පාස්කු වාර්තාවේ පිටපත් ලබා නොදුන්නැයි අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි කනස්සල්ල

පාස්කු වාර්තාවේ පිටපත් ලබා නොදුන්නැයි අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි කනස්සල්ල

*********************************************

පාස්කු වාර්තාවේ පිටපත් ලබා නොදුන්නැයි අමරපුර සහ රාමඤ්ඤ නිකායන්හි කනස්සල්ල

(03.03.2021 – 17:59 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායේ මහ නායක හිමිවරුන්ට ලබා නොදීම පිළිබඳ එම දෙනිකායේ ලේඛකාධිකාරී හිමිවරුන් කනස්සල්ල පළ කරනවා.

නිවේදනයක් නිකුත් කරමින් උන් වහන්සේ පෙන්වා දෙන්නේ පසුගියදා නිකුත්වූ වාර්තාව මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් වෙත සහ කාදිනල් හිමිපාණන් වෙත ද භාරදී ඇති බවයි.

එහෙත් මෙරට තුනෙන් දෙකක් වන මහා සංඝරත්නය නියෝජනය කරන ප්‍රධාන භික්ෂු නිකාය දෙකක් වන ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය සහ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය යන දෙනිකායේ මහ නායක මාහිමිවරුන් වෙත භාරදී නොතිබුණු බව අදාළ නිවේදනය මගින් පෙන්වා දෙනවා.

රජය විසින් මෙම දෙනිකාය නොසලකා හැර ඇති බවට එමගින් හැගීයන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

රටක ගැටලු විසඳීමේදී රජය මීට වඩා අපක්ෂපාතීව සහ මධ්‍යස්ථාව ක්‍රියාකළ යුතු බව තම හැගීම වන අතර ඒ සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදය සහ කණගාටුව පළකරන බව ද අමරපුර සහ රාමඤ්ඤ මහා නිකායන්වල ලේඛකාධිකාරී හිමිවරුන් සිය නිවේදනය මගින් ප්‍රකාශකර තිබෙනවා.

***************************************

(03.03.2021 – 18:40 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චිය – වට්ටකච්චි ප්‍රදේශයේදී මවක අවුරුදු 2, 5 සහ 8 වයස්වල පසුවන සිය දරුවන් තුන් දෙනා (3) සමඟ ළිඳකට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කර තිබෙනවා.

කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් එක්ව එම අවස්ථාවේදීම මව සහ එක් දරුවෙකු මුදා ගෙන රෝහල් ගත කර ඇති අතර, එම අවස්ථාවේදී දරුවා ජිවිතක්ෂයට පත්ව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

අනෙක් දරුවන් දෙදෙනා මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

***************************************

තරුණිය ඝාතනයට සැක පොලිස් SI ලියූ ලිපිය එළියට

(03.03.2021 – 19:10 +0530 – hirunews.lk/sinhala)

තරුණියක් ඝාතනය කර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයට ගෙනවිත් දමා සිය දිවි හානි කරගත් බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා මිය යාමට පෙර සිය බිරිඳට ලියූ ලිපියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඝාතනයට ලක් වූ තරුණියගේ හිස කොටස මෙතෙක් හමුවී නැහැ.

පසුගිය සඳුදා වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් මල්ලක තිබී හමුවූ හිස නොමැති මළ සිරුර කුරුවිට – තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක තරුණියකගේ බවට ඊයේ හඳුනා ගැණුනා.

මෙම මළ සිරුර වේල්ලවීදිය ප්‍රදේශයට ගෙනවිත් දැමූ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ඒ.එම්. පේමසිරි නමැති මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව ඔහුගේ මළ සිරුර අද උදෑසන හමුවූයේ නිවස ආසන්නයේ කැළෑබඳ ප්‍රදේශයක ගසක එල්ලෙමින් තිබියදීයි.

ඔහුගේ මළ සිරුර ආසන්නයේ වස බෝතලයක් ද තිබී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

කෙසේ වෙතත් මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ තිබී පොලිසිය සොයා ගත් ලිපියේ තමන් අනියම් සබඳතාවක් පැවැත්වූ බවත් ඉන් තමාට කරදර රැසකට මුහුණ දීමට සිදුවූ බවත් සඳහන් කර තිබුණා.

එමෙන්ම තමා අතින් වැරදි රැසක් සිදුවූ බවත් ඒ සියල්ල ගැන තමා කණගාටුවන බවත් බිරිඳට ලියා තිබූ ලිපියේ තවදුරටත් දැක්වෙනවා.

එම සම්පූර්ණ ලිපිය පහතින් :

+++++++++++++

‘මං බෑ කිවුවත් එයා ඉඩ දුන්නෙ නෑ..’ පෙම්වතිය මරා සියදිවි නසාගත් SI තම බිරිදට ලියූ අවසන් ලිපිය මෙන්න..

(03.03.2021 – 22:02 +0530 – lankacnews.com)

තරුණියක් ඝාතනය කර තමන්ද සිය සියදිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයා විසින් තම බිරිඳ වෙත ලියන ලද ලිපියක් මේ වන විට සමාජ ජාල ඔස්සේ සංසරණය වෙයි.

පහතින් දැක්වෙන්නේ එම ලිපියයි :

අම්මට

මට සමාවෙන්න. මගේ ජිවිතේ පන මගේ පවුල. මොන විදියේ වැඩ කළත් මම එක දුන්නෙ පවුලට. එය එසේ වෙද්දී ‘SI අන්කල් , SI අන්කල්’ කිය කියා මගේ මිතුරකුගේ දියණියක් මට ළං වුණා. එයා දැනගත්තා මගේ ළමයින්ට මං කොච්චර ආදරේද කියලා. මුලදි ලොකුවට නොවුනට පසුව ඒ ළමයටත් මගේ දරුවකුට වගේම සලකන්න කීවා. එය එහෙම කරන්න මට බෑ. කියපු හැමදේම කරා. ඉල්ලපු හැමදේම දුන්නා. පසුවට ඔයාටයි ළමයින්ටයිත් එක්ක බනින්න ගත්තා. මට එපා උනා. නවත්තපු මේ සම්බන්දෙ කිව්වා. එහෙම බෑ කියලා නොයෙක් දේ කළා. ඒක ඔයා දන්නවා.

ඔයාගේ තරහ කේන්තිය ගෑනියෙක් හැටියට සාධාරණයි. ඒත් දැන් මම නීතියෙ වරදකාරයෙක් වෙලා. කවුරුත් නොදන්න තැනකට ගිහින් මේ දේ කරගන්න තිබ්බා. එහෙම වුනොත් මාව හොයා ගන්නකං ඔයාලට පොලීසියෙන් වද දෙයි. ඒ නිසා මම පොලිසියට පෙනෙන්න කරගන්නවා. එතකොට ඔයාලට වද දෙන්නෙ නෑ. අවනම්බුවක් වෙයි ඉවසලා වැඩ කරන්න.

මම දන්නවා ඔයා ශක්තිවන්ත ගැහැනියක් කියලා. මම දන්නේ නෑ ලෝකෙ ගැන. නොදැන නෙමෙයි මම මේවට පැටලුණේ. ඒත් දැන් ඉතිරිවෙලා නෑ කිසි දෙයක්. ඔයා හිතින් විඳපු වේදනාව මම මගේ ජීවිතෙන්ම දැන් විඳිනවා. ඒක මගේ වරද. මම නැති වුණාට ඔයාලා බලාගන්න කෙනෙක් ඇති. අවුරුදු ගණන් හිරබත් කන්න වෙයි මට.

මේක ප්ලෑන් කරලා කරපු දෙයක් නෙමෙයි. ඇත්තෙන්ම එහෙම නොවෙන්න තිබුන නම් හොදයි කියල දැන් හිතෙනව. මගේ ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්න. ටික කාලයක් යනකොට දුක ඇරිල යාවි.

ලෝකයේ ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඒකයි ලෝක ධර්මය. දැනටත් මාව සීඅයිඩී එකෙන් හොයනව. පොලිසිය ආවොත් ඇත්ත තත්ත්වය කියන්න. කාලයක් තිස්සේ වුණ දේ ….. ආදරය කිය කිය ඉදල වෛර කළා …

මට සමාවෙන්න.

තෙරුවන් සරණයි.

+++++++++++

SI අන්කල්ගේ ගත වැඩී ඇත; සිත වැඩී නැත.

+++++++++++

(03.03.2021 – 19:46 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වේල්ල වීදියේ බෑගයකින් සොයා ගත් තරුණියගේ මළ සිරුරේ අනන්‍යතාව තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඊට හේතුවී ඇත්තේ ඇගේ හිස කොටස මෙතෙක් සොයා ගැනීමට නොහැකිවීම හේතුවෙන්.

ඒ අනුව, එම සිරුරේ සහ ඇයගේ මවගේ ඩී.එන්.ඒ. සාම්පල අද (03) ලබා ගැණුනා.

ඒවා සැසදීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු හෙට (04) සිදු කෙරෙන බවයි පොලීසිය පැවසුවේ.

පසුගිය සඳුදා වේල්ලවීථිය ප්‍රදේශයේ ගමන් මල්ලක තිබී හමුවූ හිස නොමැති මළ සිරුර කුරුවිට – තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක තරුණියකගේ බවට ඊයේ (02) හඳුනා ගැණුනා.

සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ සැකකරු පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වූ අතර පසුව හෙළි වුණේ ඔහු බුත්තල පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයෙකු බවයි.

උප පොලිස් පරීක්ෂකවරයා හංවැල්ල ප්‍රදේශයේ දෙදෙනා (2) නැවතී සිටි තානායමේ සිට හංවැල්ල බස් නැවතුම්පළට රැගෙන ආ ත්‍රීරෝද රථයේ රියදුරුගෙන් ද කරුණු රැසක් පොලීසිය අනාවරණ කර ගත්තා.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා හංවැල්ල නගරයේ වෙළඳසැලකින් තරුණිය ඝාතනය කිරීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන පිහියක් ද මිලදී ගෙන ඇති බවට සී.සී.ටී.වී. දර්ශනවල සටහන් වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ උප පොලිස් පරීක්ෂකවරයා ඝාතනය සිදුකර ඔවුන් සිටි කාමරය සම්පූර්ණයෙන් පිරිසිදු කර ඉන් පිටව ගොස් ඇති බවයි.

එමෙන්ම තරුණිය මියගිය පසු මළ සිරුර සම්පූර්ණයෙන්ම පිරිසිදු කර ඇති බවද පොලිසිය සඳහන් කළා.

බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය මෙහෙයුම් ක්‍රියාත්මක කළත් අද (03) උදෑසන ගෙළ වැළලාගෙන සියදිවි නසා ගත් ඔහුගේ සිරුර සොයා ගැණුනා.

ඒ නිවස ආසන්නයේ පිහිටි කැලෑබද පෙදෙසකින්. එම ස්ථානයේ තිබී වස බෝතලයක් ද සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ.

ඔහු බුත්තල පොලිස් ස්ථානයේ කොරෝනා මර්දන අංශයේ ප්‍රධානියා ලෙස රාජකාරි සිදු කර තිබෙනවා.

තුන් (3) මසකට පෙර අභාවප්‍රාප්ත වූ තම මවගේ දානමය පිංකම සඳහා දින 6 ක නිවාඩුවක් ලබාගෙන නිවසට පැමිණ සිටි අවස්ථාවේදීයි ඔහු මෙම අපරාධය සිදු කර සියදිවි නසාගෙන ඇත්තේ.

තුන්දරු පියෙකු වන මොහු ඇමති ආරක්ෂක අංශයේද සේවය කර ඇති අතර බුත්තල පොලිසියට අනුයුක්ත වීමට පෙර රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ගේ ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කර තිබුණා.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඝාතනය සිදුකොට නිවසට පැමිණීමෙන් පසු සියදිවි හානි කර ගැනීමට පෙර බිරිඳට ලිපියක් ලියා තිබුණා.

කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ 30 හැවිරිදි මෙම තරුණිය ජීවත්ව ඇත්තේ සිය මව සමඟයි.

මියගිය තරුණිය හේෂා විතානගේ මන්ත්‍රීවරයාගේ ඡන්ද ව්‍යාපාරය සඳහා සහයෝගය දක්වා ඇති අතර ඇයගේ සොහොයුරාද කුරුවිට ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරනවා.

පසුගිය 28 වනදා ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් පැවැත්වෙන දන්සැලකට සහය දැක්වීම සඳහා බව පවසමින් දියණිය නිවෙසින් පිටව ගිය බවයි මව සඳහන් කළේ.

මියගිය තරුණියගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම සඳහා ඇයගේ ඥාතීන් අද (03) දහවල් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයට පැමිණ තිබුණා.

තවමත් තරුණියගේ හිස කොටස සොයා ගැනීමට නොහැකි වී ඇති අතර, පොලිසිය සඳහන් කළේ සී.සී.ටී.වි. දර්ශන වල දැක්වෙන පරිදි උප පොලිස් පරීක්ෂකවරයාගේ කරේ පිටුපස එල්ලාගෙන යන බෑගයේ දමා රැගෙන යන්නට ඇති බවට සැක කෙරෙන බවයි.

***************************************

(03.03.2021 – 19:35 +0530 – hirunews.lk/sinhala)

පාස්කු කොමිසමේ වාර්තාව විමර්ශනය සඳහා පත් කළ අමාත්‍ය අනුකමිටුවට අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්ත විමර්ශන ඒකකයේ ප්‍රධානීන් කැඳවූ බව කමිටු සාමාජික අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

මෙම කමිටුව එහි සභාපති අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) කොළඹදී රැස්වුණා.

මේ අතර, පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ මුන්දලම මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ශකීල් ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවේ අදාළ නඩුව අද (03) කැඳවූ අවස්ථාවේදීයි.

අද (03) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනවලට අදාළව සංවේදී කරුණු ඇතුළත් රහස්‍ය වාර්තාවක් මුද්‍රා සහිතව අධිකරණයට ඉදිරිපත් කළා. එසේම, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප් පිරීස් අධිකරණයට කියා සිටියේ අදාළ වාර්තාව විත්තියට ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධත්වය පළ කරන බවයි.

මේ අතර පාස්කු කොමිසමේ වාර්තාවේ පිටපතක් තම නිකාය වෙත යොමු නොකිරීම සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදය සහ කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා අමරපුර – රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව ප්‍රකාශ කළා.

ඒ ඊට අදාළව කණගාටුව ප්‍රකාශ කිරීමේ නිවේදනයක් නිකුත් කරමින්.

මේ වනවිට අදාළ වාර්තාවේ පිටපත් මල්වතු සහ අස්ගිරි පාර්ශව මෙන්ම කාදිනල් හිමිපාණන් වෙත ද භාරදී ඇති බව එහි සඳහන් වනවා.

තම සංඝ සභාව වෙත එය නොලැබීම මගින් රජය සිය නිකාය නොසලකා හැර ඇති බවට හැගෙන බවයි අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

***************************************

(03.03.2021 – 19:59 +0530 – hirunews.lk/sinhala)

අඛන්ඩ විදුලි සැපයුමක් ලබාදීම වෙනුවෙන් පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 128 ක අතිරේක විදුලි ප්‍රමාණයක් මිලදී ගැනීමට විදුලිබල අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂන ජයවර්ධන මහතා හිරු ප්‍රවෘත්තී අංශයට කියා සිටියේ ඒ සදහා අවසර ලබා ගැනීමට අදාල ඉල්ලීම මහජන උපයෝගිතා කොමිසන් සභාව වෙත ඉදිරිපත් කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්තී අංශය මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ මීට අනුමැතිය පළ කිරීම සඳහා තම කොමිසම ලබන සතියේ හදිසි රැස්වීමක් කැඳවා ඇති බවයි.

මේ අතර, ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 350 ක් එක් කෙරෙන මෙරට ප්‍රථම ස්වභාවික ද්‍රව වායු බලාගාරයේ ඉඳිකිරීම් කටයුතු අනිද්දා කෙරවලපිටියේදී ආරම්භ කිරීමට නියමිතයි ෴

***************************************

(03.03.2021 – 20:48 +0530 – hirunews.lk/sinhala)

කුඩා දරුවන්ට සිදුකළ අමානුෂික පහරදිම් මෙන්ම ළමා අපයෝජන සිදුවීම් කිහිපයක්ම පසුගිය දින කීහිපයේ මෙරට ප්‍රදේශ කිහිපයකින්ම වාර්තා වුණා.

එම සිදුවීම් අතරතුරල තිස්සමහාරාම – පන්නෙගමුව ප්‍රදේශයේ රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයෙකු බාල වයස්කාර දරුවන්ට සිදුකරන තවත් අපරාධයක් පිළිබදව ‘හිරු සි.අයි.ඒ.’ තොරතුරු හෙළි කර ගත්තා.

අද (03) ‘හිරු සි.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

තම මව විසින්ම කුඩා දරුවෙකුට අමානුෂීය ලෙස පහරදෙන සිදුවීමක් මෙන්ම, 60 හැවිරිදි පුද්ගලයෙකු තවත් කාන්තාවක් සමග එක්වෙමින් කුඩා දරුවන් ලිංගික අපයෝජනය සදහා යොමු කළ සිදුවීමක්ද පසුගිය දින කිහිපයේ වාර්තා වුණා.

ඒ අතරතුරයි, ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායමට කුඩා දරුවන් සිව්දෙනෙකු (4) අපයෝජනයට ලක්කරන රාජ්‍ය සේවයේ නියුතු පුද්ගලයෙකු පිළිබද තොරතුරු අනාවරණය වන්නේ.

මේ වනවිටත් අදාල පුද්ගලයා අත්අඩංගුවට ගෙන නොමැති පසුබිමක අප තිස්සමහාරාම – පන්නෙගමුව ප්‍රදේශයට ලගාවුයේ තවත් දරුවන් මෙම පුද්ගලයාගේ ගොදුරක් බවට පත්වීම වලක්වා ගැනීමේ අරමුණ ඇතිවයි.

ළමා අපයෝජකයාගේ නිවසට ගිය අවස්ථාවේ ඔහුගේ බිරිඳ ‘හිරු සි.අයි.ඒ.’ කණ්ඩායම හමුවේ හෙළි කළේ අදාළ දරුවන් විසින් අපට හෙළිකළ තොරතුරුයි.

@@@@@@@@@@@@@@

(03.03.2021 – 18:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 205 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 84,075 ක් ෴

++++++++++++++++++++

(03.03.2021 – 20:13 +0530 – hirunews.lk/sinhala)

ඉරණතිව් දූපතේ මිනිස් වාසයෙන් පරිබාහිර කොටසක පමණක් කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, ඉරණතිව් දූපතේ අද (03) විරෝධතාවක් පැවැත්වුණේ එහි කොරෝනා මරණ භූමදානය කිරීමේ තීරණයට විරෝධය පළ කරමින්.

කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට අවසර ලබාදෙමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් පසුගිය 25 වැනිදා නිකුත් කෙරුණු අතර, ඊට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ වනවිට සකසා අවසන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ. කෙසේ වෙතත්, අදාළ චක්‍රලේඛය මෙතෙක් නිකුත් වී නැහැ.

කොරෝනා මරණ සම්බන්ධ අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ උපකමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පසුගියදා පත්කළා.

එහි සභාපති ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා එන්නත් හා බෝවන රෝග පිළිබඳ සංසදයේ සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා කොරෝනා මරණ භූමදානයට අදාළව නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබුණා.

ඒ අනුව,

• කොරෝනා ආසාදිත මෘත දේහයක් නිවස වෙත ගෙන යෑමට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

• මෘත දේහ එම්බාම් කිරීමෙන් වැළකිය යුතුයි.

• පැය 24 ක් ඇතුළත භූමදානයට යොමුකළ යුතුයි.

• භූමදානය කිරීමේදී ජලයට නිරාවරණය නොවන අයුරින් බහාලන කවර දෙකකින් ආවරණය කළ මිනී පෙට්ටියක දැමිය යුතුයි.

• මීනි පෙට්ටිය මෘත දේහය දැමූ පසු විවෘත නොකළ යුතුයි.

• භූමදානය කරන අවස්ථාවේදී ආගමික නායකයෙකුට ඊට සහභාගිවීමට අවසර හිමියි.

ඒ අනුව, මෘතදේහ භූමදානය සඳහා මන්නාරමට ආසන්න – ඉරණතිව් දූපත තෝරාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (02) ප්‍රකාශ කළා.

එම දූපතේ මේ වනවිට ස්ථිර වශයෙන් පවුල් 10 ත්, 15 ත් අතර සංඛ්‍යාවක් පදිංචිව සිටින අතර, විවිධ කාලවලදී තාවකාලිකව රැඳී සිටීමට ධීවරයින් මෙම දූපත භාවිත කරනවා.

කොරෝනා සිරුරු භූමදානයට ඉරණතිව් දූපත තෝරාගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ඊයේ (02) දිනයේම විරෝධය පළ කළා.

ඒ, එම තීරණයෙන් ජාතීන් අතර ඝට්ටනයක් නිර්මාණය වන බව පවසමින්.

එසේම, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ද මේ සම්බන්ධයෙන් ට්වීටර් පණිවුඩයක් නිකුත් කර තිබුණා.

එමඟින් ඔහු සඳහන් කළේ බලාපොරොත්තු කඩ වූ ජන කොට්ඨාශයක් පීඩාවට පත් කරමින්, අවසානයක් නොමැති සතුටක් ලබන ජාතිවාදය තවමත් ක්‍රියාත්මක බවයි.

මේ අතර, භූමදානය සඳහා ඉරණතිව් දූපතේ හාරා තිබූ වළවල් වසා දමා කොරෝනා මෘතදේහ එම ප්‍රදේශවලට ගෙන ඒමට විරෝධය පළ කරමින් එම දූපත් වැසියන් සහ ධීවරයින් අද (03) ඉරණමාතා නගර් වෙරළ තීරයේදී විරෝධතාවක ද, නිරත වුණා.

පැය කිහිපයක් පැවති එම විරෝධතාවයට ප්‍රදේශයේ කතෝලික දේවස්ථානවල පියතුමන් ද එක්ව සිටියා.

කෙසේ වෙතත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා කොළඹ අද (03) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ වෙනත් ස්ථාන හඳුනාගන්නා තෙක් මෙලෙස ඉරණතිව් දූපතේ කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට තීරණය කර ඇති බවයි.

මේ අතර, මෙරට තුළ සිදුකරන කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව පහත වැටීමට හේතු වී ඇත්තේ, ආසාදිතයින් අඩුවීමත් සමඟ ඔවුන්ගේ ආශ්‍රිතයින් සංඛ්‍යාවද පහත වැටීම බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

කෙසේ වෙතත්, වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන ප්‍රාදේශීය වසංගත රෝග අංශයට භාරදීම හේතුවෙන් කොරෝනා ක්ෂේත්‍ර රාජකාරීවලට බාධා මතු වී ඇති බවයි.

අද (03) දිනයේදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාදිතයින් 417 දෙනෙකු සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගියා.

ඒ අනුව සුවය ලැබූ සමස්තය මේ වනවිට 80,437 ක් ලෙස සටහන් වනවා.

+++++++++++++++++++++

(03.03.2021 – 20:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරසය ආසාදිත මරණයක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 484 ක් ලෙසටයි.

මියගොස් ඇත්තේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි 65 හැවිරිදි කාන්තාවක්.

මඩකලපුව ශික්ෂණ රෝහලේ සිට කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේදී අද (03) මියගොස් තිබෙනවා.

මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ ලේ විෂවීම සහ කොවිඩ් නිව්මෝනියාවයි ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 130 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් මේවන විට හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 84,226 ක්.

ඉන් 3305 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටව ගොස් ඇති සංඛ්‍යාව 80,437 ක්. කොරෝනා මරණ 484 ක් ද වාර්තාවී තිබෙනවා.

අද (03) දිනයේ මේ දක්වා ආසාදිතයන් 335 ක් වාර්තාවී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *