ඝාතනය වූ තරුණියගේ හිස සොයන්න කොළඹින් බුත්තලට ගිය කණ්ඩායම පරීක්ෂණ අරඹයි

ඝාතනය වූ තරුණියගේ හිස සොයන්න කොළඹින් බුත්තලට ගිය කණ්ඩායම පරීක්ෂණ අරඹයි

*********************************************

ඝාතනය වූ තරුණියගේ හිස සොයන්න කොළඹින් බුත්තලට ගිය කණ්ඩායම පරීක්ෂණ අරඹයි

(06.03.2021 – 07:55 +0530 – hirunews.lk/sinhala)

වේල්ලවීදියේ බෑගයකින් හමුවූ තරුණියගේ මළ සිරුරේ, හිස කොටස සොයා සිදු කරන විමර්ශණ තවදුරටත් පුලුල් කර තිබෙනවා.

අදාල විමර්ශණයන්ට සහය දැක්වීම සදහා කොළඹින් පිටත්ව ගිය විශේෂ පොලිස් කණ්ඩායම අද (06) සිය පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතයි.

අට (8) දෙනෙකුගෙන් සමන්විත එම පරීක්ෂණ කණ්ඩායමට වේල්ලවීදිය හා ආදුරුප්පු වීදිය යන පොලීසිවල ස්ථානාධිපතිවරුන්ද ඇතුළත්.

පොලීසිය සඳහන් කළේ අදාල තරුණියගේ හිස කොටස සොයාගන්නා තුරු මෙම සිද්ධිය පිළිබදව විමර්ශණ අවසන් කළ නොහැකි බවයි.

මීට අමතරව ඊයේ (05) කැළණි ගං ඉවුර දෙපසද සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණේ සැකකාර දිවි නසා ගත් උප පොලිස් පරීක්ෂකවරයා සහ ඝාතනයට ලක්වූ තරුණිය හංවැල්ල ප්‍රදේශයේ ලැඟුම්හලක නවාතැන් ගෙන තිබූ බවට අනාවරණ වීමත් සමඟයි.

එහෙත් අදාල සෝදිසි මෙහෙයුමේදීද තරුණියගේ හිස කොටස සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

මේ අතර, අදාළ උප පොලිස් පරීක්ෂකවරයා කරේ එල්ලා ගත් බෑගයක් රැගෙනවිත් ඇති බවට අනාවරණ වී ඇති කරුණු අනුව ඝාතනයට ලක්වූ තරුණියගේ හිස එම බෑගයේ දමාගෙන පැමිණ ඇති බවට ද සැක කෙරෙනවා.

ඒ අනුව එම සැකය මත ඝාතකයාගේ නිවස හා ඒ අවට විශේෂ සෝදිසියක් ඊයේ (05) ක්‍රියාත්මක කෙරුණා.

එහිදී සැකකරුගේ නිවස ආසන්නයේ පිහිටි ළිඳේ ජලය ඉවත් කර එය විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටද පොලීසිය කටයුතු කළා.

ඊට පෙර විශේෂ කැමරාවක් ළිඳ තුලට යොමුකර හිස කොටස එහි තිබේදැයි පරීක්ෂා කළා.

එහෙත් එම කිසිදු පරික්ෂාවකදී අදාල තරුණියගේ හිස කොටස සොයා ගැනීමට හැකිවූයේ නැහැ.

***************************************

(06.03.2021 – 07:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී බීමත් රියදුරෙකු සිදුකළ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් තුන්දෙනෙකු (3) බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අනතුර සිදුකළ අදාළ බීමත් රියදුරා සහ ඔහු ගමන් ගත් මෝටර් රථයේ සිටි තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.

***************************************

(06.03.2021 – 07:38 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා සියලු බස් හිමියන්ට මාර්ග බලපත්‍රය ලෙස අද (06) සිට ස්මාට් කාඩ්පතක් හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිසන් සභාව පියවර ගෙන තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් නලින් මිරැන්ඩෝ මහතා හිරු ප්‍රවෘත්තී අංශය වෙත සඳහන් කළේ අදට යෙදෙන ජාත්‍යන්තර ප්‍රවාහන දිනයට සමගාමීව මෙම ස්මාට් කාඩ්පත නිකුත් කරන බවයි.

මේ අතර ජාත්‍යන්තර ප්‍රවාහන දිනයට සමගාමීව ප්‍රවාහන අමාත්‍යංශය සංවිධානය කළ රුක් රෝපණ වැඩසටහන මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී ඊයේ (05) ක්‍රියාත්මක වුණා.

විනීත බස්රථ රියදුරන් සහ සහයකවරුන් ඇගයීමට ලක් කරමින් උපහාර ලබා දීමද එහිදී සිදු කෙරුණා ෴

***************************************

(06.03.2021 – 07:43 +0530 – hirunews.lk/sinhala)

සිය බිරිඳට පහරදී දත් දෙකක් (2) කඩා දැමූ බවට ඊයේ (05) අධිකරණය හමුවේ වරද පිළිගත් පුද්ගලයෙකු පිළිබඳව කන්දකැටිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය බිරිඳට පහරදී, දත් දෙකක් (2) කඩා දැමූ බවට පසුගියදා කන්දකැටිය පොලිසියට පැමිණිලක් ලැබී තිබුණා.

ඒ අනුව සිදුකල විමර්ශනවලදී වයස අවුරුදු 33 ක සැකකරුවෙකු කන්දකැටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (05) අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

අධිකරණය හමුවේ වරද පිළිගත් වරදකරු, රුපියල් ලක්ෂ දෙකක (2) ශරීර ඇප මත මුදාහැරීමටයි බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ෴

***************************************

(06.03.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

දැනට පවතින බඳවා ගැනීමේ පටිපාටිය වහා සංශෝධනය කළ යුතු බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

එහි කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා හිරු ප්‍රවෘත්ති අංශය වෙත කියා සිටියේ ඊට අදාල කැබිනට් අනුමැතිය ලබා නොගන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ග වලට අවතීර්ණ බවයි ෴

***************************************

(06.03.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ජාතික හැඳුනුම්පතේ තොරතුරු ‘ඔන්ලයින්’ ක්‍රමයට තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

රාජ්‍ය ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, බැංකු හා මූල්‍ය ආයතන, දුරකථන සේවා සපයන ආයතන, රක්ෂණ සමාගම් යනාදි ආයතන වල සේවා අවශ්‍යතාවයන් ඉටු කිරීමේදී එය ප්‍රයෝජනවත් වනු ඇති.

අදාළ ආයතනවල සේවාලාභීන්ගේ කැමැත්ත මත ‘ඔන්ලයින්’ ක්‍රමයට හැඳුනුම්පත භාවිත කිරීමට මෙමඟින් අවස්ථාව සැලසෙනවා.

මෙම වැඩපිලිවල මගින් අනන්‍යතාව නිවැරදිව තහවුරු කර ගැනීමට හැකි වන බවයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

***************************************

(06.03.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – නාරංගල කන්ද ආශ්‍රිත වනාන්තරය රක්ෂිතයක් ලෙස ගැසට් කර සංරක්ෂණය කළයුතු බවට යෝජනාවක් සොරණාතොට ප්‍රාදේශීය සභාවේදී සභා සම්මත වී තිබෙනවා.

එහි මන්ත්‍රීවරුන් රැසක් මෙම යෝජනාවට සහයෝගය පලකරමින් අදහස් දක්වා ඇති අතර, යෝජනාව සම්මත වී ඇත්තේ ඒකඡන්දයෙන්. ඒ අනුව ඉදිරියේදී එම යෝජනාව බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත යොමු කිරීමට නියමිතයි.

බදුල්ල – නාරංගල කන්දට විනෝද චාරිකාවක් පැමිණි තරුණයෙකු පසුගියදා කන්දෙන් ප්‍රපාතයකට ඇද වැටී මිය ගියා.

එමෙන්ම එම කන්ද පාමුල පිහිටි ජල පෝෂක ප්‍රදේශ ද සංචාරකයින් පැමිණීම හේතුවෙන් විනාශයට පත්වෙමින් ඇති බවයි වාර්තාවන්නේ.

කඳු මුදුනේ පොලිතින් ප්ලාස්ටික්, වීදුරු බෝතල් හා ටින් වර්ග ඇතුළු අපද්‍රව්‍ය රැසක්ද පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා.

නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය හා වෙනත් අපචාර කටයුතු, වනාන්තරයේ සත්ත්ව හා ශාක ප්‍රජාවට හානි සිදුවීම මෙන්ම කඳු මුදුනේ කූඩාරම් ගැසීම හා ගිණිමැළ දැල්වීම හේතුවෙන් කඳුමුදුන හානියට ලක්වීම පිළිබඳවද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සහ මන්ත්‍රීවරුන්ගේ අවධානයට ලක්ව තිබෙනවා.

ඒ හේතුවෙනුයි වනාන්තරය රක්ෂිතයක් ලෙස ගැසට් කර වනජීවි දෙපාර්තමේන්තුව යටතට පැවරීම සුදුසු බවට යෝජනා වී ඇත්තේ.

පාසල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන්, පරිසරවේදීන් වැනි පිරිස්වලට අධ්‍යයන කටයුතු සඳහා පමණක් විශේෂ අවසරයක් හා අධීක්ෂණයක් යටතේ ඊට ඇතුළු වීමට අවසර දිය හැකි බවද එම යෝජනාවට ඇතුළත්.

මේ අතර දිගින් දිගටම සිදුවන වන විනාශ සම්බන්ධයෙන් යුධ හමුදාවේ අවධානය යොමුව තිබෙනවා.

යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා කියා සිටියේ මෙරට සිදුවන වන විනාශයන් සම්බන්ධයෙන් ඉදිරියේදී වඩා ක්‍රියාකාරීව කටයුතු කිරීමට සූදානම් බවයි ෴

***************************************

(06.03.2021 – 10:05 +0530 – hirunews.lk/sinhala)

රාවණා ඇල්ල රක්ෂිතයේ හටගෙන ඇති ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සිටිනවා.

ඊට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගින්න නිවීමට යොදවා ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඇල්ල රොක් නැමති කඳු මුදුනේ ඊයේ (05) හටගත් ගින්න අක්කර 50 කට වැඩි ප්‍රදේශයකට පැතිර තිබූ අතර, එමගින් සංවේදී පරිසර පද්ධතියට හානි සිදුව ඇති බව සඳහන්.

රාවණා ඇල්ල දිය ඇල්ලට නුදුරින් පිහිටි රාවණා ඇල්ල අභයභූමියට අයත් වන මෙම පරිසරයට ආවේනික සත්ව විශේෂ රැසක් සිටින බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ. පොලීසිය, යුදහමුදාව, වනජීවී නිලධාරීන් සහ ආපදා කළමනාකරණ ඒකකය ගින්න නිවීම සඳහා එක්ව සිටිනවා.

රාවණා ඇල්ල රක්ෂිතයේ හටගෙන ඇති ගින්න නිවා දැමීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව සිටිනවා.

ඊට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ගින්න නිවීමට යොදවා ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ඇල්ල රොක් නැමති කඳු මුදුනේ ඊයේ (05) හටගත් ගින්න අක්කර 50 කට වැඩි ප්‍රදේශයකට පැතිර තිබූ අතර, එමගින් සංවේදී පරිසර පද්ධතියට හානි සිදුව ඇති බව සඳහන්.

රාවණා ඇල්ල දිය ඇල්ලට නුදුරින් පිහිටි රාවණා ඇල්ල අභයභූමියට අයත් වන මෙම පරිසරයට ආවේනික සත්ව විශේෂ රැසක් සිටින බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

පොලීසිය, යුදහමුදාව, වනජීවී නිලධාරීන් සහ ආපදා කළමනාකරණ ඒකකය ගින්න නිවීම සඳහා එක්ව සිටිනවා.

***************************************

(06.03.2021 – 10:11 +0530 – hirunews.lk/sinhala)

කුඨ ලේඛණ සකස් කර වාහන අලෙවි කිරිමේ ජාවාරමක නිරත වු පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මොවුන් කුලී පදනම මත ලබාගත් වාහන ව්‍යාජ ලෙස ලේඛණ සකස් කර අලෙවි කිරිමේ ජාවාරම කළක සිට සිදුකර ඇති බවයි.

***************************************

(06.03.2021 – 10:39 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ බණ්ඩාරවෙල, හල්පේ ප්‍රදේශයේදී බස් රථයක් වෙලකට පෙරලී ගොස් අද (06) උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයින් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ බදුල්ල සිට කොළඹ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක්.

අනතුරින් තුවාල ලැබූවන් බදුල්ල සහ දෙමෝදර රෝහල් වෙත ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.

***************************************

(06.03.2021 – 11:22 +0530 – hirunews.lk/sinhala)

මෙවර පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සඳහා වෙනත් අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනී සිටි උසස් පෙළ සිසුවෙකු ඊයේ (05) අත්අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පවසනවා.

වලස්මුල්ල ජාතික පාසලේදී මෙවර අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා පුද්ගලික අයදුම්කරුවෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලෙස විභාගය ලියන බව අනාවරණය විමත් සමග විභාග ශාලාධිපති විසින් වලස්මුල්ල පොලිස් ස්ථානයට සිදුකරන ලද දැනුවත්කිරීමක් අනුව මෙම සැකකාර සිසුවා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුවා 2020 අ.පො.ස උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුවකු බවටයි විමර්ශනවලදී තොරතුරු අනාවරණය වී ඇත්තේ.

සැකකාර සිසුවා අද (06) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි ෴

***************************************

(06.03.2021 – 12:42 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා ලක් රජය, ඉන්දීය ආයෝජකයන් සමඟ ඍජුව කටයුතු කරන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

එහි ප්‍රකාශක අනුරන්ග් ශ්‍රිවස්තාවා නවදිල්ලියේ ඊයේ (05) පැවති අතත්‍ය මාධ්‍ය හමුවේදී ඒ බව සඳහන් කළා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කර ඇති බවට නිකුත් කෙරුණු නිවේදනයේ සත්‍යතාවක් නොමැති බවයි.

ඒ පිළිබඳව මහ කොමසාරිස් කාර්යාලය ලක් රජයට දැනුම්දී ඇති බවද ඔහු සඳහන් කළා.

බටහිර බහාලුම් පර්යන්තය සම්බන්ධයෙන් අදානි පෝට්ස් සමාගමට සහ විශේෂ ආර්ථික කලාප සමාගමට ඉදිරිපත් කළ යෝජනාව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මගින් අනුමත කර ඇති බවයි රජය නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා මේ බව සඳහන් කළේ කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තය ඉන්දියාව සහ ජපානය සමඟ ඒකාබද්ධව සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවීම සම්බන්ධයෙන් ඉදිරිපත්වූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.

එහිදී ඉන්දීය මාධ්‍යවේදියා විමසා සිටියේ අදාළ ව්‍යාපෘතිය සඳහා ඉන්දීය රජයට නිල දැනුම්දීමක් සිදුකර ඇත්ද යන්න සහ එය පිළිගනු ලැබුවේද යන්නයි.

එමෙන්ම වෘත්තිය සමිති විරෝධතා හේතුවෙන් එම ව්‍යාපෘතියද අවලංගු කිරීමේ අවදානම මග හැරීමට කටයුතු කරන්නේද යන්න ඔහු විමසා සිටියා.

කෙසේ නමුත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශකයා කියා සිටියේ එය, ඉන්දීය රජය සමඟ ගණුදෙනුවක් නොවන බවයි.

@@@@@@@@@@@@@@

(06.03.2021 – 08:25 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මරණ භූමදානය කිරීම සඳහා තෝරා ගත් මඩකලපුවේ ඕට්ටමාවඩි – සූඩුපත්තිනසේනයි ප්‍රදේශයේදී ඊයේ (05) මෘතදේහ 9 ක් භූමදානය කළ බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නාගලිංගම් මයුරන් මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම අද (06) දිනයේදීත් කොළඹ සිට තවත් මෘතදේහ 9 ක් භූමදාන කටයුතු සඳහා රැගෙන ඒමට සූදානම් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මඩකලපුව – ඕට්ටමාවඩි ප්‍රදේශයට අමතරව, අම්පාර – ඉරක්කාමන් ප්‍රදේශයද කොරෝනා මරණ භූමදාන කටයුතු සඳහා තෝරා ගෙන තිබෙනවා. එසේම, මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.ජී.එච්. සුබිහාන් මහතා ප්‍රකාශ කළේ තම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළද තෝරා ගත් ස්ථානයක කොරෝනා මෘත දේහ භූමදානය කිරීම සඳහා හැකියාව පවතින බවයි.

මීට පෙර ඒ සඳහා තෝරා ගැනුණු ඉරණතිව් දූපත් වැසියන් ඊට පසුගිය දින දෙක තුළම විරෝධය පළ කළා. කෙසේ වෙතත්, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කළේ කොරෝනා මරණ භූමදානයට තෝරාගත් ඉරණතිව් දූපත් වැසියන්ගේ විරෝධයට යහපත් ප්‍රතිචාරයක් අනිද්දාට පෙර ලබාදිය හැකි බවයි.

ඉරණතිව් දූපතේ මුහුදු කූඩැල්ලන් අපනයන ගම්මාන ව්‍යාපෘතියක් ආරම්භ කර ඇති බැවින් කොරෝනා මෘතදේහ මිහිදන් කිරීම සඳහා වෙනත් ස්ථානයක් භාවිත කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරියට දැනුම් දුන් බව ඔහු කියා සිටියා.

මේ අතර එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය පෞද්ගලික අංශයට ලබා නොදෙන්නැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් එන්නත් ලබා දීමේ වැඩපිළිවල සැලසුම් සහගතව සිදුවෙමින් පවතින බවයි අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඊයේ (05) බොරැල්ල ගෝතමී විහාරස්ථානයේ පැවති එන්නත්කරණ වැඩසටහනක් අතරතුරදී සදහන් කළේ.

මේ අතර පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන ඇඹිලිපිටිය නගර සභා සීමාවේ සියලුම අමතර පන්ති, දහම් පාසල් පෙර පාසල් සහ ගෘහස්ථ උත්සව පැවැත්වීම සති 2 කට අත්හිටුවීමට ඇඹිලිපිටිය කොවිඩ් පාලන ප්‍රාදේශීය කමිටුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඊයේ (05) දිනයේ තවත් කොරෝනා මරණ 4 ක් වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන මුලු කොරෝනා මරණ සංඛ්‍යාව 493 දක්වා ඉහළ යනවා. කෑගල්ල අටාල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු සහ කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු එලෙස මියගිය පිරිස අතර වනවා.

එසේම කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මෙන්ම රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවකද ඊයේ (05) මියගිය අය අතර වන බවයි රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව නිවේදනය කලේ.

මේ අතර ඊයේ (05) දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 350 ක් වාර්තා වූ බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා.

විදෙස් රටවලින් පැමිණි 12 දෙනෙකුද ඊයේ (05) කොරෝනා ආසාදිතයන් ලෙස වාර්තාවූ අතර, ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 84,960 ක්.

කොරෝනා ආසාදිතව සිටි තවත් 485 දෙනෙකු ඊයේ (05) සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 81,321 ක් බවයි ෴

++++++++++++++++++

(06.03.2021 – 10:17 +0530 – hirunews.lk/sinhala)

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයින් දස (10) දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඔවුන්ගේ ආශ්‍රිතයන් වූ තවත් 40 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ.

ලක්ෂපාන ජල විදුලි බලාගාරයේ සේවකයෙකුට ඇතිවූ රෝගී තත්වයක් මත සිදුකළ කොරෝනා පරීක්ෂණයකදී ඔහු ආසාදිත බවට හඳුනාගැනීමත් සමඟ ආශ්‍රිතයන් 10 දෙනෙකු ආසාදිත බවටයි හඳුනාගෙන ඇත්තේ ෴

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා, කොරෝනා මර්දන එන්නත ලබාගෙන තිබෙනවා.

අද (06) උදෑසන යුද හමුදා රෝහලේදී ඔහු එන්නත ලබාගෙන ඇති බවයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *