කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කඩා ගැනීමේ සිද්ධීන් ඉහළ යයි

කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කඩා ගැනීමේ සිද්ධීන් ඉහළ යයි

*********************************************

කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල කඩා ගැනීමේ සිද්ධීන් ඉහළ යයි

(04.03.2021 – 12:12 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාස දෙක (2) තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් කාන්තාවන්ගේ ගෙළ බැඳි රන් මාල කඩා ගැනීමේ සිද්ධි 130 ක් වාර්තා වන බව පොලීසිය පවසනවා.

අපරාධ හා සංවිධානාත්මක අපරාධ අංශයේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා සඳහන් කළේ යතුරුපැදිවලින් පැමිණ ලිපිනයක් විමසන ආකාරයෙන් මෙලෙස කාන්තාවන්ගේ ගෙළ බැඳි රන් මාල කඩාගැනීමේ සිද්ධීන් පසුගිය කාලය තුළ වැඩි වශයෙන් වාර්තාවී ඇති බවයි.

ඒ අනුව කළුතර, වව්නියාව, පුත්තලම, තංගල්ල සහ මීගමුව යන ප්‍රදේශවලින් මෙලෙස රන් මාල කොල්ලකෑම් වාර්තා වනවා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ පසුගිය මාස දෙක තුළ යතුරුපැදි 149 ක් ද සොරකම් කර ඇති බවයි.

***************************************

(04.03.2021 – 11:41 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ පිළිබඳව සාකච්ඡාවක් ඊයේ (03) අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වෙත මේ සම්බන්ධයෙන් දැනුම් දී එහි නිර්දේශ ලැබුණු පසු වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට එහිදී එකඟතාව පළ වී තිබෙනවා ෴

***************************************

(04.03.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

දැනුමින් පෝෂණය වන දරුවා මානසිකව හා ශාරීරිකව නිරෝගී පුද්ගලයෙකු බවට පත් කිරීමට ක්‍රීඩාවෙන් ලැබෙන්නේ මහඟු පිටිවහලක්.

එවන් පුද්ගලයෙකු බිහිකිරීමට තෝතැන්නක් වූ ක්‍රීඩාංගනයක් වල්බිහිවී ඇති පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අද (04) ‘රතු මිනිත්තුව’ ඒ පිළිබඳවයි.

මේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකළ මාතර මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගනයයි.

එය වසර 5 ක පමණ කාලයක් තිස්සේ වල් බිහිවීම හේතුවෙන් පාසල් දරුවන්ට ක්‍රීඩා කටයුතු සිදුකර ගැනීම දැඩි අභියෝගයක් බවට පත්ව තිබෙනවා.

මේ වනවිට කැළිකසළ මෙන්ම පස් ද ක්‍රීඩාංගනය තුළ ගොඩ ගසා ඇති අතර ගම්වාසීන් අතුරු මාර්ගයක් ලෙස ද ක්‍රීඩාංගනය හරහා ගමන් කිරීමට පුරුදුව සිටිනවා.

පාසලක් නිරන්තරයෙන්ම ආරක්ෂිත ස්ථානයක් විය යුතු නමුත් මෙම ක්‍රීඩා මණ්ඩපය විවිධ අපචාර හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත්ව අවසන්.

මේ හේතුවෙන් පාසල් දරුවන්ට සිය ක්‍රීඩා කටයුතු වෙනුවෙන් මාතර උයන්වත්ත ක්‍රිඩාංගනය වෙත යෑමට සිදුව ඇති අතර ඊට වෙනත් පාසල් කිහිපයකින්ද සිසුන් පැමිණෙන හෙයින් දරුවන්ට තමන්ගේ අවස්ථාව එනතුරු බලා සිටීමටත් සිදුවනවා.

අදාළ වගකිවයුතු සියලු පාර්ශ්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කළ ද මෙතෙක් කිසිවෙකුගේ අවධානයක් ඊට ලැබී නැහැ.

ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙරටින් බිහි කිරීමට නම් පාසල තුළින් ඊට අවශ්‍ය පසුබිම සකසාදීම බලධාරීන් සතු යුතුකමක් නොවන්නේද?

බලධාරීනගේ අවධානය මේ පිළිබඳව යොමු වනතෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(04.03.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං භාධුරියා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා හමුවී තිබෙනවා.

නාවික හමුදා මූලස්ථානයේදී අද (04) පෙරවරුවේ මෙම හමුව සිදුවී ඇති අතර, එහිදී නාවික හමුදා සම්මාන මුරයක් ද ඉන්දියානු ගුවන් හමුදාපතිවරයා වෙත පිරිනමා ඇති බවයි නාවික හමුදා මූලස්ථානය සඳහන් කළේ ෴

***************************************

(04.03.2021 – 13:30 +0530 – hirunews.lk/sinhala)

මහනුවර යනු අතීතයේ සිට පාරම්පරික හස්තකර්මාන්තකරුවන්ගේ තෝතැන්නක්.

ඔවුන්ගේ දෑතින් නිමවෙන අපූරු නිර්මාණ ඉහළ මිල ගණන් යටතේ දෙස් විදෙස් වෙළෙඳපොලේ අළෙවි කෙරෙන්නේද ඒ නිසාමයි.

නමුත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අදවනවිට මෙම හස්ත කර්මාන්තයට අත්ව ඇත්තේ ඛේදනීය ඉරණමක්.

සංචාරක පාරාදීසයක් වන මහනුවර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ වශයෙන් බොහෝ දෙනෙකු අත්කම් නිර්මාණ සකසා දිවි සරිකරගැනීමට හුරුපුරුදුව සිටිනවා.

නමුත් පාස්කු ප්‍රහාරය මෙන්ම පසුගිය වසරේ සිට ලොවම වෙලාගත් කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඔවුන්ගේ ජනජීවිතයට එල්ල වී ඇත්තේ සුළුපටු බලපෑමක් නොවේ.

සිය හස්ත කර්මාන්ත වෙනුවෙන් විශාල වශයෙන් ණය ලබාගෙන ආයෝජනය කිරීමෙන් තමන් මේ වනවිට දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවයි.

කර්මාතකරුවන් පෙන්වා දෙන්නේ වත්මන් තත්ත්වය හමුවේ මෙම නිර්මාණශීලි කර්මාන්තය අතහැර දැමීමට සිදුව ඇති බොහෝ දෙනෙකු මේ වනවිට කුලී වැඩ සඳහා සිය කාලය කැප කරන්නේ ජීවත්වීම සඳහා ආදායම් මාර්ගයක් අත්‍යවශ්‍ය වීම හේතුවෙන්.

මෙම හස්ත කර්මාන්තකරුවන් ඉල්ලා සිටින්නේ පාරම්පරිකව පැවත එන සිය කර්මාන්තය යළි නගාසිටුවීමට බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු කරන ලෙසයි.

***************************************

(04.03.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී හමුවූ හිස නොමැති මලසිරුරට අදාල තරුණියගේ ඝාතනය සිදුකළ උපපොලිස් පරීක්ෂකවරයාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (04) දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, මොණරාගල – සිරිගල රෝහලේදියි.

කෙසේ වෙතත්, ඝාතනයට ලක්වූ තරුණියගේ සිරුර පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇත්තේ ඩී.එන්.ඒ. පරීක්ෂණයෙන් අනතුරුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේ.

ඒ අනුව තරුණියගේ මවගේ ඩී.එන්.ඒ. සාම්පල ඊයේ (03) ලබා ගැනුණා.

කෙසේ වෙතත්, ඝාතනයට ලක්වූ තරුණියගේ හිස කොටස සොයා ගැනීමට තවමත් හැකිවී නැහැ.

ඒ සඳහා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ කණ්ඩායම් 3 ක් පරීක්ෂණ සිදුකරනවා.

මේ අතර, මෙම සිද්ධිය වාර්තා වීමෙන් පසු බිරින්දෑවරුන් සහ සිය පවුලේ කාන්තාවන් අතුරුදන් වූ පුද්ගලයන් 200 දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තොරතුරු දැන ගැනීම සඳහා අදාළ දුරකථන අංකයට ඇමතුම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් බෑගයක තිබී අදාළ මළ සිරුර හමුවුණේ පසුගිය 01 වන දා පස්වරුවේදි යි.

මෙලෙස මිය ගොස් තිබුණේ රත්නපුර – කුරුවිට – තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි එල්.ඩී. ජයසූරිය නැමති අවිවාහක තරුණියක්.

පසුව මෙම ඝාතනය සිදුකළ 52 හැවිරිදි උප පොලිස් පරීක්ෂකවරයා බිරිඳට ලිපියක් ද ලියා සිය දිවි හානි කරගෙන තිබුණා.

***************************************

(04.03.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

උතුරුමැද පළාතේ ප්‍රදේශ ගණනාවක ‘ටීනියා’ නම් දිලීර ආසාදනයක් හේතුවෙන් සමේ රෝගයක් ව්‍යාප්ත වෙමින් පවතින බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඇය කියා සිටියේ දහදියත් සමඟ සිදුවන මෙම දිලීරය ආසාදනයේදී සම මතුපිට රතු පැහැ පැල්ලම් දක්නට ලැබෙන බවයි.

වයස් භේදයකින් තොරව ස්ත්‍රී, පුරුෂ ඕනෑම කෙනෙකුට මෙම තත්ත්වය ඇතිවිය හැකි බවයි වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය කියා සිටියේ ෴

Tinea Infections

***************************************

(04.03.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

තණමල්විල – කිවුල්ආර – ගොමකෙමේගල කඳු පන්තියේ ඓතිහාසික වටිනාකමකින් යුත් ගල් පර්වතයක් සහිත ප්‍රදේශයක් ගල් කොරියකට ලබාදීමේ සූදානමක් පවතින බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මෙම ගල් පර්වතයේ ඓතිහාසික සෙල් ලිපි, චෛත්‍ය නටඹුන්, ගල් කණු, කටාරම් සහ පොකුණු රැසක් දක්නට ලැබෙනවා.

ප්‍රදේශවාසීන් කියා සිටියේ මීට පෙරද මෙම ගල් පර්වතය ගල්කොරියක් වෙත ලබා දී ඇති නමුත් ප්‍රදේශවාසීන්ගේ දැඩි විරෝධතාව මත එය අතරමඟ නවතා දමා ඇති බවයි.

***************************************

(04.03.2021 – 13:56 +0530 – hirunews.lk/sinhala)

= දරුවන් තිදෙනා (3) සමග ළිදට පැන්න කිලිනොච්චියේ මවගෙන් ලිපියක් =

කිලිනොච්චි, වට්ටකච්චි ප්‍රදේශයේ මවක තම දරුවන් තුන්දෙනා (3) සමඟ ළිඳකට පැනීමෙන් පසු අතුරුදන්ව සිටි දරුවන් දෙදෙනාගේ (2) සිරුරු අද (04) සොයාගත්තා.

ඊයේ (03) පස්වරුවේ මෙම මව සිය දරුවන් තිදෙනා (3) සමඟ ලිඳට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කිරීමේදී මව ප්‍රදේශවාසීන් විසින් මුදාගෙන රෝහල් ගත කළා.

එම අවස්ථාවේදීම දරුවන් තිදෙනාගෙන් (3) අවුරුදු දෙකක් (2) වන බාල දරුවාගේ මළසිරුර ද සොයා ගනු ලැබුවා.

නාවික හමුදා කිමිදුම්කරුවන් එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී වයස අවුරුදු පහක (5) සහ 8 ක අනෙක් දරුවන් දෙදෙනාගේ (2) සිරුරු සොයා ගැණුනේ අද (04) පෙරවරුවේයි.

සැමියාගෙන් එල්ල වන හිරිහැර ඉවසාගත නොහැකිව දිවි නසා ගන්නා බවට සඳහන් ලිපියක් මෙම මව විසින් ලියා ඇති අතර, ඇය මේ වනවිට කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබන්නේ පොලිස් ආරක්ෂාව මැදයි.

මේ අතර, නාරම්මල – පහමුනේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කළ සිද්ධියට ද අනියම් සබඳතාවක් මුල් වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙහිදී මියගියේ 37 හැවිරිදි පහමුනේ – කූරිකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සිදුකළ පුද්ගලයා මෝටර් රථයකින් පැමිණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මියගිය පුද්ගලයා අනතුරට ලක්කර පසුව තියුණු ආයුධයකින් පහරදී එය සිදුකර තිබුණා.

අනතුරුව පොලීසියට භාර වූ ඔහු ප්‍රකාශ කර තිබුණේ තම බිරිඳ සමඟ සබඳතාවක් පැවැත්වූ මියගිය පුද්ගලයා බිරිඳගේ අසභ්‍ය ඡායාරූප ජංගම දුරකථනයට යොමුකර අවස්ථා කිහිපයකදී තමන්ට අපහාස කළ නිසා මෙම ඝාතනය සිදුකළ බවයි.

එසේම, අනියම් බිරිඳ සමග බහින්බස් වූ අයෙකු එම නිවසේදීම ගිනි තබාගෙන සියදිවි හානි කර ගැනීමේ පුවතක් මුල්ලේරියාව ප්‍රදේශයෙන් වාර්තා වුණා. 71 හැවිරිදි මෙම පුද්ගලයා මාළඹේ – තලාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර, කාන්තාවන්ට සිදුවන වෙනස්කම් හා අයිතිවාසිකම් කඩවීම සොයා බැලීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ලිඛිතව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

https://www.youtube.com/watch?v=nzh7JdqPLNs#t=6

***************************************

(04.03.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං භාධුරියා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුවී තිබෙනවා.

යුද හමුදා මූලස්ථානයේදී මෙම හමුව අද (04) පෙරවරුවේ සිදුවී ඇති අතර, ඊට ඉන්දියානු හමුදා ප්‍රධානීන් සහ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් එක්ව සිටියා ෴

***************************************

(04.03.2021 – 15:03 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට අභියාචනාධිකරණය අද (04) නියෝග කළා.

ඒ දෙවන බුවනෙකබාහු රජු භාවිත කළ බව කියන කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි රාජසභා ගොඩනැගිල්ලට හානි සිදුකිරීමේ සිද්ධියට අදාළවයි.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මීට අදාළ පෙත්සම ගොනුකර තිබුණා.

රාජසභා ගොඩනැගිල්ලට හානි සිදුකිරීමේ සිද්ධියට වගකිව යුතු කුරුණෑගල නගරාධිපතිවරයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට පොලිස්පතිවරයාට මැන්ඩාමුස් ආඥාවක් නිකුත් කරන ලෙස එමගින් ඉල්ලා තිබෙනවා ෴

***************************************

(04.03.2021 – 15:05 +0530 – hirunews.lk/sinhala)

කොළඹ පෞද්ගලික රෝහලක සිට කළුතර ප්‍රදේශයේ සංචාරක හෝටල්වල නිරෝධායන කටයුතු වලට සෞඛ්‍ය සේවකයින් රැගෙන යමින් සිටි බස් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් එහි රියදුරු බරපතල තුවාල ලබා තිබෙනවා.

වස්කඩුව – කොස්ගස්හන්දිය දුම්රිය හරස් මාර්ගයේදී අද (04) මෙම බස් රථය ගැටී ඇත්තේ දකුණ කළුතර සිට මරදාන දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියකයි.

ඉන් බස් රථයට දැඩි හානි සිදුවී ඇති අතර, තුවාල ලැබූ රියදුරා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා ෴

***************************************

(04.03.2021 – 16:17 +0530 – hirunews.lk/sinhala)

නාරම්මල – පහමුනේ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

මියගොස් ඇත්තේ 37 හැවිරිදි පහමුනේ – කූරිකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු මෝටර් රථයකින් පැමිණ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි මියගිය පුද්ගලයා අනතුරට ලක්කර පසුව තියුණු ආයුධයකින් පහරදී ඇති බව පොලීසිය සඳහන් කළා.

සැකකරු අනතුරුව, නාරම්මල පොලීසියට භාරවී තිබෙනවා. එහිදී ඔහු පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ ඝාතනය කළ පුද්ගලයා තම බිරිඳගේ අසභ්‍ය ඡායාරූප ජංගම දුරකථනයට යොමුකරමින් අවස්ථා කිහිපයකදී තමන්ට අපහාස කළ බවයි.

https://www.youtube.com/watch?v=nzh7JdqPLNs#t=6

***************************************

(04.03.2021 – 16:51 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිලිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය ලබන 10 වනදා පැවැත්වීමට අද (04) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී තීරණය වී ඇත්තේ ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන සභාවේ කල් තැබීමේ යෝජනාවක් ලෙස එම විවාදය එදින පෙරවරු 11:00 සිට පස්වරු 05:30 දක්වා පැවැත්වීමටයි ෴

***************************************

(04.03.2021 – 17:28 +0530 – hirunews.lk/sinhala)

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට ඉල්ලීම් ඉදිරිපත් කිරීම, පැමිණ හෝ බාහිර පුද්ගලයින් මගින් බලපෑම් කිරීම සිදුනොකරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළා.

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම පසුගිය පෙබරවාරි මස 28 වනදායින් අවසන් කර ඇති බවයි ඔවුන් නිවේදනය කළේ ෴

***************************************

(04.03.2021 – 17:33 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස කපන ලද විශාල දැව කඳන් රැගෙන යමින් තිබූ පාපැදි 5 ක් ලාහුගල වනාන්තරය තුල තිබී යුද හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාමුර සංචාරයේ යෙදී සිටි 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් භට පිරිසක් විසිනුයි මෙම දැව කඳන් තොගය සොයා ගෙන ඇත්තේ.

කියත් කිහිපයක් ද එහිදී හමුවී ඇති අතර, හමුදාව පැමිණෙන අවස්ථාවේදී ජාවාරම්කරුවන් අදාළ පාපැදි අතහැර පලාගොස් තිබෙනවා.

එමෙන්ම, යුද හමුදාව විසින් පුනරින් – සංගුප්පිඩ්ඩි ප්‍රදේශයේ පවත්වාගෙන යන මාර්ග බාධකයකදී නීති විරෝධී අයුරින් ප්‍රවාහනය කරමින් තිබූ බුරුත සහ පළු දැව කඳන් සියයක් (100) පමණ සහිත කැබ් රථයක් ද සිය භාරයට ගෙන තිබෙනවා ෴

***************************************

(04.03.2021 – 18:14 +0530 – hirunews.lk/sinhala)

19 හැවිරිදි තරුණියක් දූෂණය කිරිම සම්බන්ධයෙන් 38 හැවිරිදි පෙදරේරුවෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු මෙලෙස දූෂණය කර ඇත්තේ, තම අනියම් බිරිඳගේ පුත්‍රයාගේ බිරිඳ බවටයි අනාවරණ වී ඇත්තේ.

අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු ලබන 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමටයි, ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ.

දුෂණයට ලක්වූ තරුණියගේ නිවසේ සිටින බාල වයස්කාර ගැහැණු දරුවන් දෙදෙනා (2) සහ පිරිමි දරුවා පිළිබඳ පරිවාස වාර්තාවක් කැඳවිමටත් ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ නියෝග කළා.

මෙම කාන්තාව ප්‍රේම සම්බන්ධයක් මත විවාහ වි රත්ගම පිහිටි සැමියාගේ නිවසට පැමිණ ඇති අතර පසුව සැමියාගේ මව විදෙස්ගත වී තිබෙනවා.

පසුගිය ජනවාරි මස දිනයක අලුයම සැකකරු පැමිණ බලහත්කාරයෙන්ම තමන්ව දූෂණය කළ බවත් පසුව පෙබරවාරි 28 දක්වා දිගින් දිගටම අවස්ථා කිහිපයකදි තමාගේ කැමැත්ත නොමැතිව දුෂණය කර බවත් ඇය පොලිසියට පැමිණිලි කර තිබෙනවා ෴

@@@@@@@@@@@@@@

(04.03.2021 – 11:45 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ කොරෝනා එන්නත් තොගයක් ජාත්‍යන්තර පොලීසිය මගින් සොයාගෙන තිබෙනවා.

චීනය සහ දකුණු අප්‍රිකාවේ සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි මෙම එන්නත් තොගය සොයාගත් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එහි එන්නත් මාත්‍රා දහස් ගණනක් තිබී ඇති අතර චීනයේදී මෙම ජාවාරමට සම්බන්ධ 80 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++++++++++++++

(04.03.2021 – 14:00 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ හදිසි භාවිතය සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – ෆයිව් එන්නතට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව එම එන්නත් තොග ලබාගැනීම සඳහා මේ වනවිට සාකච්ඡා පවත්වන බවයි ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ.

මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීම සිදුකෙරෙනවා.

පසුගිය ජනවාරි මාසයේදී ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර, පසුව සීරම් ආයතනයෙන් තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් මිලදී ගැනීමට ලක් රජය කටයුතු කළා.

එන්නත්කරණයට අදාළව මේ වනවිට මෙරට පුද්ගලයින් හය ලක්ෂයකට (6,00,000) ආසන්න සංඛ්‍යාවකට එන්නත් ලබාදී තිබෙනවා.

එමෙන්ම මත්පැන් සහ දුම්පානය කරන්නන් කොරෝනා එන්නත් ලබාගැනීම වැදගත් බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්ටද හෙට (05) සිට කොරෝනා එන්නත්කරණ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

මෙරටින් ඊයේ (03) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 356 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාව වූ 104 දෙනෙකු හඳුනාගෙන තිබුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63 දෙනෙකු සහ රත්නපුරයෙන් 35 දෙනෙකු හඳුනාගෙන තිබුණා. සෙසු ආසාදිතයින් 133 දෙනා දිස්ත්‍රික්ක 17 කින් හඳුනාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ.

මේ අතර, බන්ධනාගාර ආශ්‍රිතව අද (04) දිනයේදී කොරෝනා ආසාදිතයින් 06 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

මේ දක්වා ගතවූ කාලය තුළ බන්ධනාගාර ආශ්‍රිතව කොරෝනා ආසාදිතයින් 4,968 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඉන් සම්පූර්ණයෙන්ම සුවය ලැබූ සංඛ්‍යාව 4,708 ක්.

ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින්ගෙන් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 250 දෙනෙකු පමණයි.

මේ අතර, හැටන් – කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අතර ගුරුවරුන් පස් දෙනෙකු (05) සහ පාසල් ළමයින් 07 දෙනෙකුද වනවා.

මේ වනවිට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 84,225 ක් වන අතර, ඉන් 80,437 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබෙනවා.

ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 3,304 දෙනෙකු පමණයි.

++++++++++++++++++++

(04.03.2021 – 15:21 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මෘත දේහ භූමදානය කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් මෙන්ම ජාතික සංවිධාන ද අදත් (04) විවිධ අදහස් පළකළා.

++++++++++++++++++++

(04.03.2021 – 15:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව සිටි තවත් 399 දෙනෙකු අද (04) දිනයේදීත් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 80,836 ක් බවයි ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 204 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් මේවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 84,430 ක්.

මේ අතර, කොරෝනා ආසාදිත මෘතදේහ භූමදානය සඳහා කිලිනොච්චිය – ඉරණතිව් දූපත තෝරා ගැනීමට විරෝධය පළ කරමින් අදත් දූපත් වැසියන් විරෝධතාවල නිරත වුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *