උපදින සෑම දරුවෙකුම ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක්

උපදින සෑම දරුවෙකුම ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක්

*********************************************

උපදින සෑම දරුවෙකුම ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක්

(04.03.2021 – 07:29 +0530 – hirunews.lk/sinhala)

උපදින සෑම දරුවෙකුම රෝහලෙන් පිටව යාමට පෙර ශ්‍රවණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඊයේ (03) දිනට යෙදුණු ලෝක ශ්‍රවණ දිනය වෙනුවෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කොළඹ ජාතික රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය චන්ද්‍රා ජයසූරිය මහත්මිය මේ බව ප්‍රකාශ කළා.

එහිදී ශ්‍රවණ ආබාධ සහ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විශේෂඥ ශල්‍ය වෛද්‍ය සිතාරා දිසානායක මහත්මිය ද මාධ්‍ය හමුවට එක්වුණා.

ඇය සදහන් කළේ ‘කොට්න් බඩ්’, යතුරුකටු වැනි දෑ කන් ශුද්ධ කිරීම සඳහා භාවිත නොකළ යුතු බවයි.

ඒ සඳහා ටිෂූ කඩදාසියක් උපයෝගී කර ගන්නා මෙන් ඇය සඳහන් කළා ෴

***************************************

(04.03.2021 – 07:46 +0530 – hirunews.lk/sinhala)

දේවස්ථානයක පිං කැටය කඩා මුදල් සොරකම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට මාස 06 ක සිරදඬුවමක් හිමි වූ පුවතක් ඊයේ (03) වාර්තා වුණා.

ගම්පහ – සිරිකුරුස දේවස්ථානයේ පිං කැටය කඩා මුදල් සොරකම් කළ මිනුවන්ගොඩ – දෙවලපොල ප්‍රදේශයේ පුද්ගලයෙකුට මෙලෙස සිරදඬුවම් නියම කළේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න විසින්.

සිරදඬුවම් නියම වූ සැකකරු මීට පෙර අවස්ථා 05 කදී පිං කැට කඩා මුදල් සොරකම් කර ඇති බව අනාවරණ වී තිබුණා.

එසේම, ඔහු සමඟ සොරකමේ නිරත වූ අනෙක් සැකකරුට මාස 06 ක සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා එය වසර 05 කට අත්හිටවනු ලැබුවා ෴

***************************************

(04.03.2021 – 08:12 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා මැනීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍යාංශය සහ කොළඹ මහනගර සභාව ඒකාබද්ධව තීරණය කර තිබෙනවා.

ඒ, කොළඹ නගරයේ වායු දූෂණය ඉහළ යාම හේතුවෙන්.

මේ අතර, කොළඹ නගරයේ වායු දූෂණය වළක්වා ඔක්සිජන් ප්‍රතිශතය ඉහළ නැංවීමට ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව කොළඹ නගරයට ගැලපෙන රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි තීරණය වී ඇත්තේ.

කොළඹ මහ නගර සභාව ආරම්භ කර තිබෙන ‘කොළඹට ගසක් ඉතුරු කර ගනිමු’ වැඩපිලිවෙල සහ පරිසර අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ‘හුස්ම දෙන තුරු’ රුක් රෝපණ වැඩසටහන ඒකාබද්ධ කරමින් ඉඩ කඩ පවතින සෑම ස්ථානයකම රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටයි තීරණය වී ඇත්තේ ෴

***************************************

(04.03.2021 – 08:20 +0530 – hirunews.lk/sinhala)

පඩිපාලක සභාව හරහා වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් (1000) දක්වා වැඩි කිරීමෙන් වතු කම්කරුවන්ට අවාසිදායක තත්ත්වයක් මතුවන බව ශ්‍රී ලංකා වතු වැවිලිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජතුරෙයි මහතා සඳහන් කළේ මෙතෙක් කල් වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු වෘත්තීය සමිති අතර පැවති අවබෝධතා ගිවිසුම මෙම තීරණයත් සමඟ අහෝසි වූ බවයි.

ඒ හේතුවෙන් වතු කම්කරුවන්ට හිමිවීමට තිබූ සුබසාධන පහසුකම් අහිමි වන බවද ඔහු සඳහන් කළා ෴

***************************************

(04.03.2021 – 08:41 +0530 – hirunews.lk/sinhala)

අතුරුදන් වූ කාන්තාවන් 6 දෙනෙකු පිළිබඳව තොරතුරු මේ වනවිට වේල්ලවීදිය පොලිස් ස්ථානයට ඇමතුම් හරහා ලැබී ඇති බව වාර්තා වනවා.

ඒ පිළිබඳව අද (04) උදෑසන ‘හිරු TV පත්තරේ විස්තරේ’ වැඩසටහන හරහා ගෙන ආ වාර්තාව පහතින් :

***************************************

(04.03.2021 – 09:01 +0530 – hirunews.lk/sinhala)

අන්තර් ආයතනික ගැටළු නිරාකරණය කරගනිමින් රාජ්‍ය ආයතන ඔස්සේ ක්‍රියාත්මක ජනතා සේවාවන් කාර්යක්ෂම කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (03) පැවති අමාත්‍යාංශ නිලධාරීන්ගේ හමුවකට එක්වෙමින්.

ප්‍රමාදවෙමින් පැවති සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා එහිදී අවධානය යොමුකර තිබෙනවා.

ඇතැම් ව්‍යාපෘති ප්‍රමාදවීමට හේතු වී ඇත්තේ අන්තර් ආයතනික සබඳතා දුරස්ථව පැවතීම නිසා බව අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන් බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ ෴

***************************************

(04.03.2021 – 09:16 +0530 – hirunews.lk/sinhala)

දමන ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ සූක්ෂම සඟවා තිබූ හෙරොයින් සහ අයිස් අඩංගු පාර්සල් දෙකක් (2) අම්පාර පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරීන් සොයාගෙන තිබෙනවා.

එහි හෙරොයින් මිලිග්‍රෑම් 1860 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1340 ක් තිබී සොයාගනු ලැබුවා.

කවුරුන් විසින් මේවා සගවා තබන්නට ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය වී නැහැ ෴

***************************************

(04.03.2021 – 09:20 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – මුතූර් – පංචනූර් ප්‍රදේශයේදී ව්‍යාජ ලෙස සකස් කරන ලද ලේඛන සහ සමරු ඵලක ළඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජ ලේඛන වලට අමතරව පිත්තල සමරු කාසියක්, තුර්කි ලාංඡන සහිත පුවරු කැබැල්ලක්, තුර්කි ලීරා නෝට්ටුවක් සොයා ගත් ද්‍රව්‍ය අතර වනවා ෴

***************************************

(04.03.2021 – 09:24 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා අරලියගහ මන්දිරයේදී ඊයේ (03) පස්වරුවේ අග්‍රාමාත්‍යවරයා හමුවී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුම් උළෙලට සහභාගි වීම සඳහා මෙරටට පැමිණි අවස්ථාවේදියි.

එහිදී ආරක්ෂක අංශයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය පළ කරන බව ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානියා ප්‍රකාශ කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන ආරක්ෂක සහයෝගීතාවක් පවතින අතර, එය ත්‍රස්තවාදයට එරෙහිවීම, සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී පවතිනවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව පැවැත්වෙන ගුවන් යානා සංදර්ශනය අද (04) සහ හෙටත් (05) පස්වරු පහේ (05:00) සිට හය (06:00) දක්වා කොළඹ ගාලු මුවදොර අහසේ පැවැත්වෙනවා ෴

***************************************

(04.03.2021 – 09:49 +0530 – hirunews.lk/sinhala)

පෙබරවාරි මාසයේ මෙරටට සංචාරකයන්ගේ පැමිණීම පෙර මාසයට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව පසුගිය මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින්ගේ සංඛ්‍යාව 3386 ක්.

යුරෝපා රටවලින් මෙරටට වැඩි සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බවයි වාර්තා වන්නේ ෴

***************************************

(04.03.2021 – 10:01 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 20,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් මහරගම පොලිසියේ සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිනී වීරසූරිය මහත්මිය සදහන් කළේ කැනේඩියානු ජාතිකයෙකුගෙන් මෙම අල්ලස් මුදල ලබාගැනීමට කටයුතු කර ඇති බවයි.

මොහුට අයත් කැබ් රථයක් අපරාධ චෝදනා මත මහරගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, එය නිදහස් කිරීමට විරුද්ධ නොවී සිටීමට පොලිස් සැරයන්වරයා මෙම අල්ලස් මුදල ඉල්ලා තිබෙනවා ෴

***************************************

(04.03.2021 – 10:09 +0530 – hirunews.lk/sinhala)

රබර් වගාව තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා සමාගම් අතර කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

වැවිළි කර්මාන්ත අමාත්‍යාංශ ලේකම්වරයාගේ සභාපතීත්වයෙන් යුත් එම කමිටුවෙහි මූලික අරමුණ වන්නේ රබර් වගාව සඳහා නව තාක්ෂණය හඳුන්වා දීම සහ නව නිෂ්පාදන අත්හදා බැලීම මෙන්ම රබර් වගාවේ පවතින ගැටළු සඳහා විසදුම් ලබාදීමයි ෴

***************************************

(04.03.2021 – 11:20 +0530 – hirunews.lk/sinhala)

පසුගිය සඳුදා (01) කොළඹ, වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් මල්ලක තිබී හමුවූ තරුණියගේ හිස නැති මලසිරුරට අදාල ඝාතනය සම්බන්ධයෙන් පුර්ණ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක බව පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

පරීක්ෂණ අතරතුරදී කාමරය තුළ තිබී ලේ පැල්ලම් කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.

මේ අතර මෙම ඝාතනය සැලසුම් සහගතව සිදු කර ඇති බවටයි, තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඝාතනයට අදාළ සැකකරු මිය ගියත් පූර්ණ විමර්ශන දිගටම ක්‍රියාත්මක කර අධිකරණයට කරුණු වාර්තා කරන බව පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

***************************************

(04.03.2021 – 11:24 +0530 – hirunews.lk/sinhala)

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට එරෙහි අධි චෝදනා කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ ඉදිරියේ අද (04) කියවා දුන්නා.

ඒ, පාඨලි චම්පික රණවක විසින් පැදවු ජීප් රථයක් මගින් සංදීප් සම්පත් ගුණවර්ධන නැමති කරුණයෙකුට බරපතල තුවාල සිදුකර පලායාම, බොරු සාක්ෂී සැකසිම, සාක්ෂී අතුරුදන් කිරීම ඇතුළු අධි චෝදනා 16 ක් යටතේ ඔහුට එරෙහිව නීතිපතිවරයා පවරා තිබු නඩුව කැදවු අවස්ථාවේදියි.

මෙම රිය අනතුරින් බරපතල තුවාල ලැබු සන්දීප් සම්පත් ගුණවර්ධන අද (04) පළමු වරට අධිකරණය හමුවේ පෙනී සිටි බවයි අප අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතීඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට දැනුම් දුන්නේ කොරෝනා එන්නත ලබාගැනීමට යුද හමුදා රෝහලට ගොස් ඇති බැවින් පාඨලි චම්පික රණවකට අද (04) දින අධිකරණ හමුවට පැමිණීමට නොහැකි බවයි.

එමෙන්ම අධිචෝදනා සම්බන්ධයෙන් මුලික විරෝධතාවක් ඉදිරිපත් කරන බවද පාඨලි චම්පික වෙනුවෙන් පෙනි සිටි නීතිඥවරුන් කියා සිටියා.

එහිදී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් ඊට විරෝධය පළ කළා.

කෙසේ වෙතත්, කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ එහිදි නියෝග කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක පාර්ශවයෙන් ඉදිරිපත් වු මුලික විරෝධතාව සම්බන්ධයෙන් සලකා බැලීම ලබන අප්‍රේල් මස 27 වනදා සිදු කරන බවයි.

@@@@@@@@@@@@@@@@

(04.03.2021 – 08:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ වනවිට නිකුත් කර තිබෙනවා.

එම මාර්ගෝපදේශවල දැක්වෙන්නේ :

  • මරණකරුගේ ඥාතීන් විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාට ඒ පිළිබඳ නොපමාව දැනුම් දිය යුතුයි.
  • එය ලිඛිතව සෞඛ්‍ය නිලධාරීන් විසින් ඥාතීන්ගෙන් ලබා ගත යුතුයි.
  • සෞඛ්‍ය නිලධාරීන් විසින් ලබාදෙන ලිය කියවිලි මෘත දේහය ඉරණතිවු දූපත දක්වා ගෙන යාමට වලංගු වේ.
  • මෘත දේහය ගෙන යාම සඳහා අවශ්‍ය පෙට්ටිය ඥාතීන් විසින් සැපයිය යුතුයි.
  • දේහය රැගෙන එන අවස්ථාව ඡායාරූප ගත කිරීම හෝ වීඩියෝගත කිරීම සපුරා තහනම්.
  • කොළඹ නගරයේ නම් කරන ලද ස්ථානයකට දේහය රැගෙන ඒමෙන් පසු දිනපතා අලු‍යම 05:30 ට නච්චිකුඩා ජැටිය දක්වා මෘත දේහ ප්‍රවාහනය කරනු ලැබේ.
  • මෘත දේහය හඳුනා ගැනීමට රෝහලට පැමිණි ඥාතීන්ගෙන් දෙදෙනෙකුට (2) පමණක් ඒ සමඟ ඉරණතිවු දූපතට යාමට අවසර හිමිවේ.
  • අදාළ ඥාතීන් නිරෝධායන නීති වලට දැඩි ලෙස අනුගත විය යුතු අතර සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.
  • කිසිදු හේතුවක් මත මෘත දේහය ඇතුලත් පෙට්ටිය විවෘත කිරීමට අවසර හිමි නොවේ.
  • අවසන් කටයතු ඥාතීන් දෙදෙනෙකු (2), සෞඛ්‍ය හා ආරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කළ යුතුය

යන්න අදාළ මාර්ගෝපදේශයි ෴

+++++++++++++++++++++

(04.03.2021 – 08:45 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නත් නුදුරේදීම කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව වෙතද ලබාදීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොළඹ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළා.

නව ආසාදිතයින් 356 දෙනෙකු ඊයේ (03) වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 84,226 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයින්ගෙන් 335 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර විදේශයන් හි සිට පැමිණි 21 දෙනෙකු ද ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා ෴

++++++++++++++++++++++

(04.03.2021 – 09:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය සඳහා රුසියාව නිෂ්පාදනය කරන ලද ‘ස්පුටිනික් ෆයිව්’ එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය හිමිව තිබෙනවා.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් එම එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර ලබාදුන් බවයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *