@@@@@@@@

(08.03.2021 – 08:24 +0530 – hirunews.lk/sinhala)

නව මරණ 05 ක් ඊයේ (07) වාර්තා වීමත් සමඟ මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව ද 500 ඉක්මවා දැක්වුණේ 502 ක් ලෙසයි.

පිරිමි පුද්ගල මරණ 04 ක් සහ එක් කාන්තා මරණයක් මෙලෙස වාර්තා වූ මරණ අතර වනවා.

පල්ලෙකැළේ පදිංචි 74 හැවිරිදි අයෙකු, නුගේගොඩ 82 හැවිරිදි අයෙකු, මාතර පදිංචි 77 හැවිරිදි කාන්තාවක් සහ කන්නන්තොට පදිංචි 67 හැවිරිදි අයෙකු එලෙස මිය ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ.

එමෙන්ම, බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බරවර්ධනඔය පදිංචි 72 හැවිරිදි අයෙකුද මිය ගොස් ඇත්තේ පිළිකා රෝගී තත්ත්වය සහ කොරෝනා ආසාදිත වීම හේතුවෙන්.

ඊයේ වාර්තා වූ මරණ 05 අතර, පසුගිය වසරේ දෙසැම්බර් මස 20 වන දා සිදුවූ මරණයක් ද වනවා.

එමෙන්ම ඊයේ (07) දිනයේ නව ආසාදිතයන් 359 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 85,695 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 321 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, බන්ධනාගාර ආශ්‍රිතයන් 16 දෙනෙකු ද හදුනාගැනුනා.

එමෙන්ම විදේශයන් හි සිට පැමිණි 22 කුද නව ආසාදිතයන් ලෙස හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව තවදුරටත් අසාදිතයන් 3,134 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 82,059 ක්.

මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත විසි එක් (21) හැවිරිදි තරුණයෙකු ඊයේ (07) ඉන් පලාගොස් තිබෙනවා.

මොහු කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන්ට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත අද (08) සිට ලබාදෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළා.

කොවැක්ස් පහසුකම යටතේ යුනිසෙෆ් අරමුදල මගින් ශ්‍රී ලංකාවට නොමිළේ ප්‍රදානය කළ එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000 ක් ඊයේ (07) අලුයම කටුනායක ගුවන් තොටුපළින් දිවයිනට ළඟා වුණා.

පසුගිය ජනවාරි 29 වන දා සිට මේ දක්වා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් 7,29,563 දෙනෙකුට ලබාදී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළා.

මේ අතර, ඔස්ට්‍රියාව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ එන්නත්කරණයට ලක් කළ එක් පුද්ගලයෙකු මිය යාම සහ තවත් අයෙකු රෝගාතුරවීම සැලකිල්ලට ගනිමිනුයි ඔස්ට්‍රියානු සෞඛ්‍ය බලධාරීන් එම පියවර ගෙන ඇත්තේ ෴

+++++++++++++++++++

(08.03.2021 – 09:21 +0530 – hirunews.lk/sinhala)

සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරන පුද්ගලයින්ට ලබා දී ඇති බැංකු හා මූල්‍ය ණය සහනය තවදුරටත් දීර්ඝ කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු මේ බව අනාවරණ කළේ සංචාරක කර්මාන්තකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදියී.

කොරෝනා වසංගත තත්වය හමුවේ බලපෑමට ලක් වූ සංචාරක ක්ෂේත්‍රයේ නිරත අය සදහා බැංකු ණය හා මූල්‍ය සහන ලබා දීමට රජය කටයුතු කළා.

එම සහන කාලය මේ මස 31 වනදායින් අවසන් විමට නියමිත අතර තවදුරටත් සංචාරක ක්ෂේත්‍රය සඳහා මෙම ණය සහනය අවශ්‍ය බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *