හෙට (01) ඇරඹෙන සාමන්‍ය පෙළ සහ නිමා වූ උසස් පෙළ විභාගවල ප්‍රතිඵල නිකුත්වන දින ගැන ඉඟියක්

හෙට (01) ඇරඹෙන සාමන්‍ය පෙළ සහ නිමා වූ උසස් පෙළ විභාගවල ප්‍රතිඵල නිකුත්වන දින ගැන ඉඟියක්

*********************************************

හෙට (01) ඇරඹෙන සාමන්‍ය පෙළ සහ නිමා වූ උසස් පෙළ විභාගවල ප්‍රතිඵල නිකුත්වන දින ගැන ඉඟියක්

(28.02.2021 – 17:21 +0530 – hirunews.lk/sinhala)

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයිනපුරා මධ්‍යස්ථාන 4,513 කදී හෙට (01) ආරම්භ වීමට නියමිතයි.

මෙවර විභාගය දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු වන ආකාරයට පැවැත්වීම සඳහා සියලු කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.

මෙවර විභාගය සඳහා පෙනී සිටින විභාග අපේක්ෂකයින් සංඛ්‍යාව 622,352 ක්.

ළමුන්ගේ සෞඛ්‍යට ප්‍රමුඛතාවය දෙමින් මෙවර විභාගය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි අධ්‍යාපන ආමාත්‍ය මහාචාර්ය ජි.එල්. පීරිස් මහතා සඳහන් කළේ.

හෙට (01) ආරම්භ වන සාමන්‍ය පෙළ විභාගය මාර්තු මස 10 වනදා දක්වා පැවැත්වෙන අතර එහි ප්‍රතිඵල ලබන ජුනි මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි ආමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර නිමා වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මාසයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියා.

***************************************

(28.02.2021 – 13:50 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයින් දෙදෙනෙකු (2) වන සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් හි බස් රථ රියදුරන් ලෙස සේවය කරනු ලබනවා.

ඒ, මෙල්බන් නගරයේ ප්‍රංශ සමාගමකට අයත් ට්‍රාන්ස්දේව් නම් ආයතනය සමඟ එක්වෙමින්.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගයට ක්‍රීඩා කළ රන්දිව් ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 12 ක්, එක්දින තරග 31 ක් සහ පන්දු වාර විස්ස තරග හතක් නියෝජනය කළ අතර, එහිදී කඩුලු 86 ක් බිඳ හෙලීමට සමත්ව තිබෙනවා.

චින්තක ජයසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කර ඇත්තේ විස්සයි විස්ස තරග පහකට (5) පමණයි.

බස් රථ රියදුරන් ලෙස සේවය කළද සුරාජ් රන්දිව් සහ චින්තක ජයසිංහගේ බලාපොරොත්තුව වී ඇත්තේ ඕස්ට්‍රේලියාවේ බිග් බෑෂ් පන්දු වාර විස්ස ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමයි.

***************************************

(28.02.2021 – 13:57 +0530 – hirunews.lk/sinhala)

මීගමුව බන්ධනාගාරයේ නියාමකවරයෙකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ, බන්ධනාගාරයේ ඔහුට අයත් ලාච්චුවක් තුළ තිබී ජංගම දුරකථන පහක් (5) සොයාගැනීමත් සමඟයි.

මීගමුව බන්ධනාගාර අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම ජංගම දුරකථන තොගය සොයාගැනුනා.

32 හැවිරිදි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම නියාමකවරයාට අදාළ ජංගම දුරකථන ලැබුණු ආකාරය තහවුරු කරගැනීමට නොහැකිවූ බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා කියා සිටියේ ෴

***************************************

(28.02.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

විදෙස් ගතව සිට විවෘත වරෙන්තු ලබා සිටි සැකකරුවෙකු නිරෝධායනය අවසන් වීමෙන් අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාළිගාකන්ද සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබියදී සැකකරු විදෙස් ගතවී ඇති අතර, ඔහු දිවයිනට පැමිණි වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි අධිකරණය පොලීසියට නියෝග කර තිබුණේ.

ඒ අනුව පසුගිය 12 වනදා ඩුබායි සිට පැමිණි අවස්ථාවේදී සැකකරු ගිංතොට ප්‍රදේශයේ පෞද්ගලික හෝටලයක සති දෙකක (2) කාලයක් නිරෝධායනය අවසන් කිරීමෙන් පසු ඊයේ (27) ගාල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවා ෴

***************************************

(28.02.2021 – 14:28 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තිහාරිය ප්‍රදේශයේ පැවති ජන හමුවකදී මෙලෙස අදහස් පළ කළා.

***************************************

(28.02.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමේදී ගුරුවරුන් අතින් වැරදි සිදුවීම වළක්වාලමින් ඉදිරියේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන එන බව, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මහතා පවසනවා.

ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීමේදී ගුරුවරියක අතින් සිදුවන වරදක් පිළිබඳව සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ අදහස් පළකළා.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව විවිධ විවේචන එල්ල වන්නේ එය කෙතරම් දුරට ප්‍රායෝගික ද යන්න පිළිබඳව කෙරෙන සාකච්ඡාවත් සමඟයි.

එහෙත් පවතින ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ අධ්‍යාපන ක්ෂේත්‍රයේ අදාළ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අවස්ථාව හිමිවී තිබෙනවා.

***************************************

(28.02.2021 – 14:41 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම, වනාතවිල්ලුව පොලිස් බල ප්‍රදේශයට අයත් නාගමඩුව අක්කර 60 ට ආසන්න වපසරියකින් යුත් මෙම රක්ෂිතයේ පිහිටි වසර 70 ක් පමණ පැරණි වැව ආශ්‍රීතව ධීවර රැකියාව සහ කෘෂිකර්මාන්තය ප්‍රධාන ජීවනෝපාය කරගත් විශාල පිරිසක්ද සිටිනවා.

ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ වැව් රක්ෂිතයේ ඉපැරණි කොහොඹ, මගුල්කරඳ, මාදන් ඇතුළු විශාල වටිනාකමකින් යුත් ශාක රැසක් ඇති බවයි.

කෙසේ වෙතත් සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් විසින් බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස කාර්යක්ෂම ජංගම කියත් ආධාරයෙන් මෙම වටිනා දුර්ලභ ගණයේ ශාක කපා අවට කැලෑවක සගවා ඇති බව ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

***************************************

(28.02.2021 – 16:03 +0530 – hirunews.lk/sinhala)

මින්නේරිය, කොතලාවල ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වැටලීමට කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමත්ව තිබෙනවා.

එහි සිටි කාන්තාවන් හය දෙනෙකු (6) සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිසට එම මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය මෙහෙයවූ කාන්තාව ද ඇතුළත්.

අත්අඩංගුවට ගත් සැකකාරියන් වයස අවුරුදු 20 ත් 35 යන වයස්වල පසුවන්නන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම කාන්තාවන් ජා ඇල, අනුරාධපුර, මහනුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මින්නේරිය පොලීසිය විසින් ක්‍රියාත්මකයි.

***************************************

(28.02.2021 – 16:10 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිකුණාමලය – මැදවච්චිය විද්‍යාලයේ ක්‍රීඩාංගණය සංවර්ධනය කර දෙන ලෙසට සිසුවියන් කළ ඉල්ලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එසැණින් විසදුම් ලබාදී තිබෙනවා.

ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කිවුලේකඩවල විද්‍යාලයේ ගම සමඟ පිළිසදර වැඩසටහන ඊයේ (27) පැවති අතර එහිදී මෙම සිසුවියන් අදාළ ඉල්ලීම සිදුකර තිබුණා.

ජනාධිපතිවරයා ක්‍රීඩාපිටිය සංවර්ධනය සඳහා හමුදාවට පැවරූ අතර ඒ අනුවයි යුද හමුදාවේ ඉංජිනේරු සේනාංක පැය දෙකක් (2) ඉක්ම යාමටත් පෙර ක්‍රීඩා පිටියේ සංවර්ධන කටයුතු ආරම්භ කරනු ලැබුවේ ෴

***************************************

(28.02.2021 – 17:24 +0530 – hirunews.lk/sinhala)

හෙට (01) ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින සියලු සිසු සිසුවියන් මිනිත්තු 45 කට පමණ පෙර විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ප්‍රකාශ කළා.

එසේම හදිසි අවශ්‍යතාවක් මතුවුවහොත් භාවිතයට ගැනීම සඳහා සුවිශේෂී වූ විභාග මධ්‍යස්ථාන 40 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිවයින පුරා විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු අද (28) සිදුකෙරුණා.

(28.02.2021 – 19:53 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අද 83,000 ඉක්මවා ගියා.

ඒ, අද (28) දිනයේ මේ දක්වා අලුතින් ආසාදිතයින් 204 දෙනෙකු වාර්තාවීමත් සමඟයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 83,094 ක් ලෙස මේ වන විට දැක්වෙනවා.

මේ අතර, විදේශගතව සිට පසුගිය 12 වනදා ඩුබායි හි සිට පැමිණි විවෘත වරෙන්තු ලැබූ පුද්ගලයෙකු සති දෙකක (2) නිරෝධායනය අවසන් කිරීමෙන් පසු ගාල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාළිගාකන්ද සහ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණවල නඩු විභාග වෙමින් තිබියදී විදෙස් ගතවී ඇති මෙම සැකකරු දිවයිනට පැමිණි වහාම අත්අඩංගුවට ගන්නා ලෙසයි අධිකරණය පොලීසියට නියෝග කර තිබුණේ.

කොරෝනා වෛරසයට එරෙහිව නිපද වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත අද (28) දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී ලබාදීම සිදුකෙරෙැණා.

මේ අතර ඉන්දියාව, චීනය වැනි රටවල් නොමිලේ කොරෝනා එන්නත් ලොව පුරා බෙදාහරින පසුබිමක එන්නත් ලබාදීමේදී ඇමරිකාවේ ෆයිසර් සමාගම ඇප කර ලෙස ඇතැම් රටවලින් ස්වාධිපත්‍යයට හිමි දේපළ ඉල්ලා ඇති බවට ඉන්දීය මාධ්‍ය ආයතනයක් වාර්තා කර තිබුණා.

එම වාර්තාවේ දැක්වුණේ ෆයිසර් සමාගම විසින් එලෙස ඇපකර ලෙස හමුදා කඳවුරු, තානාපති කාර්යාල ගොඩනැගිලි සහ විදෙස් බැංකු සංචිත ආදිය ඉල්ලා ඇති බවයි.

බ්‍රසීලය සහ ආජන්ටිනාව වැනි ලතින් ඇමරිකානු රටවල්, ෆයිසර් සමාගම සමඟ සිදුකළ සාකච්ඡා අතහැර දැමුවේ එම කොන්දේසිවලට එකඟ විය නොහැකි බව පවසමින්.

කෙසේ වෙතත් බ්‍රසීලය යළි ෆයිසර් එන්නත සඳහා අනුමැතිය දී ඇති නමුත් ඔවුන් ඉදිරිපත් කළ කොන්දේසි එරට ජනාධිපති ජායිර් බොල්සනාරෝගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

මේ වනවිටත් ලතින් ඇමරිකානු රටවල් 9 ක් ෆයිසර් සමාගම සමඟ ගිවිසුම් ගතව ඇත්තේ ඔවුන්ගේ කොන්දේසිවලට යටත්ව බව සඳහන්.

එවන් පසුබිමක ඉන්දියාවේ භාරත් බයෝටෙක් ආයතනය මගින් කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ කොවැක්සීන් එන්නත් මාත්‍රා මිලියන විස්සක් බ්‍රසීලයට ලබාදීමට ඉන්දියාව පියවර ගෙන ඇති අතර, ඒ පිළිබඳව බ්‍රසීල ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කළා.

ඇමරිකානු ඩොලර් දෙලක්ෂ අනූ දහසක් වටිනා එම එන්නත් පළමු තොගය හෙට දිනය වනවිට බ්‍රසීලයට ලබාදීමට නියමිතයි.

ඉන්දියාව රටවල් 60 කට වැඩි ප්‍රමාණයකට කොවැක්ස් පහසුකම යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත ලබාදීමට දැනටමත් කටයුතු කර තිබෙනවා.

චීනය ද කොරෝනා වෛරසයට එරෙහිව නිපදවූ සිනොවැක් එන්නත විවිධ රටවල් වෙත ලබාදීම මේ වනවිට ආරම්භ කර ඇති අතර, තායිලන්තය කොරෝනා එන්නත්කරණ වැඩපිළිවෙල අද සිට ආරම්භ කළේ චීනයේ සිනොවැක් එන්නත් මාත්‍රා ලක්ෂ දෙකක් (2) ප්‍රදානයක් ලෙස ලැබීමත් සමඟයි ෴

තවත් කොරෝනා ආසාදිතයන් 204 ක් මෙරටින් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 83,059 ක් ෴

***************************************

(28.02.2021 – 17:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙස ටොම් මූඩි පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

වසර 03 ක කාලයක් සඳහා මෙම පත්කිරීම සිදුකර ඇති බවයි එම ආයතන සඳහන් කරන්නේ.

2005 වසරේ සිට 2007 වසර දක්වා ටොම් මූඩි ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එම සමයේ ශ්‍රී ලංකා පිල කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා.

ශ්‍රී ලංකා පිල 2007 ලෝක කුසලාන තරඟාවලියේ අවසන් තරඟයටද සුදුසුකම් ලැබුවේ ද ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදීයි.

ඕස්ට්‍රේලියාව, එංගලන්තය සහ ඉන්දියාවේ ක්‍රිකට් පුහුණු කටයුතුවල නිරත වූ ටොම් මූඩි වත්මන් පුහුණුකරු මිකී ආතර් සමඟ සුසංයෝගයක් තනනු ඇති බව ක්‍රිකට් විචාරකයින්ගේ අදහසයි ෴

***************************************

(28.02.2021 – 19:25 +0530 – hirunews.lk/sinhala)

අමනුෂ්‍ය බලවේගයක් පළවා හැරීමට යැයි පවසමින් වේවැල්වලින් සිදුකළ පහරදීම්වලින් දෙල්ගොඩ – කඳුබොඩ ප්‍රදේශයේ 9 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට ඇයගේ මව ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, මව ද අදාළ දැරියට පහර දී ඇති බවට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වීමත් සමඟයි.

අමනුෂ්‍ය බලවේගයක් පළවා හැරීමට යැයි පවසමින් සිදුකළ ශාන්තිකර්මයක් අතරතුරදී මෙම දැරිය මිය ගොස් තිබුණේ ඊයේ (27) දිනයේදීයි.

පසුව අදාළ ශාන්තිකර්මය සිදුකළ කාන්තාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

අනතුරුව හෙළි වුණේ අමනුෂ්‍ය බලවේගයක් ආරූඩ වී ඇතැයි පවසමින් අදාළ දැරිය ඇයගේ මව විසින් කඳුබොඩ ප්‍රදේශයේම සිය නිවස ආසන්නයේ ශාන්තකර්ම සිදුකරන කාන්තාවක් වෙත රැගෙන ගොස් ඇති බවයි.

එහිදී අදාළ කාන්තාව විසින් දැරියට තෙල් සාත්තුවක් සිදුකර වේවැල්වලින් පහරදී ඇති බවටයි වාර්තාවන්නේ. අදාළ ශාන්තිකර්මය දින 3 ක් පුරා සිදුකර ඇති අතර, ඊයේ (27) දිනයේදී සිදුකළ පහරදීම් හේතුවෙනුයි දැරිය සිහිසුන්ව ඇද වැටී ඇත්තේ.

පසුව ඊයේ (27) රාත්‍රියේම අදාළ දැරිය, ප්‍රදේශවාසීන් විසින් බියගම ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගෙන ගොස් ඇති අතර, එහිදී දැරිය ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධියෙන් මිය ගියේ කඳුබොඩ ප්‍රදේශයේම පදිංචි ෆාතිමා රිෆ්ෆා නැමති 9 හැවිරිදි දැරියක්.

මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අද (28) දින එම ස්ථානය පරීක්ෂාවකට ලක් කර ඇති අතර, විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ වේවැල් පහකින් (5) අදාළ දැරියට පහරදී ඇති බවයි. එම ස්ථානයේදී දැරියගේ මව ද ඇයට වේවැලකින් පහර දී ඇති බවට හෙළි වී තිබෙනවා.

***************************************

(28.02.2021 – 19:42 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටු වී නොමැති බව පවසමින් කොළඹ අගරදගුරු පදවිය විසින් ලබන 7 වනදා ඉරිදා ‘කළු ඉරිදාවක්’ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ප්‍රහාරයෙන් මිය ගිය සියළුම ජීවිත සහ විපතට පත් සියළු දෙනා වෙනුවෙන් යුක්තිය ඉටු නොවීමට විරෝධය දැක්වීමක් ලෙසයි මෙලෙස කළු ඉරිදාවක් ප්‍රකාශයට පත් කර ඇත්තේ.

කතෝලික ජනතාව එදිනට කළු පැහැති ඇඳුමෙන් දිව්‍ය පූජාවට සහභාගි වීමට නියමිත බව කොළඹ අගරදගුරු පදවිය සඳහන් කළා.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව සකස් කළ වාර්තාව අසම්පූර්ණ බව අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ඇතුළු පිරිසක් අද පෙරවරුවේ අස්ගිරි මහාවිහාරයට පැමිණ උන්වහන්සේ බැහැදුටු අවස්ථාවේදියි.

@@@@@@@@@@@@@@

(28.02.2021 – 13:37 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ කල් දැමුණු අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව හෙට (01) ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

දිවයින පුරා මධ්‍යස්ථාන 4513 කදී ආරම්භ වන විභාගයට පෙනී සිටීමට නියමිත අපේක්ෂකයන් සඛ්‍යාව හයලක්ෂ 22,352 ක්.

එමෙන්ම විභාගයට පෙනී සිටින යම් සිසුවෙකු ආසාදිත බවට තහවුරු වුවහොත් ඒ සදහා පෙර සූදානමක් ලෙස සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් අතිරේක විභාග මධ්‍යස්ථාන දෙකක් (2) ස්ථාපිත කිරීමට ද කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළා.

සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 10 වන දා දක්වා පැවැත්වෙන අතර විභාග මධ්‍යස්ථාන විෂබීජහරණය කිරීමේ කටයුතු අද (28) සිදුකෙරුණා.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාලින් මහතා චෝදනා කළේ සෞඛ්‍යාරක්ෂිතව විභාගය පැවැත්වීමට අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත්ව ලබාදී නොමැති බවටයි.

මේ අතර හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන බගවන්තලාව ටින්සින් දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා පහරකා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තම පාසලෙන් විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට සුබපැතීම සඳහා මොරා වතු යායට ගමන් කරමින් සිටියදී ඊයේ (27) රාත්‍රියේ ඔහුට පිරිසක් මෙලෙස පහරදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, පසුගිය සිකුරාදාට යෙදී තිබූ පොහොය නිවාඩුවත් සමග දීර්ඝ සති අන්ත නිවාඩුවක් ලැබීම හේතුවෙන් නුවරඑළියට සංචාරකයන් 50,000 කට වැඩි පිරිසක් පැමිණ ඇති බව සංචාරක නිකේතන හිමියන්ගේ සංගමය පවසනවා.

නුවරඑළිය දිස්ත්‍රික් සංචාරක නිකේතන හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්ද දොඩම්පේගම මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සති අන්ත නිවාඩුව ගත කිරීමට ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා දීමට නුවරඑළිය මහ නගර සභාව කටයුතු කර තිබූ බවයි.

එමෙන්ම, බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් පයාගල, පොතුවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක රුචිත බණ්ඩාර, ඩෙංගු රක්තපාත තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ මියගොස් තිබෙනවා.

ඩෙංගු රෝග තත්ත්වය හේතුවෙන් දින 11 ක කාලයක් ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, කළුතර සෞඛ්‍ය විද්‍යායාතනයට අනුබද්ධව ඔහු ඩෙංගු රෝගයට ගොදුරුවන තෙක්ම කොරෝනා වැළැක්වීමේ රාජකාරී කටයුතුවල නිරත වූ අයෙකු බව සඳහන්.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශෆ් ස්ටාලින් මහතා කොළඹ අද (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ විභාග කාර්ය මණ්ඩලවල ආරක්ෂාව වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සිය අවදානය යොමු කළ යුතු බවයි.

මේ අතර, හෙට (01) සිට ලබන මස 10 වන දා දක්වා පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට සහ විභාග කාර්ය මණ්ඩලය සදහා විශේෂ බස් සේවාවක් යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළා.

අතිරේක බස් අවශ්‍ය වේ නම්, ප්‍රාදේශීය ඩිපෝ කළමනාකරුවන්ගෙන් ඉල්ලීමක් කර අදාළ පහසුකම ලබා ගතහැකි බවයි සභාපතිවරයා කියා සිටියේ.

එසේම, සිසුන්ගේ සහ විභාග කාර්ය මණ්ඩලයේ ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය දුම්රිය යෙදවීමට ද පියවර ගෙන ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ.

++++++++++++++++++++++

(28.02.2021 – 13:32 +0530 – hirunews.lk/sinhala)

යාපනය බන්ධනාගාරයෙන් ඊයේ (27) දිනයේ කොරෝනා ආසාදිතයින් 51 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව බන්ධනාගාරවලින් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව අද (28) වනවිට 5000 ට ආසන්න වී ඇත්තේ සමස්ත බන්ධනාගාර ආසාදිතයින් සංඛ්‍යාව 4932 ක් ලෙස වාර්තා වීමත් සමගයි.

ඉන් 4513 දෙනෙකුම පූර්ණ සුවය ලබා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඊයේ (27) වාර්තා වූ ආසාදිතයින් 460 දෙනාගෙන් වැඩිම පිරිසක් එනම් 62 නෙකු වාර්තා වී තිබුණේ රත්නපුරය දිස්ත්‍රික්කයෙන්. දෙවනුවට වැඩිම ආසාදිතයින් යාපනය දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 59 ක් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

ආසාදිතයින් 51 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙනුත්, මහනුවරින් 50 දෙනෙකුත් ඊයේ (27) වාර්තා වී තිබෙනවා.

කොළඹින් වාර්තා වී ඇත්තේ ආසාදිත 40 දෙනෙකු පමණයි.

මේ අතර, කලාකරුවන්ට ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදෙන ලෙස වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

වයස්ගත සහ රෝගී තත්ත්වයන්ට ලක්ව සිටින හා ශල්‍යකර්ම සඳහා භාජනය වූ කලාකරුවන්ට නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී මෙම එන්නත ලබාදීමට පහසුකම් සලසා දෙන ලෙසයි අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ.

එමෙන්ම දිවයින පුරා කර්මාන්තශාලා වල සේවය කරන පුද්ගලයන්ට ද කොරෝනා එන්නත ලබාදෙන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉල්ලීමක් කරනවා.

ඔහු කියා සිටියේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියට ඝෘජු දායකත්වයක් මොවුන්ගෙන් ලැබෙන බැවින් එන්නත් ලබා දීමේදි කර්මාන්තශාලා සඳහා පුමුඛත්වය ලබාදිය යුතු බවයි.

පසුගිය ජනවාරි 29 වන දා සිට මේ දක්වා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත පුද්ගලයන් හාරලක්ෂ 41,976 දෙනෙකුට ලබාදී තිබෙනවා.

අද (28) දිනයේදීත් ප්‍රදේශ කිහිපයකදී එන්නත ලබාදීමට කටයුතු යොදා ඇති බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

මේ අතර කලාකරුවන් වෙනුවෙන් හැකි ඉක්මනින් කොවිඩ් එන්නත ලබා දෙන්නැයි වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

තවත් කොරෝනා ආසාදිතයින් 574 දෙනෙකු පූර්ණ සුවය ලබා අද දිනයේදී රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, සමස්ත සුවය ලැබු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 78,947 දක්වා ඉහල යනු ඇති. තවදුරටත් පුද්ගලයින් 3479 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශයට සදහන් කලේ ෴

++++++++++++++++++++

(28.02.2021 – 14:24 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව දිස්ත්‍රික්කයේ කාත්තන්කුඩි සෞඛ්‍ය බල ප්‍රදේශයට අයත් ප්‍රදේශ කිහිපයක් හෙට (මාර්තු 01) උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් කරනු ලබන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව ගෆූර් පාර, මොහිනාර් මාර්ගය, සින්නතෝන පාර සහ ටෙලිකොම් මාවත පළමු හරස් පාර මෙලෙස හුදෙකලා බවින් නිදහස් වෙනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *